සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Nov 5, 2019

.ඔබට දැනෙනවානම් !




හීතලට හිම මිදුණු 
මීඳුම් හැන්දෑවක
සිසිරයෙන් තෙත බරිත
මුඳු ලැවැන්ඩර් යායක
සරත් සමයට මඟහැරුණු
තද ලේ පාට මේපල් පතක
හීතලට ඇවිලිච්ච
උස බීර බඳුනක

සත්තමයි
මම ඉන්නවා...ඔබට දැනෙනවානම්.....


අළු පාට ආකහේ අරුණෝද
සළු අඳින කනිසමක
උණුහුමට වක්කරන
කලු කෝපි බඳුනක
කවුළුවෙන් එහා අන්න අර පේන
දම් පාට මෝනිං ග්ලෝරියා මලක
හිම යායක හුදකලාවම
වැලපෙන විලෝ ගසක

සත්තමයි
මම ඉන්නවා....ඔබට දැනෙනවානම් ....

හීතලේ හිම කටුව ඇනෙනකොට
හිරිවැටෙන කොපුලක
දෑත් පා පෙරවගෙන ගුලි ගැහෙන
උණු හිම කබායක
ප්‍රියසාද තෙපුල් මැද පිරෙන
ඉතිරෙන රතු වයින් බඳුනක
ලයෙහි ලෙය උණු කරන
ශෘගාර සල්සා නැටුම කෙලවරක

සත්තමයි
මම ඉන්නවා....ඔබට දැනෙනවානම් ..

Oct 24, 2019

මන්දාරමෙන් එහා.... තියෙනවද නිල් අහසක් !




වැහැල වැහැල එක සීරුවවට
කාබාසිනියා වෙච්ච
ගොංමං හැන්දෑවක්
කොහොම පින්තාරු කරන්නද මං
බොරුවටවත් එක හිනාවක්
මන්දාරමෙන් එහා කොහේ හරි
තියෙනවනම් නිල් අහසක්
මට ඕනෙ දකින්න
එකම එක ඉර කෙන්දක්

හඳත් නොදැක ගෙවිල - නොදැනිම
කල්ප කාලාන්තරයක්
අදත් එක සීරුවට පපු කුහර
නායගිය දවසක්
තෙමිල තෙමිලම ඉදිමිච්ච
රෝස මල් පෙත්තක්
ඕන් උදුරන් ගියා තෙතබරිත
සුළං අහුරක්

ආසාවටවත් කෝ කොහෙද
වැහි කෝඩ ළඟ මැවුන - දේදුන්නක්
ඔයාට කියන්න
 දැන්
මගේ හිතත් හරියටම
හෙන වැදිල පිපිරිච්ච අහසක්

Oct 22, 2019

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ !




අජිත් ධර්මකීර්ති එහෙමත් නැත්තං අපිට හුරුපුරුදු කොළඹ ගමයා බ්ලොග් පිටුවේ හිමිකරු අජිත් අයියාගේ " ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " කියවා හමාර කරල දවස් කීපයක් වෙනව.පොත ගැන කියවා හමාර කල සැනින් යමක් ලියන්නට සිතුවත්  එහෙම නොකර ඉන්නට හිතුවා.ප්‍රථම ප්‍රේමය කියවන්නට කලින්  කියවපු 12.12.12  කතාව කියවල ඒ සැනින් බුකියට ලියූ සටහනක් බුදු අම්මෝ මෙන්න කතාව Spoil කරනෝ කියල කට්ටියක් බෙරිහන් දුන්නා.අනේ ඉතින් මං ඒ සැනින්ම ඒක ඔන්ලි මී කරලා පාඩුවේ උන්නා.ඊට පස්සේ සිත් බැඳි  පොත් කතා ලියන එක දෙපාරක් හිතන්න වෙන වැඩක් කියල හිතුවා.එහෙමෙයි කියලා අපි සැලෙයිද නෑනේ නෑනේ.දැන් හරි හමං කවියක් කතාවක්වත් මං අතින් ලියවෙන්නෙ නැති එකේ අඩු ගානේ මෙහෙම විචාරයක්වත් ලියලා සැනසෙන්න එපැයි.ඉතින් මේ මා දුටු අජිත් අයියාගේ ප්‍රථම  ප්‍රේමය ඔබ නොවේ ගැනයි.පොත ගන්න, කියවන්න හිතන් ඉන්න කෙනෙක්නම් මේක කියවලා Spoil වෙයි කියලා හිතනවානම් අනේ පීස් මෙතනින් හැරිලා යන්න හොදේ.

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ ශිෂ්‍ය වීසා මත රුසියාවට සංක්‍රමණය වූ ලාංකික තරුණයෙක් එරට තරුණියක් හා ඇතිකරගන්නා පෙම් සබඳතාවයක් මූලික කරගත් කතාවක්.පොතේ පිටකවරය දකිද්දීම මට හිතුනේ මෙය බොහෝම බොළඳ මල් කතාවක් වෙන්නට ඇතැයි කියායි.කතාවේ ටිකක් දුරක් යනකම්ම ඒක එහෙමමයි කියා සිතෙන්නටත් කරුණු එමටයි.බොහෝ දුරක් යනකම්ම එහි තිබෙන්නේ ගිහාන්ගෙයි තාන්යාගෙයි ඒ දෙදෙනාට සම්බන්ධ තව අයගේයි කෑමයි බීමයි සිංදු කීමයි සෙක්ස් කිරිල්ලයි විතරයි.හෝව් ..හෝව් එහෙම කිව්වට ඒ සිද්දි ඇතුලේ විවිධ රටවල් වලින් එ රට ට පැමිණි මිනිසුන්ගේ ගැහැනුන්ගේ ජීවන රටාවන් ජීවත් වෙන්න කරන අරගලයන් වගේම එකල රුසියාවේ සමාජීය දේශපාලනීය සංස්කෘතීය විශමතාවන් විවිධත්වයන් බොහොම අපූරු ලෙස ගලා ගෙන යනවා.දේශපාලනය කියන්නේ මට අරහං මාතෘකාවක් නිසා ඒ ගැන මට අපූර්වත්වයක් දැනුනේ නෑ.මුල් හරියෙදි මට හිතුනේ මේකට දාන්න තිබුනේ මේ පිට කවරෙ නෙවෙයි අර  Fifty shade of gray කතාවේ  රංජිත් කුරුප්පු මහතාගේ සිංහල පරිවර්තනය ප්‍රේම සැඳෑවෝ එකේ වගේ රොමෑන්ටික් පින්තූරයක් කියල.

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ මම එක හුස්මට කියවලා ඉවර කරපු කතාවක්නම් නෙවෙයි. කීප වතාවක්ම පොත පැත්තකින් තියල මම කල්පනා කලා.දිගටම තියෙන්නේ මේ වගේ සිද්ධි විතරමද.? අන්තිමට ගිහාන් ඉගෙනීම ඉවර කරලා ටටා බායි කියල ලංකාවට ඇවිත් මේ ප්‍රේමය වගේම කතාවත් හමාර වෙයිද...?   අපෝ එහෙමනම් අජිත් අයියා වැනි පරිණත මනුස්සයෙක් ලිව්වේ මෙහෙම කතාවක්ද...?

නෑ...කතාවේ අවසානයට ළං වෙද්දි මගේ ඒ සියලු ප්‍රශ්න වලට උත්තර ලැබෙනව.තාන්යාගේ ඩුබායි සංචාරය තමයි මේ කතාවේ හැරවුම් ලක්ෂය විදියට මා දකින්නේ.ඔව් එතැන් සිටන් අවසානය තෙක්ම ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටියක් වගේ.ඩුබායිහිදි තාන්යා විඳින අනේක වදහිංසා මාව අතිශය කම්පනයට පත් කලා.මට මතක් උනේ මීට අවුරුදු දහයකට විතර පෙර මම බලපු Trade කියන ඉංග්‍රීසි ෆිල්ම් එක.ඒක බලල මං දවස් ගානක් ඇඩුවා.එහෙම දේවල් ලෝකේ හැබෑවටම සිද්ධ වෙනවා කියන එක මට දරාගන්න බැරිඋනා.ඊට පස්සෙ කවදාවත් මං ඒ ශානරයේ  ෆිල්ම් බැලුවේ නෑ.සමහරවිට මේ පොතේ එතන ඉදන් දිගටම තිබුනේ ඒ වගේ සිද්දිනම්  මම පොත නොකියවා අතහරින්නත් ඉඩ තිබුනා.හොද වෙලාවට තාන්යා ඒ අපායෙන් සතියෙන් ගැලවුනා.

කොහොමහරි අපිට හිතාගන්නවත් බැරි විදියට කතාව වෙනස් වෙනස් මාන වලට ගිහින් හමාර වෙන්නේ අපූරු අවසානයක් සනිටුහන් කරමින්.ඒ අවසානය දවස් ගානක කම්පනයක් විදියට හිතේ ඉතුරු වෙනව.ඒ තමයි කතුවරයාගේ හැකියාව.

ආ ...එක තැනක නම් පටලැවිල්ලක් වෙලා තිබුනා.ඒක අජිත් අයියගේ ඇස ගැටුනාදෝ මන්දා. 320 පිටුවේ " තාන්‍යා සමඟ කාරයට නැගුනු ගිහාන් රිය පැදවූයේ...." එතන ප්‍රියාන් ලෙස නිවැරදි විය යුතුයි. ඒ වගේම පොත කියවා අවසානයේදීත් මට හිතුනේ මේ කතාවට පිට වැස්ම කිසිම සාදාරණයක් නොකරන බවයි.

ඉතින් අවසානයේ හොද කතවක් කියෙව්වා කියන ආත්මතෘප්තිය මට ලැබුන නිසා තමයි මෙහෙම යමක් ලියන්නට සිත්වුනේ.හැබැයි කතාව කියවලා ඉවර උන හැටියේ ඒ කම්පනයෙන්ම ලියන්න තිබුනානම් මේ සටහන බොහෝ විට මීට වඩා වෙනස් වෙන්න තිබුනා.මම කැමති එහෙම ලියවුනානම් තමා.


  


Oct 14, 2019

Kabhi Alvida Naa Kehna !




'' මං යනවා ''

ගොඩාක් දවසකට පස්සෙ
හදිස්සියෙන් වගේ ඇවිත්
එහෙම කියනකොට
සත්තයි
හිතම කීරි ගැහුනා
එක පාරටම කටට ආවේ

'' මාව දාලා '' ?

එහෙම අහන්න
ඒත් මං කිව්වෙ වෙන එකක්

'' පරිස්සමින් ගිහින් එන්න ''

Oct 9, 2019

සුළඟ මේ අහපං !




සුළඟ මේ අහපං
ගිහින් අන්න අර
උන්දැට කියපං
කොයි තරං
ඈතක හිටියත්
මං ආදරේ බව
දැනෙනවද අහපං....

ඔය සමහර ඒවා
එයාගේ හිතළු
විතරක්ම බව
ඔන්න එයාට කියපං....

මං කියන එක
විස්වාස නැත්තං
රෑට ඇවිදින් හීනෙන්
බෙල්ල මිරිකන බවත්
උන්දැට කියපං....

එයාට මං ඕනෙද
එපාද අහපං
එපානම්
මටත් එපා බව කියපං....

ආ...මතක ඇතුව
එයාගේ උත්තරෙත්
මට ඇවිත් කියපං....

Oct 7, 2019

It's Raining !




වැදී කොපුලක
නැගී හීගඬු !

රාත්‍රිය කෝ
නොවේ තව නිදි !

හීතලට ගුලිවීම
නෑ දැන්ම යුතු !

සුන්දර ම ගින්දරක
ඇවිලීම අප සතු !

Oct 1, 2019

My Love !





ඈත දුරා'තීතෙක
අහම්බකාරක හමුවීමක
ඔබ ඉපදෙන්න ඇත්තේම
මේ මා වෙනුවෙන්ම

ලෝකයට විවර නොවූ කවි හිත
තවමින් පිරිත් පැන් ඉස ඉස
ඔබ දරාගත්ත හැටි
ආඩම්බරකාර සිතුවිලි කවි රළ

පාට හේදුනු සමනළ තටුවක
රිදුණු තැන් පිරිමැද මැද
ඔබයි පිරියම් කලේ
ආදරේ රෝස පැහැ කැටයම

ජීවිතේ තිත්ත පැණි රස කර
කලතා පොවා තුඩ තුඩ
පරිස්සම් කල හැටි ඔබ
දෑහේ මූණේ හොවාගෙන මම

ඉතින් කප්පරක් පෙම් කරමි
මතුද , මතු මතුද ඔබම පතමි

ලියවෙන නොලියවෙන
බොහෝ කවි අතර
ඉදහිටක හිර කරන
නුඹ තමයි
ජීවිතේ සදාදර නිබ්බුත පදය...



( අවුරුදුම හතක් උනා නොවැ ඒ බලල මේ බලද්දි )

Sep 26, 2019

ඔබ සංසාර රිදුමක් !



ඔබ

සංසාර
රිදුමක් !

පපු කුහර
පිරිමදින
සුසුමක් !

ලං වෙන්න
බැරි ගගන
තරුවක් !

හැර යන්න
බැරි මතක
අහුරක් !

Sep 24, 2019

පෙම්වන්ත නොවූ පෙම්වත !


පලින් පල ලෙහී ඉහිරුණු
කඩමාලු අතීතෙක
මතක මැස්මක් දෙකක්
හැරුණු  කොට
දැන් ඉතින්
අල්ලා බදා ගන්නට
කිසිවක්ම නැති...

අනපේක්ෂිත  මොහොතක
අපේක්ෂිත හාදුවක
සුවඳ සුසුමින්
මන්මත්වීම
හදිසි අනතුරකැයි  සිතා
සලකුණු  මැකෙන තුරු
දරාගැනීමේ ලේපය ගැල්වීම
තමයි දැන් යුතු....

දකින්නට සිහින මැවීම
ඒ හීන සැබෑ කරගන්නට
වෙහෙසීම
මෙයින් මතු අත් හරින්නට
තීරණය කර ගත් බැවින්
ආදරෙයි  ආදරෙයි  කිය කියා
ඔබේ පසු පස යලි නො එල්ලෙමි
සත්තමයි
යලිදු කිසිදාක...


........................................

" ආදරේ තියෙන්නෙම
  අයිති නැති තැන් වල
  දුර ඉන්න කොටත්
 ළඟ වගේ දැනෙන එකට "

කවියොනම් කියන්නෙම ඔහොම
මල විකාර !  උන්ට පිස්සුද කොහෙද

ආදරේ කියන්නෙම ,
පොරොන්දු  දෙන එකට
එවා කඩල බිඳල දාන එකට
උන්නාද මැරිලාද හොයා
නොබලන එකට
දුකක වේදනාවකදි
අහක බලන එකට
මතක් උනත් අමතක උනා
වගේ ඉන්න එකට
කොටින්ම ආදරේ කියන්නේ
යාලු කමත් නැති වෙන එකට...

හා හා දැන් ඔබ කියාවි
ආයෙමත් ආදරේ බව
ඉතින් ආදරේ කියන්නෙම
ඔන්න ඕකට
ආයෙ ආයෙමත් රැවටෙන එකට ...

Sep 12, 2019

සඳ අමාවක !





ඊයේ වගේම අදත් පාන්දර ඉදන්ම එක සීරුවට වැස්ස.වෙනදටනම් මේ වගේ ධාරාණිපාත වරුසාවක් කියන්නෙ මං ජීවයෙන් පිරෙනවා කියන එකට.පැට්ටවත් එක්කහු කරගෙන කඩදාසි බෝට්ටු හදල වැහි වතුරෙ පා කරන්න, ගේ වටේ දුව දුව පීලී වලට ඔලුව අල්ලන්න, උණු උණු කිරි කෝපි එකක් ළඟින් තියාගෙන ආසම නවකතාවක් කියවන්න , කම්මැලි හිතුනම ගුලි වෙලා නිදාගන්න ,ඒ සේරටමත් වැඩිය කාමරේ ජනේලෙන් මහ වරුසාව දිහා බලන් ඉන්න, එතකොට මේ වැස්ස වගේම කඩා හැලෙන සිතුවිලි අකුරු කරන්න.

ඒත් ඒ කිසිම දේකට අද වෙනකොට මට ආසාවක් කැමැත්තක් නැතුව ගිහින්.මුකුත්ම ලියවෙන්නෙ නැතුව සමහර කාල වලට සිතුවිලි හිස් වෙන එක අමුතු දෙයක් නෙවෙයි.ඒක මං මීට කලිනුත් අත්විඳලා තියෙන දෙයක්.සතියක් දෙකක් මාසයක් විතර වෙනකොට ඉබේම හරි ගිය දෙයක්.ඒත් මේ ගෙවෙන්නේ එහෙම සාමාන්‍ය කාලයක් නෙවෙයි.සිතුවිලි වල පුදුමාකාර හිස් කමක් ...කඩාවැටීමක් ...මහා පරාජිත කමක්.. පිලිවෙලට පුටුවක මේසෙක වාඩි වෙලා දැන් මං කවියක් කතාවක් ලියන්න ඕනෙ කියල හිතල කවදාවත් මගේ අතින් කිසිම දෙයක් ලියවිල නෑ .විශ්වාස කරන්න මං මේ පාර එහෙමත් උත්සහ කරල බැලුව.පුදුමෙ කියන්නෙ එහෙම උත්සහ කරලත් මට අකුරක්වත් ගලපගන්න බැරි වෙච්ච එක.ගොඩක් දෙනෙක් හිතන්නෙත් පිලිගන්නෙත් ලියන කෙනෙකුට විශාල දුකක් කඩාවැටීමක් පරාජිත බවක් මහා පරිමාණ  විරහවක් එහෙමත් නැත්තං ඒකෙම අනිත් පැත්ත විශාල සතුටක්, හිමිවීමක්, ප්‍රීතියක් අත්විඳින්න ලැබුනම ඉබේම අති සුන්දර නිර්මාණ බිහි වෙනව කියල.ඔව් ඒකේ ඇත්තක් නැත්තෙමත් නෑ මමත් ඒක යම්තාක් දුරකට පිලිගන්නව. හැබැයි ඉතින් ඒක එහෙමනං මේ ගත වෙන්නෙ කවි ඇල්ලක් කඩා වැටෙන්න ඕන දවස්.සිතුවිලි වරුසාවක් වැහැල ඒ වැස්සට තෙමිල උණසන්නිපාතය හැදෙන්න ඕන දවස්.ඒත් මං නිහඬයි...මගේ සිතුවිලි මැරිල..ලියන එක මගේ ජීවිතේ මං ආසම මට ඕනම දේ.හරියට කෑම බීම වගේ  ලෙඩකදි දුකකදි ගන්න බේත් හේත් වගේ නැතුව බැරි දෙයක්.මොන තරම් සතුටක හිටියත් මොන තරම් දුකක හිටියත් වෙනදට හිත පිරෙන ඉතිරෙන ගතිය කොහේ ගිහින්ද මන්ද.මේ තරම් හයියෙන් වහිද්දිත් මේ තරම් සීතලක් දැනෙද්දිත් ජනේලෙන් ගෙට පනින හිරිකඩ මූණේ වදිද්දිත් මට දැනෙන්නෙ නිස්සාර කාන්තාර හැගීමක්.මහා හයියෙන් ඉකිගහල අඬන්න හිතෙන වෙලාවක ඉකිය හිරකර ගන්න උනොත් කඳුළු හංඟගන්න උනොත් මොන තරම් අපහසුවක් අසරණ කමක් දැනෙනවද...? මං මේ දවස්වල ඉන්නෙත් අන්න ඒ වගේ අසරණ අපහසුතාවයකින්.වක්කඩ කැඩුවා වගේ හැඟීම් පිට දාන්න තියෙනවනම්....ඒත් එහෙම පිට දාන්නත් කෝ හැඟීම්..? මට දැනෙන්නෙ මං සම්පූර්ණයෙන් හිස් වගේ. දන්නෙ නෑ දැනෙන්නෑ කොච්චර කාලෙකටද කියල.මට හිතෙන්නෙම සඳවතීට අමාවක ලබල කියල.


                             +    +   +    +    +   +   +   +   +       
    

හිස් වෙච්ච හදවතින් තෝන්තුවාවෙන් බ්ලොග් එකේ එහෙ මෙහෙ වෙද්දි තමයි අහම්බෙන් වගේ දැක්කෙ මේ  වෙනකොට මම බ්ලොග් ලෝකෙට ඇවිල්ල අවුරුදු නමයකුත් සම්පූර්ණ වෙලා කියල.Sep 10, 2010 වෙනිදා තමයි මගේ පලවෙනි පෝස්ට් එක පබ්ලිශ් කරල තියෙන්නෙ.මෙච්චර කාලෙකට මම බ්ලොග් එකේ අවුරුදු පිරෙනකොටවත් පෝස්ට් පනහ, සීය වෙනකොටවත් ඒ ගැන සමරලා පෝස්ට් දාලා නෑ.ඒත් අද ඒක දැක්කට පස්සෙ තමා මෙහෙමවත් මොනා හරි ලියන්න ඕනේ කියල  ඔය උඩ ටික ලියාගෙන ලියාගෙන ගියේ.

Aug 20, 2019

සුපෙම්වත !



මා ගැන
නොසොයා නොබලා
ඔබට කොයිතරම් දවසක්
හිඳින්නට හැකිද ...?

අහා ! ප්‍රීතියි

දැන් මටත්
ඒ තරම්ම දවසක්
ඉවසා හිඳින්නට හැකි බව
ඔබ දන්නවාද ...?

ඉතින්

ස්තූති නොකර
කොහොමද
ඔබ පුරුදු කල
ඒ ඉවසීමට....

Aug 2, 2019

අහන්නකො !




දන්නවද

හීන් මද මාරුතය
ඔය අරන් වඩින්නේ
ආ..න් අර දුර ඈත
පිපුණු  මල් වල පහස

අර බලන්න

අවාරේ ඇහැ ඇරුනු
බටිත්තෙක් හරි හෙමින්
තටු සලා ඉගිලෙන්න
හදනවා රෑ අහස

ඔය ඔය

නිකින්නේ සඳවතී
කවුළුවෙන් එබෙන්නේ
හොයන්නට වගෙයි අද
රැයේ සොඳුරුම රහස

අනේ අර

සඳ දියෙන් නෑවෙනා
උස්ම කඳු මුදුන මත
මල් කිනිත්තක් පිපී
හුස්ම ගන්නවද කොහෙද

අහන්නකො

ලා ළ'වැලි තලා මත
වැතිරිච්ච කදෝකිමි
වයනවා ඇහෙනවා
අනුරාග මන්ද ස්වර

කියන්නකො

රසෝඝේ විල් තලා
කලඹවන සුයාමයෙ
ඔය දුරින් ඇහෙන්නේ
ප්‍රේමයේ මන්තරද

 * 

*

*

*



Jul 30, 2019

දම්සාරී...!



විසිකර දමා අවසන් නැති පොරි අහුර
හතරයි කාලෙ නුඹ ගිය පසු මහනුවර
ටියුෂන් නඩේ බැන්දත් කර වට පවුර
ඇතුගල උඩින් ඉපදුනි පාළුව අදුර

ජෝතිගෙ ගීයකින් ටජ් මහලක් හැදුනා
මිල්ටන්, සුලගෙ පාවී ඒ වෙත ඇදුනා
දින පොත බලද්දී මට ඊයෙත් රිදුනා
බෝ ගස් යටත් සමහර සිල්පද බිදුනා

සිනමා හලක මද අදුරක හීතලක
රන්තාලියේ දිය විසිවෙන බංකුවක
නිමිනැති කතාවක කෙලවර රංඩුවක
ප්‍රේමය පවා මිල විය අඩු ලංසුවක

රූ බර ලදුන් සරසන දම් පැහැ සාරී
මග තොට දකිද්දී අදටත් හිත හීරී
මතකයෙ සෝ සුසුම් නැගුනත් නැත කාරී
සද නැති රැයට තරු එළියකි දම්සාරී

            (චින්තක සමන් හේරත්)





ඇතුගල උඩින් පායන සඳ රැස් දහරේ
සුදු බුදු උවන හරි පින් පාටින් බේරේ
තාමත් පහු කරද්දී ඇත්කඳ වෙහෙරේ
බෝ මැඩ එදා දුන් හාදුවෙ රස ඇහැරේ

තිළිණේ ලෙසින් පිලිගන්වා මල් පොකුර
සුදු අසු පිටින් යන්නට බන්ඳා තොරණ
තහනම් කල නිසා ඔබෙ සෙනෙහස ගෙදර
හිරිමල් හීන වට කොට බැන්දා පවුර

සක්මන් මළුවෙ තනිවුන ලී බංකුවක
කාටත් හොරෙන් ගෙල මුල ඇඳි සිතුවමක
හිතුවක්කාර වී පැටලුන රංඩුවක
සෙනෙහස දැවී අළු විය හද ගින්දරක

තාමත් නිරන්තර මතකයෙ දිගේ ඇදී
සිහිනෙන් ගෑ සුවඳ නෙත් වල ඉවුරු බිදී
උරුමය ලෙසට ගියමුත් අත්වැලම සිදී
පොපියන හීන තාමත් හදවතේ නිදී


              ( සොඳුරු සඳවතී )

Jul 23, 2019

ඉතා සංවේගයෙන් දැනුම් දෙමි !



 

ඉතින් දැන් කොහොම හරි
උහුලගන්නට ඕන මේ කඳුළු ගංඟාව
වදන් අවියකින් හිත හෑරුව හින්දමයි
මේ හැටිම හිත සංකාව

ඔබ දන්නෙ නෑ නිරන්තර ප්‍රතික්ෂේප
වීමක වේදනාව
කමක් නෑ මං තියාගන්නෙ ආදරේ
විතරමයි මං ගාව

මං කියන්නට දැනන් උන්නෙ නෑ
ඔයා වගේ දෛවයේ  සාත්තර
ඔයා කිව්ව හරි වැඩ කරන්නෑ තමා
දැන් මගේ නාලිකා සේරෝම

ඉතින් ආයෙමත් මල් පූදින්නෙ කෝමද
දොස්තරත් කිව්වෙ ඕකම
ඒ උනාට තාමත් මේ නහර වැල් වල
දුවනවා ඔයාගේ ස්නේහය

දැන් ඉතින් කොහොමත් එකයි මට
බයක් නෑ පැදුරටම වැටුනාම
හෙවනැල්ල උනත් ඇදයිලුනෙ
අත් හරින්නට ඕන උනාම

මොනවා උනත් මට අමතක කරන්නම බැරි
ඔය ඇස් දෙකේ පෙම් පාට හිනාව
ඔයාම කියන්න බෙල්ල මිරිකන එකද හරි
ආදරේ ඉස්මොල්ලෙ ගියාම

ඔය ඔය ඈතින් අහෙන්නේ
අපේ සෙනෙහසට වැයෙන මල බෙර
ඉක්මනට  නිදියන්න මට දෙන්න
එම්බාම් මාත්‍රාව වැඩිකර

සොහොන් කොත් වලත් මල් පිපුනෙ
අපි ආදරේ කරපු ඉස්සර
දැන් ඉතින් යන්න පුලුවන් ඔයාට
මගේ සංසාරයම හැඩිකර


Jul 20, 2019

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා !






ආදරණීය  පුණ්‍යා...

සමාවෙන්න,එහෙම ආමත්‍රණය කරන්න මට අයිතියක්වත් යුතුකමක්වත් නෑ කියල
ඔබට හිතේවි.එත් ඔබ මට සදාදරණීයයි ඒ නිසාම මං ඔබට මෙහෙම අමතන්නම්.
ඉතින් ඔබ දන්නවාද මේ මොහොතෙත් මා තරමක් අවසිහියෙන්.ඒ අවසිහියෙන්ම අද මාර්තු හත්වෙනිදාවක් නොවුනත් මං ඔබව හොයාගෙන කුමරි උයනට ආව.ඔබේ ලයාදර සුවඳ රැදුනු මේ ඉසව්ව...ඔබේ ස්පර්ශය උණුහුම රැඳුනු මේ සීතල ගල් බංකුව මාව තවතවත් මත් කරනව.මට ඔබව මඟ හැරි හැරී ගෙවුණු ඒ වසර ගනනාවටම වඩා ඔබව හමුවීමෙන් පසු ගෙවෙන මේ දවස් මාව උන්මන්තකයෙක් කරන්නට හදනව.

මා ආදරය කියවූයේ... මා ප්‍රේමය කියවූයේ... ඔබ රේවතට ලියූ ලිපියෙන්.. ඒ හැඟීම් ...ඔබේ ඒ මුතු අකුරු...මාව ගෙනිහින් නතර කලේ ඔබට හිතා ගන්නවත් බැරි තරම් දුරක.  ඔබේ ඒ සෙනෙහස් හැඟීම් වලට මම මගේ ජීවිතේ හොදම කාලෙ නාස්ති කරගත්තායි කිව්වොත් ඒ තමා ඇත්ත.සමාවෙන්න ,ඒ මම ඔබට දොස් කියනවානම් නොවෙයි.ඒ රිදුමම.. ඒ ප්‍රේමයම... ඒ අහිමිවීමම... පස්සෙ කාලෙක මාව  ලොවක් දන්නා , ලොවක් පෙම් කරන ප්‍රේමණීය ගායකයෙකු කල බවද  ඒ හා සමානම ඇත්තක්.

ඔබ රේවත නමින් ඉපිද රේවත නමින්ම මියැදෙන්නට උපන්නියකි.ඒ ප්‍රේමය ළඟ මා ඔබට බැඳි ඒකපාර්ශික ප්‍රේමය දෙවෙනිදැයි මා නොදනිමි.මා දන්නා එකම දෙය ඔබට බොහෝ පසුවී මා ඉපදීම මට ඔබ හමුවන්නට තිබූ සියලු අවකාශයන් අවහිර කල බවයි.එකී දෛවයට මා මියෙන තුරුම දෙස් තබමි.

අප අපට මුණගැහුණු ...මගේ ඇස් ඔබේ ඇස් හා සම්මුඛ වූ... ඒ එකම මොහොතේ ඔබ මා මෙතෙක් දරාගෙන උන් ප්‍රේමය කියවන්නට ඇත.ඒ නිසාම ඔබ නැවත කවදාවත් මේ ඇස් ඉස්සරහට නොඑන බව මා දනිමි.ඔබ  මෙතෙක් නමින්, හඬින්, රුවින් පමණක් දැන හුන් වාදීශ අදත් හෙටත් මතුවටත් ඔබම නමින් පමණක් ම ගයනු ඇත.

සදාදරණීය පුණ්‍යා ,

සමුගන්නට පෙර මම ඔබට මෙසේ කියමි.යලි උපදිනා බවයකදී එකම කාලයක ඉපිද එකම ඉසව්වකදී වෙන කාටත් අයිති වන්නට කලින් හමුවී අප අපට මඟහැරුණු තැන ඉදන් ජීවිතේ විඳින්නමා ඔබ සොයා එමි.ඒක පොරොන්දුවක්..ඔව් ඒක ගිවිසාගැනීමක්...ඔබ රේවත හා ගිවිසාගත් පරිදිම පොරොන්දුවක්.

                                                      මං ,
                                    ඔබේ නොවූ ඔබේ ප්‍රේමය,
                                                   වාදීශ.



 ( අද දෙවෙනි පාරටත් සමනල සංධ්වනිය බැලුවා.ඒක බලල ඉවර වෙද්දි හිතේ ලියවෙච්ච ටික ඔන්න ඔහෙ  මේකට ඇමිණුවා.)

Jul 17, 2019

සත්තමයි ! හිත රිදුම් දෙනවා...


මේ ගෙවෙන්නේ ජීවිතයේ අසීරුම කාලයක්.සිතින් සහ ගතින් දෙකෙන්ම අඳුරුම ආගාධෙකට වැටිල ඉන්න මොහොතක්.ළඟින් උන්නු අය , ළඟින් හිටියයි කියල හිතන් උන්නු අය පිටුපාන මොහොතක්.කොටින්ම මිනිස්සු ගැන හරියටම තේරුම් ගනිමින් සිටින කාලයක්.

ඉතින් එහෙම වැටිල ඉන්න වෙලාවක සමහර චූටිම චූටි දේකුත් ඇති ජීවිතේට හිනාවක් සතුටක් එකතු කරන්න.මේ තියෙන්නෙත් එහෙම අවස්ථාවක්.ආයෙමත් මගේ අතින් මේ බ්ලොග් එක අප්ඩේට් නොවේවි කියල හිතන් හිටපු වෙලාවක ඒ තීරණය පවා වෙනස් කරන්න හිතට හිතිච්ච  වෙලාවක්.මේ මම කාලෙකට කලින් බ්ලොග් එකටයි මූණු පොතටයි එක්කහු කරපු කවියක්.ඒ කවිය අද ළයාන්විත ගීතයක් වෙලා....මගේ ආලවන්තකම ගීතය මියුසික් කරපු දීපති මල්ලි මේ කවිය දැකලා ඉල්ලුවා මුල කොටස පොඩ්ඩක් ආයෙත් වෙනස් කරලා ලියල දෙන්න කියලා.ඉතින් එච්චරයි..... මේ තමයි ඒකේ අවසන් ප්‍රථිඵලය.


ඉතින් ඇත්තටම ගොඩාක් ස්තූතියි දීපති මල්ලිටයි සුවිනි නංගිටයි මගේ අද දවස සතුටකින් හිනාවකින් පිරෙව්වට.







Jul 8, 2019

මල් කලින් නෙලූ බැවින් අනාරාධිතවම තබා යමි !




අපි වෙන්වුන බව
ඇත්තයි
ඒත් මේ මල්
නෙලා ගත්තෙම
ඔබටයි !

ආයෙ මේ බිමට
වසන්තය නො එන
බව නම් සත්තයි

ඒ උනත්,

මේ අන්තිම හාදුවත්
මගෙ ආදරේ
තරමටම
ඇත්තයි !

Jun 28, 2019

කමනීය ආදරණීය හීනයක්ම වු !





කවුළුවෙන් එපිට මේ මහා දවාලේ එක සීරුවට මහ වැසිය.බොහෝ කාලෙකට පසුව මේ වගේ වැස්සක මේ තනිව ගමනක් යනවාමය.එහෙත් වෙනදා වගේ වැස්සට ආදරේ කරන්නවත්  මේ වැස්ස හිතේ හැටියට විඳින්නවත් අද හිතට නිවනක් නෑ.ඉබි ගමනින් ඇදෙන බස් රියේ මීදුම මිදුණු වීදුරුව අත්ලෙන් පිහිදාල මං පාර දිහා බැලුවෙ සාංකාවෙන්.මීට ටික දවසකට කලින් මේ පාරෙම මේ ගමනම මං ගියේ ඔයත් එක්ක.එදා එහෙම උනාට අද මං යනවා කියල ඔයාට කියන්න තරම්වත් අවස්ථාවක්වත් ඔයා මට දුන්නෙ නෑ.මනුස්සයෙකුට හිටි ගමන් එහෙම එක පාරටම වෙනස් වෙන්න පුලුවන්ද...

මට කතා කරන්න එපා....

මට උත්තර එපා...

අපි ටික කාලයක් නිහඬ වෙමු...

ප්‍රේමයකට එහෙම තහංචි දාන්න..හිතකට එහෙම වැටකඩොලු බඳින්න පුලුවන්ද...බාහිරින් මොන විදියේ බලපෑමක් එල්ල උනත් ඔයාගෙන් මටවත් මට ඔයාගෙන්වත් වරදක් නැති තැනක නිහඬ වීම කියන්නෙ එකම හෝ අන්තිම විසදුමද....?

ඔයත් එක්ක ආ ගිය මඟ පහුවෙද්දි මගේ පපුවට දුක තුරුල් වෙනව...බොඳවෙන ඇස් අතරින් මට ඔයාගෙම රූපෙ මැවෙනව....හිටපු ගමන් බස් එක අතුලෙත් මට ඔයාගෙ සුවඳ දැනෙනව...නෑ ...ඒ ෆර්පියුම්  සුවඳ ඔයා ළඟින් ඇරෙන්න වෙන කා ලගින්වත් කොහෙන්වත් දැනෙන්න විදියක් නෑ...දැනෙන්න ඕනෙත් නෑ ...පිස්සු නටන මගේම හිතට මං තරවටු කරගන්නව.ඉතින්....ප්‍රේමණීය විරහව මොන තරම් මරණීයද කියල මං අත්විඳිමින් ඉන්නව.කවියක , කතාවක, ගීතයක, තවරපු, දවටපු විරහව රස කරමින් අහපු, කියවපු, ලියපු මම අද ඒක සැබෑවටම අත්දකිමින් ඉන්නව.

ඔයා අහනවයි කියල හිතෙන රේඩියෝ චැනල් එකම මමත් අහන්න..ඔයා කැමතී කියල දන්න.. දැනෙන සිංදුම හොය හොය මටත් අහන්න හිතෙන තරමට මං ඔයාට ඇබ්බැහි වෙලා.එදා අවසන් හමුවෙදි මං ඇදගෙන හිටිය බ්ලව්ස් එක ඔයාට මතකද...ඒ බ්ලව්ස් එක පුරාම ඔයාගේ සුවඳ ඉහිරිලා මම තාමත් ඒක නොසෝදා ඒ සුවඳ පරිස්සම් කරනව.මං දන්නව ඔයා දන්නවනම් මට හිනා වේවී..තමුසෙට පිස්සුද ඕයි... කියලත් අහවි.ඔයා මට මගේ ජීවිතේ ප්‍රේමණීය ම ...සදානුස්මරණීය ම...සුවිශේෂී ම කෙනෙක්..ඔයා එක්ක ගතකරපු හැම තප්පරයක්ම මට වටිනවා...මං පරිස්සම් කරනවා...ඒත් අවාසනාවනම් ඔයාගේ ජිවිතේ අවශේෂම කෙනා මම ...අසුරු සැනින් මාව ප්‍රතික්ෂේප  කරන එක ඔයාට බොහොම සරල දෙයක්.ඉතින් හයියෙන් වැස්සක් වැස්සත් ඔයාට කැස්සක් හෙම්බිරිස්සාවක්  හැදුනත් ඔයා මුලින්ම කරන්නෙ මාව පස්ස දොරින් එලියට දාල දොර හයියෙන් වහන එක.

නෙත් පහරකින් හිරි වැටෙන්න තරම්... නළල් තල මත තැබූ හාදුවකට සංවේදී වෙන්න තරම් ... දෙතොල් පහසකින් මුලු ආත්මයම අවදි වෙන්න තරම් ..ඔයාට මාව නැවුම්ද මාව දැනෙනවද කියන්න මට තේරෙන්නෙ නෑ.ඒත් මං ඒ හැම දේකින්ම තිගැස්මෙන් තිගැස්මට පත් වෙලා ඉන්නෙ.ප්‍රථම ප්‍රේමය ප්‍රථම හාදුව තරම්ම මේ  සිප වැළඳ ගැනුමත් මට ආශ්චර්යක්...අමන්දානන්දයක්...තිගැස්මක්.ඔයාට ලව් එෆෙයාර්ස් කීයක් තිබුනද මං දන්නෙ නෑ...මට වැඩකුත් නෑ..ඔයාට  ආදරේටත් ගොඩක් මෙහායින් තියෙන හුදු ස්ත්‍රී සම්භන්ධතා පමණක් කීයක් තිබුනද මං දන්නෙ නෑ... මට වැඩකුත් නෑ...ඒත් මට ඕනේ මෙතනින් එහා ඔයාගේ ජීවිතේ අන්තිමයා මම ම වෙන්න.අපි අතර ගිවිසා ගැනීම් නෑ ...පොරොන්දු නෑ ...ඔව් මේක කොන්දේසි විරහිත ප්‍රේමයක්...ඒත් මම විශ්වාස කරනවා මං ඔයාගේ ජීවිතේ අන්තිමයා වේවි කියල.

ප්‍රේමය උපදින්නෙ අහම්බෙන්. හරියට හදිස්සි අනතුරක් වගේ.දෛවයේ ලියල තියෙන දේවල් කාටවත් වෙනස් කරන්න බෑ.ඉතින් ඔයාගෙ ඇස් කියපු කතා වලට  ආත්ම ගානක හුරුපුරුදු  කම් දැනෙද්දි ඒ ඇස් අස්සෙ ගුලි වෙන්න හිතුනා මිසක් මට පස්මහ බැලුම් බලන්න මතක් උනේ නෑ.සමහර  විට මං මේ විඳවන්නෙ ඒ නොසැලකිල්ලට වෙන්නත් ඇති. අයිතියක් නැති පෙම් කතාවක අයිතිකාරියක් වෙන එක මොන වගේ හැඟීමක්ද කියල දන්නෙ ඒක විඳින විඳවන අයම විතරයි.

යටි පතුලෙ කටුවක් ඇනුනම ඒ සැනින් අරන් දැම්මෙ නැත්තං මොකද වෙන්නෙ...එන්න එන්න වේදනාව වැඩි වෙනව...පැසවනව..ඊට පස්සෙ ලේසියෙන් අයින් කරන්නත් බෑ..අල්ලන අල්ලන පාරට වේදනාකාරී ..ඒත් ඒ වේදනාවේ මොකද්දෝ නොතේරෙන මිහිරක් තියෙනව...සැරින් සැරේ පාර පාර ඒ මිහිර වේදනාව  විඳින්න හිතෙනව...ඉතින් ඔයාගේ ආදරෙත් දැන් අන්න ඒ වගේ මගේ හදවතේ පැසවල..නහර වැල් පුරා උඩු දුවල...දුකයි ..වේදනායි...ඒත් ඒ වේදනාවෙන් මිදෙන්න මට බෑ..මිදෙන්න ඕනෙත් නෑ..දැන් ඔයාට තේරෙනවද කොච්චර අත් හරින්න හිතුවත් මට ඔයාව අත් හරින්න බැහැ.





Jun 27, 2019

ඉවසලා ඉවසලා බැරිම තැන !





ඈත දුරා'තීතෙක හුරුපුරුදු බව හැගුණු
ඔය සුවඳ ඈතකට ගෙනයන්න

ස්වප්නයක බහා හරි සීරුවට ඔතා දුන්
ජීවිතය කොහේ හරි ගිල්වන්න

හිතුමතේ ඉහිරිච්ච මතක කඳුළක් දෙකක්
සුසුම් මංජුසාවට පුරවන්න

හදවතේ මැද මිදුණු වේදනා කැටිත්තට
බයිපාස් සැත්කමක් කරගන්න

තුඩින් තුඩ රස ගෑව අනුරාග කල්කයෙන්
නලල් පොට තව වරක් සරසන්න

සතුට ඔබ තියාගෙන මතක මල්ලක බහා
කොහේ හරි සීරුවට හංගන්න

පපු කුහර හිර වෙවී විරාගිනි ඇවිලෙද්දි
වේදනා ලේපයක් ගල්වන්න

හෙටක් නැති ප්‍රේමයේ අරුත් සුන් මුදුන් මුල
තියුණු සැතකින් කපා සිඳලන්න

Jun 25, 2019

අහසක් තරම් !






මට ආදරේද....

බොහෝ සාහසික නිහඬ දවස් ගනනාවකට පස්සෙ අහම්බෙන් වගේ කතා කරපු දවසක හිටි ගමන් ඔයා අහනව...

ඔයාට නොපෙනුනාට ඒ වෙනකොටත් ඇස් වල නලිය නලිය හිටපු කඳුළු බෝල එක පාරටම කම්බුල් දිගේ වැක්කෙරෙන්න  ගන්නව. ඒත් මං නිහඬයි...

කියපං .. මට ආදරේද..

ඔයා ආයෙම අහනව. කොච්චර  දුකක් කොච්චර  තරහක් හිතේ තිබුනත් බොරුවටවත් විහිලුවටවත් " නෑ " කියල ඔයාව අවුස්සන්න මට හිතෙන්නෙ නෑ.

කියපිය... ආදරෙයි කියල ඉතින්...

ඔයාගේ සොඳුරු තර්ජන  ළඟ  කඳුළු අස්සෙන් මට හිනා එනව.ආපහු හැරිල පස්ස නොබලා දුවන්න හිතෙන හැම පාරම ආයෙ ආයෙම මං වැඩි වැඩියෙන් ඔයාටම  බැඳෙනව...ඇත්තටම මට ඔයාව පුදුමයක්...හිතේ කිසිම තෙතක් නැති ගානට මාව රිද්දන දවන ඔයාම අසුරු සැනින් මේ ලෝකෙ  මට  දැනෙන  ආදරණීයම පිරිමිය වෙනව.

ඇත්තමයි ...ඔයා හරියට අහස වගේ...වැස්ස වගේ...හුළඟ වගේ...මීඳුම වගේ...මේ මොහොතෙ ඔව් මේ මොහොතෙත්  මට ඔයාගේ උරහිසකට වාරු වෙලා චුට්ටකට ඉන්න ඇත්නම් කියල හිතෙනව.

ඉතින් දන්නවද මං කොච්චරක්නම් ආදරේද කියල...? නෑ ඔයා දන්නෙ නෑ....මට කියන්න ඕනෙත් නෑ...ඒත් දන්නවද ඔයා මට ආදරේ කරන තරමට වඩා මහ හුඟක් මම ඔයාට ආදරෙයි...

Jun 17, 2019

පමාවී හමුවූ කින්නර ප්‍රේමයට !





හීන කියන්නෙ ඉතින් හීන වලටම විතරක් නෙවෙයිනේ.හීනත් හැබෑ වෙන අවස්ථා තියෙනවා.මෙන්න මේකත් එහෙම අවස්ථාවක්.මේ මගේ පද පෙලක් ගීතයක් උන දෙවෙනි වතාව.ඇත්තටම ඒක හීනයක් මේ පද වගේම හීනයක්...හිතුවෙ නැති වෙලාවක හරි ඉක්මනටම ගීතයක් වෙලා ඇහෙද්දි දැණුන සතුට නිමක් නෑ.මේ ගීතය කල එලි බැස්සේ පහුගිය අප්‍රේල් අවුරුදු කිට්ටුව.ඒ දවස්වලම බ්ලොග් එකේ ලියන්න උවමනාව තිබුනත් ඒ දවස්වල රටේ තිබුන තත්වය එක්ක එහෙම හිතක් පහල උනේ නෑ.පස්සෙ පස්සෙත් විවිධ හේතු නිසා ඒක මඟහැරුනා.එහෙම නොවුනානම් මේක මීට වඩා ලස්සනට පිලිවෙලට ලියන්න තිබුන එකක්.මේ ලියන්නෙනම් ඉතින් බොහොම කලබලෙන් ඕනාවට එපාවට. හරි හරි ඉතින් කොහොම ලිව්වත් ඕනෑකම මේක බ්ලොග් ගත කිරීමනේ.

ඉතින් කැමති ඇත්තෝ අසත්වා... අඩුපාඩු පෙන්වා දෙත්වා.. 











Jun 11, 2019

ඔබ ගින්දර දළු පිරිච්ච !






අර තරම්
ආදරෙන් , ළං කර ගත්තෙ
මේ තරම්
දුරින් දුරු , කරන්නනම්
අපිට තිබුනෙ
කවමදාවත් ළං නොවී ඉන්න !

Jun 5, 2019

SHHHHHHHHHH.....




තොරතුරු දැනගැනීමෙ පනත - ඒක
අහෝසි කරලද
හදිස්සි නීතිය -  එතකොට
ඒක බලාත්මකද දැන්
ඒ උනාට ,
ද්වීපාර්ශික ගනුදෙනුවකදි
ඒකාධිපති තීරණ
කැතයි නේද...

මං දැන් පිපිරෙන්න ඔන්න මෙන්න
මං ගැනම දුකින්
මං ගැනම ආත්මානුකම්පාවෙන්
ඔයාට බැරිද මට වෙඩි තියන්න
පපුවටම - ඔව් පපුවටම...

නිහඬවීම  කියන්නෙ ඉවසීමට නම්
ඉවසීම කියන්නෙ දරාගැනීමට නම්
ඔව් ඔයා දිනුම්...!

ඒත්

මඟහැරීම කියන්නෙ අත්හැරීමට නම්
අත්හැරීම කියන්නෙ අවසානයට නම්
නොකියාම යන්නෙපා හොදේ ...!



* සමාවෙන්න ගනුදෙනුව කියන වචනෙට මං කැමති නෑ.ඒත් මොනවා කරන්නද

Jun 1, 2019

සුසානයට යන තෙක්ම මම ඔබ කෙරෙහි ප්‍රේමයෙනි !



 
ඉපැරැණි ම මතකයක
කොහේ හරි තැනක
ඔයා ඉන්'නැති මගේ
ජීවිතේ ළඟම

මඟ හරින්නට බැරුව
නැවතුනත් හිතම
දැන් ඉතින් කියන්නේ
 අපි අපෙන් දුරද

හරි හෙමින් ආව පෙම්
වසන්තය ළඟම
මේ තරම් රිදුම් ඇයි
මට කියන් සබඳ

අප අතර කිසිවක්ම
සිදු නොවූ ලෙසට
ඔයා මට කියන්නේ
නිහඬ වෙන ලෙසද

සුසුමකට සුසුමකින්
හුස්ම දුන් පසුව
අතාරින්නට උනොත්
මොන තරම් පව්ද

May 28, 2019

අත්හල මැන මෙතුවක් මට බැඳි සෙනෙහස !




දැන් ඉතින් නුඹට හැකි හැරෙන්නට
මට අයිති නිහඬවම තැවෙන්නට
ප්‍රේමයේ ගෙල බලෙන් සිඳින්නට
වරදක්ද ගල් ගසා මරන්නට

කල්පයක් කල් බලා  හමුවීම
කෙලවරේ ලියා තිබුනද මෙහෙම වෙන්වීම
ප්‍රේමයට ඇස් නෑ , ඒ තමයි අපේ අතපසුවීම
වීදුරුත් බිඳෙන්නේ, වැඩියෙනුත් පරිස්සම් කෙරුවාම

නොදන්නවා නෙවෙයි නේද
දැන් ඉතින් මට කොහෙද සැනසීම
හිතෙන්නේම නැතිද ? දරන්නට
හැකිද මේ පිපිරීම
ඊයේ අද මෙන් හෙටත්
මට උරුම මේ බලා හිදීම
ආදරේ නෙවෙයි මං ඔයාගෙන්
උගත්තෙම ඉවසීම

*
*
*
*

කොල එලිය දැල්වෙනා බව දකිමි
එහෙත් රතු එලි සිහිව නිහඬ වෙමි
රිදෙන හිත හුස්මකින් සිර කරමි
නාඳුන සේ ඉන්න වෙර ගනිමි




May 26, 2019

You Are Always On My Mind !




Oceans apart day after day
And I slowly go insane
I hear your voice on the line
But it doesn't stop the pain

If I see you next to never
How can we say forever
Wherever you go
Whatever you do
I will be right here waiting for you
Whatever it takes
Or how my heart breaks
I will be right here waiting for you

I took for granted, all the times
That I thought would last somehow
I hear the laughter, I taste the tears
But I can't get near you now

Oh, can't you see it baby
You've got me going crazy

Wherever you go
Whatever you do
I will be right here waiting for you
Whatever it takes
Or how my heart breaks
I will be right here waiting for you

I wonder how we can survive
This romance
But in the end if I'm with you
I'll take the chance

Oh, can't you see it baby
You've got me going crazy

Wherever you go
Whatever you do
I will be right here waiting for you
Whatever it takes
Or how my heart breaks
I will be right here waiting for you
Waiting for you




May 24, 2019

සත් සියක් සියපත් මතින් මුඳු සුවඳ හමනා !






ඇහි පියළි අගිස්සක
අතුරලා නෙතු කැල්ම
නළල් පට මත ඇන්ද
සිත්තමකි ලස්සනම

ඉතා කෙටි දිගු සුසුම්
කන් දෙපෙති කිති කවන
මල් පොට්ටු ඇහැරිලා
දඟකාර කම් කරන

අක්බඹරු කෙස් රොදක්
මෑත් කර ගෙල පෙදෙස
නුරා රස අහුරද්දි
සුදු හංස තටු අතර

දරාගෙන ස්නේහය
උමතු නිල් තරු දෑස
ලැම බෙයද පාමුලේ
රත් දෙතොල් මුඳු පහස

වැතිර ඝන පපුතුරක
වෙලී සියොළඟ තරව
සරාගී නිමේෂෙකි
ලයෙහි ලෙය තුල කිමිද

---------------------------------


අදත් නෙතු පියද්දී
ඇවිස්සෙන ඒ මතක
හද කවුළු පියස්සෙන්
හමන්නෙම ඔය සුවඳ

May 23, 2019

Listen To My Heart ......!


මම නිහඬ වෙමි
කතා කරන්නට බොහෝ
දෑ ඇති තැනක
අසාමාන්‍ය ලෙස නිහඬ වෙමි

මම හඬමි
අසීමාන්තික ලෙස
හැඟීම් වදනින් බෙදා ගන්නට
නොහැකි වූ තැන
නිහඬවම හඬමි

මම සන්සුන් වෙමි
පිටතින් මහා කළබලැයි
කිසිවක් බරපතලට නොගන්නවායැයි
කෙනෙකුට සිතෙන මා එක්ක
මම තනිව සන්සුන් වෙමි

මම ප්‍රේම කරමි
ඔබ ප්‍රේමය යනු අත් හැරීමයැයි
අදහන තැනින් මම ආරම්භ කරමි
අයිතිකර ගැනීම සිහිනයක් වුව
ප්‍රේමය අත් නොහරිමි

මම විඳිමි
ඔය හිතුවක්කාර පිරිමි සුවඳ
ළය දෙබෑ කරගෙන ගිය පලමු තත්පරය
අඩවන් දෑස මත පරිස්සමට තැබූ හාදුව
දැනුදු මේ දැනුදු විඳිමි

මම විඳවමි
කියන්නට ගලපන්නට ලියන්නට
නොතේරෙන මොකද්දෝ හැඟීමකට
වෙලාවක් අවේලාවක් නැතුව
ඉතින් මා විඳවමි

May 3, 2019

අන්ත්‍රාවයි !



අසම්මතයැයි ලොවින් සම්මත
සෙනෙහසක්
තහනම් හිතක
ළැගුම් ගත් බැවින්
වාරණය කිරීමට නියමිතය

හසු වේයැයි බියෙන්
වහං කිරීමට තැනක්
නැතිම තැන
අතැර යමි මහ මඟට
එකී ප්‍රේමය බහා උරයක


ඉතින් තව මොහොතකින්
පුපුරුවා හැරීමට නියමිතය
අයිතිකරුවෙකු නොමැති
හඳුනා නොගත් භාණ්ඩයක්
ලෙස සැක පිට

Apr 20, 2019

ආදරණීය එස්මෙරල්ඩා !



මේ ගිනි ගෙන දැවෙන්නේ
ඛේදාන්තයක් වූ
ඔබේත් මගේත් ප්‍රේමයේ
සදාතන සිහිවටනයයි...

ඉතින්

අවසරයි මුදාහරින්නට
ඔබ වෙනුවෙන්ම බලා හුන්
මගේ ආත්මයේ අවසන් හුස්මත්
                              මේ ගිනි දළු මත්තටම...                                

Apr 9, 2019

ඔයාට බැරිද මාව උස්සන්න !



 
 
ඉස්සර මං හරි ආඩම්බරයි
යන්නෙත් ටිකා.......ක් උඩින්
කොල්ලන්ව කොහොමත්
ඩෝන්ට් කෙයාර්
මම එයාලට ගස්සදිදි පුප්පද්දි
සමහරු මට කිව්වෙ

'' ඔය ආඩම්බර බස්සන්න උස්සනව නංගි  හොදේ ''

කියල.

අනිත් පැත්තට  මම එයාලගෙන් ඇහුවෙ

 '' ඇයි බර බලන්නද අයියේ ''

කියල.

එත් දැන් ,

මං ඔයාගෙන් අහනව
අනේ ඔයාට බැරිද මාව උස්සන්න
නෑ නෑ බර බලන්න නෙවෙයි
මට ඕනෙ කොහෝ හරි අතරමං වෙන්න
හැල්මේ දුවන ජීවිතේ කොහේ හරි
මඟක නවත්තලා ඉසිඹුලන්න...

ඉතින් ,

ඇත්තටම ඔයාට බැරිද මාව උස්සන්න... !

Apr 1, 2019

පහන ළඟයි ආලෝකේ දුරයි !


 මීට අවුරුදු තුනකට කලින් මම මේන් මේ වගේ කයියක් ලියලා තියෙනවා කියලා සකර්බර් උන්නැහේ මතක් කරලා දීලා තිබුනා ඔය පහුගිය දොහක.මට මතක විදියට ඒ කාලෙත් මේ වගේම  විදුලිය කැපිල්ලක් තිබුනා මයෙ හිතේ.නැත්තං ඉතින් මම මෙහෙම එකක් ලියාවියෑ.කොහොම හරි  ඉතින් අදටත් මේක ඒ ලෙසටම වලංගු නිසා ඔන්න මෙතනත් අලවලා දැම්මා.මෙහෙම හිත සැනසෙන කතා ලිව්වට අනේ ඇත්තමයි මීට හාත්පසින්ම වෙනස් ඒවත් ලියන්න හිතෙනවා අප්පා මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක කරන්ට් ගියාම එපාම වෙනවා.මඳනළත් කොහේ ගිහින්ද මන්දා එලියට බැස්සත් වැඩක් නෑ.


අයි ෆෝන් අයි පෑඩ් එපා බෙරිහන් දෙන්න
වයිබරේ ට්වීටරේ ටිකක් නිදියාගන්න
නොරොච්චෝලෙට කිසිම දොසක් හෙම නොකියන්න
මේ අඳුරු රාත්‍රිය රොමෑන්ටික් කර ගන්න

ඉශී අම්මට තියා සප්නටත් බෑ එන්න
අනන්තෙන් එන කුමරු අද එපා හෙට එන්න
තරු වියන යට ෆැමිලි පාටියට සෙට් වෙන්න
මදි පාඩුවට කණාමැඳිරියනි දැල්වෙන්න

හුළං පෙති වලින් කර වෙච්චි ගත සනසන්න
මල් සුවඳ මුහු වෙච්ච මඳ නළට ඉඩ දෙන්න
ඩිජිටල්ම වෙච්ච ඔලු ගෙඩි වලට පන එන්න
මේ සොබා දහම යට ටිකක් රී ෆ්‍රෙශ් වෙන්න

Mar 28, 2019

හීනයක් කියන්නෙත් හීනෙකට !




ග්‍රීෂ්ම  සෘතුවක
විඩාබර හැන්දෑවක්..
පියෙන නොපියෙන
නෙතු ඉහත්තට
හීනයක්ව ඔබ ඇවිත්

එල්ලී වෙලී ඔය සුවැති
උර බාහුවක
මීඳුමෙන් පිරුණු හරි
ලස්සන පාරක
ඇත්තමයි මං උන්නෙ
සමනලියක් ගානට

මට කියන්න..
අපි ඒ ගියේ ප්‍රේමයේ
අනන්තයටමද...

මනමාල පාට ඔය ඇස් වල
හරි හරියට එල්ලිලා ඉන්න
මං බයක් දැනුනේම නෑ
ඒ මුලු හීනෙම

මෑත්කර අක්ඹබරු කෙහෙරොද
ගෙල බෙයද පාමුල
ඔබ තැබූ ඒ එකම හාදුව
තමයි මම හීනයෙන් ගැස්සිලා
ඇහැරෙන්න හේතුව

--------------------------------------------
" මම ඔයාව මේ දැන් හීනෙන් දැක්ක "

සිහි එලවා ගත් සැනින් මා ඔබට තැබූ කෙටි පණිවිඩය

ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්....

ඒ නිහඬ වෙන්නට සංඥාව

හ්ම්ම්ම්ම්...

සමහරවිට ඔබ ඒ හීනය
සම්පූර්ණ  කරනවා ඇති
ඈ සමඟ...
සැබෑවටම...

ඉතින් ,
නෑ දුක් ගන්න කාරණ
ඊරිසියා කරන්නවත්
කෝ කොහෙද අවසර
මේ තමා කොන්දේසි
විරහිත ප්‍රේමයක
ඔබට මට පොදු ඉරණම

Mar 25, 2019

සිංහලෙන් කියනවද....Please !




මතක ඇතුව
බනිනකොට ඉංග්‍රීසියෙන් බනින්න
සිංහලෙන් බැන්නම
දුක වැඩී...

ආ...තව දෙයක්..

මතක ඇතුව ආදරෙයි කියනකොට
සිංහලෙන් කියන්න
ඉංග්‍රීසියට වැඩිය
පපුවට දැනෙනවා වැඩී..

Mar 21, 2019

ප්‍රේමයේ නාමයෙන් !




ඉතින් අවසරයි
තව කොහේ හරි
හැංගුන -නොපෙනුන
ඉඩක් තියෙනවානම්
මේ හිතේ
ඒ හැම තැනකටම ඇවිත්
නවතින්න !

බොහෝ සීමා බිඳ
හදිස්සියෙ හරි
ඒ තැබූ
එකම එක හාදුව
ප්‍රේමයේ නාමයෙන්
පරිස්සම්
කරන්න !

හරි ළඟයි වගෙ දැනෙන
ඔය හුරු පුරුදු කම ළඟ
මට බයයි
දියවෙන්න
ඒකමයි නොබලන්නෙ
ඔය ඇස් දිහා හරි කෙලින්
මම !

දැන් ඉතින්
ඇස් පියන්
විඳින්නට
සිතින් යලි මවාගෙන
ඉඹින්නට
තරම් සුවඳයි - ඔය සුවඳ
මට !

දන්නෙ නෑ
හෙටක් නැති ප්‍රේමයක
කෙළවර
කමක් නෑ
ඒත් මං ආදරෙයි
ඊයෙටත් වඩා
අද !

Mar 5, 2019

සංවරව අසංවර වීමි !





අඩසඳ සදිසි පටු නිම්නයක 
ඉසියුම්ම කේශ නාලිකාවක් මත
ප්‍රේමයේ  තිලකය අදිමි


තිසරතුඩු සුදු මුඳු
උස්ව නැගි ගිර මත
සියක්වර සියක් චුම්බන තබමි

ලා තඹ පාට මල්‍ රේණු තල මත
සැනින් එසැනින් පිපෙන තුෂර බිඳු
ලවන් පහසින් කිති කවමි

සහස් රැලි සරැලි නංවන
කලුදිය පොකුණ  අසබඬ
හැංගිච්ච දිය උල්පතකින් පවස නිවාගමි

සංතෘප්තියේ සිහින් මැතිරිල්ල
නින්නාද දෙන මොහොතක
ශිශිරතම  ගින්නකින් ඇවිලෙමි

දැන් මං ඔයාට ඇබ්බැහි වෙලා !

                                                                           

නිශාවේ ස්වප්නයක එන්නද
දැවටි දැවටී ළඟින් ඉන්නද
ප්‍රේමයේ රස කියා දෙන්නද
පපුවෙ පැත්තක නිදාගන්නද

එකම එක හාදුවක් දෙන්නට
කල්පයක් තව බලා ඉන්නද
කමක් නෑ ඒ හීන වෙනුවෙන්
කොච්චරක් තව දුක් විඳින්නද

Feb 28, 2019

අරගල Vs අරගල




පෙන්නා මහ ජාති යහමින් දා සද්දේ
අරගල කරන්නට පාරට බැසි රිස්සේ
බැරියර් උඩින් අද මල් වැස්සකි වැස්සේ
අක්කේ මගේ ඇස් දැන් ඔය පපුවෙම අස්සේ




                                                  
                                                         photo - Shantha Rathnayake


හිනාවෙන ඇස් දැක්කාම මගෙ
මොකක්දො උනා හිතට
කාකි ඇඳුමට වහං උනු හිත
ටිකක් ගැස්සුන තදට
වරින් වාරේ අපේ ඇස් දෙක
හැප්පුනත් එකි නෙකට
රාජකාරිය දේවකාරිය වගෙයි
මල්ලියෙ අපිට

Feb 18, 2019

අපරාදෙ අපි ආපු දුර කියලා හිතෙනවද !




හදවතේ ගැඹුරුම තැන් සීරුවට පිරිමදින්න අහන අහන පාරට යාන්තමට ඇස් තෙත් කරන්න ගීතයකට පුලුවන්නම් ඒ ගීතය හැම අතින්ම සාර්ථක ගීතයක්.

" ඉර හැරෙන වෙලාවට"

අහපු පලවෙනි පාරම හිතට මොකද්දෝ උනා.බොහොම සරළ සාමාන්‍ය  අපූරු සිංහල වචන ටිකකට  ඒ වගේම අපූරු හඬක් සංගීතයක් එකතු උනාම මොන තරම් චමත්කාරයක් මවන්න පුලුවන්ද.ඒකෙ නිමිත්ත අපේ ජීවිත හා බැඳුනා උනත් නොවුනා උනත්  අපේ කරගෙන හැඟීම්බර වෙන්න පුලුවන්නම්  ඒ තමා ගීතයක සාර්ථකත්වය. අතීතය එක්ක ජීවත් වෙන මතකයන් විඳින විඳවන ප්‍රේමයට තරමටම විරහවටත් පෙම් බඳින සංවේදී  ඕනම කෙනෙකුට මේ ගීතය තමන්ගේ ජීවිතේ කොතැනකට හරි යා කරගෙන හදවතින්ම විඳින්න පුලුවන්.

ඉතින්  මම මේ සිංදුව එහෙම වින්ඳා...තාමත් විඳිනවා...කොච්චර වින්ඳාද කියනවනම් තුන් වෙනි පාර අහද්දි මගේ අතින් ඒ පද වලට සමාන පද හතරක් කොහේ කවදා හරි ලිව්වා වගේ මතකයක් ආවා.හොයලා බලනකොට ඔව්නේ මීට අවුරුදු හතරකට කලින් මම  මෙන්න මේ වගේ ලියලා තිබුනා .




මේ පද හතර කියවලා විනාඩියක් දෙකක් ඇතුලෙ මම ඉර හැරෙන වෙලාවට සිංදුවට රිප්ලයි එකකුත් ලියලා ඉවරයි.හිතට දැනුනු නවල් එකක ෆිල්ම් එකක ඩ්‍රාමා එකක චරිත වලට මම අනන්ත කවි ලියලා තියෙනවා.මට මතක විදියට ගීතයක් මෙච්චර දැනිලා ඒකට  උත්තර  ලියවුනු පළවෙනි වතාව මේක.අද කාලේ එහෙම හිතට වැදෙන ගීත හරි අඩුයි.  අපි මචං ඔයාලා තව කාලයක් යනකං  මේ ගීතයෙන් මගේ හිත හොල්ලාවි.


මේ තියෙන්නෙ අපි මචංලගෙ  ඉර හැරෙන වෙලාවට කැමතිනම් ඔයාලත් අහල විඳල බලන්න

ඉර හැරෙන වෙලාවට තාම කවි ගොතනවද
මහ රෑට නිදි නැතුව මතක පොත ලියනවද
මං දීපු වතුසුද්ද ගහේ මල් පිපෙනවද
අපරාදෙ අපි ආපු දුර කියලා හිතෙනවද

වරු ගනන් මුමුණන්න කෙනෙක් දැන් ඉන්නවද
ගව් ගනන් අත් බැඳන් දුර ගමන් යනවාද
පැය ගනන් පොඩි දේට තරහා වෙලා ඉන්නවද
මට කරපු තරමටම ආදරේ කරනවද

තවමත් එදා මතක මට වගෙම මතකයිද
නෙතු පියා ගන්නවත් බැරි තරම් කරදරද
මට වගේ මට හොරා ඔය ඇසුත් තෙමෙනවද
කූඩු වී යන දාට නොකිය යන් නෑ නේද






මේ තියෙන්නෙ සිංදුව අහල මම ලියපු කවිය ඒ තරම්ම සාර්ථක නැති උනත් මම , මම ලියපු පද වලටත් ආදරෙයි.

මං නැතුව පාලුවක් ඔය හිතට දැනෙනවද
මං වගෙම හදවතින් ඔයත් ඉකිබිඳිනවද
හැර ගිහින් මේ ලෙසට සැනසෙන්න හිතනවද
අපි ආයෙ කවදා හරි අපේ නෙතු දකිනවද

මගෙ සුවඳ තවම ඔය මතකයේ තියෙනවද
තව එකම වරක් මගෙ හිස ආයෙ ඉඹිනවද
නෙතු පියන හැම රෑක මගෙ හුස්ම දැනෙනවද
එදා වාගෙම අදත් ඇස් කතා කරනවද

ඔය හිතේ මං උන්නු තැන තාම තියෙනවද
මං නැතත් කවුරු හරි හිතට තනි රකිනවද
මේ බවයෙ තවත් දුර එක්ව යනු බෑ නේද
මතු සසරෙ හමුවුනොත් දාල යන්නෑ නේද


Feb 17, 2019

මේ මහා දුර ගෙවා ආ පසුත් !





පෙම්බරාණෙනි,

මහාගිරි දඹ ගෙවා පැමිණියෙමි
එ'ගිරි හිස මත
ඔබ තබනවායැයි කියූ
ප්‍රේමය ... සොයමි
කෝ කොහිද....?

කඳු පාමුලට හිස පොවමි
නැත...එහිද නැත...

ඈත දුර ආකාසෙට ඇස යවමි
එහිද ඔබත් ඔබේ ප්‍රේමයත් සොයමි

දුටිමි ...ඔබ තරුවක්ව
දිලෙන හැටි දුටිමි

ඉතින්...
වටහාගතිමි
අහසටත් පොළොවටත්
අතර ඇති මහා දුර
කිසිදාක යා නොවන බව

අවසරයි....
නික්මයමි.. සදහටම
ලියා තබා සමනළ තටුවක
නුඹට බැඳි අපිරිමිත සෙනෙහස

Feb 12, 2019

ඉරණම්කාරී !


         

         හැ
මදාමත් වගේ අදත් මුලු හැන්දෑ වරුවම කුමාරි ගත කලේ අබලන් වෙලා වැල්ලෙ පැත්තකට දාල තියෙන කැඩුණු ඔරු බඳට වාරු වෙලා මහ මුහුද දිහාවට ඇස් දල්වගෙන.තප්පරයක් තප්පරයක් පාසා දෙපා මුලට ඇවිත් බිඳෙන විසිරෙන රළ ගෙඩි අතොරක් නැතුව ඈව තෙමන එක ගැන  කුමාරිට ඒ තරම් ගානක් තිබුනෙ නෑ.ඇගේ ඇස් තිබුනෙම ඈත ඈත ඉර ගිලෙන දිහාවෙ .කොයි මොහොතෙ හරි ඒ ඉසව්වෙන් දැල්වෙන බලාපොරොත්තුවක සේයාවක් හරි ඇස් කොනින් අල්ලගෙන වෙරළට ඇදගෙන එන්න ඇය සැදී පැහැදී බලන් උන්න. අදක ඊයෙක ඉදල නෙවෙයි දැන් මාස ගණනාවක් තිස්සෙම හැන්දෑවට හැන්දෑවට මේ මුහුද දිහා බලන් ඉදිල්ල දැන් කුමාරිගෙ දින චර්යාවෙම කොටසක් වෙලා. හරියට මූදු කරේට ඉර පායනව , ඉර බහිනව , මූදෙ රැළි නැගෙනව රැළි බිඳෙනව වගේම අබලන් ඔරු කදට බර දීල මුහුද දිහා බලන් ඉන්න කුමාරිගෙ දසුනත් මේ මූදු කරේට ආවේනික දෙයක් ගානයි.

මාරී.. මාරී... මා...රි...යෝ.....

ගිනි බෝලයක් වගේ රතු වෙච්ච ඉරේ අන්තිම රැස් කඳත්  මුහුදු වතුර ඩැහැගන්නකොටම කුමාරිගෙ සිතුවිළි බිඳුනෙ ඇනීටා අක්කගෙ කෑ ගැහිල්ලට.
මොකක්ද බං නංගියේ මේකෙ තේරුම... මං කට කැඩෙනකන් උඹට කියනව ඉර බහින ජාමෙට මෙතන්ට වෙලා ඉහ අත් බදන් ඉන්න එපා කියල කෝ කොච්චර කිව්වත් උඹ කණකට ගන්නෙ නැති හැටියක්...

         හැමදාමත් වගේ අදත් ඇනීට අක්ක දෙස් දෙවොල් තියන්න පටන් ගත්තට කුමාරිට ගානක්වත් නෑ.කුමාරි දන්නව ඈ ඒ හැමදේම කියන්නෙ කුමාරිගෙම හොදට කියල.ඈත දීපංකරේක ඉදන් ඇවිත්  මේ වැල්ලෙ නැවතිච්ච දා ඉදන්ම කුමාරිගේ දුකට සැපට පිහිට උනේ තනියට උන්නෙ ඇනීටා අක්ක.මිනිහෙක් නැතුව දරු දෙනෙක් එක්ක  වැල්ලටම පදම් වුණු කටෝර සිතුම් පැතුම් කටෝර බාසාව නිසා ඈ නපුරුයි වගේ පෙනුනට ඇනීට අක්ක ළඟත් තිබුනෙ අනුන්ගෙ දුකේදි උණු වෙලා වැගිරෙන හිතක්.
මෙතන්ට ආවම මගේ හිතට හරි සැනසීමක් දැනෙනව අක්කේ..

මහා හුස්මක් පිට කරල කුමාරි ඇනීට අක්කට එහෙම කිව්වෙත් මහ මුහුද දිහා බලාගෙනමයි.

සැනසීමක්.... අනේ මගේ කට.. යකෝ සැනසීම ඕන්නං මෙතන්ට වෙලා හූල්ල හූල්ල ඉන්නෙ නැතුව  ඔය රේල් පාර පැනල  පලයංකෝ  අර පේන පල්ලියට... ඒ ඕං නෑ උඹ බුද්ධාගං  කාරි වෙච්චි මෙතන ඉදල  මීටර් දෙසීයක්වත් නෑනේ පන්සලට ඔය පේන්නෙ කොත් කැරැල්ලත් මෙතෙන්ට .. පලයංකෝ ගිහින් මලක් පහනක් පූජ කරලවත් හිත හදාගනින්කෝ...

 ඇනීට අක්ක ඒ ටික කිව්වෙනම් හැබෑම කේන්තියෙන් කියල කුමාරිට ආයෙ අමුතුවෙන් හිතන්න ඕන උනේ නෑ.පල්ලියකට පන්සලකට ගිහින් හදාගන්නවත් හිතක් මේ වෙනකොට ඉතුරු වෙලා තියෙන්න එපැයි.කුමාරි හිතුවෙ එහෙම.ඒත් මුකුත්ම නොකියපු කුමාරිගේ ඇස් මුලට වීදුරු බෝල වගේ දිලෙසෙන කඳුළු ගුළි දෙකක් එකතු උනා.ඇනීට ඒ කඳුළු දැක්ක.ඇගේ කේන්තිය ඒ කඳුළු බෝල වලට යට ගියා.

මම මේ දෙස් තියන්නෙ තරහට නෙවෙයි කියල උඹ දන්නව නංගියෙ..එක බඩවැල කඩං ජාතක නොඋනත් උඹ මට මගේම සහෝදරියක් වගේ.උඹ මෙහෙම දවස තිස්සෙම හූල්ලනව මට බලන් ඉන්න අමාරුයි  ඇයි යකෝ දවසක් දෙකක් කියලද මාසයක් දෙකක් කියලද දැන් මාස පහකුත් ඉවර උනානෙ.උඹ දැන් හිත හදා ගන්න ඕනේ මගෙ නංගියෙ.උඹ විතරක්නම් කමක් නෑ මම එහෙනම් මෙච්චර උඹට කියවන්නෙ  නෑ..යකෝ දැන් ඔය සේරටම වැඩිය මේ බඩේ දඟලන එකා ගැන හිතපං...ඒකටත් දැන් මාස පහක්නෙ..උඹ ඔහොම ආතක් පාතක් නැතුව ඉදල කොහොමද ළමයෙක් වදන්නෙ...?
ඇනිට අක්කගෙ හී සර වගේ වචන වලට කුමාරිගෙ බඩ පපුව පත්තු උනා.යාංතමට ඉදිරියට නෙරල තියෙන කුස අතගාද්දි කුමාරිගෙ ඇස් වල කඳුළු මුහුදු වතුරටම කඩාගෙන වැටුන.

ඔය ආයෙත් ඇඬියාව පටන් ගත්ත .. යමං...යමං දැන් ඇති ඔය.. උඹ අපේ පොඩි එකීට කියල තිබුනනෙ අලුත් මාලු හොදියි පොල් සම්බෝලයි සුදු බතුයි කන්න ආසයි කියල.දැන් යමං ගෙට  ආං  මම උණුවෙන්ම  ගෙනල්ල ඇති.

 ඇනීට කුමාරිව වත්තන් කරගෙන ගේ දිහාට එක්කන් ගියේ හැබෑම සෙනෙහසින්.


                          *          *           *          *         *

                       ලංකා සිතියමෙන් විතරක් හලාවත අහල දැකල තිබුන කුමාරි මේ වැල්ලට  ගහගෙන ආවෙත් හරිම අපූරු විදියකට.දකුණේ ඇඹිලිපිටියටත් එහා පුංචි ගමක ජීවත් උන කුමාරි ගමේ නඩයක් එක්ක මුන්නේසරම් වදින්න  ආව.කෝවිල් ඇවිල්ල හිටපු ජූඩ්ගෙ ඇස් කුමාරිගෙ ඇස් වල ගැටුනෙ සංසාරේ පුරුද්දකටම වෙන්න ඇති.ඇස් බැලුම් දහ දොලොස් වතාවකට පස්සෙ  හිනා අහුරු  කෝල බැලුම්,ඊට පස්සෙ ඉඟිබිඟි ඊටත් පස්සෙ රහස් සංඥා අන්තිමට ටෙලිෆෝන් නොම්බර හුවමාරුවක් දක්වා දුර ගියා. ඉතින් ඊටත් පස්සෙ පැය ගනන් වරු ගනන් ගෙවුණ දුරකතන සංවාද කීපෙකට පස්සෙ හතරපස් ගමනක්ම ජූඩ් කුමාරි බලන්න ඇඹිලිපිටි ගියා. හලාවත වැල්ලෙ ජූඩ් ඇඹිලිපිටියෙ කුමාරිත් එක්ක ආදරෙන් බැඳුනෙ අන්න එහෙමයි.හැබැයි මේ ආදරේ කුමාරිගෙ ගෙදරින් වහං කරන් ඉන්න වැඩි කාලයක් ඉඩ ලැබුනෙ නෑ.කුමාරිගෙ තාත්ත ජූඩ් ගැන දැනගෙන ආවේස උනේ රාක්සයෙක් වගේ.කපල වැවේ  දැම්මත් මාලු කාරයෙක්ට  දුව දෙන්නෑ කියල තාත්ත පරසක්වල ගැහුව.තාත්තගෙ දැඩි තීරණ , ඉවක් බවක් නැති  ගුටි බැට ළඟ කුමාරිගෙයි ජූඩ්ගෙයි ආදරේ තවත් ශක්තිමත් උනා.අවසානෙට හැම මුර කපොල්ලක්ම බිඳගෙන කුමාරි මුලු ඇඹිලිපිටියටම ආයුබෝවන් කියල ජූඩ් එක්ක පැනල ආව.ඉතින් එහෙම ආපු ගමන නැවතුනෙ මේ වැල්ලෙන්. කාත් කවුරුත් නැති ජූඩ්ට කුමාරි මුලු ලෝකයක්ම උනා.ඇඹිලිපිටියෙ කුමාරි හලාවත ලෙල්ලමේ හැමෝටම මාරි එහෙම නැතන් මාරියෝ උනා.හැබැයි  ඒ වෙනකොට කුමාරිගෙ තාත්ත කුමාරි මලා කියල ගමේ මරණ දැන්වීමුත් ගහල  හත් දවසෙ දානෙකුත් දීල කුමාරිව දරු කමිනුත් අයින් කරල තිබුන.

මාරියෝ....නංගියේ...

ඇනීට අක්කගෙ හඬින් ආයෙමත් කුමාරිගෙ දැහැන බිදුන.

කෝ ඉතින් කාල ඉදපන්කෝ .. උඹ  හරියට හීනෙන් ඇවිදිනව වගේනෙ..

ඇත්ත තමයි වැල්ලෙ ඉදල මීටර් දෙසීයක් විතර තියෙන  තමන්ගෙ ගෙදරට ඇවිදන් ඇවිල්ල  දැන් ඉන්නෙ එලිපත්තෙ වාඩි වෙලා කියලත් කුමාරිට කල්පනාවක් තිබුනෙ නෑ.

අක්ක යන්න අක්කේ මම පස්සෙ කන්නම් ...

කුමාරිට ඇත්තටම ඕනෙ උනේ මේ වෙලාවෙ කෑම නෙවෙයි ටිකක් තනිවෙන්න.

පස්ස... අනේ උඹේ මම නොදන්න පස්ස...හොද හිතින් කාල පිගාන දීපන් මට අරන් යන්න..

කුමාරි නැගිටල ගිහින් ඇනීට අක්ක බෙදන් ඇවිත් තිබුන බත් පිගාන අතට ගත්තෙ ඇනීට අක්කගෙන් ගැලවීමක් නැති බව තේරුන හින්දමයි.කුමාරි ඒ වෙනකොට හිටියෙ දවල්ටත් කාල නෙවෙයි  ඒ හින්දමද කොහෙද කෑම සුවඳට ඇගේ කුස ගින්න තවත් ඇවිලුනා.වෙනමම කල්පනාවක ඉදගෙන උනත් කුමාරි තමන් ගෙනාපු බත් එක ඇටයක්වත් ඉතුරු නොකර කාපු එක ගැන ඇනීටට අප්‍රමාණ සතුටක් ගෙනාව.කුමාරි හොදල දීපු පිගානත් අරගෙන එළිපත්ත පැන්න ඇනීට අක්ක ආයෙත් හැරුනෙ තවත් අලුත් කතාවකට මුල පුරන්න කියල කුමාරිට ඉවෙන් වගේ දැනුන.

ඈ බං නංගියේ... මට ඇත්තටම කියපං උඹ මොනාද කරන්න හිතන් ඉන්නෙ කියල..

මුකුත් නෑ අක්කෙ... කුමාරි කිව්වෙ  මහ මුහුද දිහාට හූල්ලන ගමන්.

හෙට අනිද්දා ළමයෙක් වදන්න ඉදගෙන උඹ ඔහොම ආතක් පාතක් නැතුව කතා කරන්න එපා බං තවත්...වෙච්චි දේ  උනා.... දැන් ඉස්සරහට මූණ දෙන්න හිත හදාගනිං.. මටත් මේ බනේ හැමදාම උඹට කියන්න බෑ ...
 
එයා එයි අක්කේ... කුමාරි කිව්වෙ අයෙ අයෙම ඇස් වලට කඳුළු එකතු වෙද්දි.

කුමාරිගෙ ඒ කතාවට ඇනීට අක්කගෙත් පපුව හෙල්ලුනා උනාට  එයා ඒක කුමාරිට පෙන්නුවෙ නෑ.ඇනීට ආයෙම ඇවිත් එළිපත්තෙ වාඩි උනා.මොන විදියෙන් හරි කුමාරිගෙ මේ හිතිවිලි වෙනස් කරන්නයි ඇනීටට ඕනේ.

උඹ දන්නවද.. දැන් මට අවුරුදු හතලිස් දෙකත් ඉවරයි. මේ වැල්ලෙ ඒ හතලිස් දෙකටම මූදු ගිහින් ආපහු නාව එකම බෝට්ටුව උඹේ මිනිහා ගිය එක නෙවෙයි... මේ වැල්ලෙ මිනිහා නැතුව තනිඋන එකම ගෑණිත් උඹ නෙවෙයි..අනික  පොඩ්ඩක් කල්පනා කරපං මාරියෝ  ජූඩා එක්ක තව උන් හතරක් ගියා උනුත් දරු පවුල් කාරයෝ කෝ  .. ඒ එක ගෑණියෙකවත් උඹ වගේ මෙලෝ විකාරයක් නැතුව මුහුද දිහා බලන් ඉන්නවද... සතිය දෙක යනකොට උන් ජීවිතේ ගැට ගහගන්න මාර්ග හොයා ගත්තා...

ඇත්ත මුතු කුමාරි බෝට්ටුව මහ මූද ගිල ගත්තෙ පවුල් පහක් මේ වැල්ලෙ  අතරමං කරල.ගෑණුන්ට තමන්ගෙ මිනිස්සු  ළමයින්ට තමන්ගෙ තාත්ත අම්මලට පුත්තු අහිමි වුන පලවෙනි වතාවත් මේක නෙවෙයි.ඇනීට කියන්නෙත් ඒ කාලකන්නි අත්දැකීම අපූරුවට විඳපු ගෑණියෙක්.ඇනීට අක්කගේ මනුස්සයා ගිය  බෝට්ටුව අතුරුදන් වෙලා මේ වෙනකොට අවුරුදු ගණනාවක් ගෙවිල  ගිහින්.එයා මේ වැල්ලෙ තනි වුනේ ගෑණු දරුවොම දෙන්නෙක් එක්ක.ඇඹිලිපිටියෙ ගමේ ජීවත් වෙන කාලෙ විතරක් නෙවෙයි කුමරිගෙ සැමිය වෙච්චි ජූඩ්ව මේ මහ මුහුදු පතුලෙ සඟව ගන්නකම්ම කුමාරි මුහුදට පුදුම විදියට ආදරේ කලා.ඒත් දැන් ඒක වෛරෙකට පෙරලිලා.මුහුදු පතුල ගිල ගත්ත හැම මිනිස් ජීවිතයක් වෙනුවෙන්ම කුමාරි මහ මුහුදට සාප කලා.

මුදලාලි ඊයෙත් අර කාරණාව ගැන මගෙන් ඇහුවා...

ඇනීට අක්ක ආයෙම කතාව පටන් ගත්තෙ වෙනස්ම  තැනකින්.කොයි වෙලාවෙ හරි ඔය කතාව මතු වෙන බව දන්න නිසාම කුමාරි ඒක වගකට ගත්තෙ නෑ.

මාත් ගෑණියෙක් වෙච්චි කොට මට බෑ ඒ කාරණාව ගැන උඹට බල කරන්න.. ඒත් උඹ මොනම දේකට හරි ඔයිට වැඩිය හයි හත්තියට ඉන්න ඕන කියල විතරයි මම උඹට කියන්නෙ...

ගවුමට උඩින් ඇදන් උන්න මල් චීත්තෙ බුරුල් කරල ආයෙමත් ගැට ගහගෙන ඇනීට  යන්න නැගිට්ටෙ කුමාරිට තනිවෙලා කල්පනා  කරන්න ඉඩ දෙන්න ඕනෙමයි කියල හිතුන නිසා.කරුවල වෙච්ච වැල්ල දිගේ ඇනීට අක්ක කලු තිතක් වගේ නොපෙනී යනතුරුම බලන්  උන්න කුමාරි මහා ලොකු හුස්මකින් ළය සැහැල්ලු කර ගත්ත. අනේ ඒත් ජූඩ්ට යන්න උනේ තමන්ගෙ ලෙයින් පැටියෙක් හුස්ම ගන්න පටන් අරන් කියල  නොදැනමයි.ඒක සිහිවෙද්දි කුමාරිට වාවන්නෙම නෑ.


                                   *    *    *    *    *    *    *    *

                
එදා හැන්දෑවේ කුමාරි හිටියෙ ඇනීට අක්කලගෙ ගෙදර කෙල්ලො දෙන්නට පාඩම් වගයක් කියා දිදී.උදේ ඉදලම කුමාරි හිටියෙ හරි සනීපෙකිනුත් නෙවෙයි.හැන්දෑවෙ පිළී සුවඳත් එක්ක සැරට හමන  හුළඟ කුමාරිට ඉවස ගන්නම බැරි උනා.ඈ පිලිකන්නට දුවල ගිහින් ඔක්කාර කරද්දි ඇනීට අක්ක දුවගෙන ආවෙ හිනාවෙවී.යන්තන් අවුරුදු විසි දෙක පන්නපු කුමාරිට ඒ හිනාවෙ අරුත  නොතේරුනා නෙවෙයි.

මොකෝ කෙල්ලෙ මේ... ඇනීට කුමාරිව වත්තන් කර ගත්තෙ සතුටු හිනාවකින්මයි.

අනේ මදං අක්කෙ... කුමාරි ලැජ්ජාවෙන් ඇඹරුනා.

ඇනීට අක්ක පොඩි එකීට හොරෙන් කුමාරිගේ කනට කරල  අහපු දේට කුමාරි
හ්ම්ම්ම්... ඔව්  ....

කියල බිම බලාගෙනම උත්තර දුන්න.

අනේ උඹට ජේසු පිහිටයි කෙල්ලෙ... ජූඩා දන්නවද ...
නෑ අක්කෙ...

දුවපං එහෙනං ගෙදර .. එකා නටයි අද සතුටට...

කුමාරි ගෙදර යද්දි ජූඩ් මූදු යන්න ලෑස්ති වෙනව.මේ වෙලාවෙ ඒ  රහස කියල එයාව කළබල කරන්න ඕනෙ නෑ කියල තමා කුමාරි එදා  හිතුවෙ.පහුවදා උදේ ජූඩ් එනතුරු ඒක රස රහසක් හැටියට හිතේම තියාගත්ත.ඒත් ඉතින් ඒ උදේ නෙවෙයි ඊට පස්සෙ අද වෙනකන් ගත වෙච්චි කිසිම උදේක ජූඩ් ආවෙ නෑ.තාමත් කුමාරි මූද දිහා බලන් ඉන්නෙ ඒ රහස  කියන්න ජූඩ් ඒවි කියලමයි.


                               
           *    *    *    *    *    *    *    *

                              ඊටත් පස්සෙ තවත් සති ගානක් විහඟ වේගෙන් පියෑඹුව.ඒ දවස ගානෙම කුමාරිගෙ කුසත් ලොකු උනා.කුසේ ඉන්න පුංචි පැටිය දඟලන දඟලන වාරයක් ගානෙ කුමාරි තිගැස්සුණා.තනි නොතනියට තමන්ගෙ කියන කවුරුත් නැතුව,එක තඹ සතේක ආදායමක් නැතුව අඩුම තරමෙ කරන්නෙ මොකක්ද කියල හරි හමන් තීරණයක් නැතුව තව දුරටත් බලන් ඉන්න බැරි බව කුමාරිට වැටහුනා.ජූඩ්ගෙ බෝට්ටුව  වැල්ලට  නෑවිත්  ගතවුන දෙවෙනි දවස වෙනකොට  කුමාරි ගැබ්බරයි කියල මුලු වැල්ලම දැන ගත්ත.සමහරු කිව්වෙනම් බඩට ආපු එකාගෙ කරුමයක් උගේ තාත්තගෙ පිටින් ගියා කියලයි.ජූඩ් නැතුව සතිය දෙක ගෙවිල යද්දි සමහරු බඩ හෝදල මේ බරෙන් නිදහස් වෙන්න කියලත් උපදෙස් දුන්න.ඒත් කුමාරි නෙවෙයි ඒව කනකට ගත්තෙ.ඈ උපේක්ශාවෙන් ඒ හැම දෙයක්ම විඳදරා ගත්ත.හැබැයි ඒ මොනවා උනත් දන්න කියන හැමෝම කුමාරිට අදටත් උදව් පදව් කරනවා. අනුකම්පා කරනවා.මේ සේරම සැලකිලි දරුවා ලැබෙනකං විතරයි කියලත් කුමාරි දන්නව.ඇනීට අක්ක තරමට මේ වැල්ලෙ කිසි කෙනෙක් කුමාරිට ළෙන්ගතුකම් පාන්නේ හැබෑම කරුණාවකින්  නොවෙන බව ඈට තේරෙන්න ගත්තෙ මුල් කාලෙදිමයි.
 
                        කුමාරි ඉස්සරහ තීරණ තුනක් තිබුන.අද රෑ ගෙවිල හමාර වෙනකොට  ඒ තීරණ වලින් එකක් ඈ තෝරගත යුතුයි කියල ඈ විසින්ම හිතට බල කලා.පලවෙනි එක වෙන ඕනම දේකට මූණ දෙන්න හිතාගෙන ආපහු ගමට යන එක.ඒත් එහෙම කරන්න තරම් හයියක් කුමාරිට තිබුනෙ නෑ තමන් මැරුනයි කියල දාන මාන පවා දීල සදහටම තමුන්ව අයින් කරපු තැනට බඩකුත් උස්සන් කණවැන්දුමියක් වෙලා යන්න කුමාරිට ඕන උනේ නෑ.තාත්ත කෙසේ වෙතත් තමුන්ව වදපු අම්මවත්  එක බඩවැල කඩන් ආපු අක්කයි මල්ලියිවත් මෙච්චර කාලෙකට තමන් ගැන හෙව්වෙ නැති එක ගැන ඈ හදවතින්ම විස්සෝප උනා. ඉතින් ඒ නිසාම ගමට යන හීනයට තටු ලැබුනෙ නෑ.ඊළඟට  කුමාරි ඉදිරියෙ තිබුන විසඳුම ඇන්ටන් මුදලාලිගෙ බහට අවනත වෙලා එයාගෙ අන්ත:පුරේ තවත් එක ගෑණියෙක් වෙන එක.ඒ විසඳුම මතක් වෙද්දිත් ඈට මහා පිළිකුලක් දැනුන.ඇන්ටන් මුදලාලි කියන්නෙ මේ වැල්ලට රජ්ජුරුවො වැල්ලෙම බෝට්ටු අයිති එයාට.බෝට්ටු විතරක් නෙවෙයි වැල්ලෙ වැඩි හරියක් ගෑණු උදවිය අයිතිත් එයාට.මේ වැල්ලෙ මිනිස්සු නැති ගෙවල් වල වැඩි හරියක් බත් ඉදුනෙ ඇන්ටන් මුදලාලිගෙ පිහිටෙන්.ඒකට හිලව් වෙන්න ඒ ගෑණුන්ට කරන්න තිබුනෙ සතියකට සැරයක් දෙසරයක් ලෙල්ලමට  මායිම් කරල හදපු මුදලලිගෙ වාඩියට ගිහින් එන එක විතරයි.අවුරුදු හැට පහක් උනාට පනහකවත් පෙනුම නැති මුදලාලි බොහොම ජේත්තුවට ඉන්න කෙනෙක්.කුමාරි නම් තාම මුදලාලිව දැකල තියෙන්නෙ හතර පස් ගමනයි.ඒ කිසිම වතාවක ඇන්ටන් මුදලාලි මනමාලයෙක් ගෑණු පෙරේතයෙක් කියල කුමාරිට දැනුනෙ නෑ. ඒ දෙවල් ඔහු කලේ බොහොම අර පරිස්සමට තමන්ගෙ තත්වෙ තියාගෙන.ඇනීට අක්කත් තමන්ගෙ මනුස්සය මැරිල මාසෙ දෙක යනකොට මුදලාලිගෙ ඇදට ගිහින් තියෙන්නෙ මේ වැල්ලෙ ගෑණු ඒ තරමටම අසරණ නිසාද එහෙම නැත්තන් ගොඩ යන්න තියෙන එකම  සහ  හොදම විදිය කියල හිතන නිසාද කියල කුමාරිට හිතා ගන්න බෑ.හැබැයි කුමාරි ඒ සාම්ප්‍රදායට පිටු පාන්න ලෑස්ති.ඈ බඩගින්නෙ මේ වැල්ලෙ මලත් මුදලාලිගෙ අත් වලට හිර වෙන්නෙ නෑ කියල එක හිතට හිතා ගත්ත.ඉතින් ඊ ළඟට කුමාරි ඉදිරියෙ තිබුනෙ එකම අහියෝගයයි.ඒ  මේ වැල්ලෙම ඉදගෙන තමන්ගෙ කකුල් දෙකෙන්ම කොහොම හරි නැගිටිනව කියන  බලාපොරොත්තුව.මාස හයක බඩකුත් උස්සගෙන ටවුමට ගිහින් රස්සාවක් කුලී වැඩක් කරන්න පුලුවන් කමක් කුමාරිට තිබුනෙ නෑ. ඒ වගේම ලෙල්ලමට ගිහින් මාලු  විකුණන රස්සාවට හුරු වෙන්නත් ඇගේ කැමැත්තක් තිබුනෙ නෑ.කුමාරි පොඩි කාලෙ ඉදන්ම මහන්න මල් හදන්න පුංචි පුංචි හුරුබුහුටි දෑතේ වැඩ කරන්න හරිම දස්සයි.ගෙදර තියෙන සේසතම හූරල අතේ කරේ තියෙන දෙයක් එකතු කරල විකුනල මහන මැශිමක් දෙකක් අරන් ජිවිතේ පටන් ගන්න හීනයක් කුමාරිගෙ ඇස් ඉස්සරහ මැවුන.හෙට උදේ වෙනකොට ඒ හීනෙ පාට කරන්න ඕන කරන මුල් පියවර  තියන්නත් ඈ තීරණයක් ගත්ත.කාලෙකට පස්සෙ කුමාරිට සැහැල්ලු හුස්මක් පිට උනා. මේක ඇහුවම ඇනීට අක්කත් සතුටු වෙයි. කරන්න පුලුවන් හැම උදව්වක්ම කරයි කියන විශ්වාසෙත් කුමාරිට තිබුන.

                                          කුමාරිට ඒ රෑ නින්දක් ආවෙම නෑ. ඇඳටවත් නොගිහින් හෙට උදේම කරන්න ඕනේ දෙවල් හිතේ ලිය ලිය  ඈ උන්නෙ ඉස්තෝප්පුවෙ පුටුවකට වෙලා. මහ මුහුදෙ හෝ හෝ හඬ ඇරුනම  වෙන කිසිම සද්දයක් නැති  මේ වෙලාව රෑ දොලහත් පහුවෙලා කියල කුමාරි අද්දැකීමෙන්ම දන්නව.ගොඩක් දවසට ඇනීට අක්කගෙ ලොකු දුව මෙලීෂා රෑට කුමාරිගෙ තනියට ඉන්න එනව.ඒත් අද එහෙම දවසක් නෙවෙයි.දැන් කුමාරිට ටික ටික රෑට තනියම ඉන්න එකත් පුරුදු වෙලා.කුමාරිගෙ ඇස් යාන්තමට පිය වෙද්දිම එළිපත්තෙ පය ගැටෙන හඬක් ඇහිල ඈ ගැස්සුනා.කුමාරි එහෙමම නිසොල්මන්ව කන් දීගෙන උන්න.තප්පර ගානකට පස්සෙ ඒ පා හඬ ඉස්සර දොරට තඩි බෑවා.කවුද කියල අහන්න කට ඉස්සර කර ගන්නවද නැද්ද කියල එක තප්පරේට කුමාරි දහ දොළොස් වතාවක් හිතන්න ඇති.එක පාරටම දොරට ගහන සද්දෙ නැවතුනා. කුමාරිත් ගල් පිලිමයක් වගේ එහෙමම ගල් උනා උන්නු තැනම.ආයෙත් විනාඩියකට විතර පස්සෙ දොර හෙලවෙන්නෙ ගත්ත.

කු...මා...රී....

හුඟාක් හිමිහිට වෙනස්ම ස්වරයකින් කුමාරිගෙ නම කියනව ඇහුන.දෙවෙනි පාරටත් ඒ හඬින් තමන්ගෙ නම ඇහෙද්දි යටි පතුලෙන් පටන් ගත්ත හීතලක් ඉහ මොල රත්කරගෙන හදවතට කිදා බැස්ස.


ජූ...ඩ්... මගේ ජූ..ඩ් අයියා...
දනිපනි ගාල දොර දිහාට පැන්න කුමාරි දොර ඇරියෙ විදුලි වේගයෙන්.දොර ඉස්සරහ හිටගෙන උන්නු ඒ රූපෙ දකිද්දි කුමාරිට  දැනුනෙ තමන් සිහිසන් වෙන්න එනව වගේ.කඩමලු වෙච්ච සරමකුයි කමිසෙකුයි ඇදගෙන මූණ පුරා රැවුල වවා ගත්ත ඒ කෙසඟ මනුස්සය ජූඩ්මද කියල කුමාරි ඇහි පිය නොගහ බලන්හිටිය.ඔව් ඒ ජූඩ් තමයි.ජූඩ්ගේ ඒ ඇස් දෙක ඕන කරුවලක  මොන වේශයකින් ආවත් තමන්ට අඳුන ගන්න පුලුවන්.කුමාරි මහ හඬින් කෑ ගහගෙන ජූඩ්ව බදාගන්න දිව්ව.ඒ එක නිමේශයෙදි චටාස් ගාල වැදුනු කම්මුල් පාරකින් කුමාරිව අඩි ගානක් දුරට විසි උනා.

පට්ට බැල්ලි... තෝ මම මැරුන කියලද  යකෝ හිතුවෙ... තෝ මගේ ගේ අස්සෙම රිංගගෙන  වේස කමේ ගියාද බැල්ලියේ...

හී පාරක් වගේ පපුවෙ ඇනුන ඒ වචන කුමාරිගේ කන් දෙකේ වැදි වැදි දෝංකාර දුන්න.ජූඩ්ගෙ ගිනි පුළුඟු වගේ දිලිසෙන ඇස් තිබුනෙ කුමාරිගෙ නෙරා ආපු උදරය ළඟ.සිද්ද වෙන්න යන්නෙ මොකක්ද කියල කුමාරිගෙ ගෑණු ඉවට තේරුන.

අනේ... ජූඩ් ...අයියෙ...මේ .. ඔයාගෙ....

කුමාරිට කතාව සම්පූර්ණ කරන්න ලැබුනෙ නෑ ආපහු කන හරහා පටාස් ගාගෙන ජූඩ්ගෙ අත එහෙ මෙහෙ උනා.

බැහපිය බැල්ලි...  එලියට  යකෝ මම මැරිලත් ආයෙ ඉපදුනේ තෝ වෙනුවෙන්... තෝ මොනවද මේ මට කලේ... පල මගෙ දැහැට නොපෙනී.. මම මරනව තෝව...

ජූඩ් මාරා වේසයෙන් කෑ ගහගෙන ඇවිත් කුමාරිගෙ කොණ්ඩෙන් ඇදගෙන එලිපත්තෙන් මිදුලට තල්ලු කලේ මී කුණක් විසි කරනව වගේ.කුමාරිගෙ ඇස් දෙකට ගොඩ ගොඩ ගාල උණපු කඳුළු එහෙමම  ගල් උනා.කිසිම දෙයක් කතා කරන්න මේක වෙලාව නෙවෙයි කියල ඈට අමුතුවෙන් හිතන්න ඕන උනේ නෑ.මේ වෙලාවෙ කුමාරි කල යුතුම දේ තමාවත් දරු ගැබත් ආරක්ශා කර ගන්න එක.ජූඩ්ගෙ දරඳඩු අත් වලින් තව එක පාරක් හරි වැදුනොතින් මහ විනාසයක් වෙයි කියල ඈ හිතුව. ඒ නිසා කුමාරි පසු  බැස්ස.ඈ එහෙමම වැල්ලට දුවගෙන ගියා. ඒ යන මගදිත් ජූඩ්ගෙ ගෝරනාඩුව ඈතට ඇහුන.හැමදාමත් ඇවිත් වාරුවෙලා මුහුද දිහා බලන් ඉන්න කැඩුණු ඔරු බඳට හේත්තු වෙලා කුමාරි ලොකු හුස්මක් ගත්ත.ඈට මහා හයියෙන් ඇඩුනෙ ඊට පස්සෙයි. මෙච්චර දවසක් මේ කැඩුණු ඔරුව ළඟ ඉදන් ඈ ප්‍රාර්ථනා කලේ එකම එක දෙයයි. ඒ ජූඩ් කොයි ලෝකෙන් හරි ආයෙත් තමන් ළඟට ඒවි කියන එක.ඉතින් අද ඒක හැබෑ වෙලා.ඒත් ඒ සතුට ඇහිපිල්ලමක් ගහන පමාවට කිසිමදාක නොහිතුව විනාසයක් උනා.මේ කේන්තිය මේ වැරදි වැටහීම වැල්ලෙ  මිනිස්සු ජූඩ්ව වට කරගන්නකන් විතරක් වේවි.ඒත් ඒත් ජූඩ්ගෙ කටින් පිටවුන ඒ වචන අමතක කරන්න පුලුවන් වේවිද කියල කුමාරිටම ඈ ගැන සැකයි.තමන් මෙච්චර කාලයක් නොවිදිනා දුක් විදගෙන ආරක්ශා කරපු හැම දෙයක්ම එක වචනෙකින් හෑල්ලු උනා, ගෑණියෙක් තමන් ආදරේ කරන මිනිහගෙ කටින් අහගන්න තියෙන අන්තිම පහත් වචනයත් කුමාරි ඇහුවෙ නිය තුඩක තරම්වත් වරදක් කරල නෙවෙයි නේද කියල හිතෙද්දි කුමාරිට මැරෙන්න තරම් ආවේගයක් ආව. ඒත් කුමාරිට මැරෙන්න බෑ එහෙමනම් කුමාරි මූදට පනින්නෙ ජූඩ් අතුරුදහන් උන දවසෙමයි.ජූඩ්ගෙ ලොකුම වස්තුව තියෙන්නෙ තමන්ගෙ බඩේ ඉතින් එදත් කුමාරිට මැරෙන්න බෑ අදත් කුමාරිට මැරෙන්න බෑ.

                                අහල පහල ගෙවල් වල  ලයිට් පත්තු වෙනවත් එකා දෙන්න ජූඩ්ගෙ ගේ දිහාට දුවන හෙවනැලිත් කුමාරි වැල්ලෙ ඉදන් බලාන උන්න.අඩුම තව පැය බාගෙකින් උපරිම තව පැයකින් ජූඩ් තමන් හොයන් එනව කියල කුමාරි ඉත්තේරුවෙන්ම දන්නව.ඒ එනකොට ජූඩ්ට මේ තරම් ළඟකින් ඉන්න කුමාරිට ඕන උනේ නෑ.ඈ හිමිහිට නැගිටල වැල්ල දිගේ ඇවිදගෙන ගියා.දිගටම දිගටම ගියා.ඇන්ටන් මුදලාලිගෙ වාඩියෙ එලිය දකිනකොට කුමාරි ටිකකට නැවතුනා.ඇස් වල මිදිල තිබුන කඳුළු ගවුම් කරින් පිහිද ගත්ත.අවුල් වෙච්චි කොණ්ඩෙ දෑතින්ම හදා ගත්ත.ලොකු හුස්මක් අරන්  ඒ එලිය තියෙන දිහාට ආයෙත් දිගටම ඇවිදින්න පටන් ගත්ත. ඔව්  කුමාරි ඒ විදියට කිසිම  අරමුණක් නැතුව  දිගටම දිගටම ඔහේ ඇවිදගෙන ගියා.




                             _____________ 
නිමි _____________