සඳට බැළුම් හෙලූ අය

Feb 18, 2019

අපරාදෙ අපි ආපු දුර කියලා හිතෙනවද !




හදවතේ ගැඹුරුම තැන් සීරුවට පිරිමදින්න අහන අහන පාරට යාන්තමට ඇස් තෙත් කරන්න ගීතයකට පුලුවන්නම් ඒ ගීතය හැම අතින්ම සාර්ථක ගීතයක්.

" ඉර හැරෙන වෙලාවට"

අහපු පලවෙනි පාරම හිතට මොකද්දෝ උනා.බොහොම සරළ සාමාන්‍ය  අපූරු සිංහල වචන ටිකකට  ඒ වගේම අපූරු හඬක් සංගීතයක් එකතු උනාම මොන තරම් චමත්කාරයක් මවන්න පුලුවන්ද.ඒකෙ නිමිත්ත අපේ ජීවිත හා බැඳුනා උනත් නොවුනා උනත්  අපේ කරගෙන හැඟීම්බර වෙන්න පුලුවන්නම්  ඒ තමා ගීතයක සාර්ථකත්වය. අතීතය එක්ක ජීවත් වෙන මතකයන් විඳින විඳවන ප්‍රේමයට තරමටම විරහවටත් පෙම් බඳින සංවේදී  ඕනම කෙනෙකුට මේ ගීතය තමන්ගේ ජීවිතේ කොතැනකට හරි යා කරගෙන හදවතින්ම විඳින්න පුලුවන්.

ඉතින්  මම මේ සිංදුව එහෙම වින්ඳා...තාමත් විඳිනවා...කොච්චර වින්ඳාද කියනවනම් තුන් වෙනි පාර අහද්දි මගේ අතින් ඒ පද වලට සමාන පද හතරක් කොහේ කවදා හරි ලිව්වා වගේ මතකයක් ආවා.හොයලා බලනකොට ඔව්නේ මීට අවුරුදු හතරකට කලින් මම  මෙන්න මේ වගේ ලියලා තිබුනා .




මේ පද හතර කියවලා විනාඩියක් දෙකක් ඇතුලෙ මම ඉර හැරෙන වෙලාවට සිංදුවට රිප්ලයි එකකුත් ලියලා ඉවරයි.හිතට දැනුනු නවල් එකක ෆිල්ම් එකක ඩ්‍රාමා එකක චරිත වලට මම අනන්ත කවි ලියලා තියෙනවා.මට මතක විදියට ගීතයක් මෙච්චර දැනිලා ඒකට  උත්තර  ලියවුනු පළවෙනි වතාව මේක.අද කාලේ එහෙම හිතට වැදෙන ගීත හරි අඩුයි.  අපි මචං ඔයාලා තව කාලයක් යනකං  මේ ගීතයෙන් මගේ හිත හොල්ලාවි.


මේ තියෙන්නෙ අපි මචංලගෙ  ඉර හැරෙන වෙලාවට කැමතිනම් ඔයාලත් අහල විඳල බලන්න

ඉර හැරෙන වෙලාවට තාම කවි ගොතනවද
මහ රෑට නිදි නැතුව මතක පොත ලියනවද
මං දීපු වතුසුද්ද ගහේ මල් පිපෙනවද
අපරාදෙ අපි ආපු දුර කියලා හිතෙනවද

වරු ගනන් මුමුණන්න කෙනෙක් දැන් ඉන්නවද
ගව් ගනන් අත් බැඳන් දුර ගමන් යනවාද
පැය ගනන් පොඩි දේට තරහා වෙලා ඉන්නවද
මට කරපු තරමටම ආදරේ කරනවද

තවමත් එදා මතක මට වගෙම මතකයිද
නෙතු පියා ගන්නවත් බැරි තරම් කරදරද
මට වගේ මට හොරා ඔය ඇසුත් තෙමෙනවද
කූඩු වී යන දාට නොකිය යන් නෑ නේද






මේ තියෙන්නෙ සිංදුව අහල මම ලියපු කවිය ඒ තරම්ම සාර්ථක නැති උනත් මම , මම ලියපු පද වලටත් ආදරෙයි.

මං නැතුව පාලුවක් ඔය හිතට දැනෙනවද
මං වගෙම හදවතින් ඔයත් ඉකිබිඳිනවද
හැර ගිහින් මේ ලෙසට සැනසෙන්න හිතනවද
අපි ආයෙ කවදා හරි අපේ නෙතු දකිනවද

මගෙ සුවඳ තවම ඔය මතකයේ තියෙනවද
තව එකම වරක් මගෙ හිස ආයෙ ඉඹිනවද
නෙතු පියන හැම රෑක මගෙ හුස්ම දැනෙනවද
එදා වාගෙම අදත් ඇස් කතා කරනවද

ඔය හිතේ මං උන්නු තැන තාම තියෙනවද
මං නැතත් කවුරු හරි හිතට තනි රකිනවද
මේ බවයෙ තවත් දුර එක්ව යනු බෑ නේද
මතු සසරෙ හමුවුනොත් දාල යන්නෑ නේද


10 comments:

  1. පිළිතුරු කවිය සඳවතීගේ ලයාන්විතයි....අපි මචං ලගේ කවර් සෝන්ග් එකක් මේක..ඔරිජිනල් ආටිස්ට් ජගත් ධම්මික...පද ලියල තියෙන්නේ චතුක මදුරංග....😂

    ReplyDelete
    Replies
    1. හප්පා... ඒක මම දැනගෙන හිටියේ නෑනේ..මංචන්ලගෙ සිංදුව ඇහෙනකම්ම මම මේක කලින් අහලා තිබුනෙත් නෑ....ආකි ඔයා කිව්වම මම අහලා බැලුවා ඔර්ජිනල්නම් මේකෙ අහලකටවත් ගන්න බෑ වගේ මටනම් ඔර්ජිනල් එක වෙනස්ම එකක් වගේ.හැබැයි මේ දැනුවත් කිරීමනම් වටිනවා. ස්තූතියි ආකි..

      Delete
  2. ආදරණියයි.. රසයි.. විරහ රහ අවුස්සනවා.. :)

    බිඳුන බඳුනකට පිරියම් යෙදුවත් කැළල මැකෙන්නේ නෑ වගේ කාගේ මොන වැරැද්දෙන් අපි වෙන්වුනත් ඔයා නැති හිඩැස පිරෙන්නේ නෑ.. හ්ම්ම්..

    ReplyDelete
  3. අහඹුවක් නුඹ හිතක පැටළුන
    ඇසට ඇස හමු නොවී පෙම් කළ
    හුරු පුරුදුකම් දැනුනු බව ඇත්තයි
    නුඹ එදත් හරි පුදුමයි

    ReplyDelete
    Replies
    1. මෑත කාලෙදි අහපු දිවුල්ගනේගේ ලස්සන ගායනයක් මේකත්

      Delete
  4. පිළිතුරු කවියත් ගීතයක් කලොත් හොදයි වගේ ... රහයි ....

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඒ අගය කිරීමට...බලමු ඉදිරියේදී එහෙම එකක් කරන්න පුලුවන්ද කියලා

      Delete
  5. හරිම ලස්සනයි පිළිතුරු කවිය

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...