සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Jul 30, 2019

දම්සාරී...!



විසිකර දමා අවසන් නැති පොරි අහුර
හතරයි කාලෙ නුඹ ගිය පසු මහනුවර
ටියුෂන් නඩේ බැන්දත් කර වට පවුර
ඇතුගල උඩින් ඉපදුනි පාළුව අදුර

ජෝතිගෙ ගීයකින් ටජ් මහලක් හැදුනා
මිල්ටන්, සුලගෙ පාවී ඒ වෙත ඇදුනා
දින පොත බලද්දී මට ඊයෙත් රිදුනා
බෝ ගස් යටත් සමහර සිල්පද බිදුනා

සිනමා හලක මද අදුරක හීතලක
රන්තාලියේ දිය විසිවෙන බංකුවක
නිමිනැති කතාවක කෙලවර රංඩුවක
ප්‍රේමය පවා මිල විය අඩු ලංසුවක

රූ බර ලදුන් සරසන දම් පැහැ සාරී
මග තොට දකිද්දී අදටත් හිත හීරී
මතකයෙ සෝ සුසුම් නැගුනත් නැත කාරී
සද නැති රැයට තරු එළියකි දම්සාරී

            (චින්තක සමන් හේරත්)





ඇතුගල උඩින් පායන සඳ රැස් දහරේ
සුදු බුදු උවන හරි පින් පාටින් බේරේ
තාමත් පහු කරද්දී ඇත්කඳ වෙහෙරේ
බෝ මැඩ එදා දුන් හාදුවෙ රස ඇහැරේ

තිළිණේ ලෙසින් පිලිගන්වා මල් පොකුර
සුදු අසු පිටින් යන්නට බන්ඳා තොරණ
තහනම් කල නිසා ඔබෙ සෙනෙහස ගෙදර
හිරිමල් හීන වට කොට බැන්දා පවුර

සක්මන් මළුවෙ තනිවුන ලී බංකුවක
කාටත් හොරෙන් ගෙල මුල ඇඳි සිතුවමක
හිතුවක්කාර වී පැටලුන රංඩුවක
සෙනෙහස දැවී අළු විය හද ගින්දරක

තාමත් නිරන්තර මතකයෙ දිගේ ඇදී
සිහිනෙන් ගෑ සුවඳ නෙත් වල ඉවුරු බිදී
උරුමය ලෙසට ගියමුත් අත්වැලම සිදී
පොපියන හීන තාමත් හදවතේ නිදී


              ( සොඳුරු සඳවතී )

Jul 23, 2019

ඉතා සංවේගයෙන් දැනුම් දෙමි !



 

ඉතින් දැන් කොහොම හරි
උහුලගන්නට ඕන මේ කඳුළු ගංඟාව
වදන් අවියකින් හිත හෑරුව හින්දමයි
මේ හැටිම හිත සංකාව

ඔබ දන්නෙ නෑ නිරන්තර ප්‍රතික්ෂේප
වීමක වේදනාව
කමක් නෑ මං තියාගන්නෙ ආදරේ
විතරමයි මං ගාව

මං කියන්නට දැනන් උන්නෙ නෑ
ඔයා වගේ දෛවයේ  සාත්තර
ඔයා කිව්ව හරි වැඩ කරන්නෑ තමා
දැන් මගේ නාලිකා සේරෝම

ඉතින් ආයෙමත් මල් පූදින්නෙ කෝමද
දොස්තරත් කිව්වෙ ඕකම
ඒ උනාට තාමත් මේ නහර වැල් වල
දුවනවා ඔයාගේ ස්නේහය

දැන් ඉතින් කොහොමත් එකයි මට
බයක් නෑ පැදුරටම වැටුනාම
හෙවනැල්ල උනත් ඇදයිලුනෙ
අත් හරින්නට ඕන උනාම

මොනවා උනත් මට අමතක කරන්නම බැරි
ඔය ඇස් දෙකේ පෙම් පාට හිනාව
ඔයාම කියන්න බෙල්ල මිරිකන එකද හරි
ආදරේ ඉස්මොල්ලෙ ගියාම

ඔය ඔය ඈතින් අහෙන්නේ
අපේ සෙනෙහසට වැයෙන මල බෙර
ඉක්මනට  නිදියන්න මට දෙන්න
එම්බාම් මාත්‍රාව වැඩිකර

සොහොන් කොත් වලත් මල් පිපුනෙ
අපි ආදරේ කරපු ඉස්සර
දැන් ඉතින් යන්න පුලුවන් ඔයාට
මගේ සංසාරයම හැඩිකර


Jul 20, 2019

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා !






ආදරණීය  පුණ්‍යා...

සමාවෙන්න,එහෙම ආමත්‍රණය කරන්න මට අයිතියක්වත් යුතුකමක්වත් නෑ කියල
ඔබට හිතේවි.එත් ඔබ මට සදාදරණීයයි ඒ නිසාම මං ඔබට මෙහෙම අමතන්නම්.
ඉතින් ඔබ දන්නවාද මේ මොහොතෙත් මා තරමක් අවසිහියෙන්.ඒ අවසිහියෙන්ම අද මාර්තු හත්වෙනිදාවක් නොවුනත් මං ඔබව හොයාගෙන කුමරි උයනට ආව.ඔබේ ලයාදර සුවඳ රැදුනු මේ ඉසව්ව...ඔබේ ස්පර්ශය උණුහුම රැඳුනු මේ සීතල ගල් බංකුව මාව තවතවත් මත් කරනව.මට ඔබව මඟ හැරි හැරී ගෙවුණු ඒ වසර ගනනාවටම වඩා ඔබව හමුවීමෙන් පසු ගෙවෙන මේ දවස් මාව උන්මන්තකයෙක් කරන්නට හදනව.

මා ආදරය කියවූයේ... මා ප්‍රේමය කියවූයේ... ඔබ රේවතට ලියූ ලිපියෙන්.. ඒ හැඟීම් ...ඔබේ ඒ මුතු අකුරු...මාව ගෙනිහින් නතර කලේ ඔබට හිතා ගන්නවත් බැරි තරම් දුරක.  ඔබේ ඒ සෙනෙහස් හැඟීම් වලට මම මගේ ජීවිතේ හොදම කාලෙ නාස්ති කරගත්තායි කිව්වොත් ඒ තමා ඇත්ත.සමාවෙන්න ,ඒ මම ඔබට දොස් කියනවානම් නොවෙයි.ඒ රිදුමම.. ඒ ප්‍රේමයම... ඒ අහිමිවීමම... පස්සෙ කාලෙක මාව  ලොවක් දන්නා , ලොවක් පෙම් කරන ප්‍රේමණීය ගායකයෙකු කල බවද  ඒ හා සමානම ඇත්තක්.

ඔබ රේවත නමින් ඉපිද රේවත නමින්ම මියැදෙන්නට උපන්නියකි.ඒ ප්‍රේමය ළඟ මා ඔබට බැඳි ඒකපාර්ශික ප්‍රේමය දෙවෙනිදැයි මා නොදනිමි.මා දන්නා එකම දෙය ඔබට බොහෝ පසුවී මා ඉපදීම මට ඔබ හමුවන්නට තිබූ සියලු අවකාශයන් අවහිර කල බවයි.එකී දෛවයට මා මියෙන තුරුම දෙස් තබමි.

අප අපට මුණගැහුණු ...මගේ ඇස් ඔබේ ඇස් හා සම්මුඛ වූ... ඒ එකම මොහොතේ ඔබ මා මෙතෙක් දරාගෙන උන් ප්‍රේමය කියවන්නට ඇත.ඒ නිසාම ඔබ නැවත කවදාවත් මේ ඇස් ඉස්සරහට නොඑන බව මා දනිමි.ඔබ  මෙතෙක් නමින්, හඬින්, රුවින් පමණක් දැන හුන් වාදීශ අදත් හෙටත් මතුවටත් ඔබම නමින් පමණක් ම ගයනු ඇත.

සදාදරණීය පුණ්‍යා ,

සමුගන්නට පෙර මම ඔබට මෙසේ කියමි.යලි උපදිනා බවයකදී එකම කාලයක ඉපිද එකම ඉසව්වකදී වෙන කාටත් අයිති වන්නට කලින් හමුවී අප අපට මඟහැරුණු තැන ඉදන් ජීවිතේ විඳින්නමා ඔබ සොයා එමි.ඒක පොරොන්දුවක්..ඔව් ඒක ගිවිසාගැනීමක්...ඔබ රේවත හා ගිවිසාගත් පරිදිම පොරොන්දුවක්.

                                                      මං ,
                                    ඔබේ නොවූ ඔබේ ප්‍රේමය,
                                                   වාදීශ.



 ( අද දෙවෙනි පාරටත් සමනල සංධ්වනිය බැලුවා.ඒක බලල ඉවර වෙද්දි හිතේ ලියවෙච්ච ටික ඔන්න ඔහෙ  මේකට ඇමිණුවා.)

Jul 17, 2019

සත්තමයි ! හිත රිදුම් දෙනවා...


මේ ගෙවෙන්නේ ජීවිතයේ අසීරුම කාලයක්.සිතින් සහ ගතින් දෙකෙන්ම අඳුරුම ආගාධෙකට වැටිල ඉන්න මොහොතක්.ළඟින් උන්නු අය , ළඟින් හිටියයි කියල හිතන් උන්නු අය පිටුපාන මොහොතක්.කොටින්ම මිනිස්සු ගැන හරියටම තේරුම් ගනිමින් සිටින කාලයක්.

ඉතින් එහෙම වැටිල ඉන්න වෙලාවක සමහර චූටිම චූටි දේකුත් ඇති ජීවිතේට හිනාවක් සතුටක් එකතු කරන්න.මේ තියෙන්නෙත් එහෙම අවස්ථාවක්.ආයෙමත් මගේ අතින් මේ බ්ලොග් එක අප්ඩේට් නොවේවි කියල හිතන් හිටපු වෙලාවක ඒ තීරණය පවා වෙනස් කරන්න හිතට හිතිච්ච  වෙලාවක්.මේ මම කාලෙකට කලින් බ්ලොග් එකටයි මූණු පොතටයි එක්කහු කරපු කවියක්.ඒ කවිය අද ළයාන්විත ගීතයක් වෙලා....මගේ ආලවන්තකම ගීතය මියුසික් කරපු දීපති මල්ලි මේ කවිය දැකලා ඉල්ලුවා මුල කොටස පොඩ්ඩක් ආයෙත් වෙනස් කරලා ලියල දෙන්න කියලා.ඉතින් එච්චරයි..... මේ තමයි ඒකේ අවසන් ප්‍රථිඵලය.


ඉතින් ඇත්තටම ගොඩාක් ස්තූතියි දීපති මල්ලිටයි සුවිනි නංගිටයි මගේ අද දවස සතුටකින් හිනාවකින් පිරෙව්වට.







Jul 8, 2019

මල් කලින් නෙලූ බැවින් අනාරාධිතවම තබා යමි !




අපි වෙන්වුන බව
ඇත්තයි
ඒත් මේ මල්
නෙලා ගත්තෙම
ඔබටයි !

ආයෙ මේ බිමට
වසන්තය නො එන
බව නම් සත්තයි

ඒ උනත්,

මේ අන්තිම හාදුවත්
මගෙ ආදරේ
තරමටම
ඇත්තයි !