සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Sep 26, 2019

ඔබ සංසාර රිදුමක් !



ඔබ

සංසාර
රිදුමක් !

පපු කුහර
පිරිමදින
සුසුමක් !

ලං වෙන්න
බැරි ගගන
තරුවක් !

හැර යන්න
බැරි මතක
අහුරක් !

Sep 24, 2019

පෙම්වන්ත නොවූ පෙම්වත !


පලින් පල ලෙහී ඉහිරුණු
කඩමාලු අතීතෙක
මතක මැස්මක් දෙකක්
හැරුණු  කොට
දැන් ඉතින්
අල්ලා බදා ගන්නට
කිසිවක්ම නැති...

අනපේක්ෂිත  මොහොතක
අපේක්ෂිත හාදුවක
සුවඳ සුසුමින්
මන්මත්වීම
හදිසි අනතුරකැයි  සිතා
සලකුණු  මැකෙන තුරු
දරාගැනීමේ ලේපය ගැල්වීම
තමයි දැන් යුතු....

දකින්නට සිහින මැවීම
ඒ හීන සැබෑ කරගන්නට
වෙහෙසීම
මෙයින් මතු අත් හරින්නට
තීරණය කර ගත් බැවින්
ආදරෙයි  ආදරෙයි  කිය කියා
ඔබේ පසු පස යලි නො එල්ලෙමි
සත්තමයි
යලිදු කිසිදාක...


........................................

" ආදරේ තියෙන්නෙම
  අයිති නැති තැන් වල
  දුර ඉන්න කොටත්
 ළඟ වගේ දැනෙන එකට "

කවියොනම් කියන්නෙම ඔහොම
මල විකාර !  උන්ට පිස්සුද කොහෙද

ආදරේ කියන්නෙම ,
පොරොන්දු  දෙන එකට
එවා කඩල බිඳල දාන එකට
උන්නාද මැරිලාද හොයා
නොබලන එකට
දුකක වේදනාවකදි
අහක බලන එකට
මතක් උනත් අමතක උනා
වගේ ඉන්න එකට
කොටින්ම ආදරේ කියන්නේ
යාලු කමත් නැති වෙන එකට...

හා හා දැන් ඔබ කියාවි
ආයෙමත් ආදරේ බව
ඉතින් ආදරේ කියන්නෙම
ඔන්න ඕකට
ආයෙ ආයෙමත් රැවටෙන එකට ...

Sep 12, 2019

සඳ අමාවක !





ඊයේ වගේම අදත් පාන්දර ඉදන්ම එක සීරුවට වැස්ස.වෙනදටනම් මේ වගේ ධාරාණිපාත වරුසාවක් කියන්නෙ මං ජීවයෙන් පිරෙනවා කියන එකට.පැට්ටවත් එක්කහු කරගෙන කඩදාසි බෝට්ටු හදල වැහි වතුරෙ පා කරන්න, ගේ වටේ දුව දුව පීලී වලට ඔලුව අල්ලන්න, උණු උණු කිරි කෝපි එකක් ළඟින් තියාගෙන ආසම නවකතාවක් කියවන්න , කම්මැලි හිතුනම ගුලි වෙලා නිදාගන්න ,ඒ සේරටමත් වැඩිය කාමරේ ජනේලෙන් මහ වරුසාව දිහා බලන් ඉන්න, එතකොට මේ වැස්ස වගේම කඩා හැලෙන සිතුවිලි අකුරු කරන්න.

ඒත් ඒ කිසිම දේකට අද වෙනකොට මට ආසාවක් කැමැත්තක් නැතුව ගිහින්.මුකුත්ම ලියවෙන්නෙ නැතුව සමහර කාල වලට සිතුවිලි හිස් වෙන එක අමුතු දෙයක් නෙවෙයි.ඒක මං මීට කලිනුත් අත්විඳලා තියෙන දෙයක්.සතියක් දෙකක් මාසයක් විතර වෙනකොට ඉබේම හරි ගිය දෙයක්.ඒත් මේ ගෙවෙන්නේ එහෙම සාමාන්‍ය කාලයක් නෙවෙයි.සිතුවිලි වල පුදුමාකාර හිස් කමක් ...කඩාවැටීමක් ...මහා පරාජිත කමක්.. පිලිවෙලට පුටුවක මේසෙක වාඩි වෙලා දැන් මං කවියක් කතාවක් ලියන්න ඕනෙ කියල හිතල කවදාවත් මගේ අතින් කිසිම දෙයක් ලියවිල නෑ .විශ්වාස කරන්න මං මේ පාර එහෙමත් උත්සහ කරල බැලුව.පුදුමෙ කියන්නෙ එහෙම උත්සහ කරලත් මට අකුරක්වත් ගලපගන්න බැරි වෙච්ච එක.ගොඩක් දෙනෙක් හිතන්නෙත් පිලිගන්නෙත් ලියන කෙනෙකුට විශාල දුකක් කඩාවැටීමක් පරාජිත බවක් මහා පරිමාණ  විරහවක් එහෙමත් නැත්තං ඒකෙම අනිත් පැත්ත විශාල සතුටක්, හිමිවීමක්, ප්‍රීතියක් අත්විඳින්න ලැබුනම ඉබේම අති සුන්දර නිර්මාණ බිහි වෙනව කියල.ඔව් ඒකේ ඇත්තක් නැත්තෙමත් නෑ මමත් ඒක යම්තාක් දුරකට පිලිගන්නව. හැබැයි ඉතින් ඒක එහෙමනං මේ ගත වෙන්නෙ කවි ඇල්ලක් කඩා වැටෙන්න ඕන දවස්.සිතුවිලි වරුසාවක් වැහැල ඒ වැස්සට තෙමිල උණසන්නිපාතය හැදෙන්න ඕන දවස්.ඒත් මං නිහඬයි...මගේ සිතුවිලි මැරිල..ලියන එක මගේ ජීවිතේ මං ආසම මට ඕනම දේ.හරියට කෑම බීම වගේ  ලෙඩකදි දුකකදි ගන්න බේත් හේත් වගේ නැතුව බැරි දෙයක්.මොන තරම් සතුටක හිටියත් මොන තරම් දුකක හිටියත් වෙනදට හිත පිරෙන ඉතිරෙන ගතිය කොහේ ගිහින්ද මන්ද.මේ තරම් හයියෙන් වහිද්දිත් මේ තරම් සීතලක් දැනෙද්දිත් ජනේලෙන් ගෙට පනින හිරිකඩ මූණේ වදිද්දිත් මට දැනෙන්නෙ නිස්සාර කාන්තාර හැගීමක්.මහා හයියෙන් ඉකිගහල අඬන්න හිතෙන වෙලාවක ඉකිය හිරකර ගන්න උනොත් කඳුළු හංඟගන්න උනොත් මොන තරම් අපහසුවක් අසරණ කමක් දැනෙනවද...? මං මේ දවස්වල ඉන්නෙත් අන්න ඒ වගේ අසරණ අපහසුතාවයකින්.වක්කඩ කැඩුවා වගේ හැඟීම් පිට දාන්න තියෙනවනම්....ඒත් එහෙම පිට දාන්නත් කෝ හැඟීම්..? මට දැනෙන්නෙ මං සම්පූර්ණයෙන් හිස් වගේ. දන්නෙ නෑ දැනෙන්නෑ කොච්චර කාලෙකටද කියල.මට හිතෙන්නෙම සඳවතීට අමාවක ලබල කියල.


                             +    +   +    +    +   +   +   +   +       
    

හිස් වෙච්ච හදවතින් තෝන්තුවාවෙන් බ්ලොග් එකේ එහෙ මෙහෙ වෙද්දි තමයි අහම්බෙන් වගේ දැක්කෙ මේ  වෙනකොට මම බ්ලොග් ලෝකෙට ඇවිල්ල අවුරුදු නමයකුත් සම්පූර්ණ වෙලා කියල.Sep 10, 2010 වෙනිදා තමයි මගේ පලවෙනි පෝස්ට් එක පබ්ලිශ් කරල තියෙන්නෙ.මෙච්චර කාලෙකට මම බ්ලොග් එකේ අවුරුදු පිරෙනකොටවත් පෝස්ට් පනහ, සීය වෙනකොටවත් ඒ ගැන සමරලා පෝස්ට් දාලා නෑ.ඒත් අද ඒක දැක්කට පස්සෙ තමා මෙහෙමවත් මොනා හරි ලියන්න ඕනේ කියල  ඔය උඩ ටික ලියාගෙන ලියාගෙන ගියේ.