සඳට බැළුම් හෙලූ අය

Mar 30, 2017

සත්තලන්ගෙ රස කතා





ඉතින් මේ ගෙවෙන්නෙ  බ්ලොග් කරුවන්ගේ  නෙළුම් යායේ  පෙර කතා  පසු කතා සහ පින්තූර කතා බලලා නෙළුම් යාය ඉස්මුරුත්තාවට ආපු කාලයක්.හප්පච්චියේ  බ්ලොග් ලෝකෙ සුන්දර හිතැත්තන් හිතැත්තියන් එකට එක්කාසු වෙලා ගත්ත පින්තූර දකිද්දී හනේ... මමත් හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි.ඒත් ඉතින් මට මේ පාර ඒ වාසනාව හිතුවෙ නැති විදියට අත්හරින්න උනා.හැබැයි සහභාගී වෙන්න බැරි උනත් සතුටු වෙන්න කාරණා නම් බොහොමයි. මම නිතර යන එන  සොඳුරු බ්ලොග් කරුවන් කීප දෙනෙක්ම සම්මානයට පාත්‍රවීම, මේ නෙළුම් යාය නිසාම  බුකියේ දමන පෝස්ටු වලින් නිර්ණාමිකයන් බොහෝ දෙනෙක්ව සැබෑ මුහුණුවරින් හමුවීම,මෙතෙක් දැන නොසිටි බ්ලොග් වලට ගිහින් ඒ  කතා කියවන්න ලැබීම වගේ  බොහෝ හොද දේ  සිද්ද උනා.ඒ විතරක් නෙවෙයි මට මේ කට්ටියව මරන් කන්න තරම්  පොඩි පහේ තරහකුත් නැතුවම නෙවෙයි මම දුන්න අභියෝගය මේ කිසි කෙනෙකුට මතක නැති පාටයි අප්පා.සමහර විට මේ නෙළුම් යායේ උණුහුමට ඒක යටපත් වෙලා ගිහින් වගේ.අර ඉයන් විතරයි හැරෙන තැපෑලෙන් අභියෝගයට උත්තර දුන්නේ. ඒ වගේම අද  මගේ පිලොසොෆියත් ඔන්න අභියෝගය  බාර අරන් තිබුනා. ඉතින් ඔය දෙන්නටම ගොඩක් ස්තූතී හොදේ. රස්ති කියපු පාර දිගේ ගිහින් බැලුවම මෙන්න  මම  මෙතෙක් නොදැන සිටි කෙනෙකුත්  ගී 10ක් දාලා තිබුනා.ඒ වග  තුග දැන ගන්නනම් වගතුග  ඔබලම බලන්න වෙනෝ. ආ රස්තියාදුකාරයත් කොයි වෙලේ හරි දානවා කියලා පොඩි ඉඟියක් දුන්නා.ඒකත් මැදෑ ඉතින් මේ වෙලාවේ හැටියට.අනිත් උන්දලා ගැනනම් කතා කරලා වැඩක් නෑ ඉහි ඉහි ඉහි.

 හා ඉතින් ඒ කතා අමතක කරලා අද කතාව පටන් ගමුකෝ.ඔන්න අද තියෙන්නෙ සත්තලන්ගෙ රස කතා.හැබැයි ඉතින් එව්ව මේ කාලේ කතා නෙවෙයි මේ කාලේ එව්වා. බෝ පැලයක් වගේ ඉන්න මට මේ උන්දෑ කියන කතා රෙදි ඇදගෙන ප්‍රසිද්ධියේ ලියන්න මොකක්ද මොකක්ද වගේ.ඒ නිසා මේ අද ලියන්නේ සත්තලන් හිච්චි එකා කාලේ කියපු කතන්දර ටිකක්.මෙව්වා ඉතින් මට කියන්නේ එයානම් නෙවෙයි මගේ ආදර දෙවෙනි මව් ඒ කියන්නෙ  නැන්දම්මා විසින්ම සත්තලන්ගේ පවුලේ දෙනෝ දාහක් ඉදිරියේම මට කියපුවා.ඒ නිසා මේවා සත්තම සත්ත කතන්දර හොදේ. ඔය සත්තලන් කොලුවගේ ගම් පලාත දකුණේ බෙලිඅත්ත පැත්තේ නොවැ. ආ.. අර රටේම අප්පච්චි වෙලා උන්න කෙනාගේ ගම් පලාත කිට්ටුවමයි.ඒ සත්තලන්ගේ තාත්තගේ ගම වෙච්චි ඕං ඔහෙ අවුරුදු 18 ක්ම ජීවත් වෙලා  තමයි එයාලා පවුල පිටින්ම  අම්මගේ ගම වෙච්චි හෝමාගමට සංක්‍රමණය වෙලා තියෙන්නෙ.ඔය අවුරුදු 18ක ගමේ ජීවිතේ ගැන එයාට තියෙන බොහොම සුන්දර වගේම කටුක අත්දැකීමුත් එමටයි. එයා වෙලාවකට එව්වා රස කර කර කියනකොට මම අහන් ඉන්නේ කන් වලින් විතරක් නෙවෙයි ඇස් වලිනුයි කටිනුයි දෙකෙම්මත්.එව්වා ඉතින් පෝස්ට් එකක ලියලා හමාර කරන්න පුලුවන් දේවල් නෙවෙයි පොතක් ලියන්න තරම්. මම ඉතින් වෙලාවකට සලකනවා මදි උනාට  ඔය සත්තලන් කියන්නේ පොඩි කාලේ ඉදන්ම  ගෙදරට, ඉස්කෝලෙට, ගමට හරීම හොද පුතෙක්.සත්තලන්ගේ තාත්තට සහෝදර සහෝදරියො නම දෙනෙක්ම ඉන්නවා ඒ සනුහරේටම හොදම පුතෙක්  හොදම අයියෙක් මල්ලියෙක් වෙන එකම පොඩි සෙල්ලමක් නෙවෙයි.අපරාදේ කියන බෑ එයා තාමත් ඒ තැන ඒ ලෙසටම තියාගෙන ඉන්නවා.අදටත් ගමට ගියාම එයාගේ හත වරිගෙම එයාවයි එයාගෙ ලස්සන නෝන පොඩ්ඩවයි ( හක හක  සභාවේ සිනා) ඉස්තලන් කොලු පැටියවයි බලන්න එනවා.එව්ව මොකටද ඉතින් අපේ අම්මාටත් මට වඩා ලොකු ඔය බෑනා පොඩ්ඩ වෙච්චි කොට.මං වගේ අස්ස කුලප්පුව හැදිච්ච නෑම්බියෙකුට මේ බෑනා හොද වැඩී කියලා තමයි එයත් කියන්නේ.

දැන් ඉතින් මෙව්වා ලිය ලිය ඉන්න ගියොත්  රස කතා ටික කියන්න අමතක වෙනවා මට ඒ නිසා ඔන්න පටන් ගන්නවා ඒ ටික කියන්න.

(රස කතා 1)

ඔන්න සත්තලන්ට වයස අවුරුදු තුනාමාරක් හතරක් විතර ඇතිලු.එතකොට  එයාගෙ මල්ලි බබාට  එකාමාරක් දෙකක් විතර වයසලු.අම්මා මල්ලි බබාව උකුළේ දාගෙන දොයි කරනවලු සිංදු කිය කිය.සත්තලන් එකත් ළඟට වෙලා ඉන්නවලු.

මගේ නීල නෙත් සඟළින් මොනවද ඔබ ඉල්ලන්නේ...

අම්මා ඔය සිංදුව පටන් ගත්තා විතරලු එක පාරටම සත්තලන් මෙහෙම කිව්වලු.

අම්ම කුක්කු .. අම්ම කුක්කු...


(රස කතා 2)

මේත් මොන්ටිසෝරි වයසේදී එදා මොන්ටිසෝරියේ  භාවනා වැඩසටහනක් තිබ්බලු.ටීචර්  සියලු දෙනාම එරමිණියා ගොතාගෙන වාඩි වෙන්න කිව්වලු.සත්තලන් පන කඩාගෙන අම්ම ළඟට දුවගෙන ආවලු

අම්මෙ... අම්මෙ එරමිණියා ගොතනකොට කටු ඇනෙන්නෙ නැද්ද ඇහුවලු.

(රස කතා 3)

ඔය ඉස්සර තිබුනනේ මගේ වැඩ පොත කියලා එකක් ඉතින්  ඔන්න අම්මා දවසක් සත්තලන්ට  කියනවලු

පුතා.... මගේ වැඩ පොත අරන් එන්න ගෙදර වැඩ කරන්න...

සත්තලන් කියනවලු

අම්මගෙ වැඩ පොත වෙන්නෙ කොහොමද ඒක මගේ වැඩ පොතනෙ කියලා.

ඒ කතාව වගේම තමයි මේ කතාවත්.ඔය ගම් පලාත්වල ඒ කාලේ බත් රූම් නෑ නොවැ. ටොයිලට් එක තියෙන්නෙත් ගෙදර ඉදලා හත් ගව්වක් විතර දුරනෙ.සත්තලන්ගෙ මහ ගෙදරත් එසේම තමයි.ඔන්න සත්තලන් බරක් නිදහස් කර ගන්න දුවනවලු ටොයිලට් එකට දොර වහලාලු.
මෙයා ඇහුවලු කවුද කියලා ඇතුලෙන් උත්තරයක් ආවලු මම කියල. සත්තලන්ට මල පැන්නලු
මම වෙන්නෙ කොහොමද ඔහේනෙ ඇතුලෙ කිව්වලු.

(රස කතා 4 )

දැන් ඔය සත්තලන්ලා බෙලිඅත්තේ ඉදලා හැම නිවාඩුවටම අම්මගෙ ගම රට වෙච්චි හෝමාගමට නෑගම් එනවලු.ඔය හෝමාගම ගලවිල වත්තේ Upali Group  එක කෙලවරේම තාප්පෙට අල්ලපු ඉඩම තමා
අම්මගෙ මහ ගෙදර සත්තලන් කියන විදියට  කැන්ඩෝස් එකේ අයිතිකාරයවත් එයාලා තරම් චොකලට් කාලා නෑ.expiry date එකට මාසයක් හමාරක් තියෙන නානාප්‍රකාර ටොෆි චොකලට ලොරි පිටින් ගෙනල්ලලු වත්ත මායිමේ ගොඩ ගහන්නේ තාප්පෙන් හොරෙන් පැනලා චොකලට් කන එක තමාලු හෝමාගම ආව කාලෙට සත්තලන්ලා දවසම කරන්නේ.ඔය තේ කෝපි  පොඩි පොඩි ගෙදර හදන රසකැවිලි ජාති එහෙම දීලා මෙයාලා ගාඩ්ලව එහෙමත් යාලු කරන් ඉදලා.ඉතින් දවසක් ගාඩ් කෙනෙකුට මොනාද දෙන්න මෙයාලා මාමේ... මාමේ කිය කිය කෑගහනවලු කොළඹ ඉන්න ලොකු අම්මගේ ළමයි අංකල්... අංකල්...කිය කිය කෑගහනවලු.ඔන්න සත්තලන් එක පාරටම කෑ ගහනවලු අංකල් මාමේ... අංකල් මාමේ..කිය කිය.ඒ කාලේ ගම්පලාත්වල කවදාවත්  ඉංග්‍රීසි වචන  පාවිච්චියක් නැති නිසා  සත්තලන් හිතලා තියෙන්නෙ අංකල් කියන්නේ  එයාගේ නම කියලලු.

ඉතින් ඔය පොඩි කාලෙත් සත්තලන් කියන එකා දැන් වගේම අංජබජල් කතා තමයි කියලා තියෙන්නේ.තව මහ ගොඩක් තියෙනවා ඒත්  ටයිප් කිරීමේ කම්මැලි කම තියෙනවනෙ අප්පා. ඒ නිසා මේ මදෑ.

Mar 22, 2017

වික්ටරුයි මමයි , බ්ලොග් ලියන අයයි




ඉතින් දැන් මේ මැදෑ ලියන්නට කියවන්නට බැරි දුකින් පීඩා වින්දා.හදවතම සිතුවිළි වලින් හිස් වෙච්ච  කාලයක් ඕං යාන්තමට ගෙවල හමාර කලා.උපන්දිනයට හම්බවුණු අලුත්ම නවකතා පොත් 6ක් කණ්නාඩිමේසේ උඩ  අනේ මාව කියවන්නකෝ  කිය කිය බලාන ඉන්නව.බාගෙට ලියල සේව් කරපු කයි කතන්දර හත අටක්ම බ්ලොග් එකේ ඔහේ පල් වෙවී තියෙනව.එව්වනම් ඉතින් කවදා ඉවර කරයිද කියල මමවත් දන්නෙ නෑ. මම ගැන කතාව එහෙම තියෙද්දි මුලු බ්ලොග් ලෝකෙම පොඩි පසුබෑමකුත්  දකින්න තියෙනව.විස්කි වඩියක් බිබී සතියකට එකක්වත් බ්ලොග් පෝස්ට් එකක් ලියපු අර කොච්චියා කියන එකා හාමිනේගේ කොන්දෙ අමාරුවක් පිටින් දාලා ටික දොහක ඉදන් නෝ කතා නෝ සිනා.උන්දා විසින්ම බ්ලොග් ලෝකෙට කැන්දාගෙන ආපු නෙල්ලි ප්‍රින්ස් කියන එකා ආගිය අතක් නෑ.බ්ලොග් ලියන අයට නිබඳ අත හිත දෙන අටම්පහුරෙ හුටං අයියත් මේ දවස්වල  බොහොම නිස්සද්දයි. දුමී උනත් මේ දවස්වල හරිම ස්ලෝ, අර මං එරන්දි කියල කියන එකිත් එහෙමම තමයි.මොනවා උනත් චෙෆාකි, විසිරි ,නිදහස් සිතුවිලි තාම එහෙම නෑ අපිට කියවන්න මොනා හරි දෙනවා.පොකුරු අක්කත් එහෙමයි ටිකක්  සද්දෙ වහලා ඉදලා දෙන එක දෙනවා දවස් ගණන් හිත හිත ඉන්න දෙවල්.රස්තිය, කටුස්ස, ගස්ලබු  මේ කාගේ කාගෙත් බ්ලොග්  ගොඩක් වෙලාවට සති ගනන් ඔහේ වේලෙන වෙලාවල් වැඩී වගේ.ඒත් මේ හැමෝම තමන්ගේ  බ්ලොග් එක අප්ඩේට් නොකලත් අනිත් අයගේ  ඒව බලල කමෙන්ට් එකක් දීල යන්න අමතක කරන්නෙනම් නෑ. ඒකනම් අගය කල යුතුම දෙයක්. ආ හැලප තුමත් ඔටු දේසෙන් වැඩියට පස්සේ බ්ලොග් එකට මොනා කරයිද කියලත් අපිට බලන් ඉන්න වෙනවා. ඉතින් කියනවනම් තව  ගොඩක් අය ඉන්නවා කියන්න ඒත් මේ මැදෑ.මට උනත් තවම හරියකට  කවියක් කතාවක් ලියා ගන්න කම්මැලි හිතිල තියෙන වෙලාවෙ මම හිතුව අද මම හිතුව පොඩි වෙනසක් කරන්න.
 පහුගිය දවස්වල සමාජ ජාලා අඩවි වල කටගැස්ම උනේ  වික්ටර් රත්නායක මහත්මයනෙ.ඒ නිමාවක් නැති පහර ගැසීම් ගුණ වැයුම් අරව මේවා අස්සෙ මම දැක්ක බුකියේ වික්ටර් රත්නායක මහත්තයගෙ සිංදු චැලේන්ජ් එකකුත් යනවා.ඉතින් මම හිතුවා ඒක බ්ලොග් අඩවි වලටත් අරන් එන්න . මම හිතුවට දැනටමත් ඒක වෙලාද දන්නෙත් නෑ.මොකද ඔය වැගේ වැඩ වලට බොහොම දස්සයෙක් අපේ මේ බ්ලොග් ලියන ඉයන් එහෙමත්.  මතකනේ අර උන්මාද ගී රැල්ල එහෙම. කොහොම හරි ඉතින් මමත්  වික්ටර් රත්නායකයන්ගේ ගී වලට පෙම් බඳින කෙනෙක් නිසා එයාගේ මම කැමතිම ගී දහය  මෙතන ගොනු කරනවා. ඉතින්  වික්ටර් රත්නායක මහත්මයගෙ ගී වලට ප්‍රිය කරන බ්ලොග් ලියන්නන්ට ඔන්න අවස්තාව තියෙනව ඔයාලා කැමති ගී 10ත් තමන්ගේ බ්ලොග් එකේ සනිටුහන් කරන්න.ඔන්න මම පටන් ගන්නවා වැඩේ.




                                             1 - සසර සැරි සරණ තෙක් ඔබ මගේ
    
     මොන මූඩ් එකේ හිටියත් මම අහන්න කැමතිම ගීතයක්. කොච්චර ඇහුවත් එපා නොවන ගීතයක්.මේ තමයි එතුමගේ ගී වලින් මගේ  හැමදාමත් නම්බර් වන්.

ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කැලතිලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

නා ගසක් දළු දමා වසන්තය එළඹිලා
මද පවන් රැළි නැගී සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

අහස්තල පොළෝ තල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟම සැලෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ





2 -   සිහිල් සුළං රැල්ලේ

    මේ ගීතය අහන හැම වෙලාවකම මාව  වෙන කොහේදෝ ආත්මෙකට පාවෙලා යනවා වගේ දැනෙනවා.හරියට පෙර ආත්මෙක අහල පුරුදු ගතියක් දැනෙනව.මම ඇස් පියාගෙන කල්පනා කරනව ඒ කොහේ කොතැනද කියල.මේ වචන වගේම මේ ගීතයේ සංගීතයත් මවා මුසපත් කරනව.

සිහිල් සුළං රැල්ලේ...
ඔබේ සුවඳ මුසු වේ ආදරයේ මඳ සිනිඳු
පහස ලැබ හදවත දළු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ

සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ... කතර දෙව් ලොවක් වේ...

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ... අමා සුවය පැතුවේ... 




 3 -  හඳ පානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ

      මොනවා කියන්නද  මේ හැඟුම් ගැන, අසමින් විඳිනවා හැර.


අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ . . .
හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . .

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ ...
හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . . .







4 - ආදරයේ උල්පත වූ අම්මා

    මව් ගුණ ගී කොයි තරම් අපි අහල ඇතිද ඒ අතරින්  මගේ රසවින්ඳනයේ ඉහලින්ම තියෙන ගීයක් මේක.
 
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිලේ එල්ලී...

සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජිවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා...

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙන දී දිවියට නව පණ ලැබ දී
මා දැඩි කල අම්මා...






5 - අපි ඈතට ඈතට පා නගලා
   
    අද අපිට ඇහෙන ආදර ගී විරහ ගී එක්ක බැලුවම මේ ගීත මොන තරම් සුන්දරද.. සරළ සොඳුරු ආදරණීය වචන.කාලයක් මම මේ ගීයත් එක්ක ආත්මෙන්ම බද්ධ වෙලා හිටිය.

අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ

කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ

කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ



6 - තනිතරුවේ

   මේ වචන මේ තනුව වේදනාවෙන් හිත පසාරු කරගෙන යනව.මට  මේ  ගීතය ඇහෙන හැම වෙලාවකම කපුගේ  මහත්තයගෙ උලලේනෝ මතක් වෙනව.ඒ ගීතය ඇහෙද්දි දැනෙන මොකදෝ පාලු මූසල ගතිය මේ ගීතය ඇහෙද්දිත් ඊට ටිකක් අඩුවෙන් දැනෙනව.

තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි...
මෙතෙක් දුරක් එක් වී පැමිණී...
තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...

මහඳ අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි...
මගෙන් ඉවත බැඳිලා සැනසී...
තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා..






7 - ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා

ඔය ගීතයේ මුල් පද හතරට මම බොහොම පෙම් කරනවා.නිතරම මම මුමුණන  පද හතරක් ඔය.  හැබැයි ඉතින් ඕක මම කියනවා අහන් ඉන්න ගොඩක් වෙලාවට අර අරයා  කියන්නේ ආපෝ ඉවරයි... කිසිම ආත්මෙක මට සැනසීමක්  නැති පාටයි කියල.


මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ
කැලුම් දිදුලුවන සරා සුපුන් සඳ
එක වහළක් යට එකට දකින්නට
පූරුවෙ කළ පින් මහිම කියන්නට
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී
පැතූ පතුම් පෙළ දැවී ගියාවූ
ජීවිතයට ඔබ අලුතින් එක්වී
මා ජීවත් කර සතුට ගෙනාවූ
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා....

කිළිටි මගේ අත ඔබට සුදූසු නැත
එබැවින් වෙනතක බැඳුණද කම් නැත
එනමුඳු මෙලොවෙහි නැවත උපන් කල
ඒ අත් භවයෙන් එළිය දකින්නට
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...



8 - මල් පොකුරු පොකුරු
   
මේ ගීතය බොහොම ඉස්සර මගේ චූටි බාප්පා හරි ආසවෙන් අහනවා මමත් අහගෙන ඉදලා තියෙනවා.එහෙම අහල අහලම තමා මේකට මනාපයක් ඇති උනේ

මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්..

නිල්ල නිලන ගහකොළ මත පින්න පිපීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා
පින්න පිපීලා ඈ ළඟ රංචු ගැසීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා


සින්දු කියන බමරු විලස ළංව නැමීලා
අයැදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා
ළංව නැමීලා සෙනෙහස දෙන්න කියාලා
අයැදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා




9 - හෝපලු වනපෙත

මේ පද මේ හඬ  මේ  සත්සර නද කෝකට වැඩි පුර කැමතී කියන්නද මන්දා

හෝපලු වනපෙත කම්පිත කරවන
මන්මද නර්තන රංගන කළ මැන

ළැමවිල පියකරු හසුන් රකින්නී
සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී

ළැමවිල පියකරු හසුන් රකින්නී
සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී
මන්මද නර්තන රංගන කළ මැන

අංජන ගල්වන පංකජ නයනී
වෙණ චංචල කළ සත්සර දියණී

අංජන ගල්වන පංකජ නයනී
වෙණ චංචල කළ සත්සර දියණී
මන්මද නර්තන රංගන කළ මැන





10 - රූකඩ මඩු යාග පොලේ

 වෙනස්ම රසයක් දැනෙන ගීතයක්.

රූකඩ මඩු යාග පොලේ
කොල නුඹේ රුවට ලොලේ
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌ ...

ඈත ලන්ද දිය මංකඩ
බේම පිපී තිබුණු මලට
ආලවන්ත බහක්‌ දෙන්න ආ බඹරින්දු
මලට ලොලේ පිණි කදුලේ
නිතර රැදි උන් බඹරින්දු
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌

යාය පුරා මල් උතුරා
කොල දැරවි කුමරි වෙලා
මාල හතක වරම ගන්න
දෑත වනන්නා
නිබද මගේ පිරුණු සෙනෙ
නුඹ නොදනි මල්මද ලන්දු
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්‌





ඉතින් ඔන්න ඔහොමයි වික්ටර් රත්නායකයන්ගේ ගී ගඟුලෙන් තොරල බේරල මම කැමතිම 10ක් ලිස්ට් ගත කලේ.හා දැන් කවුද කැමති ඔයාලා කැමති ගීතත් මේ වගේ ලිස්ට් එකකට ගන්න. වැඩිය ඔනේ නෑ මේ වගේ 10ක් ඇති.






Mar 19, 2017

සම්මතෙන් එහා !



        සෂායා පුංචි මේසයට වාඩි වී මොනවාදෝ කුරුටු ගායි.මදක් හිස ඔසවා කල්පනාවට වැටෙන ඇගේ නෙත් පෑන  රැදි ඇගේ දකුණු අත ළඟ මොහොතකට නතර වෙයි. කහ පාටට හුරු පුංචි ගලක් ඇල්ලූ රත්‍රන් මුදුවක් ඇගේ වෙඳගිල්ලේ බැබලෙයි. මොහොතකට පෑන අත්හැර ඇය දකුනත දිගහැර මුදුවේ හැඩ බලයි. චාම් ලස්සනක් ඒ මුදුවේ වේ. ඇගේ සුදු දිගැටි ඇඟිලි වලට එය මනාව ගැලපේ. මේ මුදුව තුල වසර හතරකට එහා ගිය කතන්දරයක් තිබෙන බව ඇය දනී. දුක සතුට සහ තවත් මොන මොනවාදෝ මිශ්‍ර වුණ හැඟීම් කන්දරාවක් ගෙවා ආ ඒ වසර ගනනාව තුල  ඈ අත්වින්ද බව මේ මුදුව එක්තරා සාක්කියක් බව ඈ සිහි කලේ ඒ දුරාතීතයට  හිතින් එබෙන්න  හිමිහිට නෙතු පියාගනිමින්.





            *       *      *      *    *     *      *       *      *  



              විරහ දුකින් දැවී පිළිස්සී ඒ පුළුගු කැට යාන්තන් නිවෙන්නට අර අඳින සමයක සෂායාට ඔහු හමුවෙයි. සැබැවින්ම එය අහම්බයකි. රිදුණු තැවුණු හිතට ඒ මිතුරු සමාගම සිහිල් පොඳ වැස්සක් වූවායැයි නොකීවොත් එය අඩුවකි. මුලදී ඇගේ ජීවිතේ බොහෝ තැන් ඔහුගෙන් වසං කරන්නට සෂායට සිදුවෙයි.ඒ ඇගෙම යහපත ගැන සිතා ඈ ගත් තීරණයකි. එක අතකට ඒ පුංචි කොළු ගැටයාට ඒ මහාප්‍රාණ කියා වැඩකුත් නැත. ඇය කාගෙන්වත් අනුකම්පාවක් බලාපොරොත්තු වූයේද නැත.

           නමින් ඔහු සමීර.. ඇයට වඩා වසර හතකට පමණ ලා බාල පුංචි කොලුවෙක්.එහෙත් ඒ වසර විසි එකක පුංචි කොලු ගැටයා ළඟ පෙනුමෙන් පමනක් නොව හැසිරීමෙන් පවා ඈ ඔහුටත් වඩා පුංචි එකියක සේය.ඒ සෂායා උපතින්ම අරන් ආ වාසනාවකි.ඇගේ වයසට වඩා බෙහෙවින්ම ලා බාල ස්වරූපයක් ඇයට නිතැතින්ම හිමිය.ඒ නිසාමදෝ පුංචි සංදියේ පටන්ම ඇගේ සිතුම් පැතුම් පවා වයසට වඩා සොඳුරුය , සුරතල්ය.

 ඔයාට 28 ක් කියල පිළිගන්නම බෑ....

අන් හැමෝම කියනා පරිදිම පළමු හමුවේදිම ඈ දැක ඔහු මවිත විය.

 ම්.... ඔව්... ඒත් මම ඔයාට ලොකුම ලොකු අක්කෙක් හොඳද...

එහෙත් ඔහු කවදාවත් ඈට අක්ක කියා ආමන්ත්‍රණය නොකලේය.එහෙත් ඇයට ඔහු ඇගේම මල්ලි මෙන් විය.

සමීර පවුලේ එකම දරුවා විය.ඔවුන්ගේ මිතු දම ඇරඹෙන්නට මාස කීපයකට උඩදී හදිසි අනතුරකින් පියා මිය ගොස්ය.අම්ම සුව නොවන පිලිකා රෝගයකින් පෙලෙයි.එසේ බලද්දි ඔහු සෂයාට වඩා අසරණය.ඈ ඇගේ දුක පසෙක තබා ඔහුගේ දුකට හවුල් වී ඒ සිත සනසන්නට වෙහෙසවිය. මාස තුනකට වරක් අම්මා සමග පිළිකා රෝහලට ඔහු යන ගමනට ඇය එක් වූයේද ඒ නිසාමය.

කාලයාගේ ඇවෑමෙන් ඇයට කෙසේ වෙතත් ඔහුට ඇය නැතුවම බැරි විය. ඒ පුංචි හිතුවක්කාරයා සියුම් ලෙස ඇගේ ජීවිතය පාලනය කරන්නට යන බව හසුරවන්නට යන බව ඇයට දැනෙන්නට විය. මිතුරු කමට , සහෝදරත්වයට එහා ගිය බැල්මක් ඒ ඇස් වල පළමුව දුටු දා සෂායා තිගැස්සුණි. ඇයටද හොරා ඔහු ඇය ගැන විපරම් කරතිබුණි. ඔහු හැමදේම දැනගන්නට ඇත.

 ඇයි මට බොරු කලේ....

මං බොරු කලේ නෑ... මගේ ජීවිතේ සමහර දෙවල් ඔයාට නොකියා හිටියා විතරයි...ඒක අපේ යාළු කමට බාධාවක් නෙවෙයිනෙ නේද....?

 මට දුකයි... සැබෑවටම ඒ ඇස් මුල කඳුලක් දිලිසෙයි.

 දුක් වෙන්න එපා ... මේ මගේ උරුමේ... ඒකට මම දුක් විඳලා ඉවරයි දැන්...

 මං ආදරෙයි...


 දන්නවා මං ඒක ඔයා මගේ මල්ලිනේ....

 මං කියන්නෙ එහෙම ආදරයක් නෙවෙයි...ප්ලීස්... තේරුම් ගන්න...

 පිස්සුද ඔයාට... මං ගැන හැමදෙම දැනගෙනත්... අනික මගෙන් එහෙම දෙයක් අහන්නවත් පුලුවන්ද ඔයාට...?

 මම ආදරෙයි... මම දන්නේ එච්චරයි...

 මට අවුරුදු  28 ක්

 දන්නවා

 මං කසාද බැඳල මිනිහ දාල ගිය ගෑණියෙක්

 දන්නවා

 දන්නවනම් ඇයි මේ විකාර ?

 මට ඒවා වැඩක් නෑ... මම ඒවා ගනන් ගන්නෙත් නෑ..මං ආදරෙයි.. මගෙන් ඈත් වෙන්න එපා... මං බඳිනව ඔයාව...

            සෂායාට හුස්ම හිර විය. මේ හිතුවක්කාරයා මෙල්ල කරන හැටි ඇයට නොතේරේ.හිරිමල් වියේදීම නොගැලපෙන විවාහයකින් හෙම්බත්ව තනිවූවා මිස ඇයට ජීවිත අත්දැකීම් තිබුණේම නැත.ළිං මැඩියෙකු සේ සිරව ගත කල ජීවිතෙන් මිදුනේ මේ ඊයේ පෙරේදාය. ඈ ලෝකය සොයද්දී ලෝකය දකිද්දී මුණ ගැහුණු ප්‍රථම ළෙංගතු සිතැතැත්තා ඔහුය. ඇගේ හැසිරීම තවමත් හිරිමල් කෙල්ලකගේ මෙනි. ඈ අභියස ඒ අවුරුදු  21 ක කොළු ගැටයාද යෝධයෙකි.ඇගේ හුරතලයට ඒ ඇවතුම් පැවතුම් වලට ඔහු පිස්සු නොවැටුණානම් එයද පුදුමයකි.ජීවිතයට හමුවූ පලමු පිරිමි යාළුවා ඇයට මෙවැනි යෝජනාවක් කරතැයි ඇය නිකමටවත් නොහිතන්නට ඇත.එහෙත් එය එසේ සිදුවිය. නමුත් මෙය සිදුවිය නොහැක්කකි.ඒ අසම්මතයට ඉඩ හසර සාදා අනුබල දෙන්නට ඇයට උවමනාවක් නැත.

 ඔයා කතා කරන්නේ බුද්ධියෙන් නෙවේ මගෙ මල්ලි... හැඟීම් වලට වහල් වෙන්න එපා... කවදා හරි ඔයාට තේරෙයි මේක වෙන්න බැරි දෙයක් කියල...එදාට ඔයා පසුතැවිලි වේවි... ලජ්ජ වේවි මේ ගැන.

 මට බණ කියන්න එපා... මට ඔයා විතරයි ඕනෙ... අනිත් හැමදේම විසඳගන්න මට පුළුවන්...

 පිස්සු ළමයෙක්..

 මං ළමයෙක් නෙවෙයි... මට ආයෙ එහෙම කියන්න එපා...

කවදාවත් නැති තරමට ඔහුට තරහ ගිය අපූරුව. ඉතින් මේ වෙන්වන්නට කාලය බව ගැහැණු බුද්ධිය විසින් ඇයට අනතුරු අඟවන ලදී.ඇය ඔහුගෙන් වෙන් වන්නට දිවා රෑ පිඹුරු පත් සකසද්දී , ඔහු අපූරුවට සෂායගේ සුන්දර දුර්වල ගැහැණු ආත්මය වටා පතාක යෝධයකු සේ නැගී සිටින්නට අහිංසක උත්සහයක නියැලෙයි.විටෙක මුඳු මොළොක් ලෙස හඬා දොඩා ඇගේ ප්‍රේමය අයදින ඔහු විටෙක රළු පරළු වෙසක් ගෙන රාක්ෂයෙකු සේ හැසිරෙයි.

 ඇයි මාව මඟ අරින්නෙ... මාව මරා ගන්නද ඕනෙ... වෙනදට මං නැතුව බස් එකකට ගොඩ වෙන්න බැරි ගෑණි දැන් මොකද මේ මට හොරෙන් පල්ලම් බහින්නෙ...?

 සමීර.... මල්ලී... තේරුම් ගන්න.. මට දැන් ඉස්සර වගේ නිදහසේ ඔයා ළඟ හැසිරෙන්න බෑ...

 ඒ මොකද ඇයි මට මොනවා වෙලාද...?

 ඒ ඔයා මේ කෙහෙල්මල් ආදරයක් පටලවගෙන අපේ බැඳීම අපිරිසිදු කලා... අන්න ඒ නිසා..

 බම්බුව තමා...

අත මිට මොලවා බස් නැවතුමේ තහඩුවට වැරෙන් පහරක් එල්ල කර ඔහු තරහ පිරිමසා ගති.ඒ අත සීරී ලේ පනිනවා සෂායා දුටුවේය.ඇගේ ඇස් වලට කඳුළක් එකතු විය. එහෙත් ඇය අනුකම්පා නොකලේය. එසේ විනිනම් ඔහු එයද වැරදියට ගන්නවා නොඅනුමානය.

 මේ මහ පාරේ විකාරයක් වෙන්න හදන්න එපා... මම ඉන්නේ ඔයා වගේ සෙල්ලම් කරන වයසක නෙවෙයි....ඔයා මට පුංචි එකෙක් ... තේරුම්ගන්න... වැරදි හැඟීම් ඇස් වල තියාගෙන මං දිහා බලන්නෙපා...එහෙම වුනොත් මං ඔයාගෙන් ගොඩාක් දුරට යනවා සත්තයි... පිස්සෙක් නොවී වැඩ කරන්න... අර අසරණ අම්මට ඉන්නේ ඔයා විතරයි... ඒක අමතක කරන්න එපා....

සෂායා වෙර යොදා ඇයට පුළුවන් උපරිම වේගයෙන් ඔහුට කතා කලේය.ඔහු හිනැහිනි... මහ හඩින් හිනැහිනි. ඒ උපහාසයටද අපහාසයටද දුකටද තරහටද කියන්නට ඈ තවමත් නොදනී.

 චන්ඩි පාට් දන්න හැදුවට ඔයාට චන්ඩියෙක් වෙන්න බෑ... ඇත්ත හංගගෙන මං ඉස්සරහ රඟපාන්න එපා...ඔයා   මට ආදරෙයි...ඒත් ඔයා ඒ හැඟීමට බයයි...ඒක මට පෙන්නන්න බයයි...ඔයා මේ ලෝකෙට බයයි... කතා හැදෙනවට බයයි...

 නෑ... නෑ... නෑ... ඔයා මට මල්ලී කෙනෙක් විතරයි. දෙයියන්ගේ නාමෙට මාව පටලවන්න එපා.... මට ඔයා මෙයා නොකියා අක්කා කියන්න....

 ආමන්ත්‍රණයකට බෑ හිතක හැඟීම් වෙනස් කරන්න...

 පුළුවන් බැරි නෑ... ඔයා මට එක සැරයක් අක්කා කියලා
 බලන්න...

 සශායා මොනවා කීවද  කලද ඔහු මෙල්ල වෙන පාටක් නැත.ගිනි පුළිඟු පිටවෙන ඒ ඇස්   වල මහා ආදරයක් අසරණකමක් ඇති බව ඇයට මනාව වැටහෙයි.විනාඩියක් දෙකක්  නොව විනාඩි ගනනාවක්ම ඔහු කඳුළු පිරුණු ඇස් වලින් ඇය දෙස බලා හිදින්නට විය.

 හරි මං කියන්නම්...මුළු ජීවිත කාලෙම කියන්නම්... ඊට කලිං මං දෙයක් දෙන්න බාර ගන්නවද...?

අන්තිමට ඔහු කටහඬ අවදි කරන්නට විය.

 මොකක්ද...

 ප්‍රශ්ණ අහන්නෙපා බාර ගන්නවද කියන්න...

 හරි බාරගන්නවා... හැබැයි පොරොන්දුවක් පිට... මෙතනින් පස්සේ මේ පිස්සු වැඩ නවත්තනවා කියලා පොරොන්දු වෙන්න ඕනෙ...

 මගෙන් පොරොන්දු ගන්න එපා... ඒත් ඔයාට ඕන දේ වෙවි...

ඔහු කලිසම් සාක්කුවේ රුවා සිටි රතු පැහැ ජුවලරි බොක්ස් එකක් එළියට ගෙන එයින් පුංචි රන් මුදුවක් එලියට ගත්තේය.



 මං දන්නව හරි ඉක්මනට ඔයාට මාව අමතක වෙයි. ඔයාට මාව කරදරයක්නෙ.. කමක් නෑ මාව අමතක කලාට පුළුවන්නම් හැමදාකටම මේක ඔය අතේ දාගෙන ඉන්න.. බෑ කියන්න එපා... එපා කියන්නත් එපා... මේක විතරයි මන් මගේ ආදරේ වෙනුවෙන් ඉල්ලන එකම දේ...


ඒ හිතුවක්කාරයාගේ ඇසින් ගිලිහුණ උණු කඳුලක් මුදුව මත වැටිණි.සෂායගේ ළාමක හිත කීරි ගැසුණි. එපා කියා ඔහු කෝප ගැන්විය යුතු නැති බව ඇයට වැටහුණි. ඇය ඔහු ඉදිරිපිටදීම ඒ මුදුව ගෙන ඇගේ දකුණතේ වෙඳගිල්ළට පළඳ ගත්තාය.කඳුලු අස්සෙන් ඒ ඇස් හිනැහෙනවා සෂායා දුටුවේය.

 මං ආදරෙයි අක්කා... ඔයාට මහ ගොඩක්....

එසේ කියා ඔහු දෙනොදාහක් යන මහ මඟදීම ඇගේ මුහුණට පාත්වී ඒ තොල් පෙති මත යාන්තමට හාදුවක් තවරා සැනෙන් පාර පැන නොපෙනී ගියේය.සෂායා සිහි එළවා ගත්තේ ඇගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් එන හඩටය.

Me Dan mama bus ekakata yatawela marunath mata sapayi.mata me labuna de athi mage malu jeevitha kaletama sanasenna. sathutin inna. budusaranai.


ඒ ඔහුගෙනි. මගමඟ කියා අමතකව සෂායාට ඉකිගැසුණි.


               
                                 *       *      *      *    *     *      *       *      *  
                                       

                            සෂායා තවමත් මුදුව දෙස බලා හිදී.ඒ අතීතයේ මතකය මොහොතකට ඇගේ සිතුවිලි සී සී කඩ කල තරමක්. එදායින් පසු සෂායාත් සමීරත් මුණ ගැසුනේම නැත. අද ඈ යහපත් ස්වාමියෙක් ලැබ සතුටින් දිවි ගෙවයි.ඔහුද දැන් හැඩි දැඩි තරුණයෙකු විය යුතුය.අතීතයේ සිදු වූ දේ ගැන අද ඔහු පසුතැවිලි වනවාද විය හැක. එසේත් නැතිනම් ඔහු ඔහුගේ පලමු පෙම් සිතුවිල්ල ගැන තවමත් කඳුළු සලනවා ද විය හැක.ඒ කෙසේ වෙතත් ඔහුට නිදුකක්ම වේවායි ඔහු සිහිවන හැම විටම සෂායා දෙවියන් යදී.


                                     -  නිමි  -



 ( අනේ ඉතින් මේකත් ගොඩාක් ඉස්සරෝම ලිව්ව එකක් ලු හොදේ. කොපි ඇන්ඩ් පේස්ට්
ල එක විතරයි සිද්ධ කොලේ. )

Mar 18, 2017

මේ තරම් දුරද !




 අහසම නුඹයි
 තරුපති මමයි
 සුදු සඳ නුඹයි
 සඳකැන් මමයි

පිනිබිඳු නුඹයි
වණ මල මමයි
මහ වැසි නුඹයි
සීතළ මමයි

සමුඳුර නුඹයි
සිතිජය මමයි
දුරට හරි ළඟයි
ළඟට අපි දුරයි

Mar 15, 2017

රත්තරං....


ලිවීමයි කියවීමයි දෙකම  එපාවීමෙන් මේ දිනවල පීඩාවිඳිමි. ඒත් බ්ලොග් එක පාලු වෙන්න දෙන්න බෑ අප්පා ඒ නිසා පරණ කතන්දර ආයෙම ආයෙම දාන්න හිතුවා.



මේ මහ වැස්ස
හරිම සීතලයි
අනවසරයෙන් ගොඩ වදින හිරිකඩ
හිත හිරිවට්ටනව...
රත්තරං ,
හාදු කන්දක්ම අරගෙන
එනවද...
අහස් දියට තෙමෙන
මේ හිත
උණුහුමින් පුරවන්නට...

Mar 5, 2017

නෙත රැඳි සොඳුරු දසුන් !


ඔය පහුගිය දොහක විසිරි දාල තිබුනනේ මඟ තොටේදී දැකපු අපූරු ජායාරූප පෙළක්.ඒක දැක්කම මටත් හිතුනා මමත් ආසාවෙන් එකතු කරන පින්තූර ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්න.හැබැයි ඉතින් මෙතන තියෙන හැම එකක්ම මගේ තෙවෙනි ඇහින්ම ගත්තුවා නෙවෙයි මගේ සත්තලන් ගත්තුවත් තියෙනවා.හා.. ඉතින් එයා මොකෝ මං මොකෝ නේද ..?ඔයාලා මේවා ලස්සනයි කිව්වොත් මම එයාටත් ඒ ක්‍රෙඩිට් එකෙන් භාගයක්ම දෙන්නම්කෝ.


මේ මුල්  පින්තූර  හතරම ගත්තේ Seethawaka Wet Zone  එකේදී, පුදනකොටම කාපි යකා කියලා ඔය මලයි බඹරගෙයි පින්තූර දෙකම ගත්තෙ මම නෙවෙයි කියන්නකෝ ඉතින්.ඔය කලු තඩි බඹරු දැක්කම මම පින්තූර ගන්නවා තියා පැත්ත පලාතේ හිටියේ නෑ.


                                        




 මේ කවුරුත් දන්න කියන දඹුල්ල පන්සල
                                      



හක්ගල මල්වත්තේ මල්, මල් අස්සේ හිටපු බව්වත් හරි ලස්සනයි

                                      





 යාපනේදී දුටු කපුටු ආදරය
 නාගදීප අහසේ සැරි සැරූ රාජාලියා
 නාගදීප විහාරයේ නයිපෙන හත
 නාගදීප කෝවිල
 ත්‍රස්තයන් විසින්  බිම හෙලූ කිලිනොච්චියේ වතුර ටැංකිය
                                      






නකල්ස් වල  Katool Oya Farm Resort  අවට ,මේවා මේ  පොල් ගස් වගේ  පේන්න ගත්තට එහෙම නෑ අනේ හරිම සූටී
                                       





 නුවර දළඳා මාළිගාව

                                                  



 නුවර එළිය හෝර්ටන් තැන්නේදී , ඔය දිය ඇල්ල Baker's Falls




 





      රුවන්වැලි සෑය
      ශ්‍රී මහා බොධිය
      තිසා වැව
                                     


                                        
                                        




  මේ පලවෙනි පින්තූරේ තියෙන්නෙ  නුවර  බහිරව කන්දෙ ඉදන් ගත්ත පින්තූරයක්
   දෙවෙනි එක නුවර එළියෙ පිදුරුතලාගල කන්ද මුදුනෙ ඉදන් ගත්ත පින්තූරයක්

                                        
                                        


 මේ සොඳුරු රූ යාල වන උයනෙන්
                                     





 මේ ඉන්නෙ හුණුපිටිය ගංඟාරාමයේ තාරවෙක්
                                      

      
                                        

 මාතලේ අළු විහාරයේ ඉදන් මේ පිලිමෙ ගාවට  කිලෝමීටරයක් හරි දෙකක් හරි කන්ද නගින්න ඕනේ.එතකොට  විහාරේ ඉන්න ඔය මොනරගෙ ඔහොම  පින්තූරයක් ගන්න අපිට  එයාගේ සෑහෙන්න ආඩම්බර බලන්න උනා.



 ඔය මෙතන ඉදන් පල්ලෙහාට තියෙන ඒවනම් මම නෙවෙයි ගත්තේ කියලා මම වගකීමෙන් ප්‍රකාශ    කරනවා.ඒවා මේ අපේ ගෙදරම ඉදන් සත්තලන් ගත්තු ඒවා.                          
                                        







 හ්ම්ම්ම් ඉතින් ඔය දැනට මදෑ නේද ? ඉඩ තියෙන වෙලාවක ආයෙත් දාන්නම්කෝ  ටිකක්. මේ කිසිම පින්තූරයක් එඩිට් කොරලා එහෙම නෑ ඕං හොදේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...