සඳට බැළුම් හෙලූ අය

Dec 23, 2017

මතක් උනත් අමතක උනා වගේ ඉන්න !



ඉතින්
ඔබ යන්න !

දෙන්න ඔය කඳුළු කෙංඩිය මට
ආ.... ගන්න
මේ සිනා මල් වට්ටියම නුඹ
මතක ඇතුව ආයෙ
නෑවිත්ම ඉන්න

යන අතරමඟ පයට
පෑගෙන්න
විසිනොකර අපෙ මතක
කෝ.... දෙන්න
නෑඹුලේ සිප ගත්ත
හාදුවේ සුවඳ විතරක්
කැමතිනම් ඔබ අරන් යන්න
අමතක නොකර
ආයෙ නෑවිත්ම ඉන්න

බලාපොරොත්තු සේරෝම
ඔබ අරන් යන්න
සෙනෙහසේ සුවඳ විතරක්
මට තියා ගන්න ඉඩ දෙන්න
අනාරධිතව ඇවිත්
අනාරාධිතවම යන්න

මතක් උනත්
අමතක උනා වගේ ඉන්න !

Dec 21, 2017

ඇත්තමයි ආදරේ කියන්නෙ පපුව හූරන එකට !



යූ ටියුබ් එකේ එහෙට මෙහෙට පා වෙවී අහන්න පුලුවන් බලන්න පුලුවන් විඳින්න පුලුවන් සිංදුවක් හොයනකොට අහම්බෙන් මේ දැන් හම්බුන ගීතයක් ගැනයි අද මේ කතාව.ඇත්තමයි කාලෙකට පස්සෙ පපුව පිරෙන්න ගීතයක් ඇහුවා හිතම පිරෙන මියුසික් වීඩියෝවක් බැලුවා.  ගීතයේ පද රචනාවටත් වැඩිය  මියුසික් වීඩියෝ එක  හිත හොල්ලනවා කියන්නෙ ඒක අමුතුම හැඟීමක්.මේ පද වලින් කියන කතාවට වැඩිය මේ රූප වලින් මට මැවුනෙ වෙනමම කතාවක්.ඒ වර්මීර්ගෙ (Johannes Vermeer )  girl with the pearl earring සිතුවම ඇසුරින් ලියපු නවකතාවෙ වර්මීර් ග්‍රීට් ගෙ සිතුවම අඳින අවස්ථාව.එදත් උනේ මේ පෙන්නන දේම වෙන්න ඇති කියල මට හිතෙනව දැනෙනව.ආදරය ..ආශාව.. බලාපොරොත්තුව.. ඉවසීම... දරාගැනීම... පපුව හිරිවට්ටන එක මේ රූපරාමු වල කොතැනකවත් අඩුවක් නෑ...හිත කොනිත්තනවනම් පපුවව හිරිවට්ටනවනම් බලාපොරොත්තුව ජිවිතේ ජීවත් කරවනවනම් ආදරයක් ඈතින් තියෙන තරමට කොයි තරම් ලස්සනද...



                   ඇත්තමයි ආදරේ කියන්නෙ පපුව හූරන එකට....ඒ මැද්දෙන්  හිනා වෙන එකට  !                                                                                                                                                       



නිස්සාර සංසාර හීනේ අතීතේ..                                                                                                                                                                        ඔබ ඉන්නවා දැනෙනවා..
කවදාක හමුවෙන්න..
දැකගන්න වේදෝ..
තුන්යාමෙ මං අහනවා..

හැම රෑම ඈ ගාව ඔබ නිදනවා..
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා..

උනුසුම් හාදුවන් ඇගේ..
සෙනෙහස තාම අපෙ හිතේ..
දකිනා වාරයක පවා..
මගෙ මුළු හිතම ගිණි ගනී....

මන්දාරම් පවන් රොඳේ
හිත ගැහෙනා.. මේ.. හීතලේ
සැඟවෙන් ඔබගෙ පපුතුරේ...


                                        

Dec 18, 2017

මගේ රත්තරන් !





වෙලාවක් කලාවක් නැතුව හිටි ගමන්
අපි එහේ යමුද අනේ
අනේ එහෙ බැරිනම් මෙහේවත් යමුද අහද්දි
බොරුවට රවල පුප්පල ගනන් ඉස්සුවට
හා.. එහෙනම් ලෑස්තිවෙන්න  කියද්දි
මගේ මූනෙ පිපෙන හිනාව දකින්න
ඔයා ආස නෑ කිව්වොත් ඒක  බොරුවක්...

මහා හයියෙන් වහිද්දි අයිස්ක්‍රීම් කන්න හිතෙන
ගිනි ගහන්න පායද්දි හොට් චොකලට් බොමුද අහන
පාරෙ යද්දි දකින දකින කඩෙන් කන්න 
එක එක ජාතියේ බඩගිනි හැදෙන
මම වගේ පිස්සු හටනක්
ඔයා වගේ තුන් වේල අම්මගෙන් රතුහාල් බත්ම කාපු කොල්ලෙක්
කොහොම ඉවසුවද... තාමත් ඉවසනවද
කියන එක වෙනම කතාවක් ඉතින්...

කරන්ට් එක නැති දවසට ගෑස් ලිපේ බතක්
කිරිබතක් නොකර උයාගන්න බැරි
හත් අට පාරක් ගහලත්  ගාණට මිම්මට නොබිඳෙන
පොල් ගෙඩිය  එක්කත් කේන්ති එනකොට
ඇවිත් හිමිහිට කුස්සියට
එකම පාරින් ලස්සනට පොල් ගෙඩිය බිඳින ඔයා
මට වීරයෙක් තමයි ඉතින් ඒ වෙලාවට මං  ඒක නොකිව්වට...

පුංචිම පුංචි දේටත් හිත රිදෝගෙන
කඳුළු වක්කරන මාව
ඉස්සරවගේ ළඟට අරගෙන සනසවන්නෙ නැතුව
සැර දාන්නෙ දැන්
ඔයා කියන විදියට මං හදන්නම
බැරි එකියක් නිසාමද ...

රෝද හතරෙන් එක පාරටම රෝද දෙකට වැටුනම
තියෙන අපහසුකම් මම හැංගුවට
ඔයා දුකින් වග මම නොදන්නවා නෙවෙයි
ඉස්සර වගෙ හිතූ හිතූ වෙලාවට
දැන්  ගමන් යන්න බැරි බව
මම විතරක් නෙවෙයි ඉස්තලන් පැටියත්
තේරුම් අරන් ඉන්න එක
ඔයාට සතුටක් නොවී දුකක් උනේ කොහොමද ..

අපි ඉවසමු අනේ
අපිට අපි ඉන්නකොට
ඔය ඇතිවෙන නැති වෙන
දේවල් ගැන මොකට මේ හැටි  ලතැවෙනවද ...

Dec 11, 2017

මලක මළගම !




මතක බණ ඇහෙනකොට ඉකිබිඳුම් සඟවන්න
මතක පැන් කෙංඩියෙන්  බිඳක් ගෙන තවරන්න
අවසාන හාදුවත් නළල මත්තට දෙන්න
මේ ඉතින් සැරසෙන්නෙ මලක් මළගම් යන්න

රෑ රැහැයියනි තවත් දුක් ගීත නොගයන්න
සඳේ සඳ එළියෙනුත් ඇසේ දුක හංගන්න
පන අඳින මතකයම හිතින් උදුරාගන්න
ඈ යන්නෙ සදහටම සුසානෙක තනිවෙන්න

මළබෙරය මහ දුකින් එපා තව හඬවන්න
රෝස පැහැ රෝස මල සීරුවට නිදියන්න
පාලුවට ගිය සොහොනෙ හීතලට හුරුවෙන්න
බැරිමනම් මේ කඳුළ උණුහුමට ගෙනියන්න

Dec 7, 2017

සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද !




මම සඳක්
ඉතින් ඒ සඳ අයිති
ඔබ වගේ අහසකට විසල්...

දුව ඇවිත් ප'පුතුරේ
ගුලි වෙන්න ටිකක්
කෝ ඉතින් තියෙනවද
මට පුංචි ඉඩක්....

ඔව් මේක පෙමක්
නමක් නැති
නිමක් නැති පෙමක්...

Dec 5, 2017

ඔබ නිදුකින් උන්නාවේ !





ඔබේ මතකයන් වලදැමූ
පස් කන්ද මත
තාමත් ඉදහිට පිපෙනවා
සුදු රෝස...

සීයා ආච්චී ලොකු තාත්තා
විතරක් නෙවෙයි
චූටි බාප්පත් එක්කම
එකම ස්මාරකයක ඉන්න
ඔයාට අපිට තරම් තනි නැතුව ඇති

මහ හුඟක් වේලාසනම යන්න ගිය
ඔයා ගැන තරහටමයි වෙලාවකට
අහක බලාගෙන යන්නෙ
ඔයා නැවතිච්ච තැන  පහු කරනකොට

' තාත්ත ආච්චිට විතරක් ඇයි සීයෙක්
කෝ අම්ම ආච්චිට  සීයෙක් '
ඔයාගේ එකම මුනුබුරා අහනකොට නිතර
ඔයාගෙ නෝනට දුක හිතෙන බව
හදිස්සියෙ ගිය ඔයාටවත් නොතේරෙනකොට
මේ පොඩි එකාට තේරේවිද ?

ඔබ නැතුව ඔබ එක්ක මහ දුරක් ආවාට
මේ අමාරුම දවස් මම පහුකරන
ඔබව නිතරම හිතට එන
කමක් නෑ ඔබ නිදුකින්නම්
අදත් මට පුලුවන් මේ කඳුළු
රහසේම හංගන්න...

Dec 1, 2017

ඇයි ඔච්චරටම ගනන් !


සීතල මේ තරම් රුඳු බව
වැහි බිඳිති මේ තරම්  රළු බව
ඔබ නේන දහවලද මේ තරම් දිගු බව
දැනුනෙ මට වැඩියෙන්ම
ඔබ අහක බැලූ දා සිට...

සොඳුර !

අ'තැර මේ නෝක්කාඩු මදකට
වරුවකට ඇවිත් මදහස මැද
සීතලට ගැහෙන තෙත හිත මත
තබන්නකෝ  හාදුවක උණුහුම ..

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...