සඳට බැළුම් හෙලූ අය

Dec 27, 2018

වැවක කඳුළු !



ඇතුගලින් බැස ඇවිත් ඇත්කඳ
වෙහෙර ළඟ ඇත් ළිහිණියෝ
බලා උන්නට පිපෙන්නෑ අද
වැවේ මානෙල් කුමරියෝ

නෙලන්නට බැරි තරම් දුරකින්
පිපුණාම අරවින්දයෝ
මල් හොයාගෙන ගෙදර බුදුනුත්
කරවටක් දියඹට ගියෝ


අකුණු  තල තල මහා සද්දෙට
අහස බෑගිරි ගහනවෝ
වක්කඩේ දිය බිඳිල සැරටම
ඇස් බෝල පිට දානවෝ

බොර දියේ රඟ බල බලා
උඩ පනිනවා මඩ කනෙයියෝ
රතු චීත්තය වැවේ එලළද
බලාපන් කණ  කෙකිණියෝ

පුංචි කාලෙත් අහල තියෙනව
උන්නු බව දිය රකුස්සෝ
ඉරත් නැති මගෙ හඳත් ඩැහැගෙන
ගියානම් උන් නරුමයෝ

කන්ද මුදුනේ නිරාමිස සුව
විඳින අර බුදුහාමුදුරුවෝ
ටිකක් බුදු නෙත යොමා බැලුවද
පහන් ටැඹ නිවිලා ගියෝ


Dec 7, 2018

මේ හිත නුඹට ලියා දී ඇත !




නොරිදන්න රිදවන්න
සනහන්න හඬවන්න



මේ හිත
නුඹට ලියා දී ඇත

ළඟ ඉන්න හැරයන්න
යලි එන්න නවතින්න

මේ හිත
නුඹට ලියා දී ඇත

පිරිමදින්න පාරවන්න
කොනිත්තන්න හාදු දෙන්න

මේ හිත
නුඹට ලියා දී ඇත

තනි මකන්න තනි කරන්න
හුස්ම ගන්න හුස්ම වෙන්න

මේ හිත
නුඹට ලියා දී ඇත

Nov 30, 2018

ඔව් එහෙම වෙන්ටැති !





එයාගේ හිතේ උන්නු
මං මැරිල වෙන් ' ටැති !

කමක් නෑ
එයා හොදින් ඇති !

මේ දුක මටම
විතරක් වෙන් ' ටැති !

Nov 23, 2018

අහිමි !







ඉස්සරම ඉස්සරින්
පරවෙච්ච හීනයක්
අහම්බෙන් මඟ තොටක
ආයෙ ඇස ගැටෙනකොට
කොච්චරක් දුර උනත්
හිත ආයෙ අහන්නෙම
හුස්මකට දුරින්වත්
නවතින්න පුලුවන්ද

සම්මතේ කර වටක්
ගිලී මියැදෙන හීන
කල් ඉකුත් වූවාට
තාම සොඳුරුයි බෝම
රන් පාට හේදුනත්
මුදු'ගිල්ලෙ බර ගාව
නවතින්න වෙන්නේම
මුව පැටව් ඇස් සිහිව

ජීවිතේ අතර මඟ
එදා ගබ්සා වෙච්ච
ප්‍රේමයේ මුල් කැලළ
කිසිදාක සුව නොවන
කාලයේ වැලි තලා
හෝදගෙන ගිය මතක
ආයෙ උඩ එන්නෙපා
ඉතින් ඇහැරෙමු හනික

Nov 7, 2018

නන්දෙ මං දැන් මක් කරන්නද !






කට්ට කරුවල හෙමින් වෙට්ටු දම දම ඇවිත්
පිලිකන්නෙ පියස්සට පැන්නා
රැහැයියෙක් මහ දුකින් හඩ තලාගෙන වැරෙන්
පාලු දෙනිපෙත සසල කෙරුවා
මේ මහා වරුසාවේ  මම කොළඹ කොටුවෙලා
එන්න තව රෑ වේවි ! ඔයාගෙන් පණිවිඩය ලැබුනා
වත්ත මැද කොස් ගහේ උලමාගේ වැලපිල්ල
නන්දෙ මට වෙනදාට වඩා හිතට දැනුනා

අයාලේ යන ගමේ බලු රැල සීරුවට
කම්බියෙන් වැට පනින හඩ ඇහුනා
මල් විලේ පිපුණු මල් මාරුවෙන් මාරුවට පොඩිවෙනා
සුවඳ දොර කවුලුවෙන් ඇතුලටම හැමුවා
කිරි පිරුණු ලැමට මං පොඩි එකී හිර කරන්
හුස්මවත් නොගෙන දෙවි යැද්දා
අනෙ නන්දෙ උන් අපේ  ගල් ලෙනේ දොර දාර
යකඩ ඉන්නෙන් ඇනල බින්දා

කොටි දෙනක් වගේ මං කඩාගෙන පැන්නාට
නිමේෂෙන් මගේ එඩි සින්දා
නංගි උඹ දැඟලුවොත් වැඩේ දුරදිග යාවි
වක් පිහියෙ මුවාතම පොඩි එකිගෙ ගෙල මුලින්  තිබ්බා
පොල් කඩන සෝමෙ අර හංදියේ සිරිදාස
රබර් වත්තේ ගෙදර පොඩි එකත් උන් එක්ක උන්නා
දන්නවද නන්දෙ උන් පිරුණු කිරි කොතලයට
මිනී කන දත් වලින් ඇන්නා

මාරුවෙන් මාරුවට එක එකා ඇවිත් මගෙ
බඳට උල් යවුලෙන්ම ඇන්නා
ඒත් මං තොටිල්ලේ හඬන පොඩි එකි ළඟම
සිහියෙන්ම ඇස් තියන් උන්නා
කල්පයක් වගේ ගත වෙච්චි පැයකට පස්සෙ
මුරුගසං වරුසාව පායලා තිබ්බා
නන්දෙ මට ආයෙ ඔය ඇස් දිහා හරි කෙලින්
බලන්නට බැරි බවක් දැනුනා

ඇහැලෙපොල කුමාරි වෙන්න මට බෑ නන්දෙ
දරු පෙමට මගේ සළු ලෙහුනා
පත්තිනිත් නෙවෙයි මං ඈට කෝ දරු දුකක්
ඒකී වඳ එකී බව හිතුනා
නීතියේ නිල දරුවො හිතු හිතූ වෙලාවට
මගේ රෙදි ආයෙමත් ගලවාවි හැගුනා
කමක් නෑ නන්දෙ මම දරාගන්නම් ඒවා 
ඔයාගේ සෙනෙහසේ රස්නෙ විතරමයි මට
ආයෙමත් නැගිටින්න ඕනා


Oct 30, 2018

අනියම් !




සේද සිනිඳු මුඳු යහනක
සැතපෙනා රැයේ මැදියම
හිටි ගමන් ඔබේ වම් ල'පැත්තට
හීන් හුස්මක තෙත දැනෙනවානම්
රන් මුදුව ලූ අතක් පපුව මැද්දට
අනායාසයෙන්ම වැටෙනවානම්
මම - නොවේ - ඒ - ඇය

මුදාහල මල් සුවඳ ගුලි කොට
ඉර එබෙන කණිසමට
කලු කෝපි උණුහුමට කැටිකොට
පලමු සුබ දසුන මන බන්දන
සයනයේ පාමුලට කැන්දන
කෙනෙකු වේනම් ඔබට
මම - නොවේ - ඒ - ඇය

ඉල් මහට කල් බලන
ශිශිරතම හැන්දෑ වරුවක
පෙණ නඟින උස බීර බඳුනට
අල්ලාප සල්ලාප අඩු වැඩිය
ශෘංගාර කටගැස්ම සපයන
ඇත්දල පාට පැද්දෙන දෙපා යුග
මම - නොවේ - ඒ - ඇය

එකම හැල්මට දුවන ජීවිතය
මොහොතකට නවත්තා ඉසිඹුලන
එකම එක මිලි තප්පර අංශුවක
මං ගැනත් වගක් ඇති බවම
හිත හිතා මුලු හිතම නිවන
කෝ - කොහෙද - නිදුකින්ද හිතන
දුර ඉදන් ඇල්පෙනෙත්තෙන් හිතට අනින
මම - තමා - ඒ - ඇය

සඳ නේන කලුවරම රැයක
තනිකමෙන් තනි වෙච්ච දවසක
දුර ඉඳන් ළඟට වී තනි රකින
අනවසර සිහිනයක ඇස් වලින්
සියොළඟම ඉඹින්නට ඉඩදෙන
මඟ හැරේවීයි බියෙන් මඟ බලා සිටින
මම - තමා - ඒ - ඇය

හිතුවක්කාර ඇස් දෙකකට
හිතුවක්කාරෙට බැඳුන පෙම
කල්පා'වසානෙ තෙක් රකින්නට
හිතින් හිතටම සපථ කරගත් බැවින්
ඔබ ආවත් - ඔබ නාවත් - ඔබ කතා කලත් - නැතත්
විඳිමින් - විඳවමින්  බලා හිදින
මම - තමා - ඒ - ඇය


බොහොම කලබලෙන් මූණු පොතට එබුන වෙලාවක දැක්ක කවියට හිත ගිහින් තමා මේක බොහොම  හදිස්සියෙන්ම ලියවුනේ. වැඩේ කියන්නෙ දැන් ඒ කවිය කොහේ තිබුනද කාගෙද කියලා මතකත් නෑ දන්නෙත් නෑ.

Oct 28, 2018

ඔව් ඒක එහෙමමයි !




ඇත්තමයි
මට දැන්
මාවත් අමතකයි !

ඒත්

පුදුමයි
මට තාමත්
නුඹව මතකයි !

Oct 16, 2018

සංසාරගත පෙම්වතී !





අතින් අත නොබැඳුනද
සිතින් සිත බැඳි නිසා
හෙටක් නැති මුත් අපට
අදත් මේ ඇති නිසා
ඇත්තමයි  මං ඔබේ

සංසාරගත පෙම්වතිය නොවේමද...

නමක් නැති මුත් පෙමට
නිමක් නොපෙනෙන නිසා
බැඳීමක හිර කරපු
අයිතියක් නැති නිසා
කොන්දේසි විරහිතව පෙම්කරන
මං ඔබේ
සංසාරගත පෙම්වතිය  නොවේමද..

අතින් අතපටලාන
යන්න ඉඩ නැති නිසා
අනෛන්ද්‍රික ශෘංගාර රමණයක
රහසින්ම කැකුළු මල් කූද්දන
නිරන්තර හීනයක සැරිසරන
මං ඔබේ සංසාරගත පෙම්වතිය නොවේමද..

රැයක අවසන පවා
සිතුවිල්ල නුඹ නිසා
මදහසක් සමඟ යලි
උදෙත් මෙහි එන නිසා
නුඹ නැතුව නුඹ එක්ක පෙම් කරන
සත්තමයි මං නුඹේ
සංසාරගත පෙම්වතිය  නොවේමද..

Oct 14, 2018

කාන්තාර කුසුම !




අතැ'ර දැමූ නිස්සාර බිමක
ඉඳහිට පිපෙන
දුශ්කරම මලකි මම !

ඉසියුම්ම සුවඳ ඉඹින
කාන්තාර සුළඟ නුඹ
මට ග්ලැසියර සීතල ගෙනෙන !

අහා...

කොයිතරම් මිහිරිද
ඔබට මා මට ඔබව
ස්පර්ශ වෙන තප්පරය
සත්තමයි විඳිමි විඳවමි ප්‍රේමයම !

Oct 10, 2018

අද එහෙම දවසක් !




මං ආසම හඳක්
හිටි හැටියෙ

එක පාරටම....

ධාරාණිපාත වැහි
කෝඩෙකට පස්සෙ

මහ දවල්....

කොළඹ පෙත්මඟක
අහසට උඩින්

හිනාවෙන අපූරුව....

Oct 6, 2018

නුඹ මගේ සිත අරන් ගියා !





කෝ මට ඔයාගේ අත දෙන්න...

මොකටද ....

සාත්තරයක් කියන්න....

ඔයා එහෙම කිව්වම මම මගේ දෝතම ඔයාට පෑවා.ඔයා මගේ අත් දෙකම අල්ලගෙන අත්ල දිහා බලාගෙන හිටිය.මගේ අත් අල්ලන් හිටපු ඔයාගේ ඇඟිලිතුඩු යාන්තමට ගැස්සෙනව මම හොදටම දැක්ක.

ඔයාගෙයි මගෙයි අත් වල එකම විදියටමයි රේඛා පිහිටල තියෙන්නෙ...

ඔයාගෙ අතකුයි මගේ අතකුයි එක ළඟින් තියල ඔයා මට පෙන්නුව.ඒත් මට ඕන උනේ ඒ වෙලවේ ඒ රේඛා සසඳන්න නෙවෙයි. මගේ අත අල්ලන් ඉන්න ඔයාගේ ඇස් දෙක දිහා බලන්න...ඒ ඇස් වලින් පේන මගේම ඇස් දිහා බලන්න.... පුලුවනම් ඔය ඇස් මට කියන නොකියන හැම කතාවම එක තප්පරෙන් තේරුම් ගන්න... ඒත්.. ඒත් .. ඔය ඇස් වලට එබෙන්න මට බය හිතුන...ඔය ඇස් වල දිස්නෙට මාව පිච්චිලා යාවි කියල මම බය උනා...

ඒ ඔයා මගේ අතින් අල්ලපු පලවෙනි වතාව. ( සමහර විට අන්තිම වතාවත් ) අපිටම කියල ලැබුන ඒ පුංචිම තප්පර ගානත් මට මැරෙනකම් මතක් කරල විඳින්න විඳවන්න පුලුවන් මතකයක්.දැන් ඔයාට ඒවා අමතක ඇති. මතක් උනත් මහා ලොකුවට දැනෙන දෙයක් නොවෙන්නත් ඇති.

ඒත් ඔයා දන්නවද ...?

මේ දැනුත්... ඔව් ... මේ දැනුත් මම ඔයා අල්ලපු මගේ අතේ ඔයාගේ දිග ඇඟිලි තැවරුණු හැටි ඇස් පියාගෙන මතක් කරනව.ඔයා සීරුවට පිරිමැදපු මගේ රේඛා වල ඔයාගේ උණුහුම තියෙනවද කියල අතගාලා බලනව.එදා ඔයා ළඟදි මට දැනුන ඔයාගේ සුවඳ හීනෙනුත් ඉඹල බලනව.

ඉතින් ඔයාට නොකියාම මම උහුලගන්නව ඒ හැම මතකයකම බර....ඔයාට නොකියාම මම දරාගන්නව ඒ ප්‍රේමයේ පෙම්වත්කම.

මට ඔබ නැති වේවි ... ඒත් කමක් නෑ... ඔබ මාව හරි ඉක්මනට අමතක කරාවි..ඒත් කමක් නෑ...ඔබට මා ඔබේ ජීවිතයේ එක්තරා කාලයක සිටි තවත් එක්කෙනෙක් පමණක් වේවි... ඒත් කමක් නෑ... ඔබේ අයිතිය ඔබ අරන් යන්න.ඒත් මතක තියාගන්න... ඔයාව අමතක කරන්න කියල මට කියන්න ඔයාටවත් අයිතියක් නෑ.





අර නිදහස් සිතුවිලි එකේ ලියන  රවී අයියා / මාමා  හරි අපූරු ගීත කතන්දරයක් දාලා තිබුනානේ.ඉතින් ඒවා කියෙව්වම අපිටත් නිකං ඉන්න බෑලු.ඒක කියවනකොටත් මම හිටියේ  මහ වැස්සේ සිංදු අහගෙන වැස්ස දිහා බලාගෙන.ඒ වෙලාවේ මම අහපු මට කැමති හිතුනම සිංදුව තමා මේ...අපිට ඉතින් අර තරම් ලස්සන කතානම් ගොතන්න බෑ.ඒත් ඉතින් මේත් මදෑ කියල ඕං ඔහෙ දැම්මා.




Oct 2, 2018

ඇත්තටම මට පිස්සුද ඩොක්ට !




අද උදෙත් මං බුරුසුවට
ෆේශ්  වොශ් දාගෙන දත් මැදල
ඊයේ පෙරේදා දවසකත් ඔය වගේ
ෆේශ්  වොශ්  කියල මං මූණෙ උලන් තිබුනෙ
ටූත් පේස්ට්  එක
මට දැන් උදේට ඉස්සර වගේ
රස විඳ විඳ  තේකවත්
බොන්න නිවනක් නෑ
තේ මන්ඩි අස්සෙ ඇස් දෙකක්
මං දිහා බලන් ඉන්නවා

අනේ මේ ඇත්තමයි ඩොක්ට
ඒ ඇස් කතා කරනව
මට තේ උගුර ඉස්මොල්ලෙ යනවා...

මිට කලිනුත් එකම එක වතාවක
මේ රෝග ලක්ශනම තිබුන
ඒ වතාවෙනම් ඒ වෙදා නිට්ටාවටම
ලෙඩේ අඳුරගෙන තිබුනා
මට සනීප උනා ඩොක්ට...

ඉතින් එහෙම නිට්ටාවටම සුව උන
ලෙඩ මෙහෙම කාලෙකට පස්සෙ
ආයේ උඩුදුවනවද ඩොක්ට...

හිතේ කෝශ ඇතුලෙ හැංගිලා හිටපු
සමනල් පැටව් ආයේ බඩ පිනුම්
ගහනව ඩොක්ට...ගිය පාර වගේ උන්ට
මේ පාර පියාඹන්න බැරි හින්දමද කොහෙද
පපුවෙ වම් පැත්ත වෙනදට වඩා
රිදෙනව ඩොක්ට..

ඩොක්ටට කියන්න රෑ නින්දෙනුත්
මට මල් සුවඳක් දැනෙනව
ගැස්සිල ඇහැරිල බලද්දි තමා
මට මතක් වෙන්නෙ
ඒ මට නම කියන්න බැරි
පිරිමි සෙන්ට් එකක සුවඳ කියල

ඇයි ඩොක්ට මට රවන්නෙ..
එහෙම තමා ඩොක්ට
සමහර රහස් සදාකාලික රහස්
වෙදාටත් ලෙඩේ හංගන්න වෙන වෙලාවල්
ජීවිතේට එන්නෙම නැද්ද
අනික කවුද දන්නෙ මේ පාර මට
පිළිකාවක් ද කියල

තාම පැතිරිලා නෑ කපල මුලින්ම අයින් කරමු...

මොනවා...කපල අයින් කරන්න....
ඩොක්ට පිස්සුද ඩොක්ට...
ඔය ස්ටෙත් එකට අහුනොවෙන
හදවතේ අහුමුළු තව කොච්චරක්ද
මේ බලන්න ..මේන් මෙතන
ඩොක්ට හිතන්නෙ ඒ හුස්ම ගන්නෙ මමද...?

මේ මෙතන ඔය හිස් මුඳුනෙන්
විහිදෙන්නෙ මම අද දාපු
සන්සිල්ක් සුවඳ විතරමද...?

අල්ලල බලන්න මගේ මේ අත
ඒ සීතල මම
එතකොට කොහෙන්ද මේ
ලා රස්නෙ මගෙ අතට...?

ඔක්කෝටම හපං මේ බලන්නකෝ
මගේ ඇස් දිහා
ඔය කලු ඉංගිරියාව ඇතුලේ
මොකද්දෝ නාඳුනන යමක් තියෙනවා නේද...?
නිතර ඇස් දැවිල්ල හැදෙනව
කඳුළු වැක්කෙරෙනව
කොච්චර පිහිදැම්මත් පටලයක් බැඳිල වගේ
ඩොක්ට කියන්නෙ මේ පොඩි වයසටත්
ඇහේ සුද මතුවෙනව කියලද .....?

ඉතින් මෙච්චරක් දේවල් වෙලා තියෙද්දිත්
කොහොමද කියන්නෙ තාම පැතිරිලා නෑමයි කියල
ඔහොම හිනා නොවී මොනවම
හරි කියන්න ඩොක්ට

අනේ බං කෙල්ලෙ..උඹට ඔල්මාදේ..

අන්තිමට ඩොක්ටට හිතෙන්නෙත් එහෙමද ඩොක්ට
ඇත්තටම මට පිස්සුද ඩොක්ට ....

Sep 26, 2018

ඇයි බං මට මෙහෙම කරන්නෙ ?



අරණෝලිස් අය්යෙ ..


දවස තිස්සේම උඹේ
නොසැලකිලි නොපනත්
කම් ගැන මං වද වෙද්දි
ඒ මොකවත්ම දන්නෙ නැති ගානට
උඹ ඔහොම ඉන්නෙ කොහොමද

රෑ නින්දෙදි පවා උඹව පපුවට අරන්
මං හූල්ලනකොට
උඹට ඔහොම සනීපෙට
නින්ද යන්නෙ කොහොමද

ආදරේ රත්නපුර වගේ  ලු
ඔව් ඒක ඇත්ත
පුංචි රිදුමක් ගෙරවුමක් ළඟ
මොහොතකින් හැමදේම හෝදගෙන
ඇසිල්ලෙන් නාය යන

ඒත් පේනවද අර තුංග කඳු හිස
ධාරාණිපාත මහ කන්දක් වුව
නොසෙල්වී උහුලගෙන
ජීවිතේම හෝදපාලුවට ගියත්
පපුවේම තියන් පද්මෙ රකින වග

මහාගිරිදඹේ කොනකට කර
නිතරෝම උඹ බිමට පතබාවන්නෙම
සමනොළේ වගේ මං උහුලන
උඹට බැඳි සෙනෙහසේ
හැඟුම්මයි මහා බර

එක අතකට උඹ මොනවා කරන්නද

ජීවිතේ දුකක සතුටක
ඉසිඹුව ළඟ
නිතරෝම මට උඹව සිහිවෙන එක
උඹෙ නෙවෙයි මගේ කරුමය
වෙච්චි කොට

               මං උඹේ  සෙදෝනා



* ' ආදරේ රත්නපුර වගේ ' ඒ වචන චමල් අකලංක පොල්වත්තගේ කවි පොතෙන් හොරා ගන්නා ලදී. එතකොට අරණෝලිසුයි  සෙදෝනායි ඉන්නෙ මිණිගංදෑලේ

Sep 21, 2018

Rain Over Me !




ඈත දුරින් තාල තියන අකුණු සරක හඬ අහන්න
හීන් සීරුවේ ගෙට එන හිරිකඩකට සලිත වෙන්න
මෙච්චරක්ම ඉවසපු මල් පෙති මත ඔය තෙත තියන්න
ඉතින් ඔහොම හදිස්සියයෙම අනෝරාව ඇද හැලෙන්න

රාත්‍රියම නිරුවත් කල බිනර හඳට ගතු කියන්න
මලක් උනත් කැමති ඇත්තෙ තරු එළියක සලු උනන්න
කතා කරන කොට තරු ඇස් හාදු කන්ද අතාරින්න
නා දල්ලක පහස ඕනේ වයින්  වලට පාට දෙන්න

වාං දමනකොට වැව් දිය හීං හඩින් දරාගන්න
රළපනාව ළඟ මොහොතක් මාන්සියට නතර වෙන්න
පාන්දරට වත් ඩිංගක් පුලුවන්නම් ඇහැ පියන්න
හීන් සීරුවට හීතල තව හයියෙන් තුරුලු වෙන්න

Sep 19, 2018

මට බොන්න ඕනෙ !




දැන් ඉතින් මට ඕනේ
මත් වෙන්න
සිහි විකල් වෙන තරමටම
මත් වෙන්න

සැරම සැර මධු විතක
ගිලි ගිලී
නිදහසේ  කොහේ හරි
පාවෙන්න

එක්කො උඹ අමතක කරල
හිනැහෙන්න
එක්කො උඹ මතක් කර කර
අඬා වැටෙන්න

ඒ මුකුත්ම නෙවෙයි නම්
උඹට උඹේ පාඩුවේ ඉන්න දෙන්න
මමත් මගේ පාඩුවේ ඉන්න
හිත හදාගන්න

ඒ මොනා කරන්නත් කලින්
මට ඕනෙ දැන් මත් වෙන්න
සිහි විකල් වෙනකම්ම
මත් වෙන්න !

Sep 9, 2018

සඳ එළිය වගේ ඇවිදින් !



ඇස් අස්සෙ හංඟාපු හීන දෝතට අරන්

මේ තරම් පෙම් පාට තැවරුවේ ඇයි කියන්
ආදරේ ගුලි වෙද්දි පපු කුහර තද කරන්
අදත් ලියවෙන කවියෙ නුඹ හිදී රත්තරන්

කිවිදියට පෙම් බැන්ද කිවිදාණ කෝ අහන්
හිතත් නිදි වරනවා කලුවරට වී වහන්
තව එකම වරක්වත් දැක ගන්න ඔය නුවන්
පිං මදිව මේ සසර නිමවේද මට කියන්

ඇස් දෙකක් විදුලි කෙටුවම හිතේ හරි මැදට
සංසාර හුරුපුරුදු දැනෙන එක ඒ බොරුද
ඇට මිඳුළු හාරගෙන ආදරේ දැනෙන කොට
දැක්කෙ නෑ දන්නෙ නෑ වගේ ඉන්නට හැකිද

මහ හුඟක් දුර උනත් මේ ළඟම වගෙ දැනෙන
නොදැක්කට නොදෙඩුවට හිත අද්දරම වෙසෙන
ගඟක් සේ නොනැවතිම සයුර වෙත ගළන
නුඹ මගේ හදවතේ උල්පතකි කවි උනන

Sep 3, 2018

හුස්මකට හුස්මක් !



කොහේදෝ ඈත
දුරකින් ඇසේ
නොනිදනා රැයක
ඉසියුම්ව ඉසියුම්ව
තත් බිඳෙන
ස්වරයක්...

ළඟ ළඟ ම
ළඟ ළඟ ම
දැනේවී දැනේවී
රෝමාන්තික
පිරිමි විළවුන්
සුවඳක්..

රසෝඝයේ සලු
ගිලිහෙන්නටත්
පෙරම
විනිවිදී විනිවිදී
අකීකරු තරු
දෑසක්...

Aug 26, 2018

ආදරේ හරි සරළයි හිටං !


ආදරේ කියන්නෙ
එයා කන්න කැමතිම මට එපාම කරපු  කරවිලයි වම්බටුයි දැන් මමත් ආසාවෙන් කන එකට...
මම කන්න කැමති එයා කන්න අකමැතිම බෝංචියි කැරටුයි එයාටත් කන්න පුරුදු කරපු එකට..

ආදරේ කියන්නෙම
එයා කැමතිම මිනි මරාගන්න ලේ පෙරාගන්න චිත්තරපටි ඇස් පියාගෙන හරි රෑ දෙගොඩ හරියක් වෙනකං මමත් බලන එකට..
මම කැමතිම ආදරේ වැක්කෙරෙන පෙම් කතා එයාටත් බලන්න පුරුදු කරන එකට...

ආදරේ කියන්නෙම
මම නැතුව කොහේ හරි ගියා ම එනකං ඇස් දැවිල්ල හැදෙන එකට..දහ දොළොස්  වතාවක් කෝල් කරන්න හිතෙන එකට...
පොඩ්ඩක් පරක්කු උනොත් මහා මූසල දේවල් හිතෙන එකට..අම්මට මල්ලිට අක්කට වටේටම කෝල් කරල නහයෙන් අඬන එකට..ඊට පස්සේ බැනුම් අහන එකට..

ආදරේ කියන්නෙම 
මම ලියන කිසිදේක අහුමුළු  නොසයන එකට..
තෝ මේක ලිව්වෙ කාටදැයි අරක ලිව්වෙ කාටදැයි නොඅසන එකට
ලියද්දී මට මම ම වෙන්න ඉඩ දෙන එකට...

ආදරේ කියන්නෙම
මම තාමත් පිස්සු වැටෙන්නෙම
මාධවන්ගේ හිනාවටයි කියන එකට
මාව හිරිවට්ටන ඇස් තියෙන්නේ වෙන කෙනෙක් ළඟයි හිතෙන එකට...
ඒවට මූණ කොරහක් කර ගත්තම
හරි ඉතින් මම ආසම... මම ආදරේම... පපුව තියෙන්නේ ඔයා ළඟ නෙ කියා මුරුංගා අත්තේ තියන එකට...

ආදරේ කියන්නෙම
බබා අන්න  මරු ගලක්....කෝමද අර ඩිකිය  ...පාරේ තොටේ යන එනකාං ඉස්සර එයා මට පෙන්නපුවා දැන් එයාට කලින් මං පෙන්නන එකට...
කෑගහන්න  එපා බා...න් අපි දෙන්නටම ගෑනුන්ගෙන් ගුටි කන්න වෙයි කියා උන්දෑ බය වෙන එකට...

ආදරේ කියන්නෙම
නිකමට හරි එයා මැරුනොත් මට ලස්සන උස හාදයෙක් කසාද  බැඳගන්න  කියල එයා කියන එකට...
හැබැයි මම මැරුනොත් ඒ සෙල්ලම් බෑ
ශිවන්යා වෙලා ඇවිත් කරන දේවල් බලා ඉන්නවායැයි
මං හර්තාල්  දැමීම...

ආදරේ කියන්නෙම
එයා දාරාණිපාතෙට වැඩ වෙලාවට
අම්මයි පුතයි ඔෆීස් කාමරේ ගෝරි දා ගන්න එකට..
ඒ පරිප්පු එයාටත් කන්න දෙන එකට..
අන්තිමට අම්මයි පුතයි එලියට දමා කාමරේ දොර වහන එකට..

ආදරේ කියන්නෙ දැන් එයාට මම ලියන ඒවා කියවන්න වෙලාවක් නෑ කියන එකට...
ඒකට මම  ඇස් වල කඳුළු පුරෝගන්නකොට ඊළඟ ආත්මෙනම් කවි ලියන එකියක් කසාඳ බඳින්නේ නෑයි කීම...
හා... මටත් ඕනෙ නෑ බඳින්න ඒ උනාට ලබන ආත්මෙත් ඔයා මගේ ඩ්‍රයිවර් නම්  වෙන්නම ඕනෙයි කියන එකට...




   ඉවර නෑ... තව තියෙනවා පස්සෙ

Aug 22, 2018

ඇවිලෙමි ...නිවෙමි !




නාභි විල් දිය මත
පිපි රන් තඹරු කුසුමක,
සුවඳ දෙතොලින් ගෙන යත
පයෝධර දාගැබ් වෙත,

සුසුම් නිවනකි,
හිතුවක්කාර පෙම්වත…

දිස් ඊස් නොට් රයිටර්  ~


ඩන්හිල් සුවද හුස්මක තෙත
උරාගෙන පිපෙන පෙති මත ,

නිල්මල් විලක සුව දෙන
පිපී එන පයෝදර තුඩ ,

ගැහෙන ප'පුතුර මත
ඇවිලෙමි ...නිවෙමි
විසේකාරිය නුඹ...

දිස් ඊස් නොට් සඳවතී   ~

Aug 14, 2018

උන්මාදිනී !



ග්ලැසියර සීතල
දැනෙන හවසක

මන්දාකිණි දිස්නයකි
ඒ දුඹුරු ඇස් අස

ගිනි සිළක උණුහුම
රැඳුණු මුඳු පපුවක

වෙලෙමි දැවටෙමි
උන්මාද සිහිනයක

Aug 7, 2018

ඔව් ඇයි අවුල්ද !

                                                                 ( රූපය අන්තර්ජාලෙන් )


මං ආසයි මුඩුක්කුවක ඉපදෙන්න
ඔව් මං ආසයි මුඩුක්කු  කෙල්ලෙක් වෙන්න
වැහි කාලෙට දෝරෙ යන කුණු ඇලක් ළඟ
ගන්දස්කාරෙට හරි අපූරුවට
නිදහස් හුස්මක් ගන්න
සුදුම සුදු ඇගිලිකරු අස්සෙන්
චිරි චිරි ගගා මඩ විදෙන්න
සද්දෙට ඇවිදින්න

ටකරං වහලෙට එක සීරුවට
වැහි වැටෙනකොට
යාන්තං නොතෙමෙන තැනක
ඇණ තියාගෙන හූල්ලන
අම්මගෙ හුස්මකට ගුළිවෙන්න

ඉදහිට දවසක වත්තෙ කොලු රැළ එක්ක
හීනියට මලක් ඔතන හැටි ඉගෙන ගන්න

පිරිමි දාහක් මැද්දෙ හිටියත්
උන්ගෙන් සල්ලං නොවී ඉන්න
මුඩුක්කුවෙ අනිත් කෙල්ලන්ටත් එහෙම
නොවී ඉන්න හැටි උගන්නන්න

පාරේ පයිපෙන් නාද්දි
තෙත බේරෙන ගෑනු කම් ළඟ
කෙල හලන මදාවින්ට
මොනාද ඩෝ බලන්නේයි සද්දෙ දාන්න
හිමිහිට මාරුවෙන උන්ට හයියෙන් හූවක් තියන්න

බිස්නස් එකට හිඟාකන තාත්තගෙ රස්සාවට
ජල්තර දාන ටවුමෙ මහත් හොරු එක්ක ගේම ඉල්ලන්න
ඔය පොර ටෝක් දුන්නට ඕකී ඉන්නෙ
අහවල් මුඩුක්කුවේ කියල උන් හිනාවෙද්දි
ඔව්  අයියෙ ඇයි අවුල්ද අහන්න

ලොකු ගෙවල් වල පොඩි බේබිලට
උගන්නල ගන්න සොච්චමෙන්
අම්මගෙ මූණෙ හිනාවක් අඳින්න
කීයක් හරි ඉතුරු උනොත්
බෙනාගෙ කවි පොතක් අයිති කරගන්න

රෑට නිරුවත් වෙන කොළඹ  අහස යට
තරු එළියෙ කවියක් ලියන්න
මුඩුක්කු  කුමාරියෙකුට ආදරේ කරන
පොලවෙ පය ගහපු රස්තියාදු  කාරයෙක් 
ගැන කතාවක්  ගොතන්න

කවද හරි ඒ කතාවේ ඉන්න
රස්තියාදුකාර තරු ඇස් ළඟ   
හැබෑවටම නිවෙන්න...සැනසෙන්න
ඉතින් ඇත්තමයි
මට ඕනෙ මුඩුක්කු  කෙල්ලක්  වෙන්න

Aug 2, 2018

තාත්තේ ඔයා නැතුව දැන් අම්මට ඉස්සරටත් වඩා පාලුයි !






එතකොටත්  මගෙ වයස යාන්තං දාහතයි
අම්මටත් ඒ හැටිම නෑ වයස හතළිස් තුනයි
හිරවෙලා ලේ කැටිය නැවතුනේ හදවතයි
තාත්තා ගිියෙත් හරි ඉක්මනට හතළිස් හතයි

එදා අම්මා උහුල ගත් කඳුළු ගංඟාව
අදත් දියවෙලා වැක්කෙරෙනවා මහ රෑට
ඒ තරම් ඉක්මනට හිස් උනත් යුග යහන
අදත් ඈ පෙරවන්නේ ඔයාගේ කොටු සරම

තාත්තා කෝ කියල කවුරු හරි ඇහුවාම
කොච්චරක් කල් ගියත් ගැස්සෙනව හිත තාම
අඩුවෙන්ම ලියන්නේ මං ඔයා ගැන මෙහෙම
අඩු වෙලා නෙවෙයි ආදරේ ඔබ දන්නවා ඒක

උහුලලා බැරිම තැන නාය යන මහ කන්ද
වගේ සද්දයි විටෙක අම්ම හංගන හුස්ම
තනියෙන්ම දිය වුනත් ජීවිතේ හොද හරිය
අදත් අපි තුන් දෙනා තමා අම්මට හයිය

දැනුත් පහු කරද්දී ඔයා නැවතුනු සොහොන
එදා වාගෙම පාලු මූසලයි හැන්දෑව
පැන් වඩන්නට කලින් ඇස් කඳුළු ඉස්සාට
තාත්තේ මතක බණ හෙටයි  ඔබ එනවාද


Jul 26, 2018

ප්‍රේමයේ ඇඳුරාණෙනී !






අයිලයට වැටෙන මල් තුහිනයට
හීතලට ගැහෙනවා තුන් හිතම
නිම්නයේ පොප්ලර් ගස් යුගල
හාදු දෙනවා පෙමින් උනු'නුන්ට
කහ පාට මල් පිපුණු මල් යාය
එදා වාගෙයි අදත් සඳපාන

දුයිෂෙයින් මගේ ආදරණීය........
දුව ඇවිද අයිලයේ හතර අත
මම තවම හොයනවා නුඹෙ සුවඳ

වසන්තය එන වගට සත්තකයි
කියා නුඹ නේන්නම ගොස් කොහෙද
හිම කැටිති මිදෙන ඝණ කලුවරට
කියන්නද නුඹට බැදි පෙම තරම
කඳු නිම්න ගිරි ශිඛර දෙදරන්න
කෑ ගසන්නද ඔබට දැනගන්න

දුයිෂෙයින් මගේ ආදරණීය........
ජීවිතේ කියා දුන් ඔය හිතට
ආදරෙයි තාම මම පණ සේම

Jul 23, 2018

හදවත නැති මිනිසා ඔබ !




ඒ මහා කුණාටුවට පසුවත් ,

ඔබ අර ඉස්සරෝම දුන්න
සෙනෙහසේ සුවඳ දැනෙනවා
ආදරෙයි නුඹට මම මහ හුඟක්
කිව්ව හැටි මැවෙනවා

මනමාල පාට ඔය ඇස් වලින්
මගේ ඇස් අල්ලන්න හදනවා
ඕනේ නෑ ඕනේම නෑ තවත්
මම මගේ හිතට බල කරනවා

ඒ මහා වැස්සටත් පසුව ,

ඇහි දාර අඟිස්සක ගැහි ගැහී
තවම ඇවිලෙන කඳුළු තියෙනවා
ඒ කඳුළ නුඹට නොවටිනා බව
දැන දැනත් හිත නුඹව අහනවා

නෑ එපා එපාමයි  හිතට තරවටු කර
ප්‍රේමයේ සොහොන් කොත බඳිනවා
ඒ සැනින් ආයෙ යලි ගොඩට ගෙන
ආදරේ හුස්ම තව පිඹිනවා

Jul 20, 2018

In your arms !


අල්වා දෝතින්ම
දෙ'උරහිස් මුඳුව
තුරුලු කරගෙන පපුවටම
තවරද්දි ඔය දෙතොල්
සීරුවට නලළ....

හිරිවැටුනු කේශ නාලිකාවකට
ගිනියම්ව ලේ පිරෙන
ඉ'සියුම්ම හඬ
මට මතක් කරන්නේම
මම ඔබට ආදරේ වග...

Jul 13, 2018

දැවෙමි තැවෙමි !





ප්‍රේමය
මියැදෙන්නට පෙර
හදවතට
ගිනි තබමි

මේ අවසාන සිහි කැඳවීම ඔබට....

කරුණාකර ,

ඉවත් වන්න
මතක
වහා ගිනි
ඇවිළෙන සුළුය

Jul 9, 2018

In This Moment !




මේ කවුළු ඇ'සඟින්
අර පේන අවකාශයේ
කොහේ හරි...කොහේ හරි
ඔබේ සුවඳත් ඇතී...

කොන්ක්‍රීට් තුංග තුරු
හිස් මුඳුන් සිඹ සිඹ
හමන මේ පවන් රොඳ
ඒ සුවඳ ගෙන වඩී...

හිස් අතින් ඇවිත් හිස්
අතින් යන තැනක හිඳ
එකම එක හුස්මක්ව
සෙමෙන් පවනේ වෙලී...

අන්න අර පේන දුර
ඈතකම සැඟවෙන්න
මතක පිටු ඉර ඉරා
කවුළුවෙන් විසුරමී...

Jul 8, 2018

ඉසුරුමුණියේ මගබලන්නා !




තිසා වැව ළඟ කලා වැව ළඟ අපේ සෙනෙහස දෝරෙ ගැලුවා
රුවන් වැලි මහ සෑය වැදගෙන හමන පවනත් අසිරි සැලුවා
වණ උයන්වල මල් උයන්වල විහඟනුත් පෙම් කතා ඇහුවා
හිටි ගමන් නුඹ මටත් රහසෙම ඇස් වලින් මගෙ වහං වූවා

වාසලේ රජ අසරුවෙකි මා නුඹයි මම පෙම් කරපු මාලා
මේ තරම් පෙම් කරපු මගෙ හිත කියන් කොහොමද ගියේ දාලා
නැගී තුරගෙකු පිටේ සෙව්වෙමි ගම් නියම් ගම් පීර පීරා
ඉසුරුමුණියේ පොකුණ ළඟ දිය පොදක් බිව්වෙමි වාඩි වීලා

මඟුල් උයනේ තුරු හිසක් යට නුඹේ සිනහව රාව නැගුනා
ගැස්සිලා මම බලනකොට නුඹ ම' මිතුරු සාලිය එක්ක හිටියා
හොවාගෙන ඔහු නුඹව උකුලේ නුඹට ආදර කතා කිව්වා
නුඹට පෙම් කල මගේ හදවත ගල් වෙලා ගල් කුළක රැදුනා

ලෝකයම අද කතා වෙන්නේ යුවල ළඟ ඇති මහ පෙමක්
මිසක් කවුරුත් දන්නෙ නෑ ගල් කුළක මං විදිනා දුකක්
කමක් නෑ මං කියන්නෑ ලෝකයට නුඹ ගැන කිසි දොසක්
අපේ පෙම හදවතේ ගුලි කොට මග බලමි තව කප් සියක්

Jun 27, 2018

ඒ ඇස් !


මට උගන්නන්න
ඔය ඇස් දිහා
හරි කෙලින් බලන හැටි
මට කියාදෙන්න
මත් නොවී ඉන්න හැටි
ඔය ඇස් ළඟ....

ඔය ඇස් ගැනම
කවි ලියන්න හිතෙන එක
ඔය ඇස් ම
හැම තිස්සෙම මට
මතක් වෙන එක ගැන
මට කියා දෙන්න
නතර කරගන්න...

අනේ අහන්න..

ඔයාට පුලුවන්ද
ඔය ඇස් වලින්
මට බලහත්කාර කම්
කරන එක නවත්තන්න....



අරූගේ බ්ලොග් එකට ලියපු කමෙන්ට් එකකි .

Jun 20, 2018

සීතාවක්ව !



හිම වගේ හීතලයි
මේ වංකගිරි වනේ
රාවණා නුඹ කොහිද
මට තනිය දැනේ
කුදලාන ඇවිත් මා
වංහ කෙරුවට ලෙනේ
ඇස් දෙකෙන් ගලන්නෙම
ඔය හිතේ ඇති සෙනේ

රාව
ණා නුඹට ඇති චෝදනා බරපතලයි
ඉතිහාසේ පුරා නුඹෙ නමට කලු කැළලයි
ලෝකෙටම පේන්නේ නුඹෙ සළෙල කමමයි
ඒත් මං දැක්කෙ නුඹෙ ඇස් දෙකේ පෙම මයි

ඇල්ලුවේ නැති
උනත් අතින්වත් අත
ඇස් වලින් බදාගත්තම
මගේ හිත
දන්නවා උනත් අපි
අපිට අයිති නැත
සැලෙනවා රාමාට
බැඳුනු පතිවත

රාවණා  නුඹෙ නපුර මගෙ ළඟදි කීකරුයි
ඒ නිසාමද මංද මමත් හරි ළෙංගතුයි
ප්‍රේමයේ  පැහැය බොඳ උනත්  ඇස් දිස්න දෙයි
රාමාව අමතකව යාවිදෝ  බය හිතෙයි

එකම එක රැයක්වත්
නුඹේ ඔය සද්දන්ත
පපුතුරේ කොහේ හරි
හීතලට ගුලි වෙන්න
ඉඩක් නොතියම ඉතින්
සිහගිරට ගිනි තිබ්බ
උන් දන්නවද  නුඹේ
පිරිමි කම මං දැක්ක


රාවණා නුඹේ ඇස් මට කිව්ව පෙම් කතා
සත්තමයි පපුතුරේ සඟව ගන්නම් සදා
ගතින් සිල් නොබින්ඳට හිතේ සිල් බිඳි නිසා
රාමාගේ අග්නියෙන් බේරෙන්න බෑ තමා

Jun 13, 2018

නාරී !



ස්වේත පංකජ කැකුලු පෙති අග
තවරලා හසඟන තුඩූ
නග්න සානුව දෙපස හෙමිහිට
උස් පහත් වෙන ඒ කඳූ

පහල සීතල ගලා හැලෙනා
නිම්නයේ හරි මැද තැනූ
සිගිති පොකුණකි නොරැදි මුත් දිය
දිව'ග මත අම මී පිරූ

මදාරා මල් සුවඳ මුවරද දෙතොල්
පහසින් කිති කැවූ
ගුල්ම වන ගැබ පිපිණු කටරොලු මලකි
දුටුවන් දණ නැමූ

පිරුණු ඇත් දළ පැහැය පිරි දඟ
යුග්ම මත ඔකඳව තුණූ

යහන් සදනා විටෙක හිමි හට
වෙසඟනක වේසය ගත යුතූ

Jun 11, 2018

Goodbye Forever !




කඩා වැටෙනකොට රෑ අහසකින් තනි තරුව
දවස් කොයි තරම් වෙද ඔබ ගැනම නිදි වැරුව
කියන්නට බැ‍රි උනත් සෙනෙහසම හිත දැරුව
නුඹ දන්නෙ නෑ නුඹයි මගෙ අහසෙ හඳ පලුව

මහාමේරුව වගේ නොසෙල් වෙන ගල් හිතට
මහද සෙනෙහසේ කැටයම කැපුවෙ සුරුවමට
නොතිබුනත් ළතෙන් හැඟුමක් හිතේ මගෙ නමට
මේ කවත් ලියන්නේ සත්තමයි නුඹෙ නමට

වචනයෙන් වචනයට අල්ල ගෙන කොනක්
හැමදාම පහුරු ගෑවම එකම තැනක්
ආදරේ උනත් වෙනවලු විටෙක වසක්
දන්නවද මට තියෙන්නෙත් පුංචි හිතක්

හඳට තනි රකිද්දි ළඟ ඉදන් තරු ඇසක්
බලන් හිටියා මමත් රෑ අහස වරු ගනන්
මගේ නොවුනත් හිතට දැනුනෙ නෑ ඒ වගක්
මුලු අහස පුරා මම හෙව්වෙ එක ඇස් දෙකක්

එකම ඉත්තක වැහුව කුරුල්ලන් නොවු පවට
නුඹට මා මට නුඹව නොතේරෙන තැන් එමට
ඉතින් තව ළඟට වී හිත් රිදවගෙන කුමට
ලෙහන්නම් හිතේ බැමි ඉගිල්ලෙනු මැන දුරට
 

Jun 7, 2018

කවි ලිව්වා මදෑ !

හම්මේ .... බ්ලොග් එකට මුකුත් නොලියා ඔන්න දවස් දහයකුත් වෙන්න එනවා.පහුගිය දවස් ටිකම හරිම බිසී වෙලා හිටියේ.යාන්තං බ්ලොග් වලට එබිලා යනවා මිසක් හරියකට කියවන්නවත් කමෙන්ට් කරන්නවත් බැරි උනා.පහුගිය සුමානේ දවස් හතරක්ම ගෙවුනේ එකම ළඟ යෙදුන යාලු මිත්තරයෝ දෙන්නෙකුගේ ගෙවල් වල බණක් දානයක් සහ පිරිතක් දානයක් එක්ක.වැඩ කරලා නිදි මරලා සන්තෝසේ බැරුවා.

කොහොම හරි ඔය හැම තැනම  අතුරුපස අංශය තමා අපිට බාර උනේ. අපි කිව්වේ මමයි සත්තලනුයි සහ අපි දෙන්නා වගේම හරිම සෝයි කපල් එකක්.බාර උනේ කිව්වට ඉතින් මේක මේ අපි හතර දෙනා ඉල්ලගෙන කන වැඩක්.ඔය දාන මාන දෙන්න කලින් සාකච්චා වට වලදී අපිම තමා ඉදිරිපත් කරන්නේ අනේ ඔය හැම තැනම දෙන අයිස්කිරිමයි චොර කරපු ෆෘට් සැලඩුයි එහෙමත් නැත්තන් කිරියි පැනියි නැතුව වෙන මොනා හරි කරමු කියල.ඊට පස්සේ ඉතින් ආ... එහෙනම් උඹලා කරපල්ලකෝ කියලා අපිට බාර දුන්න වැඩේ ගොඩ දාපු විදිය තමා ඔන්න ඔය පල්ලෙහා පින්තූර වල තියෙන්නේ.ගෙවල් දෙකේම දාන වලට අපි ඔන්න ඔහොම  අපිට පුලුවන් ආකාරයට පොඩි හැඩ වැඩ ටිකක් දාලා ලස්සනට පිරිසිදුවට ප්‍රියමනාප තාලෙට කාගෙත් බඩ කට පිරෙන්නම හිතේ හැටියට පලතුරු දුන්නා.

ඔන්න බලන්න පින්වතුනි මට ලියන කලාව විතරක් නෙවෙයි කපන කලාවත් පෝ.....ඩ්ඩක් වෙන්න පිහිටලා තියෙනවා හැඩැයි නේද ?

ආ... අමතක උනා නොවැ කියන්න මේ  සේරම පින්තූර වල ක්‍රෙඩිට් එක සත්තලන්ට හොදේ.

























May 29, 2018

හිත රිදුනා විතරමයි !





සැරින් සැරේ 
තට්ටු කරන්නෙපා ඔහොම
හිතට,

බලන් ඉඳලා බැරිම තැන
ඉබි යතුරු දැම්ම විතරයි
දොරට.....

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...