සඳට බැළුම් හෙලූ අය

Feb 26, 2018

නොරිකො සං අසාපන් !



තමබොචි සොහොන යට තනිකමට හුරුවෙච්ච
හදවතක් ඇති නමුත් හීතළට ගල් වෙච්ච
පෙම්බරිට නොකියාම ඇවිත් සොහොනට වෙච්ච
පෙම්වතකි මමත් ප්‍රේමයෙන් ආතුර වෙච්ච......

සකේ උගුරක් බොමින් ප්‍රේමයෙන් මත්වෙන්න
තතමි පැදුරේ නුඹට ළංවෙලා වැතිරෙන්න
හීන මැව්වට නුඹත් එක්ක මහ දුර යන්න
අපි වෙනස් කුරුල්ලන් බෑ එක්ව පියඹන්න......

ජීවිතේ සුන්දරම දවස් නුඹ හා එක්කව
ගෙවූ හැටි අමතකව නෑ තනිව උන්නාට
හිතට තව වාරු නෑ මැරි මැරී උපදින්න
ඒ නිසයි අත්හලේ නුඹේ අත නොකියාම........

මළවුන්ගේ අවුරුද්දෙ අදයි ඒ හැන්දෑව
මොහොතකින් නුඹ ඒවි දිගු දෑස හංඟාන
වාරු නැති මුත් ඇවිත් අල්ලන්න ඔය දෑත
මං තාම ආදරෙයි මගේ මල සකුරාට......

Feb 24, 2018

දුවට මවක මිස !






සොළොස් කලා සපිරුණු පුන්සඳ සේමා
දිවි මාවතේ නොසැලෙන ඉදුඛිල සේමා
වැටෙනා හැම කලට උරහිස දුන් බෝමා
පෙම්මා වඩන නුඹ ළඟ සෙනෙහස බෝමා

මහා නුගයක් යටදි  හිත විදින සුවේ
ඔබේ එක වදනකද ඒ සුවය ඇතේ
අනා මහ සෙනෙහසින් කැවූ බත් පිඩේ
ආදරය මිස වෙනත් කිසිවක්ම නොවේ

එපා වුන විටදි ජීවිතේ හොදටෝම
ඔබෙ දයා ගඟ ගලයි හතර අතටෝම
නෑ කිසිත් සම කරන්නට එහෙව් පෙමට
දියවරකි අම්මෙ ඔබ ඉරිතැලුණු  හදට





 අද ඔයාගේ උපන්දිනේ... ඒත් ගිය අවුරුද්දෙ වගේ ලස්සනට සමරන්න විදියක් නෑ  ඔයා ලෙඩ ඇඳක නිසා...මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරන්නේ ඔයාට ඉක්මන සුවය විතරයි.ජීවිතේ හැම මොහොතකම අත නොහැර මගේ ළඟින් ඉන්න  ආදරණීය අම්මේ... ඔයාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක්ම වේවා...!

Feb 22, 2018

රතු මේපලී !



සිසිරයේ සීතලින් පෙම්වත්ව
දරාගෙන හිම පියල්ලක් බැතිව
කල්පයක් ළඟින් ඉන්නට පැතුව
මමයි ඒ පුංචි රතු මේපලිය....

තුරු මතින් රිංගාන සඳ එළිය
ඇවිත් රහසෙම කොපුල් සිම්බාම
හිනැහෙමින් නුඹේ තුරුළෙම උන්න
මමයි ඒ පුංචි රතු මේපලිය....

ගිම්හානයේ සැඩ හිරු ඇවිත්
උදුරගෙන මගෙ සීත පිණි බිඳුව
සියොළඟම දවා අකල්හී ඉපල් වූ
මමයි ඒ අහිමි රතු මේපලිය....

Feb 21, 2018

මන්දෝදරී නුඹ තාම මගේ !



සමනොළ ගිරි හිස වැඳ පියඹන සමනළයින් ආලකමන්දාවට වැඩලා
මන්දෝදරී නුඹේ මන්මත් සිනා හඬින් නිල් වැව් තලාව පිරිලා...

රිටිගල කන්ද උඩින් මධු සඳ මෝරනකොට දැනෙනව සුවඳ මදාරා
දීපංකරේ ගිහින් මට දුක් ගෙනාවාට තාමත් නුඹයි මගේ රන්කඳ  රාවණ්නා...

ලෝකය කියන මුසා නෑසු කන්ව ඉදින් නුඹටයි මගෙ පෙම නිම්මා
ඇල්ලුවෙ නෑ අතකින් බැල්මක් හෝ නෙතඟින් කැන්දන් ආවට සීතා...

අහිතක් තුන් හිතකත් නෑ කුමරුනි තාමත් සත්තයි පෙම්කල හින්දා
සිවගිර මුඳුනෙන් බැස මේ දැන් එනවානම් සිරියහනට සඳ වැඩලා...




Feb 13, 2018

මධුර යාමේ.... !





ස්වේත සඳ  නීලම්ඹරෙන් බැස
මල් කුමුද්දක් ළඟ සලු උනා
පිනි වෑස්සෙන රෑ  ළපළු තුරු හිස
මනමාල  මල් කැටයම් කලා

නිල් තරු කැටක් හරි ආදරෙන්
බිම් මලක ගෙල මුල  සැතපිලා
රෑ බදුල්ලෙක් ලා රෝස පෙත්තක
මකරන්ද දෙතොලින් හිස්කලා

රෑ සුරඟනක් පය ගිගිරි සලමින්
හදවතේ තෙත අඩි තියා
දිවයද්දි ගිලිහී සළඹ මුතු ඇට
නොනිදනා රැයකට ඉඟිකලා

දෙ'කඳු මැද උණුසුම්ම නිම්නයෙ
සෙමෙන් වැතිරී හිස හොවා
මත් දෙතොල් සලිතව පිපාසෙන්
සුන්දරම ගින්දර ඇරඹුනා

මහෝඝය සේ සැනින් ලුහුබැඳ
රසෝඝය  සියොළඟ වෙලා
ළය'ගිරේ ගුළිවුනු කැකුළු පොට්ටුව
එක හුස්මකට විකසිත උනා

සලා මුවරඳ රේණු  තුඩ තුඩ
රස විලේ ස්වර'ගුළු ඇහැරුනා
පයතුඩින් අවදිව  හැඟුම් විහඟුන්
හිස් මුඳුනතත් සිඹ ඉගිලුනා

Feb 10, 2018

ඔබට ... මම... ආදරේ... නිසාම....!






අද වගේ දවසක්
හිතින් අමතක වේවිනම්
කිසිවක්ම සිදු නොවූ අයුරින්
මේ වගේ සිටින්නට හැකිනම්
ඇත්තටම ඔබ දිනුම් පැරදුනේ මා නම්....

මේ මහා නපුරු දවස්
ඉක්මනට ගෙවේයැයි සිතමින්
විඳවමින් විඳිමින් ගත කරන
මම දැන් මියෙන්නට ආසන්න
කාන්තාර කුසුමක්...

මහා දුරක ඉදන්  හරි පරිස්සමින්
රැගෙන ආ සුවඳ ගිලිහෙන්න නොදී
අමුණගෙන තුඩින්
තාම පෙර පුරුද්දට මඟ බලන
බල බලා හති වැටුන
කහ කිරිල්ලිය මම්..

ඔබේ දුක් සුසුම් ළඟ
ඔබ ළඟම රැදෙන්නට පැතුව මා
නොපවසා කිසිවක්ම
මේ තරම් දුරකටම විසිකලේ ඇයි කියා
කිසිදාක නොඅසමිය  ඔබෙන්  යලි...

ආදරය කියන්නේ බලා සිටීමනම්
මියෙන තුරු මඟ බලන්නට
ඉතින් මා සූදානම්...
ආදරය කියන්නේ පපුවට දැනෙන
මේ ගින්දරනම්
ඒ ගින්දරෙන් දැවී හළු වෙන්නට
ඉතින් මා සූදානම්...

 ඉතින් ,

මේ රිදුම් පිරිමදින්නට
ඔබේ එක දයාබර වදනක්
පමණක්ම ඇති නමුත්
ඔබට මා අමතකව ඇත්නම්
සිහිනයෙන් සිහිනයට
මැරි මැරී උපදින්න
මට වාරුවක් වේවී
මේ කඳුළු කවිකම් ....

Feb 8, 2018

ඔබ නැතුව ඔබ එක්ක !



ඔබ
ඉන්න
සෑම
තැන !

ඉතින්
දැන් ,

ඔබ
සෙවූ
මගෙ
සුවඳ !

Feb 6, 2018

නිහඬ වෙමි නිහඬ බව බිඳිනා තුරා...



නිහඬ වෙමි
නිහඬ බව
බිඳිනා තුරා...

මඟ බලමි
දෙඇස් නිදි
වරනා තුරා...

මතක් කරමි
කෙදිනක හෝ
අමතක වෙන තුරා....

නිහඬ වෙමි
නිහඬ බව
බිඳිනා තුරා...

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...