කාලාන්තරයක් තිස්සේ දැකපු හීනයක් නොහිතූ විදියට හැබෑ උනොත් ඒක මොන තරම්නම් සතුටක්ද...ඉතින් මේ කියන්න යන්නෙ මගේ ජීවිතේ එහෙම සැබෑ වුන එක හීනයක් ගැන.මේක ඉතින් මේ පෝස්ට් එක කියවන බොහෝ දෙනෙකුට මේ වෙනකොට අලුත් දෙයක් නම් නෙවෙයි.ඒත් තාමත් මගේ සතුටේ උණුහුමට ඒක බාධාවක්නම් නෙවෙයි.කවදා හරි නවකතාවක් එලි දක්වන්න , කවි පොතක් එලි දක්වන්න , මම ලියපු පද වැලක් ගීතයක් වෙනවා දකින්න වෙලාවක් අවේලාවක් නැතුව ලියන්නියක් වෙච්ච මට තිබුණු ලස්සන හීන වලින් කීපයක්.
සීතල හිම කැට විසිරුණු එහෙමත් නැත්තන් ආදරණීය දෙවෙන්දොරා කියන්නේ ගීතයක් වෙලා පාට වෙච්ච මගේ ලස්සන හීනයක්.මුලින්ම ගීතයක් කරන්න මම තෝරගෙන හිටියේ මම ලියපු වෙන පද වැලක්. ඒත් ඒක පොඩ්ඩක් පස්සට තියලා මේක මුල්ම ගීතය වෙන්නේ පහුගිය දවසක තිබුණු ජාතික සාහිත්‍ය උළෙලේ සමස්ත ලංකා දෙවෙනි ස්ථානයට මේ පද රචනාව තේරීමත් එක්කයි.මගේ අම්මට තමයි මේ පද වලට ඒ ලැබුණු අගය කිරීමට වටිනා කමක් දෙන්න ඕන වුනේ.ඉතින් පහුගිය මාර්තු මාසේ එකොළොස් වෙනිදට යෙදුන මගේ උපන් දිනය වෙනුවෙන් අම්මගෙන් ලැබුණු තිළිණය තමා මේ ගීතය.මේ ගීතය නිෂ්පාදනය සදහා ගිය සියලු වියදම් ඇගෙන්.කොච්චර උස් මහත් උනත් තාමත් අවුරුදු පහලවේ දාසයේ එකියෙක්ට වගේ මට සලකන, මම ඇයට යුතුකම් ඉටු කරන්න ඕන කාලෙ වෙලත් තාමත් අපේ පස්සෙන් ඉදගෙන අපිට අත දෙන එක ඇගේ යුතුකම කියල හිතන ඒ ආදරේට ආදරෙයි කියලා විතරකුත් මදි.
මේ වෙනකොට දන්න කියන අයගෙන් ගීතයට ප්‍රතිචාර ලැබිලා ඉවර උනත් මේ ගීතය පිටුපස්සේ ඉදන් වචනෙකින් හරි උදව් කරපු අගයපු අයට ස්තූතියි කියන්න ආදරෙයි කියන්න මේ තමයි හොදම වෙලාව.මුලින්ම හැමදාමත් කවි ගීත රචනා තරඟ තියෙනකොට ඒවා පිළිබඳව මූණු පොතේ ඉදන් වසර ගනනාවක් තිස්සේ මාව දැනුවත් කරන දිනිති දීපිකා තමයි මේ තරඟය පිළිබඳවත් මාව දැනුවත් කලේ.වසර බර ගානක් තිස්සේ මූණු පොතේ මිතුරියක් උනත් අද වෙනතුරු දැකලාවත් නැති අඩුම තරමේ දුරකතන ඇමතුමකින්වත් සම්බන්ධ වෙලා නැති ඒත් ඒත් ඈ දැනගන්න සියල්ල මාත් එක්ක බෙදා ගන්න ඒ අපූරු මිතුරියටත් ඒ නිහතමානි කමටත් මුලින්ම ස්තූති කල යුතුමයි. දිනිති වගේම තමා සිසිර මාමත්.අපි වගේ ආධුනික ලියන්නන්ට අපූරු මඟපෙන්වන්නෙක්.
ඊට පස්සෙ මූණු පොතෙන් බ්ලොග් පිටුවෙන් මාව කියවන මාව අගය කරන අඩුපාඩු පෙන්නල දෙන ඔයාල ඇත්තටම මට ශක්තියක් ඔයාල කියවන නිසා තමා මම ලියන්නේ මට ලියන්න කැමැත්තක් ඇති වෙන්නේ.ඒ අතරින් අපේ චෙෆාකි තුමාට විශේෂයන් ස්තූති කියන්න ඕනේ. මොකද එයා තමා අකුරෙන් අකුරට අඩු පාඩු පෙන්නල දෙන නොගැලපෙන වචන පෙන්නල දෙන එකම කෙනා.මීට අවුරුදු එකහමාරකට විතර කලින් මම මේ පද රචනාව ගීතයක් වෙනු දකින හීනයක් ලේබල් එක යටතේ ලිව්වම එකේ බොහෝ වචන අඩු පාඩු පෙන්නල දුන්නේ චෙෆාකි තුමා තමා.ඉතින් එයාට ස්තූතියි නොකියා කොහොමද .ඒ වගේම රස්තියාදුකාරයා ලියන රස්තිවත් මතක් කරන්න ඕනේ. ගීතය පිට උන දවසෙම මටවත් හිතන්න ඉඩක් නොතියම එයා ගීතය ගැන අපූරු විචාරයක් ලියලා තිබුනා.මම හිතන්නේ බ්ලොග් වලට ගීතය අරන් ආවෙ එයා.ආ..න් ඒ හින්දම තමා මේ පෝස්ට් එක කියවන ඔයාලට හෙන බෝරිං උනොත් බෝරිං වෙන්නේ. ඒකට බනින්න ඕනේ රස්තිට තමා ඔන්න හොදේ.
ඉතින් ඊටත් පස්සෙ මගේ ජීවිත ගමනේ ආදරණීය ගමන් සඟයට... පංගුකාරයට... සත්තලන්ට.... එයා හොද සහකාරයෙක් නොවුනානම් මේ කිසිම දෙයක් නෑ.මගේ සීමාවක් නැති ලිවිල්ලට කවමදාවත් අකුල් නොහෙලන එකටම මම එයාට පුදුම තරම් ගෞරව කරනවා.මම මොන මඟුලට මල් වවන එකියෙකුට නැතුව කවි ලියන එකියෙකුට කර ගැහුවද දන්නෙ නෑ කියල කිව්වට.මාව අවුස්සන්න දාහක් දේවල් කිව්වත් ඒ හැමදේම විහිලුවට කියල මම දන්නව.( ඒ වෙලාවට බෙල්ල මිරිකන එක වෙනම දෙයක් ).ආදරෙයි ඔය ආදරේට ගොඩා.......ක් .
මේ පල්ලෙහා තියෙන්නේ ඔය හැමෝගෙම ආදරෙන් උදව්වෙන් ආශිර්වාදෙන් පාට කරපු මගේ හීනය. ඉතින් අහලා රසවිඳලා දැනුන දේ අවංකවම කියල යන්න කියල ආරාධනා කරනව. වැටවල්නම් ගහන්න එපා ඔන්න හොදේ.
ගායනය - පවරි අමරසා
පද රචනය - ශානිකා ශෂීප්‍රියා
තනුව හා සංගීතය - දර්ශන වික්‍රමතුංග