සඳට බැළුම් හෙලූ අය

May 29, 2018

හිත රිදුනා විතරමයි !





සැරින් සැරේ 
තට්ටු කරන්නෙපා ඔහොම
හිතට,

බලන් ඉඳලා බැරිම තැන
ඉබි යතුරු දැම්ම විතරයි
දොරට.....

May 27, 2018

නුඹ වගෙම මමත් මේ දැනුත් මඟ බලනවා !



පැල් බැඳන් වැහි කුමරි නුඹේ දුක අහනවා
කල් පනා අතීතෙක මටත් දුක 
දැනෙනවා
නිල් කුඩේ තුරුලකට එන්න හිත හඬනවා
මල් සුවඳ මා නමින් නුඹේ ලඟ තබනවා.....

                          - දුමී -



කල් බලා වහින වැහි මතක සුව ගෙනෙනවා
මල් තුහින මේ දැනුත් කම්මුලක් සිඹිනවා

විල් තෙරේ විහඟනුත් නුඹ ගැනම අහනවා
 

නිල් කුඩේ යට තවම නුඹට ඉඩ තියෙනවා

                  - සොඳුරු සඳවතී -

May 24, 2018

මේ මනමාල මල් පිපෙන සමයයි !





එකින් එක හිස
ඇඟිලි තුඩගින් ඇඳ,
යා කරමි එකිනෙක
උපන් ලප දාහතරක්,

ඉර මුදුන් වන
මහා දවල් එළියක,
සැනින් එසැණින්
පැතිරෙයි,
ලා පැහැති අඳුරක්,

 - රයිටර් -





රෝම කූපයක් කූපයක් පාසා
සිහින් හීගඩු නංවන
පොපියන කේශ නාලිකාවක
මනමාල මල් පිපින...

ගිනි ගහන මද්දහනට පවා
හරි ලැජ්ජා හිතෙන
සැනෙන් එ'සැනින් ඉර නිවා
අකුණක් දෙකක් පුපුරා යන.....

 - සොඳුරු සඳවතී -

May 19, 2018

වැහි පබළු සැලී







මේ වැස්ස මොහොතට නවතන්න
අන්න අර වංගුවෙන් හරවන්න
මතකයේ අකුණකට බිලි වෙන්න
දැන් ඉතින් නොහැකි බව සලකන්න

ප්‍රේමයේ කමටහන් ඔබ දුන්න
සීරුවට ළැම බෙයද  සිපගන්න
ඒ උනත් මේ ටිකත් අහගන්න
අන්න අර හංදියෙදි ඇහැරෙන්න

කමක් නෑ තව ටිකක් ළං වෙන්න
ඉහිරිච්ච වැහි පබළු ඇහිදින්න
අරුංගල් දාරයට අමුණන්න
ඔන්න නැවතුම ළඟයි හැරයන්න

අඩ සඳට හාදුවක් තවරන්න
තිලකයෙන් හරි අඩක් ඔබ ගන්න
කොකුම් නම් එපා බොඳකරලන්න
ඉතින් අවසරයි දැන් නික්මෙන්න

May 16, 2018

මමයි ඒ බඹරින්දු කඩුපුලට පෙම් බැන්ද !




අහම්බෙන් නිදි බිඳුණු වෙලාවක නෙත ගැටුණු
සුවඳින්ම ඇතුලු හද ගැඹුරටම ගිනි තබපු
ලෝකෙටම හොර රහසෙ අඳුරු රැය විනිවිදපු
නුඹද ඒ මල උදා ස්වයං වරයෙදි නොදුටු

සඳත් මල්වර රෑක විදා පෙති රහසේ
මුදත් මල් මකරන්ද නොපෑහී පහසේ
හෙටත් නුඹ පිපේනම් මෙතන මේ වාගේ
මටත් පුලුවන් ඉතින් නො'නිදන්න ආයේ

රාත්‍රිය නො'යිඳුල්ම පිනි ඉහින මානේ
පිපී සැලෙනා අරුම හිනැහෙමින්  සිතුසේ
රසඳුනක් නොවී තව කිසිවෙකුට ආයේ
තුරුල්ලට වරෙන් දැන් මැණික නුඹ මාගේ

සඳේ රැස් කැරැල්ලෙන් නුඹ මුවා කරලමී
කදෝකිමි ඇසකිනුත් නුඹේ රුව සඟවමී
දහක් කුසු
න්ට ලොබ බැන්ද සිත මුදවමී
නෑඹුල්ම මලක පෙති දෝතින්ම සිපගමී

May 12, 2018

කුසුම මොටද ළන් වී රොන් ගන්න බැරී !


                                                          
                                                       

සමනළයෙකුට
බමරෙකුට
කැකුළු පෙත්තක්
ඉඹින්නවත් බැරි

කුඩ මසෙකුට
ඉස්ගෙඩියෙකුට
හෙවනැල්ලෙවත්
සිහිලක් නැති

          *

          *
          *

 නෙළුමක් උනත් මොන එහෙකටද
 මේ හැටිම උඩ ගිය ...

         




                   

                                          ( photo credit - Achala herath )






ඇස් කතා කරනවා !








ඇත්තටම කවුද ඔය ඇස් දෙකේ
මනමාල පාට ඔය තරමටම
තැවරුවේ...

මගේ සිල් බිඳින්නට නුඹේ ඔය
ඇස් දෙකට කියාපන් කවුරුන්ද
පැවරුවේ ....

May 9, 2018

සොඳුරිය !





මේ
හෙන ගගහා පතිතවන
කල්පා'වසාන වරුසාවට
ප්‍රේමයයැයි
නොකියන්න..

ඔය
නෙතු ඉහත්තාවේ
රැඳී නොරැඳී දිලෙන
එකම කඳුළට
ප්‍රේමයයැයි පවසන්න .

May 5, 2018

ආදරය තරහ වී ගිය දුරක් !

සද එළිය වගේ ඇවිදින්
හද නොපැතු දිනෙක රහසින්
බැස නොයනු මා සිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්....

ඉතින් කියන්න...දවසට එකම එක පාරක් හරි මාව මතක් වෙනවද...? මගේ හිනා හඬක් ... මගේ කතාවක් නැතුව ඔයාට පාලුවක් දැනෙනවද....මම වගේම හිතින් ඔයත් අඬනවද.... ඉතින් ඒවා එහෙනම් මාව අතහැරල ගියාට ඔයාගේ හිතට සැනසීමක් නෑ නේද...? ඔයා අහනව මගෙන්  මම ඇත්තටම ඔයාට ආදරේද කියල.මම ඒකට ඔයාට උත්තරයක් නොදී ප්‍රශ්නයක්ම අහන්නද...? ඇත්තට නැතුව බොරුවටත් ආදරේ කරන්න පුලුවන්ද... ම්ම්හ්හ්... ඔයා උත්තර දෙන එකක් නෑ.ඔව් පුලුවන් ඇති එහෙම කරන අයත් ඇති.ඒත් ආදරේට බොරු කරන්න මම දන්නෙ නෑ... මට බොරු කරන්න උවමනාවකුත් නෑ...ආදරේ කියන්නම ඕනෙ දෙයක්ද.... ඇයි ඒක දැනෙන්න හැඟෙන්න බැරිද...

මම විශ්වාස කරනව  ඔයා මට කොච්චර නපුරුකම් කලත්  ඔය හිතේ කොහේ හරි තැනක මම ඇති කියල.මේ නපුරු කම් ඒ ආදරේ නිසාමත් වෙන්න ඇති.සමහර විට මට මේ හිතෙන දේවල් එහෙම නොවෙන්නත් පුලුවන්.ඒත් කමක් නෑ... මම ඔයාගෙන් ගොඩක් දෙවල් කොහොමත් බලාපොරොත්තු වෙන්නෙ නෑ.එහෙමයි කියල මගේ හිතේ ඔයාට තියෙන තැන පොඩ්ඩක්වත් එහා මෙහා වෙන්නත් මම ඉඩ තියන්නෙ නෑ.

 ඉතින් ඔබ නොදන්නවා මුත් මම ඔබට සෙනෙහෙවන්තයි මහ හුඟක්...ඒ නිසා අහන්න....








මුතු හැදෙන තුරා මුතු බෙල්ලෙකු මෙන්
දුක ළයේ තබාගෙන හිටියා මං
මං නැතිව ගියත් යම් දිනක ඉතින්
ඒ මුතු ඇට දිය යට නිදන බැවින්
ගෙනියන්න ඇවිත් ඔබ එනවානම්
මට අයිති නොවෙයි ඒ ඔබට තරම්...

 ඔයා නිසා මගේ ඇස් වලින් කොච්චරක් කඳුළු වැටිල තියෙනවද කියල ඇත්තටම ඔයා දන්නෙ නෑ. ඔව් ඔයාට වැඩකුත් නෑ.ඔයාගේ නපුරු රළු වචන ළඟදි ඔයාගේ දරුණු ප්‍රතික්ශේප කිරීම් ළඟදි මගේ ඇස් වලට උණන  කඳුළුවලට නිදහසේ ගලාගෙන යන්න දෙන්න බැරි තරමට මම අසරණ වෙද්දි මගේ හිතට දැනෙන  වේදනාව කවදාවත්ම ඔයා තේරුම් ගන්න එකක් නෑ.පොඩ්ඩ බැරි වෙද්දි ඔයාට ළං වෙන්න තියෙන  හැම මඟක්ම අහුරන එක  දැන් ඔයාට පුරුද්දකට ගිහිල්ල.දන්නවද... මට දැන් අඬන්න කඳුළුත් නැති තරම්.

ඉතින් මම නැති එක ඔයාට සතුටක්නම්.... කමක් නෑ මේ දුක මං ළඟම තිබුනාදෙන්.



පවනට මුමුණා ලොවට කියන්නද
නුඹ මා ගෙන ගිය දුරක තරම්
ආපසු එන්නට බැරි දුර ඈතක 
යන මට හමුවේදෝ නුඹ කෙදිනක..

කාලයක් තිබුන මට ඔයා එක්ක කතා නොකර ඔයා ගැන හොයා නොබලා පැයක් දෙකක්වත් ඉවසන්න බැරි.එතකොට ඔයා මාව ගනන් ගත්තේම නෑ. ඔයාගේ ඒ දරුණු ප්‍රතික්ශේප කිරීම ළඟ මම  විඳපු දුක ඔයාට කවදාවත්ම තේරෙන එකක් නෑ.අද ඔයාගේ මඟහැරීම් අත්හැරීම් ළඟ හිතින් මොන තරම් හැඬුවත් පිටින් මේ තරම් සංසුන්ව මට ඉන්න පුලුවන් වෙලා තියෙන්නෙත් අතීතයේ ඔයා උගන්නපු ඒ පාඩම් වලින්මයි.ඔයාට කතා කරන්න  ඔයාට මැසේජ් එකක් දාන්න ඉස්සර වෙන මගේ අත මගේ හිත මම අමාරුවෙන් නතර කරගන්නව.ඒ තව දුරටත් ඔබේ අකමැත්තෙන් ඔබට වදයක් වෙන්න මට ඕන නැති නිසා.

කොච්චර මට ඔයාව ඕන උනත් ආයෙ එන්න කියන්නෑ  මම . එහෙම කියන්න මට අයිතියකුත් නෑ...ආවෙත් ඔයා... යන්න ගියෙත් ඔයා...ඒ ඔබේ අයිතිය... ඔබ ආවත් නැතත් බලා ඉන්න එක මගේ අයිතිය....





ආදරය තරහ වී ගිය දුරක්
ඒත් නෑ තාම නුඹ දුටුවේ
ඇස කඳුළු සැරසිලා බොහො කලක්
ඒත් තාම නෑ ගඟ ගැලුවේ...



සමහර විට ඔයා මේ තරම් මා එක්ක ඇවිලෙන්නෙ ඇත්තටම ඔයාට මාව ඔයාගේ හිතින් ගලවලා විසි කරන්න ඕන වෙලා වෙන්න ඇති.ඔය හිතේ මම හිටපු තැනට වෙන කෙනෙක් ඇවිල්ලත් ඇති මේ වෙනකොට.ඒක එහෙමනම්  මම කොහොමද ඔයාට දොස් කියන්නෙ.... ඔය හොයන කිසි දෙයක් මගේ ළඟ නැතුව ඇති... ඔයාට ඕන කිසිම දෙයක් මට දෙන්න බැරුව ඇති...එහෙම උනහම ගොඩාක් බැඳීම් ලිහෙනව ... අතහැරෙනව.... ඒත් මගේ හිතේ ඔයා ඇලුනෙ එහෙම බාහිර බැඳීම් කිසිවක්ම බලාපොරොත්තුවෙන් නෙවෙයි.ඒ නිසා මගේ හිතින් ඔයාව ගලවන්න බෑ...

ඉතින් කමක් නෑ මටත් වඩා ඔයාගෙ හිත කියවපු  කෙනෙක් ඉන්නවනම් ඔයාට අයිතියක් තියෙනව එතන නවතින්න.ඔයා සඳක්.... ඔව් ... ඇත්තටම ඔයා සඳක්... සඳේ සාවිට විතරක් බෑ  හඳට තනි අයිතියක් ඉල්ලන....ඒත්... ඒත්... මම  ඔයාට මෙහෙම කියන්නම්.... අහන්න....







රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
පිනි බිඳක් වෙලා පිපුණත් ඇති ආදර පවසට....



වචන වලට පෙරලල කියන්නවත් ලියන්නවත් බැරි මහ  හීන කතන්දර ගොඩක් ඔයා නමින් මගේ පපුවේ ගොඩ ගැහිල තියනව.ඔය ඇස් දිහා බලාගෙන මේ කල්පෙදි කවමදාවත්  ඒවා කියන්න බැරි බවත් මම දන්නව.ඒ තමා අපි ලබා උපන් හැටි.ඔව් මට උරුම දුරින් ඉඳන් ආදරේ කරන්න....  ඈතින්ම ඉදන් ළඟ වගේ ඉන්න.... ඔය මනමාල ඇස් ළඟ මාව දියවෙලා යාවි කියල මට හරි බයයි.ඒ නිසාම මට ඕනෙ  ඔයාගෙන් දුරස් වෙලාම ඉන්න.

එකම එක තප්පරේකටවත් අපිට අපේ වෙලා ඉන්න බැරි වේවි.... ඒත් එහෙම දවසක් ගැන හීනයක් දකින්න මට අයිතියක් තියෙනවනෙ නේද ? ඔයා කොහොමද මම හීන දකින එක නවත්තන්නේ ...? 
 




නුඹේ සෙනෙහෙන් මා සැනසුණු
ඊටත් වැඩියෙන් හඬවපු
ඒ මතකයෙ කඳුළු අරන් මං හනිකට එන්නම්
තනිවුනු ඔය හිත ළඟ තනියට හිඳින්න එන්නම්....

සමහර විට ඔයා මාව මේ මඟ හරින්නේ සදාකාලයටම නොවෙන්න පුලුවන්.ඇත්තටම මම දන්න මගේ හිතේ ඉන්න ඔයාට මාව අමතක කරන්න බෑ.ඒත් කවදාම හරි දවසක මට කලින් ඔයා යන්නම යන්න ගියොත්.... ඔයා හිතනවද ... ඔයා බලාපොරොත්තු වෙනවද... සුදුම සුදු ඇඳගෙන ඇවිත් ඔයාගේ පියවිච්ච ඇස් දිහා මොහොතක් බලන් ඉදල ඔයාගේ දෙණට  නමස්කාර කරල මට යන්න පුලුවන් වෙයි කියල.

තරහ වෙන්න එපා මම කවදාවත් එහෙම එන්නෙ නෑ.... මට එන්න බෑ... ඇස් දෙකේ කඳුළක් නැතුව... හුස්මක් හිර කරගන්නෙ නැතුව....ආගන්තුකයෙක් වගේ ඇවිත් මට ඔයාව බලන්න බෑ.... ලෝකෙට පේන්න ඔයාගේ දෙණ ළඟ හඬා වැටෙන්න ඕන තරම් අය ඉදීවි ඒත් මතක තියා ගන්න ඒ හැමෝටම වැඩිය මම එහෙම දවසක මුලු ලෝකෙන්ම හැංගිලා අඬාවි...

හැබැයි මම දවසක එනවා කවුරුත්ම නැතුව කාටවත්ම නොකියා ඔයා මිහිදන් කරපු තැනට... ඔයා ආසම කරන මල් දෝතක් අරගෙන.... එදාට ඒ සුවඳ ඔයාට කියාවි ඒ ඇවිත් ඉන්නෙ මම බව.... අන්න එතකොට ඔයා තේරුම් ගනීවි මගේ ආදරේ තරම....

ඒත් මගේ එකම පැතුම මම ආදරේ කරන කිසිම කෙනෙක් මට කලින් සදහටම ඈත් නොවේවා කියන එක.












පසු සටහන

දැන් ඉතින් මේක කියවපු කට්ටිය එක එක එව්වා හිතා ගන්න ඇතිනේ... නෑ .. නෑ.. අයියෝ  එහෙම කිසිම දෙයක් නෑ... මේක මේ පොඩි චැලේන්ජ් එකක්.මේ දවස්වල බුකියේ ගජරාමෙට මේ දවස් පහලොවේ  රයිටින් චැලේන්ජ් එක යනවා.මටත් ඉතින් ඕක ආවා ඒත් මගේ ඒ හැටි කැමැත්තක් තිබුනේ නෑ දවස් පහලවක් එක දිගට ලියන්න.ඒත් ඉතින් දැන් මෙහෙම බ්ලොග් එක වේලෙනකොට ඔන්න හිතුනා මේකෙන් මම වැඩියම කැමති එකක් අරන් ඔන්න ඔහෙ ලියනවා කියල.ඉතින් අන්න එහෙම හිතලා ඔන්න ඉස්සෙල්ලම මම පටන් ගන්නේ 8 වෙනි චැලේන්ජ් එකෙන්.පිලිවෙලට වැඩ කරන පුරුද්දක් මට ඇත්තෙම නෑ නොවැ. අනික ඉරි ගහල කොටු ගහලා රාමු දුන්නම ලියන්න කියල මට ඒවායෙන් පනින්නමයි හිත.ඒ නිසා මට ඕන තැනින් තමා මේ පටන් ගත්තේ මේ දවස්වල අහන කැමතිම ගීත දහය, දහය කිව්වට  දහයකට යන්න බැරි උනා මම ලියන එව්වා මම ම කියවලා හොටු පෙර පෙර අඬන්න ගත්ත නිසා.ඒ නිසා යාන්තන් හයකින් ශේප් උනා. පස්සෙ බැරියෑ ඉතින් ඉතුරු ටික දාන්න. ඉතින් මේ තමා මේ දවස්වල මම අහන්න කැමතිම ගීත .. මම අහන  ගීත .. මට ඇහෙන ගීත... ආ... මගේ එකත් තියෙනවා නේන්නම්... ඔව් ඉතින් ඒක අහන්නේ නෑ කිව්වොත්  බොරුවක් නොවැ. දවසට එක පාරක්වත් මම ඒක අහනවා මේ දවස්වල.බුකියේනම් වෙන්නේ මෙහෙම ලියලා එක එක දවසට එක එක්කෙනාව  මෙන්ශන් කරලා චැලේන්ජ් කරන එක එයාටත් ලියන්න කියලා.මම ඉතින් දැන් මේකේ කාවවත්  මෙන්ශන් කොරන්න යන්නේ නෑ. අනේ ඕවා කරලා බැනුම් අහන්න පුලුවනෑ ඔයාලගෙන්.ඒත් ඔන්න පල්ලෙහායින් අමුණනවා චැලේන්ජ් එක කැමති කෙනෙකුට කැමති දෙයක් ලියන්න බැරියෑ.
















ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...