සඳට බැළුම් හෙලූ අය

Jul 30, 2019

දම්සාරී...!



විසිකර දමා අවසන් නැති පොරි අහුර
හතරයි කාලෙ නුඹ ගිය පසු මහනුවර
ටියුෂන් නඩේ බැන්දත් කර වට පවුර
ඇතුගල උඩින් ඉපදුනි පාළුව අදුර

ජෝතිගෙ ගීයකින් ටජ් මහලක් හැදුනා
මිල්ටන්, සුලගෙ පාවී ඒ වෙත ඇදුනා
දින පොත බලද්දී මට ඊයෙත් රිදුනා
බෝ ගස් යටත් සමහර සිල්පද බිදුනා

සිනමා හලක මද අදුරක හීතලක
රන්තාලියේ දිය විසිවෙන බංකුවක
නිමිනැති කතාවක කෙලවර රංඩුවක
ප්‍රේමය පවා මිල විය අඩු ලංසුවක

රූ බර ලදුන් සරසන දම් පැහැ සාරී
මග තොට දකිද්දී අදටත් හිත හීරී
මතකයෙ සෝ සුසුම් නැගුනත් නැත කාරී
සද නැති රැයට තරු එළියකි දම්සාරී

            (චින්තක සමන් හේරත්)





ඇතුගල උඩින් පායන සඳ රැස් දහරේ
සුදු බුදු උවන හරි පින් පාටින් බේරේ
තාමත් පහු කරද්දී ඇත්කඳ වෙහෙරේ
බෝ මැඩ එදා දුන් හාදුවෙ රස ඇහැරේ

තිළිණේ ලෙසින් පිලිගන්වා මල් පොකුර
සුදු අසු පිටින් යන්නට බන්ඳා තොරණ
තහනම් කල නිසා ඔබෙ සෙනෙහස ගෙදර
හිරිමල් හීන වට කොට බැන්දා පවුර

සක්මන් මළුවෙ තනිවුන ලී බංකුවක
කාටත් හොරෙන් ගෙල මුල ඇඳි සිතුවමක
හිතුවක්කාර වී පැටලුන රංඩුවක
සෙනෙහස දැවී අළු විය හද ගින්දරක

තාමත් නිරන්තර මතකයෙ දිගේ ඇදී
සිහිනෙන් ගෑ සුවඳ නෙත් වල ඉවුරු බිදී
උරුමය ලෙසට ගියමුත් අත්වැලම සිදී
පොපියන හීන තාමත් හදවතේ නිදී


              ( සොඳුරු සඳවතී )

15 comments:

  1. හීන වලට හිත පැටලී උන්නා ඇති වගේ
    හැමෝගෙන්ම වෙන්වී යන්නට කාලේ හරි වගේ ....

    ReplyDelete
    Replies
    1. හීන බල බලා හිටියට නැතුවා කිසි පලේ
      ආටියාගෙ හිත මොහොකට හරි රිදිලා වගේ

      Delete
  2. ඔන්න අපිත් ආවා මේ පැත්තේ.. රජතුමාගේ අඩවියෙන් තමා පාර දැනගත්තේ..
    කවිය නම් හොඳයි..
    ආදරේ ගැන කතා කරන්නේ නැහැ වැඩිය. තාම අත් දැකලත් නැහැ ඒ නිසා දන්නෙත් නැති තත්වයක් තමා තියන්නේ.

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා...ආදරේ කියන්නෙනම් අමුතුවෙන් ඉගෙන ගන්න ඕන දෙයක් නෙවෙයි ඉතින් ...හංසයින්ට පීනන්න අමුතුවෙන් උගන්නන්න ඕනෙ නෑ වගේ තමා.මාත් එන්නම්කො ඒ පත්තේ ඇවිත් යන්න

      Delete
  3. පොපියන හීන තාමත් හදවතේ නිදී. ලස්සනයි සඳවතියේ.

    ReplyDelete
  4. වැහි කෝඩයක් හිත හිරිවට්ටන දිනක
    මිහිදුම් දුමාරෙක තෙතබත් තුරු හිසක
    පැටලෙන බිඳෙන සිතුවිලි වැතිරෙන විටක
    පුදුමයි නුඹේ මතක තවමත් අත ළඟක

    සිත බෝ රිදෙන දවසක සිහිනෙක මතුවී
    හිස පිරිමැද සෙමෙන් යයි අඳුරට මුහු වී
    නුඹ නොනිදනා දුරු නගරෙක සිත නැවතී
    කඳුලක දිය කරමි සසරක හිමි අහිමී

    නොමැකෙන අසනි ඉර නුඹමයි නෙත පතුලේ
    නොලියන කවි අතර නිරතුරු නුඹ දැවටේ
    නොකියන රිදුම නුඹේ නම හද බිතු අතරේ
    නොලැබෙන ඉතිරි අඩ නුඹමයි දිවි දියඹේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මලී ඔයාට...හරි අපූරුයි මේක

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ලස්සනයි සදූ... දම්සාරි කියද්දි පත්තරේ ගිය නවකතාවක් මතක් වුනා.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බලන් යනකොට දම්සාරී හරි ෆේමස් නමක් වගේනේ

      Delete
  7. බෝම ලස්සනයි!!
    දම්සාරී කියද්දි අර ඇන්තනී කොලුවගෙ මූණ මතක් වෙන එක තමයි ඉවසන්ට බැරි :(

    ReplyDelete
    Replies
    1. හි හී මටනම් ඔයා මතක් කලාමයි ඒක මතක් උනේ

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...