සඳට බැළුම් හෙලූ අය

Dec 24, 2019

මලකි මා... මලකි මා ඔබගේ !



 


( La Sara Photography )


දුරින් හිද ඇස් වලින්
හී විඳින බඹරාන
එපා සුසුමන් ඔහොම
ආදරේ වපුරාන

සීරුවට සීරුවට
හිත මත්තෙ වැහුවාම
කොහොම ඉන්නද සෙනේ
පපු මැද්දෙ හංගාන

මඟහරිමි  මඟහරිමි 
තුරුණු සමනොල රෑන
මලක් වෙමි පමාවී
නුඹට මුඳු සුව ගේන

Dec 14, 2019

සැඟවී ගියාදෝ සෙනේ !


සැනකෙළි සමය ඇරඹී ඇත.බැලූ බැලූ අත සැරසිලිය..රාත්‍රියට මුලු නගරයම දිව්‍යලෝක වෙස් ගන්නා සෙයකි.කඩ සාප්පු වලත් මහ මඟත් හිස් ලූ ලූ අත දිව යන මිනිසුන්ය..ගැහැනුන්ය..ඒ සියල්ල දැකීමත් විඳීමත් වෙහෙසකරය.හිත බල කරන්නේම කොහේ හරි නිස්කලංක තැනක තනි වෙමු කියාය.

ඉතින් සීරුවට ගැහෙන සිතිවිලි වත්තන් කරන් මම රෑ අහස යට තනිවෙමි.පාලුවට ගිය රෑ අහසෙ වෙනදාට වඩා තරු එකදෙක මෝඳු වී හිනැහේ.උදුවප් හීතල ගත පුරා දැවටෙද්දී හිත පුරාවට ඔයා එන එක නවත්ත ගන්න තමා අසීරුම.ඉතින් රෑ අහස පුරා ඔය ඇස් මවාගන්න
මට මහ වෙලාවක් යන්නෙ නෑ.ඔයාව නොදැක මේ ගෙවී යන්නෙ කී වෙනි දවසද කියල හරියටම මට කියන්න පුලුවන්... ඒත් වැඩක් වෙන්නෙ නෑ ඒ ඉලක්කම මාව සංතාපයෙන් සංත්‍රාසයට පත් කරනව.

 ඇත්තටම ඇයි දෛවය අපිව මුණගැස්සුවේ...? ඇයි මං ඔය ඇස් වලට වහ වැටුනෙ...? ඇයි අපි අපිට ආදරෙයි කිව්වෙ...?  හමුවීම් වෙන්වීමි යාම් ඊම් විතරක් උරුම ජීවිත වල මේ ප්‍රශ්න වලට ඔයා ළඟවත් මා ළඟවත් උත්තර නෑ තමයි. ඒත් ඇයි ඔයාට බැරි මේ තරම් දුරින් දුරස් වෙලා ඉන්නවා වගේ මගේ හිතිනුත් යන්න...? ඔයා දන්නවද දවසට කී පරක්...කී පාරක් මට ඔයාව මතක් වෙනවද කියල...ඉලක්කමින් කියන්නද...? නෑ ඕනෙ නෑ ...ඇයි දන්නවද ඒ ඉලක්කම ඔයාව සංත්‍රාසයෙන් සංතාපයට  පත්කරාවි.

සමහරවිට මාව උන්මන්තක කරපු ඔය මනමාල පාට ඇස් දෙකේ මා ගැන ආදරයක් සෙනෙහසක් හෝ ප්‍රේමයක් නොතිබෙන්නට ඇති.මම ඔය ඇස් බැල්මට රැවටුනා වෙන්නත් ඇති.ඒත් ඒ රැවටීමට මම ආදරෙයි.ඔයා මට පෙම් කිරීම හෝ නොකිරිම ඔයාගේ වැඩක්.ඒත් ඔයාට රැවටීම ඔයාට වහවැටීම ඔය ඇස් වලට ලෝබකම් කිරීම මගේ අයිතියක්.

ඔයා දන්නවද...මේ බවයේ මට අහිමි මට අයිති නැති කිසි දෙයක් මම යලිඳු බවයක පතන්නේ නෑ.ඉතින් ...මේ සංසාරයේ හමුනොවේනම්  තවත් කිසිම සසරක අප හමුවිය යුතු නෑ.

 ඒත් හැම රෑකම, හැම හීනෙකම ඔයා ඉන්න.


......................................................







Dec 4, 2019

මේ ප්‍රේමයම මනරම් !




සියල්ල අහවරයැයි
සිතෙද්දීත්
යලි යලිත් යලි යලිත්
හද කොනොති ගහන
ඒ හැඟීමට
ඉතින් මා
ප්‍රේමයයැයි කියමි

සියල්ල ශුන්‍ය වී
හදවත සෝදාපාලු වී
ගිය පසුත්
හද බිතෙහි ඇලවුනු යමක්
අංකුරයක් වී
නැගී සිටිද්දී
එකී සෙනෙහසට
අවසානයක් නැති බව
ඉතින් මා අදහමි

සියල්ල සිහිනයකට පවරා
සැබෑවෙන් වහං වෙන්නට
සිතෙන වාරයක් වාරයක් පාසා
සැමරුම් සිහිවටන
ඇස් අඟිසි අවුලවන
සංතාපයට
ඉතින් මා ඉඩදෙමි

අවසානයේදීත් ,
ඉවරයි කියල හිතුවට
ඉවර නැති කතාවක
පැටලි පැටලී
විඳින විඳවන
ඒ නොතේරෙන හැඟීමට
ඉතින් මා
ප්‍රේමයයැයි කියමි

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...