සින්න උනාට පස්සෙ
දෑතම පිහියට
ලියවිලා ලියවිලා දැන්
මාපටැ'ඟිල්ලත්
ඕසෙට...
දැවිල්ලයි ඇස්
ලියල ලියලම
බොම්බයි ලූණු ම
එහෙම බලනකොට,
කඳුළක් කවි කරන එක
ඊට වඩා කොයිතරං ලේසිද...
ඔට්ටු වෙන්නෙ ගින්දරේමයි
මුලු දවස තිස්සේම
දැනෙන්නේ ගින්දරේ උණුහුම
ඒ වුනාට,
කවි වලට නම් මේ උදුවප්
මොන තරම් සීතද....
ඇත්තටම
කවි වගේ ලස්සන නෑ
මේ ජීවිතය
හැබැයි වෙනසක් නෑ
කවි තරම්ම රහයි
මං උයන කෑම....
සඳට බැළුම් හෙලූ අය
Dec 21, 2020
විරාමයකදී !!
Nov 2, 2020
බුරියානි හදනවා...අච්චාරු විකුණනවා...
ඔන්න ඉතින් අද මං මේ පැත්තෙ ආවෙනම් කයි කතන්දර ලියන්න නෙවෙයි.ඇත්තම කියනවානම් කවි ලියනවට වඩා මේ කාලේ ජීවත් වීම අභියෝගයක් වෙලා තියෙන්නෙ.ඒක ඉතින් මට විතරක් අපේ රටට විතරක් නෙවෙයි මුලු ලෝක වැසියන්ටම වෙලා තියෙන අලකලංචියක් වෙච්චි.ජීවිතේ ගැන උනත් මහා ලොකු බලාපොරොත්තු තියාගන්න බැරි කාලයක්.ජීවත් උනත් ඉස්සර විදියටම ජීවත් වෙන්න ආර්ථිකමය හයියක් තව කාලෙකට හදාගන්න බැරි කාලයක්.ඉතින් ඕං ඔය නිසාම කොහොමෙයි කවි ලිය ලිය ඉඳලා.ඒ නිසා මමත් පටන් ගත්තා ගෙදර ඉදන්ම කරන පුංචි ව්‍යාපාරයක්.
ඒ තමා මගේ චූටි බිස්නස් එක.ඔයාලට ඕන කරන ඕනම කෑම වර්ගයක් මං තුමිය අතින්ම ඔයාලට හදලා දෙනවා. කහබත් ,බුරියානි,ෆ්‍රයිඩ් රයිස් බැඳුම් ,ඩෙවල්,අච්චාරු ඔය ඕන දෙයක් ඔයාලගේ අවශ්‍යතාවය අනුව හදල දෙන්න මට පුලුවන්.මහා පරිමානයෙන්නම් නෙවෙයි හැබැයි ඉතින් දැන් සඳවතීට දෙයියනේ කියල පනහකට විතර උයන එකත් මහ දෙයක් නෙවෙයි.
විශේෂයෙන්ම කියන්න ඕන අපි උයන කිසිම කෑමකට සුප් කැට,අජිනමොටෝ ,ස්ටොක් පවුඩර් දාන්නේ නෑ.ඒ වගේම ඉතාමත් පිරිසිදුව සෞඛ්‍යයාරක්ශිතව අපි මේ කෑම හදන බවට ඔබට සහතික වෙනව. දැන් අහන්න එපා කොහොමද ඔප්පු කරන්නේ කියල.මම මට සහ මගේ කස්ටමර්ට අවංකයි.එච්චරයි.( සැකයක් තියෙනවනම් ඕඩරයක් දාල මං උයනවා බලන් ඉන්නත් බැරි කමක් නෑ 😋😋 )
හරී පිලියන්දල ,කැස්බෑව ,මහරගම ,කොට්ටාව,හෝමාගම අවට ඔයාලට අපිට ගෙදරටම ගෙනත් දෙන්නත් පුලුවන්.ඩිලිවරි වලට චාජ් කරනව හොදේ.
සඳවතීගේ කවි වගේම තමයි කෑමත් රහයි.කාපු අය රස දන්නවා.🤗
මේ තියෙන්නෙ පේජ් එකේ ලින්ක් එක ගිහින් බලන්නකෝ.මේකට ගිහිල්ලා ඔයාලට වැඩි විස්තර බලා ගන්න පුලුවන්
ඒ වගේම යූ ටියුබ් චැනල් එකකුත් තියෙනවා podi weda tv කියලා.කෑම වගේම මගේ කවි සිංදුත් තව නානාප්‍රකාර දේවලුත් ඒකට ඉස්සරහදි එකතු වේවි. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නකෝ.ඔය තියෙන්නේ ලින්ක් එක.මේ ඔක්කෝම ඉතින් රජ වෙන්ටනම් නෙවෙයි අනේ ඉස්සරහට ජීවත් වෙලා හිටියොත් කාටවත් අතනොපා ජීවත් වෙන්නයි.
Oct 16, 2020
කියන්නම ඕනේද !
මම ආසයි...ඔබව බදාගන්න.
ඔබව ඉඹින්න...ඔබත් එක්ක හුරතල් වෙන්න..
මොනවත්ම නොකිය ඔහේ උරහිසේ ඔලුව තියාගෙන ඉන්න.. බෙල්ල අයිනෙන් අල්ලලා හපන්න.. පපුවට මූණ ඔබාගෙන ඔය හදවත විනාඩියකට කී සැරයක් ගැහෙනවද කියන එක අහන් ඉන්න.. ඔයාගෙ අතින් අල්ලගන්න.. සීතල ඇඟිලිතුඩු අගින් හෙමිහිට පිරිමදින්න..අතේ ඇඟිලි ටික එකතු කරලා තද කරන්න.. කොනිත්තන්න..හූරන්න..ආයෙම රිදෙනවද අහන්න..
කම්මුල පුරාවට රැවුල් අස්සෙන් මගේ හාදු පාකරන්න.. හුස්ම හිරවෙනකම් හාදු දෙන්න..ආදරෙයි ආදරෙයි ආදරෙයි කිය කිය බැඳෙන්න..
ඇවිදින්න යන්න..මූදු වෙරළවල් කඳුමුදුන් කැලෑ ගානේ රස්තියාදු වෙන්න.. ගංගාවලට ඇලදොළට ඔහේ පනින්න.. ආයෙම පුංචි වඳුරු පැටියෙක් වගේ ඔය ඇඟේම එල්ලෙන්න. කම්මුල් දෙපැත්තෙන් අදින්න..
අනේ මට පුළුවන් තව දිගට ලියන්න..ඒත් මම ආසම...
ඔබ දිහා බලන් ඉන්න.. !
( තිළිණි N ලියනාරච්චි )
මේ මම ලියපු එකක්නම් නෙවෙයි. ඕං ඔය පල්ලෙහායින් දාලා තියෙන්නේ අයිතිකාරිගේ නම.මම දැන් ලියන්නෙ නෑනේ.ඔව් ඔව් මේ වගේ එව්වා ලියන එක නැවැත්තුවා. දැන් මම ලියන්නෙ කොහිල අල , කෙහෙල්මුව, කතුරුමුරුංගා , කැරට් වගේ එව්වා.එහෙමෙයි කියල මෙහෙම එව්ව හිතෙන එක නවත්තන්න පුලුවන්යැ.බෑනේ..බෑනේ. එතකොට ඉතින් වෙන කවුරු හරි ලියපු එකක් බලලා කියවලා අනේ මේ මම ලියන්න හිටිය එකක් නේද මේ මගේම හිත නේද කියලා විස්සෝප වෙනවා.අපි ගෑනුනේ අනේ ඉතින් එහෙම තමා.මේ ළඟදී මගේ ලෝකය ලියන ආටියත් ඔය ගෑනු සම්භන්ධ මහප්‍රාණ වගයක් ලියලා තිබුනානේ.ඒකේ තියෙන සමහර එව්වාට එකඟ උනාට සමහර එව්වාටනම් එකඟ වෙන්නම බෑ.
ගැහැනියක් හිතන්නේ බොහෝ විට ආදරයක අවසානය ලිංගිකව එකතුවීමක් කියා ය
ආටියා කියන්නේ ඔහොම.මට මේ කියමන පොඩ්ඩක් පැටලිලි සහිතයි.ආටියා මේකෙන් අදහස් කලේ ගැහැනියක් තමන් ආදරේ කරන පිරිමියා එක්ක ලිංගික සම්භන්ධයක් ඇති කරගත්තාට පසු ආදරේ හමාර වෙනවායැයි කියා සිතන එකටද එහෙමත් නැත්තන් ආදරේකදී ලිංගිකව එකතුවීමක් ඕනෙමයි කියල හිතන එකටද කියල.මට අනුවනම් ඔය දෙවිදියේම පොඩි පොඩි හුටස්පර තියෙනවා.ගැහැනියක් තමන් ආදරේ කරන පිරිමියෙක් එක්ක ආදරෙන් එහාට තවත් දුරක් යන්නේ ඒ කෙනා ගැන විශ්වාසයක් ප්‍රේමයක් ලොකු බැඳීමක් ඇතිකරගෙන.තමන් ආදරේ නොකරන විශ්වාස නොකරන කෙනෙක් ගැන අනුරාගී හැඟීම් මටනම් ඇතිකරගන්න බෑ.මංදා අනිත් අය ගැනනම්.ඊළඟ එක ආදරේකදී ලිංගික සම්භන්ධයක් ඇතිකර ගත යුතුමයි කියලා ගැහැනිය හිතනවායි කියන එක.අනේ ඇත්තමයි මට ශුවර් නෑ මම දැන් ස්තිරියාවක් ද කියලා ඇයි වදේ මට මෙහෙම එව්වා හිතිලා නෑනේ.
මං දැන් සුට්ටං බට්ටිච්චි කාලේ ඉදන් අර මාධවන් කොල්ලට ලව්නේ.ඒ උනාට මට මෙච්චර කාලෙකට ඒකාව හොයාගෙන ගිහින් ඇඳක පෙරලගෙන උම්මා දෙන්න හිතිලා නෑනේ.හරි හරි එයා ඉන්නේ ඉන්දියාවේ නිසා එයා හෙන සෙලිබ්‍රිටි පොරක් නිසා ඒක ප්‍රායෝගිකව කරන්න බෑමයි කියමුකෝ.අඩු ගානේ හීනෙන්වත් මට එහෙම කරන්න හිතිලාවත් පෙනිලාවත් නෑනේ.මාධවන්ව පැත්තකින් තියමුකෝ ආදරේ කරන කෙනෙකුට හරියට ආදරේ පෙන්නන්නවත් වෙලාවක් අවස්ථාවක් නැතුව දකින්නවත් අවස්ථාවක් නැතුව හැබෑවටම ඊට එහා දුරක් යන්න කොහොමටත් බෑනේ.ලිංගික එකතු වීමකින් ආදරේ කෙලවර කර ගන්න ගෑනු පෙළඹෙනවායි කියන එක මටනම් තේරුම් ගන්නටම බෑ.
එහෙමෙයි කියලා ගෑනු අපි ,අපි ආදරේ කරන පිරිමි එක්ක අනුරාගයේ බැඳෙන්නේ නැද්ද..මොකෝ නැත්තෙ බැඳෙනවා බැඳෙනවා.ඒ අර සිග්මන් ප්‍රොයිඩ් උන්නැහෙ කියල තියෙන විදියට මනෝමයෙන්..සිතින්මවාගෙන ...සිහින වල.ඕං ඔය උඩ මම උපුටගෙන තියෙන දේවල් අපි ආසයි අපි ආදරේ කරන කෙනාට කියන්න...කරන්න.ඒත් මොනයම් හෝ හේතු නිසා අපිට ඒ කෙනාට ඒවා කියන්න බෑ.මෙහෙම හිතමු ඒකපාර්ශ්වික ප්‍රේමයකදී අපි කොහොමද මේ ටික එයාට කියන්නෙ ? බැහැනේ.එතකොට ඉතින් හිතින් විතරනෙ ප්‍රේමයෙන් සහ අනුරාගයෙන් බැඳෙන්න පුලුවන්.ද්වීපාර්ශ්වික ප්රේමයකදීනම් මෙව්වා කියන්න කරන්න ලැජ්ජවෙනවනම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා.මොකද තමන්ගේ පෙම්වතාට හෝ සැමියට මෙව්වා කියන්න කරන්න ගෑනු ඇඹරෙන්න ඕනේ නෑ.වැඩේ කියන්නේ ගෑනු වේවා පිරිමි වේවා අපි ජීවිත කාලෙම ආදරේ කරන්නේ එකම කෙනෙකුට නොවීමයි.පෙම්වතෙක් ,සැමියෙක් සිටිද්දී පවා අපිට තව කෙනෙක් ගැන ප්‍රේමණීය හැඟීම් පහල වෙන්න පුලුවන්.ආදරේ හිතෙන්න පුලුවන්.ගෑනු කොහොමත් කැමතී නොලැබෙන දේකට මැරීගෙන ආදරේ කරන්න විඳවන්න විඳව විඳව විඳින්න.තමන් අතිශය පෙම් කරන පිරිමියෙක් එක්ක හීන වල ක්ලියෝපැට්රාගේ සනී ලියෝන්ගේ පාට් එක ඇක්ට් කලත් නිකමට හරි ඒ කෙනා එක්ක සැබෑවටම එහෙම අවස්ථාව ලැබුනොත් ඒ හීන තරම් රසවත් නොවෙන්න පුලුවන්.සමාජය විසින් හදපු barrier තමන් විසින් හදාගත්ත barrier තව නානාප්‍රකාර හේතු ඒ මොහොත විනාශ කරන්න නීරස කරන්න හේතුවෙනව.ආදරය ,ප්‍රේමය,විශ්වාසය,ආසාව,කැමැත්ත මේ හැමදේම එකට එකතු වුනාට පස්සෙ ගැහැනියකට සෙක්ස් කියන එක මහලොකු මැජික් එකක් නෙවෙයි.
පිරිමියෙකුට සමහර විට මේ දේවල් මෙහෙම නොවෙන්න පුලුවන්.මේ කිසිම කරුණක් සම්පූර්ණ නැතුවත් ක්ෂණික ඇතිවන හැඟීමකට ගැහැනියක් සමඟ සෙක්ස් කියන දුරටම ගිහින් නවතින්න පුලුවන් ඇති. ආදරය කැමැත්ත ආසාව තිබුනත් මෙච්චර කාලෙකට ඔයාව මට sexually feel උනේ නෑ කියල කියන්නත් පිරිමියෙක්ට පුලුවන් ඇති.අහඹු ස්පර්ශයක්,එක පුංචි සිප ගැන්මක් පවා ගැහැනියකට මුලු ජීවිත කාලෙම මතක තියාගෙන පරිස්සම් කරන්න පුලුවන් වෙද්දි පිරිමියෙක්ට ඒක ඒ මොහොතට විතරක් වෙන්නත් පුලුවන්.ඔය මොනවා කොහොම උනත් මම හිතන්නේ නෑ ආදරය ප්‍රේමය ,අනුරාගය ,ශෘංගාරය සෙක්ස් ඔය මොන දේකදීවත් පිරිමි ඔය කියන තරම් open,forward ,broad minded ,හෝ තව මොන මොනවා හෝ ඇතැයි කියා.පිරිමින්ට තියෙන්නෙත් මේ කාරණයේදී ගැහැනුන්ට තියෙන ප්‍රශ්නම අඩු වැඩි වශයෙන් වියහැකයි.
මොනතරම් broad minded මොනතරම් open මොනතරම් social පිරිමියෙක් හෝ ගැහැනියක් වේවා තමන්ගේ සහකරු හෝ සහකාරිය තවත් කෙනෙකුට ආදරේ කරනවා කැමැත්තෙන් ඉන්නවා එයා එක්ක feelings ශෙයා කරගන්නවා කියල දැනගත්තොත් "අනේ හරී සෝයී...ඒක තමයි වෙන්න ඕනේ....මාත් වටේ යනවා ඔයත් වටේ ගිහින් එන්න "කියන්නේ නෑ. මමත් එහෙමයි මං දන්නවා මගේ මනුස්සයත් එහෙමයි.හැම ගෑනියෙක්ම හැම පිරිමියෙක්ම එහෙමයි.චින්තනගෙ පොත් වල ඉන්නවා වගේ සුළු කොටසකුත් ඇති සමහරවිට එහෙම පුලුවන් අයත්.
ඉතින් අන්තිමට මට හිතෙන්නේ ආටියා ඔය කියනා තරම් ස්ත්‍රීන් හෙන complicated වී පිරිමින් සරළ සාමාන්‍ය වෙන්නට විදියක් නැති බවයි.අන්න ඒ නිසා ඔයාලට රහස් පෙමක් තියෙනවානම් දෙයියනේ කියල සිතින් විතරක් පෙම් කරන්න...දුරින් හිද බලන්න....හීනවලදී පමණක් අනුරාගයේ බැඳෙන්න.....මට ඔයාව ඉඹින්න ඕන..මට ඔයාව හපන්න ඕනේ...මට ඔයාව කන්න ඕනේ..බොන්න ඕනේ ...අනේ දෙයියනේ ඔය ඔක්කොම හිතේ විතරක් තියාගන්න.
Sep 29, 2020
අවාසනාවන්ත ප්‍රේමය !
හිතෙන්නෙ නැද්ද ? මාව බලන්න
අඩුම තරමෙ වචනයක් කතා කරන්න
කටහඬ අහන්නවත්...
අපි අපිව නොදැක
වචනයක්වත් නොදොඩා ගෙවුනු කාලය
දින...සති...මාස..අවුරුදු....
ඔව් ඒක ඒ තරම්ම දීර්ඝ කාලයක්...
හැම සුරංගනා කතාවක්ම ඉවර උනේ
ඊට පස්සෙ ඒ ගොල්ලො හැමදාමත් සතුටින් ජීවත් උනා කියල
අපේ ආදරෙත් සුරංගනා කතාවක් වගේ
පටන් ගන්නකොට මං හිටියෙ කොච්චර සතුටින්ද.....
නැතිවෙච්ච පලිඟු සපත්තුවත් අරන්
ගව් ගනන් දුර ගෙවාගෙන
සින්ඩරෙල්ලා හොයාගෙන
කුමාරයෙක් ආවට
සදාකාලික නින්දට වැටුණු නිදි කුමාරිව
අමරණීය හාද්දකින් ඇහැරවන්න
පුලුවන් කුමාරයෙක් ආවාට
එක්ටැම්ගෙයක උන්නු රපුන්සල්
ළඟට යන්න තරම් නිර්භීත
කුමාරයෙක් උන්නාට
ජීවිතේ කියන්නෙ සුරංගනා කතාවක් නෙවෙයි කියල තේරුම් ගන්න
ඔයාට මංවත් මට ඔයාවත් අයිති නැති බව තේරුම් ගන්නම උනා....
ඔයාට ප්‍රේමණීය කුමාරයෙක්
වෙන්න බැරි නිසාම
මං තීරණය කලා තව දුරටත් අහිංසක
කුමාරියක් නොවෙන්න
ඔව්,
දැන් මං බාබයිගා යකින්න
අඩුම තරමෙ එතකොට බැරියෑ
මැජික් කොස්සෙ නැගල ඇවිත්වත්
ඔයාව දකින්න...
Aug 26, 2020
පෙඟී ගිහින් සිතිවිලිවත් නෑ !
අතිශය ශූෂ්ක කලාපයක
ඇනි ඇනී විස කටු තුඩු
රිදුම් දෙද්දීත් පය
ඇවිද යමි
නවතිනු බැරි නිසාම
ගිලි ගිලී කර වටක් කළල් දිය මත
හිරවෙද්දීත් හුස්ම
නො එල්ලී පිඳුරු ගස් වල
පිහිනමි
මියෙන්නටවත් අවසර නැති නිසාම
පිහිට වන්නට නොවේ
අසා ඉන්නටවත් දුක
කියන්නට කෙනෙක් නැති දා
ගොලුවෙමි
මුනිවත ඇවැසි නිසාම
හැල්මේ දුවන ජීවිතය
පුංචි ඉස්පාසුවක කෙළවර
ඉඳහිටක නැවතී
සොයමි
මූනිච්චාවට ආදරෙයි කියූ අය
Jun 26, 2020
May 7, 2020
මම Marian නොවේ !
Robin ,
ඔයා විතරක් නෙවෙයි
මං ගැන දන්න
හැමෝම හිතුවෙ
මං ආදරේ ඔයාට විතරමයි කියල
අන්න ඒ හින්දම...
Nazir ,
මං වශී වුනේ ඔයාට කියල
මං ආදරේ කලේ ඔයාට කියල
අඩුම තරමෙ මට ඔයාටවත්
කියන්න ඉඩක් ලැබුනෙ නෑ
May 3, 2020
දැකුළු මලක හිරවෙලා !
දියමල යටින් අරගෙනම මුඳු ෂැම්පු සුවඳ
ගසමින් දිය බේරෙන දිගු නීල වරල
එකවරම ගස්සා බඳිද්දී හිස් මුදුන් කර උඩට
පුදුමයි කඩා නොවැටුනු හැටි
තිසරුන් මැදට කර ඇදි රෝස සළුව
පද්දා ඉඟසුඟ බල බලා හැඩ
කැඩපතකට උනත් ඔය තරම්
මුකුලු කරන එක හොදද ?
තවරමින් සුදු මුණ මත සුවඳ ක්‍රීම්
හල හලා මල් පුසුඹ යායකම සෙන්ට්
ඔය හැටිම දම දමා උඩ
පිරිමැදුම් ඕනෙමද සුදු කොමළ පය ?
දැන් දවස් කීයක්ද මං මෙතන තනිවෙලා
තවත් ඉවසන්න බෑ මගෙ හිතම මත්වෙලා
මටත් ඇස් කන් එක්ක හැඟුම් ඇත සිරවෙලා
අද ඇඳුම් අඳිනවද කෙටි සළුව බිම නොලා
( මේ කවි නිමිති පහල වූයේ කොහොමදැයි නො අසන්න. මාස දෙකක් බ්ලොග් එක අප්ඩේට් නොවීමේ දුකට පහල වූ ඒවා බව සලකන්න )
Feb 24, 2020
කොළඹ කියන්නෙ ඔයාට, ඔව් ඔයා පර්යාය පදයක් කොළඹට !
බොරලැස්ගමුව පැපිලියාන
කොහුවල කිරුළපන
තිඹිරිගස්යාය තුන්මුල්ල
ඔය සේරෝම පහුකරන්
එකසිය විස්ස
ගාට ගාට එනකොට
මං හදන්නෙම අමතක කරන්න ඔයාව
( මට මතක් වෙන්නෙම ඔයාව )
කංකරච්චල් සංගීතය
දැන් නෑ තමා බස්වල
එෆ් එම් චැනල් එකක
හරි හිමිහිට ඇහෙනවා
ලක්ශ්මන්ගෙ
සඳ කිනිති නැමී නිල් දියට
එබෙන සේයාව
චික්...මේ බස් කාරයො
මට අමතක කරන්න
නොදෙන හැටි ඔයාව
නෙළුම් පොකුණ ගාවින් බහිද්දි
හදවත් ගැහෙන්නෙත් එකසිය ගානට
ඇත්තමයි මට හිතෙන්නෙම
අහම්බෙන් හරි මුණගැහේවිද
මං අමතක කරන්න හදන ඔයාව
කොළඹ හුළඟත් හරි පුසුඹයි
මං දන්නව ඒ සුවඳ අයිති ඔයාට
රොබරෝසි මල හැලිල එක යායට
ග්‍රීන් පාත් පුරාම
කලා භවන ළඟදිත් මං හැරි හැරී හෙව්වෙ ඔයාව
මුණගැහුනු එක දවසකදිවත්
මට බැරි වුනා කියන්න මේ කාරණාව
මොනර නිල් පාට තමයි ඇන්ඳහම ලස්සනම ඔයාට
අහ්...මේ මොනව කිව්වත්
ඔයා බලන් ඉන්නකෝ
සත්තයි මං අමතක කරනවා ඔයාව
Feb 16, 2020
මැට්ටො !
ඔයා නපුරු වෙද්දි
මට දුක හිතෙනව!
ඔයා තරහ වෙද්දි
මට යාලු වෙන්න හිතෙනව!
ඔයා වචනයක් හරි කතා නොකල දාට
මට පාළු දැනෙනව!
එත්.....
ඔයා මට ආදරෙයි කියල දැනෙද්දි
මට මැරෙන්න හිතෙනව!
මේක මේ බොහෝම කාලෙකට කලින් ලියාපු එකක්.සමහර විට කලින් බ්ලොග් එකට දාලත් ඇති.ඒත් මේ ළඟදි අකීකරු සිතුවිලි පේජ් එකට මේක අරන් තිබුන හරියනම මාතෘකාව දාලා.ඉතින් ඔන්න ඕක නිසාම මේක ආයෙමත් දාන්න හිතුන ඒ මාතෘකාවෙන්ම.
Jan 28, 2020
මට මල් සුවඳ දැනෙනවා....
කඩරොළු බුනීල කපුරු
රෝස මුසැන්ඩාස් බාබන්ඩේසියා
හරි හරියට මල් පුරෝගෙන
මට හිනා වෙනවා
ඇත්තටම ඉස්සර
කොහොම හිටිය එකියක්ද.....
මල් වවන්න තියා හරියකට
කන්න බොන්නවත් වෙලාවක්
තිබුනෙ නෑ ඕකිට.....
කහ බාබන්ඩේසියාවක් රතු බුනීලෙකට
රස කර කර කියනවා
මං ඇහුනෙ නෑ වගේ ඉන්නවා.....
ආදරේ ආදරේ කිය කියා
දවල් හීනමනෙ දැක්කෙ
කවි කතා විතරමනෙ ලිව්වෙ
අපි ඕන් නෑ කියලමනෙ කිව්වෙ.....
දම් පාට කපුරු මලක්
තැඹිලි පාට දාස්පෙතියාවකට
කනට කර කියනවා
මං ඇහුනෙ නෑ වගේ ඉන්නවා.....
ඔව් එයාලා හරි
ඔයාව අමතක කරන්න හිතාගෙන
මං දැන් මල් වවනවා.....
ඔයා මං ළඟ නැති වුනාට
දැන් අපේ මිඳුලෙත් මල් පිපෙනවා
මට මල් සුවඳ දැනෙනවා.....
Jan 5, 2020
ඒකපාර්ශික !
සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ආදරේට වයසක් නෑ... ආදරේට ඇස් නෑ...ආදරේට වෙලාවක් කලාවක් නෑ... කොටින්ම ආදරේට ජාතියක් ජන්මයක් නෑ...එහෙම හිතන අය මේක කියවන්න. එහෙම නොහිතන අ...