සඳට බැළුම් හෙලූ අය

Jul 30, 2021

සත්තයි මං අමතක කරනවා ඔයාව !!

 



කාලෙකට ඉස්සර ලියපු කවියක් මේ ඊයේ පෙරේදා ආයෙත් මතකෙට  ආවේ පත්තරේක ඒ කවිය සොඳුරු විග්‍රහයක් එක්කම පලවෙලා තියෙනවා දකිද්දි.හැම සතියෙම වගේ පත්තරේක මගේ කවියක් ගිය කාලෙකුත් තිබුනා.දැන්නම් ඉතින් මේ වගේ අහම්බෙන් ගියොත් දැක්කොත් තමා අනේ මම කවිත් ලිව්වනේ  කියලා සතුටු වෙන්න පුලුවන් වෙන්නේ.ඇත්තටම අහම්බෙන්  නොදන්වා  මෙහෙම ලැබෙන සතුට හරිම අපූරුයි.එතකොට ඇත්තටම ආයෙත් කවි ලියන්න හිතෙනවා.


ශානිකා ශෂීප්‍රියා

කවිමිහිර / බුද්ධදාස ගලප්පත්ති

දිවයින ඉරිදා සංග්‍රහය 25.07.21


කොළඹ කියන්නෙ ඔයාට, ඔව් ඔයා පර්යාය පදයක් කොළඹට !


බොරලැස්ගමුව පැපිලියාන

කොහුවල කිරුළපන

තිඹිරිගස්යාය තුන්මුල්ල

ඔය සේරෝම පහුකරන්

එකසිය විස්ස

ගාට ගාට එනකොට

මං හදන්නෙම  අමතක කරන්න ඔයාව

( මට මතක් වෙන්නෙම ඔයාව )

කංකරච්චල් සංගීතය

දැන් නෑ තමා බස්වල

එෆ් එම් චැනල් එකක

හරි හිමිහිට ඇහෙනවා

ලක්ශ්මන්ගෙ

සඳ කිනිති නැමී නිල් දියට

එබෙන සේයාව

චික්...මේ බස් කාරයො

මට අමතක කරන්න

නොදෙන හැටි ඔයාව

නෙළුම් පොකුණ ගාවින් බහිද්දි

හදවත් ගැහෙන්නෙත් එකසිය ගාණට

ඇත්තමයි මට හිතෙන්නෙම

අහම්බෙන් හරි මුණගැහේවිද

මං අමතක කරන්න හදන ඔයාව

කොළඹ හුළඟත් හරි පුසුඹයි

මං දන්නව ඒ සුවඳ අයිති ඔයාට

රොබරෝසි මල් හැලිල  

එක යායට ග්‍රීන් පාත් පුරාම

කලා භවන ළඟදිත් මං හැරි හැරී හෙව්වෙ ඔයාව

මුණගැහුනු එක දවසකදිවත්

මට බැරි වුනා කියන්න මේ කාරණාව

මොනර නිල් පාට තමයි  ඇන්ඳහම

ලස්සනම  ඔයාට

අහ්...මේ මොනව කිව්වත්

ඔයා බලන් ඉන්නකෝ

සත්තයි මං අමතක කරනවා ඔයාව

කොළඹ කියන්නේ ඔයාට, ඔව් ඔයා පර්යාය පදයක් කොළඹට. කවියෙහි මාතෘකාවෙහිම අපූර්වත්වයක් දකිමි. කොළඹ යනු විශාල අර්ථ රාශියක් මතුකරනු ලබන වචනයකි. ඊට සමාන අරුත් සපයන එක් ( Synoym ) වචනයක්, පර්යාය පදයක් තිබිය හැකිද? කොළඹ කී සැණින් මතකයට එන වස්තූන්, විශේෂණ පද, චරිත, කොපමණක් තිබිය හැකිද යන්න ගණනය කිරීමට අපහසුය. කොළඹ කාක්කෝ, කොළඹ අහස,කොළඹ හුළඟ, කොළඹ මිනිස්සු, කොළඹ ගෑනු, කොළඹ ඉස්කෝල, කොළඹ මහ කන්තෝරු, හෙඩ් ඔෆීස්, කොළඹ නයිට් ක්ලබ්ස්, කොළඹ මහ හෝටල්, කොළඹ විශ්වවිද්‍යාල ආදී මෙකී නොකී විශේෂණ සහිත වචන රාශියක් අප මතකයට එන බව සිහි වේ. ඉහත කවියෙහි මාතෘකාව අනුව කිවිඳිය විසින් කොළඹට සමාන අර්ථ සතු එක් පුද්ගලයෙක්, එක් චරිතයක් පිළිබඳ පවසන්නට උත්සාහ ගෙන සිටින්නීය.කිවිඳියගේ කතා නායකයාට කොළඹ  සමානාර්ථ රැගත් පදයක් ද නැතහොත් කොළඹට පර්යාය පදයක් ද ඔහු? කිවිඳිය අනුව ඉහත කවියෙන් මතුකෙරෙන්නේ දෙවැන්නයි.කොළඹ කියන්නෙ ඔයාට, ඔව්, ඔයා පර්යාය පදයක් කොළඹට. මේ අපූරු පද්‍ය කාව්‍යය නිර්මාණය කරන්නී ශානිකා ශෂීප්‍රියා නම් පාඨක අපට හුරු පුරුදු නමක් සතු කිවිඳියක්ය. ශානිකා මුහුණු පොත කවිය තුළ මෙන්ම මෑත කාලයේ පවත්වන ලද  විවිධ කාව්‍ය තරගාවලීන්හි ජයග්‍රාහක නාමාවලී අතර ද අපට හමු වූ ප්‍රතිභාන්විත, නව කවි පරපුර  නියෝජනය  කරනු ලබන කිවිඳියකි. ඇගේ කවියෙහි විශේෂිත ගුණය නාගරික පරිසරයෙන් උකහා ගනු ලබන අනුභූතීන් කවියට නැගීමට ඈ  විසින් ප්‍රකට කරනු ලබන කුසලතාවයි. එවන් අත්දැකීම් කවියට නැගීමේ දී ඈ විසින් ඊට වඩාත්ම උචිත කාව්‍යොචිත ධ්වනිපූර්ණ කවි බසක් ද භාවිත කිරීමට ඈ දක්වා සිටින හැකියාවයි.

කතානායිකාව කොළඹට ආසන්න උප නගරයක සිට බසයක නැගී කොළඹට එන්නීය. බස් රථයේ මාර්ග අංකය පිළිබඳව ද කියවෙන බැවින් ඈ ගමන්කරනු ලබන්නේ කුමන අන්තයක සිටද යන්න පාඨකයා දැනගනී.ගාට ගාට එන බස් රිය මාර්ග අංකය එකසිය විස්සය. මෙහිදී වුව කිවිඳිය ව්‍යවහාරයේ පවතින මාර්ග අංක පිළිබඳ දැනුමකින් යුතුව එය තම නිර්මාණයට එක් කොට ගෙන ඈති බව හැඟේ.එකසිය තිස් අට කී සැණින් හෝමාගම මහරගම කොළඹ බසයක් සිහිවන්නාක් මෙන් එකසිය විස්ස කී විගස එය නිසැක වශයෙන්ම හොරණ කොළඹ හෝ පිළියන්දල කොළඹ බව ගමන් ගන්නා බස් රථයකි. බොරලස්ගමුව,පැපිලියාන, කොහුවල, කිරුළපන, තිඹිරිගස්යාය, තුන්මුල්ල පසුකරමින් ගාටමින් එන බසයක නැගී ඉන්නා ඈ උත්සාහගන්නී ඔහු අමතක කරන්නටය.එහෙත් ඇයට මතක් වෙන්නෙම ඔහු බව කියැවේ.

බොරලැස්ගමුව පැපිලියාන

කොහුවල කිරුළපන

තිඹිරිගස්යාය තුන්මුල්ල

ඔය සේරොම පහුකරන්

එකසිය විස්ස

ගාට ගාට එනකොට

මං හදන්නෙම අමතක කරන්න ඔයාව

( මට මතක් වෙන්නෙම ඔයාව )

ගාට ගාටා එන බසයක සිටින්නට සිදුවන කාලය දිගුය.ඊට අමතරව බස් රථවලින් ඇසුණු කන්කරච්චලයක් වූ සංගීතය අද නැති බව ඈ දනී.එහෙත් ඉන් ඇගේ සිත සන්සුන්ව තබාගැනීමට ඉඩක් නොලැබේ.ඇයට හෙමින් ඇසෙන එෆ්.එම්.නාලිකාවක ගී හඬකි. ඒ හඬ කාගෙද? ඒ ගීතය කුමක්ද?

එෆ් එම් චැනල් එකක

හරි හෙමිහිට ඇහෙනවා

ලක්ෂ්මන්ගේ

සඳ කිනිති නැමී නිල් දියට

එබෙන සේයාව...

ඈ තම අත්දැකීම ප්‍රබලව කීමට සමත් උචිතම ගී ඛණ්ඩයක් තෝරා ගනී. ලක්ෂ්මන් විජේසේකරගේ ගීතයක කොටසකිනි ඇගේ ධ්‍යානය බිඳ වැටෙන්නේ. සඳ කිනිති නැමී නිල් දියට එබී සොයන්නේ සඳේ සේයාවයි. ඔබ නෙතට එබී මගෙ නෙතද සදා සොයන්නේ මගේ සේයාවයි. ගිතයේ අර්ථය මෙන්ම ලක්ෂ්මන් ගේ ප්‍රේමණීය ගායනය ද ඇගෙ සිතට අමතක කරන්නට උත්සාහ ගනු ලබන ඔහුගේ මතකය කැඳවයි. ඈ බස් රියේ සේවකයන්ට දොස් පවරයි.

චික්... මේ බස් කාරයො

මට අමතක කරන්න

නොදෙන හැටි ඔයාව

ඇගේ සිතට කිසිදු ගැලවීමක් නම් නැත්තේය.ඔහු මුණ ගැසේවි යයි අනුමාන කෙරෙන ඇගේ ගමනාන්තයට ද ඈ පැමිණ සිටින්නීය.අහම්බෙන් හෝ ඔහු මුණ ගැසේවිද කියාත් ඇයට සැක සිතේ.අමතක කරන්න උත්සාහ ගන්නවා නම් අහම්බෙන් හෝ ඔහු මුණ ගැසේවිද කියා සැක සිතන්නේ ඈ ඔහු ගේ හමුවීම යටි සිතින් අපේක්ෂා කරන බැවින්ද? ඇයට දැන් කොළඹ සුළඟ දැනේ. එය සුවඳ යයි කියන්නී ඒ සුවඳ ඔහුගේ සුවඳ ඇගේ මතකයට නංවන බැවින්ද?

කොළඹ හුළඟත් හරි පුසුඹයි

මං දන්නව ඒ සුවඳ අයිති ඔයාට

රොබරොරෙසි මල් හැලිල

එක යායට ග්‍රීන් පාත් පුරාම

කලා භවන ළඟඳිත් මං හැරි හැරී හෙව්වෙ ඔයාව

ඈයට ඔහු අමතක කරන්නට අවශ්‍ය නම් කලා භවන අසල දී හැරි හැරී ඔහු සොයන්නේ කිමද? එක යායට රොබරෝසි මල් පතිත වුණු ග්‍රීන් පාත් පසු කරන කල ආ ඔහු මුණ ගැසුණු සුන්දර අතීතයට ගියාවද්ද? ඇගේ ප්‍රේමය අසවල් වර්ගයේ ආදරයැකැයි විස්තර කළ නොහැක්කකි. සත්‍ය වශයෙන්ම ඈ ඔහු අමතක කිරීමට උත්සාහ ගන්නී ද? ඔවුන් දෙදෙනා මුණ ගැසුණු එක දවසකදී හෝ කියන්නට අමතක වූ කාරණාවක් අද ඇගේ මතකයට එයි. එය අපූරු සිතිවිල්ලකි.

මුණ ගැහුණු එක දවසකදිවත්

මට බැරි වුණා කියන්න මේ කාරණාව

මොනර නිල් පාට තමයි ඇන්ඳම

ලස්සනම ඔයාට

ඈ මොනර නිල් පාටම තෝරාගන්නී කිමද? ඔහු මොනරෙකු මෙන් ආඩම්බරකාර චරිතයක් බව කීමටද? තවත් කොපමණ නිල් පාට තිබේද? මුහුදු නිල Sea Blu, අහස් නිල Sky Blue ? එහෙත් මොනර නිලම Peacock Blue ඔහුට ලස්සන බව ඈ දකින්නී ඔහුගේ ආඩම්බරකාර ගති සොබා සංකේත්වත් කරනු පිණිස ද නොවේ නම් සැබැවින්ම මොනර නිල් පාට ඇඳුමින් ඔහු ලස්සනට පෙනෙන නිසා ද? එක්වරම ඇයට සිහිවන්නී අමතක කරන්නම උත්සාහගන්නා ඔහු පිළිබඳව නොවෙද ඈ මේ කල්පනා කරන්නී කියායි. සිත දැඩි කොටගෙන ඈ මෙසේ කීවාද ඇය ඔහු අමතක නොකරන බව කවියෙහි යටි පෙළ අරුත පවසනු දැනේ.

අහ්.. මේ මොනව කිව්වත්

ඔයා බලන් ඉන්නකෝ

සත්තයි මං අමතක කරනවා ඔයාව

ආදරය පිළිබඳ, පෙම්වතුන් පෙම්වතියන්ගේ විරසකවීම් පිළිබඳ ලියැවී ඇති ලියවෙන කවි අතරට ශානිකා ශෂීප්‍රියා එක් කරන මේ ප්‍රේමණීය අත්දැකීම එවැනි සුලබ ආදර අත්දැකීමකට වඩා වෙනස් වූ චමත්කාර හා සුන්දර හැඟුම් දනවන නිර්මාණයක් වී තිබෙනු පෙනේ. අනවශ්‍ය කාව්‍යාලංකාරවලින් තොර වූ එහෙත් කවියෙහි මුඛ්‍ය අර්ථය දැනවීමෙහි ලා කාව්‍යොචිත වචන පමණක් තෝරා ගනිමින් අවසන් වී ඇති නිර්මාණය තුළ සිත කොතෙක් දැඩි කොටගෙන අමතක කිරීමට සැරසෙන එහෙත් අමතක කිරීමට නොහැකි පෙම්වතෙකු කවියෙහි කතානායිකාව තුළ අපි දකිමු.පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ ආදර ලෝකයක කොළඹට පර්යාය පදයක් සේ දකින පෙම්වතෙකු පිළිබඳ කවිය තුළ ආදරයේ අප නොදුටු පැතිකඩක් පෙනේ. එය රමණීය අත්දැකීමකට අප හවුල් කරවා ගැනීමකැයි සිතේ.


බුද්ධදාස ගලප්පත්ති


Jul 25, 2021

මං හිනා වෙන්නද අඩන්නද ?

 





ආයෙමත් මට ආදරේ කරන්න

 එතකොට ඔයාට පුලුවන් 

ආයෙමත් කවි ලියන්න 

-----------------------------------------------

ඇත්ත තමයි

මං ලස්සනටම කවි ලිව්වෙ

අපි රණ්ඩු උන දවසට


හිඟන්නියක් වගේ මං ආදරේම 

ඉල්ල ඉල්ල පස්සෙන් වැටෙද්දි

ඔයා මට ගණන් උස්සපු දවසට


සති ගණන් මාව බ්ලොක්  කරල

ඔයා හිනාවුන දවසට

එකම එක වචනයක් අහන්න

මං වරු ගනන් බලන් උන්න  දවසට


" මට ආදරෙයි කියපං "


හිටි ගමන් ඇවිත් තර්ජණය කරපු දවසට

එකම එක තප්පරේකට මූණ ඉඹල

අත හැරිය දවසට


ඇත්තමයි 

මට කවි ලියවුනේම ඒ වගේ

පපුව හීරුන දවසට....

---------------------------------------------------------

" ආයෙමත් මට ආදරේ කරන්න "

---------------------------------------------------------


එදා තරම්වත් අද

ඔයාට පුලුවන්ද 

මාව දරාගන්න ?


ඉතින්,

ඔයාම කියන්න 

මං හිනා වෙන්නද

අඩන්නද ?


Jul 22, 2021

මීඳුම් දුමාරයේ !!







බීර සුවදැති හාදු නවකතාව ගැන මං කලින් දාපු පෝස්ට් එකටම මේ පෝස්ට් එකත් සම්භන්ධයි.පහුගිය අවුරුද්දෙ බුක් ෆෙයා එකෙන් අරන් ඇවිල්ල නමට වහ වැටිල ඉස්සෙල්ලම කියවපු පොත තමයි බීර සුවදැති හාදු.අවසානයක් හිතා ගන්න බැරි අවසානයක් නැති ඒ කතාවෙ අන්තිම කියවල මං හිටියෙ හොල්මන් වෙලා අනේ ඊළඟට මොනා වෙන්න ඇතිද කියල.අන්න එහෙම මානසිකත්වයක ඉන්නකොට තමයි මේ කතාවේ අයිතිකාරි ,මේ කතාවේ ලේඛිකාව දිල්ශි තත්සරණි එයාගේ පේජ් එකේ කතාව කියවපු හැමෝටම විවෘත ආරාධනාවක් කරල තිබුනෙ කතාවේ අවසානය ලියන්න කියලා. බීර සුවදැති හාද්දකින් හිරිවැටිල හිටපු මමත් එක හුස්මට මගේ හිතේ මැවුන අවසානය අකුරු කරල දිල්ශිට යැව්ව.ඇගෙන් ලැබුන ප්‍රථිචාර  බොහොම ඉහලයි.මම නවකතාවක් ලිවිය යුතුමයි කියල ඇය හරිම නිහතමානී සුන්දර ආරාධනාවකුත් කලා.


ඉතින් ඔය පහල තියෙන්නෙ ඒ කතාවේ මං දුටුව අවසානය.මේක ලියලා මාස හත අටක් වෙනවා.( ඉස්සර මෙහෙම ලිව්වට දැන් මට ලියන්න බෑනේ ) පොත කියවලා නැති අයට හොල්මන්ද පොල්කොල වගේ වෙයි තමා.හරි හරි කටිටිය පොත හොයාගෙන කියවලම එන්නකො එහෙනම්.



*********************************


කඳු වලල්ලට ඉහලින් හැන්දෑ කළුවර මෝදු වෙමින් තිබුණි.පයිනස් කැලෑව හැමදාමත් වගේ අදත් මීඳුම් දුමාරය විසින් ආක්‍රමණය  කර තිබෙනා බව දේවන් දුටුවේ වෙන කවරදාටත් වඩා නොසන්සුන් චමත්කාරයක් හිතේ පුරවා ගනිමිනි.


දේවන් කොහාටදැයි ඇසූ විට ආග්‍රා කිව්වේ ඔයාට ඕනම තැනකට කියායි.


ගැහැනියක් එසේ කියන්නේ නිකමට නොවෙන බව දේවන්ගේ පිරිමි ඉව හොදාකාරවම දනී.මෙවන් මොහොතක දේවන්ගේ රියසක නිතැතින්ම කැරකෙන්නේ පැරඩයිස් නිවාස සංකීර්ණයේ ඔහුගේ  කුඩා එහෙත් සුපෝඛපෝගී නිදහස් පාරාදීසයටය. ඇත්තෙන්ම ඒ නිවස්න දේවන්ට මෙන්ම දේවන්ගේ හිත දවසකට හෝ කියවා ළඟට එන ස්ත්‍රීන්ට පාරාදීසයක්මය.


ආග්‍රාවද එහි කැටුව ගොස්  ලා දම්පාට සිහින් ආලෝකය යට අනුරාගයේ පරමානන්දය විඳින්නට දේවන් සිහින දැක්කේ මේ සොඳුරු යුවතිය පළමුවර දුටුදාමය.මේ මොහොත වන විට එකී බලාපොරොත්තවේ ගිනිදළු බුර බුරා නැගිය යුතු වුවද දේවන්ට මොකක්දෝ  අපහසුවක් දැනේ.ඒ මේ සමනලියගේ සුන්දරත්වයේ මොකක්දෝ හුරු පුරුදු බවක් දැනිමම විතරක් නෙවෙයි.ඒ සැහැල්ලුවට ඒ විවෘත බවට ඒ ඔක්කෝටමත් වැඩිය දේවන්ගේම අදහස් සිතුම් පැතුම් ඒ කතාවේ, ඒ හැසිරීමේ දැකීම මොකක්දෝ බලවේගයක් විසින් තමන්ව පස්සට අදිනවයි කියල දේවන්ට හිතෙනව.පැරඩයිස් බලා ඉගිල්ලෙන්න හදන වාහනේ රෝද මේ තරම් හිමිහිට හසුරවන්නෙ තමන්ගෙ හිතේ තිරිංඟ බව දේවන්ට නොතේරෙනව නෙවෙයි.


මොනවද හිතන්නේ..


සිතුවිලි  බිඳුනෙ ආග්‍රාගේ හඬට.


ඔයා ගැන


දේවන් කිව්වෙ තමන්ගෙ හිත නොසඟවා.


මං ගැන....මං ගැන මමවත් හිතන්නෙ නැති කොට ඔයා මං ගැන කොහොමවත් හිතන්න ඕනේ නෑ දේවන්...ඕ...සොරි දේවා...


ආග්‍රා එහෙම කිව්වෙ උපහාසාත්මක සරදම් බැල්මක් දේවන් දෙසට පා කරමින්.


මං හිතන්නේ ඔයා ගැන උනාට ඔයාට බෑ මට බලකරන්න..මගේ හිතට  බැරියර් දාන්න...


දේවන් එහෙම කිව්වම ආග්‍රා මහ හඬින් හිනාවුනා....


ඕකේ ..ඕකේ ඈස් යුවර් විශ්..


ආග්‍රා වින්ඩ්ස්ක්‍රීන් එකට පාත්වෙන අළු පාට මීඳුම දිහාට ඇස් දල්වගෙන එහෙම  කිව්ව.


කා එක චුට්ටකට නවත්නවද...මං ආසයි එළියට බැහැල මේ මීඳුමේ අතරමං වෙන්න....


එළිය සීතලයි ස්ව්ටී.


සෝ...අමතක වුනාද මං ආවේ  හිම මිදෙන රටක ඉදලා...


ආග්‍රා ආයෙමත් ඒ සරදම් හිනාව දේවන් දිහාට විසිකලා.


පයිනස් කැලෑව මැද්දෙන්  හීයක් වගේ කෙලින්ම දිවෙන හුදකලා පාරේ තැනක දේවන් වාහනය නතර කල සැනින් ආග්‍රා දොර ඇරගෙන එලියට පැන්න.ඒ දඟකාර හුරතලය දේවන් බලා හිටියෙ වශී වෙලා වගේ.හීන් උර පටි දෙකකින්  පමණක් රැඳුණු පිටත් පපුවත් ඕනෑවටත් වඩා නිරාවරණය වුණු ලා නිල් පාට සේද ගවුම එක මිටට කරන් ආග්‍රා මීඳුම අතරින් පයිනස් කැලේට දිවය අයුරු දේවන් බලන් හිටියෙ වාහනෙන් බහින්නත් සිහියක් නැතුව.




*********************************


ඒ මොහොතේ නිම්නයට කළුවර  ඇද හැලෙමින් තිබුනේ වේගයෙනි.ඇට මිඳුළු පවා තිගැස්සෙන සීතල  දේවන්ව හිරිවට්ටා තිබුණි.පයිනස් කැලෑව සිසාරා  ඔහුගේ ඇස් දිවගියේ ආග්‍රාගේ රුව අල්ලා ගැනීමටයි.මේ කෙල්ල කොහාට උනාදැයි සිතමින් දේවන්ද ආග්‍රා දිවගොස් නොපෙනී ගිය මීඳුම් කැරැල්ලේම නොපෙනී ගියේය.


ඇය හුන්නේ දැවැන්ත පයිනස් ගහකට පිටදී දෑස පියාගෙන නිසොල්මන්වය.දේවන් නිහඬ බව නොබිඳම ඈ වෙතට ළංවී බොහෝ ළඟට ඒ පියවුණු දෑසේ සුන්දරත්වය විඳගත්තේය...ආග්‍රාගේ පිරිපුන් ලය මඬල සෙමෙන් උස් පහත් වෙන හැටි බලා හුන්නේය.


මොනාහරි කියන්න දේවා...මං දන්නවා ඔයා මෙතැන ඉන්නවා කියල....


ඇය දෙඩුවේ ඇස් පියාගෙනමය.


සීතලයි ස්වීටී....තව මෙහෙම  හිටියොත් අපි ගල් වෙයි...


ආ යූ ක්‍රේසී...ඔයා චූටි බබෙක් වගේනේ ...


පාලු පයිනස් කැලය පුරා ආග්‍රාගේ කිංකිණි හිනාව දෝංකාර දෙන්නට විය.


නෑ ඒක නෙවෙයි ඇත්ත ..ඔයා වෙරි යංග්..ස්ට්‍රෝන්....දැන් මට වයසයි සමහර දේවල් ඔරොත්තු දෙන්නේ නෑ...


දේවන්ගේ කටින් පිට වුනේ ඇත්ත වුනත්.ඔහුටම ඔහු ගැන පුදුම හිතුනා.දේවන් කියන්නේ කවදාවත් ගැහැනුන් ළඟ දෙවෙනි  වුන කෙනෙක් නෙවෙයි.දේවන්ට ඒ කියපු දේ ගැන පසුතැවිල්ලක් දැනුනත් ආග්‍රා ඒක සීරියස් ගත්ත බවක් පෙනුනෙ නෑ.


ඕ ...කමෝන්...බලන්න මේ පරිසරය දිහා...හරිම රොමෑන්ටික්...මං ආසයි මේ මීඳුම අස්සේ තව තවත් අතරමං වෙන්න තිබුනා නම්...


ආග්‍රා කියෙව්වෙ හරියට උමතුවෙන් වගේ.


දේවන් ආග්‍රාගේ අතින් අල්ල ගත්තෙ ආයෙමත් මේ කෙල්ල කැලේ ඇතුලට දුවයි කියන බයටම.ඒ අත හිම තට්ටුවක් වගේ හීතලට දේවන්ගේ අතට හිරවෙද්දි ඒ තරම්ම හීතලට තිබුණු දේවන්ගේ අතට මොකක්දෝ උණුහුමක් දැනුනා..


ඔයා හීතලෙන් බබී..එන්න මගේ ළඟට...


දේවන් එහෙම කියද්දිම ආග්‍රා දේවන්ගේ උරහිසට වාරු වුනා.හරියට එහෙම ආරාධනාවක් කරනකම් බලන් උන්නා වගේ. දේවන් ඇගේ බඳ වටා අතක් යවල ඈව තවත් තුරුල් කරගත්ත.දේවන් ආග්‍රා ගැන මොන මොනව හිතන් හිටියත් ආග්‍රා දේවන් ගැන මොන මොනවා හිතන් හිටියත් සෙක්ස් වලින් එහාට ගිය මොකද්දෝ නුහුරු ආගන්තුක ස්පර්ශයක රස්නය දෙන්නාටම වෙන වෙනම දැනුනා.


අද නෙවෙයි වෙන දවසක මං ඔයාව ආයෙත් මෙතනට එක්කං එන්නං ස්වීට් ඔයාට කැමති තැනක ඇවිදින්න...දැන් අපි ආපහු යමු...


දේවන් ආග්‍රාව වත්තන් කරගෙනම ඉස්සර වුනා.




*********************


ඒ මොහොත අතිශය චමත්කාර  වන්නට පරිසරය විසින්ම ඕනෑ තරම් හේතු සපයා දී තිබියදීත් ආග්‍රාත් දේවනුත් වාහනයේ වෙන වෙනම අසුන් වල  වාඩි වී සීතලේ  වෙව්ලන්නට විය.


ඒ වෙව්ලන තොල් මත උමතුවෙන් මෙන්   හාදු දෙන්නට පුලුවන් කම තිබියදීත් ඒ ගැස්සෙන ලැම මත හිස හොවා උණුහුම් වන්නට තිබියදීත් දේවන් ඉවසුවේය..තවත් තව තවත් ඉවසුවේය.දේවන්ගේ සරාගී පිරිමි ආත්මයේ අකීකරු අනුරාගී හැඟීම්  ඉස්සර වෙන්න හදන හැම මොහොතකම කවරදාවත් ගැහැනියක් ළඟදී නොතිබුනු සංයමයක් අනායාසයෙන්ම දේවන්ගේ ආත්මයට ආරූඩ වී තමාව පාලනය කරන බව දේවන්ට දැනෙන්නාක් මෙනි.


අයි ෆීල් සම්තිං නිව්..මට තේරෙන්නෑ කියන්න


මට දැන් වැටෙනකං බොන්න ඕනේ වගේ...


ආග්‍රා  එහෙම කියද්දී ඒ උවමනාව  දේවන්ට ඊටත් වඩා තදින් දැනුණි.


ඕක අරින්න ..


දේවන් ආග්‍රාට කබිහෝල් එක පෙන්නුවේ ඇස් වලිනි.ආග්‍රා හිමිහිට නැවී කබිහෝල් එකෙන් හුරුබුහුටි විස්කි බෝතලයක් අතට ගත්තේ ඇස් වලින් හිනැහෙමිනි.


තෑන්ක්ස් ...ඔයා මාරයි..


සැනින් මූඩිය ගලවා ඒ කුඩා විස්කි බෝතලය කටේ තියාගෙන ආග්‍රා එක හුස්මට උගුරු කීපයක් බිව්වාය.දේවන් මොහොතකට දෑස් අදහාගත නොහැකි ලෙස බලා හුන්නේය.ගැහැනියක් මේ තරම් විවෘත වෙනවා පිරිමියෙක් ඉදිරියේ මේ තරම් නිර්භීත වෙනවා දේවන් හැබෑවටම දුටුවේ අදය.ඇයව වලක්වන්නවත් එපා කියන්නවත් නොගිහින් දේවන් බලා හුන්නේය.ඒ කුඩා බෝතලයේ හරි අඩක් පමණ හිස් කර ආග්‍රා බෝතලය දේවන්ට දිගු කලාය.මේ දේවන්ගේ  ක්‍රමය නොවුනත් ඔහු නොපැකිලව ආග්‍රා අනුගමනය  කරමින් බෝතලයේ ඉතිරි අඩ එක හුස්මට කටට හලා ගත්තේය.


සීතලෙන් කිතිකැවුනු සියොළඟ උණුහුම් වන්නටත් මත් වෙන්නටත් මහ වෙලාවක් නොගිය බව දේවන්ට මෙන්ම ආග්‍රාටද එක ලෙස දැණුනි.


ඔයා කාට හරි ආදරේ කරල තියෙනවද ස්වීටී...


හිටිගමන්  දේවන් ඇසුවේ ආසනයේ පිටුපසට ඇලවී සැහැල්ලුවෙන් උන් ආග්‍රා දෙසට නැඹුරු වීගෙන.


ඔව්...මගෙ අම්මට...ඒ එයා මගේ අම්මා නිසාම නෙවෙයි...එයා හරිම අපූරු ගෑනියෙක්...අම්ම නැති අඩුව අද මට රාධා ආන්ටිව දැක්කට පස්සේ වැඩියෙන් දැනෙනවා...


පලවෙනි වතාවට දේවන් ඒ දිලිසෙන ඇස් වල  දුකක් සංතාපයක් වැනි මොකක්දෝ හැඟීමක් දුටුවේය.ඈ දිගටම කතා කරාවියැයි දේවන් සිතුවත් ආග්‍රා කතාව නවතා කාරය තුල එහෙ මෙහෙ බලන්නට විය.ඇගේ සීට් එකේම ඇයටම යටවී තිබුණ  කුඩා අත්බෑගය සොයාගත් ආග්‍රා වෙව්ලන ඇගිලිතුඩු වලින් පොලිතීන් අසුරණයක තිබූ කංසා රිකිලි කිහිපයක් සුදු කොලයක් එලියට ගත්තාය.බෑගය දේවන් දෙසට විසිකර කකුල් දෙකත් උඩට ගත් ආග්‍රා ෆ්‍රීසියා බාර් එකේදී මෙන්ම බුහුටි කමින් එය ඔතන්ට ගත්තාය.නැවත නැවතත් ආග්‍රා තුලින් තමන්වම පෙනෙන එක  දේවන් විඳගත්තේ අපහසුවෙනි.සංයමයෙන්  එතූ කංසා වැඩිය එක අතක රුවාගෙ ආග්‍රා අනිත් අත දේවන් දෙසට දිගු කලාය.දේවන් වටපිට බැලුවේ ලයිටරය තියෙන්නේ කාරයේ කොතැනදයි හදිස්සියට  සිහිපත් නොවූ නිසාමය.


මගේ බෑග් එකේ තියෙනවා...


ආග්‍රාගේ හඬ නොයිවසිලිමත්ව ඇසුනේ  ඇය පහත්කල ශටරයෙන් සීතල කඩා වැදෙනා තරම් වේගයෙනි.


දේවන් ඇගේ හෑන්ඩ් බෑගයට අත දමා  ලයිටරය සැනින් අතට ගත්තේ ඒ බෑග් එකේ වැඩි දෙයක් නොතිබූ නිසාමය.එහෙම නොවුනානම්  ගැහැනියකගේ බෑග් එකකට අත දමා ලේසියෙන් ගැලවිය නොහැකි බව  දේවන් අසා ඇත.


මගේ අම්ම හරිම  සතුටින් ජීවත් උනා..ඒත් එයා ජීවිතේ එකම පාරක් ආදරේ කරල  තියෙනවා ඒ මගේ තාත්තා කියන පිරිමියාට...එයා කවදාවත් මගේ තාත්තා ගැන මා එක්ක කතා නොකලට මං ඒක දැනන් හිටියා...


විස්කි මතට මුහු වෙච්ච කංසා මතින් ආග්‍රා දොඩමළු වෙද්දී  දේවන්  හුන්නේ ඒ මහා සීතලෙත් දෙකනින් දහඩිය වගුරවමින් හිස් කබල පුපුරා යන්නට තරම් එන සංත්‍රාසයකින් භීතියට පත්වෙමිනි.


ඇලීෂා....ඒ නම වගේම එයත් අමුතුයි..ලස්සනයි...මේ අන්ධකාර නිම්නයේ කොහේ  හරි මගේ අම්මගෙ ආදර කතාව හැංගිලා ඇති....රාධා ආන්ටි ... ඒ අම්මගෙ හොදම යාලුවා...එයා කිව්වෙත් මං හරියටම  මගේ අම්මා වගේමයි කියලා..

ආග්‍රාගේ මත්වෙච්ච හඬ දේවන්ගේ සවන් සේම,ලයද සිදුරුව  යද්දී ඇලීෂා ගේත් අනූගේත් සේයාරුව එහෙමම  බෑගයේ තිබෙන්නට හැර ස්ටීරියන් වීලය මත හිස හොවා ගත්තේ දෙයියනේ  මගේ ලේ ...මගේ ලේ කියමින් තමන්ගේම ඇතුලු හද මහා සද්දෙට කෑ මොරදෙනවා ඉවසගන්නට බැරුවාක් මෙනි.



Jul 18, 2021

මේ හාද්ද දෙතොල් මත තබා ගන්න !!





 බීර සුවඳැති හාදු....නම දුටු සැනින් දැනුන අපූර්වත්වය නිසාම මිලදී ගත් පොතක් අවසානයේදී කැමතිම පොතක් වෙලා සදාකාලිකවම මතකයේ රැඳෙන පොතක් වීම ම කොයි තරම් අපූරුද..

සීතලම සීතල අන්ධකාර නිම්නයක මැද  කඳු වළල්ල සිසාර දෝංකාර දෙන හරි අපූරු ආදර කතාවක්...ආදරේ කියන්නෙ අයිති කර ගැනීමම නෙවෙයි කියල යලි යලිත් පසක් කරන කතාවක්... සතුට කියන්නෙ ,ආශාව කියන්නෙ ,විඳීම කියන්නෙ ,සෙක්ස් කියන්නෙ මෙන්න මේ වගේ දේකට කියල බය නැතුව කතා කරන කතාවක්...ගැහැනු හිත වගේම පිරිමි හිතත් හරි අපූරුවට දිගහරින කතාවක්...කොටින්ම අවසානයක් නැති අවසානයකින් පාඨකයා හිරිවට්ටන කතාවක්....

ගැහැනු ආත්මවල වගේම පිරිමි ආත්මවලත්  හරි සියුම් තැන්   සිංහල අකුරු මත හරි අපූරුවට කැටයම් කරන්න දිල්ෂි තත්සරණිට තියෙන්නෙ තව කෙනෙකුට ඊරිසියා හිතෙන තරම් හැකියාවක්.ඒ වචන අපිව ජීවත් කරවනවා, ඒ සිද්ධි, ඒ හැඟීම් අපි විඳිනවා වගේම අපිට  හැඟෙන දැනෙන තරම් ඒ වචන ප්‍රබලයි.නවකතාකාරිය ඇගේ පලමු කතාවෙන්ම සුවහසක් පාඨකයා  ග්‍රහණය කරගන්නා බව නොඅනුමානයි.


ඉතින්,
බීර සුවඳැති හාද්දකින් මත් වෙන්න...
කංසා වැටියක ආග්‍රාහණයෙන් මැවෙන චමත්කාරය අත්විඳින්න
ඉසියුම්ම ශෘංගාරායක රස පහසක අතර මං වෙන්න...
අත් හැරීම් ළඟ නාඬා ඉන්නට...
බැඳීම් ළඟ සසල වෙන්නට ...
එන්න,
මේ  හාද්ද දෙතොල් මත තබා ගන්න.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...