හීන් සඳ රැස් කැරලි ගලනකොට තුන් යමේ
සමහරක් දවස් වල වැඩියෙනුත් දුක හිතේ
හදේ ගැඹුරුම ඉමක එහෙම දවසට ඉබේ
පාලුවට ගිය මතක මන්දිරක දොර හැරේ
මතක මල් පෙති මතට පිණි කඳුළු වැටුනා
නෙතු දෑළ බොද වෙවී හද සොරොව් බිඳුනා
මගේ පැතුමත් අරන් නුඹ දුරක ඇදුණා
පපුවටම වෙඩි තිබ්බ දවසෙ හිත මැරුණා
රැල්ල වෙරළට ඇවිත් ආදරෙන් සිම්බාම
සුන්දරයි සිතිජයේ ඉර ගිලෙන වේලාව
ලැවීනියා හෝටලෙත් පසුබිමින් ඇන්දාම
ලස්සනයි අපි නැතත් වෙරළ ඉම හැන්දෑව
දැන් ඉතින් වැඩක් නෑ ඔය පරණ කෝන්තර
කාටවත් කියන්නට බෑ ජීවිතේ ගැන සාත්තර
ඔබට මට විසදන්න පුලුවන්ද දෛවයේ සූත්තර
ඔයා මට පෙන්නුවේ ආදරෙන් අංශුවක් මාත්තර
අත් හැරීමත් ප්‍රේමයක් බව කවියො නිතරම කියත්
විඳින්නම ඕනෑ දැනෙන්නට අහිමි වීමක රසත්
යන්න හේතුව නොකී හින්දම තවම රිදෙනව හිතත්
පුරපසම ඔබ අරන් ගිය මුත් එළිය අයිතියි මටත්
මතක මල්ලත් අරන් අදත් ඉදහිටක
හංදියෙන් නගිනවා දෙසිය පණස් පහක
ටිකට් එක කැඩුවාට ගල්කිස්සෙ කොනට
අතරමඟ බැස්ස තැන් ජීවිතේ එමට
ප්‍රේමයේ අරුමැසිය පෙන්නලා සොඳුරූ
කැන්දගෙන ගිහින් මහගිරිදඹෙන් පෙර ලූ
බාලිකා සිහිනයට අතරමඟ ගිනි ලූ
ගල්කිස්ස කියන්නෙත් ප්‍රේමයක් වැල ලූ