සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Dec 3, 2021

ඔන්න ඔහොමයි උනේ සහ වෙන්නේ !!

කාලෙකට පස්සේ අද වැඩ නැතුව නිදහසේ ඉන්න දවසක්.ඕං ඉතින් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් අලුතෙන් කයියක් කතාවක් ලියන්න උත්සහයක් දරන්න ඕනේයි කියලා හිතලා හරි බැරි ගැහුනා.ම්හ්හ් මොන එව්වා බෑ වගේ.ඔන්න ඊට පස්සේ මට හිතුනා අර නිදහස් සිතුවිලි ලියන රවී තුමා වගේ පහෙන් පහට බැරි උනත් පහුගිය අවුරුදු පහකවත් මං කල කී දේවල් සිහිපත් කොරාන්ඩ.

2018 අවුරුද්ද කියන්නේ මං හිතන විදියට  බොහෝම සැහැල්ලුවෙන් සාමකාමීව ගෙවුන අපේ ජීවිතේට අපල උපද්‍රව පටන් ගත්ත අවධිය.ඒ අවුරුද්දේ මැද හරියේ අපියි අපේ තව මිතුරු පවුල් දෙකකුයි මැලේසියාවට යන්න ට්‍රිප් එකක් දාගෙන හිටියා ෆ්ලයි කරන්න තියෙන දවසට කලින් දවසේ හැන්දෑවේ පුතණ්ඩිය ගෙදර තිබුන ඔක්සිජන් සිල්න්ඩර් එක කකුලට දාගෙන ඇගිලි දෙකක් ක්‍රැක් වුනා.එතකොට එයාට අවුරුදු හතරයි. ගල් ප්ලාස්ටර් එක දාලා කකුල හොලවන්නේ නැතුව තියාගන්න කිව්ව.අන්‍තිම මොහොතේ ගමන කැන්සල් කරන්න විදියකුත් නෑ සල්ලි රිෆන්ඩ් කරන්නෙත් නෑ.පැත්තකට දාලා තිබුන ප්‍රෑම් එක සුද්ද කරල කොල්ලව ප්‍රෑම් එකේ තියාගෙන තමා මැලේසියාවට ගියේ. ඊ ළඟට එහෙන් එන දවසේ එයාර් පෝට් එන්න පැය කීපෙකට කලින් අපි හිටපු හොටෙල් එක ඉස්සරහදි බයික් එකකින් ආපු එකෙක් පාර හරස් කරලා  හස්බන්ගේ චේන් එක කඩං ගියා. අම්මෝ දැනුන සනීපේ විනාඩියක් දෙකක් යනකං උනේ මොකක්ද කියල හිතාගන්න බැරිඋනා. නාදුනන රටක එහෙම දෙයක් වෙලාම බලන්න ඕනේ දැනෙන අසරණ කම.Cctv  බලල පොලිසි යන්න කියල හොටෙල් එකෙන් කිව්වත් ඒ කිසිම දෙයක් කරන්න අපිට වෙලාව නෑ.ඒ නිසා ඒක අත ඇරල දැම්ම.ගෙවල් දෙකේ අය අපි දෙන්නට පුලුවන් තරං දෙස් දෙවොල් තිබ්බා පුතාට වෙච්ච දේ නිසා එයාලා කොහොමත් ගමන අපලයි කිය කිය හිත් නොහොදින් හිටියේ යනවට.ඒ වෙලාවේ අපි හිනා උනාට අන්තිමට අපිටත් ඒක එහෙමයි කියල හිතන්න සිද්ධ උනා.ඔන්න ගෙදර ඇවිත් සති දෙකක් යද්දි අපලෙ උච්චම අවස්ථාව උදා උනා.අවුරුදු 13 ක් වගේ කාලයක් එක දිගට කරපු හබී තුමාගේ ජොබ් එක සතියක වගේ කෙටි දැනුම් දීමකින් අහිමි වුනා.

අතේ තිබුන ලක්ශ පහක් විතර වැඩකට නැති ට්‍රිප් එකකට නැති නාස්ති කරගෙන ඇවිත් සති දෙකක් යනකොට එච්චර කාලයක් අපි සෑහීමකට පත්වෙන වැටුපක් ලැබුන රස්සාවත් හබක්.අන්න එහෙමයි අපල ඩබල් වෙලා එන්නෙ.ඊ ළඟට අපිට තිබුන ලොකුම අභියෝගේ මොනවද කරන්නේ කියන එක.හබී තව දුරටත් පඩියකට රස්සාවකට යන්න කැමති උනේ නෑ.අපේම දෙයක් කරන්න තමයි උවමනාව තිබුනේ.ගොඩාක් දේවල් හිතලා හොයලා බලලා අන්තිමට කෑම ව්‍යාපාරයට තමා අත ගැහුවේ.2018 ඔක්තෝබර් වෙනකොට ඒ වෙනකොට අතේ තිබුන සන්තකේම යට කරලා පුංචි රෙස්ටුරන්ට් එකක් පටන් ගත්තා. ඒ වෙනකං බොහොම සැහැල්ලුවෙන් කයියක් කතාවක් ලියාගෙන පොත් කන්දක් විතර අවුරුද්දට කියෝගෙන හිතෙන හිතෙන දැන් ඇවිද ඇවිද හිටපු මට ජීවන බර, සල්ලි වල අගේ, මහන්සිය,දුක එහෙම දැනෙන්න ගත්තා.හැබැයි ඉතින් ඒකත් ජීවිතේට අලුත් වෙනසක් අලුත් පන්නරයක් උනා.අපි මහන්සි වෙලා වැඩ කලා බිස්නසුත් හොදට තිබුනා.2019 අප්‍රේල් බෝම්බ කේස් එකෙන් පස්සෙ ඔන්න ආයෙත් අපලෙ උදා වුනා ඇඳිරිනීතිය නිසා දවසක් දෙකක් රෙස්ටුරන්ට් එක වහන්න උනා.හදිසියේ දවසක් දෙකක් එහෙම වහන එකේ පාඩුව අතිවිශාලයි.ඊළඟට ටික දවසක් යනකං ලොකු සේල් එකක් තිබුනෙත් නෑ හවස හත විතර වෙනකොට පාරවල් පාලුයි. මිනිස්සු කඩවල් වලින් කන්නෙ නෑ වැඩ ඉවර කරලා ඉක්මනට ගෙවල් වලට යනවා.අපි රෑ දොළහ විතර වෙනකං උයා ගත්ත ඒවා තියාගෙන බලං ඉදලා අන්තිමට විසි කරලා ගෙදර යනවා.ඉතින් ඊට පස්සේ කඩකුලී,සේවක වැටුප් ,බිල් ගෙවීම එන්න එන්නම ප්‍රශ්න උනා.වියදමේ තරමට ආදායම නෑ.ඕපන් කරලා අවුරුද්ද  ලබන්නත් කලින් අන්තිමට අපි ඒක වහල දැම්මා.

ඊළඟට හබීතුමා එයාගේ මල්ලී කරගෙන ගිය ෆෝන් සහ කමියුනිකේශන් ව්‍යාපාරයට සම්භන්ධ උනා.ඒ අතරේ මගේ කෑම කාලා රස වැටිලා හිටිය කට්ටිය අනේ අපිට ගෙදර හරි උයලා දෙන්නකෝ කිව්ව.ඊට පස්සේ ඉතින් ඔය දන්න කියන යාලු මිත්‍රාදීන්ගෙ පුංචි පුංචි කෑම ඕඩර්ස් ගෙදරම කරල දෙන්න පටන් ගත්තා.

ඔන්න ඊලඟට 2020 උදාවුනේ කොරෝනා කියන මාර භීතියත් එක්ක.මාර්තු වල හිටිහැටියේ රට වහද්දී  අතේ තිබුනෙ බොහොම සුළු මුදලකුයි ෆෝන් ශොප් වලින් ඉස්සරහට දින දාලා දීපු ලක්ශ පහක විතර චෙක්ස් ටිකකුයි විතරයි.කඩවල් වල පෝලිමේ ඉදල කන්න බොන්න එකතු කරගෙන අලුත් වචන සෙට් එකකුත් එක්ක ගෙදරට කූඩු වෙච්ච ඒ කාලෙත් වෙනස්ම අත්දැකීමක්.
 
එදා ඉදන්,
අවුරුදුද්දකුත් මාස දහයක්  විතර තිස්සේ  වෛරසයක් එක්ක ඔට්ටු වෙවී අපි හැමෝම මේ වෙනකොට ගෙවන්නෙ හරිම ඒකකාරී අප්‍රසන්න ජීවිතයක්.කොයි වෙලේ ආසාදිතයෙක් වෙයිද කොයි වෙලේ මැරෙන්න වෙයිද කියල නොදැන ආතතියෙන් ඉන්න කාලයක්.ඇදිරිනීති,ලොක්ඩවුන් ,හුදකලා කිරීම් ගනණාවක් පසුකරමින් පුංචි එවුන්ගෙ ඉදන් මහ මිනිස්සු වෙනකං හැමෝම ගෙවල් ඇතුලෙම හිරකාරයෝ වෙලා ගෙවුන සහ තාමත් ගෙවෙන කාලයක්.පුලුවන් හැම වෙලාවෙම රටේ තොටේ සංචාරය කරපු මටනම් දැන් මේ  ඉදිල්ල තිත්ත වෙලා බාගෙට පිස්සු හැදිලා ඉන්නෙ.එකම සිංදුව දවසට දහපාරක් විතර අහලත් එකම පොත පස් හය පාරක් විතර කියවලත් සීසන් දෙකක්ම වම්බටු බණ්ඩක්කා පැල කරලා ඒවා එපා වෙනකං කාලා කාලා ගසුත් මැරිලා ගිහිල්ලත් තාම කොරෝනා ඉවර වෙලත්  නෑ ලොක්ඩවුන් උනත් තව ඉස්සරහටත් ඉවර වෙන එකක් නෑ වගේ තමා හිතෙන්නෙ.

ඉතින් කොහොමින් කොහොම හරි පුංචිම හරි සතුටකට  තියෙන්නේ කොරෝනා සීසන් එකත් එක්ක හිමිහිට හිමිහිට හිස ඔසවපු අපේ ගෘහස්ථ කෑම
ව්‍යාපාරය මේ වෙනකොට යම් තැනකට ඇවිත් තියෙන එක.ඇත්තටම දැන් අපේ ප්‍රධානම ආදායම ඒක.මුලු ලෝකෙම මුලු රටම මුලු ජීවිතේම තියෙන්නේ අස්ථීර තැනක නිසා ඉදිරිය මොනා වෙයිද කියන්න දන්නේ නෑ.එත් දැනට මං ඉවීමටම කැප වෙලා ඉන්නේ.ඒ කරන වැඩේ උපරිමව කැපවීමෙන් කරන එක තමා මේ කාලේ මගේ වගකීම වෙලා තියෙන්නෙ.වෙනදා උඩින්ම තිබුනු ලිවීම,කියවීම ,ඇවිදීම පොඩ්ඩක් පස්සට ගිහින් දැන් උඩම තියෙන්නේ ඉවීම.කැමැත්තෙන් ආසාවෙන් කරනකොට ඒකත් නරකම නෑ.පොඩි රෙස්ට් එකකට වැඩ නැති දවසක් එනකං බලං හිටියට එහෙම දවසටත් නිකං පිස්සු වගේ උයන්න නැතුව.ඉස්සර ගෙදර තුන්දෙනාට උයන එකත් මාර වදයක් වගේ හිතුනට දැන් මට සීයකට උනත් කිසි ගේමක් නැතුව තනියම උයන්න පුලුවන් 🤗

ආ...තව දෙයක් මතක් කරන්නම ඕනේ.මේ වෙනකොට අපේ බ්ලොග් ලියන්නන් ලියන්නියන් කීප දෙනෙක්ම මගේ කෑම රස බලලා තියෙනවා.එක පාරක් නෙවෙයි පස් හය වතාවක් ගත්ත අයත් ඉන්නවා.මෙහෙ විතරක් නෙවෙයි පිට රට ජීවත් වෙන අයත් ලංකාවේ තමන්ගේ පවුල් වලට සංග්‍රහ කරන්න මගේ කෑම යවනවා.එහෙයි මෙහෙයි දෙගොල්ලන්ගෙම රෙකමන්ඩ් කිරීමට තව ගොඩක් අයත් දැන්  මගේ හොද කස්ටමර්ලා වෙලා ඉන්නවා.අපේ බ්ලොග් ලියන්නන් ලියන්නියන් කාගෙවත් මං මෙතන නම් සඳහන් කරන්නෙනම් නෑ.මොකද එයාලගේ අවසරයකින් තොරව එහෙම ලියන එක හරි නැති නිසා.මේක බලලා ආ මමත් ගත්තෝ...මමත් කෑවෝ කියල එයාල කැමතිනම් කියන එක වෙනම දෙයක්.

ඉතින් කාපු අය මගෙන් දිගටම ඉස්සරහටත් ඕඩර් කරන්න..නොකාපු අයත් ඔය මං පහලින් දාන ලින්ක් එකට ගිහින් විස්තර හොයලා මගෙන් ඕඩර් කරන්න 🤣 ඉදල ඉදල මෙච්චර දිග පෝස්ට් එකක් ලිව්වම  ඇඩ් එකක් නොදා බෑනේ.හා...නැද්ද...

Lotus Catering Services