සඳට බැළුම් හෙලූ අය

Jan 23, 2025

ආදරෙයි උතුරන්න !

දුරුත්තේ හීතල හිත කොනිත්තන වෙලාවට ඉස්පාසුවක් නැති හිතත් වත්තන් කරන් ඉවක් බවක් නැතුව මේ කොන්ක්‍රීට් වනාන්තරේ පුරා ඉබාගාතෙ ඇවිදින එක දැන් දැන් පුරුද්දක් වෙලා.දෙනෝදාහක් ඇවිත් යන එන,ගැවසෙන ගාලු මුවදොර පිටියෙදි පවා මට දැනෙන්නෙ මහා තනියක්,පාලු මූසල බවක්. බලන බලන අත අත් පටලගත්ත පෙම්වන්ත ජෝඩු.ඒ හැම පෙම්වතියක් ළඟින්ම මට ඔයාගෙ හිනාව ඇහෙනවා...ඔයාගෙ සුවඳ දැනෙනව...


අතීතය කියන්නෙ ඉදහිට ගිහින් ආයෙ ඉක්මනට එන්න ඕන තැනක් මිසක් වරු ගනන් ගිමන් හරින්න සුදුසු තැනක් නොවෙන බව දැන දැනත් මං හැමදාම ඒ වරදම කරමින් ඉන්නවා.අපි හමුවුනේ ඇයි ? අපි ප්‍රේමයෙන් බැඳුනෙ ඇයි ? අපිට වෙන්වෙන්න සිද්ධ වුනේ ඇයි ? කියන ප්‍රශ්න වලට මං තාමත් හරිම උත්තර හොයාගෙන නෑ..ඉස්සරහට හම්බෙන එකකුත් නෑ.මං ආදරේ කලේ අයිතිකරගන්න නෙවෙයි...ඔයා ඒක දන්නවා...කිරිල්ලියක් වගේ ඔයාට මේ අහස පුරා ඉගිල්ලෙන්න දීල ආදරෙන් බලන් ඉන්න මට ඕන උනා...පරිස්සම් කරන්න ,රකින්න ඕන උනා.අයිතිකර නොගෙන ඒ මුකුත් කරන්න බෑ කියන එක මට තේරුම් ගන්න ඇරල ඔයා කොහේදෝ ඈතක යන්න ගියා.


මේ අහන්න සාරධා...


"වසන්තය එන බව සත්තයි " කිව්වට මගේ මේ වියපත් පිරිමි ආත්මෙට දැන් තේරෙනව වසන්තය අපි විසින්ම උපයගත යුතු දෙයක්,..අප විසින්ම මැවිය යුතු දෙයක්...එහෙම නැතුව එයි කියල බලාන හිටියට ලැබෙන දෙයක් නෙවෙයි.ඒක මම තේරුම් ගන්නකොට අපිට අපි අතෑරිල ගොඩක් කල්.

අහම්බකාරක හමුවීමක අවසානයේ ඔයා මගේ වල් වැදිච්ච ජීවිත උයනෙ හරි අපූරුවට මල් පොට්ටුවක්ව පල දරලත් මට බැරිඋනා ඔයාට පරිපූර්ණ  මලක් වෙලා ඒ උයනෙම පෙති දෙපෙති හැරල පිපෙන්න ඉඩදෙන්න...


ඉතිං ඒ අතපසු වීමට මං අද හොදටෝම වන්දි ගෙවනව..මං දන්නව මේ කොහේ හරි ඉදන් ඔයත් මේ දුකම විඳින බව.පුලුවන් කමක් තියෙනවනං මට සමාවෙන්න සාරධා....පුලුවන් නම් ආයෙ එකම එක පාරක් මට පේන්න ඇවිත් යන්න සාරධා .....


**********


දුරුත්තේ හීතලම වැහි තුඩක දැවටෙන්න

සන්තෝස බිඳිත්තක් අරන් හවසක එන්න

එදා වාගෙම අදත් හුරු සුවඳ විඳගන්න

දන්නවද මං තාම ආදරෙයි උතුරන්න


රතැඟිලික මුඳු පහස පපුව මැද තවරන්න

ඔය උවන තව වරක් උරහිසේ සතපන්න

ප්‍රේමයේ ක්‍රියාපද ක්‍රියාවට නන්වන්න

ඔබේ ඇස් මත ආයෙ මට නිවෙන්නට දෙන්න


මතක සිත්තමේ දේදුනු වර්ණ තවරන්න

ආයෙමත් ආදරේ හීනයට පණ දෙන්න

පමාවී නමුත් එන වසන්තය පිලිගන්න

අවාරෙත් හැකි නේද මල් සුවඳ පතුරන්න




( කාලෙකට පස්සෙ හිතට දැනුන සිංදුවකට ලියවෙච්ච වදන් ටිකක් සහ කවියක්.ආ..ඔය ආදරෙයි උතුරන්න කියන්නෙත් පහුගිය දවස්වල නිතර ඇහුන සිංදුවක වචන දෙකක්.ඒක නොකිව්වොත් කට්ටිය මාව කන්න හදයි කොපි කරල කියල 🙃🙂 )

Nov 5, 2024

රංකඳ රාවණා !!

 



ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචියක් ඔයාලා එක්ක බෙදා ගන්න.මගේ දෙවෙනි කවි පොත "රංකඳ රාවණා " නමින් පහුගිය දවසක නිකුත්වුනා.


ඇත්තටම පොතක් මුද්‍රණය කිරීම අද කාලේ ලේසි පාසු කටයුත්තක් නෙවෙයි.සෑහෙන සල්ලි යට කරන්න වෙන වැඩක්නෙ.සල්ලි වලින් කරන්න වෙන ඕන තරම් වැඩ තියෙන නිසා පොත් කිරිල්ල හීනයක්ම  තමා.ඉතින්ඔ හොම සිතුවිලි වල ඉන්නකොට තමා නේත්‍රෝ ප්‍රකාශන ආයතනය මගේ උදව්වට පිහිටට එන්නෙ.ඔන්න ඒ හරහා මගේ රංකඳ දැන් එලියට ඇවිත්.


ඉතින්  හැමදාමත් මාව කියවපු මගේ නිර්මාණ එක්ක හිටපු ඔයාලටත් පුලුවන්  රංකඳක් ගෙදරට ගෙන්න ගන්න..ළඟ තියා ගන්න.වැඩිය නෑ අනේ


ඩිස්කවුන්ට් වැටුනම පොතක මිල රුපියල් 400/-

ලංකාවෙ ඕන තැනකට තැපැල් ගාස්තු 150/-

එහෙනම් රංකඳ  ඕන අය මට කියන්න හොදේ.


දැනටමත් අපේ බ්ලොග් සෙට් එකේ කීප දෙනෙක්ම මගේ රංකඳ රාවණා  ඕඩර් කරල තියෙන්නෙ.එයාලට ගොඩක් ස්තූති .මං බලන් ඉන්නවා ගුණ දොස් දක්වලා මගේ ඉදිරි නිර්මාණ ජීවිතේට  සහයක් රුකුලක් දේවි කියල.

Jul 20, 2024

ඉස්තලන් දමනය !!

 


අද හෙනහුරා දා නොවැ.ඒ අස්සෙ අද ඇසළ පෝයත් නොවැ.ඒ විතරක්‍ යැ අද අර ශනිදා දහයට බ්ලොග් පෝස්ට් දානත් දවසැ නොවැ.ඔය මොනවා උනත් මං අද මේකේ මක්කාවත් ලියන්න හිටපු කෙනෙක් නෙවේ.ඒ උනාට උදේ වෙච්ච අලකලංචියක් නිසා ඒක මේකේ ලියන්නම හිතුන නිසාත් තමා මේ ඕඩර් අස්සෙ තකහනියක් මෙහෙ ආවේ.


ඕං මේකයි සිද්ධිය අපේ ඉස්තලන් කොලුවාට ටර්ම් ටෙස්ට් පටන් අරන් තියෙන්නෙ.සඳුදාට තියෙන්නෙ බුද්ධාගම.ඉතින් මේ පින්බර පෝදා බැති සිතින් ඔන්න මං ඒකාට පාඩම් කියල දෙනව.එයාලගෙ හයේ පංතියෙ පොතේ අංගුලිමාල කතාව තියෙනවා.ඒ පාඩම මේ ටර්ම් එකට නෑ ඒ උනාට මං ඉතින් ඒ කතාවත් කියල දුන්න.ඉතින් අංගුලිමාලයා ගැන ඉස්තලන් පලවෙනි වතාවට තමා ඔය ඇහුවෙ.


ඉස්තලන් - අම්මෙ ඉතින් ඇයි එයා මිනිස්සු 1000 ක්ම මැරුවෙ...


මං - ඇගිලි 1000ක් ගන්නනේ


ඉස්තලන් - ඉතින් ඇගිලි 1000ක් ගන්න දාහක් මරන්න පිස්සුද අනේ..එක්කෙනෙක්ගෙන් ඇගිලි දහයක්ම ගන්න පුලුවන්නේ..ඕනෙනම් මාලෙට කකුලෙ ඇගිලිත් ගන්න තිබුනනෙ.එතකොට දාහක් මරන්න ඕනේ නෑනේ..


මං - එයාට ගුරුතුමා කියන්න ඇත්තේ එක්කෙනෙක්ගෙන් එක ඇගිල්ලක් කියල වෙන්න ඇති...


ඉස්තලන් - ඒ කොයි ඇගිල්ලද


මං - ඒක ඉතින් මං දන්නෙ නෑ පුතා..


ඉස්තලන් - එයා මිනිස්සු මරල ඇගිල්ල ගත්තද ..එහෙම නැත්තං ඇගිල්ල විතරක් කපා ගත්තද..


මං-  අනේ පුතේ ඔයා මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය ගන්නකො..අනිත් ඒවා එච්චර වැදගත් නෑනේ ..ඕවා ඉතින් ඒ  විදියටම උනාද නැද්ද කියන්න අපි හරියටම දන්නෙ නෑ


මං එහෙම කිව්වට ඒකා ප්‍රශ්න ඇහීම නවත්තන පාටක් නෑ.


ඉස්තලන් - ඒ උනාට  අම්මෙ මට තව ඩවුඩ් තියෙනවනේ... එයා මේ මාලේ ( පොතේ තියෙන පින්තූරෙ පෙන්නල) සැරින්සැරේ ගලව ගලව ඇගිලි හයි කලාද මාලෙට...


(කාට කියන්නද ..මටදැන් අංගුලිමාල කෙසේ වෙතත් කාලිට අදින්න හිතිලා තියෙන්නෙ )


මං - ඒකද දැන් ඔයාට තියෙන ප්‍රශ්නෙ..( පුලුවන් තරං හොදින් ..ටිකක් හයියෙන්)


ඉස්තලන් - නෑ මට තියෙන ප්‍රශ්නෙ එයා මිනිස්සු හොය හොය මරනකං කලින් කපපු ඇගිලි නරක් උනේ නැද්ද..


මං - නරක් වෙන්න ඇති මොකද  ඒ කාලේ ෆ්‍රිජ් තිබුනේ නෑනේ..


ඉස්තලන් - ඊයා අම්මේ මට වොමිට් වෙන්න වගේ..


මං - දැන් බුඩිස්ට් ඇති  අනික මේ ලෙසන් එක තියෙන්නෙ තර්ඩ් ටර්ම්නෙ ඔයා බුඩිස්ට් මිස්ගෙන් අහගන්න වැඩි විස්තර..


ඉතින් ඔන්න ඔහොමයි පින්වතුනි මං  පෙශර් නොහැදී යාන්තං ගොඩ ගියේ. අපිත් ඔය වයසෙදී අංගුලිමාල කතාව ඇහුව ඒත් අපිට මෙහෙම ප්‍රශ්න තිබුනද් හිතෝතුනි ? මේකා අද මේ අහනකං මට මෙව්ව හිතිල තිබුනෙ නෑ හිතන්න ඕන උනෙත් නෑ.


දැන් ඔයාල හිතනවද මේ ප්‍රශ්න ඇහිල්ල ඉවර උනා කියල නෑ දෙයියනේ නෑ..ඕං මං හවස නිවී හැනහිල්ලේ තේකක් බිබී ඉන්නවා.


අම්මේ ඔයා හිතන්නෙ අංගුලිමාල ඊට පස්සෙ ඒ මාලෙට මොනා කරන්න ඇතිද..අපි සීයව වැලලුවා වගේ වලලන්න ඇති නේද...


හ්ම්ම්ම්


නැත්තං කැලේට විසි කලාද දන්නෙ නැ නේද අම්මේ...


හ්ම්ම්ම්


අදට මේ ඇති හිතෝතුනි මට වැඩ.

ආදරෙයි උතුරන්න !

දුරුත්තේ හීතල හිත කොනිත්තන වෙලාවට ඉස්පාසුවක් නැති හිතත් වත්තන් කරන් ඉවක් බවක් නැතුව මේ කොන්ක්‍රීට් වනාන්තරේ පුරා ඉබාගාතෙ ඇවිදින එක දැන් දැන්...