සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Feb 20, 2012

කලකට පස්සේ ගිය අපූරු බස් ගමන...

ඔන්න අද කාලෙකට පස්සෙ මට බස් එකක යන්න පොඩි චාන්ස් එකක් ලැබුණා.අද උදේ 8 වෙනකොට මම ගල්කිස්සේ ඉන්නත් , හබියට ඒ වෙලාවෙම හෝමාගම ඉන්නත් ඕන කමක් තිබුණ. ඉතින් ඔන්න ඔය හේතුව නිසා හබියාගේ බලවත් අකමැත්ත මත ඒත් කොරන්නම දෙයක් නැති නිසා ඕන් උන්දැ මාව බස් එකේ යවන්න කැමති වුණා.අපේ ගෙදර ඉදන් කොට්ටාව ගල්කිස්ස 255 බස් එක ගන්න ලේසිම තැන මිරිස්වත්ත හංදිය නිසා මාව එතනින් බස්සලා හබියා යන්න ගියා.ගියා කිව්වට ඉතින් එහෙම ලේසියෙන් ගියෙත් නෑ.

" පරිස්සමින් යන්න පැටියෝ.... සෙනග අඩු එකක් එනකන් ඉදල නගින්න පැටියෝ... බැහැපු ගමන් කෝල් කරන්න පැටියෝ..."

ඔන්න ඔය වගේ අවවාද අනුසාසනා ගොඩාක් මට ලැබුණ.මමත් ඉතින් ඒව අකුරටම පිලිපදිනවා කියල හිතාගෙන හැම එකටම
" හා පැටියෝ.. හා පැටියෝ... කිය කිය ඔලුව වැනුවා.
දැන් ඉතින් මම චන්ඩියා වගේ බස් හෝල්ට් එකට වෙලා ඉන්නවා.ඔන්න කොට්ටව ඉදලා එන බස් එකක් මිරිස්වත්තෙන් 120 පාරට හැරෙව්වා.බස් එක වම් පැත්තට ඇලවිලා පිරිමි විතරක් නෙවේ ගෑණු උදවිය පවා ෆුට් බෝඩ් එකෙ වවුලෝ වගේ එල්ලිලා මගේ ඇග හිරිවැටුනා මේකෙනම් මෙතන ඉන්න කාටවත් යන්න බැරිවෙයි කියලා මම හිතුව.ඒක ඉතින් මගේ හිතට දැනිච්ච විකාර සිතුවිල්ලක් කියලා මට හිතුනේ හෝල්ට් එකේ හිටපු අය මාවත් පෙරලගෙන ගිහිල්ලා හතර පස් දෙනෙක්ම කොහොම හරි බස් එක ඇතුලට රිංගනවා දැක්කමයි.කොල්ලොනම් බැරියෑ අඟල් තුන හතරේ හයි හීල්ස් දාගත්ත සාරි පටලව ගත්ත ගෑණු පරාණ පවා සාරි කරට අරන් පුංචි පුංචි හිඩස් අස්සෙන් ඇතුලට රිංගුවා.ඒවා දැකල මට හිනා.
මට මතක් වුනේ ඉස්කෝලෙ ඒ ලෙවල් කරපු කාලෙ. ඒ කාලෙනම් මටත් ඕවා කජ්ජක් නෙවෙයි.මට මතකයි ඒ දවස්වල සන්නස්ගල සර්ගෙ සිංහල පංතියක් තිබුනා සතියේ දවසක.ඒ දවස තමා ඒ කාලෙ මට ජොලිම දවස. එදාට මට චන්ස් එකක් ලැබෙනවා ඉස්කෝලේ ඇරුණම යාලුවොත් එක්කම බස් එක නුගේගොඩට යන්න. යාලුවෝ සෙට් එකත් එක්ක ගල්කිස්ස හංදියෙන් 183 නැගලා නුගේගොඩින් බහින ටිකට අපි නටපු පිස්සු.අංකල්ලව ඇන්ටිලව පෙරලගෙන බස් එකට නැගලා අහගත්ත බැනුම් කන්දරාව... ඒ කාලෙ සීට් ලැබුණත් අපි වාඩි වුනේ නෑ... ගල්කිස්සෙන් ඒ වෙලාවට බස් වලට නගින්න පිරිමි ඉස්කෝල තුනකම කොල්ලො ඉන්නව. ලලිත් ඇතුලත්මුදලි , සයන්ස් කොලේජ් , තෝමියන්ස්. අම්මෝ කොහොමද සනීපෙ මෙයාලගෙන් බේරෙන එකත් ලේසි නෑ... ඒත් ඉතින් ඒ කාලෙ අපි එදා අපි හිටපු වයසෙ අද ඉන්න නංගිලා මල්ලිලාටනම් වැඩිය සංවරයි. ඒකනම් කියන්නම ඕන දෙයක්.ඒ හිරිමල් වයසේ පුංචි දගකාරකමක් ඇරෙන්න අපි කවදාවත් පාසල් නිල ඇඳුමට කැළලක් වෙන විදියට හැසිරුණේ නම් නෑ.කොහෙ ගියත් අපි අපේ පාසලේ අභිමානය රැක්ක.
හ්ම්....... ඒව ගැන කියන්න ගියොතින් මම ලියන්න ආපු මාතෘකාව වෙනස් වෙනව. ඉතින් ඒ නිසා දැන් ආපහු යමුකො බස් හෝල්ට් එකට.ඔන්න ඉතින් මේ වෙනකොට 255 බස් තුනක් විතර ගිහින් . හැබැයි මම තාම එතනම්.එන එන බස් එකට කට්ටිය පොරකකා නගිනව මම බබා වගේ ඔහේ බලන් ඉන්නව. දැන් මේ දෙකට ගනින්න බැරුව වගේ හිටියට කාව්‍යට මේ වැඩ බැරුවනම් නෙවේ.ඒත් ඉතින් සහයට ඩැනී කෙනෙක්වත් හිටියනම් උත්සහකරලා බලන්නවත් තිබුණා. තනියම සෙල්ලම් දාන්න නිකන් මොකක්ද මොකක්ද වගේ.
හතර වෙනි බස් එකත් මාව පහු කරගෙන ගියාට පස්සෙ ඔන්න මට තද වුණා. මෙහෙම හිටියොත් මට 8 නෙවෙයි දහයටවත් ගල්කිස්සට යන්න වෙන්නෙනෑ.සෙනග වැඩි වෙනවා මිසක් අඩුවකුත් නෑ.ඊළග බස් එකේ මමත් කොහොම හරි යනව කියලා මම හිතා ගත්තා.අලි පත හෑන්ඩ් බෑග් එකත් කරට දාගෙන තද කරලා අල්ල ගත්තා වම් අතේ තද කරලා ටොප්ලැට් බෑග් එකත් සූදානම් කරගෙන මම දුවන්න බලාගෙන හිටිය. හරියට ඉස්කෝලෙ රිලේ එක කරනකොට සැරසෙන් එලවේන් යා කියනකොටම දුවන්න බලාගෙන හිටියා වගේ.
ඔන්න දුම් දදා හති දදා බස් එක ආපි.මගේ වෙලාවටද මන්ද බස් එකේ ඉදිරි දොර මගේ මූණ ඉස්සරහම.දඩි බිදි ගාලා තුන් හතර දෙනෙක් මාව පෙරලගෙන බස් එකෙන් බැස්සා. ඒත් කාව්‍යා සැළුනේ නෑ.අනේ මට කිසිම කරදරයක් උනෙත් නෑ බස් එකට නගින්න පිටිපස්සෙ හිටපු අය මාව ගානට තල්ලු කරල බස් එකට නැග්ගුවා.ෆුට් බෝඩ් එකේ දෙවෙනි පඩියට යාන්තන් අඩිය තියා ගන්න ඉඩක් ලැබුණා.කොහෙන්ද අල්ලගන්නේ ? අල්ලගන්න කිසිම තැනක් නෑ සේරම ඔලුගෙඩි විතරයි. හැබැයි වාසනාවට අල්ල ගනන් ඕන උනෙත් නෑ අප්පා ඒ තරමටම කට්ටිය ගානට පැක් වෙලා. හයියෙන් බ්‍රේක් පාරක් ගැහුවොත් වැඩිම උනොත් තුන් හතර දෙනෙක් එලියට විසී වේවි.එතන ඉදලා පිලියන්දලට හෝල්ට් දෙකයි කමක් නෑ එතනදී බස් එකෙන් බාගයක්වත් බහින්නෙ නැතෑ කියල මන් ඉවසගෙන හිටියා.අනේ......එකත් නිකන් හීනයක්ම විතරයි. බස් එකෙන් බාගයක් බැහැලත් මට පුලුවන් උනේ ඉතුරු පඩිය නැගලා යාන්තං අර බස් එකේ දකුණු පැත්තේ ඉස්සරහම සීට් එකට කලින් තියෙන්නෙ උසට රෝදේ අහුවෙන තැන ආන්න එතනට අඩිය තියා ගන්න විතරයි.ඔන්න එතනට ගියාට පස්සේ යාන්තන් වම් අත නිදහස් වුණා.ඉස්සරහ සීට් එක වාඩි වෙලා හිටපු අක්කා කෙනෙක් ටොප්ලැට් බෑග් එක ගත්ත නිසා.දැන් ආයෙත් බැස්සුවට වැඩිය කට්ටිය නග්ග ගෙන බස් එක පිටත් වෙන්න හදන්නේ. මේ වෙනකොටනම් මට හොද ගනන්.පිටිපස්සෙන් තෙරපෙන සේරගෙම බර මගේ පිට උඩ. මට හුස්ම ගන්නවත් ඉඩක් නෑ.ඒ මදිවට කාගෙදෝ දිග වරලසක කෑලි බෑලි මුණේ කටේ හැමතැනම ගෑවෙනව.ඒක අයින් කරන්නවත් මට අතක් එහෙට මෙහෙට කරගන්න බෑ.දණහිස් වලින් කකුල් දෙකත් නැවිලා මම හිතුවෙම මාව කලන්තේ දාවි කියල. ඒ බයටම මට ඇඩෙන්න වගේ. මොකද කාව්‍යාට ඔහොම අත්දැකීම් දෙකක් තුනක්ම තියෙනවා. ඕනවට වැඩිය සෙනග ගැවසෙන තැන් වල වැඩි වෙලාවක් ඉන්න බැරි ලෙඩක්.ඒ නිසාම මම දෙවියන්ට කිව්වා අනේ මට කලන්තෙනම් හැදෙන්න එපා කියල.ඒ අස්සේ ෆුට් බෝඩ් එකේ ඉන්න පිරිමි ලමයෙක් වීදුරුවට තට්ටුවක් දාලා ඒ පැත්තේ ෂටර් එක අරින්න කියනවා. එයාලට අත දාල එල්ලෙන්න විදියක් නෑ ඒ ෂටර් එක වහලා. මම අමාරුවෙන් අත අරගෙන ඒක අරින්න උත්සහ කලා. ම්හ් ... ඒක හොලවන්නවත් බෑ. ඒක දැකල වාඩි වෙලා හිටපු අක්කත් මාත් එක්කම ට්‍රයි කලා ම්හ්... ඒත් බෑ... පව් ෆුට් බෝඩ් එකේ හිටිය අය පුදුම අමාරුවෙන් එල්ලිලා හිටියේ. එයාලට කරදරයක් වෙන්න එපා කියලත් මම දෙවියන්ගෙන් ඉල්ලුවා. කොන්දොස්තර කෑ ගහනවා එල්ලිලා යන්න බැරි අය බහින්න එයාලට වග කියන්න බෑ මොනා හරි උනොත් කියල. ඒත් ඉතින් කවුරුවත් බැස්සෙනම් නෑ.කොහොමෙන් කොහොම හරි හොන්ඩර ගානක බරක් පිටේ තියාගෙන කටුබැද්දේ කැම්පස් එක ළඟට වෙනකන් මම ආවා. කැම්පස් කොල්ලො කෙල්ලො සෑහෙන්න බැහැපු නිසා ඔන්න යාන්තන් හුස්ම ගන්න ඉඩක් ලැබුණා. ඔහොම ගිහින් කටුබැද්ද හංදියේදි වාඩි වෙන්න ඉඩක් ලැබුන.අම්මෝ දැනුණ සනීපෙ.... ඒත් ඉතින් මටනම් දැනුණේ මගේ කොන්ද නෑ නෑ වගේ.මම වාඩි උන ගමන් ම බැලුවේ මගේ ඇඳුමයි මගේ සරීර කූඩුවේ කොටසුයි අඩු නැතුව තියෙනවද කියල.දෙවියන්ගේ පිහිටෙන් අඩුවක් නෑ. උදේ ශෝයි එකට නාලා සුවඳ ගහල ආපු මගේ ළඟින් දාඩිය එක්ක කලවං වෙලා නා නා ප්‍රකාර සුවඳවල් ආවා. (සුවඳවල් කිව්වට ගඳවල් හොදේ )මටම මාව අප්පිරියයි වගේ චීයා....
ඔන්න ඉතින් බස් ගමන අහවර කරලා ගල්කිස්ස හංදියෙන් මම බැහැගත්ත.හරියට යුද්දෙකට ගිහින් ආවා වගේ. බැහැපු ගමන් මම කලේ මගේ අයිතිකාරයට අමතන එක.

පරිස්සමට ආවද පැටියෝ... අවුලක් නෑ නේ සෙනග ගොඩක් හිටියද....

නෑ බබා අවුලක් නෑ... මට නැග්ග ගමන් සීට් එකකුත් හම්බුනා....

ම්...එහෙනම් කමක් නෑ....

බස් එකෙන් බැහැලා මීටර් දෙසීයක්වත් පයින් යන්න නැති දුර යා ගන්නවත් බැරුව මම වීල් එකකට නගින ගමන් එයාට කිව්වා.පව් නේ මට වෙච්ච අකරතැබ්බ ටික කියලා ඒ හිත කිළුටු කරන්නෙ මක්කටද. මොකද පිලියන්දල ඉදලා ත්‍රීවීල් එකක යන්න කියලා කිව්වම " අයියෝ සල්ලි " අපරදේ බබා.... කියල මමනෙ මේ කට්ට ඉල්ලගෙන කෑවේ.
ඉතින් ඔන්න ඔහෙමයි මගේ බස් ගමන ඉවර වුනේ. එයාට නොකිව්වට මොකද මම ඔයාලට කියන්නම් මේක ටයිප් කරනකොටත් මගේ ඇඟපත රිදෙනවා අප්පා.දකුණු උරහිසටත් මොකක්ද වෙලා. වම් අතේ ඇඟිලි නවා ගන්නත් බෑ... ඉහි ඉහි.



10 comments:

  1. 255 ඔය කට්ටම කාලා තනි කකුලෙන් එල්ලිලා ගිය හැටි මතක් උනා.. වවුල්ලු වගේ අපි එල්ලිලා ඉන්නවා කියලා මතක නැතුව ඩ්‍රයිවර් මහත්තමා ගත්ත මාරාන්තික වංගුවකදි හිතුනෙම මම ලයිට් කනුවේ ඇලවේවි කියලා..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දිනෙශ් මල්ලිත් මේ පැත්තේ කරග්ගහලා තියෙනවා

      Delete
  2. hurre wedada manda kawiyo...hikz botath maara wedene wenne..gedara awith hubbyta kiwe nadda beth gaanna kila...?

    ReplyDelete
    Replies
    1. එයාට කොහෙ කියන්නද ට්වීටියෝ මම උන්දැට කිව්වේ නෑනෙ මට වෙච්ච ඇබැද්දි සේරම

      Delete
  3. ඔයා දන්නේ නැ තුතියෝ... හබියා මේයාට හැමදාම බේත් ගානවා.. මොකද දවසක් හබියා කිව්වා..

    ‍‍‘‘ එ මචං මාර සින් එක අපේ කවියාගේ ඔලුවේ පොඩි අවුලක් තියෙනවා‘‘ කියලා.. කරැමේ කියන්නේ මු මේක දැනගන්න කොට වෙන්න තියෙන සේරම වේලා ඉවරයි... මම නම් දැක්ක දවසේම තෙරැනා මේ බඩ්ඩ පොඩි ලුස් කෙස් එකක් කියලා..


    අනේ කවියො ඔයා චෙන්ජ් එකටත් එක්ක බස් එකේ ගිහින් ෆන් එකක් අරගෙන.. පිඩිත පංතියේ මම හැමදාම බස් එකේ තමයි යන්නේ..

    ReplyDelete
    Replies
    1. පූ බොලු කියන්න එපා...... මගේ හබියා කවදාවත් එහෙම කියන්නෙ නෑ... ඉහි ඉහි....
      රෝද හතරක් තිබුනට අපිත් පීඩිත පංතියේ තමා පූවො. දැන් ඉතින් එකේ රෝද කැරකෙන්නෙත් අමාරුවෙන් ඇයි ඉතින් ආසියාවේ ආශ්චරියට පිං සිද්ද වෙන්න

      Delete
    2. poooooooooh kaalekin wadanak dakinnath asai oyaage..ane aththada poohwo..pau ara asarana hubby..

      Delete
  4. මං නං වැඩිපුරම ගමන කෝච්චියේ.

    ReplyDelete
    Replies
    1. කෝච්චියේ මම තනියම ගිය පළවෙනි අද්දැකීමත් මාර ජොලි. ජොලිය වැඩි කමට මම හෝ ගාලා ඇඩුවා. ඒ ගැනත් පස්සෙ ලියන්නම්කො බ්ලොග් එකට

      Delete
  5. බස් එකේ ගියේ සල්ලි දෙන්නේ නැතුව හොරෙන් නේද ????

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.