සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Nov 27, 2016

ලලනායනය !




(නිමිත්ත - උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ ලලනායනය කියවා අහවර )

විමානයෙන් බට දෙව්ලිය සිරි මවන
පරසතු උයනෙ පිපි කුසුමකි සුදු උවන
පද්දා සිහින් ඉඟ පා කිංකිණි සලන
සඳවත සඳිසි මගෙ අහසට වැඩි අඟන......

සදුන් තෙත රැඳුණු නිල් වරළ පිල් විදන
මා මනස් විල මැද්දෙ හංස තුඬු රඟන
මිණිමෙවුල නූපුරය කිංකිණිද මුදන
මහනෙලකි නුඹ මගේ සාධු සිත බිඳින......

මුවැත්තිය සඳිසි නිල් තිගැස්සෙන නයන
දුටුවිටදි ඇවිලේවි විතරාගී දැහැන
ස්වයං සංයමය දඩබිමක වෙස් දරණ
හැඟුම් සළිතව යාවි මුහු වෙලා පවන......

නෑඹුල් මලක මල් කෙමියක රස මවන
මී පැණි ගුලාවකි ලා රතු පෙති සිඹින
යෞවන මදය මන්මත් කරවන සොබන
සඳ දිය යටම සාදන්නද මධු යහන......

Nov 17, 2016

වැහි කවි (ෆීලින්ග් රොමෑන්ටික්)




ප්‍රංශ හාදුවක රස රත් ලවන් තෙමනකොට
ආදරෙන් මත් වෙන්න රතු වයින් ඕනෙමද
සීතළට පොපියනා හැඟුමකට ඉඩ දෙන්න
උණුහුමට දැල්වෙනා ගිනි උඳුන් ඕනෙමද

රෑ අහස යට මැවෙන සරාගී සාදයට
ඉටි පහන් නැතුවාට තරු එළිය ඇති නේද
අනෝරාවට කලින් හීන් පොද වැටෙනකොට
නිදා හුන් හැඟුම් ඇස් හිමින් අරිනව නේද

Nov 9, 2016

පොඩි කාලේ කාපු බීපුවායේ රස !





                          ඔන්න ඉතින් පහුගිය දවසක මගේ  බ්ලොග් එකට  වැටුන කමෙන්ට් එකක් දිගේ අලුත් බ්ලොග් එකකට ගොඩ වැදුනා.ඒක එසේ මෙසේ එකක් නෙවෙයි ඉතින් සෑහෙන දයියා බ්ලොගයක් නමේ හැටියට.නම විතරක් නෙවෙයි ඒකේ වැටෙන කයි කතන්දරත් ගින්දර වගේ දයියා.ඒ තමා   කොච්චි මිරිස්  ඔන්න ඕකේ තිබුනා පොඩි කාලේ කාපු රහට තාමත් කන්න තියෙන තැනක් ගැන ඔත්තුවක්.ඔය කෑම කඩ ගැන සඳවතීත් බොහොම උනන්දු නිසා ඒ පෝස්ට් එක මගේ හිතට අල්ලලා ගියා.ඒ වගේම ඒ පෝස්ට් එක නිසාම පොඩි කාලේ කාපු බීපුවගෙ මතකය අලුත් උනා.අන්න ඒ නිසාම තමා ඉතින් මේ පෝස්ටුව ලියවෙන්නෙත්.

               ඇත්තටම  වසර ගණනාවක් රස නොනසා එකම රසයෙන් එකම කොලිටියෙන් හොටලයක් පවත්වාගෙන යනව කියන එක අහන එකමත් සතුටට කාරණාවක්.හෝටල් පැත්තකින් තියමුකෝ අපි මීට අවුරුදු විස්සකට විසිපහකට කලින් කාපු ටොෆියක  බිස්කට් එකකවත් එදා තිබුන රසය අද නැහැනේ.පොඩි කාලෙ මම කන්න ආසම ටොෆියක් තමා අර රතු පාට කොලේක ඔතලා තිබුන  එක මට මතක විදියට අපි ඒකට කිව්වේ  Star ටොෆී.ටොෆිය කටේ දාගෙන කොලෙන් අහස එහෙමත් බලනවා.දැන් එහෙම ටොෆියක් මම දන්න විදියට ඇත්තෙත් නෑ.එතකොට My lady, Delta  ටොෆි ඒ කාලෙ කොච්චර රසද.අනේ ඒකට දැන් ඒ කාලේ ඒවත් එක්ක බලද්දි මේවට ටොෆි කියනන්ත් ලැජ්ජයි. ඉස්සර සඳවතීගේ ආසම බිස්කට් එක වේපස් බිස්කට්.ගත්ත ගමන් කරන්නේ තට්ටු තට්ටු ලස්සනට ගලවලා ක්‍රීම් ටික කන එක, හම්මා... ඒ ක්‍රීම් වල රස තාම දිවට දැනෙනවා දැනෙනවා වගේ.අද වෙනකොට නානාප්‍රකාර ෆ්ලේවර් වලින් වේපස් තිබුනත් එදා බිස්කට වල රසයට ලගින්වත් යන්න පුලුවන්ද ..? බැහැනෙ.

                 සැමන් තෙල් දාලා  පරිප්පු උයලා සුදු කැකුළු බත් පොඩි කාලේ මම ආසම මෙනූ එක ආස නෙවෙයි පෙරේතම  කිව්වත් හරි.ඒ දවස්වල දවස් හතම  ඔය මෙනූ එක තියෙනවනම් ඒ තරමට සඳවතී ඒ කෑමට ආසයි.ඉස්කෝලේ ඇරිලා ගේට්ටුවෙන් ඇතුලට එන්නත් කලින් පරිප්පු වල සැමන් වල සුවඳ දැනෙනවා.එතකොට ඉතින් සඳවතීට නැති බඩගිනිත් එනවා හරියට හත් දවසක් කාලා හිටියේ නෑ වගේ බත් කන්න පුදුම කලබලයක් හැදෙනවා.ඒකට දැන් පරිප්පු ගෝනියක් එක එක තාලෙට හදලා කෑවත් එදා ඒ රසයවත් සුවඳවත් දැනෙන්නෙ නෑ. සැමන් ගැන උනත් කියන්න තියෙන්නෙ ඒකමයි.ඇත්තටම මේ කෑම මේ වෙනකොට කොලිටියෙන් රසයෙන් සුවඳින් බාල වෙලාද එහෙම නැත්තන් අපි ඒ රසයට සුවඳට හුරු වෙලා නිසා අපිට දැන් ඒක දැනෙන්නෙ නැද්ද මන්දා.කොහොම උනත් ඒ කාලේ පෙරලි පෙරලි කාපු පරිප්පුව මේ වෙනකොටනම් සඳවතීට එපාම කරපු දෙයක් වෙලා.මහ දේවල් ඕනේ නෑ අද තියෙන පපඩමක්වත් අපි පොඩි කාලේ කාපු පපඩමකට  සම කරන්න බෑ බෑ බෑමයි.ඉතින් අනිත් දෙවල් ගැන කවර කතාවක්ද.ඒ කාලේ පිම්බෙන්න බැදපු පපඩමක් ඇතුලට බත් අනලා දාලා කාපු එකේ ජොලිය දන්නේ එහෙම කාපු උන්ම තමා.

                      සඳවතී කියන්නෙ ඉතින් පොඩි කාලේ ඉදන්ම  බොහොම රසට  ලස්සනට  කන්න කැමති කෙනෙක්.ගෙදරින් විතරක් නෙවෙයි පාරේ කඩල විකුණන කරත්තෙ ඉදන්  තරු හෝටල් දක්වාම කෑම බීම රස විඳින්න කැමති කෙනෙක්.ඒ පුරුද්ද පොඩි කාලෙම ඇති උනේනම් අපේ පොඩි නැන්දා නිසා.එයා  බොහොම පොඩි වයසින් ජර්මන් ජාතිකයෙක් එක්ක විවාහ වෙලා ජර්මනියේ තමා පදිංචිය.ඒ ඉතින් මම ඉපදෙන්නත් කලින්.මම ටිකක් වයසින් ලොකු වෙද්දි ඒ කියන්නෙ  අවුරුදු 5 , 6 වගේ වෙද්දි  පොඩි නැන්දා ලංකාවට එනවා කියන්නෙ නත්තල් සීයා එනවා වගේ තමා.එයාගේ ප්‍රියතම  හොබී එක  එයාගෙ සහෝදර සහෝදරියන්ගෙ පොඩි උන් ටිකත් එක්ක ගෙන හතර වටේ ඇවිදින එක.අපිට කෑම බීම  ශොපින් ඇවිදිලි ඉවරයක් නෑ.පොඩි නැන්දත් හරිම ආසයි එලියට ගිහින් තැන් තැන් වලින් කන්න.සයිවර් කඩෙයි ගල්කිස්ස මහ හෝටලෙයි කියලා වෙනසක් නෑ කන්න ඕන කියලා හිතුනද ගියා කෑවා.

                           අපරාදේ කියන්න බෑ ඒ පුරුද්ද තව ඉස්සරහට ගෙනියන්න අපි කට්ටියගෙන් මම තමා මේ වෙනකොට ඉදිරියෙන්ම ඉන්නෙ.පොඩි කාලෙදි නැන්දට ඕන තැන් වලට අපි ගියාට පස්සෙ පස්සෙ එයා ලංකාවට එන්න කලින්ම මගේ ප්‍රධානත්වයෙන් අපි සෙට් වෙලා යන්න ඕන තැන් කන්න ඕන තැන් බලන්න ඕන තැන් ප්ලෑන් කරලා ඉවරයි.ඒවා අතර  උඩින්ම තියෙන්නේ අලුතින් ඇරපු හෝටල්, සයිවර් කඩ , ෆ්‍රෙශ් ජූස් බාර් ඕවා තමා.දැන් ඉතින් නැන්දට අවුරුදු හැටක්.එත් ඉතින් නැන්ද තාම හිතින් බොහොම තරුණයි.එයා නැන්දා කෙන්ක්ට වැඩිය අපි හැමෝටම යාලුවෙක් වගේ.දැන්  අපේ පවුලේ කොල්ලො කෙල්ලො සෙට් එකෙත් ගොඩක් උන් පවුල් පන්සල් වෙලා.ඒත් අපි තාම නැන්දවවත් නැන්දා අපිවවත් අත ඇරලා නෑ.ලංකාවට ආවම ඉස්සර තරම්ම එයා එක්ක පස්සෙන් වැටීගෙනම ඉන්න බැරි උනත් මූදෙ නාන්න යන එකයි දවස් හතරක පහක ට්‍රිප් එකක් යන එකයි තාමත් අනිවා කරන දෙයක්.මට විතරක් නෙවෙයි නැන්දා නිසා අපේ පවුල් වල පොඩි උන්ට පොඩි කාලේ ඉදලම ගොඩක් රසවත් අද්දැකීම් ලැබුන.කනවා බොනවා කියන්නේ බඩගින්නට තිබහට මොනවා හරි කනවා බොනවා කියන එක නැතුව රස හොයන්න රස විඳින්න අත්හදා බලන්න කෑමක් බීමක් එන්ජෝයි කරන්න ඔය හැමදේම අපිට ඉගැන්නුවෙ අපේ පොඩි නැන්දා.ඒකටනම් නැන්දට පින් දෙන්නම ඒනේ.

                      අප්පා පෝස්ට් එක ගොඩක් දිගයි, පෝස්ට් එක කෑම ගැන උනාට  කෑමට වැඩිය නැන්දා ගැන කතා කරලද මන්දා.හැබැයි ඉතින් එහෙම කරන්නම වෙනවා කෑම ගැන කතා කලොත් නැන්දවයි නැන්දා ගැන කතා කලොත් කෑමයි අනිවා මතක් කරන්න වෙනවා.නැන්දයි කෑමයි මමයි ගැන තව රසවත් කතාත් ගොඩක් තියෙනවා. ඒවා පස්සෙ වෙලාවක කියන්නම්කෝ.

Nov 4, 2016

ඉල්මහේ කඳුළු !





එදා වාගෙම අදත් පිණි වැස්ස වැටෙනවා
නිල් කුඩේ යට ඉදන් මං පාර බලනවා
ඉල් මහේ මල් සුවඳ සුසුමක්ව හමනවා
මේ මහා හීතලෙත් මගේ හිත දැවෙනවා

හිතේ අහුමුලු අස්සෙ මතක ඉකිබිඳිනවා
වැහි දියට මං මගේ කඳුළු අතහරිනවා
ඔයා එන්නෑ තමයි හිතට තනි දැනෙනවා
පෙති හැලුණු පොපි මලක් තව හුස්ම ගන්නවා