සඳට බැළුම් හෙලූ අය

Nov 9, 2016

පොඩි කාලේ කාපු බීපුවායේ රස !





                          ඔන්න ඉතින් පහුගිය දවසක මගේ  බ්ලොග් එකට  වැටුන කමෙන්ට් එකක් දිගේ අලුත් බ්ලොග් එකකට ගොඩ වැදුනා.ඒක එසේ මෙසේ එකක් නෙවෙයි ඉතින් සෑහෙන දයියා බ්ලොගයක් නමේ හැටියට.නම විතරක් නෙවෙයි ඒකේ වැටෙන කයි කතන්දරත් ගින්දර වගේ දයියා.ඒ තමා   කොච්චි මිරිස්  ඔන්න ඕකේ තිබුනා පොඩි කාලේ කාපු රහට තාමත් කන්න තියෙන තැනක් ගැන ඔත්තුවක්.ඔය කෑම කඩ ගැන සඳවතීත් බොහොම උනන්දු නිසා ඒ පෝස්ට් එක මගේ හිතට අල්ලලා ගියා.ඒ වගේම ඒ පෝස්ට් එක නිසාම පොඩි කාලේ කාපු බීපුවගෙ මතකය අලුත් උනා.අන්න ඒ නිසාම තමා ඉතින් මේ පෝස්ටුව ලියවෙන්නෙත්.

               ඇත්තටම  වසර ගණනාවක් රස නොනසා එකම රසයෙන් එකම කොලිටියෙන් හොටලයක් පවත්වාගෙන යනව කියන එක අහන එකමත් සතුටට කාරණාවක්.හෝටල් පැත්තකින් තියමුකෝ අපි මීට අවුරුදු විස්සකට විසිපහකට කලින් කාපු ටොෆියක  බිස්කට් එකකවත් එදා තිබුන රසය අද නැහැනේ.පොඩි කාලෙ මම කන්න ආසම ටොෆියක් තමා අර රතු පාට කොලේක ඔතලා තිබුන  එක මට මතක විදියට අපි ඒකට කිව්වේ  Star ටොෆී.ටොෆිය කටේ දාගෙන කොලෙන් අහස එහෙමත් බලනවා.දැන් එහෙම ටොෆියක් මම දන්න විදියට ඇත්තෙත් නෑ.එතකොට My lady, Delta  ටොෆි ඒ කාලෙ කොච්චර රසද.අනේ ඒකට දැන් ඒ කාලේ ඒවත් එක්ක බලද්දි මේවට ටොෆි කියනන්ත් ලැජ්ජයි. ඉස්සර සඳවතීගේ ආසම බිස්කට් එක වේපස් බිස්කට්.ගත්ත ගමන් කරන්නේ තට්ටු තට්ටු ලස්සනට ගලවලා ක්‍රීම් ටික කන එක, හම්මා... ඒ ක්‍රීම් වල රස තාම දිවට දැනෙනවා දැනෙනවා වගේ.අද වෙනකොට නානාප්‍රකාර ෆ්ලේවර් වලින් වේපස් තිබුනත් එදා බිස්කට වල රසයට ලගින්වත් යන්න පුලුවන්ද ..? බැහැනෙ.

                 සැමන් තෙල් දාලා  පරිප්පු උයලා සුදු කැකුළු බත් පොඩි කාලේ මම ආසම මෙනූ එක ආස නෙවෙයි පෙරේතම  කිව්වත් හරි.ඒ දවස්වල දවස් හතම  ඔය මෙනූ එක තියෙනවනම් ඒ තරමට සඳවතී ඒ කෑමට ආසයි.ඉස්කෝලේ ඇරිලා ගේට්ටුවෙන් ඇතුලට එන්නත් කලින් පරිප්පු වල සැමන් වල සුවඳ දැනෙනවා.එතකොට ඉතින් සඳවතීට නැති බඩගිනිත් එනවා හරියට හත් දවසක් කාලා හිටියේ නෑ වගේ බත් කන්න පුදුම කලබලයක් හැදෙනවා.ඒකට දැන් පරිප්පු ගෝනියක් එක එක තාලෙට හදලා කෑවත් එදා ඒ රසයවත් සුවඳවත් දැනෙන්නෙ නෑ. සැමන් ගැන උනත් කියන්න තියෙන්නෙ ඒකමයි.ඇත්තටම මේ කෑම මේ වෙනකොට කොලිටියෙන් රසයෙන් සුවඳින් බාල වෙලාද එහෙම නැත්තන් අපි ඒ රසයට සුවඳට හුරු වෙලා නිසා අපිට දැන් ඒක දැනෙන්නෙ නැද්ද මන්දා.කොහොම උනත් ඒ කාලේ පෙරලි පෙරලි කාපු පරිප්පුව මේ වෙනකොටනම් සඳවතීට එපාම කරපු දෙයක් වෙලා.මහ දේවල් ඕනේ නෑ අද තියෙන පපඩමක්වත් අපි පොඩි කාලේ කාපු පපඩමකට  සම කරන්න බෑ බෑ බෑමයි.ඉතින් අනිත් දෙවල් ගැන කවර කතාවක්ද.ඒ කාලේ පිම්බෙන්න බැදපු පපඩමක් ඇතුලට බත් අනලා දාලා කාපු එකේ ජොලිය දන්නේ එහෙම කාපු උන්ම තමා.

                      සඳවතී කියන්නෙ ඉතින් පොඩි කාලේ ඉදන්ම  බොහොම රසට  ලස්සනට  කන්න කැමති කෙනෙක්.ගෙදරින් විතරක් නෙවෙයි පාරේ කඩල විකුණන කරත්තෙ ඉදන්  තරු හෝටල් දක්වාම කෑම බීම රස විඳින්න කැමති කෙනෙක්.ඒ පුරුද්ද පොඩි කාලෙම ඇති උනේනම් අපේ පොඩි නැන්දා නිසා.එයා  බොහොම පොඩි වයසින් ජර්මන් ජාතිකයෙක් එක්ක විවාහ වෙලා ජර්මනියේ තමා පදිංචිය.ඒ ඉතින් මම ඉපදෙන්නත් කලින්.මම ටිකක් වයසින් ලොකු වෙද්දි ඒ කියන්නෙ  අවුරුදු 5 , 6 වගේ වෙද්දි  පොඩි නැන්දා ලංකාවට එනවා කියන්නෙ නත්තල් සීයා එනවා වගේ තමා.එයාගේ ප්‍රියතම  හොබී එක  එයාගෙ සහෝදර සහෝදරියන්ගෙ පොඩි උන් ටිකත් එක්ක ගෙන හතර වටේ ඇවිදින එක.අපිට කෑම බීම  ශොපින් ඇවිදිලි ඉවරයක් නෑ.පොඩි නැන්දත් හරිම ආසයි එලියට ගිහින් තැන් තැන් වලින් කන්න.සයිවර් කඩෙයි ගල්කිස්ස මහ හෝටලෙයි කියලා වෙනසක් නෑ කන්න ඕන කියලා හිතුනද ගියා කෑවා.

                           අපරාදේ කියන්න බෑ ඒ පුරුද්ද තව ඉස්සරහට ගෙනියන්න අපි කට්ටියගෙන් මම තමා මේ වෙනකොට ඉදිරියෙන්ම ඉන්නෙ.පොඩි කාලෙදි නැන්දට ඕන තැන් වලට අපි ගියාට පස්සෙ පස්සෙ එයා ලංකාවට එන්න කලින්ම මගේ ප්‍රධානත්වයෙන් අපි සෙට් වෙලා යන්න ඕන තැන් කන්න ඕන තැන් බලන්න ඕන තැන් ප්ලෑන් කරලා ඉවරයි.ඒවා අතර  උඩින්ම තියෙන්නේ අලුතින් ඇරපු හෝටල්, සයිවර් කඩ , ෆ්‍රෙශ් ජූස් බාර් ඕවා තමා.දැන් ඉතින් නැන්දට අවුරුදු හැටක්.එත් ඉතින් නැන්ද තාම හිතින් බොහොම තරුණයි.එයා නැන්දා කෙන්ක්ට වැඩිය අපි හැමෝටම යාලුවෙක් වගේ.දැන්  අපේ පවුලේ කොල්ලො කෙල්ලො සෙට් එකෙත් ගොඩක් උන් පවුල් පන්සල් වෙලා.ඒත් අපි තාම නැන්දවවත් නැන්දා අපිවවත් අත ඇරලා නෑ.ලංකාවට ආවම ඉස්සර තරම්ම එයා එක්ක පස්සෙන් වැටීගෙනම ඉන්න බැරි උනත් මූදෙ නාන්න යන එකයි දවස් හතරක පහක ට්‍රිප් එකක් යන එකයි තාමත් අනිවා කරන දෙයක්.මට විතරක් නෙවෙයි නැන්දා නිසා අපේ පවුල් වල පොඩි උන්ට පොඩි කාලේ ඉදලම ගොඩක් රසවත් අද්දැකීම් ලැබුන.කනවා බොනවා කියන්නේ බඩගින්නට තිබහට මොනවා හරි කනවා බොනවා කියන එක නැතුව රස හොයන්න රස විඳින්න අත්හදා බලන්න කෑමක් බීමක් එන්ජෝයි කරන්න ඔය හැමදේම අපිට ඉගැන්නුවෙ අපේ පොඩි නැන්දා.ඒකටනම් නැන්දට පින් දෙන්නම ඒනේ.

                      අප්පා පෝස්ට් එක ගොඩක් දිගයි, පෝස්ට් එක කෑම ගැන උනාට  කෑමට වැඩිය නැන්දා ගැන කතා කරලද මන්දා.හැබැයි ඉතින් එහෙම කරන්නම වෙනවා කෑම ගැන කතා කලොත් නැන්දවයි නැන්දා ගැන කතා කලොත් කෑමයි අනිවා මතක් කරන්න වෙනවා.නැන්දයි කෑමයි මමයි ගැන තව රසවත් කතාත් ගොඩක් තියෙනවා. ඒවා පස්සෙ වෙලාවක කියන්නම්කෝ.

32 comments:

  1. කෑමයි ඒවා කෑ ළමයින්ගේ දඟයයි
    මාවයි මගේ පොඩි කාලේ සිහිවූවයි
    ශානියි නැන්දගෙයි කෑමෙහි අතීතයයි
    ආසයි අහන්නට ලීවොත් රසය තියෙයි......

    ඉදිරියේ අපිට කියවන්න ලැබෙයිනේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අපූරුයි.. එකත් කවියෙන්ම කියලා...කවියෙන්ම ජීවත් වෙන කෙනෙක්ද ඔයා...?

      Delete
    2. අනේ මන්දා ශානි. බ්ලොගේ ලියන්න ගත්ත දවසෙ ඉදන් වාක්‍යක් ලියන්න ගියත් ඒකත් කවියක් වගේ ලියවෙන්නේ.
      ඒ වැරැද්ද අඩුකරගන්න ඕනේ. හැබැයි පොඩි දවස්වල ඉදන් කවියට තියෙන කැමැත්තනම් අඩු වෙන්නේ නැති එකත් කියන්නම ඕනේ.

      ජයවේවා!!!

      Delete
    3. ඉතින් ඒක හොදයිනේ කවිකම කොච්චර අපූරුද

      Delete
  2. කොච්චියා කියන්නෙත් කෑම කිව්වොත් අමුම අමු මල පෙරේතයා නිසා තමයි ඔය හැම පෝස්ට් එකකම වගේ කෑමක් බීමක් ගැන ලියවෙන්නෙ...
    ශානි කිව්වා වගේ අපේ ළමා කාලයේ තිබ්බ සමහර සුන්දර කඩචෝරු අද නැහැ...

    "මාමේ අන්දරේ මොන්වද මේ පැදුරේ
    මේවා තමයි ඩොට් කියන්නෙ
    උඹේ කටෙත් ඩොට්...මගේ කටෙත් ඩොට්"

    ඔය වගේ ලස්සන වෙළෙඳ දැන්වීම් පවා තිබ්බා..මතක ඇති අරවින්ද හිටපු කීල්ස් ඇඩ් එක එහෙම..පොර සොසෙජස් කපනවා මතක් උනත් ඇති කෙළ උනන්න..

    ReplyDelete
    Replies
    1. කොච්චි කිව්වා වගේම ඩොට් ටොපියේ වෙළඳ දැන්වීම තාමත් මතකයි බ්ං.

      ජයවේවා!!!

      Delete
    2. මොකද අමතක ඒ ඇඩ් තාම හිතේ හොල්මන් කරනවා.ඉස්සර ඔය සමහර ටොෆී එක්ක ඔකට කැලැන්ඩර් එහෙමත් දුන්නා නලු නිළියන්ගේ.ඒවා එකතු කරන්නත් ඒ කාලේ මාර ආසයි.

      Delete
    3. 'ගුණසිරි බුල්ටෝ' එහෙම කට්ටියට අමතකද?

      Delete
    4. බුල්ටොනම් මතක් කරන්න එපා ඒවා කෑවම කලු වෙනවෝ

      Delete
  3. ලස්සනයි. මෙන්න අපි ඩොට් ටොෆි ගැන ලියපු බ්ලොග් පොස්ට් එකක් http://helmalu.blogspot.com.au/2016/04/blog-post_15.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති පැමිණීමට , අනිවා ඒ පැත්තටත් එන්නම්කෝ

      Delete
  4. එළවළු,පලතුරු ටින්මාලු, වගේ දේවල්වල ඉස්සර තිබුන රස දැන් නෑ

    ReplyDelete
    Replies
    1. මේකට නම් හේතුව මානසික එකක්. ළමයින් හැටියට ඒ කාලයේ අපිට ඕන දේවල් ඕන තරමක් ලැබෙන්නේ නැහැ. ලබා ගන්න බැරි දේට තියෙන ආසාව. වැඩිහිටියන් විදිහට අපිට තීරණය කරන්න පුලුවන් මොන දේ කොච්චර කනවද කියල. එවිට ලබා ගත හැකි නිසා ආසාව අඩු නිසා ලැබීමෙන් වෙන සතුට අඩුයි. මෙය රසේ අඩුවක් ලෙස දැනෙනවා කියලා මම හිතනවා. මේක සෙක්ස් වලටත් ඒවගේමයි.

      Delete
    2. ම්ම්ම් ඒකත් හරි බලන් යනකොට නේද

      Delete
  5. ඩෙල්ටා ටොෆීස් ආයිමත් තියෙනවා. ඔබ ලංකාවේ ඉන්නවා නම් කීල්ස් සුපර් මාකට් එකේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මම ලංකාවේ තමා ඉයන් තුමෝ, ඔව් ඔව් තියෙනවා තමා මම කියන්නේ තිබුනට වැඩක් නෑ ඉස්සර තිබුන රස ඒවායේ නෑ

      Delete
  6. ////ඒ කාලේ පිම්බෙන්න බැදපු පපඩමක් ඇතුලට බත් අනලා දාලා කාපු එකේ ජොලිය දන්නේ එහෙම කාපු උන්ම තමා.///////////

    මාත් ඒ ජොලිය දන්නවා.

    කෑම කිව්වොත් මාත් හරි ආසයි නොයෙකුත් දේ රස බලන්න. ස්ටාර් ටොෆී ෆ්ලේවර්ස් ගොඩක් තිබුනා. ස්වීටි ටොෆී කියලත් තිබුනා අපේ කාලේ.මම ආසම දෙයක් තමයි ගුනසිරි බුල්ටෝ. තාමත් ගිහින් වාඩිවෙලා කන්න ආස තැන් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හී හී ඔය බුල්ටෝ මම ඉස්සර කෑවෙම නෑ ඒවා කෑවම කලු වෙනවා කියලා මම හිතුවේ.

      Delete

    2. බුල්ටො නොකාත් කොහොමද එහෙනං කළු වුණේ? හෙහ්

      Delete
    3. පිස්සුද අනේ මම චීස් කෑල්ල වගේ හි හී

      Delete
  7. අර සැමන්, පරිප්පු, සුදු බත් මගේ ප්‍රියතම මෙනුවක් තමයි.
    ඒ වගේම ඔය පපඩං බෝල අස්සට බත් දාල කාපු එක මාත් කරල තියෙනව.

    දැන් ඒ රස නැත්තෙ බඩුවල කොලිටිය අඩුවෙලා හින්දයි කියලයි මටනං හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් හිතෙන්නේ එහෙමයි, ඒත් අර ඉයන් කිව්ව වගේ ඒක මානසික ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන් නේද

      Delete
  8. පොඩි කාලෙ මම කන්නම ආස කෑමක් තමයි සෝයාමීට් ඒ දවස් වල සෝය එන්නෙ ලොකු පැකට් වල සෝය නිකන් කන්න තමයි මම වැඩි පුරම කැමති දවසක් මම සෝය පැකට් එකක්ම නිකම්කෑව. පහුවදා උයන්න ගියහම තමයි ඉතින් අම්ම දුම්මල වරම අතට ගත්තෙ. දැන් සෝය කටේ තියන්න බෑ මොන රසෙන් ආවත් වැඩක්නෑ ඉස්සර සෝය වලට එක එක රස තිබුනෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. සෝයා කියන්නෙනම් මම එච්චර කැමති කෑමක් නෙවෙයි.හැබැයි මගේ මහත්තයා පොඩ්ඩනම් කැමති.

      Delete
    2. ශානි, සෝයා දරුවන්ට කෑමට දෙන එක සුදුසු නැහැ.හානිකර ප්‍රතිඵල ගොඩක් තිබෙනවා.

      Delete
    3. එහෙනම් හබියා පොඩ්ඩව දැනුවත් කරන්න ඕනේ එයත් තාම ළඳරු වැඩ තමා කරන්නේ වෙලාවකට හි හී

      Delete
  9. මොන තරන් ගෙදර කෑම තිබ්බත් කඩේ කෑම තමයි මට රස එදත් අදත් හෙටත්.. කෑමට මගෙ මගේ ජිවිතේ තියෙන්නේ ඉතාම පහළ තැනක් කියලා මාව දැක්කොත් ශානිට තේරේවි :) :)

    ශානිගේ පපඩම් අත්දැකිමට නම් මම තාමත් ආසයි...මම වැඩියෙන්ම ආස කෑම ජාති හදන්න , කන්න නෙමේ, ලඟ ඉන්න අය කනවා..:)

    ReplyDelete
    Replies
    1. දැන් පිපෙන පපඩම් හොයාගන්න අමාරු ඇති. හැම පපඩමක්ම ෆ්ලැට්. හැබැයි ක්‍රිස්පි. පොඩි පොඩි තැන්වලින් චිට්ටක් විතරක් බබ්ල්ස් වගේ එනවා. අපිට හම්බවෙන මිනිසුන් වගේ. හරිම ෆ්ලැට්. අතීතකාමය කියන්නේ හොයන්න හොයන්න රසවත් තැනක්. පැය ගානක් ගියත් පිම්බිලා තියෙන පපඩමක් වගේ. ඒක මොනවා හරි දාලා පුරවා ගත්තාම ලොකු බබ්ල් එකක් කියලා හිතෙන්නේ නැහැ. මම කියන්නේ බබ්ල්ගම් ගැන නොවේ. පපඩම් ගැන :D

      Delete
    2. හා හා එහෙනම් මට තරම හිතා ගන්න පුලුවන්. මමත් කඩෙන් කන්න පුදුම තරම් ආසයි.හැබැයි ඉතින් කර කාර බඳට පස්සේ එවා ටිකක් සීමා වෙලා මොකද මගේ හබියා කැමති ගෙදර උයපුවට විතරයි.

      Delete
    3. අරුනගේ බබල්ගමුත් හොදයි පපඩනුත් හොදයි..

      Delete
    4. අරූ, පපඩම් වගේ පිම්බිලා ඉඳලා එක පාරට පිපිරිලා ගිහාම කොහොමද අරූ දරාගන්නේ...

      ශානී, බැන්ඳට පස්සේ ඒ පුරුද්ද තවත් වැඩි වෙන දෙයක් තමා මට වුනේ.. හි හී

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...