සඳට බැළුම් හෙලූ අය

May 25, 2017

life is a dream realize it !





                       අද බොහොම  වැහිබර දවසක් නේද ...? මේ වගේ වහින වෙලාවක හැමෝම ආස රස කෝපි එකක රහ බලන්න ... එහෙම නැත්තන් ජනේල් එපිට වැටෙන වැස්ස දිහා බලාගෙන කවි සිතුවිල්ලක් අවදි කරන්න...ගොඩක් අය වැඩිපුරම ආස මේ වගේ වහින වෙලාවක සීතලට ගුළිවෙලා නිදා ගන්න.මමත් ඔය හැමදේටම එක වගේ ආසයි.ඒත් ඊටත් වඩා මම ආස දෙවල් ගොඩාක් තියෙනව මෙහෙම වහින වෙලාවක කරන්න.වැස්ස කියන්නෙ ගොඩක් වෙලාවට අපි එලියට බැහැල ගමනක් බිමනක් යන්න අදිමදි කරන දවසක්නෙ.ඒත් මමනම්  ආසයි මේ වගේ දාරාණිපාත වැස්සක් යටින් කුඩයක් අරන් පයින් කොහේ හරි ඇවිදින්න යන්න.දැනුත් මේ එහෙම ගමනක් ගිහින් ඇවිත් තමයි මේක ලියන්න පටන් ගත්තෙත්.

             මහ වැස්සක් කඩන් වැටෙන වෙලාවක කෝපි කෝප්පෙ පැත්තකින් තියල අයිස්ක්‍රීම් එකක් තොලගාන්න හිතෙන්නෙ කීයෙන් කීදෙනාටද ? මමත් අන්න ඒ අයගෙන් එක්කෙනෙක්.වැහි වතුර දෝරෙ ගලන පාරක චිරි චිරි ගගා පයින් ඇවිද ඇවිද කඩවල් ගානෙ ගිහින් ශොපින් පාරක් දාල හොද රස අයිස්ක්‍රීම් පොට් එකකින් අයිස්ක්‍රීම් එකක් කනකොට දැනෙන අමුතුම මිහිර ... ම්ම්ම්ම්ම්... ඒ අත්දැකීම විඳපු කෙනෙක්මයි දන්නෙ.හැබැයි ඉතින් ඔව්වා කරන්න තනියමනම් ටිකක් කම්මැලියි.ජාඩියට මූඩිය වගේ හොද ආදරවන්තයෙක් වන්තියක් එහෙම නැතන් හොද ජීවන සහකරුවෙක් කාරියක් ඒත් නැත්තන් හොද යාලුවෙක් යෙහෙළියක්වත් ඉන්නම ඕනෙ. ඉස්සර සත්තලනුයි මමයි ආදරේ කරන කාලෙනම් වහිනවා කියනන්නෙ මට රජ මගුල් වගේ.ඒ දවස්වල අපිට ඉතින් රෝද හතර තිබුනෙත් නෑ රෝද දෙකෙන් තමා ගමන බිමන.ඒ කාලේ වැහි දවස්වලට තෙමුන තෙමිල්ල ආයෙ කවදාවත් තෙමෙන්නෙ වෙන්නෙ නෑ. එක දවසක් වැස්සෙ තෙමීගෙන සීතලේ ගැහි ගැහී KFC  ගිහින් අයිස්ක්‍රීම් ඉල්ලුවම ඒ කොල්ලා අපි දිහා බැලුවෙ පිස්සන් කොටුවෙන් පැනල ආපු උන් දෙන්නෙක්ද දන්නෙ නෑ කියනව වගේ.අපරාදේ කියන්න බෑ ඒ දවස්වල දැන් වගේ කට කැඩිච්ච කතා ආඩපාලි කතා එහෙම නොකියා සත්තලන් මගේ හැම පිස්සු වැඩකටම සහයෝගය දුන්නා.එක වහලක් යටට වෙලා ඉස්තලන් කොලු පැටියා හම්බෙනකනුත් ඔය පිස්සු වැඩ දිගටම කෙරීගෙන ගියා.දැන් ඉතින් පොඩි පැටියා නිසා සමහර දෙවල් සීමා කරන්න වෙලා.

  සමහර දෙවල් සීමා කලාට පොඩි පැටියා නිසා සමහර දෙවල් වලට මටත් හිතේ හැටියට නිදහස හම්බවෙලා.ඊයෙ හැන්දෑවෙ වහින වෙලාවෙ මමයි පුතු පැටියයි විතරයි ගෙදර.අපි දෙන්න හිතේ හැටියට වැස්සට පැනලා පීලි වලින් නාලා බොට්ටු යවලා ඉස්සරහ මිඳුල මඩ වගුරක් කරලා සත්තලන් එන වෙලාවට බොහොම සීරුවට ගේ ඇතුලට වෙලා පාඩුවේ හිටියා.හැබැයි ඉතින් රෑ අට නවය වෙනකොට වැඩේ මාට්ටු. අම්ම හ...චී...ස්... කියල ඉවර වෙනකොට පුතා හ...චී...ස්... කියනව  පුතා ඉවරවෙනකොට ආයෙ අම්ම ආයෙ පුතා.තාත්ත දන්නව අම්මයි පුතයි හැරෙනකොට මගෝඩි වැඩක් කරල තමයි ඉන්නෙ කියල.ඒත් ඉතින් මේ අම්මයි පුතයි සැලෙයි ඔව්වට.. හි හී .ඉතින් අද මේ ලියන දැනුත් එක සීරුවට වහිනවා. අද උදේ ඉදන්ම මෙහෙම තමයි.ඔන්න දවසක් මේ වගේ වහින වෙලාවක සත්තලනුත් ගෙදර.

මම - ඒයි බන්ටු වහිනවා..
සත්තලන්  - ඔව් ඔව් මට පේනවා
මම - අපි ටවුන් යමුද
සත්තලන් - අර අහවල් එකකටද
මම - අපි P&S යමු .. ම්ම්ම් නැතන් K- ZONE... නෙස්කැෆේ බීල චොක්ලට් කේක් කමු..
සත්තලන් - ය..කෝ මේ ගෑණිට මේ හෙන ගගහා වහින වෙලාවෙත් කන බනේට වැඩිය වෙන මුකුත් මතක් වෙන්නෙ නෑනේ...
මම - වෙන මොනා මතක් වෙන්නද අනේ..
සත්තලන් - ඇයි බං  යෝදියේ පොඩි එකත් දොයි... ඒකා හැම තිස්සෙම මට කරදර කරනවා නංගි බබෙක් ගේමු ගේමු කියල
මම - හෑ.. තාම වචන දෙකක් ගැට ගහලා කතා කොරන්න බැරි එකා එච්චර දෙයක් කිව්වද...?
සත්තලන් - නැතුව... ඒකට කතා කරන්න පුලුවන් ඒකා කතා නොකර ඉන්නෙ මම පව් නිසා
මම - මොකක්
සත්තලන් - ඔව් පොඩි එකත් දන්නව පැය විසිහතරම අම්මගෙ කච කචේ මදිවට උන්දැත්  පටන් ගත්තොත් තාත්තට යන එන මං නැති වෙනවා කියල..
මම - ආ .. ඇත්තද උගන්නන්නම්කො දෙන්නටම හොද පාඩමක්
සත්තලන් - මේ... එව්වා වැඩක් නෑ මොකද කියන්නේ...
මම - මොනාද ..
සත්තලන් - නෙස්කැෆේද..? නංගි බබෙක්ද... නෙස්කැෆේද..? නංගි බබෙක්ද
මම - නෙස්කැෆේ..


ඔන්න ඔහොම කතාත් වෙනවලු ඉතින්.අදත් මේ හැන්දෑවේ කොහේ හරි යමුද අහන්න මම මේ තෙපර බබා  ඉන්නව. ඇයි ඉතින් මොනා අහගන්න වෙයිද දන්නෙ නෑනේ.
     

30 comments:

  1. මමනන් කැමති මේ වෙලාවට හොදවැයින් කෝපි එකක් බීලා නිදාගන්න... අපේ නංගි මේකෙ අනිත්පැත්ත... එයාටත් ඔයාට වගේ සීතල දේවල් තමා මේ වෙලාවට කන්න ඕනේ... මේ සීතලේ කොහොම කනවද මන්දා... :D

    ReplyDelete
    Replies
    1. මොකෝ අනේ බැරි දවසක කාලා බලන්නකෝ

      Delete
  2. වැස්ස හරි හොඳයි හැමදාම හවසට විතරක් වහිනවානම්.... සින්බෑඩ් නම් කැමතිම වැස්ස වෙලාවට ගජයෝ දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක මා ඔය අයිනේ සෙට් වෙලා බීර ටිකක් තොලගාන ගමන් ගිටාර් එකේ ඊ ෆස්ට් එක කඩන්න.....

    ReplyDelete
    Replies
    1. අපි වැස්සෙ සුන්දරත්වය වින්දට මේ වහින එක වැස්සට විඳවන අයත් අනන්ත ඉන්නවනේ.ඒ අයත් අමතක කරන්න නරකයි.මම මොන තරම් වැස්සට ආස උනත් එක දිගට දවසක් දෙකක් වහිනකොට දෙයියන්ට කියනවා අනේ දැන් ඕක නවත්තන්න කියලත්.මොකද අප්පා ඔය ඊ ෆස්ට් එක කඩනවා කියන්නේ?

      Delete
    2. ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියන්නේ බොරුවට නෙමෙයි.. ඒත් අපේ ජිවිතේ හැම දෙයක්ම එහෙම කළමනාකරණය වෙන්නේ නැති එකයි අවුල.. කොටින්ම කාලගුණය පවා..ඒත් ඒවත් එක්ක හැප්පි හැප්පි ජිවත් වෙන එකට තමයි ජිවිතය කියන්නේ...
      .
      ඊ ෆස්ට් එක කියන්නේ ගිටාරේ තියෙන තත් වලින් කෙලවරේම තියෙන සංවේදීම තත...
      ". ගිනියම් ඉර... සඳ සිසිලස... අතරේ හොයනවා බලනවා මේ අපි කවුරුද " කියලා නැගිටලා බර දීලා කෑගහලා ගිටාර් එක ගහනකොට මුලින්ම කැඩෙන්නේ ඔය තත... තත කැඩුණ ගමන් සාජ්ජේ ඉවරයි...

      Delete
    3. අයියෝ මට ඔය ගිටාර් තත් ගැන මෙලො මලදානයක් තේරෙන්නෙ නෑ

      Delete
  3. රසට වැඩිපුර සීනි දියකර තේ එකක් රස්නය ඇතී
    හොඳට පොල්දා හදාගත් දුම් දාන පොල් රොටියක් ගතී
    සැරට මිරිසුත් දෙහිද දා හැදු ලුණුමිරිස රස වඩවතී
    ඇඳට වී වැහි වැටෙන මොහොතක මේ සියල්ලම මට ඇතී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අයියෝ දුමී මේ සීතල වෙලාවේ ඕවා මතක් කරන්ඩ එපෝ

      Delete
  4. හෙක් හෙක් හෙක්.. තාත්තා සත්තලං පුතා ඉස්තලං.. ඔන්නොහේ නෙස්කැෆේම බිබී ඉඳපල්ලා.. නංගි බබෙක් හම්බෙලා ඒ කෙල්ලට පුත්තලං වගේ නමක් දාන්න උනොත් අවුල්නේ.. හොඳට රයිම් වෙන ගැලපෙන ලස්සන නමක් හම්බෙනකං නෙස්කැෆේ විතරයි.. හරිය? :)))))

    ReplyDelete
    Replies
    1. හි හී ඔව් ඔව් ඔය ඉතින් අනාදිමත් කාලෙ ඉදන් ඒ දෙන්නට මම කතා කොරන විදිය තමයි.අඩේ ඒකනෙ කමි කියනකන් මටත් කල්පනාවට ආවෙ නෑනේ දැන් නංගි බබෙක් ආවොත් එකීට මොකක්ද දාන නම කියා .අර කිව්වත් වගේ නෙස්කැෆෙම බිබී ඉන්න එක හොදා. හිටින් මම සත්තලන්ව දැනුවත් කරන්න ඒ ගැන.

      Delete
  5. හයියෝ... වැස්සෙ තෙමි තෙමි අයිස්ක්‍රීම් කියනකොට මාව වෙවුලනව වගේනෙ. හෙම්බිරිස්සාවත් වැඩි වුනාද කොහෙද

    ReplyDelete
    Replies
    1. හී හී ඔව් ඒත් මමනම් ආසයි

      Delete
  6. මොනව කියන්නද? අන්තිම සංවාදය නම් ඉස්තරම් !!!

    ReplyDelete
    Replies
    1. සංවාදයේ අවසාන හරිය නෑ මේකේ

      Delete
    2. එහෙනම් අයිස්ක්‍රීම් ගන්න ගිහින් නෑ. පිරිමි කෙනෙක්ගෙ පෝස්ට් එකක් වුණානම් දනියි ලියන දේ

      Delete
    3. කතාවේ භාගයක් කියන එකද මාධ්‍ය නිදහස සදු

      Delete
  7. //සත්තලන් - නෙස්කැෆේද..? නංගි බබෙක්ද... නෙස්කැෆේද..? නංගි බබෙක්ද//

    මේකට ගැලපෙන උත්තරයක් ගැන යෝජනාවක්

    "හෑ !!! K Zone එකේ නංගි බබාලත් ගන්න තියෙනවද? එහෙනම් දෙකම ගම්මු"

    ReplyDelete
    Replies
    1. හී හී අපරාදේ මට ඔහොම කියන්න මතක් උනේ නෑනේ..

      Delete
  8. පුළුවන් හැම වෙලාවකම පුළුවන් හැම විදිහකටම ජීවිතේ විඳින එක තමයි හොඳම දේ.

    ReplyDelete
  9. හම්මේ එකනම් මරු සොදුරු.......
    ආයෙත් ඉතින් නෙස්කැෆේ බොන්න ගියැයි....

    ReplyDelete
    Replies
    1. ගියා ගියා... කොහෙද බොලන් ගිහින් හිටියේ මෙච්චර දවසක්

      Delete
    2. වැඩ කිහිපයක හිර වෙලා හිටියේ

      Delete
  10. https://rasthiyadukarayaa.blogspot.com/2016/11/blog-post.html

    වැස්ස ගැන මගේ කතාවක් ඉඩ ඇති වෙලාවක කියවන්න

    ReplyDelete
    Replies
    1. කියෙව්වා හප්පා මරු.... මටනම් හිතෙන්නෙම එයා ඔයා ගැන පොඩි මෙව්වා එකකින් ඉදලා තියෙනවා නැතන් ඉතින් එච්චර උඩින් ගිය කෙල්ලෙක් එක පාරටම එහෙම කරයිද..

      Delete
    2. කට්ටිය කමෙන්ට් කරලා තියෙනවා වගේ ලව් එකක්නම් නොතිබෙන්න ඇති. ඒත් සමහර දේවල් තේරුම් ගන්න බෑ

      Delete
  11. ඉස්තලම් කෙලි පැටික්කියක් ගෙන්න එහෙනම් 😂😂

    ReplyDelete
  12. අනේ යනෝ යන්න..මෙයා පැනපු ගමන් කිව්වලු ...නෙස්කෆේ එපා...නංගි බබෙක්....කියලා....හා නැද්ද...හා නැද්ද

    ReplyDelete
    Replies
    1. හි හී පිස්සු හැදෙයි.... මමනම් කියයි එහෙම

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...