සඳට බැළුම් හෙලූ අය

Jun 20, 2018

සීතාවක්ව !



හිම වගේ හීතලයි
මේ වංකගිරි වනේ
රාවණා නුඹ කොහිද
මට තනිය දැනේ
කුදලාන ඇවිත් මා
වංහ කෙරුවට ලෙනේ
ඇස් දෙකෙන් ගලන්නෙම
ඔය හිතේ ඇති සෙනේ

රාව
ණා නුඹට ඇති චෝදනා බරපතලයි
ඉතිහාසේ පුරා නුඹෙ නමට කලු කැළලයි
ලෝකෙටම පේන්නේ නුඹෙ සළෙල කමමයි
ඒත් මං දැක්කෙ නුඹෙ ඇස් දෙකේ පෙම මයි

ඇල්ලුවේ නැති
උනත් අතින්වත් අත
ඇස් වලින් බදාගත්තම
මගේ හිත
දන්නවා උනත් අපි
අපිට අයිති නැත
සැලෙනවා රාමාට
බැඳුනු පතිවත

රාවණා  නුඹෙ නපුර මගෙ ළඟදි කීකරුයි
ඒ නිසාමද මංද මමත් හරි ළෙංගතුයි
ප්‍රේමයේ  පැහැය බොඳ උනත්  ඇස් දිස්න දෙයි
රාමාව අමතකව යාවිදෝ  බය හිතෙයි

එකම එක රැයක්වත්
නුඹේ ඔය සද්දන්ත
පපුතුරේ කොහේ හරි
හීතලට ගුලි වෙන්න
ඉඩක් නොතියම ඉතින්
සිහගිරට ගිනි තිබ්බ
උන් දන්නවද  නුඹේ
පිරිමි කම මං දැක්ක


රාවණා නුඹේ ඇස් මට කිව්ව පෙම් කතා
සත්තමයි පපුතුරේ සඟව ගන්නම් සදා
ගතින් සිල් නොබින්ඳට හිතේ සිල් බිඳි නිසා
රාමාගේ අග්නියෙන් බේරෙන්න බෑ තමා

23 comments:

  1. නෙද්දකිං.. මේ වගක් කලිං දන්නවනං අච්චරක් කටු කාගෙන යුද්ධ කල්ල ආපහු ඇන්න යන්නේ නෑ.. රාවණා එක්කම හිටපං කියල වෙන අතක් බලා ගන්නව.. මේ උන්දිමද කොහෙද මැරිලා මනමේ කුමරි වෙලාත් ඉපදිලා තියෙන්නේ .. හැක්.. මීට ex- රාමා.

    ReplyDelete
    Replies
    1. අයියෝ.... මම හිනා වෙලා ඇවිල්ලා පස්සේ කමෙන්ට් කරන්නම්

      Delete
    2. මේකනේ එහෙම යුද්ධ කරලා අරන් ගිහින් අන්තිමට මොකක්ක්ද උන්දෑ කලේ සීතාට ..? සති පූජාව කොරන්නයි කියලා බල කලානේ...එයා සීතට හැබෑවටම ආදරේ කලානම් එහෙම කියයිද...? කියන්න ඕනේද ?

      Delete
  2. ඇයි දැන් හැමෝටම එක පාරටම රාමා සීතා මතක් වෙලා ;-)
    රාවනා සින්දුව වත් ඇහුවද ?

    ReplyDelete
    Replies

    1. නෑනේ.... හිතුනා ලිව්වා... හැබැයි ඒ සින්දුවත් මරු

      Delete
  3. රවණා සීතා කුදලාගෙන ආවේ නෑ . ලංකාවේ නැති බෙහෙත් වගයක් හොයන්න රවණා ඉන්දියාවට ගිය වෙලාවේ (දඩුමොනරය නවත්වලා රවණා බෙහෙත් හොයන්න වනගත වුන විට) සීතා ද වනාන්තරයේ සැරිසරමින් ඉන්නවා . ඇය දකිනවා තමන්ගේ රටේ නොදුටු අරුම පුදුම වස්තුවක් . ඇය ඒ තුලට ගොඩ වෙනවා . පසුව රවණා බෙහෙත් සොයා ගෙන නැවත තම දඩුමොනරය වෙත පැමිණෙනවා . රවණා විමසනවා ඇයි ඔබ මේ තුලට පිවිසුනේ කියලා . එවිට දන නවා වන්දනා කර ඇය කියනවා "මෙවැන්නක් තියෙන්නටනම් ඔබ මනුෂයෙක් විය නොහැකී , ඔබ ස්ථිර වශයෙන් ම දෙවියෙක් විය යුතුමයි. මම සියලු පාපයෙන් තොර රාජකීය ස්ත්‍රීයක්. ඔබට හැකිනම් මට ඔබේ වාස භවනය (දෙව්ලොව පෙන්වන්න) ? කියා අයදිනවා .

    ඉන්පසුව තමයි ඇයගේ වචනය ගැන පහන් සිත් ඇතිව ඇයව හෙළය වෙත කැදවාගෙන එන්නේ . රවණා ඇල්ල , සීතා ලෙන , සීතාගුහාව , සීතාඑලිය යන තැන් ඇය සිරකර තැබූ තැන් නෙවෙයි . හෙළයේ සුන්දරත්වය පෙන්වීමේදී ඇය නැවතුන (ගිමන්හල) තැන් . සිගිරිය කියන වාස භවන වෙත ඇය ව ගෙන ගොස් රජකීයයෙකුට දිය යුතු සියලු සත්කාර ලබා දෙනවා . ඔය අතර ඇයට හෙළ වෙදකම ද රවණා විසින් උගන්වනවා .

    පසුව රවණා විසින් විමසනවා "ඔබව නැවතත් ඔබගේ රටට ගෙන යා යුතුයි" කියා .ඇය ඉල්ලා සිටිනවා තවත් කලක් මෙහි රැදී සිට මේ විශ්වකර්ම වෙදකම ඉගෙනගතයුතුයි කියා . අවසානයේ රවණා කැමති වෙනවා .

    ඔය අතර කාලයේ තමයි රාම විසින් වැරදි වැටහීමක් ගෙන අසුරයන් ගේ ද උදව් ඇතිව හෙළය වෙත සටනක් වෙනුවෙන් පැමිණෙන්නේ .

    ReplyDelete
    Replies
    1. ඔය රාමා සීතා කතාවේ තවත් එක කතාවක් විතරනෙ කලන... ඔය වගේ තව ගොඩක් කතා තියෙනවා නේද එකිනෙකට වෙනස්. ඒත් පොඩි කාලේ ඉදන්ම අපිව ඉතිහාසය විසින් දැනුවත් කල කතාවේ රාවණා සීතාව පැහරගෙන යනවනේ...?

      Delete
    2. සිතා ඒ වෙලාවේ රාවණා එක්ක කතා කල්ල තියෙන්නේ දෙමළෙන්ද සිංහලෙන්ද.. නැත්නම් ඉන්ටර්නැෂනල් කියල ඉංගිරිස් වලින්ම කතා කලාද දන්නේ නෑ නේ.. :)

      Delete
    3. කමි - හිටු මම එහෙ ගිය වෙලාවක අහලා කියන්නම්

      Delete
  4. //කුදලාන ඇවිත් මා
    වංහ කෙරුවට බෙනේ
    ඇස් දෙකෙන් ගලන්නෙම
    ඔය හිතේ ඇති සෙනේ//

    ඒකනං මරු....😂😂😂😂

    ReplyDelete
  5. අපූරුයි සඳූ.
    කලන කිව්වා වගේ කතාවක් මාත් අහලා තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මමත් අසා ඇත. හැබැයි ඒ කතාවේ හැටියට සීතාට සීතා කියන්නත් වටින්නේ නෑ බලන් යනකොට. ඇයි වදේ ජීවිතේට දැකලා නැති අටමගලෙකට නැගලා ගෙවල් දොරවල් සේරම අමතක කරලා දාලා යන්න පුලුවන්නම් ඉතින්. ගිහිල්ල එන්නත් බෑ කිව්වනම් ... රාමා පව් තමා... එයා ගැනත් ලියන්න ඕනෙ කයියක් ....

      Delete
  6. රාවනා සිතාව බලෙන් ගෙනාවද, නැත්නම් එයාට රාමා එක්ක ඉදල ඇති වෙලා රාවනා එක්ක ආවද, එහෙමත් නැත්නම් දෙන්නම ටෙම්පරරි එකගතාවෙකට ආවද, ඔව්ව ඉතින් දන්නේ එයාලම තමයි...රාම ආපහු ගෙනියන්න ඇත්තේ ආදරේට නම් නෙවේ..රාවණාගේ පැටිකිරිය රාම දැනගෙන ඉන්න ඇතිනේ...

    කොහම වුනත් කවිය ලස්සනයි නගේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කා කතානම් කොච්චරක්ද ...සීතා රාවණාගේ දුවෙක් කියලත් තව කතාවක සහෝදරියක් කියලත් මම අහල තියෙනවා... ඒත් එක ඇත්තක් වෙන්න බෑ හැබැයි ඒක එහෙමනම් රාමා අග්නි පරීක්ශාව කරන්න කියන්න නෑනේ.

      Delete
  7. මම ගොඩාක් ආස කතාවක් තමයි ඔය. සීතාගේ හිතේ තිබුණ දේ සදු කොහොමද දැනගත්තේ .

    ReplyDelete
    Replies
    1. වැඩි අමාරුවක් නෑ අනේ... ඇස් පියාගෙන විනාඩියක් දෙකක් නිවී හැනහිල්ලේ හිතුවම ඔය කාගෙත් හිතේ තියෙන දේවල් මගේ කරගෙන ලියන්න පුලුවන්

      Delete
  8. කාලෙකින් එන්න බැරි වෙච්ච හින්දා සෑහෙන දෙයක් මිස් වෙලා :(
    කයිය මරු...
    කලණ කිව්ව කතාවත් අහල තියනව. ඒ වගෙම සීතා කියන්නෙ රාවණා ගෙ දුව කියලත් එකක් අහල තියනව...

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...