සඳට බැළුම් හෙලූ අය

Jun 24, 2021

උන්මාද වූ ප්‍රේමාදරේ !!



 


Please come back Jack !!


සදාදරණීය ජැක් මා ප්‍රිය ය
ඉන්න තැනකින් ඉතින් නැගිටින්න
සියවසත් ඉක්ම ගිය අපේ පෙම
තාම පණ ගැහෙනවා පපුව මැද

සිටු කුලෙන් බැස පහත මාලෙටම
ගැටී උරෙ'නුර නුඹේ ලොව සමග
පෙම් කරපු තරම් මම ඔය හිතට
දන්නෙ වෙන කවුරුන්ද නුඹම මිස

සදාතන නෞකාවෙ මධුසමය
අපි අපෙම වෙච්ච ඒ සොඳුරු රැය
හැපී සැනෙකින් මහා පර්වතක
සුණු විසුණු උනේ දෛවය ලෙසට

හිම කුණාටුව එක්ක බැදන් පොර
මගේ දිවි රැක්ක නුඹ ප්‍රාණ සම
ආදරේ වෑස්සුණ නිල් නයන
හීතලට ගල් උනා මුහුද මැද

සදාකාලික කිසිත්නොමැති ලොව
හිමි අහිමි සියලු දේ දරාගෙන
නුඹෙ හුස්ම අරගත්ත සයුර වෙත
හෙලමි කඳුළක් අදත් ගලා යන






මේ ඊයේ පෙරේදා දවසක සකර්බර් උන්නැහේ මීට හත් අවුරුද්දකටත් එහා මං දාපු ස්ටේටස් එකක් විදියට ඕං ඔය කවිය මට ඇගිල්ලෙන් ඇනලා පෙන්නුවා.ඒක දැක්කම මට කී වෙනි වතාවටද මංදා ආයෙත් ටයිටැනික් බලන්න ආසාවක් පහල වුනා.හරියටම ගණන් කරලා නැති වුනාට අවුරුදු විසි ගාණක් තිස්සේ මේ වෙනකොට ඕක මං දහදොළොස් පාරක්වත් බලලා ඇති.ඒ කොච්චර බැලුවත් පලවෙනි වතාවට බලද්දී දැනුන අපූරුව, චමත්කාරය, කුතුහලය, දුක ඒ විදියටම විඳින්න  බලන හැම පාරකම පුලුවන් වීම ඇත්තටම මේ සිනමා සිත්තමේ හාස්කමක් වෙන්න ඇති

ටයිටැනික් උන්මාදයක් වගේ පැතිරුණු කාලේ අපි හිරිමල් වයසෙ හොදම කාලේ.මුල්ම වතාවට ටයිටැනික් බලන්න සිද්ධ වුනේ බොහොම තද සෙන්සර් බෝඩ් එකක අදීක්ෂණය යටතේ.අති සුන්දර ශෘංගාරාත්මක සීන් එකක්වත් ඇහැට දකින්න ලැබුණෙ නෑ.සෙන්සර් බෝඩ් එකක් නැතුව හිතේ හැටියට අපිට ටයිටැනික් බලන්න ලැබුනෙ ඊටත් ටික කාලෙකට පස්සෙ අපේ පුංචිලගෙ ගෙදරදි.වැඩිහිටියෝ  කවුරුත්ම නැති දවසක එහෙ ළමයි  තුන්දෙනයි අපි ළමයි තුන් දෙනයි තමා වැඩේට සෙට් උනේ.අම්මෝ එදා දවස මතක් වෙනකොටත් අදත් මැරෙන්න හිනා.අර අති සුන්දර ජවනිකා යනකොට  සමහරුන්ට බොරු කැස්ස.සමහරුන්ට වතුර බොන්න යන්න ඕනේ. මං කොට්ටෙන් මූණ වහගෙන හැබැයි හොරෙන් හොරෙන් බැලුවා.ඔය වගේ නානාප්‍රකාර විකාර සමඟින් තමයි එදත්  ටයිටැනික් බලලා ඉවර කලේ. පහු පහු වෙලා කාලයත් එක්ක වයසත් එක්ක අන්තිමට තනියම හිතේ හැටියට ඔය සේරම බලා ගත්ත දවසේ තමා මට හරියට නින්ද ගියේ
🙂🙂

ඔය කොයි තාලෙට බැලුවත් බලපු පලවෙනි පාර ඉදන්ම මගේ හිතට පුදුම විදියට දැනුන ජවනිකා තුනක් තියෙනවා.එදා වගේම අදටත් මං ඒ  සීන් වලට මාර ආදරෙයි.

මුල්ම එක , ජැක්   රෝස් එක අර නැවේ  කෙලවරේම  එකිනෙකාට තුරුල් වෙලා පියාඹන දර්ශනය.ඒ කාලේ අපි එකතු උනාම ඒවා සෙල්ලමටත් කරලා බැලුවා.කවද හරි ආදරේ කරන කොල්ලෙක් එක්ක එහෙම ඉන්නත් හීන දැක්කා.🙂🙂

ඊළඟ එක ,ඒ දෙන්නගෙ ප්‍රේමයේ උත්කර්ශමත් අවස්ථාවේ අර මීඳුම බැඳුන වීදුරුවෙ රෝස්ගෙ  අත් සළකුණු රැදෙන එක. ඒක හරිම රොමෑන්ටික් විදියට හිතේ සදහට ඇදුන පින්තූරයක් වුනා.රූප පෙලකින් පෙන්නන්න බැරි වචන පෙලකින් කියන්න බැරි ගොඩක් දේවල් ඒ අත් සළකුණ කියනවා කියලා තේරුනේ  තවත් සෑහෙන වයසට ගියාට පස්සෙ 😉🙂

අන්‍තිම එක ,ෆිල්ම් එකෙත් අවසාන හරිය.රෝස්ට බේරෙන්න සලස්වලා ජැක් රෝස් එක්ක කතා කර කරම ටික ටික අයිස් වලට ගල්වෙන දර්ශයනය.ඒ තමා සමස්ත චිත්‍රපටියෙම අතිශය සංවේදි දර්ශනය.ඒක බල බල අඩපු , අඩ අඩ බලපු වාර ගාන අපමණයි.සමහර වෙලාවට රෝස් එක්ක පොඩි පහේ තරහකුත් ආවා එයා බේරිලා ජැක් මැරුන එකට.දෙන්නම මැරුනනම් හොදයි කියල හිතුනා.

ෆිල්ම් එක විතරක් නෙවෙයි ජැක්ට රඟපාපු ලස්සන කොලුව
DiCaprio යි රෝස්ට රඟපාපු  Kate කෙලීයි ඒ කාලේ තරුණ තරුණියන්ගෙ උන්මාදය බවට පත්වුනා.මාත් කාලයක් කැප්‍රියෝට වසඟ වෙලා උන්නා. ඒ කොණ්ඩෙට ඒ පාටට ඒ බැල්මට.මගේ ක්‍රශ් ලිස්ට් එකේ මුල් පෙල නියෝජනය කරන කෙනෙක් තමයි ජැක්.

ඉතින් කොහොමින් කොහොම හරි පරණ කවියක මතක ඉවර උනේ කතාවකුත් ලියලා. දැන් ඉතින් ආයෙ ටයිටැනික් බලන්නමයි හිත කියන්නේ.




No comments:

Post a Comment

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...