සඳට බැළුම් හෙලූ අය

Jun 27, 2012

දෙනුවන් අනුහස... අවසන් සජ්ජායනාව



 සීත සෘතුව ගෙවා හමාර කර මේ වසන්තය මලින් බර වන සමයයි.මම ජනේල් තිරය මෑත් කර ගෙමිඳුළට නෙත් යැවීමි. නෙක නෙක පැහැ මල්, පෙති දෙපෙති විදා පිපින්නට සූදානමිනි.නොඉඳුල් ළඳළු මත වැටුණු තුහින කැට හිරු රැසින් දිස්න දේ.රොන් සුවඳට ඉව කරමින් රොනට ඇදෙන බිඟු කැළ කොයි මලේ වසන්නදෝ සිතා ගන්නට බැරුව මෙන් මල් අතර එහා මෙහා සරයි.ගේ දොර හැර මිඳුළට දුව ගොස් මේ වසන්තය තුරුළු කර ගන්නට මට සිතේ.නෑඹුල් හිරු රැස් යට වී මල් සුවඳ හදවත පුරා විඳගන්නට මට සිතේ...එහා මෙහා සැරිසරණ සමනලුන් හා මොහොතක් දොඩමලු වෙන්නට මට සිතේ...මම අගුලු හැර ජනේල් පියන්පත් හැර දැමීමි.හීන් හුළඟකුත් සමග උදෑසන ප්‍රථම හිරු කිරණ මගේ සියොළඟම තෙමාලමින් කාමරයට ඇතුල් විය.මා හැරී යහන දෙස බැලුවෙමි. පොරෝනයට ගුලිවී ඔහු තවමත් සුව නින්දේය.මට සිනහ නැගේ මෙලෙස ඔහුට තව හොදහැටි නිදන්නට හැක්කේ එක්කෝ විනාඩියකි නැත්තම් දෙකකි.ඒ දැහැන බිඳින තුරු මා මොහොතකට කණ්නාඩියට එබී බැලීමි.තවමත් මේ ඇස් වල දිස්නය අඩුවී නැති හැටි.

" ටක් ටක් ටක් "

ඉතිං මේ හැමදාමත් මෙන් සුපුරුදු ස්වරයයි. මෙය ඇසෙන තුරු අපිට ඇදෙන් බැසීම සපුරා තහනම් වේ. මා දුව ගොස් ඇදට පැන ඔහුට තුරුලු වීමි.එ සැනින් ඔහුද මා ඇද ඒ පොරෝනය තුලටම ගති.හ්ම්.. මෙයත් ඇහැරිලා හොර ගෙඩියා වගේ ඉදලා.

" සුදු තාත්තියෝ...... ඔන්න ඔයාගේ සුදු දූ එනවා........"

නුහුරු තාලෙට සිංහල වචන හසුරවමින් දොඩන ඒ හඬ ඇහෙද්දි හැමදාමත් මෙන් අදද සියුම් සතුටකින් හිතම පිරේ.එක අතකින් ටෙඩී බෙයාර් කෙනෙකුද අනිත් අතින් ලොකු රෝස මල් පොකුරක්ද තුරුලු කරගෙන ඈ කාමරයට ඇතුල් විය.ඉතින් මේ අපේ සිහිනය , බලාපොරොත්තුව සහ ජීවිතයයි. අපේ ජීවිත එළිය කළ පුංචි සුරංගනාවිය නෙතුකි අමායා නම් වූ ඇයයි.

වෙනදාට ඇදට පැන්න ගමන් තාත්තාට තුරුලු වෙන ඈ අද පැන ගෙන විත් මට තුරුලු විය.

" ඔයාට Happy Birthday සුදු අම්මියෝ.."

" හානේ මට අමතකම උනා අද මගේ උපන්දිනේ කියලා.... Thank You මගෙ සුදු දූ...මේ ඔක්කොම මටද..."

ඈ දුන් ටෙඩීබෙයාර් වද මල් පොකුරද තුරුල් කර ගත් මා හිනැහෙමින් ඇසීමි.

" ඔයාට විතරයි දූ මාව මතක ... බලන්න තාත්තිටවත් අම්මිගේ Birthday එක මතක නෑ...හරි නරකයි තාත්ති.."

තවමත් පොරෝනයෙන් මුහුණ වසාගෙන සිටින සුදු අයියාව මා හයියෙන් කොනිති ගැසීමි.අපේ පුංචි හුරතලිය අතින් කට වසාගෙන හිනැහෙන්නට විය.

" අයියෝ අම්මි ... තාත්ති තමා මටත් මතක් කලේ අද අම්මිගෙ උපන්දිනේ... මේ Gift මට අරන් දුන්නෙත් තාත්ති තමා ..."

" තාත්තිද ටෙඩීබෙයා කෙනෙක් තේරුවේ අම්මිට .... අයියෝ... දූ... අම්මි පොඩි බබෙක්යෑ..."

" හි හී .. මමත් තාත්තිගෙන් ඕක ඇහුවා... කොච්චර වයසට ගියත් අම්මි තාම බබෙක් වගේ කියලා තාත්ති ඕක ගන්න කිව්වේ...."

එය අසා මට සිනහව අමතක විය. මහා සැනසුමකින් හිත පිරී යන්නට විය. ඉතින් ඔහු දූට කී දේ සැබෑවකි.අදට මට වයස විසි අටකි, මා දැන් අවුරුදු අටක දියණියකගේ මවකි.එහෙත් අදටත් ඔහුට මා පුංචි එකියකි.ඔහු ආදරෙන් සෙනෙහසින් අත පත ගා හැදු මගේ බාල විය අපේම දියණියගෙන් නැවත දැක දැක විඳ විඳ මහා සැනසුමක් ලබයි.එදා පටන් අද වෙන තුරුම සියලු දොම්නස් ඒ කරට ගෙන සොම්නසම පමණක් මට දී ඔහු සැනසෙයි.කොයි තරම් කල් ගියද කොයි තරම් වයසට ගියද හැමදාමත් ඔහුට මා ළැදැරියකි.එය වෙලාවකට හිතට මහා බරක් උනිද ඒ සෙනෙහස ළඟ මා සැබෑවටම ජීවිතය විඳිමි.මා අපමණ සෙනෙහසින් නිදන ඒ නෙතු දෙස බලා සිටිමි.දෑස වසා ගෙනම සුදු අයියා මාවත් දියණියවත් දෙපසින් ඒ ළයට තුරුල් කර ගත්තේය.

" Good Morning තාත්තී.... ඔන්න අද තාත්ති අම්මි ගාවට වෙලා ඉන්න සීයා පප්පා මාව School එකට ඇරලනවා කිව්වා අද හොදේ..."

දූ අමායා එසේ කියා පිටව ගියේ තවත් විනාඩි කීපයක් අප හා සුරතල් වීමෙන් පසුවය.

" මේ කටම තමා ඒකටත් තියෙන්නෙ "

සුදු අයියා මගේ නිකටින් අල්ලා මිරිකා එසේ කීවේ හිනැහෙමිනි.දයාබර සැමියෙකුගේත් සෙනෙහෙබර පියෙකුගේත් නිහතමානී අඩම්බරය ඒ ඇස් වල වේ.

" ම්ම්ම්ම්... ඉතින්.... අද මගේ සුදු නංගිගේ උපන්දිනේ නේ.... කියන්න මගෙන් මොනවද ඕනේ...."

මේ මුලු ජීවිතයටම සරිලන්නට දෑ ඔහු මට දී තිබේ.ඒ හැමකකටම වඩා ඔහු මට දුන් සෙනෙහස දයාව රැකවරණය මහ මෙරක් තරම් වේ.මීට වසර ගණනාවකට පෙර හිස්ම හිස් හදවතකින් මේ සීත දේශයට ගොඩ බට මට ඔහු හෙමින් හෙමින් ජීවිතය කියා දුන් හැටි...හදවත ප්‍රේමයෙන් පිරවූ හැටි...ලෝකයේම තියෙන සතුට මගේ පය පාමුළට ගෙනත් දෙන්නට මහන්සි වූ හැටි...අම්මා යන උත්තරීතර පදවියෙන් මා සම්පූර්ණ ගැහැණියක කල හැටි...

" මට තව මොනාද ඕනෙ සුදු අයියා... ඔයාම කියන්න මේ ජීවිතේ මට තව මොනාද අඩු මගෙ අයියේ...?

මා ඒ වතට තුරුලුව ඒ මුහුන දෙස බලා ඇසීමි.

" ඔයාට දෙන්න බැරිවුන තව එක දෙයක් තියෙනවා මගෙ නංගී... අද ඔයාගේ උපන්දිනේදී මම ඒක ඔයාට දෙනවා.."

යහනෙන් බැස කණ්නාඩිමේස ලාච්චුවෙන් මොකක්දෝ අතට ගෙන ඔහු ආයෙම යහනට ගොඩ විය. මම කුතුහලයෙන් එදෙස බැලීමි.සුදු අයියාගේ අත වූයේ ගුවන් ටිකට් පත් දෙකකි.මා එය අතට ගෙන බැලීමි.එහි ගමනාන්තය ශ්‍රී ලංකවයි. මා විශ්මයෙන් ඇළලී ගියෙමි.

" ඇයි අපි ලංකාවට යන්නේ අයියා.... අපේ කවුද එහෙ ඉන්නේ....?"

මා එසේ ඇසුවේ හැබෑවටමය.

" ඇත්තටමද එහෙම ඇහුවේ... අපේ කවුරුත්ම එහෙ නැද්ද සුදු නංගී..."

ඒ පැනයත් සමඟම සියුම් හිරිවැටීමක් හදවත පුරා දිව යන්නට විය.සදහටම වසා දැමූ හදවතේ එක දොරටුවක් සියලු ඉබි යතුරු කඩාගෙන මහා හඬින් ඇරෙනා හඬ මට ඇසුණි.මා වැරෙන් දෙනෙත් පියා ගතිමි. දෙනුවන් ... තාරා... ඔවුන් අපේ නොවේයැයි කියන්නට හැකිද...අනුහස් අයියා මේ අපේ අය යැයි බර කර කීවේ ඔවුන්ට බව මා ඉඳුරාම දනිමි.ගෙවුණු අවුරුදු නමය පුරාවටම ඔවුන් ගැන වචනයක් කතා නොකල සුදු අයියා මේ හිටි හැටියේ ඔවුන් මතක් කලේ ඇයි..? ආයේ කවදාවත් ලංකාවට නො එමී කියා ආ මා වසර ගණනාවකට පසු එහේ ගෙන යන්නට සුදු අයියා සූදානම් වෙන්නේ ඇයි..?දාහක් ප්‍රශ්ණ හිතට ආවද මා ඒ කිසිවක් මුවින් නොඅසා සුදු අයියාගේ මුහුණ බැලීමි.

" අපි හෙට Flight එකෙන් ලංකාවට යනවා සුදු නංගී..... ඔයාගෙන් අහන්නේ නැතුව මෙහෙම තීරණයක් ගත්තට මා එක්ක තරහ වෙන්න එපා පැටියෝ... මුකුත්ම ඇහුවේ නැති උනත් ඔය හිතේ තියෙන දෙවල් මට තේරෙනවා.ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර තව පැය කීපෙකින් ඔයාට ලැබෙනවා..ඉතින් එතකන් ගොඩාක් හිතන්නේ නැතුව වෙනදා වගේ ඉන්න ඕනෙ හොදේ..."

මා හිස වනා එය පිළිගතිමි.විටෙක මැරිලා ඉපදුන අයෙකු සේ ජීවත් වෙන්නට හැදුවද දෙනුවන් සිහිවන , තාරා සිහිවන මොහොතක ඔවුන් මගේ ලෝකයේ මිය ගිය අය සේ සිතුවද යටි හිතින් මා කෙදිනක හෝ මෙවන් ආශ්චර්යක් බලා පොරොත්තු වූවා නොවේද...යලි කෙදිනකවත් ආයේ මුලට යන්නට තුන් හිතකවත් බලාපොරොත්තුවක් නොවුනද ඔවුන් හොදින් ඉන්නවාද කියාවත් දැන ගන්නට සිත කොයි තරම්නම් පෙරුම් පිරුවාද..ඒ සිහිනය යථාර්තයක් වන්නට යන මේ මොහොතේ මම අපමණ සසළව සිටියෙමි.


" සුදු අයියා එතකොට අපේ දූ.."

ගුවන් ටිකට් පත් වූයේ මටත් සුදු අයියාටත් පමණක් බැවින් මා ඇසීමි.

" දැන් අපේ කෙල්ල ලොකුනේ වස්තු... එයා අම්මලා එක්ක ඉඳීවී. වැඩිම උනොත් අපි සතියයි ඉන්නෙ ... බය වෙන්න දෙයක් නෑ මම කෙල්ලගෙන් අවසර අරන් තියෙන්නෙ..."

" ම්ම්ම් .. එතකොට මේ ආච්චිලා සීයලා තාත්තලා දුවලා සේරම එකතු වෙලා මට හොරෙන් ගහපු ප්ලෑන් එකක් වගේ..."

" නැතුව නැතුව ... එහෙම නේන්නම් Surprise present දෙනකොට "


සුදු අයියා හිනැහුනේ මහා වීර කමක් කල පරිද්දෙනි.

*******************************************************************


පසුදා අළුයම Montreal ගුවන් තොටින් අනුහස් අයියාත් මාත් රැගත් යානය අහසට ඉගිළුනි.සුදු පුලුන් වැනි වළාකුළු මතින් තටු සලා ඉගිලෙන යානයේ කවුලුවක් සමීපයේ වාඩි වී හිස් බැල්මෙන් මා ඔහේ බලා සිටියෙමි.හිත පිරී පිපිරෙන්නට තරම් හැඟුම් හිතේ වුණිද මා දරා ගතිමි.අප මේ යන්නේ දෙනුවනුත් තාරාත් මුණගැසෙන්නට බව ඉතින් මා දනිමි.මොනවා ඇසුවද දුටුවද අර ඉස්සර මෙන් හඬන්නට තැවෙන්නට හිතට ඉඩ නොදෙමීයි මා තරයේ සිතට ගතිමි.ඒ ඇස් දැක සසළ වෙන්නට තරම් දුර්වල හිතක් දැන් මට තියෙන්නට විදියක් නැත. මම මගේ ලෝකය සදා අවසන්ය. එහි හිස්තැනක් ඇදක් පලුද්දක් නැත.මා මෙන්ම ඔවුන්ද ඔවුන්ගේ ලෝකය සදාගන්නට ඇත.ඒ ලෝකය දැක බලා සැන සෙන්නට හිනැහෙන්නට මට දැන් හැක.උත්තරා... මගේ දයාබරම යෙහෙළිය වසර ගණනාවකට පසු හමුවෙන ඒ උනුසුම් මොහොත හිතින් විඳිමින් මා අනුහස් අයිය්යාට තුරුලු වීමි.වෙනදාට වැඩිය වේගයෙන් ඒ පපුව ගැගෙන බව මට දැනේ.ඒ පහසේ බව ඇත්තේ උණුහුමක් නොව සීතළකි.සුදු අයියාද මා මෙන්ම නොසන්සුන් වී ඇති සෙයකි.කිසිවක්ම ඕනාවට වඩා නොසිතා හිදිමියි සිතා මා දෙනෙත් පියා ගතිමි.

පැය ගණනාවක වෙහෙසකර ගුවන් ගමනකින් අනතුරුව අවසානයේ අප ගමනාන්තය කරා ළගා වූයේය.සියලු රාජකාරි හමාර කර ගුවන් තොටින් පිටතට ආ මට නිදහස් හුස්මක් වැටුණි.වසර නමයකට පසු උපන් බිමට අඩිය තැබූ මා මෙන්ම අනුහස් අයියාද සිටියේ කාලෙකට පසු අම්මා තාත්තා දැක්කාක් මෙන් ළය හිරි වැටෙන අමුතුම හැඟීමකිනි.මේ බිමේ ගෙවුණු සොඳුරු සැමරුම් සියල්ල තප්පර ගානකට හිතේ එහා මෙහා වුණි.ගුවන් තොටුපල ආසන්නයේම හෝටලයක කාමරයක් අපිට නවාතැන් සදහා අනුහස් අයියා විසින් කලින්ම වෙන කර තිබුණි.වෙලාවේ හැටියට එය ඉතා පහසු විය.

" රූම් එකට ගිහින් Change එකක් දාගෙනම යමු නේද සුදු නංගී..."

යන්නේ කොහේදැයි හරියටම දන්නේ නැති වුවද මම සිනා සී හා යි කීවෙමි.මේ ගමනේ සියලු සැලසුම් තවම දන්නේ සුදු අයියා පමණි.අවශ්‍ය තැනදී නිවැරදිම විසඳුම ගන්න ඔහු ගැන මා හොද හැටි දනිමි.එල්ලී එල්ලී ගොස් ඔහුගෙන් අසන්නට තරම් දෙයක් නැත. අනෙත් අතට වසර නවයක් ඉවසූ මට මේ පැය කීපය ඉවසන්නට බැරි තරම් නොහික්මුණු තදියමක්ද නැත.

පැයක් ඇතුලත අපි සූදානම්ව එලියට පැමිණියෙමු.හෝටලයෙන්ම කුලියට ගත් කාරයක් අප සදහා සූදානම්ව තිබුණි.මේ තරම් පිළිවෙලට මේ ගමන හදිස්සියේ යොදා ගත්තා වන්නට නොහැක.මේ සියල්ල කාලයක් තිස්සේ සුදු අයියා විසින් සැලසුම් කරන්නට ඇත.

" අපි ඉස්සෙලා කොහෙද යන්නේ නංගා..... තාරා බලන්න යමුද... දෙනුවන් බලන්න යමුද...

ඒ පැනයෙන් මහිත සසළ විය.එයාලා එකට නෙවෙයිද ඉන්නේ මගේ හිත මගෙන්ම ප්‍රශ්න කරනන්ට විය.ඒ ප්‍රශ්නාර්ථයෙන්ම මම අනුහස් අයියාගේ මුහුණ බැලීමි. ඔහු මගේ හිත මොහොතින් කියවන්නට ඇත.

" දෙනුවන් ඉන්න තැන තාරාට ඉන්න බෑ සුදූ...එයාලා වෙනම ඉන්නේ "

මගේ ඇස් මගහරිමින් සුදු අයියා පැවසුවේ දිග හුස්මක් අරන්.ඒ හුස්මේ මහා ලොකු කතාවක් හැංගිලා තියෙන බව මට නොදැනුනා නොවේ.

" අපි ඉස්සෙල්ලා තාරා බලන්න යමු අයියා..."

එතැනින් මේ සියලු ප්‍රශ්න වලට උත්තර ලැබෙන නිසා මම ඇය දැකීමට යුහුසුලු වීමි.

" ම්ම්ම්ම්..... මම කියන්නද පැට්ටො... අපි ඉස්සෙල්ලා දෙනුවන් බලලා ඊට පස්සේ තාර ඉන්න තැනට යමු...

කාරය පණ ගන්වා පාරට දමමින් සුදු අයියා මගෙන් විමසීය. මම නිහඬව හිස වැනීමි.මා නොහිතන කතන්දරයක් අපේ ජීවිත වටා වෙතැයි මගේ ගැහැණු ඉවට දැනෙමින් තිබුණි.හිත රිදෙන දෙයක් නොවේවායි මා දන්න කියන හැම දෙවියන් නමටම නමස්කාර කලෙමි.

හැල්මේ ගමන් කල රිය තුල මහා නිහඬ තාවයක් විය.සුදු අයියා හිටියේ ගැඹුරු කල්පනාවකය.සුදු අයියාත් සමඟ තාරාත් මමත් ආගිය සොඳුරු තැන් විටෙන් විට දෑස් මානයේ හසු වී සැනෙන් පසු වෙයි . ගෙවුණු ඒ අතීතය සිහිව දෑසට කඳුළක් නැගුණි.අනේ අප දුරස් වූ හැටි... අවුරුදු නවයක්.... කටහඬවත් නොඅසා අප අපව අමතක කල තරම්...තාරා කෙදිනක හෝ මට කතා කරාවියැයි මා බලා සිටියා මිස නිකමටවත් මම ඈට කතා කරන්නට හොයා බලන්නට ඉස්සර වූයේ නැති හැටි...ඒ ආඩම්ව්බර කම ගැන මේතාක් නොදැනුන මහා කලකිරීමක් හිතට දැනෙන්නට විය.දෑස් වැරෙන් පියා තාරා වෙනුවෙන් ඉනූ කඳුලු මා ඔහේ වැටෙන්නට ඉඩ හලෙමි.

ගෝල්ෆේස් පිටියද පසුකර රිය වේගයෙන් ගාලු පාර දිගේ ඉදිරියට ඇදෙයි.මම තාරා මෙන්ම දෙනුවන්ද හිටියේ පිලියන්දලය. සුදු අයියා ගාලු පාර දිගේ මේ යන්නේ කොහැදැයි සිතන්නට මම වෙහෙසීමි.අගක් මුලක් නොදැන එසේ හිත වෙහසන එක මෝඩ කමකි. මේ වසර ගණනාව තුල මොනවා කොහොම වෙනස් වෙන්නට ඇද්ද.තිගැස්සෙන හිත වාවා ගන්නට මම කාලය හා සටන් කරමින් ඉවසන්නට වීමි.දෙහිවල පසු කර මද දුරක් ගිය අනුහස් අයියා ගල්කිස්ස සුසාන භූමියත් ඕඩියන් සිනමා හලත් අතර මැද පාරට දමා වාහනය නතර කලේය.සිනමා හලේ තාප්පයත් සුසාන භූමියේ තාප්පයත් හැරුනු කොට ඒ අවට ගෙයක් දොරක් නැත. මම විශ්මයෙන් වට පිට බැලීමි.දෙනුවන්ගේ මහ ගෙවල් ගල්කිස්සේ බව දවසක් තාරා කියූවක් මට සිහි විය.අපි මේ කොහෙද සුදු අයියා... කියන ප්‍රශ්නාර්ථයෙන් මා ඔහු දෙස බැලීමි.සුදු අයියා මගේ පැත්තට හැරී අසුනේ වාඩි වී මගේ දෑතම ඒ අත් වලින් තද කොට අල්ලා ගති.

" සුදූ... මගෙ නංගී... මේ අහන්න... මම දැන් ඔයාට කියන්න යන්නේ ගොඩක්.... ගොඩා....ක් දුක හිතෙන කතාවක්...මම කියන්නෙ නෑ අඬන්න එපා කියලා හිත හැදෙනකං අඬන්න ඔයාට අයිතිය තියෙනවා...ඒත්.. ඒත් .. දැන් ඔයා ලොකු ගෑණියෙක්...එදාට වැඩිය හැම දෙයක්ම හරියටම තේරුම් ගන්න පුලුවන් තැනක අද ඔයා ඉන්නවා...ඔයාට රකින්න පවුලක් තියෙනවා... අපේ දෝණි නේද අද ඔයාගේ ලොකුම වස්තුව...අන්න ඒ අපේ වස්තුව ගැන හිතලවත් මෙතනින් එහාට අහන්න දකින්න වෙන දෙවල් උපේක්ෂාවෙන් දරාගන්න කියල මම ඔයාගෙන් ඉල්ලනවා...."

හිස දෙපසින් ඇරඹි මහා හිරි වැටුමක් මුලු ශරීරය පුරාම උඩු දුවනවා මෙන් හැඟීමක් මට දැනුණි.මා සසළව ගිය තරම්...

" අනේ මට කියන්න සුදු අයියා... මේ හැම දේකම තේරුම දැන්වත් මට කියන්න... ඇයි අපි මෙතන්ට ආවේ... කවුද මෙහෙ ඉන්නේ... කෝ තාරා... කෝ දෙනුවන්...."

" ඔය අහපු හැම ප්‍රශ්නෙකටම විතරක් නෙවෙයි අවුරුදු නමයක් තිස්සේ කණ්නාඩියෙන් ඔය මූණ පේන වාරයක් වාරයක් ගානේ ඔය නිල් පාට ඇස් දිහා බලාගෙන හොයන්න වෙහෙසිච්ච කතාවටත් මෙතන උත්තර තියෙනවා...ඒත් ඊට කලින් අපි දෙනුවන්ට කතා කරලා එමු සුදු නංගී..."

දෙකට නැවූ ලියුම් කවරයක් කලිසම් සාක්කුවෙන් ගෙන එය මට පෙන්වා අතට ගුලි කරගන්නා ගමන් සුදු අයියා එසේ කීයා වාහනයෙන් බැස විත් මාද බස්සවා මගේ අත කිටි කිටියේ තද වන්නට අල්ලා ගෙන ඉස්සර විය.සුසාන භූමියේ ප්‍රධාන දොරටුව ලඟට විත් අනුහස් අයියා නතර විය.අප මේ යන්නට හදන්නේ කනත්ත ඇතුලට බව දැනෙද්දී මගේ ඉහ මොල රත් වන්නට විය.මගේ දෙපා මටම අවසඟ විය.මට ආයෙම හැරී දුවන්නට සිතුණි.ඒ බව දැනීදෝ අනුහස් අයියා අල්ලා සිටි අත තවත් හිර විය.

" අනේ සුදු අයියා... කියන්න මට මේ හිතෙන දැනෙන දේ බොරුවක් නේද....අනේ මට යන්න බෑ අයියා ... අපි ආපහු යමු.... "

මා සුදු අයියාගේ උරහිස් බදා හඩන්නට වීමි.

" එන්න අපි යමු සුදු නංගී... මේ හැම දේම කියලා පෙන්නලා මට මගේ හිතත් නිදහස් කර ගන්න දෙන්න රත්තරං...ඔයාගේ සුදු අයියා අවුරුදු නවයක්... අවුරුදුම නවයක් මේ බර ඔලුවෙ තියන් හිනා වෙලා හිටියා...මටත් දැන් හරි මහන්සී පැටියෝ... දැන් අපි මේ හැමදේම බෙදා ගමු..."

සුදු අයියා මා වත්තන් කරගෙනම සුසාන භූමියට ඇතුල් විය.ඔහු කියූ කිසිවක් හරියට මට ඇහුනාදැයි කියාවත් මට නිනව් නැත.මම හිස් බැල්මෙන් වට පිට බැලීමි.සොහොන් බිම පුරා ඇත්තේ නිහඬ ගුප්ත බවකි.බටහිර අහසින් හිරු බැස යන්නට ආසන්නය.අහස්කුස පුරාම ඇත්තේ රක්ත වර්ණයකි.මා වත්තන් කරගෙනම සොහොන් කොත් අතරින් එහෙන් මෙහෙන් රිංගා ගොස් අනුහස් අයියා එක් තැනක නැවතුණි.ඉහලට ගත් හුස්ම පහලට දාන්න මට අමතක විය.මහා හඬින් හඬන්නට ඕනෑ වීද මුවින් එකම හඩක්වත් පිට නොවීය.ලේ පනින තරමට තොල් වැරෙන් විකා මම හැඩුම පාලනය කලෙමි.සට සට ගා ගැහෙන දෙපා අවසගව මම ඒ සොහොන පාමුල ඇද වැටුනෙමි.

පැහසර දෙනුවන් තරුණ මහතාට
අජරාමර නිවන් සුව අත් වේවා !

අසිහියෙන් මෙන් ඒ අකුරු දිගෙ මගේ ඇස් දිව ගියේය.ඒ ස්මාරකයේ කෙටූ තව එකම අකුරක්වත් කියවන්නට බැරි ලෙස මගේ දෑස් බොඳ විය.මේ විසල් දුක තවත් හිර කරගෙන හිටියොත් පපුව පැලී මෙතනම මා මියයතැයි මට සිතුනි. මහා හඬින් කෑ ගසා මම හැඩීමි.සුදු අයියා මා වලක්වන්නට ආවේ නැත.එහෙත් මා අසලම දණගසාගෙන මා තුරුලට ගත්තේය.


" මෙවා මෙහෙම උනෙ කොහොමද සුදු අයියේ....මම හිතුවේ වෙන දෙයක් ඒත් වෙලා තියෙන්නෙ කවදාවත් මම හීනෙකවත් දැක්ක දෙයක් නෙවෙයි...තාරාට දෙනුවන් දීලා මම අයින් උනානෙ මගෙ අයියේ... අනේ ... ඒත් ඇයි මෙහෙම උනේ...."

මම අසිහියෙන් කෑගැසීමි. මේක කියවන්න සුදු නංගී...

මෙතෙක් වෙලා සුරතෙ ගුළි කරගෙන් උන් ලියුම් කවරය මට දී සුදු අයියා නැගිට එහාට වුණි.ගැහෙන ඇගිලි තුඩු වලට වාරුවගෙන මම එය දිග හැරීමි.

මගෙ සුරංගනාවී.......!

ආමන්ත්‍රණය දකිද්දීම හිත පත්තු විය..ඉතින් ඒ දෙනුවන්ගෙන්ය.ඒ අකීකරු අකුරු අතර හිත සමාධි ගත කරගන්නට මම හිතට අණ කලෙමි.

මගෙ සුරංගනාවී...

ආදරේ නේද මට...? ඒත් .. ඒත් ඒ ආදරේ බිංඳුවක්වත් නොවිඳම මට යන්න වෙනවා....දුකයි... මහ හුගක් දුකයි රත්තරං ..කියන්න දෙවලුත් මහ හුඟයි ඒත් මට තියෙන්නෙ හරිම පුංචි වෙලාවක්...හා පැටියෙක් වගේ අහිංසක ඔය ඇස් දැක්ක දවසෙ ඉදන් මම ඔය හිතට ආදරේ කරපු තරම් මේ පුංචි වෙලවෙදි වචන වලට අමුනල මේ කොලේ ලියන්න මට පුලුවන් කමක් නෑ.. ඒත් දන්නවද... මම ආදරෙයි ..ලියල කියල පහදන්න බැරි තරමට මම ආදරෙයි මගෙ සුරංඟනාවී...

මතක් කරන්න අපි හම්බුණ මුල්ම දවස... අන්න එදා... ඒ මොහොතේ තමයි මම ඔය හිනාව මගේ හිතේ සදහටම පරිස්සම් කරල හංගගත්තෙ.ඒ වෙනකොටත් මම කෙල්ලො ඕන තරම් දැකලා තිබුනා ආශ්‍රය කරලා තිබුනා.ඒත් ඒ වෙනකං කිසිම කෙල්ලෙක් ගැන ඇති නොවුන මොකක්දෝ පූජනීය මිහිරි හැඟීමක් මට ඔය ලස්සන පුංචි මූණ දකිද්දී ඇති උනා. මම විශ්වාස කරනව ඒක තමා ආදරේ... කවමදාවත් මම නොදැන හිටි ආදරේ ඒ තමා..ඒත් ඒත්.. දැකපු පළවෙනි දවසෙම ඒ සුරංඟනාවී වෙන කාටදෝ අයිති කියල දැනගත්තම මගේ පපුවට මොකක්දෝ උනා...මුලු රෑම බීලා පිස්සු නටලා මම ඔයාව අමතක කරන්න උත්සහ කලා.ඔයා දන්නවද සුරංඟනාවී ඇගේ හැප්පිලා අපි හම්බෙච්ච දවසෙ ඒ රෑ ඔයා වගේම මමත් ඔයා ගැන හීන මැව්වා..

මම මට ඕන දේ හොදින් හරි නරකින් හරි ලබාගත්ත මිනිහෙක්...ඔව් ඔයා ඇහුව දැක්ක වගේම මම නරක මිනිහෙක් කුපාඩියෙක් රස්තියාදුකාරයෙක්.එත් ඔය ඇස් දෙක අස්සෙ අලුත් මිනිහෙක් වෙන්න.. අලුත් ලෝකයක් හදා ගන්න මට ඕන උනා.. ඒකට මට ඉඩක් නැති බව දැන දැනම මම ඒ හීනෙ ජීවත් වෙන්න ආස කලා.හම්බවෙනකොටම මට අහිමි වෙලා තිබුන ඔයාව ඈතින් ඉදන් දැකල සැනසිලා කතා කරලවත් හිත හදා ගන්න අන්තිමට මම තීරණය කලා.ඒකයි මම පංති මාරු කරල ඔයලගෙ පංතියට ආවෙ.අනුහස්ගෙන් ඔයාව උදුර ගන්න මට ඕන තරම් විදි තිබුනා වෙන මොනවා බලෙන් ලබාගත්තත් ඔය ආදරේ බලෙන් ලබාගන්න මට ඕන උනෙ නෑ. මම ඔයාට ආදරේයි කියලා මගෙ යාලුවෙකුගේ මාර්ගෙන්වත් ඔයාට දැන ගන්න මම ඉඩ තිබ්බෙ නෑ.

දකින දකින වෙලාවට බැන්නේ රැව්වේ එරෙව්වේ ආදරේ නැතුව නෙවෙයි මගෙ සුරංඟනාවී....කොයි වෙලේ හරි හිතේ උතුර උතුර නලියන ආදරේ එළියට පනීවි කියල මම බය උනා.මතකද දවසක් මම කිව්වා මේ ආත්මෙ ලැබෙන්නෙ නැති දේවලින් ලබන ආත්මෙ වැඩක් නෑ කියලා..දුකට තරහට එහෙම කිව්වා මිසක් ඒ ඇත්ත නෙවෙයි රත්තරං... තව ආත්ම හතකටවත් අනුහස් අයියා ඔයාව එයාගේ කර ගන්න පෙරුම් පුරනවා ඇති.මම දන්නවා ආදරේදි එයා මට වැඩිය ඉස්සරහින් ඉන්නවා මම එයා තරම් හොද මිනිහෙක් නෙවෙයි.ඒත් .. ඒත් .. මම ඔයාට පොරොන්දු වෙනවා එයාව පරාද කරන්න බැරි උනත් මම එයාට දෙවෙනි වෙන්නෙ නෑ.. අනේ උපදින එක ආත්මෙක හරි මගේ වෙනවද....මම ආදරෙයි මහ ගොඩක්...

දෛවයේ ලියල තිබ්බ හමුවීමක් වගේ හරිම අහම්බෙන් එදා MC එක ඇතුලෙදි අපි හමුවෙච්ච දවස තමා මගේ ජීවිතේ සොඳුරුම දවස..ඒ හැගීම් මේ හදිස්සියේ කොහොම වචන කරන්නද රත්තරං.. මහ හයියෙන් ගොරවද්දි තිගැස්සුන මුව පැටියෙක් වගේ මේ පපුවෙ මූණ හංගගනිද්දි දන්නවද මට ඇඬුනා.කෙල්ලො විසි තිස් ගාණක් මෙලෝ සිහියක් නැතුව තුරුල් කර ගත්ත මෙ පපුව එච්චර සද්දෙට ගැහුනෙ ඇයි කියල මම අදටත් දන්නෙ නෑ.කිසිම නරක හැගීමක් ඒ විනාඩි ගානෙ එක තප්පරේකදිවත් මගේ හිතට දැනුනේ නෑ.මගේ අම්මා ළඟදි මට දැනෙන ආදරය ගෞරවය බය ඔයා ළඟදිත් මට එහෙමම දැනුනා.අම්මට පස්සේ මම මේ ලෝකේ ඇත්තටම ආදරේ කරන එකම ගෑණි ඔයා.අනේ ඒත් ඔයාව ලබා ගන්න තරම් මම පින් කරලා නෑ රත්තරං...

ඉඩක් ලැබෙන හැම වෙලේම ඔය ඇස් මගේ ඇස් අල්ලගෙන මොනවදෝ කියන්න හදන බව මට නොතේරුනා නෙවෙයි ඒත් උත්තරා ඇවිත් හැම දෙයක්ම කියනකන් මගෙ සුරංඟනාවී මට මේ තරම්ම ආදරේ කියලා මම දැන ගෙන හිටියේ නෑ..සතුටු වෙන්නද දුක් වෙන්නද අඬන්නද හිනාවෙන්නද කියල තේරුමක් නැතුව මම පිස්සු නැටුවා..අඩුම තරමේ මම තාරාටවත් කිව්වෙ නෑ මමත් මැරීගෙන ඔයාට ආදරේ කරනවා කියලා.. මම පොරොන්දු උනා තාරාට එයා එක්ක එකතු වෙලා ඔයාගෙ හිතින් මාව අයින් කරන්න උදව් කරනවා කියලා...අපි දවස් ගානක් මුණ ගැහුනා කතා කලා ඔයා ඉස්සරහට ඇවිත් රඟපාන හැටි පුරුදු උනා...උත්තරා පුදුම කෙල්ලෙක්.. තමන්ගෙ යාලුවාගේ සතුට වෙනුවෙන් එයා නොකරපු දෙයක් නෑ.ඒ ටික දවසට අපි ගොඩාක් ළං උනා.වචන දහයක් කතා කලොත් ඒකි ඒ වචන දහයෙන් අටක්ම කත කලේ ඔයා ගැන.මට ඒක මහා මානසික වදයක් උනා.හරි සිහියෙන් ඉදගෙන ඒ දෙවල් අහන්න පුලුවන් කමක් මට තිබුනේ නෑ...මම කලේ සිහියක් පතක් නැති වෙනකං බොන එක.. එහෙම බීපු එක දවසක සිද්ධ වෙන්න ඕන නරකම දෙත් මගේ අතින් තාරාට සිද්ධ උනා...ඔව් රත්තරං ඔයාගේ යාලුව මගේ අතින් විනශ උනා.. ඒත් ඒකි එක කඳුළු බිංඳුවක් මගේ ඉස්සරහ පෙන්නුවේ නෑ.අපි බඳිමු කියලා මම උත්තරාට කිව්වා.එයා හිනා උනා.. එයාට මොනවා උනත් එයා එයාගේ යාලුවට පිටුපාන්නේ නැති බව කිව්වා. මේ කිසිම දෙයක් උනෙ නැති ගානට ගහක් ගලක් වගේ ඊට පහුවදා මා එක්ක ඔයා ඉස්සරහට එන්න තරම් ඒකි හිත හයිය කරගත්තා..

තව මම මොනවද කියන්නෙ රත්තරං .. අපි හිතපු පතපු කිසිම දෙයක් ඒ විදියට සිද්ද උනෙ නෑ.මේ ටික ලියන්නෙ නවලෝකෙ Intensive Care එකේ සිහියක් නැතුව ඔයාව උඩුබැලි අතට දාලා තියෙනවා බලලා ඇවිල්ලා.අනේ මට මේ තරම් ආදරේ කලේ ඇයි රත්තරං....ආසාවට එකම පාරක්වත් ඔය කටින් ඒ ආදරේ අහගන්නෙ නැතුවම මම යන්න යනවා...ඒත් මට ඉන්න බෑ මේ ගමන මම යන්නම ඕනේ.වෙච්ච කිසිම දෙයක් ආපහු හරි ගස්සන්න බෑ තමයි.ඒත් මං නිසා අහිමි කරගත්ත ඔය ජිවිතේ හිස්තැන මම පුරවනවා.මගේ ඇස් දිහා බලන හැම පාරකම හිතුවා නේද මේ ඇස් කෙල්ලෙක්ට තිබුනනම් කොහොම ලස්සන වේවිද කියලා ..මතකද අපි අන්තිමට හමුවුන දවසෙ ඒක මටත් කිව්වා...ඇත්ත තමයි මේ නිල් ඇස් කෙල්ලෙකුට කොහොම ලස්සනට තියේවිද... ඒත් ඒ ලස්සන බලන්න මට අයිතියක්වත් වාසනාවක්වත් නෑ. මම යන්නම යනවා සුරංඟනාවී... ඒත් මට දුක නෑ... ඒ ඇයි දන්නවද අදින් පස්සේ ඔයා මේ ලෝකේ බලන්නෙ මගේ ඇස් වලින්...අනේ ඒකම ඇති මට සැනසෙන්න ඔව් රත්තරං ඒකම ඇති මට....මම කරපු හැම පවකටම වන්දිය මම මේ ආත්මෙම ගෙවලා යනවා.එතකොට එන එක ආත්මෙක හරි ඔයා මගේම වේවි.

තව කියන්න කොච්චරක්නම් දෙවල් තිබුනත් මට වෙලාව නෑ රත්තරං..අන්තිමට එකම එක දෙයක් කියන්නම් මම කරපු කිසිම දේකට උත්තරා පලි නෑ.එයාට කවදාවත් දොස් කියන්න එපා. මං වෙනුවෙන් එයාව බලාගන්න.එයාට කරපු අසාධාරණේට මට එයාට දීල යන්න දෙයක් නෑ.ඉතින් මම යන්නද... අනිත් හැමදේම අමතක කරල ඔයාගේ මතකය විතරක් මම අරන් යනවා...අමතක කරන්න එපා ඒ මතක තුරුලු කරන් සංසාරේ කොහේ හරි මම බලන් ඉන්නවා .....කවදම හරි එනවා නේද ඔයා....?

එක දවසක්වත් ඔයාගේ වෙන්න බැරිවුන, සංසාරේ හැම දවසක්ම ඔයා එනකං බලන් ඉන්න මං ,

දෙනුවන්.

හඬමින් ඉකිගසමින් වැලපෙමින් පපුව හිර කරමින් මියෙන්නට තරම් වේදනාවක් දැනෙද්දීත් මම එක හුස්මට ලිපිය කියවා හමාර කළෙමි.ආයේ අලුතින් හඬන්නට මේ ඇස් වල කඳුළු නැත.කඳුළු වලින්ම හේදුන ලිපිය සුරතට ගුළි කරගෙන මා එහෙමම සොහොන් කොත මත හිස හොවා ගතිමි.මැරි මැරී ඉපදෙන්නට අපට ඉඩ හසර සාදා ඉතින් ඔහු යන්නම ගොසින්ය.මට ලෝකය දකින්නට ඒ ඇස් දී ඔහු යන්නට ගොසින්ය.මම ඉස්සී සොහොන් කොතේ වූ දෙනුවන්ගේ චායාරූපය දෙස බැලීමි.පන පිටින් ඉන්නාක් මෙන් ඒ රූපය ජීවමාන ගතියක් ඇත.කතා කරන හිනැහෙන ඒ නිල් ඇස් දැන් මා ළඟය.මෙ සා විසල් ප්‍රේමයක් ඒ හිතේ මා කෙරේ තිබුන බව අනේ මා දැන සිටියානම් සමහර විට මේ හැම දේම මීට වඩා වෙනස් වෙන්නට තිබුනා නොවේද...එක පාරක් ඒ මුවින් මට ආදරේදැයි අසන්න එ දවස මා පෙරුම් පිරූ තරම් ..මට තාරා සිහිවේ.. මා වෙනුවෙන් ඈ ඇගේ ජීවිතේ සියලු වටිනාකම් කැප කර ඇත.ඈ කොහේ කොහොම සිටිනවාදැයි කියාවත් මා දන්නේ නැත.හිසත් පපුවත් එකම විදියට හිර වෙන සෙයක් මට දැනේ.මා එහෙමම දෙනුවන්ගේ සොහොන මත වැතිර ගතිමි.

" නැගිටින්න සුදු නංඟී ... කොච්චර ඇඬුවත් ඔච්චර තමා අඬලා දොඩලා ඔයත් ලෙඩෙක් උනොත් මේ හැමෝම කරපු කැපකිරීම් වලින් වැඩක් නැතුව යනවා..මේ දෙවල් ඔයාට කියන මෙච්චර කාලයක් ගියෙත් ඔයාගේ මානසික තත්වය සෞඛය තත්වය ගැන හිතලයි.. මේ දිවල් තේරුම් ගන්න ශක්තිය දැන් ඔයාට තියෙන්න ඕනෙ මගෙ නංගී..."

මා තුරුලු කරගෙන හිස අත ගාමින් අනුහස් අයියා නැවතිල්ලේ දොඩයි.ඒ කිසිම දෙයක් කණට ගන්නට මට හරියට සිහියක් තිබුනාදැයි මා දන්නේ නැත.

" ඔයා වෙනුවෙන් මැරෙන්න තරම් ආදරයක් දෙනුවන්ගෙ හිතේ තිබුනා කියලා මම දැන ගෙන හිටියනම් සත්තයි මම ඔයාලව එකතු කරනවා මගෙ නංගී...මේ දෙවල් මෙහෙම උන එක ගැන ඔයාට වැඩිය මම විඳවනව රත්තරං... ඔයාට වැඩිය ගින්දරක් මේ පපුවේ ඇවිලෙනවා...මේ ලියුම කවදා හරි ඔයාට කියවන්න දෙන්න කියලා මගේ අතට දීලා තාරටත් යන්නම් කියලා නවලෝකෙ ඉස්සරහින් දෙනුවන් වාහනේකට පැන්නෙ තාරයි මමයි බලන් ඉදිද්දි සුදූ...අනේ එකා ඒ ගියේ මෙහෙම වැඩකට කියලා මට යන්තම්වත් තේරුනේ නෑ... ඔයාට බද්ධ කරන්න ඇස් දෙකක් හොයනවා කියලා එයා දැනගෙන හිටියා..එයාගේ ඇස් ඔයාට දෙන්න කියලා එය හොස්පිට්ල් එකට පවා ලියුම් දීලා.... පැය ගානක් ඇතුලතදි වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි.. දෙනුවන්ගේ අවසන් කැමැත්ත විදියට එයාගේ ඇස් ඔයාට බද්ධ කලා.. එතකොට ඔයා හිටපු තත්වය උඩ මේ කිසිම දෙයක් ඔයාට කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ .. මොළයට වෙච්ච හානි නිසා අවුරුදු ගානක් යනකන් සියුම් කම්පනයක්වත් දැනෙන්න දෙන්න එපා කියලා ඩොක්ටර් අපිට අවවාද කරලා තිබුනේ... ඒත් අපි බය උනා බැන්ඩේජ් ගැලෙව්වට පස්සේ ඔයා මේ ඇස් අදුරගනී කියලා.. ඔයා ළඟට එන හැමෝවම අපි කලින්ම දැනුවත් කරලා තිබ්බා..ඔයාට සිහිය එද්දි තාරා යන්න ගියේ මොනවාට හිත හයිය කර ගත්තත් ඔයා ඉස්සරහ ඒ රඟපෑම කරන්න එයාට හයිය තිබුනේ නෑ..මං හිතන්නේ මරණින් පස්සේ තාරා දෙනුවන්ට ආදරේ කරන්න ගත්තා.. ඇස් පනාපිට දෙනුවන් වාහනේකට යට වෙලා ඉන්නවා දැකලත් ගහක් ගලක් වගේ හිටපු ගෑණි.. දෙනුවන්ව මෙතන පස් වලට යට කරනකන් එක කඳුළක් හෙලපු නැති ගෑණි..අන්තිමට මේ සොහොන් කොත් දෙදරන්න ඇඩුවා...පොළවෙ පස් කකා මෙතන වැටිලා හිටියා... අපි කාටවත් එයාව නවත්තන්න පුලුවන් උනේ නෑ...."

මම තුශ්නිම්භූතව අසා සිටියෙමි.සුදු අයියාගේ ඇසින් වැටුණ කඳුලක් මගේ කම්මුලක් දිගේ ගලා ගියේය.අහන්න ...මට මේ තරම් ලතැවුලක් දැනේනම් මේ සියල්ල ඇස් පනා පිට වින්ද ඔහුට මොන තරම් දුකක් වේදනාවක් ඇද්දැයි ඒ කඳුළම සාක්ශිය. හිටි හැටියේ හිතට ගතට මහා ශක්තියක් ආවා සේ මම දනි පනි ගා නැගිට ගතිමි.

" සුදු අයියා... තාරා කොහොද.... අපි යමු අනේ... මේ දැන් යමු...."

" එයා ඉන්නවා සුදු නංගී...ඒත් දැන් රෑ වෙලා එතනට යන්න පුලුවන්ද දන්නෙ නෑ...අපි කෝකටත් ගිහින් බලමු... එයා දන්නවා අපි එනවා කියලා..."

සුදු අයියා එහෙමම දණ ඔබා දෙනුවන්ගේ සොහොනට වැඳ නැගිට්ටේය.ඒ දැක මගේ හිතම කඩා වැටුණි.අප සියල්ලට දුක දී මේ හිතුවක්කාරයා නික්ම ගිය හැටි..මමද එහෙමම ගොස් හිස හොවා වැඳ වැටුණෙමි.දයාබර දෙනුවන් ඔබ මට දී ගිය ආලෝකයට වන්දි ගෙවීමට මේ සංසාරයම මට මදිය...මා ඔය ඇස් දෙකට පෙම් බැන්ද පවට විඳවූ අන් සියලු දෙනා වෙනුවෙන්ම කවදා හෝ වන්දි ගෙවිය යුතුය.ආයේ ආයේ අලුත් වන කඳුළු සොහොන් කොත පුරා විසිරුණි.මා සිහිසුන්ව නොවැටී සිටින්නට හිතට මුලු වෙරම ගතිමි.

" අපි යමු සුදු නංගී..."

අනුහස් අයියා මා නැගිටවන තුරුම මම සොහොන් කොත පාමුල හැඩීමි.හීන් වැහි පොදක් ඇද වැටෙද්දී අප සුසාන භූමියෙන් නික්මුණි.යන මග දිගටම මා කලේ හඬ වැටෙන එකය. වරින් වර මහිස අත ගා සුදු අයියා මොන මොනවාදෝ කීවේය.අඳුර වැටී තිබුණ නිසා මේ කොහිදැයි වටහා ගන්නට මම අපොහසත් වීමි.

" මේ කොහෙද සුදු අයියා... මම හිතුවේ තාරා බණ්ඩාරවෙල කියලා..."

" අපි දැන් ඉන්නේ හොරණ පහු කරලා සුදූ...දැන් ළඟයි.."

දන්න කියන කිසිවෙකුත් නැති මේ ප්‍රදේශයට ඈ ආවේ කෙසේදැයි මා කල්පනා කලෙමි. ඈ විවාහවී මෙහේ එන්නට ඇතැයි මා සිතා ගතිමි. තාරාට කියන්නට ඇති දෑ අහන්නට ඇති දෑ මම ආයෙමත් මතක් කර ගතිමි.ඒ පය පාමුළ දණින් වැටී සමාව ගන්නට මම සිතා ගත්තෙමි.මා වෙනුවෙන් ඈ දරාගත් හැම දේටම එසේ කලාට පව් නැත.

ප්‍රධාන පාරෙන් අතුරු පාරකට රිය හරවද්දී ගසා තිබූ නාම පුවරුව දෙස මා නිකමට බැලීමි.

සමාධි සුව මෙහෙණි අසපුවට

ඒ නම කොහේදී හෝ මීට පෙර දැක හුරු බවක් මට සිහිවිය.මා මතක් කලෙමි.සුදු අයියා පහුගිය වසර නවය පුරාවටම මේ නමට හැම මසකම මුදල් ආධාර කල බව මට සිහිපත් විය.දෙවියනේ මෙහෙ ඉන්නේ තාරාවද්ද... ඇගේ නමද සමධි උත්තරාය.හීයක වේගෙන් හදවත පුරා දුක දිව යන්නට විය.මා දුකටම සට සට ගා වෙව්ව්ලන්නට වීමි.

" මේතනින් එහාට වාහනේ යන්න බෑ ... බැහැලා පයින් යමු සුදු නංගී..."

ඉතින් මා සියල්ල තේරුම් ගතිමි. එහෙත් දෑසින් දකින්න තුරු එය පිලිගන්නට සිත ඉඩ දුන්නේම නැත.මම සුදු අයියාගේ අතක් තද කර අල්ලා ගතිමි. සුදු අයියා ඉස්සර විය.වචනයේ පරිසමාප්ත අයුරින්ම පරිසරය නිහඬ නිසළ විය.ගසකින් කොලයක් වැටෙන හඬ පවා පැහැදිළිව ඇසෙන තරමට සංසුන් පරීසරයේ මම මගේ ඉකිය පාලනය කර ගන්නට වෙහෙසෙමින් පඩි නැගීමි.ගල් පඩි සිය ගනනක් නැග අවසනයේ මා ඈ දුටිමි.මුඬු කල හිසත් කසාවතත් ඈට වයසට වැඩි වියපත් පෙනුමක් පෙන්නුවද මා ඇය හැඳුනා ගතිමි.සියල්ල අත්වින්ද ඒ මුහුණ පුදුමාකාර ශාන්තය.ඒ ඇස් වල පසුතැවීමක් නැත.විනාඩියක් දෙකක් ගල් ගැසී ඈ දෙසම බලා උන් මා තාරා යි මහා හඬින් කෑ ගසමින් දිව යන්නට වීමි. දිව ගොස් ඈ වැළද ගන්නට මොහොතක් තිබියදී සුදු අයියා මා අල්ලා ගත්තේය.

" අහන සුදු නංගී... මේක පන්සලක්... අඬන්න කෑ ගහන්න තියාගන්න එපා....අනික මේ ඉන්නේ ඉස්සර ඔයාගේ යාලුවා තාරා නෙවෙයි... ප්ලීස් කලබල කරන්න එපා පැටියෝ..."

මැරීගෙන මා හිතින් පෙම් කල දෙනුවන් මට ඒ ඇස් දන් දී ආදරේ නොකියාම යන්නට ගොස්ය. එක බඩවැල කඩන් ආ සහෝදරියක සේ මා ළඟ උන් මගේ අතිජාත මිතුරිය දසසිල් මාතාවක් වීය.. මා ඒ සියල්ලටම වගකිවයුත්තාය.මේ සියල්ල මෙහෙම වද්දීත් සුදු අයියා මට නාඩන්න කියයි... කලබල නොකරන්න කියයි... අර ඉස්සර මෙන්ම මුරණ්ඩු වෙන්නට හදන හිත මම ආයාසයෙන් සංසුන් කරගතිමි.ඒ ඇසිල්ලේ තාරා අප සමීපයට විත් නතර විය.

" අවසර මෑණියනි.."

අනුහස් අයියා අඩක් දණ නමා ඈට වැන්දේය. මම හිත පිත් නැති එකියක සේ බලා සිටියෙමි.

" කොහොමද කවිති නෝනා.. මේ එන ගමන්මද..."

හිත කෑළි කෑළි වලට කැඩී සී සී කඩ විසිරෙද්දී මම සවන් අදහා ගන්නට බැරි ලෙසින් බලා සිටියෙමි. මේසා දුරස් බවක් අප අතර තියෙන්නට පුලුවන්ද... අර ඉස්සර මෙන් හති වැටෙන තුරු සිනාසී කතා කරන්නට අපට බැරිද...වචනයක්වත් කතා නොකර මම ඒ පින් පාට සුදු මූණ දෙසම බලා සිටියෙමි.

ආදරය යනු කැපකිරීමනම් මහා ලොකුආදරවන්තියක්යැයි සිතූ මා කල කිසිවක්ම නැත.දෙනුවන්, තාරා පමණක් නොව අනුහස් අයියාද ආදරය වෙනුවෙන් මහමෙරක් දුක් විඳ කප්පරක් කැපකිරීම් කර ඇත.ඒ සියල්ලන්ට පිංසිදු වන්නට අද මා ජීවත් වෙයි.මගේ එක හිතුවක්කාර කමක ජීවිත ගණනාවක ඉරණම ලියා තබා ඇත.දෛවය වෙනස් කරන්නට හැදුවාට කවදාවත් එය නොවෙන බව ඉතින් මා තේරුම් ගතිමි.

" කවිති නෝනා.. එන්න අපි ටිකක් වාඩි වෙමු ඔයාට අසනීප පාටයි.."

නැවතත් ඒ සංසුන් හඬ මගේ හිත පාරවමින් ඇසෙන්නට විය.තව දුරටත් ඉවසන්නට මට නොහැක.

" අනේ මට බෑ තාරා.... මට බෑ.... ඇයි මට මෙච්චර වෙනස්කමක්... එකම එක පාරක් .. එකම එක පාරක් මට ඉස්සර වගේම කවී කියලා කතා කරන්න.... එකම පාරක් මට ඔයාව බදා ගන්න ඉඩ දෙන්න....ඉස්සර වගේ මට බනින්න... මම කරපු වැරදි වලට මෝඩ කම් වලට කෑ ගහන්න තාරා...මං මැරෙයි දෙයියනේ ...මං මැරෙයි... "

මම මහා හඩින් කෑ ගැසීමි.පාලු දෙනිපෙත පුරා ගල් කඳු වල හැපි හැපී දෝංකාර දෙන මගේ ඉකිබිඳුම ආයේ ආයේ මටම ඇසෙන්නට විය.

" එන්න කවී..."

තෙත් වූ දෑසින් තාරා මදෙසට දෝතම පෑවේය.මා හඩමින් දුව ගොස් ඇයට තුරුලු වීමි.ඇගේත් මගේත් කඳුළු එකට එකතු වී ඒ කහ පාට සිවුරට වැටී සිදී යන්නට ඇත.අවසානයේ මා ඒ දෙපා මුළ වැඳ වැටුණෙමි.

" මට සමාවෙන්න උත්තරා මෑණියනි "

මා සිතින් දහස්වරක් මිමිණීමි.



           සමාප්තයි.

Jun 19, 2012

මගේ සිහින කුමාරයා........





ඉතින් මම ඔයාලට කලින් පෝස්ට් එකේදිත් කිව්වා මතක ඇතිනේ බොහොම කාලෙකට පස්සේ මට මගේ පාසල් මිතුරියක් මුණගැහුනා කියලා අහම්බෙන් වගේ.මම හිතන්නේ අපි හම්බුනේ අවුරුදු හතරකට විතර පස්සේ.අම්මෝ අපිට ඉතින් මෙලෝ සිහියක් නෑ ආගිය කතා කෙලවරක් නෑ.පාර මැද්දේ අපිට අපේ මිනිස්සුන්ව මතකත් නෑ.මීට ටික දවසකට කලින් පිළියන්දල ප්‍රසාද් එක ඇතුලේදි අලුත් වුන අපේ මිතුරු කම ඔන්න මේ වෙනකොට ආයෙත් පාසල් කාලේ වගේම බොහොම සුන්දරව ගෙවී යනවා. එයාලා අපේ ගෙදරත් අපි එයාලගේ ගෙදරත් ගිහින් මිතුරුකම් වැඩි දියුණු කරගත්තා.ඔන්න ඔහොම අපි පවුල් දෙක මුණගැහුන මේ ළඟදී දවසක මගේ යාලුවා මගේ හබියගෙන් අහපි

" දුෂ්මන්ත ... මෙයා තාම මාධවන්ට ලව්ද...." කි
යල. බලන්න ඉතින් මගෙ කාඩ් එක කුඩේ කුඩුනේ මේකි කිසිම චාරයක් නැතුව ඒ අහපු විදියට.හොද වෙලාවට මේ පලහිලව්ව ගැන මගේ හබියත් දන්නවා නැතං ඉතින් පවුලත් කඩා ගන්නනේ වෙන්නෙ.

" හොව්... හොව්.... මොකෝ නැත්තේ ... ඔය තාමත් ෆෝන් එකේ එහෙම තියෙන්නෙ ඔය හැළිවඳුරගේ පින්තූර..." උන්දැත් උත්තර දීපි.

මෙන්න මේ කතාව නිසා තමා කාලෙකට පස්සේ ආ
යෙමත් මට මගේ සිහින කුමාරයව මතක් වුනේ.එයාට මම ආදරේ කරපු තරමට එයා ගැන පෝස්ට් එකක් නොලියන මේ බ්ලොග් එකෙනුත් වැඩක් නෑ.ඔන්න එහෙනම් අහගන්නකෝ මගේ සිහින කුමාරයා ගැන.

********************************************************************

පොඩි කාලේ ඉදන්ම මම රූපවාහිනීයට ඇබ්බැහි වුන කෙනෙක් නෙවෙයි.ඒ කාලෙත් මම ආස කලේ වැඩිපුරම කියවන්නයි ලියන්නයි තමයි.රූපවාහින්නි
යට ඇබ්බැහි නොවෙන්න ප්‍රධානම හේතුව තමා ඒ කාලේ තාත්තා අපිට පනවල තිබුන වාරණය.රෑ අටෙන් පස්සේ කවදාවත් එයා අපිට ටීවි බලන්න දුන්නේ නෑ.ඒ දවස්වල ඕකට සමහර වෙලාවට තාත්තා එක්ක හිත් අමනාපෙන් හිටියත් අදනම් හිතෙනවා එහෙම උන එක හොදයි කියලා.මොකද ඕකට ඇබ්බැහිවෙලා හිටියනම් අද වෙනකොට යන මෙගා කචල් ටික බලන්න මම වෙලාව කොහෙන් හොයන්නද අප්පා.

ඉස්කෝලේ 8 පංතියට විතර එද්දි තමා මට හින්දි චිත්‍
රපට උන්මාදය හැදුනේ. මට විතරක් නෙවෙයි අපේ පංතියේ හැමෝටම මටත් වඩා තදින් ඒ පිස්සුව හැදිලා තිබුනා.එක්තරා නාලිකාවක ඉරිදට හින්දි ෆිල්ම් එකක් පෙන්නනවා ඒ කාලේ තාත්තා ගෙදර හිටියොත් කවදාවත් අපිට ඒ ෆිල්ම් එක බලන්න වාසනාව ලැබුනේ නෑ. ඉස්සර ඉරිදට උදේට නැගිට්ටම අපේ තාත්තව මොන ක්‍රමේකින් හරි ගෙදරින් යවලා දෙන්න බුදු සාදු කියලා මම උදේට පාන පත්තු කලාමත් ප්‍රාර්ථනා කරනවා.ෆිල්ම් එක බලන්න බැරි වුන දවසට පහුවදා ඉස්කෝලේ ගියාම යාලුවෝ රස කර කර කතාව කියනකොට මට අපේ තාත්තා එක්ක ආපු කේන්තිය.....හයියෝ මොකට කියනවද..කොහොම කොහොම හරි පස්සේ පස්සේපේ අම්මාගේ මැදිහත් වීම මත ටීවී එකේ යන ෆිල්ම් එක නොබැලුවත් තාත්තා විසින් තෝරල වීඩියෝ සෙන්ටර් එකකින් රෙන්ට් එකට ගේන චිත්තරපටි බලන්න අපිට වාසනාව ලැබුනා.ඒ කාලේ ඉතින් දැන් වගේ CD ,DVD නෙවෙයිනේ තිබුනේ VHS තැටි තමා තිබුනේ. මට අද වගේ මතකයි අපේ තාත්තා අපිට ඉස්සෙල්ලාම එහෙම ගෙනල්ල දුන්න ෆිල්ම් දෙක තමා අභිමාන් සහ ආරාධනා.මේ වෙනකොට මුලු අලුත් හින්දි සිනමාවම වගේ බලලා තිබුනත් ඒ ෆිල්ම් දෙකේ සින්දු මට නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.ඊළඟට ඒ වගේම මතක තියෙන අනිත් ෆිල්ම් එක තමා අමීරුයි මධුරියි හිටපු දිල් කියන ෆිල්ම් එක.අපේ තාත්තා ෆිල්ම් එකක් ගෙනාවම ඉස්සෙල්ලල එයා අපි බලන්න කලින් ෆාස්ට් ෆොර්වඩ් කර කර බලනවා මොන වගේ එකක්ද අපිට බලන්න සුදුසුද එහෙම කියලා රැගුම්පාලක මණ්ඩලය අනුමත කලොත් විතරයි අපිට බලන්න පුලුවන්.ඔන්න ඉතින් එදාත්  තාත්තා අපි ඉස්සරහම  දිල් ෆාස්ට් ෆෝර්වඩ් කරනවා. එක පාරටම අමීර් මධුරිව උස්සන් ගිහින් පාලු තැනක දඩෝං ගාලා අත අරිනවා...කට්...කට්... කට්...  ඉතින් ඔන්න දිල් බලලා හමාරයි.රැඟුම්පාලක මහත්තයා  දිල් බැලීම අපිට සපුරා තහනම් කලා.තාත්තා VHS තැටිය අරන් ගිහින් එයාගේ කාමරේ කොහේදෝ හැංගුවා.අක්කයි මමයි මල්ලි අපේ නැන්දගේ පුතයි එදා රෑට කන්නෙත් නැතුව කල්පනා කලා අමීර් මොනවා මධුරිට කරන්න ඇතිද කියල.ඊට පහුවදා ලොකු සංග්‍රාමයක් දියත් කරලා තැටිය හොයාගෙන අපි හිතේ හැටියට දිල් බැලුවා.(අපි ඒක බැලුවා කියලා තාත්තා කවදාවත් දැන ගත්තේ නෑ. අනේ අද හිටියනම් කියන්න තිබුනා )අර සීන් එක එනකොට අපි ඇස් උල් කරගෙන කටවල් ඇරගෙන පුටු ඇදි අත් වලින් තද කරගෙන බලන් හිටියා. හයියූ.... කිසිම දෙයක් නෑ මෙයා... අපේ තාත්තට වලිගෙ පෑගිලා.

මදැයි අද මගේ පෝස්ට් එක මගේ සිහින කුමාරයා ගැන මිසක් බොලිවුඩ් සිනමාව ගැන නෙවෙයිනේ. හරි හරි ඔන්න දැන් තමා සීන් එකට එන්ටර් වෙන්නේ.ඉතින් ඔහොම වැළදුන හින්දි සිනමා උන්මාදයේ මගේ ප්‍රියතම නළුව උනෙත් සුපිරි වීරයා උනෙත් ශා
රුක් ඛාන් තමා ඒක එදා වගේම අදත් එහෙමමයි.හැබැයි එයා මගේ සිහින කුමාරයා නම් උනේ නෑ.එයා කොච්චර වැඩ්ඩෙක් උනත් මට වඩා දෙගුණයක් වයස කෙනෙක් මගේ සිහින කුමාරයා කර ගන්න මට ඕන උනේ නෑ.පංතියේ කෙල්ලො ශාරුක්ව බෙදා ගන්න රණ්ඩු කරද්දි මම මගෙ පාඩුවේ හිටියා.අනික හැමෝම කැමති කෙනෙක්ව මගේ කර ගන්න මට කොහොමවත් උවමනාවක් තිබුනේ නෑ.මම හෙව්වේ මටම කියලා කෙනෙක් මම විතරක්ම කැමති කෙනෙක්.ශාරුක්ට , අභිශේක්ට , ශහීඩ් කපූර්ට , සල්මාන්ට,අමීර්ට පිස්සු හැදුන අය පංතියේ ඕන තරම් හිටියා.එයාලව බෙදා ගන්න බැරුව උන් මරා ගත්තා.

හින්දි සිනමාවට මම කොච්චර ආස උනාද ඒ තරමට
මම ඒ කාලේ දමිළ සිනමාව ප්‍රතික්ශේප කලා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි ඒ භාෂාව මට ඇහුනේ හරිම කරච්චලයක් විදියට. ඒත් දවසක් අහම්බෙන් මම අපේ නැන්දලගෙ ගෙදරදී දෙමළ ෆිල්ම් එකක් බලන්න සෙට් උනා.ඔන්න එදා තමා මට මගේ සිහින කුමාරයා මුණ ගැහුනේ. ඒ හිනාව.......... මාව පිස්සු වැට්ටුවා....එහෙම හිනාවක් අදටත් මම කොහේදිවත් කාගෙන්වත් දැකලා නෑ....ඒකේ හිටපු නිළියව අයින් කරලා මුලු චිත්‍රපටියම ඉවර වෙනකන්ම මම එයා එක්ක රගපෑවා...

මාව පිස්සු වට්ටපු හිනාව........


ෆිල්ම් එක අලෙයිපායුදේ ( Alaipayuthey ) ඒකෙ සිංහල තේරුම රැළ්ල නැගෙයි කියනවා වගේ එකක්.ශාලිනි කියන දමිළ නිළිය තමා එයා එක්ක ඒකේ රඟපෑවේ.එදා ඉදන් මම එයාට පිස්සු වැටුනා. නින්දෙනුත් මම එයා එක්ක කතා කලා. මගේ කරුමෙට එයා ගැන දන්න අය මගේ පංතියේ හිටියේ නෑ.( ඒක හොදයි )මොකෝ ඉස්සර අද වගේ අන්තර්ජ
න්ජාලෙවත් තිබුනයෑ හිතූ හිතූ දේ හිතූ හිතූ වෙලාවේ ගහලා හොයලා බලන්න. මට වඩා අවුරුදු දෙකක් පහළ පංතියක හිටපු දමිළ නංගී කෙනෙකුගෙන් තමා මම එයා ගැන විස්තර දැන ගත්තේ.එයා මට වඩා අවුරුදු 15 ක් වැඩිමල් කිව්වට මට ඒක ඇහුනෙවත් නෑ. ඒත් එයා බැඳලා කිව්වම මගේ පපුව හෝස් ගාලා ගියා.මගේ හුස්මත් හිර උනා..ඒත් මම හිත හදා ගත්තා මොකද මට අපේ පංතියේ කා එක්කවත් තරගයක් තිබුනේ නැති නිසා එයාව බෙදා ගන්න. (ඒකම මැදෑ) මම තමා එයාගේ සම්පූර්ණ අයිතිකාරි උනේ.ඊට පස්සේ ඉදන් අර නංගිගෙන් අහගෙන මම එය ඉන්න ෆිල්ම් හොය හොය බැලුවා. ජෝතිකා එක්ක , ත්‍රිශා එක්ක ,භාවනා එක්ක එහෙම තුරුල් වෙවී රඟපානකොට මට වෙලාවකට මරන් කන්න තරම් කේන්තියක් ආවා තමයි.ඒත් ඉතින් එයාට දොස් කියන්නේ කොහොමද එයා දන්නේ නෑනේ මම එයාට ආදරෙයි කියලා.

ගර් ර්... පෙනේද නටන නාඩගං.....


එයා නිසාම මම මේ වෙනකොට අර මම මුලින්ම බලපු එයා ඉන්න අලෙයිපායුදේ විසි තිස් වතාවක් විතර බලලා තියෙනවා. ඒකේ සිංදු පුදුම තරම් ලස්සනයි හරිම ප්‍රේමණීයයි... ම්ම්ම්ම් ... කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ.දැනුත් මගේ ෆෝන් එකේ තියෙන්නේ ඒ ෆිල්ම් එකේ සිංදු තමා.


කාලෙත් එක්ක ගොඩක් දෙවල් වෙනස් උනා. එදා ත
රම්ම උන්මාදයක් නැතත් අදටත් ඉතින් මගේ සිහින කුමාරයානම් එයාම තමා.මගේ හබියාව එහෙම අවුස්සන්න හිතුනම මම එයාගේ සිංදුවක් හයියෙන් දානවා වෝල් පේපර් එකට එයාගේ පින්තූරයක් එහෙම දානවා එතකොට හබියා කියන දෙවල් වලට එයාට විතරක් නෙවෙයි එයාගේ පරම්පරාවටම හචිං යනවා ඇති.පව් අසරණයා. මොනවා උනත් මගේ ඒ ආදරේට මගේ රත්තරං අකුල් හෙලන්නේ නෑ. හි.... හී.... ඒක තමා මට තියෙන සැනසීම.


ඔබේ සිනා මුව මඬළට මං හරි ආසයි...

Jun 13, 2012

දෙනුවන් අනුහස... එකොළොස්වෙනි සජ්ජායනාව





 
අසා කියා දැන ගන්නට බොහෝ දේ හිතේ වුණිද ඒවා කාගෙන් අසන්නටදැයි කියා මට සිතා ගනු නොහේ. තාරා ගැන සුදු අයියාගෙන් හෝ අම්මගෙන් අසන්නට සිතුනද එයටද ඉඩක් ලැබුනේ නැත.ඒ දෑස් හැරි වෙලේ ඉදන් පරීක්ෂණ කීපයකට මා බදුන් වූ නිසාය.ඔලුවේ තුවාල වලට බෙහෙත් ගැල්වීම් බැන්ඩේජ් මාරු කිරීම් දෙනෙතට ව්‍යායාම ආදියෙන් හවස් වන තුරුම මා හෙම්බත් වීමි.සුදු අයියා ඒ හැම දේටම සහය වෙමින් නිරන්තර මා අසල විය.මුහුණ පුරා වැවුණු රැවුලත් මලානික වුණ ඒ ඇස් දෙකත් දකිද්දී මට මහා දුකක් දැනේ.මේ ටිකට ඔහු විදවූ විඳවිල්ල ඒ ඇස් වල අපූරුවට සටහන් වේ.

" අම්මත් එක්ක ගෙදර ගිහි එන්න සුදු අයියා දැන් මට සනීපනේ ඔයාලා ඔහොම ඉන්නවා දකිද්දී මට දුකයි... ඔය එළු රැවුල ඔයාට කැතම කැතයි ඕක කපලා නාලා ලස්සන වෙලා එන්න...."

මා කියූ දෙයට ඒ මුව මුරා හසරැළ් නැගුණි.

" දැන් කියවනවා චන්ඩියා වගේ... ඒත්.. ඒත් පහුගිය දවස් වල මම විඳපු දුක ඔයාට තෙරෙන්නෙ නෑ මගෙ නංගී..."

" අනේ දැන් දුක් වෙන්න එපා අයියා.... දැන් හැමදේම හරිනේ.. ම්ම්ම්ම්....ආයේ මම අයියට කවදාවත් දුකක් දෙන්නෙ නෑ..."

" හරි ... මම අම්මව ගෙදරට දාලා එන්නම් පව් නැන්දා ඔය හිතේ හයියට මෙහෙමවත් ඉන්නේ... මම බය උනා එයත් ලෙඩ ඇදට වැටේවි කියලා..."

මගේ අසරණ අම්මා ගැන මට මහා දුකක් දැනුනි. ඇගෙන් සමාව ඉල්ලන්නට බැරි තරම වරදක් මා කර ගත් හැටි.මා නළල සිප සුදු අයියා යන්නට හැරුණි. මා ඒ අත අල්ලා නවතා ගතිමි.

" සුදු අයියා.... කෝ තාර.... ඇයි එයා මාව බලන්න නාවේ..."

" එයා ආවා සුදු නංගී... ඔයාව හොස්පිටල් ඇඩ්මිට් කරපු වෙලේ ඉදන් ඊයේ රෑ වෙනකනුත් උත්තරා හරි හරියට අම්මයි මමයි එක්ක ඔයා වෙනුවෙන් මහන්සි වුණා..අද උදේ ඔයාගේ බැන්ඩෙජ් කපනවා කියලත් එයා දන්නවා... ඒත් එයාට හදිස්සියෙම බණ්ඩාරවෙල යන්න වුණා.. එයාගේ ආච්චිට සනීප නැතුව...හෙට නැත්තං අනිද්දා එයා ඒවි පැටියෝ..."

සුදු අයියා එය කීවේ මගේ හිත හදන්නට බොරුවක් නොවන බව මම ඒ ඇස් බලා වහා හදුනා ගතිමි. තාරා ගැන හිතේ තිබූ හැම කහටක්ම එයින් සේදී ගියේය. මට මහා සැනසුමක් දැනුණි.

" එයා මා එක්ක තරහා නෑ නේද සුදු අයියා..."

නැත කියන්නට සුදු අයියා හිස දෙපසට වැනීය.

" පිස්සු කෙල්ල දැන් ඔය විකාර මුකුත් හිතන්න එපා... මම නර්ස් කෙනෙක්ට කතා කරන්නම් .. පරිස්සමින් ඉන්න... මම ඉක්මනට එනවා..."

" සුදු අයියා....

මා නැවතත් ඒ අත අල්ලා ගතිමි.

" ඒ පාර මොකද..... ම්ම්ම්ම්ම් "

අසන්නට ගිය දේ මුවේ සිර කර මා මොහොතක් නිහඬ වීමි.අනුහස් අයියා මා දෙනෙත් දෙසම බලා සිටින්නට විය.ඉතින් මා අසන්නට යන දේ ඔහුට නොදැනෙන්නට විදියක් නැත.

" එයත් ආවා සුදු නංගී....තාරා එක්කම එයත් ආවා... එයා විතරක් නෙවෙයි එයාගේ යාලුවොත් ආවා ඔයාව බලන්න...එයාලනම් අදත් ඒවි... ඒත් මට ඔයා පොරොන්දු වෙන්න ඕනෙ සුදු නංගී... මේ කිසිම දෙයක් ආයේ ආයේ හාර අවුස්සලා හිතට දුකක් ගන්නේ නෑ කියලා වෙච්ච හැමදේම වෙලා ඉවරයි...ආයේ කවදාවත් මුලට යන්න හිතන්නෙපා පැටියෝ... කවුරු කා එක්ක කොහොම ආවා ගියත් ඔය හිත හයිය කරගන්න... මං වෙනුවෙන් නෙවෙයි අර අතන ඉදන් තාමත් හූල්ලන ඔයාගේ අම්මා වෙනුවෙන්වත් ඒක කරන්න..."

" මම පොරොන්දු වෙනවා අයියා ... පොරොන්දු වෙනවා... අපි මෙහෙන් ඉක්මනටම යමු... ආයේ කවදාවත් නො එන්නම ලංකාවෙන් යමු... අනේ මාව අරන් යන්න සුදු අයියා...මට ඔයයි අම්මයි විතරක් හිටියම ඇති... සත්තයි මගෙ අයියා ...මාව අරන් යන්න..."

ඉතින් ඒ මාගේ අවංකම අදහස විය. අනුහස් අයියාගේ ඇස් දිලිසුණි.ඔහු මා තුරුළු කරගෙන කීප වරක්ම මා නළල සිප ගති.

" මතකද මම දවසක් කිව්වා.. අවංකවම ඔය කටින් ඕක කියපු දවසට මම ඔයාව අරන් යනවා කියලා...අද ඒ දවස මගෙ නංගී... අපි ඉක්මනටම මෙහෙන් යනවා... ඔව් අපි ඉක්මනටම මෙහෙන් යනවා..."

අම්මා සමග සුදු අයියා පිටව ගියේ මට එසේ පොරොන්දු දෙමිනි.මහා බරක් හිතට දැනුනද මා සුසුමකින් ලය සැහැල්ලු කර ගතිමි.කවුරුවත් නැතුව තනිවුණ මේ ඇසිල්ලේ මට සිතන්නට බොහෝ දේ විය.මම ඇස් පියා ගතිමි.තාරා හා දෙනුවන් කොයි මොහොතේ හෝ මා ඉදිරිපිටට එන්නට පුලුවන. ඉතින් එයට මා සූදානම් විය යුතුය.කවදාවත් මට නොලැබෙන දෙනුවන් එකා තකට මගේ හොදම යෙහෙළිය හා සහෝදරිය හා සමාන තාරාට ලැබෙන එකට මා ලෝබ වීම හෝ ඉරිසියා කිරීම නොවටී.තාර හොද කෙල්ලකි. දෙනුවන්ගේ නරක ගති අතහැර ගන්නට ඈ පිහිට වෙනවා නිසැකය.ඉතින් මා ඔවුන්ගේ ලෝකය ඔවුන්ට තනා ගන්නට ඉඩදී අනුහස් අයියා හා ලියූ මගේ ජීවිතයත් ගෙන මා පිටව යමි.දයාබර දෙනුවන් ඔබට බැදි අසීමිත සෙනෙහස මම සදහටම හදවතේ නිදන් කරමි.

මා කෙලෙස සිතුවද එය කිරීම මේ හිතනා තරම් ලේසි නැති බව මා දනිමි. ඒ නිල් ඇස් වලින් මා දුටු සංසාරගත ප්‍රේමය කෙලෙස සගවා තබා ගන්නදැයි මා නොදනිමි.ඒ නිල් ඇස් සිහිව මා තිගැස්සී නෙත් හැරීමි.අද මා සතුවද ඒ හා සමාන නිල් ඇස් දෙකක් ඇත. ඒ ඇස් යට මම නොදන්නා මොකක්ම හෝ කතාවක් ඇද්දැයි මට සිතේ.මම වහා නැගිට නාන කාමරයේ කණ්නාඩිය ඉදිරිපිටට වීමි.ඒ ඇස් තරමට නොවූවද මේ ඇස් ද නිල් පාටය.ඒ ඇස් තරමට නොවූවද මේ ඇස් ද කතා කරන සෙයකි.යටි පතුල් වලින් පටන් ගෙන පපුව දක්වා එන මහා ගින්දරක් සමග හිතට මහා නොසන්සුන් කමක් දැනේ.දෙවියනේ මේ ඇස් දකිද්දී මට හිතෙන දේ කවමදාවත් ඇත්තක් නොවේවායි මා පැතීමි.

" මැඩම් ... මම උදව් කරන්නද...."

නාන කාමරයේ දොරට තට්ටු කර එසේ ඇසුවේ මා බලා ගන්න නර්ස් විය යුතුය.මා දොර හැර එලියට ආවේ ඇයට සුහදව සිනා සෙමිනි.

" දැන්නම් මැඩම්ට ගොඩාක් හොදයි වගේ නේද... මම තමයි මෙහෙට ආපු දවසේ ඉදන් මැඩම්ව බලා ගත්තේ..."

මට වඩා වසරක් හෝ දෙක පමණ වැඩිමල් ඇය හුරුබුහුටි කෙල්ලකි.ඇය මට මැඩම් කියද්දී මහා නුහුරක් මට දැනේ.

" ඔයාලට ගොඩක්ම ස්තූති මං වෙනුවෙන් මහන්සි උනාට හොදේ.."

" ඒක අපේ ඩියුටි එකනෙ මැඩම්..."

ඈ කීවේ සිනා සෙමිනි.

" ඒක නෙවෙයි මේ ඇස් නම් මැඩම්ට හරිම ලස්සනයි... ඇත්තමයි හරියටම මැඩම්ටම කියලා හැදුවා වගේ..."

" ඇත්තටම මේ ඇස් මට කොහෙන්ද ලැබුනෙ නර්ස්..."

ඇගේ කතාවෙන්ම මා මොනවා හෝ අහුලා ගන්නට සූදානම් වුනෙමි.

" එයත් මැඩම් වගේම ලස්සන ගෑණු ළමයෙක් .....මැඩම් Accident වෙලා ගෙනත් දවස් දෙකකට විතර පස්සේ ඔය ඇස් ලැබුනේ. හැමෝම කිව්වා මේ ඇස් මැඩම්ට ලස්සනට තියේවි කියලා.ඇයි මැඩම් දන්නේ නැද්ද අනුහස් සර් එක්ක තාරා මැඩම් අර මැඩම්ගෙ යාලුවා එයා පවා ගියා ඒ ගෑණු ළමයගේ පවුලේ අය හම්බෙලා ස්තූති කරන්න...."

සසළව තිබු සිතට ඇගේ කතාවෙන් මහා සැනසුමක් දැනුණි.අනුහස් අයියාට කියා මටද ඒ පවුලේ අය දකින්නට තදබල උවමනාවක් දැනෙන්නට විය.මේ සා විසල් පින් කමක් කල ඔවුන්ට වචනයක් කතා කිරීම මගේ යුතුකමකි. ඉඩක් ලැබුනොත් එය කරන්නට යෑමට මම සිතා ගතිමි.

" මැඩම් ඔහොමම ඇදට ගිහින් හාන්සි වෙන්න.... මට මේ බෙහෙත් ඔයාගේ ඇස් වලට දාන්න තියෙනවා..."

ඈ මා අල්ලාගෙන ගොස් ඇද වෙත ඇරලීය.eye drop එක දැමූ පසු හීන් දැවිල්ලක් ඇස් වලට දැනුනි.වැසූ දෝර හැරගෙන එක වරම කඩාපාත් වූ සේනාව හදුනාගන්නට බැරිව මා බොඳ වුණ ඇහිපිය වේගයෙන් ගැසීමි.රශ්මි , චමෝදි , නිශූ සේම ඉශාන් , චාමික , අනුශ්ක ඇතුලු දෙනුවන්ගේ මිතුරන් කැලම මා අබියස විය. මා මොහොතක් දෙකක් ගල් ගැසී බලා සිටියෙමි. ඔවුන්ද එලෙසම බලා සිටින්නට විය.මදෙස විශ්මයෙන් බලා සිටි ඔවුන්ගේ ඇස් වලට ඉනූ කඳුළලි මගෙන් වසන් කරගනිමින් ඔවුන් රැළම මා වට කොට ගති. මා මදක් ඉස්සී දොර දෙස බැලුවේ තාරාවත් දෙනුවන්වත් දැක ගන්නටය. නැත එහෙත් ඔවුන් නැත.

" කවී.... අනෙ අම්මෝ උඹ ලස්සන වෙලා බං... කොහොමද කොහොමද ඉතින්..."

" අඩේ... මේකිට තාම සැප..... උඹ දන්නෙ නෑ අපි උඹ නිසා කාපු කටු...."

" යකෝ... මටත් ඔය මොනා හරි ඇනගෙන මෙහාට එන්න හිතයි.... බලපල්ලකෝ ලස්සන නර්ස් නෝනලා ළඟට වෙලා සලකන හැටි..."

එක එකා නා එක එක විකාර කියවමින් පිස්සු නටයි එදා වගේම අදත් මුන්ගේ කටවල් වලට බ්‍රේක් නැත.හිනැහෙනවා හැරෙන්නට මට තවමත් මුකුත් කියා ගන්නට නොලැබුණි.

" මැඩම් යාලුවෝ ආවනේ... දැන් තනි නෑනේ ... මම යන්නම් එහෙනම්... "

හෙදිය පිටත් වුනේ හැමෝටම ලස්සන සිනාවකින් සංග්‍රහ කරමිනි.

ඈ ගිය සැනින් ඔවුන් මගේ ඇද වටා වාඩි විය.

" අනේ දැන් ඔයාට හොදයි නේද කවී... අම්මෝ ඔයා අපිව බය කල තරමක්... "

" ඇයි කවී ඔය තරම් මෝඩ වැඩක් කලේ ඔයා..."

නිශූ මගේ අත පිරිමදිමින් එසේ ඇසීය.

" මේ මේ... ඔය බයිලා වැඩක් නෑ බං දැන්... කවුරුවත් ඔය විකාර ආයෙත් මේකිගෙන් අහනන් එපා... ගිය දේ ගියා... එච්චරයි..."

අනුශ්ක හැමෝටම ඇහෙන්න ඇගිල්ල දික් කර එසේ කීය.මා නැවතත් ඉස්සි දොර දෙස බැලීමි.ඉශාන් එය දැක මට කිට්ටු විය.

" උඹ කාවද ඉස්සි ඉස්සි හොයන්නේ..."

මා මුකුත්ම නොකියා අසරණව සිනා සීමි.

" බැලුවට වැඩක් නෑ ... උන් එන්නේ නෑ..."

ඉශාන් එසේ කීවේ අමුතුම හඬකිනි. මම ප්‍රශ්නාර්ථයකින් වහා ඔවුන් දෙස බැලීමි.

" තාරා නම් බණ්ඩාරවෙල ගියා... "

රශ්මි එසේ කීවේ මට පමණක් ඇසෙන්නට මෙනි.

" අරූ ගැනනම් කියලා වැඩක් නෑ... ඌ අපිටත් කොලේ වැහුවා....අන්තිමට නොකියම යන්න ගියා..."

අනුශ්ක කීවේ මහා තරහකින් දැවෙමිනි.

" දෙනුවන් කොහෙ ගිහින්ද ඉශාන්..."

මා ළඟම හුන් ඔහුගෙන් මා විමසීමි.

" මම හිතන්නේ ඌත් තාරා එක්ක බණ්ඩාරවෙල ගිහිල්ලා..."

බිඳුනු හඬින් ඉශාන් කීවේ මගේ ඇස් මගහරිමිනි. මට දුක සිතේයැයි ඔහුට සිතෙන්නට ඇත.නැත ඉතින් මා මේ සියල්ල දරා ගමි.මා එය ගනන් නොගත් බව අගවනන්ට ඔහේ සිනා සීමි. ඊට පසු මා එකම සැරයක්වත් තාරා ගැනවත් දෙනුවන් ගැනවත් ඔවුන්ගෙන් ඇසුවේ නැත.ඔවුන් මට කිසිවක් කීවේද නැත. අනුහස් අයියා එනතුරුම මට තනි රකිමින් හිද ඔවුන් පිටව ගියේ ඒ සිටි පැය ගානේම මා සිනහවෙන් තබාය.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
තවත් දින කීපයක් රෝහලේ සිටි මා ඉන් පිටත් වූයේ ගතින් මෙන්න සිතින්ද වෙනස් වූ අයෙකු පරිදිය.හිසේ මැහුම් කපා බැන්ඩේජ් ගැලවූ පසු එකදු කෙස් ගසක්වත් නැති හිස මම දෝතින්ම පිරිමැද බැලීමි.තව මාස දෙක තුනකින් හිසේ අති කැළැල් වැසී යන්නට හිස කෙස් වැවෙනු ඇත.දින විස්සකට පසු මා නැවතත් ගෙදරට අඩිය තැබුවේ නැවත ඉපදුනු අයෙකු මෙන්ය.ඒ මා රෝහලේ උන් දින කීපයේම තාරා මා බලන්නට ආවේ නැත. අනුහස් ආවේද නැත. මුලදි මුලදි මග බලා සිටියද අවසන මා එය අත්හැර දැමීමි.කවුරු කෙසේ කීවද තාරාට මගේ මුහුණ බලන්නට නොහැකියාවක් ඇතැයි මා විශ්වාස කලෙමි.ඒ කවුරුන් නොදැන සිටියත් මා දෙනුවන්ට පෙම් කල තරම් ඈ දන්නා නිසාය.මා ඔහුට පෙම් කල බව දෙනුවන් පවා දැන් දන්නේය.එයට දෙනුවන් කොහොම ප්‍රතිචාරා දැක්වු වාදැයි මා දන්නේ නැත. ඔහු පුදුම වන්නට ඇත මට හිනැහෙන්නට ඇත.ඔහු මට බිඳක්වත් ආදරේ කලාදැයි නොදැනම මේ ආදරේට සමු දෙන්නට මට ඉතින් දැන් සිදුවේ. ඔහු හා බැඳුණු සියලු මතක හදවතේ භුමදාන කර මම නැගී සිට ගතිමි

ඉතින් ඊටත් පසු උදා වුන එක සොඳුරු උදෑසනක මා අනුහස් අයියාගේ නීත්‍යානුකූල බිරිඳ වීමි.මඟුල් ඇඳුම් , මංගල පෝරු , ජයමංගල ගී කිසිවක්ම නැතුව ලා රෝස පාට සාරියකින් හැඩව ලෙඩ කෙල්ලක ලෙස මා අනුහස් අයියාගේ අත ගතිමි.මට මා ගැන දුකක නොදැනුනිද අනුහස් අයියා ගැන මහා දුකක් දැනුනි.මා නිසා ඔහු ජීවිතේ මොන තරම් කැපකිරීම් කරනවාද... යහලුවන් පිරිවරා සොඳුරු මනමාලයෙකු වන්නට දැකි හීන මා නිසා ඔහුට අහිමි විය. එහෙත් ඒ ඇස් වල දුකක් නැත. හැමදාමත් මෙන් ඇත්තේ ආදරයම දයාවම පමණි.

ලියාපදිංචිය හමාරව රෙජිස්ටාර් වරයා නික්ම ගිය තැන සුදු අයියා මා දෑතම සිප ගත්තේය.

" කියන්න සුදු නංගී මේ දේ මෙහෙම වුන එක ගැන ඔයා දුකින්ද.....මෙහෙම නොකර Canada යන්න බැරි නිසා අද මේ දේ මෙහෙම කරන්න උනේ...අපි එහෙ ගියාම ඔයාට ගොඩක් සනීප උනාම ලස්සන වෙඩින් එකක් ගමු හොදේ..."

" නෑ සුදු අයියා .... මම දුක් වෙන්නේ ඔයා ගැන... මෙ කාලකන්නි කෙල්ල නිසා අයියට ගොඩක් දෙවල් නැති වෙන්නවා..මම... මම...."

සුදු අයියා තවත් මුකුත්ම කියන්නට නොදී මගේ මුව සුරතින් වැසීය.

" ඔයා මට මැණිකක් රත්තරං.... එදා ඉදන් අද වෙනකනුත් මම හුස්ම ගත්තේ ඔයා වෙනුවෙන්....එක තප්පරේකටවත් ඔයා මගේ නෙවෙයි කියලා මේ ජීවිතේදී මම හිතලා නෑ...අද ඒ මැණික සදහටම මගෙ උනා... ඉතින් ඊට වැඩිය මට මොනවද ඕනෙ මේ ජීවිතේට..."

මා වැටී ඒ සුදු දෙපා නැමදීමි. අදින් පසු මේ සෙවන යට සැනසෙන්නට ඉතින් මා ජීවත් වෙමි.

අම්මා පැමින මා නැගිටුවා අප දෙදෙනාවම බදාගෙන හඬන්නට විය.

" චී... නැන්දා... ඇයි මේ අඬන්නේ.... මේ හිනා වෙන්න ඕන වෙලාවක්නේ....."

අනුහස් අයියා අම්මගේ කඳුලු පිසිමින් පැවසීය.

" මේ සතුටු කඳුලු දරුවෝ...මගේ ආයුශත් අරන් සතුටින් ඉදහල්ලා..."

ඇය එසේ කීවේ අප්‍රමාණ දරු දුකින් හා සෙනෙහසින් බව අප දෙදෙනාම දනිමි.

අනුහස් අයියා අම්මා ඔසවා වටයක් කැරකවුනේ අම්මා සිනා සිසී කෑ ගසද්දීය.දුක්බර කාලයක් අවසන මෙසේ සිනා සංහිඳියාවක් දකින්නට ලැබීම ගැන අප සැමගේම හිත වල සතුටක් තියෙන්නට ඇත.

" මාව බිමින් තියන්න දරුවෝ.... මතක නැද්ද හවස තුනට අපි Air Port ඉන්න ඕනේ.... තව ගොඩක් වැඩ තියෙනවා කරන්න..."

අම්ම කියූ ඒ දේ ඇසීමත් සමඟ ආයෙත් මා කල්පනාවකට වැටීමි.තව පැය කීපයකින් මා මේ රට හැර සදහටම ඉඟිල යමි.අලුත් යුවල පිළිගනන්ට එහෙ මාමාත් නැන්දාත් මග බලා සිටී.හිතට දුකකුත් සතුටකුත් එක වරම දැනෙන්නට විය.සියල්ල සිදු වූයේත් හමාර වූයේත් යලි ඇරඹුනේත් මොන තරම් කෙටි කාලයකින්ද.අලුත් රටක අලුත් පරිසරයක හෙටින් පසු ඇරඹෙන නව දිවිය ඉඳුරාම සුන්දර බව මා දනිමි.එහෙත් නොදැනෙන නොහැගෙන ආගන්තුක බියක් තිගැස්මක් මා වටා විය.හැමදේටම මුහුණ දෙන්නට මා නැවත නැවත හිත හදා ගතිමි.

අනුහස් අයියා අසල ගැවසෙද්දී වෙන කවරදාවත් නොදැනුන මහා කෝල ගතියක් හිතට වද දෙන්නට විය.ඒ බැල්මේ වෙනසක් නොවූවද මම උවමනාවෙනම් ඒ ඇස් මඟ හැරීමි.මගේ වෙනස සුදු අයියාට දැනෙන්නට ඇත. ඔහු හොරැහින් හිනැහෙනවා මම දුටිමි.දැන් ඔහු ඉතින් මගේ සදාදර සැමියා බව මගේ හිත පිලිගන්නට සූදානම් වෙන සෙයකි.එය සිහිව මටද සිනා නැගේ.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ගුවන් යානයේ අම්මාටත් අනුහස් අයියාටත් මැදිව වාඩි වූ මා සුලු මොහොතක් හුස්මක්වත් නොගෙන බලා සිටියෙමි.සියලු සොඳුරු වූත් දුක්බර වූත් මතක සියල්ල මේ බිමේ අතැර ඉතින් මා තව මොහොතකින් යන්නට යමි.පපුව කඩාගෙන ඇස්වලට කඳුළු එන්නට හදයි එහෙත් මා දරා ගතිමි.දැන් මගේයයි කියන්නට කිසිවෙක් මේ බිම නැත. මගේ වූ සන්තකය මා දෙපසින් වේ. ඊට වඩා වටිනා දෙයක් මට තියෙන්නට විදියක් නැත.මා දෑස් පියා අම්මගේ අත තරයේ අල්ලා ගෙන අනුහස් අයියාගේ වතට තුරුළු වීමි.මොහොතකින් යානය ගුවන් ගත විය.ඉතින් සියල්ල සියලු දෙනාට සුභ වේවායි මා ඉත සිතින් පැතීමි.

~~ මතුසම්බන්ධයි~~

Jun 8, 2012

ඉකිබිඳින්නද මුදු පැළැන්දේ.......



පණසේම රැක ගතිමි පාරිශුද්ධත්වය
බොඳ කලේ නෑ ඒත් යහන මත පිරුවටය
දෙවෙනි ගමනට එලූ සුදෝ සුදු පාවඩය
ඉරාගෙන මතුවුනා රතු රෝස කටු පොකුර

රොස්පරොස් බැලුම් හා අවලාද අපහාස
හදවතට එල්ල කල වෙඩි උණ්ඩ වරුසාව
සනුහරේ උන් නගන සමච්චල් සිනා හඩ
ගිනි ගෙයක් වුනා මුඳු කුළගෙයම පළමු දින

ඔප්පු කර ගත නොහී සැගව ගිය සාක්ෂිය
තට්ටුකර රිදවාවි හැමදාම හදවතට
මියෙන තුරු එල්ල වන සාවද්‍ය චෝදනා
හිමිකමයි මා ලැබූ යුග දිවියෙ සොඳුරු වූ




මේක ගොඩාක් ඉස්සර ඒ කියන්නෙ මීට අවුරුදු දහයකට විතර කලින් මගේ අතින් ලියවුන කවියක්.මීට කලින් මන් මේක ගොඩක් තැන් වල දාලත් තියෙනවා. මේ සැරේ අර බක්මහ උලෙලේ ඔන් ලයින් තරගෙටත් මම ඉදිරිපත් කලේ මේ කවිය තමා.මේ කවිය කලින් කියවපු අය ඇහුවා මගෙන් මේක මගේ අද්දැකීමක්ද කියලත්.අනෙ අම්මෝ මේක කීයටවත් මගේ අද්දැකීමක්නම් නෙවෙයි. ඒත් ඒ කාලේ මම මේක ලිව්වේ පුංචි සිද්ධියක් නිසා.මේක අද මට ලියන්න හිතුනෙත් මේ කවිය ලියන්න හේතු වුන ඒ සිද්ධියට අදාල කෙනෙක් ගොඩක් කාලෙකට පස්සෙ මට මේ ළඟදී මුණ ගැහුණා.වෙන කවුරුවත් නෙවෙයි ඉතින් ඒ මගේ පාසල් කාලේ අපේ කල්ලියේ හිටපු මගේ හොදම මිතුරියන්ගෙන් කෙනෙක්.


ඒ අපි උසස්පෙළ කරලා ගෙදර ඉන්න කාලේ.අපේ කල්ලියේ හිටියා හත් දෙනෙක් ඒ හත් දෙනාගෙන් මුලින්ම විවාහ වෙන්න හිටියේ මේ කියන මගේ මිතුරිය තමා.අවුරුදු පහළොවේදී විතර අරඹපු ප්‍රේම කතාව A/L වලින් පස්සේ හමාර කොරලා එක වහලක් යටට වෙන්න තමා එයාලගේ කල්පනාව තිබුනේ.මේකි කසාද බඳින්නත් හදනවා ඒත් ඒ වෙනකොට මමනම් ආදරේ කලුද සුදුද කියලවත් දැනගෙන හිටියේ නෑ.ඔන්න දැන් දෙපැත්තෙම අය මෙයාලගේ විවාහයට කඩිමුඩියේ සූදානම් වෙනවා. ඒ අස්සේ මගේ යෙහෙලිය ඉස්කෝලෙත් එනවා හිටපු ගමන්.ඔන්න ඔහොම ආපු දවසක එයා කතාවක් බහක් නැතුව මූඩ් ගහගෙන හිටියා.මම ඉතින් ළං වෙලා ඇහුවා මොකද කියලා.ටිකක් වද කරලා ඇහුවම එයා කියපු කතාවට මට කියන්නේ මොනාද කියලවත් හිතා ගන්න බැරි වුනා.මෙන්න මේකයි කතාව.


දඩිබිඩියේ විවාහ කටයුතු ලෑස්ති වෙන අස්සේ ඔය ඇදට එළන සුදු රෙද්ද ගැනත් කතා ඇති වෙලා තියෙනවා.ඉතින් ඔය කතා අතරේ මගේ යෙහෙළිය එයාගේ පෙම්වතාගෙන් නිකමට වගේ මෙහෙම අහලා

" නිකමට හරි ඔය කියන දේ එදාට මට තිබුනේ නැත්තං ඔයා මොකද කරන්නේ...?"

එතකොට එයාගේ පෙම්වතා කියලා

" ඒක අනිවර්යයි .... ඒක තියෙන නොතියෙන අනුව තමා ඔයාගේ හෙට දවස තීරණය වෙන්නෙ...."

එයා කියපු ඒ දේ නිසා මගේ යෙහෙළිය හිටියේ එයා ගැන කලකිරිලා වගේ.

" පුංචි කාලේ ඉදන් මම මැරීගෙන ආදරේ කලේ මේ වගේ කෙනෙක්ටද කියලා මට හිතෙනවා කවී... මම ඒක ඇහුවේ විහිළුවට එහෙම නැතුව මම වරදක් කරගෙන නෙවෙයි.. ඒත් බලන්න එයා දීපු උත්තරේ... නිකමට හරි මගේ මොන කරුමෙකට හරි ඕක නොතිබුනොත් එයා මාව එළියට ඇදලා දාවි නේද...ඒතකොට අවුරුදු ගාණක් අපි කරපු ආදරේ තේරුම මොකක්ද කවී..."



එයා මගෙන් එහෙම ඇහුවට සමනල පිහාට්ටක් වගේ සැහැල්ලුවෙන් හිටපු මට ඒ කාලේ ඔය දෙවල් ගැන අවවාද දෙන්න, උත්තර දෙන්න තරම් ලොකු දැනුමක් තිබුනේ නෑ . ඒත් එයාගේ කඳුලු මාවත් සීතළ කලා. මම ඒක විහිලුවක් හැටියට හිතලා වැඩිය නොහිතා ඉන්න කියලා එයාගේ හිත හැදුවා.ඊට සතියකට දෙකකට විතර පස්සේ මගේ අතින් ලියවුනේ ඔන්න ඔය උඩ තියෙන කවිය තමා.


ඉතින් ඔන්න ඔය යාලුවා තමා මට ගොඩක් කාලෙකට පස්සේ ආයෙත් අහම්බෙන් මුණ ගැහුනේ. දෙවියන්ගේ පිහිටෙන් එයාට අර වගේ කරදරයකට මුහුණ දෙන්න උනේ නම් නෑ. අද එයාලා බොහොම සතුටින් ජීවත් වෙනවා. බබාල දෙන්නෙකුත් ඉන්නව දැන් එයාට. ඒත් එදා එයාට එයාගේ පිරිසිදු බව ඔප්පු කරන්න බැරි වුනානම්.......????

Jun 6, 2012

දෙනුවන් අනුහස ... දහවන සජ්ජායනාව


සමහරුන්ට දැන් මේ කතාවේ මුල අමතකත් වෙලා ද දන්නේ නෑ.ඒ නිසා අද හිතුවා කතාව පොඩ්ඩක් මතක් කරන්න.කතාව පටන් ගන්නේ කවිති හොස්පිටල් එකක ඉන්නවා එයාට සිහිය එනවා එයාට කිසි දෙයක් හරියට මතකයක් නෑ එයා සිහිය ආවම එයාගේ මතකය අලුත් කර ගන්න පහුගිය අතීතය මතක් කරනවා.... එයාට දෙනුවන්ව ඉස්සෙල්ලාම මුණ ගැහුණ තැන ඉදන් එයාට හොස්පිටල් එකක සිහි නැතුව ඉන්න තරම් දෙයක් වුණ සිද්ධියට වෙනකං හැම දෙයක්ම එයා තනියම ආවර්ජනය කරනවා.

ඉතින් දැන් අද ඉදන් යන්නේ මෙ කතාවේ වර්තමාන සිද්ධි. දැන් කවිතිට සිහිය ඇවිත් අපි බලමුකෝ ඊළඟට වෙන්නෙ මොකද කියල.







ඉතිං මා සිහි එළවා ගතිමි.දින හෝ සති ගණනාවකට පසු මා රෝහල් සයනයක් මත නැවත ජීවිතය ලබමින් සිටිමි.සිහි ලද මොහොතේ සිටම ඝණ අන්ධකාරයම පමණක් පෙනෙන දෑස් වලින් මා ගෙවුණු අතීතය සිතුවම් පටක් සේ නැරඹීමි.සියල්ල හමාර කරන්නට සිතා අමු අමුවේ දෑස් වලට කතුරු තුඩින් ඇනගත් හැටි සිහිව ඉහ මොල ඇඳුම් කන්නට විය.ටෙලිනාට්‍යක චිත්‍රපටියකවත් ලේ වැගිරීමක් බිහිසුණු දර්ශනයක් නොබලන තරමට අතිශය සංවේඳී වූ මා මෙවන් කුරිරු දඬුවමක් මටම දී ගන්නට තරම් කුරිරු වූයේ කෙසේදැයි මටම දැන් අදහා ගන්නට නොහැක.දෑසත් හිසත් වසා මුලුමනින්ම වෙලා ඇති වෙලුම් පටි වලට යටින් හිස මහා ගොඩක් රිදෙන්නට විය.මා හිස බදා මහා හඩින් කෑ ගැසීමි.


" අම්මා...... අනේ අම්මා......"


හැකි වෙර යොදා මා කෑගැසීමි.එ සැනින් හුරුපුරුදු දෑතකට මගේ දෑත සිරවිය.


" සුදූ........ මගෙ නංගී.....


ආවරණය කරපු දෑසට ඔහු නොපෙනුනත් ඒ එකම වදනින් ඔහු හඩන බව මට දැනුණි.


" සුදු අයියා.... මං කොහෙද මේ ඉන්නේ... ඇයි මට කිසි දෙයක් පේන්නෙ නැත්තේ ... ආයේ කවදාවත් මගේ ඇස් පේන්නෙ නැද්ද අයියා....මගේ අම්මා කෝ... අනේ අම්මට එන්න කියන්න...."


" මගෙ නංගී.... මගෙ වස්තූ...දඟලන්න එපා... කලබල කරන්න එපා... මේ අහන්න ඔයා මේ ඉන්නේ හොස්පිට්ල් එකක.ඔයාට ලොකු Operation දෙකක් කරලා ඉන්නේ... දවස් දොළහකට පස්සෙයි අද ඔයා මේ වචනයක් කතා කරන්නෙ..... "


යහනෙන් නැගිට ගන්නට දඟලන මා ඒ වතට තුරුල් කරගෙන සුදු අයියා මා සංසුන් කරන්නට වෙහෙසුණි.දවස් දොළහක්..... දෙවියනි... දවස් දොළහක් මා ජීවිතයත් මරණයත් අතර සටන් කරන්නට ඇත.ඒ දවස් ගණනාවට මටත් වඩා මට පෙම් කල වුන් මැරි මැරී ඉපදෙන්නට ඇත.සුදු අයියාගේ මේ ඉකිබිඳින හඬන තැවෙන හඬ එයට ඕනාවටත් වඩා සාක්ෂිය.


" අම්ම කෝ සුදු අයියා..... "


" මේ දවස් දොළහට අම්මවත් මමවත් ඔයා ළඟින් හෙලවුනේ නෑ... අද ඔයාගේ මැහුම් කපනව රත්තරං.... අම්මා ගියේ පන්සලට ගිහින් එන්න..."


දැන් මේ වන්නේ මොනවාදැයි මට හරියටම තේරුමක් නැත.සුදු අයියා මට Operation දෙකක් කලායැයි කීවාට ඒ කොහෙටද මොකටදැයි මා දන්නේ නැත.කිටි කිටියේ බැන්ඩේජ් වලට තද වුන හිසේ සියුම් නාළිකා යාන්තමට පණ ගැහෙනවාක් මෙන් මට දැනේ.මම නැවතත් දෝතින්ම හිස බදා ගතිමි.


" කිසිම දෙයක් හිතන්න යන්න එපා පැටියෝ... ඔහොමම ටිකක් හාන්සි වෙන්න ... මම ඔයාට සිහිය ආවා කියලා Docter ට කියන්න ඕනෙ.."


ඔහු මා යහනේ හාන්සි කර කාමරයේ අභ්‍යන්තර දුරකතනයෙන් හෙදියක් අමතා මොනවාදෝ කියවයි. මා එහෙමම දෑස පියා ගතිමි.තාරා කෝ... දෙනුවන් කෝ ඔවුන් මා බලන්නට ආවාද....හිතේ දාහක් ප්‍රශ්න ය. එහෙත් ඒවා අසන්නට මේ සුදුසු වෙලාව නොව.ඉතින් මා ඉවසා සිටියෙමි.


" හෙලෝව්... දූ කවිති.... කොහොමද ඔයාට දැන් ....? "


එක පාරටම ඇසුන ආගන්තුක හඬකින් මා තිගැස්සී ගියෙමි.කවුද කින්ද මන්දැයි කියා තෝරාගන්නට දෑස් නොපෙනෙන මා ඔහේ නිහඬවම සිටියෙමි.මොහොතකින් ඒ හඬ ඇති පුද්ගලයා මගේ යහනේ තැනකින් වාඩි වී මගේ දකුණත අල්වා ගති.


" දූ ... කවිති... මම තමයි ඔයාව භාරව ඉන්න ඩොක්ටර් ජයසිංහ...."


කුතුහලයෙන් සිටි මා ඒය ඇසූ පසු ඩොක්ටර්ගේ අත සුහදව අල්ලා ගතිමි.


" ඉතින් මට කියන්න ... දැන් කොහොමද ඔයාට දැනෙන්නේ... ඇගට පතට මොනා හරි අමාරුවක් දැනෙනවද... ලේසි නෑ ඔයා මේ ලොකු නින්දකින්නෙ ඇහැරිලා ඉන්නෙ.."


දෑසින් නොදැක්කද ඔහු වෛද්‍යවරයෙකුට වඩා බොහෝ ළෙංගතු අයෙකු මෙන් මට දැනුනි.


" කෝ .... කෝ ... කතා කරන්න ඉතින්.... ඇස් බැන්දට අපි ඔයාගේ කට බැඳලා නෑ ... නේද අනුහස් පුතා...."


මා තවමත් නිහඬ නිසා ඔහු එසේ කීවේ අනුහස් අයියාවද හිනස්සන්නට විය යුතුය.


" කවිති දුව... මේ අහන්න... මම ඔයාගේ තාත්තගෙයි අම්මගෙයි හොද යාලුවෙක්... ඉද්දමල්ගොඩගෙ දුවව මගේ හොස්පිට්ල් එකේදී අර විදියට දැක්කම මම පුදුම වුනා....මම ඩොක්ටර් කෙනෙක්... ඒ වගේම ඔයාගේ තාත්තගේ වයසේ කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ට කියනවා වගේ මම දැන් මේ ටික ඔයාට කියන්නේ... ඔයා අහගෙන ඉන්න ඕනෙ හොදද..."


මම හිස වනා එය පිළිගතිමි.


" ඔයාව මෙහෙට ගේනකොට ඔයා හිටියේ බේරගන්න අමාරු තැනක... ඔයා දන්නේ ඔයා තුවාල කර ගත්තේ ඔයාගේ ඇස් දෙක විතරයි කියලනේ... ඔයා සිහි නැතුව වැටිලා තිබුනේ මාලු ටැංකියක් පෙරලගෙන..වීදුරු කටු ඇනිලා ඇස් දෙකට වැඩිය ඔයාගේ මොළයට බරපතල හානි වෙලා තිබුනා...අපි ඔයාගේ ඇස් අමතක කරලා ඉස්සෙල්ලා කලේ ඔයාගේ ජීවිතේ බේරගන්න ඔලුව පුරා ඇනිලා තිබුන වීදුරු කටු අයින් කරන්න ඔයාව Operation කරපු එක...."


ඩොක්ටර් ජයසිංහ නැවතිල්ලේ දොඩයි.මා හිරිවැටිගියෙමි.හිස පුරා වීදුරු කටු ඇනී ලේ ගලමින් වැටී සිටින මාවම මා මවා ගතිමි.


" ඒ Operation එක සාර්ථකයි... ඒත් අපිට ඔයාගේ ඇස් වල පෙනීම ගන්නනම් බැරි වුනා...ඒත් දුව ඔයා දුක් වෙන්න එපා.... ඔයා වගේම ලස්සන ගෑණු ළමයෙකුගෙ ලස්සන ඇස් දෙකක් අපිට ලැබුනා ... අපි ඔයාට ඒ ඇස් බද්ධ කලා....අද අපි ඔයාගේ බැන්ඩේජ් ගලවනවා.... ඉතින් අදින් පස්සේ ඔයාට පුලුවන් අලුත් ඇස් දෙකකින් අලුත් විදියට ජීවිතේ දිහා බලන්න...."


අහිමි වුන මගේ දෑස ගැන කම්පා වන්නද වෙනත් දෑසක් ලැබීම ගැන සතුටු වෙන්නද කියා මට නිනව් නැත.හඩන්නටවත් හිනා වෙන්නටවත් නොහැකිව මම බලා සිටියෙමි.


" මේ ටිකත් අහගන්න දුව.... වෙච්ච කිසිම දෙයක් ආයේ ආයේ මතක් කර කර දුක් වෙන්නවත් අඩන්නවත් තියාගන්න එපා...තවමත් ඔයාට හරියට මොළය වෙහෙසන්න හොද නෑ.... ඔයාගේ අම්මා... ඔයාගේ සුදු අයියා.. ඔයාගේ යාලුවෝ ඔයා වෙනුවෙන් මේ ටිකට අනන්ත දුක් වින්දා... කැපකිරීම් කලා...එයාලා ගැනවත් හිතලා ඔයා හොදින් ඉන්න ඕනෙ... අපි කොච්චර ඇඩුවත් හැපුනත් අපිට අයිති නැති දෙවල් අපිට අයිති නෑමයි දරුවෝ...එයාලගේ සතුට එයාලට දීල ඔයා ඔයාට අයිති සතුට ළං කර ගන්න...දැන් මේ දකින්න යන ඇස් වලින් ඔයා දකින්න ඕනෙ අලුත් ලෝකයක් ... තේරුනාද....මේ ළඟ ඉන්න කෙනාට වැඩිය හොද කෙනෙක් මේ ලෝකේ කොහේවත් ඔයාට නෑ දුවේ...මේ ටික මම කිව්වේ ඩොක්ටර් කෙනෙක් විදියට නෙවෙයි තාත්තෙක් විදියට..."


සැබැවින්ම ඒ අත බැන්ඩේජ් කල මගේ හිස පුරා දිව ගියේ අප්‍රමාණ සෙනෙහසින් විය යුතුය.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


ඉතිං වෙනත් කෙනෙකුන් දන් දුන් ඇස් දෙකකින් මා මගේ අලුත් ලෝකය දකින්නට සූදානම් වුනෙමි.පෙන්නුවේ නැති වුනාට මහා තිගැස්මක් මසිතේ විය.ඒ තිගැස්මම අම්මාගේ සුදු අයියාගේ පමණක් නොව වෛද්‍යවරයාගේ හිතේද ඇතුවාට සැක නැත.ටිකෙන් ටික ලෙහෙන බැන්ඩේජ් පටි අස්සේ මගේ ඉරණම ලියා ඇති සේය.


" එක පාරට ඇස් අරින්නේ නැතුව වෙලාව අරගෙන හිමිහිට හිමිහිට අරින්න දුව..."


සියලු පටි ලිහී ගිය තැන ඒ උපදෙස ඩොක්ටර් ජයසිංහගෙනි.හිතූ තරම් ඉක්මනට ඇස් පියන් අරින්නට කොහොමත් බැරි සෙයකි.ඇහි පිහාටු වල මැලියම් ගෑවාක් මෙනි.විනාඩියක් දෙකක් හෝ තුනක් ගෙන මා හිමිහිට ඇස් විවර කළෙමි.බොඳ වුන මිනිස් රූප තුන හතරක් ටිකෙන් ටික සම්පූර්ණ වන්නට විය.හැම මුහුණක්ම පරදවා සුදු අයියාගේ සුදු මූණ මා ඉදිරියේම දිස් වුණි.ඒ ඇස් වලින් අමු අමුවේ හෝ ගා කඳුළු කැට වැටුණි.අම්මා මහා හඬින් ඉකි ගසමින්ම මට ළං විය.අනේ මා මේ හිත් වලට දුන් ගින්දරක්...


ඩොක්ටර් ජයසිංහයනුත් හෙදියන් කීප දෙනෙකුත් හැරෙන්නට මා බලාපොරොත්තුව උන් කිසි කෙනෙක් කාමරයේ උන්නේ නැත.අනේ තාරා ඔයා මාව මේ තරම් ඉක්මනට අමතක කලාද....?
දෙනුවන්ට මා නොවැදගත් බව සැබෑය. එහෙත් අර තරම් ළඟින් උන් තාරාට මට මේ තරම් දෙයක් සිදුවී තිබියදීත් මා දකින්නට නෑවිත් සිටින්නට තරම් හිත හදා ගන්නට කොහොම හැකි උනාදැයි මා දන්නේ නැත.තාරාත් දෙනුවනුත් එකට ඉන්නවා දැක මා මේ අනතුර කර ගත් බව කිසිවෙකුට රහසක් නොවන බව විශ්වාසය.මෙයට ඔවුන් වග කියන්නට ඕනෑයි සිතා මෙලෙස ඇය මා මගහරිනවා වන්නටද ඇත.


මේවා හිතන්නට තරම් නිවනක් මෙතන නැති වුවද හිත හතර අතේ දුවයි.


" ශා.... මේ ඉන්නේ කෙල්ල ලස්සනට.... දුවගේ පොටෝස් වලින් කලින් හිටපු ඔයාව මම දැක්කා ... ඒත් මට හිතෙන්නේ මේ ඇස් තමා ඔයාට ගැලපෙනම ඇස්...ඇත්තටම දැන් ඔයා හිටියට වැඩිය ලස්සනයි...."


ඒ ළෙංඟතු හඬ හිමි කාරුණික වෛද්‍යවරයාව ඔහුම මට දුන් අලුත් ඇස් වලින් මා සිත්සේ බලා ගතිමි.


" අනුහස් පුතා... කෝ ඔය කන්නාඩිය අල්ලලා මේ කෙල්ලට පෙන්නන්න එයාගේ අලුත් ඇස් දෙක..."


හුරුබුහුටි කණ්නාඩියකුත් රැගෙන මා අසලට ආ අනුහස් අයියා සැවොම බලා සිටිද්දී මොහොතකට මා තුරුල් කර ගති.ඒ ඇස් මේ තරම් හඩන්නේ සතුටටැයි මා විශ්වාස කළෙමි.


" ඔයාව ඇස් දෙක වගේ බලා ගන්න මම මගේ හිතට පොරොන්දු දීල තිබුන. ඒත් එක විනාඩි ගානක පරක්කුවෙන් ඒ ඇස් දෙක රැක ගන්න මට බැරි වුනා...ඒත් දැන් මේ ඇස් දෙක දිහා බලල මං පොරොන්දු වෙනවා... මගේ පණ ගියත් මං මේ ඇස් දෙක පරිස්සං කරනවා..."


සුදු අයියා කී ඒ කතාවට අලුත් ඇස් වලට බලා හිදිද්දී කඳුළු පිරෙන්නට විය.මා අපමණ සෙනෙහසින් සුදු අයියාට තුරුළු වීමි. ඒ අතිශය සංවේඳී මොහොතකි.බලා උන් සැවොම නෙතට ඉණු කඳුළු රහසින් පිස දැමීය.මා නෙතු පිරි කඳුලු ඒ දෑතින් පිස දමා අනුහස් අයියා කණ්නාඩිය මා දෑස ඉස්සරහට ගෙනාවේය.එකදු කෙස් ගසක්වත් නැති හිස බැන්ඩේජ් වලින් වෙලා තිබුනද ඒ ඇස් වලට මා බොහෝ හැඩට දිස් විය.ලා නිලට හුරු ඒ දිගු ඇස් මට දෙනුවන් සිහිකරවීය.සුදු අයියා මා දෑස් දෙසම බලා හිදී . සැනෙකින් මා ඒ සිතුවිල්ලෙන් මිදී කණ්නාඩියෙන් පෙනෙන මගේ රුවට හිනැහීමි.


" ඔන්න දැන් මගේ පේෂන්ට් ඔයාලට බාරයි...ඒ උනාට ඔලුවේ බැන්ඩේජ් කපන්න තව දවස් තුන හතරක්වත් යනවා....ඒ වෙනකොට මෙයාට අලුත් ඇස් වගේම අලුත් ජීවිතේකුත් ලෑස්ති කරන්න ඔයාලට පුලුවන් වෙයි...මේ දවස් ටික හොදට Rest කරලා ඔයත් ඒ අලුත් ජීවිතේ බාර ගන්න සූදානම් වෙන්න හොදද..."


අම්මාටත් අනුහස් අයියාටත් මටත් එක වරම අමතා එසේ කියා ඩොක්ටර් ජයසිංහ මගේ කම්මුලකුත් මිරිකා යන්නට ගියේය.


~~ මතුසම්බන්ධයි ~~
















ප/ ලි - අද කොටස ටිකම ටිකයි හොදේ.. ඔන්න දැන් කට්ටිය මාව මරන් කන්න ලෑස්ති වෙන්න එපා මේ ටික ටයිප් කර ගත්තෙත් හරිම අමාරුවෙන්. ඒ මොකද කියනවනම් තාමත් මම ඉන්නේ ලෙඩ මරගාතේ.උණනම් සනීපයි ඒත් කැස්සයි ඔලුව කැක්කුමයි තවම හරියට හොද නෑ. එක දිගට කොම්පීතලේ දිහා බලන් ඉන්න බෑ පුලු පුලුවන් වෙලාවට ටික ටික ලොග් වෙලා තමා යාලුවන්ගේ බ්ලොග් වලට යන්නෙත් සමහර පෝස්ට් එහෙමත් මිස් වෙලා මට ඒවත් කියවන්න ඕනෙ හිමින් හිමින්.ඒ අතරේ කතාවත් ටිකක් ටයිප් කර ගත්තා මොකද කට්ටිය කෝ කතාව කෝ කතාව කියලා අහන නිසා.ඔන්න එහෙනම් මේ ටික කියවලා ටිකක් කූල් වෙන්න හොදේ ඉක්මනටම දිගම දිග කොටසක් දෙනකන්.






























ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...