සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Jul 30, 2012

බිනර සඳ පායා ඇවිත් .....( කෙටි කතාව )






                    

                           බිනර සඳ පායා ඇවිත් !

බණ්ඩාරවෙල ටවුමට ඇවිත් බස් එක නවත්තනකොට නම් ධාරාණිපාත වරුසාව නැවතිලා තිබුනෙ.ඒත් මහ දවාල වෙලත් පරිසරය පුරාම තිබුනෙ මහා අඳුරක් ඒ මදිවට සීතළ.ගමන් මල්ල පිටේ එල්ල ගෙන මම බස් එකෙන් බිමට පැන්න. පාර පුරාම මඩ කඩිති මහ ගොඩක්.මම පාත්වෙලා ඩෙනිම් කලිසම දණහිස ගාවට නවන ගමන්ම පුරුද්දට වගේ පාරෙන් එහා පැත්ත බැලුව.රතු පාට ඩිස්කවරි එක උඩට වෙලා දෑතම ළයට බැඳගෙන මං දිහාම බලාගෙන උන්නෙ බිනර. හ්ම්.... අදත් මල්ලිව එවල අයිය මාරු වෙලා වගේ.....හිතට ආපු කේන්තිය එහෙමම තියාගෙන පාර දෙපත්තවත් නොබලම මම අඩියට දෙකට පාර පැන්න.

 කෝ අයිය

 බදුලු යනව කියන්න කිව්ව

 ඇයි එයාට වෙන දවසක් ඇත්තෙම නැද්ද මම ගමට එන දවසෙම එයා පිට යන්නේ

 දන් නෑ

බිනර එසේ කීවේ දෙවුර හකුලවා සැහැල්ලුවෙනි. මට යකා නැග්ගේය.

 දැන් මගුලටද තමුසෙ ආවේ

පුපුරු ගසන කේන්තියෙන්ම මා බිනරට දමා ගැසීමි.

බිනරගේ සුදු මුහුණ බලා ඉදිද්දී රතුම රතු විය.මගේ මේ හැසිරීම් කියුම් බස් කවදත් ඔහුට අප්‍රසන්න බව මා දනිමි.

 මට අයිය කිව්වෙ නිකිණිව ගෙදරට ගිහින් දාන්න කියල

මට බොඩිගාඩ්ලා ඕනෙ නෑ මේ ටික යන්න ඒක ගිහින් තමුසෙගෙ අයියට කියනව මම කිව්ව කියල

බිනරට ගසන්නට බැරි පය උස්සා ඔහු හිද උන් බයිසිකලයට වැරෙන් පහරක් ගසා මා යන්නට හැරුනි. මට මේ තරම් කේන්ති එන්නට මේ සිද්ධිය අද ඊයේ වන්නක් නොව මා පේරාදෙණියේ සිට ගෙදර එන සෑම සති අන්තයකම වන්නේ මේ ටිකය.බසයෙන් බැස පතනය දිගේ ගෙදරට යන මේ කිලෝමීටර් දෙක මා බයිසිකලයේ නැග යන්නට පෙරුම් පුරන්නේ ඇසළ සමගය.මගේ ඒ හීනයට තටු ලැබෙන්නේ එහෙමත් දවසකට පමණි.අනිත් හැමදාමත් මා එන පෙර මඟ සිටින්නේ ඇසළ නොව බිනරය. අදත් එවන් දවසකි.

පැය ගනනාවක ගමන් මහන්සිය , බඩගින්න , සීතළ සහ බලාපොරොත්තු කඩවීම් මැද මම කොටි දෙනක මෙන් වියරු වැටී උන්නෙමි. මග තොට අසුවන ගල් මුල් වලට පයින් පහර දෙමින් ඇසළට හිතින් බනිමින් මා හිතේ දුක යටපත් කර ගන්නට වෙහෙසුණෙමි.දැන් ඉතින් කීයටවත් මා බයිසිකලයට නග්ගා ගන්නට බැරි බව බිනර අද්දැකීමෙන්ම දනී.දඬුමොණරයෙන් බිමට බැස කඳු පල්ලම් දිගෙ හති දමමින් ඔහු මා පිටුපසින් අපේ ගෙදර තෙක්ම දැන් බයිසිකලය තල්ලු කරමින් එනු ඇත.මං නිසා අහක යන පරිප්පු කන ඔහු ගැන කවදාවත් මට සෙනෙහසක් අනුකම්පාවක් නොදැනේ. "මෝඩ වහන්සෙ " මා හිතින් බිනරට ඇති තරම් සිනාසෙමි.

                                    *     *      *     *      *      *    *     *

ඇසළයි බිනරයි කියන්නෙ මගේ ලොකු නැන්දගෙ පුත්තු දෙන්න.එකම වසරක එක ළඟ මාස දෙකක ඉපදුනු ඇසළත් මමත් ඉපදුන දා පටන් හිටියෙ එකටමයි.අපි ඉපදිලා අවුරුද්දකුත් මාස අටකට පස්සෙ මේ ලෝකෙට ආව බිනරට මම පුංචි සංදියේ ඉදන්ම අකමැති. මම එයාව දැක්කෙ අපේ පවුල් දෙකේ ඇසළටයි මටයි තිබුන ආදරේ අවධානය බෙදාගන්න ආව හතුරෙක් විදියට.පුංචි කාලෙ ඉදන්ම මගේ මුලු ලෝකෙම උනේ ඇසළ විතරයි.ඒ තැනට තව කාවවත් ගන්න මට උවමනාවක් තිබුනෙ නෑ.ඊටත් වැඩිය බිනර ඇසළ වගේ මම වගේ දඟයෙක් නෙවෙයි.කෙල්ලෙක් වෙච්ච මං ළඟවත් නැති අහිංසක කමක් තැන්පත් කමක් එයාට පොඩි කාලෙ ඉදන්ම තිබුනෙ.මෙන්න මේ වගේ ගොඩාක් හේතු නිසා දැනුම් තේරුම් තියෙන කාලෙ ඉදන්ම මට බිනර ගැන තිබුනෙ තරහක්.පවුලෙ එකම දරුව උන මම මගේ ගෙදරටත් වැඩිය හිටියෙ ඇසළලගෙ ගෙදර එයාගෙ ඇසුරෙ.මුකුත්ම නොදන්න පුංචිම කාලෙ මට ඇසළ වගේ අදින්නට ඕනෑ විය. ඇසළ මෙන් කොණ්ඩය කපන්න ඕනෑ විය. ඇසල මෙන් කොලු රැළට වැටී දුවන්න පනින්න ඕනෑ විය.වයසින් වැඩී වැඩුණු ගැහැණු ළමයෙකු වීද මගේ මේ පුරුදු අත්හරින්නට මට ඕනෑ කමක් නොවීය.ළඳ බොළද කෙළිකාරකම් හිතේ මතු උනද මම ඒවා ඕනෑ කමින් යටපත් කර ගතිමි.කරඳඩු උස් මහත් වෙද්දී කවදාවත් ආදරයක් ගැන අප කතා කර නොතිබුණද සහෝදර බැඳීමට එහා ගිය හැගීම් අප අතර අපටත් හොරෙන් හුවමාරු වන්නට විය.වටපිට බලා කාටත් හොරෙන් කම්බුලක් ඉබිද්දි , ලැබෙන පුංචි ඇසිල්ලක ඒ පපුවට තුරුලු කර ගනිද්දී ඉතින් ඒ ආදරය යැයි මා අදහන්නට වීමි.පුංචි කාලයේ මගේ ලොව වීරයා මගේ සෙනෙහස් විජිතයේ නිතරඟයෙන්ම අභිශේක ගැන්විණි.නෑනා කවදා හරි මස්සිනාටනේ කියා අප විවාහ කර දෙන්නට දෙමාපියන් අතරද සිහින සහ බලාපොරොත්තු විය.පසු කාලෙක ඒවා පොරොන්දු සහ ගිවිසුම් තරමටම දුර දිග ගියේය.එදවස වෙලාවක් කලාවක් නැතුව මම නැන්දලාගේ ගෙදර රැදෙද්දී අම්මාගෙන් එල්ලවන සියලු දොස්මුර වලින් නැන්දා මා බේරා ගත්තේ " අනේ ඉතින් මේ කෙල්ල කවදා හරි අයිති මේ ගෙදරටනේ " කියමිනි.
කාගෙන්වත් තහංචියක් නොවැටුණ අපේ  පෙම ඔහේ ගලන් යද්දි උසස් පෙළ ඉහලින්ම සමත් වෙලා මම පේරාදෙණිය කැම්පස් තේරෙද්දි , ඇසළව දාල යන්න බැරුව වරු ගානක් නාහෙන් ඇඬුව.ඇසළ බණ්ඩාරවෙල ටවුමෙම ඇඟලුම් ආයතනයක රැකියාව තෝරගෙන ගමේම නවතිද්දි මම නුවර බෝඩිමකට කොටු උනා.එදා ඉදන් අද වෙනකනුත් ඊට පස්සෙ හැම සෙනසුරාදාවකම උදේ පාන්දරින්ම මම ගමට ඉගිල්ලුනේ ඇසළගෙ මූණ දකින්න.ඒත් මේ වෙනකොට ඒ උවමනාව තියෙන්නෙ මට විතරක් බව මට නොතේරෙනව නෙවෙයි.ඒත් මේ ඇත්ත පිලිගන්න මගේ මුරණ්ඩු හිත පොඩ්ඩක්වත් සූදානම් නෑ.මම දැනගෙන උන්නෙ මම අයිති ඇසළට කියල විතරමයි. ආදරේ කියන්නෙ මට මේ ලැබෙන මම මේ දන්න චුට්ට විතරක්ම නෙවෙයි කියල මගෙම හිත මට කෑමොර දිදී පහදල දෙන්න කොච්චර උත්සහ කලත් මම තාමත් නොතේරෙන ගානට ඉන්නව.


 නිකිණි ...

බෑග් එකේ බර විතරක් නෙවෙයි හිතේ බරත් ඔලුව උඩින්ම තියාගෙන කන්ද නගින මම බිනරගෙ හඬින් තිගැස්සුනා.මගේ සිතුවිලි සීසී කඩ කරපු එක ගැන මට ආයෙම ආවෙ ඔහු එක්ක කේන්තියක්.

 නිකිණි බිකිණි ගාන්නෙ ඇයි කට ඇරල අක්ක කියල කිව්වොත් කටට මොනා හරි වෙනවද

හති දාගෙන බයිසිකලේ තල්ලු කරගෙන එන බිනර ඉස්සරහට දෑතම ඉණට තියාගෙන ගිහින් මම ඇහුව.කවදාවත් මට අක්කායි නොකියන ඔහු සමග මම බොහෝ අවස්ථාවල රණ්ඩු අල්ලා ඇත.මට වඩා බාල ඔහු මට එසේ නමින් ඇමතීම මහා මදි පුංචි කමක් ලෙස මා සිතුවද මේ අක්කා ඔහුට මල්ලි කියා කතා කරන්නේත් නැත.


 කටට නෙවෙයි හිතට මොනා හරි වෙයි කියලයි බය

අහක බලාගෙන ඇසෙන නොඇසෙන ගානට බිනර කියූ දේ හාරා අවුස්සන්නට මට හේතුවක් තිබුනේ නැත.

 හරී දැන් කියනව මොකටද මට කතා කලේ

 දෙයක් අහන්න.... ඒත් මේ ඒකට වෙලාව නෙවෙයි කියල මට දැන් හිතෙනව

 මේ හලෝ.... නිකිණිට ඔය හරස්පද ඔට්ටු නෑ... අහන්න ගිය දේ අහනව

කරේ රැදි බෑගය ගලවා බිනරගෙ බයිසිකල් හැඩලයේ එල්ලා මම පාරේ තිබූ කණුවකට හේත්තු වීමි.බිනරද බයිසිකලය නවතා මගේ මුහුනට මුහුණ සිටින සේ පාරෙන් එහා පස ගලක් මත වාඩි විය.

 හරි එහෙනම් කියන්න බලන්න ඔයා මොනවද අපේ අයියා ගැන දන්නෙ

මට බකස් ගා සිනා නැගුණි.මේ මෝඩයා මෙච්චර තෙපර බෑවේ මේ ගොං ප්‍රශ්නේ අහන්නද .ජංගියක්වත් නොඅදින කාලේ එකම බේසමේ බැස නා , අම්ම හෝ නැන්දා එකම පිගානෙන් අනා කවන බත් කා , එකම ඇදේ එකට බදාගෙන මා සමඟ නිදාගත් ඇසළ ගැන මා නොදන්නේ මොනවාද.... නැත ඔහු ගැන මා නොදන්නා දෙයක් තිබෙන්නට බැරිය.ඉතින් මහ හඬින් හිනැහෙනවා හැරෙන්නට මට කියන්නට දෙයක් නැත.

හරි හරි එහෙනම් කියන බලන්න නිකිණි මොනවද ආදරේ ගැන දන්නෙ... ආදරේ කියන්නෙ මොකක්ද ?

ඒ බිනරගේ දෙවෙනි පැනය .ඒ ප්‍රශ්ණය ළඟනම් මා මොහොතකට නිරුත්තර විය.ඇසළත් මාත් ආදරෙන් උන්නාට ආදරේ ගැන මා දන්න මළදානයක් නැත.ඒ ගැන ගැඹුරින් හිතන්නට මට මේ තාක් හිතීද නැත.කැම්පස් එකේ සමහර කෙල්ලන් කියන්නේ අදරේ ඇගට නොව හිතට දැනෙන දෙයක් කියාය,ලේ නහර වලට පවා දැනෙන සියුම් හිරිවැටීමක් කියාය.ඉතින් ආදරේ එසේනම් ඇසළ ගැන මට එවන් හිරිවැටීමක් මේ තාක් දැනී නැත.ඒ ඇස් වල ආදරේ සොයන්නට මා කිසිදිනක වෙහෙසී නැත.
උත්තර දෙන්නට බොහෝ වෙලා ගෙන එහෙත් උත්තරයක් නැතුවම මම හිස් බැල්මෙන් බිනර දෙස බැලීමි.පිළිමයක් තැබුවාක් මෙන් නිසොල්මනේ බිනර මදෙස බලා සිටී. ඒ ඇස් දිළිසේ... කා ළඟවත් ලෙහෙසියෙන් පැරදෙන්නට අකමැති මමත් හොද හැටි ඒ ඇස් දෙස කෙලින් බලා හිදින්නට වීමි.තත්පරයක් දෙකක් තුනක් හතරක් මා එසේ සිටින්නට ඇත.මොකක්දෝ අමුත්තක් හිතේ එහා මෙහා වෙද්දී වේගයෙන් ඇහි පිය සලා මම බිම බලා ගතිමි.බකස් ගා බිනර හිනැහෙන හඬ ඇසෙද්දි ජීවිතේ පලවෙනි වතාවට පරාජිත හැගීමක් හිතට දැණුනි.ඊටත් නයාට අදුකොළ වගේ වෙච්ච බිනර ළඟම එසේ වීම ගැන හිතට හරිම නැත. ඒ පරාජිත හැඟීම බොරු තරහකින් මුවා කරගෙන මම ගසා බසා දමා හිද උන් තැනින් නැගිට යන්නට හැරුනෙමි.

 හලෝ මැඩම්..... කොහෙද යන්නේ... මට උත්තරයක් දීලම යනවද....

බයිසිකලයේ එල්ලූ බෑගයත් නොගෙනම අඩියට දෙකට පල්ලම් බසින මට බිනරගේ හඬ ඇසුනේ ඈතිනි.

 මේ හලෝ... ඔව්වට උත්තර දෙන්න මම බැඳිලා නෑ...අනික මගෙන් ප්‍රශ්න අහන්න ඔහේ මහ ඒජන්තද...අපේ ගෙදරට ගොඩවෙනවනම් ඔය බෑග් එකත් දීගෙනම යනවා..

තාමත් කන්ද මුදුනේ ඉදන් හිනා වෙවී බලන් ඉන්න බිනරට ඇසෙන්නට කෑගසා එහෙම කියපු මම කවදාවත් නැති තරම් හයියෙන් ගෙවල් ගාවට වෙනකං එක පිම්මට දිව්ව.උදෙ ඉදන් වතුර උගුරක්වත් නැතුව වේලි වේලි ආපු මට කොහෙන් එහෙම හයියක් ආවද මංද. හරියට අලුතින් අත්තටු ලැබුන කිරිල්ලියක් වගේ සැහැල්ලුවක් සතුටක් හිත පුරා උඩු දුවන්න ගත්ත.ඒ ඇයි ඒ මොකටද කින්ද මන්ද මුකුත් හරියට හිතා ගන්න බැරි උනත් මම කාලෙකට පස්සෙ නිදහසේ හයියෙන් හුස්මක් ගත්ත.

                              *     *      *     *      *      *    *     *

ඉරිදා හැන්දෑ වෙනකනුත් මම නුවර නොයා විනාඩියෙන් විනාඩිය බලන් හිටියෙ ඇසළ ඒවි කියල.ඒත් හැන්දෑවේ පහත් පහු උනාට පස්සෙ එයා ගෙදරට කෝල් කරල කිව්වෙ මට යන්න එයා ලඟදිම දවසක කැම්පස් එකට ඇවිත් මාව මුණගැහෙන්නම් කියල විතරයි.හිතට ආව කේන්තියට දුකට මම දන්න කැතම වචන වලින් මට එයාට කෑගහල බනින්න හිතුනත් මම මාව පාලනය කර ගත්ත.ආයෙ දෙපාරක් නොහිත මම ඇදුම් කෑලි දෙක තුනයි පොත් ටිකයි බෑග් එකට අඩුක් කර ගත්තෙ ඒ හැන්දෑවෙම නුවර පිටත් වෙන්න හිතාගෙන.දැන් ඉදල පහුවදා උදේ පාන්දර බස් එකේ යන්න කියල අම්ම කට කැඩෙනකන් කිව්වත් මම නෙවෙයි කණකට ගත්තෙ.හිතුවක්කාර කොලු තාලෙට උඹව හදපු අපියි වැරදි කියල අන්තිමට අම්ම කිව්වෙ කම්බුලේ අත තියාගෙන.අම්ම ගැන දුක හිතුනත් මම හිතුන දෙයක් වෙනස් ආයෙ වෙනස් කරන ජාතියෙ කෙනෙක්නම් නෙවෙයි. ගෙදරට ඇදගෙන හිටපු ටී ෂර්ට් එකට උඩින්ම රතු පාට ජර්සි එක දාගෙන බෑග් එකත් කරට දාගෙන මම වත්තෙ මායිම පහු කලේ ගේ දොර කොඩ හූල්ලන අම්ම දිහා හැරිලවත් බලන්නෙ නැතුව.

පණ්ඩිතය වගේ ආවට එළියෙ තිබුනෙ හිතුවටත් වැඩිය අඳුරක් හිතුවටත් වැඩිය සීතළක්.රබර් සෙරප්පු වලින් වැහුන යටි පතුල් වලින් සීතල ඇට මිඳුළු වලටම දැනෙද්දි හිතේ තිබුන තරහ මැකිල ගිහින් අන්තිමට ඉතුරු උනේ මං ගැනම උපන් ආත්මානුකම්පාවක් විතරයි.බලෙන් ඔබ්බපු කොලු කම් අස්සෙ හැංගිලා හිටපු මගේ ගැහැනු ආත්මේ හීනියට ඉකි ගහන සද්දෙ මට ඇහුණ.ඒත් නිකිණි කියන්නෙ ඇස් වලට ඕන ඕන වෙලාවට අඬන්න සූදානම් කෙල්ලෙක් නෙවෙයි.යාංතමට තෙත් වෙච්ච ඇස් දෙක දෑතින්ම පොඩි කරගෙන මම කන්ද නැග්ගෙ ආයෙත් හැරිල ගෙදර දුවන්න හිතෙන හිතට තරවටු කරන ගමන්.

එක පාරටම මන්දාරම් අඳුර කපාගෙන මීඳුම මැදින් මහා සද්දෙට ආව බිනරගෙ බයික් එක මග හරස් කරල නැවතුනේ මගේ ඇගේ ගෑවී නොගැවී වගේ.වෙන වෙලාවකනම් ලුණු ඇඹුල් ඇතුව මොනා හරි කියන්න තිබුණ.ඒත් මම මට නෙවෙයි වගේ අහක බලාගෙනම හිටිය.

 කොහෙද යන්නෙ ?

 ඇයි අහන්නෙ ?

 ප්‍රශ්නෙකට ප්‍රශ්නෙකින් උත්තර දෙන ක්‍රමය වෙනස් කරන්නම බැරිද ?

 ප්‍රශ්න වලට උත්තර දෙන්න මං බැඳිල නෑ

 හරි හරි එහෙනම් බැඳිච්ච දවසකට අහන්න මම සේරම ප්‍රශ්න ඉතුරු කර ගන්නම් දැන් නගින්න බයික් එකට

 ඒ අහවල් එකකටද ?

 ගෙදර ගෙනියන්න... දැන් නුවර යනකොට රෑ 8 පහු වෙනවා .. එච්චර රෑ වෙලා ගෑණු ලමයෙකුට තනියම ගමන් හොද නෑ

මම උපහාසයට මෙන් සිනාසීමි.මට මෙවන් තහංචි දමන්නට මොහු මගේ කවුද.මෙච්චර කාලෙකට ඇසළවත් මා යන එන වෙලාවල් විමසා නැත.ඔහුට මා කොයි වෙලේ කොහේ ගියත් කම් නැත.මේ පොඩි එකා මගේ ජීවිතය වචනෙකින් හෝ හසුරවන්නට හදන එක ගැන කේන්තියකට එහා ගිය මොකක්දෝ හැගීමක් හිතට වද දේ.

 මට බණ කියන්න ඔහේ මගේ කව්ද..? මොන අයිතියක්ද ?

 ඇයි අමතකද මම නිකිණිගේ පොඩි මස්සිනානේ.... ලොකු මස්සිනාට තියෙන අයිතියම මටත් තියෙනවා

ගරුසරුවක් නැතුව දොඩන මගේ වාචාල කම ගැන වගක් නැතුව බිනර හිනැහෙමින් මට උත්තර නැති වෙන්නම පිලිතුරු දෙයි.පෙරදා මෙන්ම මේ සංවාදයේ පැටලි පැටලී බිනර හා කල් මරන්නට මගේ හිත ඉල්ලයි.

 පොඩි එකා පොඩ්ඩි එකා විදියට ඉන්නවද

 අනේ.. අනේ මේ කිරි ඉබ්බි මට වඩා මාස 20 ක් වැඩිමල් උනයි කියල හිතන්නෙ ඉන්නෙ මහ ලොකු සයිස් එකෙන්නෙ

බිනර කියූ දෙයට මට මහා හඬින් හිනා යන්නට ආවේය. මම අතින් මුව වසා බිනරගෙන් හිනාව සගවන්නට වෙහෙසුනෙමි. කිරි ඉබ්බි... ඒ අපි පොඩි උන් දා බිනර මට පටබැඳි නම වේ.එකට වැටී සෙල්ලම් කරද්දී මගේ නොපනත් කමකින් හිත රිදවාගෙන හඬන බිනර කිරි ඉබ්බී.. කිරි ඉබ්බී කියමින් ගේ වටා දුවයි.එහෙම දුවන ඔහුව ඇසළත් සමඟ එක්වී කොටු කරගෙන ඒ අත ලේ එන තුරු සපා කෑ බවක් මට අද මෙන් මතකය.කොයි තරම් ළඟින් උන්නද ඇසළ කේලම් කියා වැඩිහිටියන් ලවා මට ගැස්සවූ වාර අනන්ත වේ. එහෙත් මම මොන තරම් රිදවූවද බිනර කවදාවත් මා පාවා දී නැත.එ දවස් සිහිව සියුම් කම්පනයක් සමඟ හීන් සතුටක් හිත පුරා මෝදු විය.

 මොනවද කල්පනා කරන්නේ ...? අදත් මගේ කෑල්ලක් කඩා ගන්න හැටිද ?

 කඩා ගන්නනම් බැරි කමක් නෑ... ඒත් මම දැන් හරක් මස් කන්නේ නෑ

 ඒ උනාට මට නම් ආසයි ඉබි මස් මොන රහද බලන්න

ඒ වෙලාවෙ බකස් ගාල එලියට පැන්න හිනාවනම් නතර කර ගන්න මට පුලුවන් කමක් තිබුනේ නෑ.මං හිනා වෙච්ච සද්දෙ ඈත කඳු වල හැපිල දෝංකාර දුන්න.ආයෙ ආයෙ හිනාවෙලා ඒ දෝංකාර දෙන මගෙම හිනාව අහන් ඉන්න මට ඕන උනා.හිතේ පැළපදියම් වෙලා තිබුන හැම අසහනකාරි සිතුවිල්ලක්ම ඈතට ඈතට ගහගෙන යනව වගේ මට දැනුන.

අපිට අපිව නොපෙනී යන තරමට අහල පහලට මීඳුම කඩං පාත් වෙන්න පටන් ගත්ත.තවත් මෙහෙම හිටියොත් අපි ගල් වෙයි කියල මට හිතුන.

 මැඩම් දැන්වත් කියන දේ අහල නගිනවද බයික් එකට .... දැන් ඉතින් කොහාට ගියත් මා එක්ක තමා ....... එක්කො ගෙදරට එක්කෝ නුවරට කරුණාකරලා මට කියනවද කොහාටද යන්න ඕනෙ කියලා....?

හැඬලයේ එල්ලල තිබුන හෙල්මට් එකක් මගේ දිහාට දික් කරගෙන බිනර එහෙම කිව්වෙ ටිකක් සැරෙන් වගේ.හිතුවක්කාර වෙන්න හිතට හිතුනෙම නැති තරම්. මම කතාවක් නැතුව හෙල්මට් එක අරන් ඔලුවට දා ගෙන බයික් එකට නැග්ගා.

 නුවරට

බයිසිකලේට නැගල මම එහෙම කිව්වම බිනර පුදුමෙන් වගේ මං දිහා හැරිල බැලුව.එයත් කතාවක් නැතුව හැරිල බයික් එක ස්ටාර්ට් කර ගනිද්දි ඒ මුණෙ අමුතුම කාන්තියක් මම දැක්ක.ගමන පටන් ගද්දි අපි අතර මැද තිබුන අගල් තුන හතරක පරතරය බිනර හිතා මතාම මහා සද්දෙට ගහපු බ්‍රේක් පාරකින් නැත්තටම නැති උනා.ළැමත් මුහුණත් ඒ පිටට හිර වෙද්දි සීතළ කපාගෙන මට දැනුනෙ මහා උණුසුමක්.ඒ සනීපෙට මගේ ඇස් පිය වුනා.


                            
                                 *     *      *     *      *      *    *     *

බිනර එක්ක නුවර බෝඩිමට ඇවිත් හරියටම දවස් 4 ට පස්සෙ ඇසළ මාව හම්බවෙන්න කැම්පස් එකට ආව.වෙනදට ඒ මූණ දකින්න තියෙන ආසාව ඇස් වල යාංතමටවත් තිබුනේ නෑ.මට කියන්න ලොකු කතාවක් තියෙනවා කියපු නිසා මම ඇසළ එක්ක කැම්පස් එකෙන් එලියට ආව.යන්න තැනක් මට වගේම ඇසළටත් හිතා ගන්න බැරි උන නිසාද මංද අපි කතාවක් නැතුවම රේල් පාර දිගේ සරසවි උයන ස්ටේශම දිහාට ඇවිදන් ගියා.කවදාවත් අපි අතර මේ වගේ නිහඬ තාවයක් තිබිල නෑ.ඒ නිසාම මහ අපහසුවක් හිතට දැනුන.

 නිකිණි

ගොඩක් වෙලාවට පස්සෙ ඇසළ කටහඬ අවදි කලා.

 ම්ම්ම්ම්ම්ම්

 මම මේ කියන්න යන දේ අහල ඔයාට තරහ ඒවි දුක දැනේවි ඒත් මටත් වඩා උගත් කෙල්ලෙක් හැටියට ඔයා මේ දෙවල් බුද්ධියෙන් හිතල තෙරුම් ගනී කියල මම හිතනව

කෙලින් කතා නොකර වැල් වටාරම් ගහද්දි වෙනදට යකා නගින මම අද බොහොම නිහඬව අහන් හිටිය ඇසළ කියන්න යන්නෙ මොනාද කියල.

 පුංචි කමට නොතේරුම් කමට අපි අතර පොඩි පොඩි දෙවල් උනා තමා....ඒ කාලේ ඒ දෙවල් මහ ලොකුවට හිතපු අපිම අපි ගැන බලාපොරොත්තුත් තියා ගත්ත තමයි.... ඒත් ආදරේ කියන්නෙ ඒකට නෙවෙයි නිකිණි....මං ආදරේ හොයා ගත්ත... අද නැත්තං හෙට ඔයාටත් හිතේවි අපි අතරෙ තිබුනෙ ආදරේ නෙවෙයි කියල...ඒක තේරුම් ගත්ත දවසට ඔයාටත් හිතෙයි මම අද මේ කියන දේවල් හරි කියල...

එකම රේල් පීල්ලෙ දෙපැත්තට වෙලා ඉස්සරහට යන ගමන් ඇසළ කියන දෙවල් මම හැඟීමක් නැතුව අහන් හිටිය.

 අපි ගැන අපිටත් වැඩිය බලාපොරොත්තු තියන් ඉන්නෙ වැඩිහිටියො ... අපි දෙන්න එකම මතේක ඉන්නවනම් ඒ අදහස් එයාලගෙ හිතින් අයින් කරන්න අපිට පුලුවන් වෙයි... මං දන්නව නිකිණි ඔයා පොඩි කාලේ ඉදන්ම මං වගේ උනා... ඔයා හිතුව ඒ මම කැමති විදිය කියල...ඒත් මගෙ හීන වල ඉන්නෙ ඔයා නෙවෙයි නිකිණි.. අපි අර ඉස්සර වගේම සහෝදරයො වගේම ඉමු.ඊට එහා යන්න මට බෑ ... මං හිතනව ඔයාට මාව තේරෙනවා කියල...

ළඟට ඇවිත් ඇසල මගේ අතින් අල්ල ගත්ත.ඇත්තටම සහෝදර බැඳීමකට එහා ගිය උණුසුමක් ඒ පහසෙ තිබුනෙම නෑ.මේ ආදරේ වෙනුවෙන් හෙලන්න කඳුලක් මගේ ඇස් වලට ඒ වෙලාවෙ ඉනුවෙත් නෑ.මම වචනයක්වත් කතා නොකර යාන්තමට හිනා වෙලා ඇසළට සමු දුන්න.ස්ටේශමෙ නවත්තල තිබුන කෝච්චියට ගොඩ වෙලා ඇසළ මට අත වැනුව.කෝච්ච්ය ගිහිල්ලත් ටිකක් වෙලා යනකං මම බංකුවක වාඩි වෙලා බලන් හිටිය.මට මතකෙට ආවෙ එදා රෑ මාව බෝඩිමෙන් බස්සලා බිනර යන්න හදද්දි කියපු දෙයක්.

 ආදරේ කියල ඔයා හිතන් ඉන්නෙ මොකක්ද කියල මම දන්නෙ නෑ... ඒත් ආදරේ කියන්නෙ තමන්ගෙයි තමන්ටමයි කියල හිතෙන දෙයක් ලබා ගන්න තියෙන ආසාවට නෙවෙයි...ආදරේ කියන්නෙ නිදහසට... නිදහස් හැගීමකට.... ඒ හැගීමෙන් පපුව පිරෙන්න ඕනෙ... හුස්මක පවා ඒ ආදරේ දැනෙන්න ඕනෙ... ඇස් පියා ගනිද්දී ඒ ආදරේ මැවෙන්න ඕනෙ..... ආදරේ මෙන්න මෙතන්ට දැනෙන්න ඕනෙ......

දකුණු අත එයාගෙ පපුවට තද කරගෙන බිනර එහෙම කිව්වෙ හැටි මට මැවිල පෙනුන.මම ඇස් පියාගෙන හයියෙන් හුස්මක් ගත්ත. ඒ හුස්මෙ බිනර හිටිය වගේ මට දැනුන.මාව ගැස්සිල ගියා. මම රේල් පාර දිගේ එක හුස්මට බෝඩිමට දුවගෙන ආවා.කාමරේ දොර මහා සද්දෙට වහල බිත්තියෙ මුල්ලක වාඩි වෙලා ඇසළ කියපුවා ආයෙ ආයෙ මතක් කලා.මගේ හීන වල ඉන්නෙ ඔයා නෙවෙයි නිකිණි...ඇසළ කියපු ඒ වචන ටික දෝංකාර දිදී ඇහෙන්න ගත්ත.මට මං ගැනම දැනුනෙ මහ අනුකම්පාවක්.ඇසළ වගේ වෙලා ඇසළට ආදරේ කරල නිකිණිට නිකිණිවම මඟහැරිල නේද කියල පළවෙනි පාරට හිතට දැනුණ.අවුරුදු ගාණක් හිරවෙලා තිබුණ කඳුළු මහා සද්දෙට ඇස් වලින් එළියට පැන්න.

                                  *     *      *     *      *      *    *     *

                 බ ස් එක බණ්ඩාරවෙලට එද්දි හීන් නිලි වැස්සක් එක පාරටම කඩාගෙන වැටුන.කට්ටිය දඩිබිඩියෙ බස් එකෙන් බැහල අගුපිල් වලට දුවද්දි මම බෑග් එකත් පපුවට තුරුල් කරගෙන තවත් විනාඩියක් දෙකක් බස් එකටම වෙලා හිටිය.හරියටම මාස දහයකුත් දවස් දොළහකට පස්සෙ ගමට අඩිය තියපු නිසාදෝ මංද හිත තිබුනෙ හරියට සසළ වෙලා.විලුඹ ගාවටම දිග සාය එක අතකින් යාංතමට උස්සගෙන අනිත් අතින් බෑග් එක උස්සගෙන මම බස් එකෙන් බැස්සෙ අන්තිමටම. උරහිසටත් පොඩ්ඩක් පහලට වෙන්න වැවුණ කොණ්ඩෙ මටත් කලින් හුලඟ එක්ක යද්දි මම සාය අත ඇරල කොණ්ඩෙ අල්ලලා එක තැනකට ගන්න වෙහෙසුණා.ගමේ අහල පහල ඉන්න උන් පවා ගමට ආපු අමුත්තෙක් දිහා බලන විදියට මං දිහා බලද්දි මට දැනුනෙ අපහසුවක්. ඒ සමහරු මාව අඳුර ගත්තෙ නෑ කියල එයාලගෙ බැල්මෙන්ම මට තේරුනා.පුරුද්දට වගේ මගේ ඇස් මටත් හොරෙන් පාරෙන් එහා පැත්තෙ ඇහැළ ගහ දිහාවට ගියා.එදා වගේම රතු පාට ඩිස්කවරි බයික් එක උඩ බිනර බලන් හිටිය.හිත ගැස්සිලා ඇස් බොඳ වෙන්න ගත්ත.ඒ ඇස් දිළිසෙන අපූරුව පාරෙන් එහා පැත්තෙ හිටියත් මම පැහැදිලිවම දැක්ක.
ළඟට යනවද නොයනවද කියල විනාඩියක් දෙකක් විතර මම බිම බලාගෙන කල්පනා කලා.අන්තිමට ගැහෙන කකුල් වලට වාරු අරන් ලතාවට පාර පැනල  බිනර ළඟට යන්න මට තවත් විනාඩියක් දෙකක් යන්න ඇති.

අසන්නට දාහක් දේ සිතේ විනිද මට වචන නැතුවාක් මෙනි. ළය මඬළ මේ හැටි ගැහෙන්නේ ඇයිදැයි මටම තේරුමක් නැත.බිනර මා විනිවිද යන තරම් බැල්මෙන් මා දෙසම බලා සිටී.
 ඒ ඇස් මේ තරම් දිළිසෙන්නේ ආදරේට බව නිකිණිට තවත්නම් රහසක් නෙවෙයි.

 ලස්සනයි..... හරියට දැන් පිපිච්ච සුවඳ මලක් වගේ
ආදරෙන් විතරක් නෙවෙයි පුදුමයෙනුත් විසල් වෙච්ච ඇස් වලින් හිනා වෙවී බිනර එහෙම කිව්වෙ හරි ආදරේ හිතෙන හඬකින්

 කොහොමද දන්නෙ මම අද එන බව

බිනර දැකි මොහොතේ පටන් අසන්නට සිටි පැනය මම ඒ ඇස් දිහා බලාගෙන ඇහුව.

 අද එනවා කියලා දන්නේ නෑ... ඒත් කවද හරි එන බව දැනගෙන හිටිය... ඒකයි හැමදාම මෙතන්ට ඇවිත් බලන් හිටියෙ...

හිත හෝස් ගා පත්තු විය. මා ගම නෑවිත් හිටි මාස දහයේම බිනර මෙතනට විත් මග බලා සිටින්නට ඇත.ඒ ඇස් කෙලින් බලන්නට බැරි මොකක්දෝ හැගීමක් හිතට වද දෙන්නට විය.
එහෙනම් මැඩම් අදවත් නෑ බෑ නොකිය එනවද  මා එක්ක
මම සිතුවිලිත් එක්ක  පොර බඳිද්දි බිනර දොඩමලු උනා.එයා එහෙම කියල හෙල්මට් එක මගේ දිහාට දික් කලා.
බෑ අයියො.....
බෑග් එකත් පපුවට තුරුල් කරගෙන මම හුරතල් උනා.මම එහෙම කිව්වම දිළිසි දිළිසි තිබුන ඒ ඇස්  මොහොතකට මලානික උනා.
අපි ගෙදර ලඟටම පයින්ම යමුද....
මම එහෙම කිව්වහමනම් ඒ ඇස් ආයෙත් දිළිසුණා හරියට එයත් ඒක කියන්න ආසාවෙන් හිටිය වගේ.ඇත්තටම මේ  සුන්දර  මොහොත විනාඩි පහෙන් බයිසිකලෙන් ගිහින් ඉවර කරගන්න මගේ හිත ඉඩ දුන්නෙම නෑ.සීතල පතනය දිගේ බිනර එක්ක ළඟින් ළඟින් අඩි තිය තිය යන්න මගේ හිත මට පුදුම තරම් බල කලා.දෙපාරක් නොහිතම මම අරෙහෙම කියලා දැම්මෙ ඒකයි.

 හරි එහෙනම් තප්පරයක් ඔහොමම ඉන්න හොදේ
බිනර එහෙම කියල බයික් එකත් ස්ටාර්ට් කරගෙන  ඒ ළඟම තිබුන කඩේ ගාවට ගියා.මම හයියෙන් හුස්මක් අරගෙන පොඩ්ඩක් සංසුන් උනා. මම ඇහි පියල ආයෙ අරිද්දි බිනර මගේ ඇස් ඉස්සරහ.
හරි මැඩම් එහෙනම් දැන් යමු
මගේ  කරේ තිබුන බෑග් එකත් අනවසරයෙන්ම උදුරගෙන එයාගෙ කරට දාගෙන බිනර මගේ අතින් අල්ල ගත්ත. බිනර බයිසිකලේ කඩේ ළඟ පරිස්සමට තියල මේ ගමන මා එක්ක යන්න නිදහස් උනා කියල ආයෙ මට එයාගෙන් අහල දැන ගන්න උවමනා උනේ නෑ. එයා යනකොටම මම ඒක තේරුම් ගත්ත. මහ පාර පැනල  අපේ ගමට යන පොඩි පාරට හැරිලත් බිනර මගේ අත අත ඇරියෙ නෑ. හැන්දෑ අඳුරත් එක්ක කඩන් පාත් උන මීඳුම මුලු පලාතම  වහගෙන තිබුන.අවුරුදු විසි ගාණක් මේ පාරෙ ආපු ගියපු මට මේ සීතල මේ අඳුර අමුතු දෙයක් නෙවෙයි.ඒත් අද තරම් ලස්සනට මේ කිසිම දෙයක් මම මීට කලින් දැක්කෙ නෑ නේද කියල හිතෙද්දි මටම මගේ ඇස් ගැන පුදුමයි.
ඉතින්..... කෝ අද කතා පෙට්ටිය නුවර දාලද ආවේ....
දැහැන් ගත වෙච්ච හිත බිනරගෙ හඬින් ඕනාවටත් වඩා ගැස්සුණා.ඒ තිගැස්මට බිනරගෙ අතත් අත ඇරුන.
ඒක නෙවෙයි.... කෝ අරය....
බිනර ආයෙමත් දොඩමලුයි.ඒ සැහැල්ලුව ළඟ මමත්  හිමිහිට සැහැල්ලු වෙන  බව මට තේරුනා.
කොරයද.... මං එහෙම ඇහුව.
අර ඉස්සර මම  මේ පාර දිගේ කැන්දන් යන  විසේකාර අම්මණ්ඩි....
බිනර ඒක අහපු තාලෙට මට බකස් ගාල හිනා ගියා.
එයා මැරුණනෙ මීට මාස දහයකට කලින් නුවරදි වාහනේකට හැප්පිලා
අපොයි එහෙමද.... අපරාදේ මම අවුරුදු  ගාණක් බලන් හිටියා එයාට දෙයක් කියන්න.
මම හිනාව හංගගෙන  අහන් හිටිය.
අනේ... අපරාදේ ඇයි ඉතින් කලින් කිව්වෙ නැත්තෙ.....
මම ඒක ඔයාට කියන්නද ...මොන ලෝකෙන් හරි ඒකිව හොයලා ඒක  එයාට කියනවද...
මම ඒකට මුකුත් කියන්න හිතන්නත් කලින් බිනර මගේ ළඟටම ආවා.මම ඉක්මනට බිම බලා ගත්ත.එක අතක් මගේ උරහිසට තියන ගමන් අනිත් අතින් මගේ නිකටින් අල්ලල යාන්තමට එයාගේ පැත්තට හරවගත්ත.ජිවිතේ පලවෙනි වතාවට පිරිමි ඇස් දෙකක් ළඟ  පිරිමි සුවඳක් ළඟ මගේ ගැහැණු ආත්මෙ හිරි වැටීගෙන ගියා.
දන්නවද.... මම ආදරෙයි මගේ කිරි ඉබ්බිට පණටත් වඩා
මගේ ඇස් වලින් හෝ ගාල කඳුලු කඩන් වැටුන.මහා සද්දෙන් ඉකි ගැහෙද්දි බිනර හිමිහිට මගේ හිස එයාගෙ පපුවට වාරු කර ගත්ත. ඉතින් බිනර දවසක් කියුවාක් මෙන් පපුව පුච්චන පපුව හිරි වට්ටන හැඟීම් කප්පරකින් මුලු හිතම පිරිල  හුස්ම හිර වෙනව වගේ මට දැනුන.මේ ඉතින් ආදරයම බව පලවෙනි වතාවට මගේ හිත  මට හිනා වෙලා කිව්ව.කඳුලු හේදිලා යනකන්ම මම ඒ පපුවට හිස තියාගෙන ඒ නිරාමිස සුවය වින්දා.
ම්ම්ම්ම්ම් .... මම දෙයක් අහන්නද.....
කල්පයක් වගේ ගෙවුණ කාලෙකට පස්සෙ මගේ හිස මෑත් කරල බිනර මගේ ඇස් වලට එබෙන  ගමන් එහෙම ඇහුව.මම ඇස් වලින් හා කියල කිව්ව.
ආදරේ කියල කියන්නෙ මොකටද මැඩම්....
ම්ම්ම්ම්ම්ම්ම් ... ආදරේ කියන්නෙද.... ආදරේ කියන්නෙ අපි දෙන්නට....
එහෙම කියල මම ආයෙම ඒ පපුවෙම මූණ හංගගත්ත.

                                                              - නිමි -

Jul 23, 2012

රත්තරං ඔයාගේ ආදරේ....


මුඳු සමන් පිච්ච මල් සුවඳක් වගේ
හීනියට හීනියට
පාවෙලා ඇවිල්ලා
හදවතේ උඩම මහලට වැඩිය
රත්තරං ඔයාගේ ආදරේ
පන්සලක සිල් සුවඳ වගේමයි

දළදාවේ තේවාව වෙලාවට
උන්හිටි ගමන් ඇද හැලෙන
හීන් හිරි පොද වගේ
නොකියාම හදිස්සියෙ හිතට එන
රත්තරං ඔයාගේ ආදරේ
නුවර වැවේ දිය කඳ වගේමයි

හීතළම මීඳුම් සළුවක වෙළි වෙළී
ආදරේ මිහිරිතම සුව විඳින
කප් සුවහස් කාලයක් නොවෙනස්ව
සමනළුන් වන්දනාවේ යනෙන
රත්තරං ඔයාගේ ආදරේ
මේ මහා සමන්ගිර වගේමයි



මතකද ඔයාට....... මේ ඔයා වෙනුවෙන් මම ලියපු පළවෙනි කව...මේක ලියල මම ඔයාට MSN එකේ දැම්මා මට ලස්සනට PHOTO SHOP කරලා දෙන්න කියලා.කියන පරක්කුවට ඔයා ඒක හදල මට එව්වා . මේක ලිව්වෙ කාටද කියලා ඔයා මගෙන් ඇහුවේ නෑ... මම කිව්වෙත් නෑ... ඒත් මම වගේම ඔයත් දැනගෙන හිටියා නේද මේක ලිව්වේ ඔයාට කියල...? වචන වලින් නොකියා ඇස් වලින් නොකියා වසරකටත් එහා හිත් වලින් විතරක් කතා කරපු ඒ ආදරේ මොන තරම් ලස්සනයිද නේද...?

අන්තර්ජාලයේ ගොඩක් තැන් වල මම ඔයා වෙනුවෙන් ලියපු ඔයා මට ලස්සනට හදල දීපු මේ කවිය මම පළ කලා.අපේ නම් කපල ඒ ඒ අයගෙ නම් දාගෙන වෙන වෙන අයත් මේක එයාලා ලියපු විදියට දාලත් අපිට අතටම අහු උනා.ඒ කාලෙනම් මම දුක් උනා ගොඩක්.. ඒත් ඔයා කිව්වෙ ඒ ගැන සතුටු වෙන්න තව කෙනෙක් කොපි කරනවා කියන්නෙ ඔයාගේ නිර්මාණේ සාර්ථකයි කියන එක කියල. ඇත්ත .... ඒක එහෙම වෙන්න ඇති.

මේ කව ලියන්න කලින් මම කොච්චරක් කවි ලියලා තිබුනත් මේකට පස්සේ තව කොච්චරක් කවි ලිව්වත්.... ඔයා දන්නවද..... අදටත් මගේ අතින් ලියවුන හොදම කව මේක... මම ආසම කවිය මේක.මේ කවිය ලියද්දි ඔයා ගැන මගෙ හිතට දැනුන බැතිබර හැඟීම් අවුරුදු හතරකට පස්සෙ අදත් එහෙමමයි.එදා ඇහින්වත් නොදැක හීනෙන් අත පත ගාපු ඒ ආදරේ අද ළඟින් ඉදන් විඳිනකොට සත්තයි මේ කවියටත් වැඩිය සුන්දරයි.

Jul 17, 2012

ඔබ මගේ වෙන්න සංසාරෙම පුරාලා.....


ඔයාගෙම වෙන්න...ඔයාගෙම විතරක් වෙන්න.... මම හීන අහුළපු තරම් ඔයාවත් දන්නෙ නෑ.පෙරුම් පුරල පෙරුම් පුරල හැබෑ කරගත්ත ඒ හීන එළිවෙන අද දවසෙ මම හිනාවෙන්නද අඬන්නද කියලවත් මටම නිනව් නෑ.දන්නවද අද මම හිනාවෙන්නෙ සතුටට ... අඬන්නෙ ඒ සතුට දරාගන්න බැරි කමට....


ඉතිං ඇස් වලට කඳුළු ඉනුවට බොරුවට මට රවන්න එපා...මේ සතුටු කඳුළු රත්තරං...





පුර සඳක් වෙලා සිත් අහසේ පිපීලා
මල් තුහින වලාවක පාවී ඇදීලා
දේදුණු යායක පෙම් හීනය මවාලා
ඔබ මගේ වෙන්න සංසාරෙම පුරාලා....

සුදු මුඳු පහසින් මා සිරුරම වෙළාලා
සෙනෙහසේ තිළක මා නළලත තබාලා
තෙත අඩි තිය තිය හිත මත්තෙම සරාලා
මා ලඟට ගන්න මගෙ ලෝකය පුරෝලා...

පෙම් කුරුළු කූඩුවක් ලගදිම තනාලා
තව දුරින් ඉන්න බෑ සීමා බිදීලා
තුටු කඳුළු වලින් ඔය සුදු පා දොවාලා
සඳ සෙවනැල්ලේ යට සැනසෙමු නිවීලා....


Jul 12, 2012

පිරිමි ඇසකින් ගැලූ කඳුළක්.....





උඹ දන්නවද කෙල්ලේ... මම තාමත් දුකින්... ඒ දවස ගැන මම කොහොම ලියල කියල පහදන්නද....මම දන්නවා මටත් වැඩිය උඹේ ගෑණු හිත ඉකිගහනවා ඇති.ආදරේනම් දුකක් තමා ඒත් අපි මේ තරම්ම අවාසනාවන්තයො කියලනම් මම දැන ගත්තෙ එදා ඒ මොහොතෙ.උඹ දන්නවද...? මගේ ජීවිතේ ලස්සනම සහ කාලකන්නිම දවස එදා.
උඹේ ගෙවල් වලට යන ගුරු පාරේ දිගට දාපු සුදු කොඩි දකිනකන්ම මම මේ යන්නෙ උඹේ තාත්තගෙ මළගමට කියන එක මට ඒ තරම් හිතට දැනුනේ නෑ.ඇත්තටම මම හිටියෙ සතුටින් ඒ මම මගේ ආදරේ මගේ ඇස් දෙකෙන් සජීවීව දකින පළවෙනි දවස අද නිසා.අපි හමුවුනේ සයිබර් අවකාශයේදි... උඹ හිටියෙ සීතල රටක... මම ලංකාවෙ... ඒත් අපේ ආදරේ ලස්සනට ගලාගෙන ගියා... අවුරුද්දක්... ඔව් මේ වෙනකොට ඒ ආදරේට අවුරුද්දක්..කවදා අපිට අපිව දකින්න පුලුවන් වෙයිද කියල නිශ්චිත දවසක් නැතුව කාලය ඔහේ ගෙවෙද්දි හිතුවෙවත් නැති විදියට උඹට ලංකාවට එන්න උනා... ඒ හදිස්සියේ උඹව දාලා ගිය උඹේ ආදරණීය තාත්තගේ මිනියත් අරගෙන.
බලපං අපේ දෛවයේ හැටි... කලුඳුලේම අපි හමුවෙන්නෙ මළගෙදරක... ඒකත් උඹේම තාත්තගෙ...අපි ගැන උඹේ ගෙදරින් දැන ගෙන හිටපු නිසාත්... මට උඹේ ගෙදරින් අකමති නිසාත් ඒ මොහොතේ මගේ සහභාගීත්වය මොන අතකට පෙරලෙයිද කියල මම තියා උඹවත් දැන ගෙන හිටියෙ නෑ.
ඒත් මම ආවා... හදවත් මොන තරම් ගැහුණත් ... ඉස්සරහ මොන තරම් අපැහැදිළි උනත්...සිතුවිළි මොන තරම් අවිනිශ්චිත උනත්..මම ආවා... හයියකට කියලා තිබුනේ මාත් එක්ක මගේ ළඟම හිටපු යාලුවෝ ටික විතරයි.
ඉතින් එහෙම ආපු මට උඹේ ඇස් හමුවුණා... සුද ඇදගෙන ශෝක වෙන වැලපෙන සීයක් දෙසීයක් සෙනග අස්සෙ අපි අපිව දැක්කා...අවස්ථාව මොක උනත්... වට පිටාව මොක උනත්... අපේ ඇස් කුලුඳුලේ එකිනෙක ගැටුණ ඒ එකම තත්පරය තමා මගේ ජීවිතේ අමරණීයම අවස්ථාව...අනේ ඒ මොහොතෙ මට දැණුන දේවල් ළඟින් වාඩි කරන් උඹට කියන්න තිබුණනම්...එකම වචනයක් හරි කතා නොකරත් ඔය ඇස් දිහා ඔය මූණ දිහා විනාඩියක් දෙකක් බලන් ඉන්න තිබුණනම්...ඒත් මම වගේම උඹත් දන්නවා අපි ඒ තරම් පින් කරලා තිබුනේ නෑ. අපේ පළමු හමුව අපිට ඕන විදියට ලස්සන කරගන්න තරම් අපි වාසනාවන්ත උනේ නෑ.
ඒත් මට පුලුවන් සැනසෙන්න.. අඩුම ගානේ උඹව දකින්න හරි ලැබුනනේ කියලා හිත හදාගන්න...ඒත්.. ඒත්.. එතන සිද්ධ උන සමහර දෙවල් මම හරි අමාරුවෙන් දරාගත්තෙ බන්... සමහර දෙවල් පිරිමි හිතකට උහුළගන්න බැරි තරම් උනා...උඹේ සනුහරේ එකෙක්වත් ඇවිත් මා එක්ක කතා කලේ නෑ හැමෝම අමුතු සතෙක් දිහා බලනවා වගේ බල බල හිටියා මිසක්.මම ආවේ උන්ගෙන් උඹව උදුරන් යන්න නෙවෙයි... උඹ එක්ක තනිවෙලා පෙම් සුව විඳින්න නෙවෙයි...මම ආවේ සාමාන්‍ය විදියට අවමගුල් උත්සවයකට.මට අකමැති එක වෙනම ප්‍රශ්නයක් ඒත් ඒක මෙතනට අදාලත් නෑ.මරණෙකදි මගුලකදි තරහකාරයොත් එකතු වෙනවා හරි මනුස්සකම ඒ වෙලාවට උන්ව කොන් කරන එක නෙවෙයි.ඒ වෙලාවට නැති මනුස්සකං ආයේ වෙන කොයිම වෙලාවකවත් වැදගත් නෑ.උන් එකෙකුට හරි තිබුනා අපි ආපු එකේ ගෞරවයවත් තියන්න වචනයක් දෙකක් කතා කරන්න.උන් කලේ ඒක නෙවෙයි උඹටත් අපිත් එක්ක කතා කරන එක තහනම් කරන එක. ආගන්තුක තැනක අහසින් කඩං වැටුණ වගේ අපි පැය ගානක් උඩ බලං පුටු රත්කර කර හිටිය. සත්තයි අතරමඟදී නැගිටල එන්න හිතන වාර අනන්තයි.ඒත් උඹ දන්නවද මම ඉවසුවා උඹ නිසා.මම හැම තිස්සෙම හිතුවෙ මුකුත්ම නැති මට මේ ටිකත් ඇති නේද කියලා.
මම දන්නව උඹේ තාත්ත ආදරණීය තාත්ත කෙනෙක්.මේ වියෝව දරාගන්න උඹට තව කාලයක් යාවි.උඹට නැති උනේ ජීවිතේට තිබුණ ලොකුම හයිය.උඹ කවදාහරි මම ගාවට එනකං උඹට තිබුණ ලොකුම හව්හරණ.අනිත් අය පොලවෙ හැපි හැපි අඬද්දි උඹ අන්තිම වෙනකන්ම කඳුළු ගල් කරගෙන හිටියෙ ඇයි කියල මම දන්නව.උඹට ඕන උනා උඹ මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන කෙනගේ උරහිසට හේත්තු වෙන්න... ඒ පපුවට තුරුල් වෙලා දුක දියවෙනකන් අඩන්න...උඹ හිතපු ...බලපොරොත්තු උණු ඒ ටික උඹට දෙන්න බැරුව මම හිතින් ඉකිගහපු තරම් උඹ දන්නෙ නෑ කෙල්ලෙ...
අන්තිම වෙනකං දරන් උන්නු උඹ සුසාන භූමියට යනකන් මග දිගට සිහිසුන් වෙවී වැටෙන එකම පාරක්වත් මට උඹ ලඟට එන්න ඉඩක් තිබුනේ නෑ.මට පේන්න එතන වීරයො වෙන්න ගොඩක් අය හිටිය..උන් දන්නවනම් අපි ආදරේ කරපු හැටි උන් අපිට මෙහෙම කරන්නෙ නෑ බං.උන්ට මට අකමැති වෙන්න තියෙන එකම හේතුව අන්තර්ජාලයෙන් දැන අදුනා ගත්ත එක කියන එක මොන තරම් විහිලුවක්ද බං...?අවුරුද්දක් තිස්සෙ මම කලේ බොරුවක්නම් අද මම මෙහෙම මෙතනට එනවද... එකෙක් දෙන්නෙක් නෙවෙයි උඹේ මුලු නෑ සනුහරේ ඉස්සරහටම...?මට එහෙම එන්න හයිය තිබුනා.. ඒ මට මගේ ආදරේ විශ්වාස නිසා... මම උඹට ආදරේ කලේ ආපහු හැරෙන්න නෙවෙයි ඒක දවසක උන් තෙරුම් ගනීවි.
උඹේ තාත්තව කනත්තෙ පස් වලට යට කරනකනුත් ඈත ඉදන් බලන් ඉදල මං උඹට යනවවත් නොකිය එන්න ආවෙ හිතකින්නම් නෙවෙයි.උඹට යනව කියල කියන්න උඹ හිටියෙ සිහියෙන් නෙවෙයි.ඊට එහා මට එතන රැදෙන්න පුලුවන් කමක් තිබුනෙත් නෑ.
දැන් මට තියෙන්නෙ එකම එක බලාපොරොත්තුවයි. ඒ ආයෙ උඹ යන්න කලින් එකම තප්පරේකට හරි ඔය මූණ බලා ගන්න ... සමහර විට ඒ වාසනාවත් අපිට අහිමි වේවි.... ඒත් කමක් නෑ... මං බලන් ඉන්නවා... දවසක උඹ ඒවි... මේ හැම බධාවක්ම බිඳගෙන... ඔය කොටු පවුරෙන් පැනල... අන්න එදාට අපි හිනාවෙමු.....උඹ දන්නවද එදාට අපි එක්ක අඬ අඬ හිනා වෙන්න තව ගොඩක් අය බලන් ඉන්නවා... ඉතින් අපිට කොහෙද තනියක්....
විශේෂයි - මෙහි ඇති අකුරක් අකුරක් වචනයක් වචනයක් පාසා සත්‍ය සිදුවීමකි.එකම වෙනස එයට මුහුණ දුන් පිරිමි පාර්ශවය මා වී ඔහුට හිතෙන දෑ මවිසින් ලිවීමයි. මෙහි එන යන බොහේ දෙනා මේ සිද්ධිය මා මෙන්ම ඇසින් දුටු අය වේ. ඇසින් නොදැක්කත් මේ දෙදෙනා අදුනන අයද වේ.ඒ හැම දෙනාම කමෙන්ට් පල කිරීමේදී ඔවුන්ගේ අනන්‍යතාවය හෙලිවෙන අයුරින් කමෙන්ට් දැමීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලමි.

Jul 9, 2012

දෙනුවන් අනුහස... පසුවදන





හුඟක් දවස් අරගෙන ඔන්න අද හිතුවා දෙනුවන් අනුහස ගැන පසුවදන ලියන්න.මම දන්නවා මේ පසුවදන කියවන්න බලාගෙන කීප දෙනෙක්ම මඟ බලාගෙන ඉන්නවා කියල.කතාවේ කොටසක් දෙකක් කියවද්දි ගොඩක් අය මගෙන් අහපු දෙයක් තමා මේක මගේ ජීවිත කතාවද..? එහෙම නැත්තන් මම දන්න කියන කෙනෙකුගේ ජීවිත කතාවද කියල.ඉතිං මුලින්ම කියන්න ඕනෙ මේක මගේවත් මම දන්න කියන කෙනෙකුගේවත් ජීවිතය නෙවෙයි.ආරම්භය කොහොම උනත් මේ කතාවේ අවසානය මගේ හිතේ ඇදුන සිතුවිල්ලක්ම විතරයි.කතාවක් ලියන්න ඕනෙ කියන අදහස හිතට ආවම මම ඉස්සෙල්ලම කලේ මේ කතාවේ ප්‍රධාන චරිත හතරට නම් තියන එක.පටන් ගැන්ම වගේම අවසානයත් පෙළගැස්සුවේ ඒ නම් හතර මත.

ඒත් මේ කතාවේ ප්‍රධාන චරිත හතර ඇතුලේ මගෙයි මම දන්න කියන අයගෙයි ගතිගුණ, අදහස් ,සිතුම් පැතුම් තිබුණා.මේ කතාවට ඇතුලත් කල යම් යම් සිද්ධි මගේ ජීවිතේ මම අහපුවා දැකපුවා විඳපුවා තිබුණා.මේ කතාවට ඇතුලත් කල ගම් , නගර සහ ස්ථාන පවා මගේ ජීවිතේට බොහොම සමීප තැන්.අන්න ඒ හේතු නිසාම මේ කතාව කියවපු ඔයාලට මේක යථාර්තයට බොහොම සමීප බවක් දැනෙන්න ඇති.

වෙලාවකට මම කවිති උනා, වෙලාවකට මම උත්තරා උනා , දෙනුවන් විතරක් නෙවෙයි මම අනුහසුත් වෙලා බැලුවා.එයාලව මේ කතාවේ ජීවත් කරවන්න මම මට පුලුවන් උපරිමයෙන් කැප උනා.මේ කතාවේ අවසානය කියවපු ඔයාලගේ ඇහැට කඳුළු ආව බව මම දන්නවා. මේ කතාවේ අන්තිම ලියාගන්න බැරුව මම දවස් ගාණක් ලතැවුනා ඇඬුවා.

o3 wall එකෙන් මගේ ජීවිතේට සමීප වුන සහෘදයන් මගෙන් නවකතාවක් ලියන්න කවී කියලා ඉල්ලුවම මම හිතුවේ නවකතාවක් ලියන්න තරම් මගේ නිර්මාණගීලිත්වය මදි කියල.මුලින් මම හිතුවෙ මේ කතාව කොටස් දෙකකින් ඉවර වෙන කෙටි කතාවක් හැටියට ඉවර කරන්න.ඒත් වෝල් එකේ අය ඒකට ඉඩ දුන්නෙ නෑ එයාල කිව්වෙම මේක දිගට ලියන්න කියල ඉතින් එයාලගේ බලාපොරොත්තුව තමා මාව මේ තරම් දුරක් ගෙනාවේ. වෝල් එකේ මගෙ යාලුවනේ ඔයාලා හැමෝටම ගොඩක් පින් ! ( මම එක්කෙනෙකුගෙවත් නම් කියන්නෙ නෑ මොකද එකක් හරි මිස් උනොත් මාව මරන් කන නිසා )

ඊළඟට බ්ලොග් අවකාශයෙන් මට මුණ ගැහුණ මගේ කතාවත් එක්ක දිගටම හිටිය සහ මගදි එකතු උන දයාබර ඔයාලගෙන් ලැබුන අදහස් උපදෙස් මට පුදුම හයියක් උනා.ඒ හැම දෙකටම ඔයාලටත් ගොඩක් ස්තූතී.

ඉතිං දෙනුවන් අනුහස මගේ මුල්ම නවකතාව කියවල රස විදල අදහස් දක්වල අඩු පාඩු පෙන්නල දීල මග පෙන්නපු ඔයාලා හැමෝටම වගේම කමෙන්ට් නොකලත් ඇවිත් බලල ගිය හැමෝටමත් ගොඩක්ම ගොඩක් ස්තූති.ආයෙත් ආයෙත් කතාවක් අරන් ඔයාලා හමුවට එන්න මම පොරොන්දු වෙනව.චූටි දවසක් ඉවසන් ඉන්න හොදේ.

Jul 4, 2012

ආසයි මට ඔබෙ පතිනිය වෙන්නට ......





උයා රස මසවුලක් සෙනෙහසින්
දල්වලා පහන් පැල බැතියෙන්
අඳුර මැදින් ඔය රුව දැක ගන්නට
දොරකොඩටම වී මග රැක ඉන්නට

වෙහෙසවූ ඔය වත තුරුළට කරගෙන
විඩා නිවන තුරු හිස අතගානට
පුංචි හාදුවක් නළලට දෙන්නට
උණුසුම් ආදර වදන් කියන්නට

තොරක් නැතුව පෙම් බස් මුමුණන්නට
නිමක් නැතුව මුඳු හාදු පුදන්නට
සොදුරු ලොවක සුබ සිහින දකින්නට
මුළු රැයක්ම ඔය ළයෙහි නිදන්නට

ඉඳහිට දබරව තරහා වන්නට
ආයෙත් දඟ කොට සිනා නගන්නට
ලෝකෙම ලස්සන මං ඔය නෙතින් දකින්නට
හැම සසරක ඔබ මගේම වෙන්නට

දුක සැප එක ලෙස සමව විදින්නට
බාදක මැද ජීවිතය දිනන්නට
අත්වැල වී ඔබ ළඟින්ම ඉන්නට
මියෙන තුරා ආදරේ කරන්නට

" ආසයි මට ඔබෙ පතිනිය වෙන්නට ''


සතියකින් බ්ලොග් එකට මුකුත්ම ලිව්වේ නෑ.හරිනම් මම මේ වෙනකොට ලියන්න ඕනේ දෙනුවන් අනුහසේ පසුවදන. ඒත් මේ දවස්වල හිත ටිකක් කළබලයි.අලුතින් මුකුත් ලියන්න හිතෙන්නෙම නෑ.ඉතින් හිතුවා මම කලින් ලියපු කවියක්වත් දාන්න ඕනෙ කියලා බ්ලොග් එක පාලුවට යන නිසා.ඔන්න ඉතින් මේක ඒ දවස්වල අරයටලු ලිව්වෙ හොදේ.දැන් ඉතින් මේ ප්‍රර්ථනා ඉටු වෙලා