සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Jun 8, 2016

අහා ප්‍රේමය !



                
       

                             ගිනිගහන අව්කූටකේ නුගේගොඩ නගරය මැද්දෙ හී සර වගේ ඇස් දෙකක්  මගේ හදවත පසාරු කරගෙන  කිදා බැස්ස හිතේ පතුලටම.මං හිටියෙ කහ ඉරෙන් පාරෙ  එය හිටිය පැත්තට පනින්න එයා හිටියෙ කහ ඉරෙන් පාරෙ මම ඉන්න පැත්තට පනින්න.ඒ පැත්තට මේ පැත්තට යන වාහන තොගය අතරින් පතරත් ඒ ඇස් මගේ ඇස් වලම පැටලිලා උන්න.මේ තමයි මම මෙච්චර දවසක් හොය හොය හිටිය මගේ සංසාරික ආදරේ හිමිකාරය කියල කියන්න කට ඉස්සර ගන්න තරම් මම බොළඳනම් නෑ. ඒත් බොරු කියන්නෙ මොකටද මහ සෙනඟක් හිස් ලූ ලූ අත  යන මේ මේ ගිනි මද්දහනෙ නුහේගොඩ හංදිය මැද්දට එක පාරටම හිම කන්දක් කඩාගෙන වැටුන වගේ සීතළක් මට දැනුන.හරියට මට දැනුනෙ ස්වීටර් එකක්වත් නැතුව අයිස්ලන්තෙ අතරමං උනා වගේ.ඒ සීතල මැද්දෙන් අඩිය තිය තිය ඉස්සරහට යනකොට ඈතින් මට රහුමාන්ගෙ රොමෑන්ටික් සින්දුවක් ඇහුන....ඒ සින්දුවෙ තාලෙ උරුහන් බබා ඉස්සරහටම යනකොට මම හිටියෙ නමක් දන්නෙ නැති කහම කහ පාට මල් යායක අතරමං වෙලා....
                                 ච්චරම ලස්සන හීනෙක හිටපු මාව එක පාරටම ආයෙත් ගිනි ගහන නගරෙ මැද්දට පතබෑවුනේ කන ගාවින්ම ඇහුන හෝන් සද්දෙකට උඩ විසිවෙලා.ඒ වෙනකොට හරියටම තප්පර හැටකුත් තවත් තප්පර හතරක්  මං හිටියෙ වෙනස්ම ලෝකෙක වෙනස්ම හැඟුම් ගොන්නක් එක්ක.පියවි සිහියට ආව ගමන්ම මම හෙව්වෙ අර අඩි හයයි හතරෙ ඉලන්දාරියගෙ දුඹුරු පාට ඇස් දෙක කෝ කියල. හතර අතේ ඇස් කරකෝ කරකෝ මම ඒ ඇස් දෙක හොයද්දි අන්තිමට මට මාවම හම්බුනේ ඒ දුඹුරු පාට ඇස් බෝල අස්සෙ ඉදල.ඒ ඇස් මගේ ඇස් ඉස්සරහටම ඇවිත් හිනාවෙද්දි මට උන් හිටි තැනුත් අමතක උනා. කවුද හිතුවෙ කොල්ලෙක් ඉස්සරහ මේ වගේ ලැජ්ජ වෙන්න වෙයි කියල.ඒත් ඉතින් මම විතරක් නෙවෙයිනෙ බලන් යනකොට ඒ ඇසුත් මාව අත ඇරල නැති පාටනෙ. නැත්තන් මොකටද මෙයා මගේ ඉස්සරහට කඩන් පාත් උනේ. අන්න එහෙම හිතෙද්දි පිරිමි ඉස්සරහ මම දාන සාම්ප්‍රදායික ඝන කම හිතට අරන් නළල රැළි කරල අහක බලා ගත්ත. ඊට පස්සෙ මම කල්පනා කලේ මේ වගේ වෙලාවකට කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් අහන සාම්ප්‍රදායික ප්‍රශ්න සහ ඒවාට මම දෙන සාම්ප්‍රදායික උත්තර ටික.
මිස් වෙලාව කීයද.... එහෙම නැත්තන් මම ඔයාව මීට කලින් කොහෙදි හරි දැකල තියෙනව...ඔයා වැඩ කරන්නෙ අහවල් තැනද... මගේ අද්දැකීමෙ හැටියට ඔන්න ඔය වගේ විකාර ටිකක්නෙ.
ඔයාගෙ ඇස් හොයන්නෙ මාව නේද....?
මම වෙන වෙන බයිලා හිත හිත  ඉද්දි මෙන්න මෙය පොල්ලෙන් ගහනවා වගේ අහපි.

මඟුලක් කතා කරනව...
මම හිතින් හිතපු ටික ඒ විදියටම මගේ කටිනුත් එලියට පැන්න.
ම්ම්ම්ම් .. ඔව් අදහසක් නැත්තෙමත් නෑ...
මම නිදැල්ලෙ අත් ඇරපු පන්දුවටත් එයා මට කට උත්තර නැති වෙන්නම පහර දුන්න. මෙයා කොහොම කෙනෙක්ද කියල මට හිතා ගන්න බැරි උනා.මේ අවුරුදු විසි හතරටම පිරිමියෙක් ඉස්සරහ අද පලවෙනි වතාවට මගේ හිතට මොන මොනවදෝ වෙනව කියල මට දැනුන.හරිනම් මේ වෙනකොට මම මේ පැත්තකවත් නොයිද  පලා යන්න ඕනෙ.ඒත් මොහොතින් මොහොත මගේ හිත මේ කොල්ලගෙ බැල්මට , කතාවට ආකර්ශණය වෙනව.මගේ උගුර කට පවා වේලිලා වගේ මට දැනුනෙ.සීතල වතුර වීදුරුවක් බී ගෙන බීගෙන යන්න තිබුනනම් කොච්චර ශෝක්ද කියල මට හිතුන.

හරි හරි ඔයා මේ ජිරාෆ් වගේ බෙල්ල හරෝ හරෝ  හතර අතේ හෙව්වෙ මාව නෙවෙයිම කියමුකෝ... ඒ උනාට බොරු කියන්න වැඩක් නැහැ මමනම් දැක්ක වෙලේ ඉදන්ම හෙව්වෙ ඔයාව...

එයා ආයෙම කතා කරල එහෙම කියද්දි මට හිතුන නුගේගොඩ හංදිය මැද්දෙ වලක් හාරගෙන හැංගෙන්න.

එනිවේ... මම නිකිත.... ඔයා....
එයා මන් දිහාට දකුණු අත දික් කරද්දි මම හුස්මක්වත් නොගෙන ඒ ඇස් දිහා බලන් හිටිය. මාවම කොනිත්ත කොනිත්ත මගේ හිත මට කිව්වෙම  පාරමී... පාරමී.. මේ තමා උඹේ ඉරණම් කාරයා කියල. මගේ හිතත් එක්කම ඔට්ටු වෙවී හිටපු මට එයා දික් කරපු අත අල්ලන්න සිහියක් තිබුනෙ නෑ.
හෙ...ල්...ලෝ..ව්..
එයාගෙ හුස්ම මගෙ මූණටම වැදෙන තරමට ළං වෙලා ටිකක් අදලා පැදලා තාලෙට එහෙම කියද්දි තමයි මම ආයෙමත් ගැස්සිලා ගියේ.
ඕ... සොරි... මම පාරමී...

එහෙම කියල යාන්තමට මම එය දික් කරන් හිටපු දකුණු අත ඇල්ලුව. මල මිනියක් තරමටම මම සීතල වෙලා කියල මට තේරුනේ ඒ අතැඟිලි ඒ තරමටම උණුහුම්ව මට දැනුන නිසා වෙන්න ඇති.
ම්ම්ම්... පා...ර..මී..නම ඇහුවමනම් හිත නිවෙනව.. හැබැයි ඇස් දිහා බැලුවම හිත පත්තුවෙනව....
ඒ කතාවටනම් මට යාන්තමට හිනාවක් ගියා.

ඉතින් .. පා.. ර...මී... ඔයා මොකද කරන්නේ..
අර බ්‍රේක් නැති කට ආයෙමත් කියවන්න ගත්තා මෙයා නිකං හරියට කතා කරන්නෙ ආත්ම ගානක් තිස්සෙ මාව දන්නවා වගේනෙ.
මේ වෙලාවෙනම් මම කරන එකම දේ ඇස් වලින් විතරක් නෙවෙයි කන් වලින් නාහෙන් කටින් පවා එයාට වශී වෙලා ඉන්න එක තමා ඒත් ඉතින් ඒක එයාට කියන්න බෑනෙ.

ඉන්නවා හිටං

මම එහෙම කිව්වෙත් මගේ සුපුරුදු ඝනකමින්ම තමයි. එයා ඒකටත්  හයියෙන් හිනා උනා.පාරමී කියන්නෙ කොල්ලෙක් ඉස්සරහ මේ තරමට හෑල්ලුවෙන කෙල්ලෙක්නම් නෙවෙයි. ඒත් .. ඒත් මට මොනවා වෙලාද මමම දන්නෙ නෑ.. ආයෙත් හිත කිව්වෙම  ඉවසපන් පාරමී මේ තමා උඹේ ඉරණම්කාරයා කියල.

මම කියන්නද වැඩක් හිටං නොඉද අපි ටිකක් කොහේ හරි  ඉදං  කතා කරමුද..?
ඒ පාර මෙයා මොකාටද එන්න හදන්නේ.. මම එහෙම හිතුවත් ඇත්තටම මගේ හිත කිව්වෙත් මෙයා එක්ක තව කතා කරන්න තියෙනවනම් කියන එකමයි. ඒත් නාඳුනන කොල්ලෙක් එක්ක එහෙම කිව්ව පලියට යන එක කෙල්ලෙක්ට සුදුසු නෑ කියලත් ඒ සැනින්ම හිතට ආව.අනික ඉතින් මේ දෙනොදාහක් ඉන්න ටවුන් එකේ ප්‍රේස්ට්‍රි ශොප් එකකට මෙයා එක්ක  ගියා කියල මගේ මොනව නැති වෙන්නද කියලත් ඒ හිතටම ආයෙමත් හිතුන. අනේ මංදා... නිකිතගෙයි පාරමීගෙයි කතාව එක්කො මෙතනින් ඉවර වෙන්නෙ ඕනේ එහෙම නැත්තන් තව දුර යන එකක්ද කියල බලන් ඉන්න ඕනේ.

ඇත්තම කියන්නද මම මේ ඉන්නේ තාම උදේට තේකවත් නැතුව පට්ට බඩගින්නෙ... මට දැන් මොනා හරි කාගෙන කාගෙන යන්න ඕනෙ.. එහෙම කන්න යන්න හිටිය මඟ තමා ඔයා මේ හරස් කලේ.. ඉතින් ඔයාට යුතුකමක් තියෙනව මේ අසරණයගෙ බඩගින්න නිවා ගන්නකන් ළඟට වෙලා ඉන්න..

ඒ කතාවටනම් මගේ මුළු හිතම දාලා පිච්චිල ගියා.එයා එහෙම කිව්වෙ මගේ අනුකම්පාව ගන්න නොවෙන බවත් එයා දිහා කෙලින් බැලුවම මට තේරුම් ගියා. ඇත්තටම ඒ කතා කරන හිනාවෙන ඇස් අස්සෙ ලොකු වෙහෙසකර බවක සලකුණු තිබ්බා. අහස් නිල් ඩෙනිමට යට කරල ඇන්ද  සුහු පාට ටී ශර්ට් එක කරේ එල්ලෙන බෑග් එක  අතේ තියෙන මොනවදෝ දාපු ෆයිල් කවරය මෙයා ටිකක් දුර ඉදන් මොනා හරි වැදගත් වැඩකට නුගේගොඩට ආපු කෙනෙක් වගෙයි මට හිතුනෙ. එහෙම නැතුව රස්තියදුකාරයෙක්වත්  කපටියෙක්වත් නොවන බවනම් ගැහැණු ඉවට මට හොදටම තේරුනා.අපි යමුද.. කියල එයා ආයෙම අහද්දි මම දෙපාරක් නොහිතම එයගෙ පස්සෙන් වැටුන. ඩෙවෝන් එකට යන්න පාර පනිද්දි එයා මගේ අතින් අල්ල ගත්තෙ මට හිතන්නවත් ඉඩක් නොතිය.ඒ අත මගේ අතේ ගෑවෙද්දි ආයෙමත් අර මල මිනී සීතලට මගේ ඇඟ පුරාම හීගඬු පිපුන. මට බොරු කරන්න නම් එපා  පාරමී... උඹ මේ කොල්ලට ආදරෙයි...ඩෙවෝන් එකේ උඩ තට්ටුවෙ කෙළවරේම මේසෙක වාඩි වෙද්දි මගේ හිත මට මහා හයියෙන්ම කිව්ව.

...ති....න්...

ප්‍රේස්ට්‍රි එකක් මගේ අතට දීල එයත් එකක් අතට ගන්න ගමන් ආපහු එයා හැදුවෙ කතාවකට මුල පුරන්න. ඒත් මම මුකුත්ම නොකිය මේසෙ කොනක වැටිල තිබුණු වතුර බිංදුවක් දිහා බලාගෙන හිටිය.මේ ආගන්තුකය ඉස්සරහදි දැන් දැන් මගේ හිතුවක්කාර කම් යට ගිහින්.මෙච්චරකාලෙකට අවදි නොවුන මගේ ගැහැණු කම් හිමිහිට තටු ගගහා අවදි වෙනව කියල මට දැනුන. මගෙන් කතාවට අනුබලයක් නැති නිසාම එයත් කලේ ඊට පස්සෙ සද්දයක් නැතුවම කන එක.එයා මොන තරම් බඩගින්නකින් ඉන්න ඇද්ද කියල මට තේරුනෙත් එයා කන වේගෙ දැක්කම.ඇත්තටම මටනම් කන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ මගේ හිත වගේම බඩත් තව වේල් දෙක තුනක් නොකා ඉන්න තරමට පිරිල කියලමයි මට දැනුනෙ.ඒත් ඉවසගන්න බැරි තිබහක් නම් තිබුන.

අනේ....ගෑනු ළමයෝ... ඉතින් දැන්වත් කියන්නකෝ අඩුම ගානෙ ඔයා ඉන්නේ කොහෙද කරන්නේ මොනවද කියලවත්.

මේ දඟකාරය ඉස්සරහ තවත් ඉතින් ආඩම්බර කම් පාන්නවත් ගනන් උස්සන්නවත් හංගන්නවත් මගේ හිත  තවත්නම් මට ඉඩ දෙන පාටක් නැති නිසාම මම ලස්සනට හිනා වෙලා එයා දිහා බැලුව.මගේ බැල්මට ඒ දුඹුරු ඇස් ඩිංගකට සසළ උනාදෝ මන්ද.

මං ඉන්නෙ මහරගම 

මම එහෙම කියල ඉවරවෙනවත් එක්කම එයාගෙ ඇස් ලොකු වෙලා මට නොතේරෙන මොකක්දෝ හැඟීමක් ඇස් අස්සෙ නතර උනා.

ම..හ..ර.ග..ම.. හරි ශෝක් තව ටික දවසකින් මමත් එහෙට පදිංචියට එනවා.

එයා කිව්වෙ හිනා වෙවී.අනේ මේකා මාව ජෝක් එකට අරන් වගේ කියල මට හිතුනත් මමත් ඒක නොපෙන්නා කතා කලා.

ඇත්තද... මහරගම කොහාටද...

ම්ම්ම්.... මහරගම.... මහරගම කැන්සර් හොස්පිට්ල් එකට

එයා එහෙම කිව්වෙ උරහිස් අකුලල හරිම සැහැල්ලුවෙන්.ඒත් ඒක අහපු මගේ හිත විතරක් නෙවෙයි අයිස් කෝපි වීදුරුව අල්ලන් හිටිය මගේ අතත් වෙව්ළන්න ගත්ත.දෙවියනේ ඒක එහෙම නොවෙන්නත් පුලුවන්.මම එක පාරටම  හිතට දැනුන අසුබ සිතුවිල්ලට තරවටු කලා. සමහරවිට මෙයා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඇති.ඒත් එහෙම හිතල තප්පරයක්වත්  ගත වෙන්න නොදී එයා ආයෙම කතා කලා.

ඔයා දන්නවද  පා...ර... මී... මේ රිපෝට්ස් වල තියෙන්නෙ මට කැන්සර් පොසිටිව් කියල.

මේසෙ කෙළවරක තිබුන ෆයිල් කවරෙ ඇඟිල්ලෙන් පෙන්නන ගමන් නිකිත එහෙම කිව්ව.කටට ගත්ත සීතල කෝපි උඟුර උණුම උණු ලෝදිය වෙලා බඩ පපුව දාගෙන පහලට ගියා.ඇහි පියක්වත් ගහන්න කලින් ලොකුම ලොකු කඳුලු ගුලි දෙකක් ටක් ටක් ගාලා මගේ ඇස් වලින් මේසෙ උඩට වැටුන. මම අහන්න ප්‍රර්ථනා නොකලම දේ මට අහන්න සිද්ද කල මේ දෛවය මොන තරම් අකාරුණිකද.මට ඉන්නෙ කොහෙද කියල අමතක කරල මහ හයියෙන් අඬන්න ඕන උනා.තොල් පට හපාගෙන ඉකිය පාලනය කරන්න වෙහෙසෙන  මගේ දිහා නිකිත බලන් හිටියෙ බය වෙලා.ඉතින් මම දැන් එයාට තව මොනවා හංගන්නද එයා හැමදේම තේරුම් ගනීවි.

දෙයියනේ පාරමී... ඔයා... ඔයා... මට....

එයා මොනවදෝ කිය කිය දෑතින්ම හිස බදාගත්ත.

අනේ දෙයියනේ මට සමාවෙන්න පාරමී .. මට සමාවෙන්න. මට මෙහෙම නොකර ඉන්න තිබුනා... ඇයි මම ඔයා එක්ක කතා කලේ.. ඇයි මම ඔයාව මෙච්චර දුරක් එක්කන් ආවේ...මම ඒකට සුදුසු නෑ.. එක විනාඩි දහයකට පහළවකට මට මං කවුද කියන එක අමතක උනා...

ඔයා මොනවා කිව්වත් මම දැන් ඔයාට මටත් වඩා ආදරෙයි නිකිත... එයාගෙ ඇස් වලට එබිල මට එහෙම කියන්න හිතුන.ඔව් මේ තමයි ආදරේ මෙච්චර කාලෙකට මම නොදැන හිටි ආදරේ එයා ගැන හිතට දැනිච්ච ආදරෙත් හරියට පිළිකාවක් වගේ ලේ නහර පුරා දුවනව මට දැනුන.

මම යන්න ඕන පාරමී... මීට වැඩි දුරක් මට ඔයා එක්කවත් ඔයාට මා එක්කවත් එන්න බෑ..ඔයා ඔහොම අඩන්න එපා ඔය කඳුළු වලට මාව පිච්චෙනව...අද උදේ ඩොක්ටර් ඔයාටත් මෙහෙ ඇවිත් නවතින්න වෙනව දරුවො කියද්දිවත් මට මෙච්චර දුකක් දැනුනෙ නෑ  පාරමී...

බෑග් එකයි ෆයිල් එකයි අරගෙන නිකිත එක පාරටම පුටුවෙන් නැගිට්ට.එයා නොකියම ගිහින් මගෙන් ඇත් වෙයි කියල මට හිතුන.ඒත් අවුරුදු ගානකට පස්සෙ හොයා ගත්ත මගේ ආදරේට මම එහෙම ලේසියෙන් මඟහැරෙන්න දෙන්නෙ නෑ.මම ඒ තීරණය අරන් ඉවරයි ඉතින් බලමු එයා මගෙන් ඈත් වෙලා කොච්චර දුරක් යාවිද කියල. හිතුව වගේම එයා සමුගැනීමකින් තොරවම දුවගෙන වගේ ගිහින් අඩියට දෙකට පහළට බැස්ස.මම මගේ හිතට වගේම ඇගටත් හයිය ගත්තෙ නිකිත නොපෙනී ගිහිල්ලත් තප්පර පහ හයකට පස්සෙ.
කඩාහැලෙන කඳුලුත් එක්කම මම ඩෙවෝන් එකෙන් එලියට දුවන් ආවෙ පිස්සුවෙන් වගේ.හිතුව වගේම නිකිත ඉක්මන් ගමනින් ටවුන් එක පැත්තට යනව.කකුල් දෙකට උපරිම වෙර අරන් මම අපි අතර තිබුන පරතරය තප්පර ගානකින් සම කරන්න ඇති.දුවල ගිහින් මම එයාගෙ වම් අතේ එල්ලුනා.එයා ගැස්සුනා ඒත් ඒ ඇස් වල තිබුනෙ එයා මාව බලාපොරොත්තු උනා කියන හැඟීමක්.

අත අරින්නනම් කියන්නෙපා.... මම හති දදා එහෙම කිව්වෙ තවත් ඒ අත හයියෙන් බදාගෙන.

පා..ර..මී.. මං.... මැ..රෙ..න්..න...

තවත් මුකුත් කියන්න ඉස්සර මම මගේ ඇගිල්ලක් එයගේ තොල් වලට තියල තද කලා.

ෂ්..ෂ්..ෂ්..ෂ්... මං ආදරෙයි....
 කඳුළු පිරිල තුබුන ඒ ඇස් වලට ලස්සන හිනාවක් ආව.ඒ හිනාව ළඟ මගේ දුක කොහේටදෝ පාවෙලා ගියා.එයා මගේ දකුණු අත අරගෙන එයාගෙ වම් අතේ පටලව ගත්ත. ඊටත් පස්සෙ අපි අපේ අත් පටලන් ඈතට ඈතට ඇවිදගෙන ගියා.


                            ___________ නිමි ___________

10 comments:

  1. ටෙස්ටින්ග්....ජස්ටින්ග්..ටෙස්ටින්ග් වන්....ජස්ටින්ග් ටූ

    ReplyDelete
    Replies
    1. ම‍ෙහ‍ෙම ව්‍ෙලුණ බ්ල‍ොග්ද අප්පා ම‍ෙව්වා.....

      Delete
    2. හයියූ...කියලා වැඩක් නෑ බලමු ආපහු ගොඩ දාන්න

      Delete
  2. හම්මාහ්....නියමයි....මරු....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී චෙෆාකි

      Delete
  3. ඇයි බන් මේකට කමෙන්ට් දෙන්න බැරි තරමටම කට්ටිය ලොප් වෙලාද.. වචන වලින් මිනිස්සු මරනව කියන්නෙ මේවට තමයි.
    දෙබස් හිත ඇතුළෙ රඟපානව. මරු.

    ReplyDelete
    Replies
    1. අනේ මම අදනෙ දැක්කෙ මේ කමෙන්ට් බොහොම ස්තූතී

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. හරිම සන්වේදී සටහනක්. ජයම පතනවා ඔබට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී රසවිඳලා දිරිමත් කලාට

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.