සඳට බැළුම් හෙලූ අය

Aug 17, 2016

ඉයන්ගේ රැල්ලට - සිතූගේ අභියෝගයට

ඔන්න ඉතින් ටිකක් පහුවෙලා හරි මමත් දැනගත්තා මේ දවස්වල  බ්ලොග්  ලෝකේ කළඹාපු ඉයන්ගේ    කැමතිම  සින්දු දාසයේ රැළ්ල.පහුගිය ටිකේ බ්ලොග් කියවන්න විවේකයක් තිබුනේ නැති  නිසා මම මේක   දැනගත්තේ සිතුවිළි සිතූගේ බුකි පිටුවෙන්.ආයෙ ඉතින් මොකටද  මමත් ඒක දැක්ක ගමන්ම අභියෝගය ඉල්ලලාම බාරගත්තා.ඉතින් ඉයන්ටයි සිතූටයි දෙන්නටම ස්තූති කියලම  මමත් වැඩේ පටන් ගන්නෝ එහෙනම්.

 01 -  ( සිතින් අදිනවා ආපසු යන්න නොදී )  අවුරුදු හතක් අටක් තිස්සෙ හැමදාමත් එකම වගේ අහන්න කැමති ගීතයක්.මේ සින්දුව මම අහන්න ගත්තෙත්  මේ සින්දුවට ආස උනෙත් වෙන කෙනෙක් නිසා. ඒක ටිකක් දිග කතාවක්  ඒ නිසා ඒ  ලොකු කතා මෙතනට ඕනෙ නෑ. චන්දන ලියනාරච්චිගේ මම කැමතිම  ගීත වලින් හැමදාමත් මේ ගීතය ඉදිරියෙන් ඉන්නවා.
  
.




02 -  ( අම්මාවරුනේ ) හය හතර තේරෙන කාලෙ ඉදන්ම ඇහිච්ච දැනිච්ච  ගීතයක්.කොහේ කොතනදි ඇහුනත් ඇහුවත් හිතට මොකක්දෝ වෙන පද පේලි වගේම නන්දා මාලිනියගේ ඒ හඬ මාව උමතු කරනවා.




03 - ( සායම් කිරිල්ලී ) මෑතකාලෙදී  අහපු ටිකක් වෙනස් පොඩ්ඩක් නැටවෙන  සින්දුවක්.කෙල්ල දාලා යන   කොල්ලා අඬන,  මූදෙ පනින පිස්සො වෙන විශුවල් පෙන්නන  කාලෙක  එලියට දාපු වෙනස් සින්දුවක් සහ  විශුවල් එක නිසා මේකට කැමති.




 04 - ( අනන්තයක් වී ඔබේ ආදරේ ) මේ  ඉතින් හිත ඉල්ලනම ගීතයක් මැරීගෙන  ආදරේ කරන කාලේ පාලුවෙන් තනියම ඉන්න රෑට හැමදාමත් පාලු කපපු ගීතයක්.දැන් ඉතින් එයා එක්කම අහනවා ඇහුවෙ නැත්තන් අහපිය කියලා දාලා බලෙන් අස්සනවා.





 05 - ( පාරමීදම් පුරා ) මට මතක විදියට මීට අවුරුදු පහකට විතර කලින් මේක  මුලින්ම ඇහුවේ. ස්වයංජාත ටෙලියේ තේමා ගීතය.ඇත්තටම අපූරු ගීතයක්.ප්‍රේමය ගැන මම ඇහුව අර්ථවත්මකම  භාවාත්මක ගීතයක්.සුනිල් එදිරිසිංහ සමග විශාරද නන්දා මාලිනීයගේ අපූරු සුසංයෝගයක්.

ලේ නහර ඇට මිදුළු විනිවිද
රිදුම් දෙන හැඟුමක් ද ප්‍රේමය
දුරට වී ඇසිපිය නොලා
බලා ඉන්නට අවසරයි
සංසාරයේ....
පතා ආවෙත් එලෙසමයි

මේ වචන ඇහෙද්දී හිතට මොකදෝ වෙනවා.


06 - ( ඔබ ගින්දර දළු පිරිච්ච )ඊළඟට තියෙන්නෙත්  මෑත කාලෙදී අහපු පලවෙනි පාරම හිතට ඩෝං ගාලා වැදිච්ච වචන වගේම කටහඬක්.මේ වචන මට  ඒ තරමට සමීපව දැනුනේ මීට  ගොඩක් කාලෙකට කලින් ඒ කියන්නේ 2011 දී මම  මේ වචන වලටම ළඟින් යන  කවියක් ලියලා තියෙනවා.ඒ නිසාමද කොහෙද මම මේ සින්දුවට හරිම ආසයි. උමාලිගෙ වොයිස් එකටත් මාරම කැමති. මේ සින්දුව අහලා පල්ලෙහා තියෙන මගේ කවියත් කියවල බලලම යන්නකෝ.

හීන් හිනා මල් පිපිච්ච
රෑ හීනම සුවඳ වෙච්ච
ප්‍රේමාතුර කවි කිනිත්ත
මමයි ඔබේ දඟ පැටික්ක.........

සඳ දිය මත තරු වැටිච්ච
හීන වලට දොර ඇරිච්ච
මල් අතරේ මල් පොඩිත්ත
මමයි ඔබේ දඟ පැටික්ක......

ආදරයෙන් හිත පිරිච්ච
හීන මතින් දුර ගෙනිච්ච
ලස්සන හිරිමල් සිඟිත්ත
මමයි ඔබේ දඟ පැටික්ක....

දේඳුණ්නක හැඩ මැවිච්ච
හීන හතම පාට වෙච්ච
අනුහස් ලද සුභ නිමිත්ත
මමයි ඔබේ දඟ පැටික්ක...


https://www.facebook.com/photo.php?fbid=195046610567527&set=a.105040109568178.8534.100001865689219&type=3&theater



07 - ( මවකගෙ උණුසුම නොලබා ) මේ ගීතය ටිකක් විශේෂයි. මොකද දන්නවද ? මේක මම කැමතිම සින්දුවක් හැබැයි අහන්න අකමැති.ඒ වගේ  සින්දු ඔයාලටත් තියෙනවද ? මේකත් පොඩි කාලේ ඉදන්ම ඇහිච්ච දැනිච්ච  ගීතයක්. මේකේ තේරුමවත් නොදන්න කාලෙ ඉදලා මම මේ  සින්දුවට ආස කලා.පස්සෙ ඉතින් ටිකක තේරෙන කාලෙදී මේකේ තේරුම දැන ගත්තම පපුව කඩාගෙන වැටුනා.ඊට පස්සේ මට මේ සින්දුව ඇහුනේ හරිම මූසල අදෝනාවක් වගේ.ඒත් ඒ අදෝනාව අහන්න මම යටි හිතින් කැමති  වගේ. මේක මට අමතක කරන්නම බැරි ගීතයක් ඒත් උවමනාවෙන් අහන්නේ නෑ ඇහුනත් නෑහුනා වගේ ඉන්නවා.



08 - ( මීඳුම් දුමාරයේ ) කසුන් කල්හාරගේ හැම ගීතයකට වගේම එකම වගේ ප්‍රියයි. ඒත් මේ ගීතය ඒ අතරින් අමාරුවෙන් තෝරගත්තා මේ හොදම 16 අතරට. මේකත් මීට අවුරුදු හතරකට විතර කලින් රෑ තිස්සෙ  අහපු සින්දුවක්.



09 - ( නෙතට උළෙලක් )දිවුල්ගනයන්ගේ ගීත අතරින් මේකටත් වැඩි මනාපයක් හිමිවෙනවා. හේතුවනම් අනේ මන්දා......




10 - ( නිලට නිලේ ) ඊට පස්සෙ ආයෙමත් ඉන්නේ කසුන්.කසුන් උරේශා කියන්නේ මම කැමතිම සංයෝගයක්.ඒ දෙන්නගෙ කොයි ගීතෙත් හරිම ප්‍රේමණීයයි. මේ සිකුරු හතේ ෆිල්ම් එකේ එන සින්දුවක්  මේක නිතර  කොහෙන්වත් ඇහෙන එකක්නම් නෙවෙයි.ඒත් මම නිතරම ෆෝන් එකෙන් දාගෙන අහන  සින්දුවක්.


11 - ( ඉකිගසා හඬන ) හිත හිරිවට්ටපු ගීතයක්.අමරසිරි පීරිස් මහත්තයගෙ මේ කටහඬට මම පුදුම තරම් ආදරෙයි.

12 - (පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් ) මම  ටීනේජ් කාලේ ඒ කියන්නේ මේ පොඩ්ඩක් නරකම වයසෙදි ආත්මලා, අසංග , රූකාන්ත , නාමල් , ප්‍රින්ස් එහෙම තමා නැගලා ගියේ.නිතරම ඇහුනේ කනට මෙයාලගෙ සින්දු තමයි.ඒ කාලෙ කියපු ආත්මගේ ගොඩක් සින්දු පරද්දලා අන්තිමට මගේ හිතේ නැවතුනේ එයා මීට අවුරුදු තුන හතරකට  විතර කලින් කියපු මේ සින්දුව තමයි.


13 - (ඔබ හීනයක් වගේ ) කැමතිම ගායිකාවකගෙ කැමතිම ගීතයක්.මේ ගීතයට කැමති වෙන්න තවත් හේතු තියෙනව.ඒ මේක මගෙ ආදරණීය සර් සන්නස්ගල ලියපු එකක්  වගේම මේක සර්ගෙ වස්සාන සිහිනය ෆිල්ම් එකෙත් තිබුනා.මේ වචන වලට මම කවදත් හරිම ආදරෙයි.ඒ වගේම  මේකෙ සංගීතයත් හරිම අපූරුයි.




14 - ( ඇස රැඳුන රැඳුන තැන් වල ) පොඩි කාලේ ඉදන් මේකත් අපේ ගෙදර නිතර ඇහුන සින්දුවක්.මේ සින්දුවට අපේ අම්මා ගොඩක් ආසයි.ඉතින් අහල අහලම මේකත් මට අමතකම කරන්න බැරි සින්දුවක් වෙලා දැන්.අපි කට්ටිය සෙට් වෙලා  ට්‍රිප් යනකොට එහෙම  මගේ බලවත් ඉල්ලිම් එන්නෙ මේ සින්දුව කියමු කියල තමා  කට්ටියට.

15 - ( අනාත මාරුතේ ) ඊළඟට රූකා හිච්චි කෙල්ල කාලේ පට්ට ගැහුවේ මෙයාගෙ සින්දු.ඉස්කෝලෙ  ෆ්‍රී පීරියඩ් වල  මුන්දගේ සින්දු කියලා  පන්තියම දනගහගෙනත් ඉදලා තියෙනවා.දවසක්දා හැන්දෑවක, සඳ බැසගිය තැන නෑ, කඳුළු බිඳක් , හම්මා මතක් කරනකොටත් මාර රහයි.ඒත් ඒ ඔක්කොම පැත්තකට දාලා ලිස්ට් එකට ගන්නේ මේක.මොකද  රූකාගේ සින්දු වලින් මගේ සත්තලන් කැමතිම සින්දුව මේක.මට මල පැන්න වෙලාවට එහෙම මේ සින්දුව සද්දෙට දානවා මට ඇහෙන්න.


 16 - ( කඳුළ නිවන්නම් නෙත නොතෙමනවානම් ) සරල සුන්දර ගීතයක්.මේකත් මම කැමතිම එකක්.සත්තලන් අනාත මාරුතේ කිව්වම මම මේක කියනවා හි හී

කඳුල නිවන්නම් නෙත නොතමනවා
නම් තනියට ඉන්නම් තනි නොකරනවා
 නම් මතකයේ ඉන්නම් අමතක නොමවෙනම්
 සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවා නම්
 මල් පුදින්නේ දැඟිලි අතරේ 
තැලි පෙලි මියැදෙන්න නොවේ
 සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි
 හිත රිදවා ගන්න නොවේ
 හඳ පායන්නේ තරු නැති ලෝකේ 
ඝනදුර දුරු කරවා ලන්නයි
 සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනි වෙන 
හිතකට එළියක් ලැබ දෙන්නයි.....



හම්මේ කෝමහරි ඔන්න අදම වැඩේ ගොඩ දාගත්තා. මේ රැල්ලෙම තව රැල්ලක් ආවොත් කොහොමද නිකන් කැමතිම හින්දි සින්දු 16 වගේ ? කෝ මේ ඉයන් ? ඇහුනදෝ ....






Aug 16, 2016

රෑ මනාළී මලක් !



නිශාචර මත් ඹබරු
රූං ගා ඇදෙනා

පාලු මාවතක ,

පහන් කණුවක් යටින්
මල් සුවඳ හැමුවා

විස්කි වඩියකට කට
ගැස්ම මේ හැගුණා

ඇසිල්ලෙන් ,

අඳුන් තවරාපු ඇස්
වලින් ඉඟි කෙරුවා

සෙයිළමේ මත් ඹබරු
පපුව උඩ වැහුවා

සත්තමයි ,

අප්පා නැති පොඩි එකා
'අම්මේ ' කියනවා ඇහුනා

රැයක් නිවෙනා තුරා
උන් මාව වින්දා

අන්තිමට ,

නිල් මොනරු හිනැහෙමින්
මගෙ කඳුළු ඉම්ඹා

Aug 13, 2016

මමත් අම්මෙක් !


( අතුරුදහන් වූ තම පුතු සොයා ගම් වැදුණු ඇතින්නකගේ විලාපය )

විදුලි වැට මරු කපොල්ලෙන් පැන ගමට ආ මුත් බෝ කිපී
ගිනි බිඳින්නට එපා ගම් වැදුනායි කියමින් වල් අලී
රෑන මඟහැරි මගේ පොඩි පුතු කොහේ ගියෙදැයි නොම දනී
අනේ මහතුනි කියනවද මට දුටුවදැයි රංකැටි පුතූ

රැහේ උන් තේජස්ම ඇත්තෝ ලීලෙ පෑවට ළං වෙවී
මවක් වෙන්නට කල් ගියා බෝ අවුරුදුම හත අට ගෙවී
අන්තිමේ මහ සියඹලාවට බාරවී තුන් මසකුත් ගෙවී
ඊට පස්සෙයි පුතේ උඹ මගෙ බඩට ආවේ පේ වෙවී

කුළේ මහ සද්ධන්ත වූවට හිතේ නෑ ඒ හැටි සවී
හිරකරන් දුක ඉන්න හැදුවට කඳුළු ඇස් අස්සෙන් පනී
උඹට දෙන්නට උනන කිරි ටික කඳුළු එක්කම යයි හැලී
අනේ මට මගෙ පුතා දීපන් පපුව යන්නට පෙර පැලී

සිදාදියෙ මහ එකෙකු ඇවිදින් අරන් ගියෙදෝ මගෙ පුතූ
පෑඟිලා මුන් ඇටවු උගුළක ගැලවෙන්න බැරිදෝ පුතූ
වැටී මහ රෑ වගා ළිඳකට හුස්ම හිරවුනිදෝ පුතූ
අනේ කොහෙ සිට හෝ අඬාපන් අම්ම ආවා මගෙ පුතූ

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...