සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Oct 26, 2016

අද හොදම දවස ඔබ එනවානම් !





වැහි බීරම ගළන
මේ සොඳුරු රාත්‍රිය බදාගෙන
මුඳු සුළඟ වියරුවෙන්
හාදු දෙන වෙලාවක
අකුණු සර මුවා කර
ඔබ එන්න.....

අපෙ ඇස් අපි දකින
පළමු තප්පරේදිම
ඔබ ගෙනා හාදු කන්දම
ඉතින් දෙන්න...

උසම උස මධු බඳුන
උතුරන්න පුරවාපු
ආදරේ රතු වයින්
බෙදාගෙන බිඳෙන් බිඳ
තොල ගාන්නට එන්න...

ආදරෙන් මත් වෙලා
ඔබේ ඇස් පියවෙද්දි
නුඹෙ හඬින් මං
අහන්නම ආස වික්ටර්ගෙ
සසර සැරිසරණ තෙක්
ඔබ මගේ... ඔබ මගේ
මුමුණන්න....

ඉතින් ඔබ එනවනම්
අද තමයි ඒ දවස
තවත් කල් නෑර
ඔබ එන්න...

Oct 17, 2016

හඳ පළුව තනි තරුව !






මේ කතාව නිශ්ශංක විජේමාන්නයන්ගේ මා විසින් කල දෙවෙනි කියවීමයි, ගිය වසරේ තාරා මගේ දෙව්දුව කියවා ලද සතුට කැමැත්ත නිසාම මේ පොත අර ගත්තා.බොහොම ලස්සන පිටකවරයක් , අපූරු හුරුබුහුටි පොතක්.පිටින් දකින ඒ ලස්සන හුරුබුහුටි කම කතාව තුලත් බොහොම අපූරුවට ගලා ගෙන යනව.එක හුස්මට කියවන්න පුලුවන් ගතිය තියෙනව. ඒත් කලබලෙන් කියෙව්වොත් පොඩ්ඩක් පැටලැවෙන්නත් පුලුවන්.ඒ නිසා බොහොම සීරුවට කියවන්න ඕනෙ.කතාවෙ මුල පටන් ගන්නෙ ඉවර වෙන්න ඕන තැනින්.ඒ නිසාම මම අන්තිම කියවලා ඉවර වෙලා ආපහු මුල පරිච්ජේදය කියෙව්වා.එතකොට තමයි කතාව සම්පූර්ණයි කියල මට දැනුනෙ.

1818 වර්ෂයේ සිදුවීමක්, 1974 වර්ෂයේ සිදුවීමක් ඒ සේරම වර්තමානය හා බද්ධ වෙච්ච කතන්දරයක් හරිම අපූරුවට ගලාගෙන යනව.මේ සේරම අස්සෙ යටි පෙළින් ජාතිය , ආගම , දේශපාලනය වගේ සමාජීය ප්‍රශ්නත් කතාවෙනව.කොහොම උනත් අවසානයේ රසවත් හරවත් කතාවක් කියෙව්ව කියන සැනසීම හිතට දැනෙන කතාවක්.

මොහොමඩ් අනිල් සත්‍යානන්දන් මේ තමා අපේ කතාවේ නායකය.සිංහලත් නොවන දමිළත් නොවන මුස්ලිමුත් නොවන මොහු කවුද.? ඒක හොයා ගන්න කතාව කියවන්නම වෙනව ඉතින්.

'' හඳ පළුව තනිතරුව මගේ කැලිග්‍රැෆියයි.මා පෙන්වන්නේ අකුරු හා වදන් පමණි. සිතුවම ඔබේ හදේ ඇඳේනම් මගේ චාරුලේඛනමය උත්සහය ගැන මට සතුටු විය හැක.''

පොත ගැන කතුවරයා අපිට කියන්නේ අන්න එහෙමයි.

නිශ්ශංක විජේමාන්න
විදර්ශන ප්‍රකාශන
මිල - 400

Oct 14, 2016

නුගේගොඩ කියන්නෙම ආදරේ නගරයක් !



 
                                                 ( පින්තූරේ අන්තර්ජාලෙන්)



      
තාමත් ඉදහිට දවසක
පහු කරනකොට නුගේගොඩ
හැරි හැරී බලනවා බෝ ගහ යට
වැරදිලා හරි ඉන්නවද නුඹ

රොටරියට යන පාර මුල
උණු උණුවෙ වැටුන කඳුළක තෙත
නැවතිලා හිතින් අත ගා මිස
පහුකරන් යන්න තාමත් බැරි පව

ෆැබ් එකේ කෙළවරෙම මේසෙක
ගෑවි ගෑවී ළඟින් ඉදගෙන
එදා උණු උණුවෙ බිව් කෝපි උගුරට
අදයි පිච්චුනෙ පපුවෙ පැත්තම

සරසවියෙ පොත් අතර දුවනකොට
හිත මෙලෝ සිහියක් නැතුව
වැදිල නුඹෙ හුස්මක් පිටුපසින් ගෙල මුලට
අදත් ගැස්සිලා අත අතහැරුන සුනේත්‍රගෙ 'හෘද සූත්‍රය '

ඇත්තමයි නුගේගොඩ උඹ මහා කරුමයක්
පාඩුවේ ඉන්න හිත ගිනි තියන පුළිඟුවක්
ඇමිණි ඇමිණි හිතේ ලේ විදින මතකයක්
නුගේගොඩ කියන්නෙම ආදරේ නගරයක්

Oct 8, 2016

අනුරා නුරා !









පිණි වැටෙන සීතලේ උණුසුමට ඉඩදෙන්න
නෝක්කඩු සඳවතී කෝ ඉතින් ළංවෙන්න
මුලු රෑම ප'පුතුරේ නිදිවරන්නට එන්න
සුන්දරම ගින්දරින් මාව අවුලව ගන්න

නුරා පෙම් යහනාවෙ පිච්ච මල් අතුරන්න
මගෙ හුස්ම අරන් ඔය හුස්ම ඩිංගක් දෙන්න
සොඳුරු අනුරාගයේ සප්තස්වර හඩවන්න
පොපියනා හංස තුඩු දැන් අවදිකරලන්න

දුහුල් සළුතිර ඉරා ප'පුතුරට ගුළිවෙන්න
ඔය කෝළකම් එපා මගේ හුස්මට එන්න
නුරා මදිරා පොවා මාව මත්කරලන්න
රසවිලේ කිමිදෙන්න පෙති දෙපෙති ඇහැරන්න

පිපුණු කටරොළු මලේ පැහැය තව විදගන්න
උමතු වූ ඇස් දෙකට තව ඕනේ දුර යන්න
පිණි හාදු වැස්සකින් මලේ පෙති නහවන්න
සුයාමය තෙක්ම මගෙ නෙතේ පැටලී ඉන්න

තබා තුඩ තුඩ සෙමින් මලේ රොන්සුණු ගන්න
කිතිකැවෙන හිරිවැටෙන හැඟුම් පිටකරලන්න
බදා දෙවුරින් මගේ මුඳු බඳට තෙරපන්න
මල් සුවඳ හමාවී ඉතින් දැන් සැනසෙන්න



Oct 4, 2016

කොළපාට ඇස් !



ආදරේට වයසක් නෑ... ආදරේට ඇස් නෑ...ආදරේට වෙලාවක් කලාවක් නෑ... කොටින්ම ආදරේට ජාතියක් ජන්මයක් නෑ...එහෙම හිතන අය මේක කියවන්න. එහෙම නොහිතන අයත් ඉෂාගෙයි කසබාගෙයි මේ ප්‍රේම අන්දරය කියවලා බලන්න....
කොළ පාට ඇස්... බුක් ෆෙයා එකෙන් ගෙනාපු පොත් වලින් ඉස්සෙල්ලම කියවන්න ගත්තෙ මේ පොත.අවුරුදු 21 ක කෙල්ලෙකුයි 65 ක තරුණ ( මහලු ) කොල්ලෙකුයි අතර මුලින් ලිංගික ආකර්ශණයකින් ආරම්භ වෙලා පස්සෙ ලේ නහර වලට පවා දැනෙන හැගෙන ආත්ම ගත බැඳිමක් දක්වා දික්ගැස්සෙන අසම්මත ප්‍රේමයක් ගැන සන්නස්ගල සර්ගෙ මායකාරි සිංහල වචන වලින් අපිව කොනිත්තන හිරිවට්ටන කතාවක්.
               
                         හැබැයි කතාවෙ මැද හරියට එනකොට කියවන්න හරි වෙහෙසකාරි බවක් දැනුන.වචන මොන තරම් මනරම් උනත් මටනම්.ඒ කතාවේ මුල් බාගයේම දෙබස් අඩු නිසා කියලයි මට හිතෙන්නෙ.ඉෂාගේ ඇස් වලින් සහ කසබාගේ හිතින් ඔවුනොවුන් දකින විදිය හා ලෝකය දකින විදිය ස්වයං පාපොච්චාරණයක් එහෙමත් නැතන් දිග හෑල්ලක් වගේ කියාගෙන කියාගෙන යන නිසා කතාව එක හුස්මට කියවන්න හිතෙන ගතිය මඳක් පස්සට යනව.ඒත් අත අරින්න එපා... හොදම හරිය පස්සට...ඉෂා එයාගේ නූපන් දරුවට කියන කතාව මම කියෙව්වෙ ඇස් වල කඳුළුත් එක්ක.
                    
                    මේ කතාවෙ මට එකඟ වෙන්නම බැරි ටික තමයි ඉෂා කොළඹ ඉදන් මාතරට යද්දි එයාගෙ මොබයිල් එක නැති උනාට පස්සෙ සති ගානක් යනකන් තමන්ගෙ මහලු පෙම්වතාට කතා කර ගන්න බැරි වෙන එක.ඉෂා වගේ සම්මතෙන් පිට පැන්න රැඩිකල් තරුණියකට ( ටැටූ ගහපු , සිගරට් බොන,නහයට කරාබු දාන, 65 පෙම්වතාගෙන් දරුවෙක් ඉල්ලන)ගෙදර තියෙන ලෑන්ඩ් ලයින් එකෙන් කගෙත් ඇස් වහල කෝල් එකක් ගන්න තරම්වත් ආත්ම ශක්තියක් නෑ. හත්වලාමේ මම ඉෂානම් අර කසාඳ බඳින්න අහගෙන ගෙදරට එන මිනිහගෙ මොබයිල් එක හරි මායමක් දාල අරන් කසබාට කතා කරනව.
හැබැයි මතක තියා ගන්න මේක තවත් එක අසම්මත ප්‍රේම කතාවක් විතරක් නෙවෙයි.ඒ කතාවට යටින් බොහොම ගැඹුරු සමාජීය දේශපාලනික කතාවකුත් දිවෙනව.ඒ විතරක් නෙවෙයි සන්නස්ගල සර්ගෙ මේ මායාකාරි වචන වලට නොදෙවෙනිව අනිත් කතුවරියගෙනුත් සහය ලැබිල තියෙනව.මටනම් හිතෙන්නෙම මේක ලිව්වෙ දෙදෙනෙක් නෙවෙයි එක්කෙනෙක් කියලමයි.
ඉතින් මම කිව්වනෙ හොදම හරිය තියෙන්නෙ අන්තිමට. ඒක කියවලම බලන්න කියල මම ආරාධනා කරනව සන්නස්ගල සර්ගෙ අකුරු වලට ලෙංගතු හැමෝටම.