සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Dec 30, 2016

විඳිනු මැන වසන්තය !








ඉතින් මේ ගෙවෙන්නේ මේ වසරේ අවසන් පැය කිහිපයයි.එක දිගටම කවි දාපු නිසා අද ලියන්න හිටියේ  කතාවක් උනත් ඒක ටිකක් පහු කරන්න හිතුවා.ඉතින් මේ කවියෙන් මේ වසර අවසාන කරනවා.2017 වසන්තය විඳින්න  සූදානම් වෙන  බ්ලොග් වාසී සියලුම  දෙනාට සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරකට සඳවතී හදවතින්ම  පැතුම් ගේනවා.

සිසිරයට අමතක වෙච්ච
පුංචි හිම පියල්ලක්
දේවදාර ගස් මුඳුනක
යාන්තං රැදී නොරැදී
හිරුත් එක්ක හිනැහෙන්න
වෙරදරන අපූරුව - දුටුවාද

වසන්තයේ විකසිත
රෝස පොහොට්ටුවක් මත
මනමාල කම් කරන
ඉලංදාරි සමනළයෙක්
නොරිද්දා රෝස පෙති
ආදරේට හාදුවක් තබන අපූරුව - දුටුවාද

ගිම්හානයේ ගිලන් වෙච්ච
මලානික තණපතක් අග්ඟිස්සේ
තැවරිච්ච තුෂර බිඳුවක්
මියෙන්නට ආසන්න ඒ පුංචි තණ පතට
හුස්ම එක ඇබිත්තක් පොවන්නට
වෙරදරන අපූරුව - දුටුවාද

සරත් සමයට ඉපල් වෙච්ච
වැලපෙන විලෝ ගසක
ඉතිරිවෙච්ච එකෝමෙක කොළයක්
සුළං කෝඩයක් එක්ක
නැළවි නැළවී හරි හරියට
දඟ කරන අපූරුව - දුටුවාද

Dec 25, 2016

පිවිතුරුම පැතුමක් !





                                                මීඳුම ගළන මහ පාන්දරක
                        හීතළම..... හීතළ.....
                        හිම බිංඳුවක් එක්ක
                        ඔබ කඩා වැටෙන්න මගේ
                        හිත මත්තට
                        ආදරෙත් මහ හුඟා........ක්
                        අරගෙන.....
                                    

                                            

Dec 21, 2016

මා දවා ලූ ඒ ඇස් !



ඉතින් අද මේ ලියවෙන්නේ වෙන කෙනෙකුගේ අත්දැකීමක්  මගේ කරගෙන ලියපු පද පෙළක්.කාගෙද කින්ද මන්ද කියලා මම නොකිව්වත් මේකේ නිධාන කතාව දන්නෝ දැනගනීවි මේ කාගේ අත්දැකීමක්ද කියල.ඒත් ඉතින් නොදන්න අයගේ දැනගැනීම පිණිස කියන්නම්කෝ.මෙන්න මෙයාගේ මේ කතන්දරේ කියවලා  තමා මගේ හිතට මේ සිතුවිල්ල ආවේ. ඔව් ඔව් මේ අර ගින්දර වගේ දයියා බ්ලොග් එක ලියන කොච්චි මිරිස්ගේ අස්ගිරියේ වැස්ස ගැන කතාව තමා.
                                       මම කියවන නවකතාවක්, බලන ෆිල්ම් එකක්,කවියක් , කතාවක් ඩෝං ගාලා මගේ හිතට වැදුනොත් ඒ ගැන  මගේ අතින් මොනාම හරි ලියවෙන එක මගේ පුරුද්දක්. ඉතින් මේකත් ඒ වගේ මගේ හිතට වැදුන කතාවක්  විශේෂයෙන්ම මේක නුවර සම්භන්ධ සිදුවීමක් නිසා මගේ හිතට බොහොම දැනුනා. ඒ  මම නුවරට ගොඩක් ආදරේ නිසා.ඉතින් ඒ නිසාම මෙන්න මේ විදියට මගේ අතින් නිරායාසයෙන්ම ලියවුනා.




මුඳු සුළඟ පවා වියරුව හමන රෑක
හඬනවා මහා සද්දෙට නුවර අහස
හීතලට ඇවිලිච්ච ඇස් දෙකක පහස
අහනවා තුරුලු වෙන්නද සොඳුරු රෑක

හන්තාන වගේ මහ දුකක් උහුලාන
නුවර පාරක් ගානෙ දුකම වපුරාන
කිරි මුහුදෙ රැළි මතට අතහැරපු හීන
ගැන වගක් නැතුව මල් හීය මට පාන

බුර බුරා නැගෙන සිතුවිළි සිතුම් රෑන
මහවැලිය වාං දමනව වගෙයි රැඟුම් පාන
ඇස් වලින් ඇස්  අල්ලගෙන හීය මාන
මේ වැස්සෙ තෙතබරිත වෙන්නටම අහන

ඇඟිලි තුඩු මානයේ පිපි කොබෝලීල
මලකි පෙති විදා රොන් සුවඳ මට ගේන
මල් කෙමියෙ සරන්නට නොයා සිතුසේම
සිල් නොබිඳ සුව වින්දෙ දුරින් හිද පේන

අදත් මහ වැසි වැටෙන මේ වගේ රෑක
සිතින් මං මවාගෙන අස්ගිරියෙ අහස
දෙසැම්බර් සීතලට ගිනි ගත්ත දෑස
කෝ කොහිද හොයනවා තනිවෙච්ච රෑක

Dec 15, 2016

රිදෙන හිත පිරිමදිමි හීතලට !






හීතලේ හිම කටුව ඇමිණී
යද්දි මතකෙන් ලේ ගලා
අදත් හිමිහිට ඇවිද යමි තනි
මාවතේ අයිනට වෙලා...

කාත් කවුරුත් නොමැති මානෙක
තනි කුඩේ යට තනි වෙලා
හීතලේ හිම කුණාටුවකට
රිදෙන හිත පිරියම් කලා...

අහස් ගඟ මේ තරම් වියරුව
හඬද්දී විදුලිය මවා
මගේ අහසට ඔයා එන්නෙම
හීන් පිණි අහුරක් වෙලා...

යාන්තම්වත් නොදී අවසර
කියන්නට හද රැඳි කතා
මේ තරම් හරි හදිස්සියෙ ඇයි
ගියේ දෑතින් ගිලිහිලා...



Dec 10, 2016

ආදරෙයි දෙවොන්දරා









සීතල හිම කැට විසිරුණු
තුරුහිස් අඟ මල් නොපිපුණු
සොහොන් ගැබක හිත හිරවුණු
දෙවොන්දරා සං
මළවුන්ගේ අවුරුද්දට කලින්ම මම එන්නම්
ආතුර වුනු ඔය හිත මත සෙනෙහස තවරන්නම්....

සකුරා මල් පෙති ඉහිරුණු
මල් පාරේ අපි ඇවිදපු
නුඹේ සෙනෙහෙන් මා සැනසුණු
ඊටත් වැඩියෙන් හඬවපු
ඒ මතකයෙ කඳුළු අරන් මං හනිකට එන්නම්
තනිවුනු ඔය හිත ළඟ තනියට හිඳින්න එන්නම්....

සුබෙකි මලක පිණි තැවරුණු
කබුකි හලක අපි නැලවුණු
සකේ බිංඳුවක් මුහුවුණු
කොපුළක් උණුහුමට ගැහුණු
ඒ මතකයෙ සුවඳ අරන් මං හනිකට එන්නම්
වැළලුණු අපෙ ආදරේට ආයෙත් පණ දෙන්නම්...



(දෙවෙන්දොරා   සහ නොරිකෝ ගැන මගේ අතින් ගොඩක් කවි පද ලියවිලා තියෙනවා.මේත් එහෙම ලියවුන තවත් පද පෙලක්.මේකනම් ගීතයක් කිරීමේ හීනෙකින් ලියපු එකක්.බලමු ඒක කවදා හරි සැබෑවක් වේවිද කියලා.)

Dec 4, 2016

ඕනෙම නෑ !


හිතින් හිත බැඳෙන්න  අතින් අත අල්ලනම ඕනෙ නෑ..
බලාපොරොත්තුවක් එක්ක ජීවත් වෙන්න
ඇස් වලින් කතා කරන්නම ඕනෙ නෑ...
ආදරේ දැනෙන්න පපුවට තුරුළු වෙන්න
නළලට හාදු දෙන්නම ඕනෙ නෑ...
ආත්මගත බැඳීම් වලට නමක් තියෙන්නම ඕනෙ නෑ...
ඔයා ගැනම හීන මවන්න මට
ඔයාගෙන්වත් අවසර ඕනෙ නෑ...
අඩුම තරමෙ මම ඔයාට ආදරේ කියල
ඔයාට කියන්නවත් මට ඕනෙ නෑ...
ඒත්.... දන්නවද...
මං ඔයාට  ආදරෙයි.... මහ හුඟක්...