සඳට බැළුම් හෙලූ අය

Jan 31, 2017

ඉසුරුමුණි පෙම්වතාට පෙම්වතියගෙන් !








රුවන්වැලි මහ සෑය වැදගෙන හමන මඳනල එක්කලා
තිසා වැව් දිය නගන හසරැළි අපේ සිත් මුසපත් කලා
ශූර රණකමි තෙජස් ගති ඇති කුමරු සාලිය එක්කලා
මමයි මාලා සැඩොල් කුලයේ අසම්මතයේ පෙම් කලා

හොරෙන් හමුවී උයනෙ රන්මසු ප්‍රේමයෙන් ආතුර වෙලා
උයන මැද පෙම් කෙළින එ'සඳ ලෝකයම අමතක කලා
කියන්නට අප ගැන රජුන් හට අපේ දෙස හොරැහින් බලා
අපේ ප්‍රෙමාලිංගනය රහසෙම කලු ගලක කැටයම් කලා

ඉසුරුමුණියේ යුවල ලෙස පෙම් විශේෂණ පද එක්කලා
අදත් අපෙ රුව කරයි වරුණා පෙමට සළකුණ ලෙස වෙලා
තුරුණු කොලු හිත් තලුමරා යන නමුදු මා දෙස බල බලා
තරහ අවසර මගේ හිමියනි අපේ හිත් දැන් ගල් වෙලා

Jan 27, 2017

පරණ ගෑණු ගන්නවද ?




ඉස්සරනම් බ්ලොග් එකට කවි විතරක් නෙවෙයි ආගිය කතා මගේ කතා කෙටි කතා නවකතා ලෝකෙ නැති කතා ලිව්ව.ඒ දවස්වලට වඩා දැන් පොඩ්ඩක් විතර ජීවිතේ කාර්යබහුල වෙලා නිසා කවියක් දාලා ශෙප් උනාට  ලියන්න දෙවල් කෝටියක් හිතේ තියෙනො.ඔන්න ඉතින් අද කාලෙකට පස්සේ මේ  ලියන්නේ සඳවතීගෙයි සත්තලන්ගෙයි කතාවක්.ඔව් ඔව් මේවා මේ ඇත්තම ඇත්ත කතා.ඉස්සර බ්ලොග් කියවපු සෙට් එකටනම් මේ සත්තලන්ගේ කතා පුරුදුයි.

කතා අංක එක :

මගේ ඔය සත්තලන් ගොයියාට  ඔෆීස් කනෙක්ශන් වලට වෙනම ෆෝන් එකක් තියෙනවාආයතනයෙන් දුන්න ඕක D to D  ෆ්‍රී . ඉතින් ඒ නිසාම වැඩි හරියක් ඒක පාවිච්චි කරන්නෙ මම. වැඩිපුර කතා කරන්නෙත් ඉතින් එයාගෙ අම්මට එයාගෙ මල්ලිට මගේ අක්කට තමා.එයා ඒකෙන් වැඩිපුරම කතා කරන්නේ මට. ඒ උනාට ඔෆීස් එකට අදාල නොම්මර විතරයි මුන්දා සේව් කරලා තියෙන්නේ.එයාට සියලු නොම්බර කට පාඩම් නිසා අවුලක් නෑ.ඒත් මට පාඩම් එකම නොම්බරේ සත්තලන්ගේ නොම්බරේ විතරයි.ඒ නිසා මට ඔය නොම්බර සේව් කරලා නැති එක හරිම වදයක් මම ඉතින් දවස් ගානක් කිව්ව අනේ ඔය ටික සේව් කරන්නකෝ කියල.ම්හ්ම්.. කොහෙද මේකා කනකට ගත්තේ නෑ  මම ඉතින් මේ ළඟදි දවසක ඔය නොම්බර දෙක තුනක් සේව් කලා.මගේ නොම්බරේ (Ube gani ) එයගෙ මල්ලිගෙ එක (Ube malli ) අම්මගෙ එක ( Ube amma)ඔන්න ඔහොම තමා කලේ. පහුවදා උදේ පාන්දර ඔන්න පුරුදු විදියට එයා Gym ගියා. එන කිට්ටුව වෙනකොට මම කෝල් එකක් ගත්තා පත්තරයක් අරන් එන්න කියන්න.මෙන්න බොලේ කවදාවත් නැතුව එයාගෙන් කිසිම ආන්සර් එකක් නෑ. මම තව පාරක් ගත්තා..ම්හ්.. ඒත් නෑ.. තව එක පාරක් ගත්තා ඒත් නෑ..  
මට දැන් හරිම අවුල්. මගදී මොකක් හරි කරදරයක් වෙලාද .. එහෙම නැත්තන් පාරේ එන ටිකට මොකක් හරි වෙලාද..මම ඉතින් ඊළඟට මොකද කරන්නේ කියලා ඉස්සරහ දොර ගාවට වෙලා කල්පනා කර කර ඉද්දි මෙන්න වාහනේ ගේට් එක ළඟ.එතකොට තමයි මගේ ඇඟට ලේ ඉනුවේ.ඒ එක්කම ඉතින් අද වරෙන්කෝ ගෙට කියන සයිස් එකෙන් හිතෙන් බැන බැන හිටියේ.මම වෙනසක් නොපෙන්නා ගේට්ටුවත් ඇරියා එයා ඇතුලටත් ආවා.වෙනද වගේම වාහනෙන් ලට්ට ලොට්ට ටිකත් ගත්තා. ඔන්න එතකොට,


 එයා - කවුද බබා උබේගනී කියන්නේ දැන් දෙතුන් පාරක්ම ගත්තා.මම දන්නෙ නැති කෙනෙක් නිසා  ආන්සර්   කලේ නෑ...

මම - උබේගනී....? ( ඔන්න එතකොටයි මටත් වැඩේ මීටර් උනේ )
උබේගනී නෙවෙයි  අනේ..... උඹේ ගෑණී

එයා - මොකක් ? කවුද මගෙ ගෑණී ...?

මම - උඹේ ගෑණි මම මිසක් වෙන කවුද ආ...

එයා - හුටා... එතකොට ඒ මගේ ගෑණිද

හයියූ සංසාරේ ඔන්න ඔහොමලු උනේ.




 කතා අංක දෙක :

  මේ පහුගිය ඉරිදා වෙලාව උදේ හතට විතර අපි එතකොටත් දොයි.දොයි කිව්වට දොයිම නෙවෙයි නැගිටින්න කම්මලි කමට ඉන්නවා. ඔන්න මහා සද්දෙට මයික් කටකින් ඇහෙනවා,

පරණ  ටීවී ගන්නවා... පරණ වොශින් මැෂින් ගන්නවා... පරණ ගෑස් ලිප් ගන්නවා... පරණ බ්ලා ... බ්ලා.. බ්ලා...

මේක ඇහුනා විතරයි මෙන්න මුන්දා ඇදෙන් බිමට පැන්නා දඩිබිඩියේ.

මම - ඇයි අනේ...

එයා - අන්න අර ලොරි බෑය නවත්ත ගන්න ඕනේ

මම - ඒ මොකටද මෙහෙ දෙන්න මුකුත් නෑනේ

එයා - මොකෝ නැත්තේ  ඔය සේරම ගන්න එකේ පරණ ගෑණු නොගෙන ඉන්න එකක් නෑනේ.

එහෙම කියලා මම මුකුත් හිතන්නත් කලින් බාත් රූම් එකට  දුවල ගිහින් දොර වහගත්තා.මමත් අත ඇරියෙ නෑ ඉතින් ලොක් කලා බාත් රූම් එක එලියෙන් අන්තිමට ඉතින් පැනි බේරෙන කතා දාහක් විතර කියලා දවල්ට කන්න එලියටත් එක්කන් යන්න පොරොන්දු උනාට පස්සෙ තමා ලොක් එක ඇරියේ.


ඉතින් පින්වතුනි ඔන්න ඔහොමලු උනේ.තව කතා ගොඩක් තියෙනවා කම්මැලී අප්පා ටයිප් කරන්න.



Jan 26, 2017

තාම සුවඳයි ඒ මතක !




අදත් ඉඳහිට හවස්වරු වල
ඇවිද යනකොට පුරුදු මඟතොට
මතක තියෙනව අපට අමතක
වෙලා තැන තැන ලිහී විසුරුණ

සියක් දහසක් උකුසු ඇසඟින්
ඉඳුල් වන්නට නොදී ප්‍රේමය
එදා අප හමුවෙලා රහසින්
ඇවිද ගියෙ මේ වෙරළ පාරින්

ලැවීනියා හෝටලය පාමුල
බිඳී විසිරෙන රළක් ගානෙම
දැනන් උන්නා එදා අපෙ පෙම
වැටුණු උණු උණු කඳුළු ගානට

ආදරේ ලේ පාට හාදුව
මෙන්න මෙතනදි එදා ඔබ දුන්
තාම තෙත සළකුණක් වාගෙයි
සත්තමයි ගෙල මුල රිදුම් දෙන

කරදියට මුහු වෙච්ච හුළඟේ
ඇවිත් විසිරුව කෙස් කැරැල්ලක
අදත් තිබුනා එදා ඔබ දුන්
හාදුවක ආදරේ ලුණු රස

අහස් ගඟ කෙළවරින් මුහුදට
කඩං වැටුනා ඉරේ රැස් කඳ
එදා වාගෙම අදත් දැනුනා
වෙන්ව යන්නට නිමේශය වග

අදත් හිමිහිට ඇවිද යනකොට
වෙරළ තීරයෙ මතක මං පෙත
හොරෙන් නැවතී බලනවා අපෙ
ආදරේ රස රහස් සැඟවුන

Jan 22, 2017

ගඟ නොකී කී කතා !




( මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුදාහරීයි පුවතක් )


දෑළ දෙවුරේ පිපිණු වන මල් සුවඳ මත්තෙම එතී
පීන පීනා මීන රළ පෙළ ළැමැද අස්සෙම වෙලී
දෙපා සිව්පා සතා කොයිකා උනත් වෙනසක් නැතී
නීල දියවර ගලා බැස්සෙම නිස්කාන්සුවෙ ඇලී

එහෙව් හදවත සිදුරු කරගෙන හිටි ගමන් උල් ඇනී
තිස්පැයේ එක සීරුවට මට දෙතිස් වදයම දිදී
මහා පවුරක් මතුව උන් මා දෙපැත්තට කර බඳී
මාව අඩපණ කරන්නට මගෙ බොටුවෙන්ම ගෙන අදී

යාය විහිදුණු තණ පළස් මත සා පැටව් ගුලි ගැහී
නමක් දන්නැති කැලෑමලකට සමනළෙක් වහ වැටී
හුබස් කට උඩ නා රජින්දෙක් දැහැනකට සම වැදී
තවත් ටිකකින් මේ අපූරුව ජල කඳක් යට නිදී

ගම් තුලානේ උන්නු උදවිය කොහෙද අද නෑ පෙනෙන්නේ
ගව් ගනන් දුර පෙන මානේ වනස්පතියයි දිලෙන්නේ
රංචු ගැහි ගැහි මොනර සේනා පිල් විදාගෙන රඟන්නේ
උන්ව යටකර ගලන්නද දැන් අනේ තොපි මට කියන්නේ

ඉපල්වුනු තුරු හිසක් මුදුනේ කුරුලු පවුලක් නිදන්නේ
උන්ගෙ නිවහන අහිමි වෙන බව කවුද උන් හට කියන්නේ
ගමක් යටකර රටක් අස්වද්දන්නලුනෙ දැන් මේ හදන්නේ
තොපිට හොදනම් මට මොකෑ මං ගැබ්බරයි දැන් මුදන්නේ

Jan 17, 2017

රස්තියාදු පෙම්බරා !





ඉතින් අදත් තියෙන්නේ බ්ලොග් එකක  ලියපු කවියකට මම ලිව්ව පිලිතුරු කවියක් වගේ එකක්.මේකනම් බොහොම පරණයි අවුරුදු හතරකට විතර කලින් සඳරු ලියන  හිස් අහස බ්ලොග් එකේ ලියපු සාටර් පෙම්වතාගේ කවිය කියන  කවියට මම ලිව්ව කමෙන්ට් කවිය තමයි මේ.
ඒ කමෙන්ට් කවියට වැඩිය  පස්සේ මම ටිකක් අඩු වැඩි දාලා වෙනස් කරපු කවිය තමයි මේ තියෙන්නේ.මේකට බුකියේ  ලයික් කමෙන්ට්ස් එහෙමත් ගොඩක් ලැබුනා. රිවිර පත්තරේ ෆේස්බුක් කවි පිටුවෙ එහෙමත් ගිහින් තිබුනා.හැබැයි ඉතින් මේ කවිය කියවන්න කලින් ඔය උඩ සාටර් පෙම්වතා කියවලම ආවනම් තමා හොද.







කොණ්ඩය වවා ජෙල් ගා පස්සට පීරා
බාච්චු කලිසමක් යන්තම් ඉනේ රුවා
කොලු රැළ එක්ක කාලය කන හන්දි පුරා
කොහොමද කියන් නුඹ මගෙ හද ගත්තෙ හොරා  

සඳලුතලෙන් බැස මම පහලට එන්නම්
බොන්නට අඩු වැඩිය ළඟටම සපයන්නම්
ගංජා ඔතන්නත් පොඩි සහයක් දෙන්නම්
රස්ති ගහන නුඹෙ තාලෙට  ගැලපෙන්නම්

මට බැරි උනත් මම බත් උයලා දෙන්නම්
ගුටි කා එද්දි තෙල් බේතුත් ගල්වන්නම්
කබරය දාද්දී ඒවත් පිසදන්නම්
චාටර් වෙද්දි මං නුඹ බේරාගන්නම්

කලු තොල් වලට බෑ මට උම්මා දෙන්න
බිව්වම ගදයි ගදනම් බෑ ඉවසන්න
මගේ ආදරෙන් ඇයි බැරි මිනිහෙක් වෙන්න
මම කැපවෙද්දි නුඹටත් වෙයි කැපවෙන්න

රස්සාවක් නැතුව ගෙදරට බරක් වෙලා
නුඹ ඒ උනත් මගෙ අහසට සඳක් වෙලා
නොදැමුණු නුඹේ සිතුවිළි ළඟ මවක් වෙලා
ඔය හිත හදන්නම් මං පෙම්බරිය වෙලා

Jan 11, 2017

( නො ) ලැබීම !




                                                              (පින්තූරේ මගේ කැමරා ඇසිනි. )

කඩුපුලකට උනත්
ඇති පුංචි හීනයක්
හිනැහෙන්න
උදා දිනිතිය එක්ක
ගෑවෙන්න
මුඳු සමනළ තටුවක
නතුවෙන්න
දඟ ඹබර පහසක

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...