සඳට බැළුම් හෙලූ අය

Jan 26, 2017

තාම සුවඳයි ඒ මතක !




අදත් ඉඳහිට හවස්වරු වල
ඇවිද යනකොට පුරුදු මඟතොට
මතක තියෙනව අපට අමතක
වෙලා තැන තැන ලිහී විසුරුණ

සියක් දහසක් උකුසු ඇසඟින්
ඉඳුල් වන්නට නොදී ප්‍රේමය
එදා අප හමුවෙලා රහසින්
ඇවිද ගියෙ මේ වෙරළ පාරින්

ලැවීනියා හෝටලය පාමුල
බිඳී විසිරෙන රළක් ගානෙම
දැනන් උන්නා එදා අපෙ පෙම
වැටුණු උණු උණු කඳුළු ගානට

ආදරේ ලේ පාට හාදුව
මෙන්න මෙතනදි එදා ඔබ දුන්
තාම තෙත සළකුණක් වාගෙයි
සත්තමයි ගෙල මුල රිදුම් දෙන

කරදියට මුහු වෙච්ච හුළඟේ
ඇවිත් විසිරුව කෙස් කැරැල්ලක
අදත් තිබුනා එදා ඔබ දුන්
හාදුවක ආදරේ ලුණු රස

අහස් ගඟ කෙළවරින් මුහුදට
කඩං වැටුනා ඉරේ රැස් කඳ
එදා වාගෙම අදත් දැනුනා
වෙන්ව යන්නට නිමේශය වග

අදත් හිමිහිට ඇවිද යනකොට
වෙරළ තීරයෙ මතක මං පෙත
හොරෙන් නැවතී බලනවා අපෙ
ආදරේ රස රහස් සැඟවුන

23 comments:

  1. හැමටම හොරෙන් කරන පාසල් ආදරය පට්ටයි. ලැව්නියා හොටෙල් පාමුල මගෙත් ආදර කතා විසුරුණු තැනක්.අගේ ඇති කවි පෙළක් සදවති

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ රස්තියාදුකාරයත් මේ අහල පහලද ?

      Delete
    2. නෑ සදවතී මන් දකුණු පළාතේ. ඒත් රැකියාවත් කරන්නේ අහළ පහල තැනක.

      Delete
  2. ඇත්ත කතාවක්ද? අපි කාටත් එක එක තැන් වල විසිරුණු ආදර හැඟීම් තියෙනවා..කොහොම උනත් හැමදාමත් වගේ මාර ගති

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් ඇත්තකුත් නැත්තෙ නෑ... මම කොහොමත් හැබැයි අනුන්ගෙ ඒවත් මගේ කරගෙනනෙ ලියන්නෙ හි හී

      Delete
  3. Replies
    1. බොහොම කාලෙකින් මේ පැත්තේ.ස්තූතී

      Delete
  4. අදත් ඉඳහිට හවස්වරු වල
    ඇවිද යනකොට පුරුදු මඟතොට
    මතක තියෙනව අපට අමතක
    වෙලා තැන තැන ලිහී විසුරුණ..

    හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී මෙහෙ ආවටත් , ඇගයීමටත්

      Delete
  5. ලැවිනියා හෙවනකට අසළින්
    මුහුදු හුළඟේ සුව දරාගෙන
    මට ඔයා කී සොඳුරු පෙම්බස්
    තාම සවනේ නදකරාගෙන
    තතු කියා වෙන්වී ගියත් අපි
    රළයි වෙරළයි පෙම දරාගෙන
    වැටකෙයා මල් අදත් පිපෙනව
    අපේ මතක සුවඳම හොරාගෙන.....

    ලස්සන කවි ටිකක් සඳූ.....

    ජයවේවා!!!



    ReplyDelete
    Replies
    1. හප්පා මගේ කවිය කැලේනේ... ඇත්තටම හරිම ලස්සනයි දුමී

      Delete
    2. හෑ... සඳූගේ කවි කැලේ නෙවෙයි කෙලින්ම හදවතේ නැවතෙන්නේ.....ඒ තරමටම ලස්සනයි....

      ජයවේවා!!!

      Delete
    3. දෙදෙනාගේම ලිවීම ගැන විවාදයක් නැ... ඇත්තමයි දුමී ගේ කවියත් හරිම l

      Delete
    4. ස්තූතී එරන්දි මේ අගය කිරීම් තමා වටින්නේ ලියන කෙනෙකුට නේද දුමී

      Delete
  6. නියමයි...ගම්මිරිස් ටිකකුත් තිබුනා නම් ඇඹරැල්ලා අච්චාරුවක් දාන්න තිබුනා හාදුවත් එක්ක. රස කවි.

    ReplyDelete
    Replies
    1. හී හී එහෙනම් අබරැල්ලත් අරන් යන්න ඕනෙ

      Delete
  7. පුදුමාකාර සුන්දරත්වයක් කැටි වුණ කව් පෙලක් සඳවතී...ඇත්තෙන්ම අපූරුමත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී විසිරි... මම ඔයාගේ පැත්තේ ගියා කියවන්න දෙවල් බොහොමයි හිමිහිට කියවන්න ඕනේ

      Delete
  8. පුදුම සොඳුරු කවියක්..... ඔව් ඔබට සොඳුරු කියන නමත් පුදුම විදිහට ගැලපෙනවා ඔබේ ලියමන් එක්කම... මට මේ වගේ අත්දැකීම් නැ එත් මගේ වගේ මගේ වෙලා දැනෙනවා... ඔබ එතරම්ම දක්ෂයෙක්

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතී එරන්දි මේක ඔයාගෙ කරන් වින්දා කියන්නේ මගේ ලියමන සාර්ථකයි කියන එක. ඉතින් ඒ ගැන මම නිහතමානීව සතුටු වෙනවා

      Delete
  9. නෙත ගැටෙනා හැම මුහුනකම
    ඇස රැඳෙනා හැම කෙහෙරැල්ලකම
    පිරිමැදෙනා හැම දෑතකම
    සිප ගන්නා හැම මුවකම
    පසුකරනා හැම මොහොතකම

    සොයන්නෙමි මා.......!

    ඈතින් දැනෙනා

    නුඹ

    ජීවන සුවඳ....!
    ඔන්න ඔහොම එක්ක මම ලිව්වා කාලෙකට ඉස්සර....!
    රස සුවඳ වගේ දේවල් අපව අතහැර යන්නේ නෑ නේද සඳවතී....!
    :)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් මට මේ කව මතකයි චෙෆ් තුමෝ.හැර නොයන මතකය රහයි සුවඳයි...

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...