සඳට බැළුම් හෙලූ අය

Mar 30, 2017

සත්තලන්ගෙ රස කතා





ඉතින් මේ ගෙවෙන්නෙ  බ්ලොග් කරුවන්ගේ  නෙළුම් යායේ  පෙර කතා  පසු කතා සහ පින්තූර කතා බලලා නෙළුම් යාය ඉස්මුරුත්තාවට ආපු කාලයක්.හප්පච්චියේ  බ්ලොග් ලෝකෙ සුන්දර හිතැත්තන් හිතැත්තියන් එකට එක්කාසු වෙලා ගත්ත පින්තූර දකිද්දී හනේ... මමත් හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි.ඒත් ඉතින් මට මේ පාර ඒ වාසනාව හිතුවෙ නැති විදියට අත්හරින්න උනා.හැබැයි සහභාගී වෙන්න බැරි උනත් සතුටු වෙන්න කාරණා නම් බොහොමයි. මම නිතර යන එන  සොඳුරු බ්ලොග් කරුවන් කීප දෙනෙක්ම සම්මානයට පාත්‍රවීම, මේ නෙළුම් යාය නිසාම  බුකියේ දමන පෝස්ටු වලින් නිර්ණාමිකයන් බොහෝ දෙනෙක්ව සැබෑ මුහුණුවරින් හමුවීම,මෙතෙක් දැන නොසිටි බ්ලොග් වලට ගිහින් ඒ  කතා කියවන්න ලැබීම වගේ  බොහෝ හොද දේ  සිද්ද උනා.ඒ විතරක් නෙවෙයි මට මේ කට්ටියව මරන් කන්න තරම්  පොඩි පහේ තරහකුත් නැතුවම නෙවෙයි මම දුන්න අභියෝගය මේ කිසි කෙනෙකුට මතක නැති පාටයි අප්පා.සමහර විට මේ නෙළුම් යායේ උණුහුමට ඒක යටපත් වෙලා ගිහින් වගේ.අර ඉයන් විතරයි හැරෙන තැපෑලෙන් අභියෝගයට උත්තර දුන්නේ. ඒ වගේම අද  මගේ පිලොසොෆියත් ඔන්න අභියෝගය  බාර අරන් තිබුනා. ඉතින් ඔය දෙන්නටම ගොඩක් ස්තූතී හොදේ. රස්ති කියපු පාර දිගේ ගිහින් බැලුවම මෙන්න  මම  මෙතෙක් නොදැන සිටි කෙනෙකුත්  ගී 10ක් දාලා තිබුනා.ඒ වග  තුග දැන ගන්නනම් වගතුග  ඔබලම බලන්න වෙනෝ. ආ රස්තියාදුකාරයත් කොයි වෙලේ හරි දානවා කියලා පොඩි ඉඟියක් දුන්නා.ඒකත් මැදෑ ඉතින් මේ වෙලාවේ හැටියට.අනිත් උන්දලා ගැනනම් කතා කරලා වැඩක් නෑ ඉහි ඉහි ඉහි.

 හා ඉතින් ඒ කතා අමතක කරලා අද කතාව පටන් ගමුකෝ.ඔන්න අද තියෙන්නෙ සත්තලන්ගෙ රස කතා.හැබැයි ඉතින් එව්ව මේ කාලේ කතා නෙවෙයි මේ කාලේ එව්වා. බෝ පැලයක් වගේ ඉන්න මට මේ උන්දෑ කියන කතා රෙදි ඇදගෙන ප්‍රසිද්ධියේ ලියන්න මොකක්ද මොකක්ද වගේ.ඒ නිසා මේ අද ලියන්නේ සත්තලන් හිච්චි එකා කාලේ කියපු කතන්දර ටිකක්.මෙව්වා ඉතින් මට කියන්නේ එයානම් නෙවෙයි මගේ ආදර දෙවෙනි මව් ඒ කියන්නෙ  නැන්දම්මා විසින්ම සත්තලන්ගේ පවුලේ දෙනෝ දාහක් ඉදිරියේම මට කියපුවා.ඒ නිසා මේවා සත්තම සත්ත කතන්දර හොදේ. ඔය සත්තලන් කොලුවගේ ගම් පලාත දකුණේ බෙලිඅත්ත පැත්තේ නොවැ. ආ.. අර රටේම අප්පච්චි වෙලා උන්න කෙනාගේ ගම් පලාත කිට්ටුවමයි.ඒ සත්තලන්ගේ තාත්තගේ ගම වෙච්චි ඕං ඔහෙ අවුරුදු 18 ක්ම ජීවත් වෙලා  තමයි එයාලා පවුල පිටින්ම  අම්මගේ ගම වෙච්චි හෝමාගමට සංක්‍රමණය වෙලා තියෙන්නෙ.ඔය අවුරුදු 18ක ගමේ ජීවිතේ ගැන එයාට තියෙන බොහොම සුන්දර වගේම කටුක අත්දැකීමුත් එමටයි. එයා වෙලාවකට එව්වා රස කර කර කියනකොට මම අහන් ඉන්නේ කන් වලින් විතරක් නෙවෙයි ඇස් වලිනුයි කටිනුයි දෙකෙම්මත්.එව්වා ඉතින් පෝස්ට් එකක ලියලා හමාර කරන්න පුලුවන් දේවල් නෙවෙයි පොතක් ලියන්න තරම්. මම ඉතින් වෙලාවකට සලකනවා මදි උනාට  ඔය සත්තලන් කියන්නේ පොඩි කාලේ ඉදන්ම  ගෙදරට, ඉස්කෝලෙට, ගමට හරීම හොද පුතෙක්.සත්තලන්ගේ තාත්තට සහෝදර සහෝදරියො නම දෙනෙක්ම ඉන්නවා ඒ සනුහරේටම හොදම පුතෙක්  හොදම අයියෙක් මල්ලියෙක් වෙන එකම පොඩි සෙල්ලමක් නෙවෙයි.අපරාදේ කියන බෑ එයා තාමත් ඒ තැන ඒ ලෙසටම තියාගෙන ඉන්නවා.අදටත් ගමට ගියාම එයාගේ හත වරිගෙම එයාවයි එයාගෙ ලස්සන නෝන පොඩ්ඩවයි ( හක හක  සභාවේ සිනා) ඉස්තලන් කොලු පැටියවයි බලන්න එනවා.එව්ව මොකටද ඉතින් අපේ අම්මාටත් මට වඩා ලොකු ඔය බෑනා පොඩ්ඩ වෙච්චි කොට.මං වගේ අස්ස කුලප්පුව හැදිච්ච නෑම්බියෙකුට මේ බෑනා හොද වැඩී කියලා තමයි එයත් කියන්නේ.

දැන් ඉතින් මෙව්වා ලිය ලිය ඉන්න ගියොත්  රස කතා ටික කියන්න අමතක වෙනවා මට ඒ නිසා ඔන්න පටන් ගන්නවා ඒ ටික කියන්න.

(රස කතා 1)

ඔන්න සත්තලන්ට වයස අවුරුදු තුනාමාරක් හතරක් විතර ඇතිලු.එතකොට  එයාගෙ මල්ලි බබාට  එකාමාරක් දෙකක් විතර වයසලු.අම්මා මල්ලි බබාව උකුළේ දාගෙන දොයි කරනවලු සිංදු කිය කිය.සත්තලන් එකත් ළඟට වෙලා ඉන්නවලු.

මගේ නීල නෙත් සඟළින් මොනවද ඔබ ඉල්ලන්නේ...

අම්මා ඔය සිංදුව පටන් ගත්තා විතරලු එක පාරටම සත්තලන් මෙහෙම කිව්වලු.

අම්ම කුක්කු .. අම්ම කුක්කු...


(රස කතා 2)

මේත් මොන්ටිසෝරි වයසේදී එදා මොන්ටිසෝරියේ  භාවනා වැඩසටහනක් තිබ්බලු.ටීචර්  සියලු දෙනාම එරමිණියා ගොතාගෙන වාඩි වෙන්න කිව්වලු.සත්තලන් පන කඩාගෙන අම්ම ළඟට දුවගෙන ආවලු

අම්මෙ... අම්මෙ එරමිණියා ගොතනකොට කටු ඇනෙන්නෙ නැද්ද ඇහුවලු.

(රස කතා 3)

ඔය ඉස්සර තිබුනනේ මගේ වැඩ පොත කියලා එකක් ඉතින්  ඔන්න අම්මා දවසක් සත්තලන්ට  කියනවලු

පුතා.... මගේ වැඩ පොත අරන් එන්න ගෙදර වැඩ කරන්න...

සත්තලන් කියනවලු

අම්මගෙ වැඩ පොත වෙන්නෙ කොහොමද ඒක මගේ වැඩ පොතනෙ කියලා.

ඒ කතාව වගේම තමයි මේ කතාවත්.ඔය ගම් පලාත්වල ඒ කාලේ බත් රූම් නෑ නොවැ. ටොයිලට් එක තියෙන්නෙත් ගෙදර ඉදලා හත් ගව්වක් විතර දුරනෙ.සත්තලන්ගෙ මහ ගෙදරත් එසේම තමයි.ඔන්න සත්තලන් බරක් නිදහස් කර ගන්න දුවනවලු ටොයිලට් එකට දොර වහලාලු.
මෙයා ඇහුවලු කවුද කියලා ඇතුලෙන් උත්තරයක් ආවලු මම කියල. සත්තලන්ට මල පැන්නලු
මම වෙන්නෙ කොහොමද ඔහේනෙ ඇතුලෙ කිව්වලු.

(රස කතා 4 )

දැන් ඔය සත්තලන්ලා බෙලිඅත්තේ ඉදලා හැම නිවාඩුවටම අම්මගෙ ගම රට වෙච්චි හෝමාගමට නෑගම් එනවලු.ඔය හෝමාගම ගලවිල වත්තේ Upali Group  එක කෙලවරේම තාප්පෙට අල්ලපු ඉඩම තමා
අම්මගෙ මහ ගෙදර සත්තලන් කියන විදියට  කැන්ඩෝස් එකේ අයිතිකාරයවත් එයාලා තරම් චොකලට් කාලා නෑ.expiry date එකට මාසයක් හමාරක් තියෙන නානාප්‍රකාර ටොෆි චොකලට ලොරි පිටින් ගෙනල්ලලු වත්ත මායිමේ ගොඩ ගහන්නේ තාප්පෙන් හොරෙන් පැනලා චොකලට් කන එක තමාලු හෝමාගම ආව කාලෙට සත්තලන්ලා දවසම කරන්නේ.ඔය තේ කෝපි  පොඩි පොඩි ගෙදර හදන රසකැවිලි ජාති එහෙම දීලා මෙයාලා ගාඩ්ලව එහෙමත් යාලු කරන් ඉදලා.ඉතින් දවසක් ගාඩ් කෙනෙකුට මොනාද දෙන්න මෙයාලා මාමේ... මාමේ කිය කිය කෑගහනවලු කොළඹ ඉන්න ලොකු අම්මගේ ළමයි අංකල්... අංකල්...කිය කිය කෑගහනවලු.ඔන්න සත්තලන් එක පාරටම කෑ ගහනවලු අංකල් මාමේ... අංකල් මාමේ..කිය කිය.ඒ කාලේ ගම්පලාත්වල කවදාවත්  ඉංග්‍රීසි වචන  පාවිච්චියක් නැති නිසා  සත්තලන් හිතලා තියෙන්නෙ අංකල් කියන්නේ  එයාගේ නම කියලලු.

ඉතින් ඔය පොඩි කාලෙත් සත්තලන් කියන එකා දැන් වගේම අංජබජල් කතා තමයි කියලා තියෙන්නේ.තව මහ ගොඩක් තියෙනවා ඒත්  ටයිප් කිරීමේ කම්මැලි කම තියෙනවනෙ අප්පා. ඒ නිසා මේ මදෑ.

40 comments:

  1. ඔයාගෙ සත්තලන්ගෙ මේ කාලෙ රස කතා ටිකකුත් කියමුකො බලාන්න.

    ReplyDelete
    Replies
    1. දැන් කියන ගොඩක් එව්වා දාන්න මට විලිලජ්ජයි ඔයා අලුතින්නෙ මෙහෙට ආවේ මේක කියවලා බලන්නකෝ

      http://kavisandalla.blogspot.com/2017/01/blog-post_59.html

      Delete
  2. වැඩ දාහක් තිබ්බත් සදවතීගෙ සත්තලන්ගෙ කතානම් ම්ස් කරන්න බෑ.මන් පට්ටම ආසයි ඒ ස්ටයිල් එකට....අර නිකන් පැණි වෑහෙන වරකා වගේ. මන් මේ ටිකේ සෑහෙන්ඩ වැඩ ඊලග සුමානෙ අනිවා මන් දානවා. විලි ලැජ්ජාව පැත්තකින් දාලා අර ටිකත් කියන්නකෝ අනේ...ප්ලීස් ආ....

    සොදුරුට සමහර වික්ටර් ගැන දාපු සමහර පෝස්ට් මිස් වෙලා වගේ. උඩ හැදින්වීම දැකලා තමයි හෙව්වේ. මේ ඒහෙම එකක් https://mageblogspot.blogspot.com/2017/03/10.html?showComment=1490863003373#c7579640319009204683

    ReplyDelete
    Replies
    1. ස්තූතී රස්ති මම ඒ බ්ලොග් එක දැනගෙන හිටියේ නෑ ඔන්න මේ පෝස්ට් එකටත් එකතු කලා එහෙට ගිහිල්ලත් ආවා.උන්දෑ කියන ඒවා තෝරලා බේරල තමා අප්ප දාන්න වෙන්නේ

      Delete
  3. මේ පහළ බාලාංශේ කතා නෙවෙයි ළඟදී කියපු කතා ටිකක් නොවැ ලියන්න තිබ්බෙ .

    ReplyDelete
    Replies
    1. එව්වා ලියලා මට ලෝකයාගේ කතන්දර අහන්න වෙනො හැලපතුමෝ.

      Delete
  4. අපි ආවෝ.......

    - ජය බෝලී නාත් -

    ReplyDelete
  5. කාගෙ කාගෙත් අතීත කථා වල මේ වගේ රස තැන් එමටයි එහෙම නේද?
    හැබැයි ඉතින් රසට ලියන්න දස්සයෝ ඉන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී නයනේ මේ ආගමනයට.ඔව් ඒ වගේ රස කතා කොච්චරක්නම් ඇද්ද අපේ ජීවිත වල

      Delete
  6. Athiithaya sundarayi mihiriyi mipaniyi
    Kiyawana kota hinaa yanne baks gala
    E kaalenam thithtayi karawila wAniya
    Kochchara ahuwath epa nowannema athithaya

    ReplyDelete
  7. සඳූ... මේ දවස්වල ඔෆිසියේ වැඩ ගොඩායි අප්පා.... ඒකයි මම පමා වුණේ.....:) සත්තලන්ගේ කතා ටිකනම් පංකාදුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඒකත් එහෙමද කවද්ද අභියෝගය බාරගන්නේ ඉතින්

      Delete
  8. හනේ හත්දෙයියනේ තමන්ගේ සුවාමිපුරුසයට පඩත්තල කතා කියන මෙහෙම ගෑණු කබරයෝ ඇදං යන්ඩ ඕන

    ReplyDelete
  9. නියම කතා ටික හැබැයි...

    ReplyDelete
    Replies
    1. හප්පච්චියේ සිතූ ඔයා කොහෙන්ද කඩන් පාත්වුනේ

      Delete
  10. අපිත් ආවෝ..

    - ජය බෝලී නාත් -

    ReplyDelete
  11. හි..හි.. නියම කතා ටික.. කම්මැලි නැතුව දැන් කතාත් ලියන්න..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් හා හා ලියමුකෝ ලියමුකෝ

      Delete
  12. ඉස්තලන්ගෙත් ඔය වගේම රස කථා ඇතිනේ...ඒවත් ලිව්වනං මොකෝ වෙන්නේ...?

    ReplyDelete
    Replies
    1. අම්මෝ තාම නෑ මම මේ බයෙන් ඉන්නේ තාත්තගෙම කට පිහිටලා ඇති කියලා

      Delete
  13. ඇත්තටම සත්තලංගෙ කතා ඉස්තලං...

    ඇත්තටම අවුරුදු දෙකක් විතර ඔයාව දැනන් උන්නට මෙච්චර රස කතා ලියන්නියක් බව දන්නෙ දැන්නෙ...

    ReplyDelete
    Replies
    1. ස්තූතී තරු අක්කි මේ ඇගයීමට. මම ඉතින් සැරින් සැරේ නම මාරු කරන නිසා ඔයාට ටැපලෙනවා ඇති

      Delete
  14. මරු සත්තලනේ සත්තලන්ගේ සත්තලන් කතා ඇ

    ReplyDelete
  15. මරු කතා ටික. සත්තලන් හරි හුරු බුහුටි ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබට මෙහෙත් ආවට ඕං. හුරුබුහුටි හි හී නෑ නෑ පෝරිසාදයෙක්

      Delete
  16. හම්මේ සත්තලන් ඒ කාලෙ ඔහොම නම් මේ කාලෙ කොහොම ඇත්ද...මේ මේ ඒවයින් කාරි නෑ..මේ කාලෙ එව්වත් ලියන්නකො...නැන්දම්මා සත්තලන් ගෙ පටි රෝල් කරනවා නේ පරණ මතක අවුස්සලා

    මේ අර මුල ඡේද චුට්ටක් වෙන් කරල ලියන්න සඳූ....වයසක අපිට ඇහැට අමාරුයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කාලෙනම් අහිංසකයි රටක් වටීලු එයාගේ අම්ම කියන්නේ එහෙමයි. මේ කාලෙත් හොදයි ඇම්ඩා වගේ තමයි හැබැයි හි හී

      Delete
  17. මරු නේ.. ගොඩක් පරක්කු වෙලා මේ පැත්තේ එවුනේ.. සෑහෙන්න කාර්‍ය්බහුල මාසයක්... උදේ වෙනවා රෑ වෙනවා..
    සත්තලන් එල කොල්ලෙක් වගේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම් පේනවා පේනව බිසී කියලා

      Delete
  18. හම්මේ සත්තලන් පොඩි කාලේ ඇම්ඩෙක්ද මන්දා :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැන් තමයි නියම ඇම්ඩා.. ස්තූතී මෙහෙ ආවට හොදේ

      Delete
  19. සත්තලන් එල කොල්ලෙක්නේ... පරණ සත්තලන්ගේ කතා ටිකත් කියෙව්වා.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...