සඳට බැළුම් හෙලූ අය
Mar 19, 2017
සම්මතෙන් එහා !
සෂායා පුංචි මේසයට වාඩි වී මොනවාදෝ කුරුටු ගායි.මදක් හිස ඔසවා කල්පනාවට වැටෙන ඇගේ නෙත් පෑන රැදි ඇගේ දකුණු අත ළඟ මොහොතකට නතර වෙයි. කහ පාටට හුරු පුංචි ගලක් ඇල්ලූ රත්‍රන් මුදුවක් ඇගේ වෙඳගිල්ලේ බැබලෙයි. මොහොතකට පෑන අත්හැර ඇය දකුනත දිගහැර මුදුවේ හැඩ බලයි. චාම් ලස්සනක් ඒ මුදුවේ වේ. ඇගේ සුදු දිගැටි ඇඟිලි වලට එය මනාව ගැලපේ. මේ මුදුව තුල වසර හතරකට එහා ගිය කතන්දරයක් තිබෙන බව ඇය දනී. දුක සතුට සහ තවත් මොන මොනවාදෝ මිශ්‍ර වුණ හැඟීම් කන්දරාවක් ගෙවා ආ ඒ වසර ගනනාව තුල ඈ අත්වින්ද බව මේ මුදුව එක්තරා සාක්කියක් බව ඈ සිහි කලේ ඒ දුරාතීතයට හිතින් එබෙන්න හිමිහිට නෙතු පියාගනිමින්.
* * * * * * * * *
විරහ දුකින් දැවී පිළිස්සී ඒ පුළුගු කැට යාන්තන් නිවෙන්නට අර අඳින සමයක සෂායාට ඔහු හමුවෙයි. සැබැවින්ම එය අහම්බයකි. රිදුණු තැවුණු හිතට ඒ මිතුරු සමාගම සිහිල් පොඳ වැස්සක් වූවායැයි නොකීවොත් එය අඩුවකි. මුලදී ඇගේ ජීවිතේ බොහෝ තැන් ඔහුගෙන් වසං කරන්නට සෂායට සිදුවෙයි.ඒ ඇගෙම යහපත ගැන සිතා ඈ ගත් තීරණයකි. එක අතකට ඒ පුංචි කොළු ගැටයාට ඒ මහාප්‍රාණ කියා වැඩකුත් නැත. ඇය කාගෙන්වත් අනුකම්පාවක් බලාපොරොත්තු වූයේද නැත.
නමින් ඔහු සමීර.. ඇයට වඩා වසර හතකට පමණ ලා බාල පුංචි කොලුවෙක්.එහෙත් ඒ වසර විසි එකක පුංචි කොලු ගැටයා ළඟ පෙනුමෙන් පමනක් නොව හැසිරීමෙන් පවා ඈ ඔහුටත් වඩා පුංචි එකියක සේය.ඒ සෂායා උපතින්ම අරන් ආ වාසනාවකි.ඇගේ වයසට වඩා බෙහෙවින්ම ලා බාල ස්වරූපයක් ඇයට නිතැතින්ම හිමිය.ඒ නිසාමදෝ පුංචි සංදියේ පටන්ම ඇගේ සිතුම් පැතුම් පවා වයසට වඩා සොඳුරුය , සුරතල්ය.
ඔයාට 28 ක් කියල පිළිගන්නම බෑ....
අන් හැමෝම කියනා පරිදිම පළමු හමුවේදිම ඈ දැක ඔහු මවිත විය.
ම්.... ඔව්... ඒත් මම ඔයාට ලොකුම ලොකු අක්කෙක් හොඳද...
එහෙත් ඔහු කවදාවත් ඈට අක්ක කියා ආමන්ත්‍රණය නොකලේය.එහෙත් ඇයට ඔහු ඇගේම මල්ලි මෙන් විය.
සමීර පවුලේ එකම දරුවා විය.ඔවුන්ගේ මිතු දම ඇරඹෙන්නට මාස කීපයකට උඩදී හදිසි අනතුරකින් පියා මිය ගොස්ය.අම්ම සුව නොවන පිලිකා රෝගයකින් පෙලෙයි.එසේ බලද්දි ඔහු සෂයාට වඩා අසරණය.ඈ ඇගේ දුක පසෙක තබා ඔහුගේ දුකට හවුල් වී ඒ සිත සනසන්නට වෙහෙසවිය. මාස තුනකට වරක් අම්මා සමග පිළිකා රෝහලට ඔහු යන ගමනට ඇය එක් වූයේද ඒ නිසාමය.
කාලයාගේ ඇවෑමෙන් ඇයට කෙසේ වෙතත් ඔහුට ඇය නැතුවම බැරි විය. ඒ පුංචි හිතුවක්කාරයා සියුම් ලෙස ඇගේ ජීවිතය පාලනය කරන්නට යන බව හසුරවන්නට යන බව ඇයට දැනෙන්නට විය. මිතුරු කමට , සහෝදරත්වයට එහා ගිය බැල්මක් ඒ ඇස් වල පළමුව දුටු දා සෂායා තිගැස්සුණි. ඇයටද හොරා ඔහු ඇය ගැන විපරම් කරතිබුණි. ඔහු හැමදේම දැනගන්නට ඇත.
ඇයි මට බොරු කලේ....
මං බොරු කලේ නෑ... මගේ ජීවිතේ සමහර දෙවල් ඔයාට නොකියා හිටියා විතරයි...ඒක අපේ යාළු කමට බාධාවක් නෙවෙයිනෙ නේද....?
මට දුකයි... සැබෑවටම ඒ ඇස් මුල කඳුලක් දිලිසෙයි.
දුක් වෙන්න එපා ... මේ මගේ උරුමේ... ඒකට මම දුක් විඳලා ඉවරයි දැන්...
මං ආදරෙයි...
දන්නවා මං ඒක ඔයා මගේ මල්ලිනේ....
මං කියන්නෙ එහෙම ආදරයක් නෙවෙයි...ප්ලීස්... තේරුම් ගන්න...
පිස්සුද ඔයාට... මං ගැන හැමදෙම දැනගෙනත්... අනික මගෙන් එහෙම දෙයක් අහන්නවත් පුලුවන්ද ඔයාට...?
මම ආදරෙයි... මම දන්නේ එච්චරයි...
මට අවුරුදු 28 ක්
දන්නවා
මං කසාද බැඳල මිනිහ දාල ගිය ගෑණියෙක්
දන්නවා
දන්නවනම් ඇයි මේ විකාර ?
මට ඒවා වැඩක් නෑ... මම ඒවා ගනන් ගන්නෙත් නෑ..මං ආදරෙයි.. මගෙන් ඈත් වෙන්න එපා... මං බඳිනව ඔයාව...
සෂායාට හුස්ම හිර විය. මේ හිතුවක්කාරයා මෙල්ල කරන හැටි ඇයට නොතේරේ.හිරිමල් වියේදීම නොගැලපෙන විවාහයකින් හෙම්බත්ව තනිවූවා මිස ඇයට ජීවිත අත්දැකීම් තිබුණේම නැත.ළිං මැඩියෙකු සේ සිරව ගත කල ජීවිතෙන් මිදුනේ මේ ඊයේ පෙරේදාය. ඈ ලෝකය සොයද්දී ලෝකය දකිද්දී මුණ ගැහුණු ප්‍රථම ළෙංගතු සිතැතැත්තා ඔහුය. ඇගේ හැසිරීම තවමත් හිරිමල් කෙල්ලකගේ මෙනි. ඈ අභියස ඒ අවුරුදු 21 ක කොළු ගැටයාද යෝධයෙකි.ඇගේ හුරතලයට ඒ ඇවතුම් පැවතුම් වලට ඔහු පිස්සු නොවැටුණානම් එයද පුදුමයකි.ජීවිතයට හමුවූ පලමු පිරිමි යාළුවා ඇයට මෙවැනි යෝජනාවක් කරතැයි ඇය නිකමටවත් නොහිතන්නට ඇත.එහෙත් එය එසේ සිදුවිය. නමුත් මෙය සිදුවිය නොහැක්කකි.ඒ අසම්මතයට ඉඩ හසර සාදා අනුබල දෙන්නට ඇයට උවමනාවක් නැත.
ඔයා කතා කරන්නේ බුද්ධියෙන් නෙවේ මගෙ මල්ලි... හැඟීම් වලට වහල් වෙන්න එපා... කවදා හරි ඔයාට තේරෙයි මේක වෙන්න බැරි දෙයක් කියල...එදාට ඔයා පසුතැවිලි වේවි... ලජ්ජ වේවි මේ ගැන.
මට බණ කියන්න එපා... මට ඔයා විතරයි ඕනෙ... අනිත් හැමදේම විසඳගන්න මට පුළුවන්...
පිස්සු ළමයෙක්..
මං ළමයෙක් නෙවෙයි... මට ආයෙ එහෙම කියන්න එපා...
කවදාවත් නැති තරමට ඔහුට තරහ ගිය අපූරුව. ඉතින් මේ වෙන්වන්නට කාලය බව ගැහැණු බුද්ධිය විසින් ඇයට අනතුරු අඟවන ලදී.ඇය ඔහුගෙන් වෙන් වන්නට දිවා රෑ පිඹුරු පත් සකසද්දී , ඔහු අපූරුවට සෂායගේ සුන්දර දුර්වල ගැහැණු ආත්මය වටා පතාක යෝධයකු සේ නැගී සිටින්නට අහිංසක උත්සහයක නියැලෙයි.විටෙක මුඳු මොළොක් ලෙස හඬා දොඩා ඇගේ ප්‍රේමය අයදින ඔහු විටෙක රළු පරළු වෙසක් ගෙන රාක්ෂයෙකු සේ හැසිරෙයි.
ඇයි මාව මඟ අරින්නෙ... මාව මරා ගන්නද ඕනෙ... වෙනදට මං නැතුව බස් එකකට ගොඩ වෙන්න බැරි ගෑණි දැන් මොකද මේ මට හොරෙන් පල්ලම් බහින්නෙ...?
සමීර.... මල්ලී... තේරුම් ගන්න.. මට දැන් ඉස්සර වගේ නිදහසේ ඔයා ළඟ හැසිරෙන්න බෑ...
ඒ මොකද ඇයි මට මොනවා වෙලාද...?
ඒ ඔයා මේ කෙහෙල්මල් ආදරයක් පටලවගෙන අපේ බැඳීම අපිරිසිදු කලා... අන්න ඒ නිසා..
බම්බුව තමා...
අත මිට මොලවා බස් නැවතුමේ තහඩුවට වැරෙන් පහරක් එල්ල කර ඔහු තරහ පිරිමසා ගති.ඒ අත සීරී ලේ පනිනවා සෂායා දුටුවේය.ඇගේ ඇස් වලට කඳුළක් එකතු විය. එහෙත් ඇය අනුකම්පා නොකලේය. එසේ විනිනම් ඔහු එයද වැරදියට ගන්නවා නොඅනුමානය.
මේ මහ පාරේ විකාරයක් වෙන්න හදන්න එපා... මම ඉන්නේ ඔයා වගේ සෙල්ලම් කරන වයසක නෙවෙයි....ඔයා මට පුංචි එකෙක් ... තේරුම්ගන්න... වැරදි හැඟීම් ඇස් වල තියාගෙන මං දිහා බලන්නෙපා...එහෙම වුනොත් මං ඔයාගෙන් ගොඩාක් දුරට යනවා සත්තයි... පිස්සෙක් නොවී වැඩ කරන්න... අර අසරණ අම්මට ඉන්නේ ඔයා විතරයි... ඒක අමතක කරන්න එපා....
සෂායා වෙර යොදා ඇයට පුළුවන් උපරිම වේගයෙන් ඔහුට කතා කලේය.ඔහු හිනැහිනි... මහ හඩින් හිනැහිනි. ඒ උපහාසයටද අපහාසයටද දුකටද තරහටද කියන්නට ඈ තවමත් නොදනී.
චන්ඩි පාට් දන්න හැදුවට ඔයාට චන්ඩියෙක් වෙන්න බෑ... ඇත්ත හංගගෙන මං ඉස්සරහ රඟපාන්න එපා...ඔයා මට ආදරෙයි...ඒත් ඔයා ඒ හැඟීමට බයයි...ඒක මට පෙන්නන්න බයයි...ඔයා මේ ලෝකෙට බයයි... කතා හැදෙනවට බයයි...
නෑ... නෑ... නෑ... ඔයා මට මල්ලී කෙනෙක් විතරයි. දෙයියන්ගේ නාමෙට මාව පටලවන්න එපා.... මට ඔයා මෙයා නොකියා අක්කා කියන්න....
ආමන්ත්‍රණයකට බෑ හිතක හැඟීම් වෙනස් කරන්න...
පුළුවන් බැරි නෑ... ඔයා මට එක සැරයක් අක්කා කියලා
බලන්න...
සශායා මොනවා කීවද කලද ඔහු මෙල්ල වෙන පාටක් නැත.ගිනි පුළිඟු පිටවෙන ඒ ඇස් වල මහා ආදරයක් අසරණකමක් ඇති බව ඇයට මනාව වැටහෙයි.විනාඩියක් දෙකක් නොව විනාඩි ගනනාවක්ම ඔහු කඳුළු පිරුණු ඇස් වලින් ඇය දෙස බලා හිදින්නට විය.
හරි මං කියන්නම්...මුළු ජීවිත කාලෙම කියන්නම්... ඊට කලිං මං දෙයක් දෙන්න බාර ගන්නවද...?
අන්තිමට ඔහු කටහඬ අවදි කරන්නට විය.
මොකක්ද...
ප්‍රශ්ණ අහන්නෙපා බාර ගන්නවද කියන්න...
හරි බාරගන්නවා... හැබැයි පොරොන්දුවක් පිට... මෙතනින් පස්සේ මේ පිස්සු වැඩ නවත්තනවා කියලා පොරොන්දු වෙන්න ඕනෙ...
මගෙන් පොරොන්දු ගන්න එපා... ඒත් ඔයාට ඕන දේ වෙවි...
ඔහු කලිසම් සාක්කුවේ රුවා සිටි රතු පැහැ ජුවලරි බොක්ස් එකක් එළියට ගෙන එයින් පුංචි රන් මුදුවක් එලියට ගත්තේය.
මං දන්නව හරි ඉක්මනට ඔයාට මාව අමතක වෙයි. ඔයාට මාව කරදරයක්නෙ.. කමක් නෑ මාව අමතක කලාට පුළුවන්නම් හැමදාකටම මේක ඔය අතේ දාගෙන ඉන්න.. බෑ කියන්න එපා... එපා කියන්නත් එපා... මේක විතරයි මන් මගේ ආදරේ වෙනුවෙන් ඉල්ලන එකම දේ...
ඒ හිතුවක්කාරයාගේ ඇසින් ගිලිහුණ උණු කඳුලක් මුදුව මත වැටිණි.සෂායගේ ළාමක හිත කීරි ගැසුණි. එපා කියා ඔහු කෝප ගැන්විය යුතු නැති බව ඇයට වැටහුණි. ඇය ඔහු ඉදිරිපිටදීම ඒ මුදුව ගෙන ඇගේ දකුණතේ වෙඳගිල්ළට පළඳ ගත්තාය.කඳුලු අස්සෙන් ඒ ඇස් හිනැහෙනවා සෂායා දුටුවේය.
මං ආදරෙයි අක්කා... ඔයාට මහ ගොඩක්....
එසේ කියා ඔහු දෙනොදාහක් යන මහ මඟදීම ඇගේ මුහුණට පාත්වී ඒ තොල් පෙති මත යාන්තමට හාදුවක් තවරා සැනෙන් පාර පැන නොපෙනී ගියේය.සෂායා සිහි එළවා ගත්තේ ඇගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් එන හඩටය.
Me Dan mama bus ekakata yatawela marunath mata sapayi.mata me labuna de athi mage malu jeevitha kaletama sanasenna. sathutin inna. budusaranai.
ඒ ඔහුගෙනි. මගමඟ කියා අමතකව සෂායාට ඉකිගැසුණි.
* * * * * * * * *
සෂායා තවමත් මුදුව දෙස බලා හිදී.ඒ අතීතයේ මතකය මොහොතකට ඇගේ සිතුවිලි සී සී කඩ කල තරමක්. එදායින් පසු සෂායාත් සමීරත් මුණ ගැසුනේම නැත. අද ඈ යහපත් ස්වාමියෙක් ලැබ සතුටින් දිවි ගෙවයි.ඔහුද දැන් හැඩි දැඩි තරුණයෙකු විය යුතුය.අතීතයේ සිදු වූ දේ ගැන අද ඔහු පසුතැවිලි වනවාද විය හැක. එසේත් නැතිනම් ඔහු ඔහුගේ පලමු පෙම් සිතුවිල්ල ගැන තවමත් කඳුළු සලනවා ද විය හැක.ඒ කෙසේ වෙතත් ඔහුට නිදුකක්ම වේවායි ඔහු සිහිවන හැම විටම සෂායා දෙවියන් යදී.
- නිමි -
( අනේ ඉතින් මේකත් ගොඩාක් ඉස්සරෝම ලිව්ව එකක් ලු හොදේ. කොපි ඇන්ඩ් පේස්ට් කල එක විතරයි සිද්ධ කොලේ. )
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
සෂායා කියන නම් මට නම් අප්සෙට් වගේ. මුලින්ම ඒ නම ඇහුණම රුසියන් කෙල්ලෙක් හිතේ මැවෙන්නෙ...කතාව පුරාම ඒ හැඟීම හිතේ තියෙනව....:(
ReplyDeleteහෑ.. ඒ නම රුසියන් වගේද ? හැබැයි සැබෑවටමත් ඔය නමින් කෙනෙක්ව මම දන්නවා ඒ නමට මම ගොඩක් කැමති නිසා තමයි ගත්තේ මේ කතාවට
Deleteමං ආසාවෙන් කියෙව්වා සඳූ...ලස්සනයි කතාව
ReplyDeleteම්ම් එහෙනම් ස්තූතී විසිරි
Deleteලස්සන ගලායාමක් තියන කතාවක්
ReplyDeleteස්තූතී මෙහෙ ආවටත්, අගය කිරීමටත්
Deleteලස්සනයි හිතට වැදෙන විදිහට ගෙත්තම් කරලා තියේනවා
ReplyDeleteස්තූතී අසංග
Delete
ReplyDeleteසෂායා ලා වගේම සමීර ලාත් මේ ලෝකෙ ඕන තරම් ඉන්නවා..ඒත් සම්මතයට යට වෙච්ච සෂායා ගේ සිතුවිලි නිසා ගොඩක් අය ඔය වගේම මග නතර වෙලා... හැබැයි ඔය රාමු කුඩු කරපු අයත් මම දන්නවා..
මමත් දන්නවා එහෙම කීප දෙනෙක්ම සමහරු බොහොම හොදින් ඉන්නවා ඒත් මම දන්න දෙන්නෙක් මේ වගේ අවුරුදු පහක පරතරයක් තිබිලා විවාහ වෙලා ඒ හේතුව නිසාම පස්සේ ජීවිත් අපායවල් කර ගත්තා.ඒ ගෑණු කෙනා හැම තිස්සෙම එයාගේ වැඩිමල් කම පිරිමි කෙනාව යටත් කර ගන්න පාලනය කරන්න පාවිච්චි කරපු නිසා.
Deleteමේ කතාවේ පට්ට අහඹූ ගොඩක් තියෙනවා...මමත් මේ කතාවේ සමහර තැනක ඉදලා තියෙනවා මුල්ම අහඹුව තමයි ඔය වගේම වයස නොපෙනෙන ගෑණු ළමයෙක්,දෙවැනි අහඹුව තමයි වයසේ ගැප් එක අවුරුදු 7යි.අන්තිම ටික වෙනස් ඒයා කැමති වුන් නෑ පොඩ්ඩක් වත් හේතුවක් කිව්වෙත් නෑ. මගෙන් වයස ඇහුවා මන් කිව්වට විශ්වාස කරේ නෑ තාමත් මතකයි නුගේගොඩ ඉදන් දෙහිවලට එන බස් එකේ හිටියේ id එක ඉල්ලගෙන බැලුවා ඊට පස්සෙ මගේ උරේට ඔළුව තියාගෙන ඇඩුවා. එතනින් එහාට යාළු කමුත් නෑ මොකුත් නෑ. හැබැයි එයා අවිවාහකව හිටපු ගොඩක් ඉගෙන ගත්ත එක්කෙනෙක්. තුන්වෙනි අහඹුව තමයි සොදුරු පිරිමි ළමයගෙ නම.
ReplyDeleteහප්පා ඒක බොහෝම අපූරූ අහම්බයක් නේද රස්ති ? නමක් ගමක් දන්නෙ නැති කලුද සුදුද දන්නෙ නැති ඔයාගේ කතාව තමයි එතකොට මම මේ ලියලා තියෙන්නෙ.ඒ වගේම තමයි රස්ති මේ කතාවත් අකුරක් පාසාම ඇත්ත කතාවක්.මගේ ළඟම නෑ වෙන අක්කෙකුට වෙච්ච සැබෑම සිදුවීමක්. එයාගේ අතේ තාමත් මේ මුද්ද තියෙනවා.
Deleteරොමාගේ කථාව ඇත්ත සඳවතී. මම ඒකට ඉඳුරාම සාක්ෂි.
Deleteලස්සනට ලියලා තියෙනවා...
ReplyDeleteස්තූතී අගය කිරීමට
Deleteකතාව ලස්සනයි
ReplyDeleteබොහොම ස්තූතී
Deleteමේවඑකක් හැටියට ගත්තොත් කතාව හොඳයි. ඒත් මොකක්දෝ අසම්පූර්ණ ගතියක් මේ කතාවෙ මට දැනෙනවා. ඒ මට තේරෙන හැටිද ගොන්කමටද මංදා.
ReplyDeleteමටත් හිතෙනවා තව දිග උනානම් හොදා කියලා
Deleteසඳූ...
ReplyDeleteමේකනම් ලස්සනම ලස්සන කථාවක්. හිතටම වැදුණා. ඒත් ඈ සමීර ගැනත් හිතුවනම් ..?
ජයවේවා!!!
ඈ සමීර ගැන බොහෝ වෙලාවට මා එක්ක කතා කරනවා අදටත්.අද ඈ ඉන්න තත්වයත් එක්ක එදා ඈ ගත් තීරණය හරි කියලයි මටනම් හිතෙන්නේ
Deleteහරිම ලස්සන කතාවක්. මම මේ කතාව කියවන්නෙ 2වතාවට. මම ඔයාගෙ බ්ලොග් එකට මුලින්ම ආපු දවසෙ මුලු බ්ලොග් එකේම පෝස්ට් ටික කියවල තමයි නතර කලේ. ඉතින් එහෙම කියවනකොට මට කලින්ම මේ කතාවත් කියවන්න ලැබුනා.
ReplyDeleteඅහන්නත් සතුටුයි පහුගිය පෝස්ට් එහෙම කියවනවා කියලා දැන ගත්තමත්. ස්තූතී කටකාරී ඔයාට
DeleteLassanayi sadu, hithata waduna kathandare, ohoma dewal wenawa..eth ithin passen pahu nogalapim athi wenawa wayasa parathare nisa..e nisa me wage relationship walin iwath wenawa eka thamayi hodama..sinhalen type karanna be, phone eken nisa..
ReplyDeleteගොඩක්ම ස්තූතී අක්කෝ නිරතුරුවම කරන මේ ඇගයීමට
Deleteලස්සන කථාව සඳවතී. අසම්මතයේ බැමි බිඳලා මේ දෙන්නා එකතු උනා නම් මේ ආදර කතාව තව ලස්සන වෙන්න තිබුණා. මොකද සමීරගේ ආදරේ නොවෙනස් වෙන සුළුයි කියලා හිතෙන නිසා.
ReplyDeleteජයවේවා ...!!!
ම්ම්ම් අනේ මන්දා එහෙම වෙන්නත් තිබුනා නොවෙන්නත් තිබුනා නේද
Deleteඅවසානයට පෙර "ඔහු" ගියා
ReplyDelete