සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Nov 7, 2018

නන්දෙ මං දැන් මක් කරන්නද !






කට්ට කරුවල හෙමින් වෙට්ටු දම දම ඇවිත්
පිලිකන්නෙ පියස්සට පැන්නා
රැහැයියෙක් මහ දුකින් හඩ තලාගෙන වැරෙන්
පාලු දෙනිපෙත සසල කෙරුවා
මේ මහා වරුසාවේ  මම කොළඹ කොටුවෙලා
එන්න තව රෑ වේවි ! ඔයාගෙන් පණිවිඩය ලැබුනා
වත්ත මැද කොස් ගහේ උලමාගේ වැලපිල්ල
නන්දෙ මට වෙනදාට වඩා හිතට දැනුනා

අයාලේ යන ගමේ බලු රැල සීරුවට
කම්බියෙන් වැට පනින හඩ ඇහුනා
මල් විලේ පිපුණු මල් මාරුවෙන් මාරුවට පොඩිවෙනා
සුවඳ දොර කවුලුවෙන් ඇතුලටම හැමුවා
කිරි පිරුණු ලැමට මං පොඩි එකී හිර කරන්
හුස්මවත් නොගෙන දෙවි යැද්දා
අනෙ නන්දෙ උන් අපේ  ගල් ලෙනේ දොර දාර
යකඩ ඉන්නෙන් ඇනල බින්දා

කොටි දෙනක් වගේ මං කඩාගෙන පැන්නාට
නිමේෂෙන් මගේ එඩි සින්දා
නංගි උඹ දැඟලුවොත් වැඩේ දුරදිග යාවි
වක් පිහියෙ මුවාතම පොඩි එකිගෙ ගෙල මුලින්  තිබ්බා
පොල් කඩන සෝමෙ අර හංදියේ සිරිදාස
රබර් වත්තේ ගෙදර පොඩි එකත් උන් එක්ක උන්නා
දන්නවද නන්දෙ උන් පිරුණු කිරි කොතලයට
මිනී කන දත් වලින් ඇන්නා

මාරුවෙන් මාරුවට එක එකා ඇවිත් මගෙ
බඳට උල් යවුලෙන්ම ඇන්නා
ඒත් මං තොටිල්ලේ හඬන පොඩි එකි ළඟම
සිහියෙන්ම ඇස් තියන් උන්නා
කල්පයක් වගේ ගත වෙච්චි පැයකට පස්සෙ
මුරුගසං වරුසාව පායලා තිබ්බා
නන්දෙ මට ආයෙ ඔය ඇස් දිහා හරි කෙලින්
බලන්නට බැරි බවක් දැනුනා

ඇහැලෙපොල කුමාරි වෙන්න මට බෑ නන්දෙ
දරු පෙමට මගේ සළු ලෙහුනා
පත්තිනිත් නෙවෙයි මං ඈට කෝ දරු දුකක්
ඒකී වඳ එකී බව හිතුනා
නීතියේ නිල දරුවො හිතු හිතූ වෙලාවට
මගේ රෙදි ආයෙමත් ගලවාවි හැගුනා
කමක් නෑ නන්දෙ මම දරාගන්නම් ඒවා 
ඔයාගේ සෙනෙහසේ රස්නෙ විතරමයි මට
ආයෙමත් නැගිටින්න ඕනා


Oct 30, 2018

අනියම් !




සේද සිනිඳු මුඳු යහනක
සැතපෙනා රැයේ මැදියම
හිටි ගමන් ඔබේ වම් ල'පැත්තට
හීන් හුස්මක තෙත දැනෙනවානම්
රන් මුදුව ලූ අතක් පපුව මැද්දට
අනායාසයෙන්ම වැටෙනවානම්
මම - නොවේ - ඒ - ඇය

මුදාහල මල් සුවඳ ගුලි කොට
ඉර එබෙන කණිසමට
කලු කෝපි උණුහුමට කැටිකොට
පලමු සුබ දසුන මන බන්දන
සයනයේ පාමුලට කැන්දන
කෙනෙකු වේනම් ඔබට
මම - නොවේ - ඒ - ඇය

ඉල් මහට කල් බලන
ශිශිරතම හැන්දෑ වරුවක
පෙණ නඟින උස බීර බඳුනට
අල්ලාප සල්ලාප අඩු වැඩිය
ශෘංගාර කටගැස්ම සපයන
ඇත්දල පාට පැද්දෙන දෙපා යුග
මම - නොවේ - ඒ - ඇය

එකම හැල්මට දුවන ජීවිතය
මොහොතකට නවත්තා ඉසිඹුලන
එකම එක මිලි තප්පර අංශුවක
මං ගැනත් වගක් ඇති බවම
හිත හිතා මුලු හිතම නිවන
කෝ - කොහෙද - නිදුකින්ද හිතන
දුර ඉදන් ඇල්පෙනෙත්තෙන් හිතට අනින
මම - තමා - ඒ - ඇය

සඳ නේන කලුවරම රැයක
තනිකමෙන් තනි වෙච්ච දවසක
දුර ඉඳන් ළඟට වී තනි රකින
අනවසර සිහිනයක ඇස් වලින්
සියොළඟම ඉඹින්නට ඉඩදෙන
මඟ හැරේවීයි බියෙන් මඟ බලා සිටින
මම - තමා - ඒ - ඇය

හිතුවක්කාර ඇස් දෙකකට
හිතුවක්කාරෙට බැඳුන පෙම
කල්පා'වසානෙ තෙක් රකින්නට
හිතින් හිතටම සපථ කරගත් බැවින්
ඔබ ආවත් - ඔබ නාවත් - ඔබ කතා කලත් - නැතත්
විඳිමින් - විඳවමින්  බලා හිදින
මම - තමා - ඒ - ඇය


බොහොම කලබලෙන් මූණු පොතට එබුන වෙලාවක දැක්ක කවියට හිත ගිහින් තමා මේක බොහොම  හදිස්සියෙන්ම ලියවුනේ. වැඩේ කියන්නෙ දැන් ඒ කවිය කොහේ තිබුනද කාගෙද කියලා මතකත් නෑ දන්නෙත් නෑ.

Oct 28, 2018

ඔව් ඒක එහෙමමයි !




ඇත්තමයි
මට දැන්
මාවත් අමතකයි !

ඒත්

පුදුමයි
මට තාමත්
නුඹව මතකයි !