සඳට බැළුම් හෙලූ අය

Showing posts with label දෙනුවන් අනුහස - නවකතාව. Show all posts
Showing posts with label දෙනුවන් අනුහස - නවකතාව. Show all posts

Sep 20, 2017

දෙනුවන් අනුහස !



        2012 අවුරුද්දේ හා හා පුරා කියල මම බ්ලොග් එකට ලිව්ව නව කතාව තමයි මේ දෙනුවන් අනුහස කියන්නේ.ඒ කාලේ බ්ලොග් ලියන කියවන අයගෙන් මේ කතාවට බොහෝම ඉහල ප්‍රතිචාර  ලැබුනා.ඉතින් ඒ ප්‍රතිචාරත් එක්ක මගේ තිබුන හීනයක් තමා කවදා හරි මේ කතාව  මගේ කුළුඳුල් නවකතාව විදියට එලියට දාන එක.ඒක විතරයැ ඉතින් කවි පොතක් කරන එකත් ඒවගේම හීනයක් තමා. ඒකනම් ඉතින් නොහිතූ විදියට  තව නොබෝ  දිනකින් සැබෑ වීමට නියමිතයි. ( හා  හා ඒක රහසක්  වැඩි  විස්තර පසුවට )

               දැන් ඒක නෙවෙයිනෙ වැඩේ  මගේ මේ කුළුඳුල් නව කතා මෙව්වා එක දැන් ටික කාලෙක ඉදලා මම තව කොටස් එකතු කරමින් සමහර කොටස් කපමින්  සංස්කරණය කොරමින් ඉන්නෙ. මොකද ඉතින් අවුරුදුම පහකට කලින් ලියපු එකක්නෙ එතකොට මම  හිච්චි එකා නෙව දැන් ඉතින් ඊට වඩා පෝ..ඩ්ඩක් පරිණතයි නොවැ. ( ඔය කිව්වට අනේ මන්දා ඒකත් ) හරි අනේ දැන් ඒකත් නෙවෙයි වැඩේ මගේ මේ දෙනුවන් අනුහස  මේ දවස්වල නැගලා යන  එදිරි අයියගෙ දෙවෙනි ඉනිමට පෝඩ්ඩක් විතර ළඟින් යන ගතියක් තියෙනවා.දෙවෙනි ඉනිම වගේම මේකත් මේ යොවුන්  පාසල් වියේ හුරතල් කතාවක් එච්චරක් විතරක් නෙවෙයි කියාන්ඩලකො ඒකත් නෑනා මස්සිනා  ලව් එකක් තියෙනවා.එච්චරද...?  නෑනේ... මස්සිනාගේ නම දෙනුවන් අනී.ඔය දෙවෙනි ඉනිමේ අවන්ත වගේම සෙල්ලක්කාර එපා කරපු එකෙකුත් ඉන්නවා ඒ දෙනුවන්.හැබැයි කතාවේ අන්තර්ගතයනම්  හාත්පසින්ම වෙනස් ඒ උනාට මේ අව් අස්සේ මම මේක එළියට දැම්මොත් මම දෙවෙනි ඉනිම කොපි කලා කියල කට්ටිය මාව මරන් කාවි කියන සාධාරණ මෙව්වා එකක් මට තියෙනවා අප්පා.අනෙ ඩෙයියනේ එත් ඉතින් මම මේක ලියනකොට එදිරි අයියගෙ හිතේ අහලකවත් දෙවෙනි ඉනිමක්  තියෙන්න නැතුව ඇති.දැන් ඉතින් එහෙම කිව්වම කට්ටිය මට පුප්පන්න එපා මම හිතනවා කියල එදිරි අයියා අනුහස්ව මගෙන් උස්සලා කියල (එහෙමනේ අපේ කට්ටිය කොහෙන් හරි මඩ බාල්දිනේ උස්සන් එන්නේ)අනුන්ගෙන් වචන ඇහිදින්න තරම් ඒ මනුස්සයට සිතුවිලි වල අහේනියක් නෑනේ.මීට අවුරුදු ගානකට කලින්  එදිරිගේ සාටරේ කියවලා මම එයාගෙ රසිකාවියක් උනේ.දැන් මම එයාගෙ සුළඟ නුඹ සහ මම පොතක් කරලා එලියට දානකන් මඟ බලන් ඉන්නෙ.

          ඉතින් පින්වතුනි මම දැන් මගේ දෙනුවන්  අනුහස එක පොකුරට දෙන්න හදන්නේ.මම හැමදාමත් කියනවනේ  ඒ කාලේ මගේ බ්ලොග් එකේ හිටපු කියවන්නෝ පිරිස නෙවෙයි අද ඉන්නේ ඉතින් මගේ යුතුකම ඔයාලා මගේ පරණ කතා කියවන්නේ නැත්තන් කියවපිය කියලා බලෙන් ඇස් දෙකේ අනින එක.අනික ඉතින් දැන් ඔය  සතියේ දවස් වල යන කසි කබල් නාට්ටිය එහෙමත්  සති අන්තෙත් සුවප්නා එක පොකුරට,  සදහටම ඔබ මගේ පොකුරු දෙකට කිය කිය අපිට බලෙන් පෙන්නන්නේ. එහෙම එකේ බ්ලොග් නවකතාවකුත් එක පොකුරට දුන්නම මොකෝ වෙන්නේ. හා නැද්ද..?
       
          ඉතින් පින්වතුනි මම ආරාධනා කරනවා මගේ මේ කතාව කියවලා මට යහපත් ප්‍රතිචාර දක්වන්න කියල.ඔන්න දැන් මේක කඩාකප්පල් කොරන්න අර කඩදාසි කොලේ ලියන එකී කියාවි මම පරණ පෝස්ට් දාලා ජාමේ බේරගන්නවා කියල .නෑ පින්වතුනි මම එහෙම නෑ.


කතාවට පෙරවදනක්

දෙනුවන් අනුහස 1

දෙනුවන් අනුහස 2

දෙනුවන් අනුහස 3

දෙනුවන් අනුහස 4

දෙනුවන් අනුහස 5

දෙනුවන් අනුහස 6

දෙනුවන් අනුහස 7

දෙනුවන් අනුහස 8

දෙනුවන් අනුහස 9

දෙනුවන් අනුහස 10

දෙනුවන් අනුහස 11
දෙනුවන් අනුහස 12
දෙනුවන් අනුහස පසුවදන


Jul 9, 2012

දෙනුවන් අනුහස... පසුවදන





හුඟක් දවස් අරගෙන ඔන්න අද හිතුවා දෙනුවන් අනුහස ගැන පසුවදන ලියන්න.මම දන්නවා මේ පසුවදන කියවන්න බලාගෙන කීප දෙනෙක්ම මඟ බලාගෙන ඉන්නවා කියල.කතාවේ කොටසක් දෙකක් කියවද්දි ගොඩක් අය මගෙන් අහපු දෙයක් තමා මේක මගේ ජීවිත කතාවද..? එහෙම නැත්තන් මම දන්න කියන කෙනෙකුගේ ජීවිත කතාවද කියල.ඉතිං මුලින්ම කියන්න ඕනෙ මේක මගේවත් මම දන්න කියන කෙනෙකුගේවත් ජීවිතය නෙවෙයි.ආරම්භය කොහොම උනත් මේ කතාවේ අවසානය මගේ හිතේ ඇදුන සිතුවිල්ලක්ම විතරයි.කතාවක් ලියන්න ඕනෙ කියන අදහස හිතට ආවම මම ඉස්සෙල්ලම කලේ මේ කතාවේ ප්‍රධාන චරිත හතරට නම් තියන එක.පටන් ගැන්ම වගේම අවසානයත් පෙළගැස්සුවේ ඒ නම් හතර මත.

ඒත් මේ කතාවේ ප්‍රධාන චරිත හතර ඇතුලේ මගෙයි මම දන්න කියන අයගෙයි ගතිගුණ, අදහස් ,සිතුම් පැතුම් තිබුණා.මේ කතාවට ඇතුලත් කල යම් යම් සිද්ධි මගේ ජීවිතේ මම අහපුවා දැකපුවා විඳපුවා තිබුණා.මේ කතාවට ඇතුලත් කල ගම් , නගර සහ ස්ථාන පවා මගේ ජීවිතේට බොහොම සමීප තැන්.අන්න ඒ හේතු නිසාම මේ කතාව කියවපු ඔයාලට මේක යථාර්තයට බොහොම සමීප බවක් දැනෙන්න ඇති.

වෙලාවකට මම කවිති උනා, වෙලාවකට මම උත්තරා උනා , දෙනුවන් විතරක් නෙවෙයි මම අනුහසුත් වෙලා බැලුවා.එයාලව මේ කතාවේ ජීවත් කරවන්න මම මට පුලුවන් උපරිමයෙන් කැප උනා.මේ කතාවේ අවසානය කියවපු ඔයාලගේ ඇහැට කඳුළු ආව බව මම දන්නවා. මේ කතාවේ අන්තිම ලියාගන්න බැරුව මම දවස් ගාණක් ලතැවුනා ඇඬුවා.

o3 wall එකෙන් මගේ ජීවිතේට සමීප වුන සහෘදයන් මගෙන් නවකතාවක් ලියන්න කවී කියලා ඉල්ලුවම මම හිතුවේ නවකතාවක් ලියන්න තරම් මගේ නිර්මාණගීලිත්වය මදි කියල.මුලින් මම හිතුවෙ මේ කතාව කොටස් දෙකකින් ඉවර වෙන කෙටි කතාවක් හැටියට ඉවර කරන්න.ඒත් වෝල් එකේ අය ඒකට ඉඩ දුන්නෙ නෑ එයාල කිව්වෙම මේක දිගට ලියන්න කියල ඉතින් එයාලගේ බලාපොරොත්තුව තමා මාව මේ තරම් දුරක් ගෙනාවේ. වෝල් එකේ මගෙ යාලුවනේ ඔයාලා හැමෝටම ගොඩක් පින් ! ( මම එක්කෙනෙකුගෙවත් නම් කියන්නෙ නෑ මොකද එකක් හරි මිස් උනොත් මාව මරන් කන නිසා )

ඊළඟට බ්ලොග් අවකාශයෙන් මට මුණ ගැහුණ මගේ කතාවත් එක්ක දිගටම හිටිය සහ මගදි එකතු උන දයාබර ඔයාලගෙන් ලැබුන අදහස් උපදෙස් මට පුදුම හයියක් උනා.ඒ හැම දෙකටම ඔයාලටත් ගොඩක් ස්තූතී.

ඉතිං දෙනුවන් අනුහස මගේ මුල්ම නවකතාව කියවල රස විදල අදහස් දක්වල අඩු පාඩු පෙන්නල දීල මග පෙන්නපු ඔයාලා හැමෝටම වගේම කමෙන්ට් නොකලත් ඇවිත් බලල ගිය හැමෝටමත් ගොඩක්ම ගොඩක් ස්තූති.ආයෙත් ආයෙත් කතාවක් අරන් ඔයාලා හමුවට එන්න මම පොරොන්දු වෙනව.චූටි දවසක් ඉවසන් ඉන්න හොදේ.

Jun 27, 2012

දෙනුවන් අනුහස... අවසන් සජ්ජායනාව



 සීත සෘතුව ගෙවා හමාර කර මේ වසන්තය මලින් බර වන සමයයි.මම ජනේල් තිරය මෑත් කර ගෙමිඳුළට නෙත් යැවීමි. නෙක නෙක පැහැ මල්, පෙති දෙපෙති විදා පිපින්නට සූදානමිනි.නොඉඳුල් ළඳළු මත වැටුණු තුහින කැට හිරු රැසින් දිස්න දේ.රොන් සුවඳට ඉව කරමින් රොනට ඇදෙන බිඟු කැළ කොයි මලේ වසන්නදෝ සිතා ගන්නට බැරුව මෙන් මල් අතර එහා මෙහා සරයි.ගේ දොර හැර මිඳුළට දුව ගොස් මේ වසන්තය තුරුළු කර ගන්නට මට සිතේ.නෑඹුල් හිරු රැස් යට වී මල් සුවඳ හදවත පුරා විඳගන්නට මට සිතේ...එහා මෙහා සැරිසරණ සමනලුන් හා මොහොතක් දොඩමලු වෙන්නට මට සිතේ...මම අගුලු හැර ජනේල් පියන්පත් හැර දැමීමි.හීන් හුළඟකුත් සමග උදෑසන ප්‍රථම හිරු කිරණ මගේ සියොළඟම තෙමාලමින් කාමරයට ඇතුල් විය.මා හැරී යහන දෙස බැලුවෙමි. පොරෝනයට ගුලිවී ඔහු තවමත් සුව නින්දේය.මට සිනහ නැගේ මෙලෙස ඔහුට තව හොදහැටි නිදන්නට හැක්කේ එක්කෝ විනාඩියකි නැත්තම් දෙකකි.ඒ දැහැන බිඳින තුරු මා මොහොතකට කණ්නාඩියට එබී බැලීමි.තවමත් මේ ඇස් වල දිස්නය අඩුවී නැති හැටි.

" ටක් ටක් ටක් "

ඉතිං මේ හැමදාමත් මෙන් සුපුරුදු ස්වරයයි. මෙය ඇසෙන තුරු අපිට ඇදෙන් බැසීම සපුරා තහනම් වේ. මා දුව ගොස් ඇදට පැන ඔහුට තුරුලු වීමි.එ සැනින් ඔහුද මා ඇද ඒ පොරෝනය තුලටම ගති.හ්ම්.. මෙයත් ඇහැරිලා හොර ගෙඩියා වගේ ඉදලා.

" සුදු තාත්තියෝ...... ඔන්න ඔයාගේ සුදු දූ එනවා........"

නුහුරු තාලෙට සිංහල වචන හසුරවමින් දොඩන ඒ හඬ ඇහෙද්දි හැමදාමත් මෙන් අදද සියුම් සතුටකින් හිතම පිරේ.එක අතකින් ටෙඩී බෙයාර් කෙනෙකුද අනිත් අතින් ලොකු රෝස මල් පොකුරක්ද තුරුලු කරගෙන ඈ කාමරයට ඇතුල් විය.ඉතින් මේ අපේ සිහිනය , බලාපොරොත්තුව සහ ජීවිතයයි. අපේ ජීවිත එළිය කළ පුංචි සුරංගනාවිය නෙතුකි අමායා නම් වූ ඇයයි.

වෙනදාට ඇදට පැන්න ගමන් තාත්තාට තුරුලු වෙන ඈ අද පැන ගෙන විත් මට තුරුලු විය.

" ඔයාට Happy Birthday සුදු අම්මියෝ.."

" හානේ මට අමතකම උනා අද මගේ උපන්දිනේ කියලා.... Thank You මගෙ සුදු දූ...මේ ඔක්කොම මටද..."

ඈ දුන් ටෙඩීබෙයාර් වද මල් පොකුරද තුරුල් කර ගත් මා හිනැහෙමින් ඇසීමි.

" ඔයාට විතරයි දූ මාව මතක ... බලන්න තාත්තිටවත් අම්මිගේ Birthday එක මතක නෑ...හරි නරකයි තාත්ති.."

තවමත් පොරෝනයෙන් මුහුණ වසාගෙන සිටින සුදු අයියාව මා හයියෙන් කොනිති ගැසීමි.අපේ පුංචි හුරතලිය අතින් කට වසාගෙන හිනැහෙන්නට විය.

" අයියෝ අම්මි ... තාත්ති තමා මටත් මතක් කලේ අද අම්මිගෙ උපන්දිනේ... මේ Gift මට අරන් දුන්නෙත් තාත්ති තමා ..."

" තාත්තිද ටෙඩීබෙයා කෙනෙක් තේරුවේ අම්මිට .... අයියෝ... දූ... අම්මි පොඩි බබෙක්යෑ..."

" හි හී .. මමත් තාත්තිගෙන් ඕක ඇහුවා... කොච්චර වයසට ගියත් අම්මි තාම බබෙක් වගේ කියලා තාත්ති ඕක ගන්න කිව්වේ...."

එය අසා මට සිනහව අමතක විය. මහා සැනසුමකින් හිත පිරී යන්නට විය. ඉතින් ඔහු දූට කී දේ සැබෑවකි.අදට මට වයස විසි අටකි, මා දැන් අවුරුදු අටක දියණියකගේ මවකි.එහෙත් අදටත් ඔහුට මා පුංචි එකියකි.ඔහු ආදරෙන් සෙනෙහසින් අත පත ගා හැදු මගේ බාල විය අපේම දියණියගෙන් නැවත දැක දැක විඳ විඳ මහා සැනසුමක් ලබයි.එදා පටන් අද වෙන තුරුම සියලු දොම්නස් ඒ කරට ගෙන සොම්නසම පමණක් මට දී ඔහු සැනසෙයි.කොයි තරම් කල් ගියද කොයි තරම් වයසට ගියද හැමදාමත් ඔහුට මා ළැදැරියකි.එය වෙලාවකට හිතට මහා බරක් උනිද ඒ සෙනෙහස ළඟ මා සැබෑවටම ජීවිතය විඳිමි.මා අපමණ සෙනෙහසින් නිදන ඒ නෙතු දෙස බලා සිටිමි.දෑස වසා ගෙනම සුදු අයියා මාවත් දියණියවත් දෙපසින් ඒ ළයට තුරුල් කර ගත්තේය.

" Good Morning තාත්තී.... ඔන්න අද තාත්ති අම්මි ගාවට වෙලා ඉන්න සීයා පප්පා මාව School එකට ඇරලනවා කිව්වා අද හොදේ..."

දූ අමායා එසේ කියා පිටව ගියේ තවත් විනාඩි කීපයක් අප හා සුරතල් වීමෙන් පසුවය.

" මේ කටම තමා ඒකටත් තියෙන්නෙ "

සුදු අයියා මගේ නිකටින් අල්ලා මිරිකා එසේ කීවේ හිනැහෙමිනි.දයාබර සැමියෙකුගේත් සෙනෙහෙබර පියෙකුගේත් නිහතමානී අඩම්බරය ඒ ඇස් වල වේ.

" ම්ම්ම්ම්... ඉතින්.... අද මගේ සුදු නංගිගේ උපන්දිනේ නේ.... කියන්න මගෙන් මොනවද ඕනේ...."

මේ මුලු ජීවිතයටම සරිලන්නට දෑ ඔහු මට දී තිබේ.ඒ හැමකකටම වඩා ඔහු මට දුන් සෙනෙහස දයාව රැකවරණය මහ මෙරක් තරම් වේ.මීට වසර ගණනාවකට පෙර හිස්ම හිස් හදවතකින් මේ සීත දේශයට ගොඩ බට මට ඔහු හෙමින් හෙමින් ජීවිතය කියා දුන් හැටි...හදවත ප්‍රේමයෙන් පිරවූ හැටි...ලෝකයේම තියෙන සතුට මගේ පය පාමුළට ගෙනත් දෙන්නට මහන්සි වූ හැටි...අම්මා යන උත්තරීතර පදවියෙන් මා සම්පූර්ණ ගැහැණියක කල හැටි...

" මට තව මොනාද ඕනෙ සුදු අයියා... ඔයාම කියන්න මේ ජීවිතේ මට තව මොනාද අඩු මගෙ අයියේ...?

මා ඒ වතට තුරුලුව ඒ මුහුන දෙස බලා ඇසීමි.

" ඔයාට දෙන්න බැරිවුන තව එක දෙයක් තියෙනවා මගෙ නංගී... අද ඔයාගේ උපන්දිනේදී මම ඒක ඔයාට දෙනවා.."

යහනෙන් බැස කණ්නාඩිමේස ලාච්චුවෙන් මොකක්දෝ අතට ගෙන ඔහු ආයෙම යහනට ගොඩ විය. මම කුතුහලයෙන් එදෙස බැලීමි.සුදු අයියාගේ අත වූයේ ගුවන් ටිකට් පත් දෙකකි.මා එය අතට ගෙන බැලීමි.එහි ගමනාන්තය ශ්‍රී ලංකවයි. මා විශ්මයෙන් ඇළලී ගියෙමි.

" ඇයි අපි ලංකාවට යන්නේ අයියා.... අපේ කවුද එහෙ ඉන්නේ....?"

මා එසේ ඇසුවේ හැබෑවටමය.

" ඇත්තටමද එහෙම ඇහුවේ... අපේ කවුරුත්ම එහෙ නැද්ද සුදු නංගී..."

ඒ පැනයත් සමඟම සියුම් හිරිවැටීමක් හදවත පුරා දිව යන්නට විය.සදහටම වසා දැමූ හදවතේ එක දොරටුවක් සියලු ඉබි යතුරු කඩාගෙන මහා හඬින් ඇරෙනා හඬ මට ඇසුණි.මා වැරෙන් දෙනෙත් පියා ගතිමි. දෙනුවන් ... තාරා... ඔවුන් අපේ නොවේයැයි කියන්නට හැකිද...අනුහස් අයියා මේ අපේ අය යැයි බර කර කීවේ ඔවුන්ට බව මා ඉඳුරාම දනිමි.ගෙවුණු අවුරුදු නමය පුරාවටම ඔවුන් ගැන වචනයක් කතා නොකල සුදු අයියා මේ හිටි හැටියේ ඔවුන් මතක් කලේ ඇයි..? ආයේ කවදාවත් ලංකාවට නො එමී කියා ආ මා වසර ගණනාවකට පසු එහේ ගෙන යන්නට සුදු අයියා සූදානම් වෙන්නේ ඇයි..?දාහක් ප්‍රශ්ණ හිතට ආවද මා ඒ කිසිවක් මුවින් නොඅසා සුදු අයියාගේ මුහුණ බැලීමි.

" අපි හෙට Flight එකෙන් ලංකාවට යනවා සුදු නංගී..... ඔයාගෙන් අහන්නේ නැතුව මෙහෙම තීරණයක් ගත්තට මා එක්ක තරහ වෙන්න එපා පැටියෝ... මුකුත්ම ඇහුවේ නැති උනත් ඔය හිතේ තියෙන දෙවල් මට තේරෙනවා.ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර තව පැය කීපෙකින් ඔයාට ලැබෙනවා..ඉතින් එතකන් ගොඩාක් හිතන්නේ නැතුව වෙනදා වගේ ඉන්න ඕනෙ හොදේ..."

මා හිස වනා එය පිළිගතිමි.විටෙක මැරිලා ඉපදුන අයෙකු සේ ජීවත් වෙන්නට හැදුවද දෙනුවන් සිහිවන , තාරා සිහිවන මොහොතක ඔවුන් මගේ ලෝකයේ මිය ගිය අය සේ සිතුවද යටි හිතින් මා කෙදිනක හෝ මෙවන් ආශ්චර්යක් බලා පොරොත්තු වූවා නොවේද...යලි කෙදිනකවත් ආයේ මුලට යන්නට තුන් හිතකවත් බලාපොරොත්තුවක් නොවුනද ඔවුන් හොදින් ඉන්නවාද කියාවත් දැන ගන්නට සිත කොයි තරම්නම් පෙරුම් පිරුවාද..ඒ සිහිනය යථාර්තයක් වන්නට යන මේ මොහොතේ මම අපමණ සසළව සිටියෙමි.


" සුදු අයියා එතකොට අපේ දූ.."

ගුවන් ටිකට් පත් වූයේ මටත් සුදු අයියාටත් පමණක් බැවින් මා ඇසීමි.

" දැන් අපේ කෙල්ල ලොකුනේ වස්තු... එයා අම්මලා එක්ක ඉඳීවී. වැඩිම උනොත් අපි සතියයි ඉන්නෙ ... බය වෙන්න දෙයක් නෑ මම කෙල්ලගෙන් අවසර අරන් තියෙන්නෙ..."

" ම්ම්ම් .. එතකොට මේ ආච්චිලා සීයලා තාත්තලා දුවලා සේරම එකතු වෙලා මට හොරෙන් ගහපු ප්ලෑන් එකක් වගේ..."

" නැතුව නැතුව ... එහෙම නේන්නම් Surprise present දෙනකොට "


සුදු අයියා හිනැහුනේ මහා වීර කමක් කල පරිද්දෙනි.

*******************************************************************


පසුදා අළුයම Montreal ගුවන් තොටින් අනුහස් අයියාත් මාත් රැගත් යානය අහසට ඉගිළුනි.සුදු පුලුන් වැනි වළාකුළු මතින් තටු සලා ඉගිලෙන යානයේ කවුලුවක් සමීපයේ වාඩි වී හිස් බැල්මෙන් මා ඔහේ බලා සිටියෙමි.හිත පිරී පිපිරෙන්නට තරම් හැඟුම් හිතේ වුණිද මා දරා ගතිමි.අප මේ යන්නේ දෙනුවනුත් තාරාත් මුණගැසෙන්නට බව ඉතින් මා දනිමි.මොනවා ඇසුවද දුටුවද අර ඉස්සර මෙන් හඬන්නට තැවෙන්නට හිතට ඉඩ නොදෙමීයි මා තරයේ සිතට ගතිමි.ඒ ඇස් දැක සසළ වෙන්නට තරම් දුර්වල හිතක් දැන් මට තියෙන්නට විදියක් නැත. මම මගේ ලෝකය සදා අවසන්ය. එහි හිස්තැනක් ඇදක් පලුද්දක් නැත.මා මෙන්ම ඔවුන්ද ඔවුන්ගේ ලෝකය සදාගන්නට ඇත.ඒ ලෝකය දැක බලා සැන සෙන්නට හිනැහෙන්නට මට දැන් හැක.උත්තරා... මගේ දයාබරම යෙහෙළිය වසර ගණනාවකට පසු හමුවෙන ඒ උනුසුම් මොහොත හිතින් විඳිමින් මා අනුහස් අයිය්යාට තුරුලු වීමි.වෙනදාට වැඩිය වේගයෙන් ඒ පපුව ගැගෙන බව මට දැනේ.ඒ පහසේ බව ඇත්තේ උණුහුමක් නොව සීතළකි.සුදු අයියාද මා මෙන්ම නොසන්සුන් වී ඇති සෙයකි.කිසිවක්ම ඕනාවට වඩා නොසිතා හිදිමියි සිතා මා දෙනෙත් පියා ගතිමි.

පැය ගණනාවක වෙහෙසකර ගුවන් ගමනකින් අනතුරුව අවසානයේ අප ගමනාන්තය කරා ළගා වූයේය.සියලු රාජකාරි හමාර කර ගුවන් තොටින් පිටතට ආ මට නිදහස් හුස්මක් වැටුණි.වසර නමයකට පසු උපන් බිමට අඩිය තැබූ මා මෙන්ම අනුහස් අයියාද සිටියේ කාලෙකට පසු අම්මා තාත්තා දැක්කාක් මෙන් ළය හිරි වැටෙන අමුතුම හැඟීමකිනි.මේ බිමේ ගෙවුණු සොඳුරු සැමරුම් සියල්ල තප්පර ගානකට හිතේ එහා මෙහා වුණි.ගුවන් තොටුපල ආසන්නයේම හෝටලයක කාමරයක් අපිට නවාතැන් සදහා අනුහස් අයියා විසින් කලින්ම වෙන කර තිබුණි.වෙලාවේ හැටියට එය ඉතා පහසු විය.

" රූම් එකට ගිහින් Change එකක් දාගෙනම යමු නේද සුදු නංගී..."

යන්නේ කොහේදැයි හරියටම දන්නේ නැති වුවද මම සිනා සී හා යි කීවෙමි.මේ ගමනේ සියලු සැලසුම් තවම දන්නේ සුදු අයියා පමණි.අවශ්‍ය තැනදී නිවැරදිම විසඳුම ගන්න ඔහු ගැන මා හොද හැටි දනිමි.එල්ලී එල්ලී ගොස් ඔහුගෙන් අසන්නට තරම් දෙයක් නැත. අනෙත් අතට වසර නවයක් ඉවසූ මට මේ පැය කීපය ඉවසන්නට බැරි තරම් නොහික්මුණු තදියමක්ද නැත.

පැයක් ඇතුලත අපි සූදානම්ව එලියට පැමිණියෙමු.හෝටලයෙන්ම කුලියට ගත් කාරයක් අප සදහා සූදානම්ව තිබුණි.මේ තරම් පිළිවෙලට මේ ගමන හදිස්සියේ යොදා ගත්තා වන්නට නොහැක.මේ සියල්ල කාලයක් තිස්සේ සුදු අයියා විසින් සැලසුම් කරන්නට ඇත.

" අපි ඉස්සෙලා කොහෙද යන්නේ නංගා..... තාරා බලන්න යමුද... දෙනුවන් බලන්න යමුද...

ඒ පැනයෙන් මහිත සසළ විය.එයාලා එකට නෙවෙයිද ඉන්නේ මගේ හිත මගෙන්ම ප්‍රශ්න කරනන්ට විය.ඒ ප්‍රශ්නාර්ථයෙන්ම මම අනුහස් අයියාගේ මුහුණ බැලීමි. ඔහු මගේ හිත මොහොතින් කියවන්නට ඇත.

" දෙනුවන් ඉන්න තැන තාරාට ඉන්න බෑ සුදූ...එයාලා වෙනම ඉන්නේ "

මගේ ඇස් මගහරිමින් සුදු අයියා පැවසුවේ දිග හුස්මක් අරන්.ඒ හුස්මේ මහා ලොකු කතාවක් හැංගිලා තියෙන බව මට නොදැනුනා නොවේ.

" අපි ඉස්සෙල්ලා තාරා බලන්න යමු අයියා..."

එතැනින් මේ සියලු ප්‍රශ්න වලට උත්තර ලැබෙන නිසා මම ඇය දැකීමට යුහුසුලු වීමි.

" ම්ම්ම්ම්..... මම කියන්නද පැට්ටො... අපි ඉස්සෙල්ලා දෙනුවන් බලලා ඊට පස්සේ තාර ඉන්න තැනට යමු...

කාරය පණ ගන්වා පාරට දමමින් සුදු අයියා මගෙන් විමසීය. මම නිහඬව හිස වැනීමි.මා නොහිතන කතන්දරයක් අපේ ජීවිත වටා වෙතැයි මගේ ගැහැණු ඉවට දැනෙමින් තිබුණි.හිත රිදෙන දෙයක් නොවේවායි මා දන්න කියන හැම දෙවියන් නමටම නමස්කාර කලෙමි.

හැල්මේ ගමන් කල රිය තුල මහා නිහඬ තාවයක් විය.සුදු අයියා හිටියේ ගැඹුරු කල්පනාවකය.සුදු අයියාත් සමඟ තාරාත් මමත් ආගිය සොඳුරු තැන් විටෙන් විට දෑස් මානයේ හසු වී සැනෙන් පසු වෙයි . ගෙවුණු ඒ අතීතය සිහිව දෑසට කඳුළක් නැගුණි.අනේ අප දුරස් වූ හැටි... අවුරුදු නවයක්.... කටහඬවත් නොඅසා අප අපව අමතක කල තරම්...තාරා කෙදිනක හෝ මට කතා කරාවියැයි මා බලා සිටියා මිස නිකමටවත් මම ඈට කතා කරන්නට හොයා බලන්නට ඉස්සර වූයේ නැති හැටි...ඒ ආඩම්ව්බර කම ගැන මේතාක් නොදැනුන මහා කලකිරීමක් හිතට දැනෙන්නට විය.දෑස් වැරෙන් පියා තාරා වෙනුවෙන් ඉනූ කඳුලු මා ඔහේ වැටෙන්නට ඉඩ හලෙමි.

ගෝල්ෆේස් පිටියද පසුකර රිය වේගයෙන් ගාලු පාර දිගේ ඉදිරියට ඇදෙයි.මම තාරා මෙන්ම දෙනුවන්ද හිටියේ පිලියන්දලය. සුදු අයියා ගාලු පාර දිගේ මේ යන්නේ කොහැදැයි සිතන්නට මම වෙහෙසීමි.අගක් මුලක් නොදැන එසේ හිත වෙහසන එක මෝඩ කමකි. මේ වසර ගණනාව තුල මොනවා කොහොම වෙනස් වෙන්නට ඇද්ද.තිගැස්සෙන හිත වාවා ගන්නට මම කාලය හා සටන් කරමින් ඉවසන්නට වීමි.දෙහිවල පසු කර මද දුරක් ගිය අනුහස් අයියා ගල්කිස්ස සුසාන භූමියත් ඕඩියන් සිනමා හලත් අතර මැද පාරට දමා වාහනය නතර කලේය.සිනමා හලේ තාප්පයත් සුසාන භූමියේ තාප්පයත් හැරුනු කොට ඒ අවට ගෙයක් දොරක් නැත. මම විශ්මයෙන් වට පිට බැලීමි.දෙනුවන්ගේ මහ ගෙවල් ගල්කිස්සේ බව දවසක් තාරා කියූවක් මට සිහි විය.අපි මේ කොහෙද සුදු අයියා... කියන ප්‍රශ්නාර්ථයෙන් මා ඔහු දෙස බැලීමි.සුදු අයියා මගේ පැත්තට හැරී අසුනේ වාඩි වී මගේ දෑතම ඒ අත් වලින් තද කොට අල්ලා ගති.

" සුදූ... මගෙ නංගී... මේ අහන්න... මම දැන් ඔයාට කියන්න යන්නේ ගොඩක්.... ගොඩා....ක් දුක හිතෙන කතාවක්...මම කියන්නෙ නෑ අඬන්න එපා කියලා හිත හැදෙනකං අඬන්න ඔයාට අයිතිය තියෙනවා...ඒත්.. ඒත් .. දැන් ඔයා ලොකු ගෑණියෙක්...එදාට වැඩිය හැම දෙයක්ම හරියටම තේරුම් ගන්න පුලුවන් තැනක අද ඔයා ඉන්නවා...ඔයාට රකින්න පවුලක් තියෙනවා... අපේ දෝණි නේද අද ඔයාගේ ලොකුම වස්තුව...අන්න ඒ අපේ වස්තුව ගැන හිතලවත් මෙතනින් එහාට අහන්න දකින්න වෙන දෙවල් උපේක්ෂාවෙන් දරාගන්න කියල මම ඔයාගෙන් ඉල්ලනවා...."

හිස දෙපසින් ඇරඹි මහා හිරි වැටුමක් මුලු ශරීරය පුරාම උඩු දුවනවා මෙන් හැඟීමක් මට දැනුණි.මා සසළව ගිය තරම්...

" අනේ මට කියන්න සුදු අයියා... මේ හැම දේකම තේරුම දැන්වත් මට කියන්න... ඇයි අපි මෙතන්ට ආවේ... කවුද මෙහෙ ඉන්නේ... කෝ තාරා... කෝ දෙනුවන්...."

" ඔය අහපු හැම ප්‍රශ්නෙකටම විතරක් නෙවෙයි අවුරුදු නමයක් තිස්සේ කණ්නාඩියෙන් ඔය මූණ පේන වාරයක් වාරයක් ගානේ ඔය නිල් පාට ඇස් දිහා බලාගෙන හොයන්න වෙහෙසිච්ච කතාවටත් මෙතන උත්තර තියෙනවා...ඒත් ඊට කලින් අපි දෙනුවන්ට කතා කරලා එමු සුදු නංගී..."

දෙකට නැවූ ලියුම් කවරයක් කලිසම් සාක්කුවෙන් ගෙන එය මට පෙන්වා අතට ගුලි කරගන්නා ගමන් සුදු අයියා එසේ කීයා වාහනයෙන් බැස විත් මාද බස්සවා මගේ අත කිටි කිටියේ තද වන්නට අල්ලා ගෙන ඉස්සර විය.සුසාන භූමියේ ප්‍රධාන දොරටුව ලඟට විත් අනුහස් අයියා නතර විය.අප මේ යන්නට හදන්නේ කනත්ත ඇතුලට බව දැනෙද්දී මගේ ඉහ මොල රත් වන්නට විය.මගේ දෙපා මටම අවසඟ විය.මට ආයෙම හැරී දුවන්නට සිතුණි.ඒ බව දැනීදෝ අනුහස් අයියා අල්ලා සිටි අත තවත් හිර විය.

" අනේ සුදු අයියා... කියන්න මට මේ හිතෙන දැනෙන දේ බොරුවක් නේද....අනේ මට යන්න බෑ අයියා ... අපි ආපහු යමු.... "

මා සුදු අයියාගේ උරහිස් බදා හඩන්නට වීමි.

" එන්න අපි යමු සුදු නංගී... මේ හැම දේම කියලා පෙන්නලා මට මගේ හිතත් නිදහස් කර ගන්න දෙන්න රත්තරං...ඔයාගේ සුදු අයියා අවුරුදු නවයක්... අවුරුදුම නවයක් මේ බර ඔලුවෙ තියන් හිනා වෙලා හිටියා...මටත් දැන් හරි මහන්සී පැටියෝ... දැන් අපි මේ හැමදේම බෙදා ගමු..."

සුදු අයියා මා වත්තන් කරගෙනම සුසාන භූමියට ඇතුල් විය.ඔහු කියූ කිසිවක් හරියට මට ඇහුනාදැයි කියාවත් මට නිනව් නැත.මම හිස් බැල්මෙන් වට පිට බැලීමි.සොහොන් බිම පුරා ඇත්තේ නිහඬ ගුප්ත බවකි.බටහිර අහසින් හිරු බැස යන්නට ආසන්නය.අහස්කුස පුරාම ඇත්තේ රක්ත වර්ණයකි.මා වත්තන් කරගෙනම සොහොන් කොත් අතරින් එහෙන් මෙහෙන් රිංගා ගොස් අනුහස් අයියා එක් තැනක නැවතුණි.ඉහලට ගත් හුස්ම පහලට දාන්න මට අමතක විය.මහා හඬින් හඬන්නට ඕනෑ වීද මුවින් එකම හඩක්වත් පිට නොවීය.ලේ පනින තරමට තොල් වැරෙන් විකා මම හැඩුම පාලනය කලෙමි.සට සට ගා ගැහෙන දෙපා අවසගව මම ඒ සොහොන පාමුල ඇද වැටුනෙමි.

පැහසර දෙනුවන් තරුණ මහතාට
අජරාමර නිවන් සුව අත් වේවා !

අසිහියෙන් මෙන් ඒ අකුරු දිගෙ මගේ ඇස් දිව ගියේය.ඒ ස්මාරකයේ කෙටූ තව එකම අකුරක්වත් කියවන්නට බැරි ලෙස මගේ දෑස් බොඳ විය.මේ විසල් දුක තවත් හිර කරගෙන හිටියොත් පපුව පැලී මෙතනම මා මියයතැයි මට සිතුනි. මහා හඬින් කෑ ගසා මම හැඩීමි.සුදු අයියා මා වලක්වන්නට ආවේ නැත.එහෙත් මා අසලම දණගසාගෙන මා තුරුලට ගත්තේය.


" මෙවා මෙහෙම උනෙ කොහොමද සුදු අයියේ....මම හිතුවේ වෙන දෙයක් ඒත් වෙලා තියෙන්නෙ කවදාවත් මම හීනෙකවත් දැක්ක දෙයක් නෙවෙයි...තාරාට දෙනුවන් දීලා මම අයින් උනානෙ මගෙ අයියේ... අනේ ... ඒත් ඇයි මෙහෙම උනේ...."

මම අසිහියෙන් කෑගැසීමි. මේක කියවන්න සුදු නංගී...

මෙතෙක් වෙලා සුරතෙ ගුළි කරගෙන් උන් ලියුම් කවරය මට දී සුදු අයියා නැගිට එහාට වුණි.ගැහෙන ඇගිලි තුඩු වලට වාරුවගෙන මම එය දිග හැරීමි.

මගෙ සුරංගනාවී.......!

ආමන්ත්‍රණය දකිද්දීම හිත පත්තු විය..ඉතින් ඒ දෙනුවන්ගෙන්ය.ඒ අකීකරු අකුරු අතර හිත සමාධි ගත කරගන්නට මම හිතට අණ කලෙමි.

මගෙ සුරංගනාවී...

ආදරේ නේද මට...? ඒත් .. ඒත් ඒ ආදරේ බිංඳුවක්වත් නොවිඳම මට යන්න වෙනවා....දුකයි... මහ හුගක් දුකයි රත්තරං ..කියන්න දෙවලුත් මහ හුඟයි ඒත් මට තියෙන්නෙ හරිම පුංචි වෙලාවක්...හා පැටියෙක් වගේ අහිංසක ඔය ඇස් දැක්ක දවසෙ ඉදන් මම ඔය හිතට ආදරේ කරපු තරම් මේ පුංචි වෙලවෙදි වචන වලට අමුනල මේ කොලේ ලියන්න මට පුලුවන් කමක් නෑ.. ඒත් දන්නවද... මම ආදරෙයි ..ලියල කියල පහදන්න බැරි තරමට මම ආදරෙයි මගෙ සුරංඟනාවී...

මතක් කරන්න අපි හම්බුණ මුල්ම දවස... අන්න එදා... ඒ මොහොතේ තමයි මම ඔය හිනාව මගේ හිතේ සදහටම පරිස්සම් කරල හංගගත්තෙ.ඒ වෙනකොටත් මම කෙල්ලො ඕන තරම් දැකලා තිබුනා ආශ්‍රය කරලා තිබුනා.ඒත් ඒ වෙනකං කිසිම කෙල්ලෙක් ගැන ඇති නොවුන මොකක්දෝ පූජනීය මිහිරි හැඟීමක් මට ඔය ලස්සන පුංචි මූණ දකිද්දී ඇති උනා. මම විශ්වාස කරනව ඒක තමා ආදරේ... කවමදාවත් මම නොදැන හිටි ආදරේ ඒ තමා..ඒත් ඒත්.. දැකපු පළවෙනි දවසෙම ඒ සුරංඟනාවී වෙන කාටදෝ අයිති කියල දැනගත්තම මගේ පපුවට මොකක්දෝ උනා...මුලු රෑම බීලා පිස්සු නටලා මම ඔයාව අමතක කරන්න උත්සහ කලා.ඔයා දන්නවද සුරංඟනාවී ඇගේ හැප්පිලා අපි හම්බෙච්ච දවසෙ ඒ රෑ ඔයා වගේම මමත් ඔයා ගැන හීන මැව්වා..

මම මට ඕන දේ හොදින් හරි නරකින් හරි ලබාගත්ත මිනිහෙක්...ඔව් ඔයා ඇහුව දැක්ක වගේම මම නරක මිනිහෙක් කුපාඩියෙක් රස්තියාදුකාරයෙක්.එත් ඔය ඇස් දෙක අස්සෙ අලුත් මිනිහෙක් වෙන්න.. අලුත් ලෝකයක් හදා ගන්න මට ඕන උනා.. ඒකට මට ඉඩක් නැති බව දැන දැනම මම ඒ හීනෙ ජීවත් වෙන්න ආස කලා.හම්බවෙනකොටම මට අහිමි වෙලා තිබුන ඔයාව ඈතින් ඉදන් දැකල සැනසිලා කතා කරලවත් හිත හදා ගන්න අන්තිමට මම තීරණය කලා.ඒකයි මම පංති මාරු කරල ඔයලගෙ පංතියට ආවෙ.අනුහස්ගෙන් ඔයාව උදුර ගන්න මට ඕන තරම් විදි තිබුනා වෙන මොනවා බලෙන් ලබාගත්තත් ඔය ආදරේ බලෙන් ලබාගන්න මට ඕන උනෙ නෑ. මම ඔයාට ආදරේයි කියලා මගෙ යාලුවෙකුගේ මාර්ගෙන්වත් ඔයාට දැන ගන්න මම ඉඩ තිබ්බෙ නෑ.

දකින දකින වෙලාවට බැන්නේ රැව්වේ එරෙව්වේ ආදරේ නැතුව නෙවෙයි මගෙ සුරංඟනාවී....කොයි වෙලේ හරි හිතේ උතුර උතුර නලියන ආදරේ එළියට පනීවි කියල මම බය උනා.මතකද දවසක් මම කිව්වා මේ ආත්මෙ ලැබෙන්නෙ නැති දේවලින් ලබන ආත්මෙ වැඩක් නෑ කියලා..දුකට තරහට එහෙම කිව්වා මිසක් ඒ ඇත්ත නෙවෙයි රත්තරං... තව ආත්ම හතකටවත් අනුහස් අයියා ඔයාව එයාගේ කර ගන්න පෙරුම් පුරනවා ඇති.මම දන්නවා ආදරේදි එයා මට වැඩිය ඉස්සරහින් ඉන්නවා මම එයා තරම් හොද මිනිහෙක් නෙවෙයි.ඒත් .. ඒත් .. මම ඔයාට පොරොන්දු වෙනවා එයාව පරාද කරන්න බැරි උනත් මම එයාට දෙවෙනි වෙන්නෙ නෑ.. අනේ උපදින එක ආත්මෙක හරි මගේ වෙනවද....මම ආදරෙයි මහ ගොඩක්...

දෛවයේ ලියල තිබ්බ හමුවීමක් වගේ හරිම අහම්බෙන් එදා MC එක ඇතුලෙදි අපි හමුවෙච්ච දවස තමා මගේ ජීවිතේ සොඳුරුම දවස..ඒ හැගීම් මේ හදිස්සියේ කොහොම වචන කරන්නද රත්තරං.. මහ හයියෙන් ගොරවද්දි තිගැස්සුන මුව පැටියෙක් වගේ මේ පපුවෙ මූණ හංගගනිද්දි දන්නවද මට ඇඬුනා.කෙල්ලො විසි තිස් ගාණක් මෙලෝ සිහියක් නැතුව තුරුල් කර ගත්ත මෙ පපුව එච්චර සද්දෙට ගැහුනෙ ඇයි කියල මම අදටත් දන්නෙ නෑ.කිසිම නරක හැගීමක් ඒ විනාඩි ගානෙ එක තප්පරේකදිවත් මගේ හිතට දැනුනේ නෑ.මගේ අම්මා ළඟදි මට දැනෙන ආදරය ගෞරවය බය ඔයා ළඟදිත් මට එහෙමම දැනුනා.අම්මට පස්සේ මම මේ ලෝකේ ඇත්තටම ආදරේ කරන එකම ගෑණි ඔයා.අනේ ඒත් ඔයාව ලබා ගන්න තරම් මම පින් කරලා නෑ රත්තරං...

ඉඩක් ලැබෙන හැම වෙලේම ඔය ඇස් මගේ ඇස් අල්ලගෙන මොනවදෝ කියන්න හදන බව මට නොතේරුනා නෙවෙයි ඒත් උත්තරා ඇවිත් හැම දෙයක්ම කියනකන් මගෙ සුරංඟනාවී මට මේ තරම්ම ආදරේ කියලා මම දැන ගෙන හිටියේ නෑ..සතුටු වෙන්නද දුක් වෙන්නද අඬන්නද හිනාවෙන්නද කියල තේරුමක් නැතුව මම පිස්සු නැටුවා..අඩුම තරමේ මම තාරාටවත් කිව්වෙ නෑ මමත් මැරීගෙන ඔයාට ආදරේ කරනවා කියලා.. මම පොරොන්දු උනා තාරාට එයා එක්ක එකතු වෙලා ඔයාගෙ හිතින් මාව අයින් කරන්න උදව් කරනවා කියලා...අපි දවස් ගානක් මුණ ගැහුනා කතා කලා ඔයා ඉස්සරහට ඇවිත් රඟපාන හැටි පුරුදු උනා...උත්තරා පුදුම කෙල්ලෙක්.. තමන්ගෙ යාලුවාගේ සතුට වෙනුවෙන් එයා නොකරපු දෙයක් නෑ.ඒ ටික දවසට අපි ගොඩාක් ළං උනා.වචන දහයක් කතා කලොත් ඒකි ඒ වචන දහයෙන් අටක්ම කත කලේ ඔයා ගැන.මට ඒක මහා මානසික වදයක් උනා.හරි සිහියෙන් ඉදගෙන ඒ දෙවල් අහන්න පුලුවන් කමක් මට තිබුනේ නෑ...මම කලේ සිහියක් පතක් නැති වෙනකං බොන එක.. එහෙම බීපු එක දවසක සිද්ධ වෙන්න ඕන නරකම දෙත් මගේ අතින් තාරාට සිද්ධ උනා...ඔව් රත්තරං ඔයාගේ යාලුව මගේ අතින් විනශ උනා.. ඒත් ඒකි එක කඳුළු බිංඳුවක් මගේ ඉස්සරහ පෙන්නුවේ නෑ.අපි බඳිමු කියලා මම උත්තරාට කිව්වා.එයා හිනා උනා.. එයාට මොනවා උනත් එයා එයාගේ යාලුවට පිටුපාන්නේ නැති බව කිව්වා. මේ කිසිම දෙයක් උනෙ නැති ගානට ගහක් ගලක් වගේ ඊට පහුවදා මා එක්ක ඔයා ඉස්සරහට එන්න තරම් ඒකි හිත හයිය කරගත්තා..

තව මම මොනවද කියන්නෙ රත්තරං .. අපි හිතපු පතපු කිසිම දෙයක් ඒ විදියට සිද්ද උනෙ නෑ.මේ ටික ලියන්නෙ නවලෝකෙ Intensive Care එකේ සිහියක් නැතුව ඔයාව උඩුබැලි අතට දාලා තියෙනවා බලලා ඇවිල්ලා.අනේ මට මේ තරම් ආදරේ කලේ ඇයි රත්තරං....ආසාවට එකම පාරක්වත් ඔය කටින් ඒ ආදරේ අහගන්නෙ නැතුවම මම යන්න යනවා...ඒත් මට ඉන්න බෑ මේ ගමන මම යන්නම ඕනේ.වෙච්ච කිසිම දෙයක් ආපහු හරි ගස්සන්න බෑ තමයි.ඒත් මං නිසා අහිමි කරගත්ත ඔය ජිවිතේ හිස්තැන මම පුරවනවා.මගේ ඇස් දිහා බලන හැම පාරකම හිතුවා නේද මේ ඇස් කෙල්ලෙක්ට තිබුනනම් කොහොම ලස්සන වේවිද කියලා ..මතකද අපි අන්තිමට හමුවුන දවසෙ ඒක මටත් කිව්වා...ඇත්ත තමයි මේ නිල් ඇස් කෙල්ලෙකුට කොහොම ලස්සනට තියේවිද... ඒත් ඒ ලස්සන බලන්න මට අයිතියක්වත් වාසනාවක්වත් නෑ. මම යන්නම යනවා සුරංඟනාවී... ඒත් මට දුක නෑ... ඒ ඇයි දන්නවද අදින් පස්සේ ඔයා මේ ලෝකේ බලන්නෙ මගේ ඇස් වලින්...අනේ ඒකම ඇති මට සැනසෙන්න ඔව් රත්තරං ඒකම ඇති මට....මම කරපු හැම පවකටම වන්දිය මම මේ ආත්මෙම ගෙවලා යනවා.එතකොට එන එක ආත්මෙක හරි ඔයා මගේම වේවි.

තව කියන්න කොච්චරක්නම් දෙවල් තිබුනත් මට වෙලාව නෑ රත්තරං..අන්තිමට එකම එක දෙයක් කියන්නම් මම කරපු කිසිම දේකට උත්තරා පලි නෑ.එයාට කවදාවත් දොස් කියන්න එපා. මං වෙනුවෙන් එයාව බලාගන්න.එයාට කරපු අසාධාරණේට මට එයාට දීල යන්න දෙයක් නෑ.ඉතින් මම යන්නද... අනිත් හැමදේම අමතක කරල ඔයාගේ මතකය විතරක් මම අරන් යනවා...අමතක කරන්න එපා ඒ මතක තුරුලු කරන් සංසාරේ කොහේ හරි මම බලන් ඉන්නවා .....කවදම හරි එනවා නේද ඔයා....?

එක දවසක්වත් ඔයාගේ වෙන්න බැරිවුන, සංසාරේ හැම දවසක්ම ඔයා එනකං බලන් ඉන්න මං ,

දෙනුවන්.

හඬමින් ඉකිගසමින් වැලපෙමින් පපුව හිර කරමින් මියෙන්නට තරම් වේදනාවක් දැනෙද්දීත් මම එක හුස්මට ලිපිය කියවා හමාර කළෙමි.ආයේ අලුතින් හඬන්නට මේ ඇස් වල කඳුළු නැත.කඳුළු වලින්ම හේදුන ලිපිය සුරතට ගුළි කරගෙන මා එහෙමම සොහොන් කොත මත හිස හොවා ගතිමි.මැරි මැරී ඉපදෙන්නට අපට ඉඩ හසර සාදා ඉතින් ඔහු යන්නම ගොසින්ය.මට ලෝකය දකින්නට ඒ ඇස් දී ඔහු යන්නට ගොසින්ය.මම ඉස්සී සොහොන් කොතේ වූ දෙනුවන්ගේ චායාරූපය දෙස බැලීමි.පන පිටින් ඉන්නාක් මෙන් ඒ රූපය ජීවමාන ගතියක් ඇත.කතා කරන හිනැහෙන ඒ නිල් ඇස් දැන් මා ළඟය.මෙ සා විසල් ප්‍රේමයක් ඒ හිතේ මා කෙරේ තිබුන බව අනේ මා දැන සිටියානම් සමහර විට මේ හැම දේම මීට වඩා වෙනස් වෙන්නට තිබුනා නොවේද...එක පාරක් ඒ මුවින් මට ආදරේදැයි අසන්න එ දවස මා පෙරුම් පිරූ තරම් ..මට තාරා සිහිවේ.. මා වෙනුවෙන් ඈ ඇගේ ජීවිතේ සියලු වටිනාකම් කැප කර ඇත.ඈ කොහේ කොහොම සිටිනවාදැයි කියාවත් මා දන්නේ නැත.හිසත් පපුවත් එකම විදියට හිර වෙන සෙයක් මට දැනේ.මා එහෙමම දෙනුවන්ගේ සොහොන මත වැතිර ගතිමි.

" නැගිටින්න සුදු නංඟී ... කොච්චර ඇඬුවත් ඔච්චර තමා අඬලා දොඩලා ඔයත් ලෙඩෙක් උනොත් මේ හැමෝම කරපු කැපකිරීම් වලින් වැඩක් නැතුව යනවා..මේ දෙවල් ඔයාට කියන මෙච්චර කාලයක් ගියෙත් ඔයාගේ මානසික තත්වය සෞඛය තත්වය ගැන හිතලයි.. මේ දිවල් තේරුම් ගන්න ශක්තිය දැන් ඔයාට තියෙන්න ඕනෙ මගෙ නංගී..."

මා තුරුලු කරගෙන හිස අත ගාමින් අනුහස් අයියා නැවතිල්ලේ දොඩයි.ඒ කිසිම දෙයක් කණට ගන්නට මට හරියට සිහියක් තිබුනාදැයි මා දන්නේ නැත.

" ඔයා වෙනුවෙන් මැරෙන්න තරම් ආදරයක් දෙනුවන්ගෙ හිතේ තිබුනා කියලා මම දැන ගෙන හිටියනම් සත්තයි මම ඔයාලව එකතු කරනවා මගෙ නංගී...මේ දෙවල් මෙහෙම උන එක ගැන ඔයාට වැඩිය මම විඳවනව රත්තරං... ඔයාට වැඩිය ගින්දරක් මේ පපුවේ ඇවිලෙනවා...මේ ලියුම කවදා හරි ඔයාට කියවන්න දෙන්න කියලා මගේ අතට දීලා තාරටත් යන්නම් කියලා නවලෝකෙ ඉස්සරහින් දෙනුවන් වාහනේකට පැන්නෙ තාරයි මමයි බලන් ඉදිද්දි සුදූ...අනේ එකා ඒ ගියේ මෙහෙම වැඩකට කියලා මට යන්තම්වත් තේරුනේ නෑ... ඔයාට බද්ධ කරන්න ඇස් දෙකක් හොයනවා කියලා එයා දැනගෙන හිටියා..එයාගේ ඇස් ඔයාට දෙන්න කියලා එය හොස්පිට්ල් එකට පවා ලියුම් දීලා.... පැය ගානක් ඇතුලතදි වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි.. දෙනුවන්ගේ අවසන් කැමැත්ත විදියට එයාගේ ඇස් ඔයාට බද්ධ කලා.. එතකොට ඔයා හිටපු තත්වය උඩ මේ කිසිම දෙයක් ඔයාට කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ .. මොළයට වෙච්ච හානි නිසා අවුරුදු ගානක් යනකන් සියුම් කම්පනයක්වත් දැනෙන්න දෙන්න එපා කියලා ඩොක්ටර් අපිට අවවාද කරලා තිබුනේ... ඒත් අපි බය උනා බැන්ඩේජ් ගැලෙව්වට පස්සේ ඔයා මේ ඇස් අදුරගනී කියලා.. ඔයා ළඟට එන හැමෝවම අපි කලින්ම දැනුවත් කරලා තිබ්බා..ඔයාට සිහිය එද්දි තාරා යන්න ගියේ මොනවාට හිත හයිය කර ගත්තත් ඔයා ඉස්සරහ ඒ රඟපෑම කරන්න එයාට හයිය තිබුනේ නෑ..මං හිතන්නේ මරණින් පස්සේ තාරා දෙනුවන්ට ආදරේ කරන්න ගත්තා.. ඇස් පනාපිට දෙනුවන් වාහනේකට යට වෙලා ඉන්නවා දැකලත් ගහක් ගලක් වගේ හිටපු ගෑණි.. දෙනුවන්ව මෙතන පස් වලට යට කරනකන් එක කඳුළක් හෙලපු නැති ගෑණි..අන්තිමට මේ සොහොන් කොත් දෙදරන්න ඇඩුවා...පොළවෙ පස් කකා මෙතන වැටිලා හිටියා... අපි කාටවත් එයාව නවත්තන්න පුලුවන් උනේ නෑ...."

මම තුශ්නිම්භූතව අසා සිටියෙමි.සුදු අයියාගේ ඇසින් වැටුණ කඳුලක් මගේ කම්මුලක් දිගේ ගලා ගියේය.අහන්න ...මට මේ තරම් ලතැවුලක් දැනේනම් මේ සියල්ල ඇස් පනා පිට වින්ද ඔහුට මොන තරම් දුකක් වේදනාවක් ඇද්දැයි ඒ කඳුළම සාක්ශිය. හිටි හැටියේ හිතට ගතට මහා ශක්තියක් ආවා සේ මම දනි පනි ගා නැගිට ගතිමි.

" සුදු අයියා... තාරා කොහොද.... අපි යමු අනේ... මේ දැන් යමු...."

" එයා ඉන්නවා සුදු නංගී...ඒත් දැන් රෑ වෙලා එතනට යන්න පුලුවන්ද දන්නෙ නෑ...අපි කෝකටත් ගිහින් බලමු... එයා දන්නවා අපි එනවා කියලා..."

සුදු අයියා එහෙමම දණ ඔබා දෙනුවන්ගේ සොහොනට වැඳ නැගිට්ටේය.ඒ දැක මගේ හිතම කඩා වැටුණි.අප සියල්ලට දුක දී මේ හිතුවක්කාරයා නික්ම ගිය හැටි..මමද එහෙමම ගොස් හිස හොවා වැඳ වැටුණෙමි.දයාබර දෙනුවන් ඔබ මට දී ගිය ආලෝකයට වන්දි ගෙවීමට මේ සංසාරයම මට මදිය...මා ඔය ඇස් දෙකට පෙම් බැන්ද පවට විඳවූ අන් සියලු දෙනා වෙනුවෙන්ම කවදා හෝ වන්දි ගෙවිය යුතුය.ආයේ ආයේ අලුත් වන කඳුළු සොහොන් කොත පුරා විසිරුණි.මා සිහිසුන්ව නොවැටී සිටින්නට හිතට මුලු වෙරම ගතිමි.

" අපි යමු සුදු නංගී..."

අනුහස් අයියා මා නැගිටවන තුරුම මම සොහොන් කොත පාමුල හැඩීමි.හීන් වැහි පොදක් ඇද වැටෙද්දී අප සුසාන භූමියෙන් නික්මුණි.යන මග දිගටම මා කලේ හඬ වැටෙන එකය. වරින් වර මහිස අත ගා සුදු අයියා මොන මොනවාදෝ කීවේය.අඳුර වැටී තිබුණ නිසා මේ කොහිදැයි වටහා ගන්නට මම අපොහසත් වීමි.

" මේ කොහෙද සුදු අයියා... මම හිතුවේ තාරා බණ්ඩාරවෙල කියලා..."

" අපි දැන් ඉන්නේ හොරණ පහු කරලා සුදූ...දැන් ළඟයි.."

දන්න කියන කිසිවෙකුත් නැති මේ ප්‍රදේශයට ඈ ආවේ කෙසේදැයි මා කල්පනා කලෙමි. ඈ විවාහවී මෙහේ එන්නට ඇතැයි මා සිතා ගතිමි. තාරාට කියන්නට ඇති දෑ අහන්නට ඇති දෑ මම ආයෙමත් මතක් කර ගතිමි.ඒ පය පාමුළ දණින් වැටී සමාව ගන්නට මම සිතා ගත්තෙමි.මා වෙනුවෙන් ඈ දරාගත් හැම දේටම එසේ කලාට පව් නැත.

ප්‍රධාන පාරෙන් අතුරු පාරකට රිය හරවද්දී ගසා තිබූ නාම පුවරුව දෙස මා නිකමට බැලීමි.

සමාධි සුව මෙහෙණි අසපුවට

ඒ නම කොහේදී හෝ මීට පෙර දැක හුරු බවක් මට සිහිවිය.මා මතක් කලෙමි.සුදු අයියා පහුගිය වසර නවය පුරාවටම මේ නමට හැම මසකම මුදල් ආධාර කල බව මට සිහිපත් විය.දෙවියනේ මෙහෙ ඉන්නේ තාරාවද්ද... ඇගේ නමද සමධි උත්තරාය.හීයක වේගෙන් හදවත පුරා දුක දිව යන්නට විය.මා දුකටම සට සට ගා වෙව්ව්ලන්නට වීමි.

" මේතනින් එහාට වාහනේ යන්න බෑ ... බැහැලා පයින් යමු සුදු නංගී..."

ඉතින් මා සියල්ල තේරුම් ගතිමි. එහෙත් දෑසින් දකින්න තුරු එය පිලිගන්නට සිත ඉඩ දුන්නේම නැත.මම සුදු අයියාගේ අතක් තද කර අල්ලා ගතිමි. සුදු අයියා ඉස්සර විය.වචනයේ පරිසමාප්ත අයුරින්ම පරිසරය නිහඬ නිසළ විය.ගසකින් කොලයක් වැටෙන හඬ පවා පැහැදිළිව ඇසෙන තරමට සංසුන් පරීසරයේ මම මගේ ඉකිය පාලනය කර ගන්නට වෙහෙසෙමින් පඩි නැගීමි.ගල් පඩි සිය ගනනක් නැග අවසනයේ මා ඈ දුටිමි.මුඬු කල හිසත් කසාවතත් ඈට වයසට වැඩි වියපත් පෙනුමක් පෙන්නුවද මා ඇය හැඳුනා ගතිමි.සියල්ල අත්වින්ද ඒ මුහුණ පුදුමාකාර ශාන්තය.ඒ ඇස් වල පසුතැවීමක් නැත.විනාඩියක් දෙකක් ගල් ගැසී ඈ දෙසම බලා උන් මා තාරා යි මහා හඬින් කෑ ගසමින් දිව යන්නට වීමි. දිව ගොස් ඈ වැළද ගන්නට මොහොතක් තිබියදී සුදු අයියා මා අල්ලා ගත්තේය.

" අහන සුදු නංගී... මේක පන්සලක්... අඬන්න කෑ ගහන්න තියාගන්න එපා....අනික මේ ඉන්නේ ඉස්සර ඔයාගේ යාලුවා තාරා නෙවෙයි... ප්ලීස් කලබල කරන්න එපා පැටියෝ..."

මැරීගෙන මා හිතින් පෙම් කල දෙනුවන් මට ඒ ඇස් දන් දී ආදරේ නොකියාම යන්නට ගොස්ය. එක බඩවැල කඩන් ආ සහෝදරියක සේ මා ළඟ උන් මගේ අතිජාත මිතුරිය දසසිල් මාතාවක් වීය.. මා ඒ සියල්ලටම වගකිවයුත්තාය.මේ සියල්ල මෙහෙම වද්දීත් සුදු අයියා මට නාඩන්න කියයි... කලබල නොකරන්න කියයි... අර ඉස්සර මෙන්ම මුරණ්ඩු වෙන්නට හදන හිත මම ආයාසයෙන් සංසුන් කරගතිමි.ඒ ඇසිල්ලේ තාරා අප සමීපයට විත් නතර විය.

" අවසර මෑණියනි.."

අනුහස් අයියා අඩක් දණ නමා ඈට වැන්දේය. මම හිත පිත් නැති එකියක සේ බලා සිටියෙමි.

" කොහොමද කවිති නෝනා.. මේ එන ගමන්මද..."

හිත කෑළි කෑළි වලට කැඩී සී සී කඩ විසිරෙද්දී මම සවන් අදහා ගන්නට බැරි ලෙසින් බලා සිටියෙමි. මේසා දුරස් බවක් අප අතර තියෙන්නට පුලුවන්ද... අර ඉස්සර මෙන් හති වැටෙන තුරු සිනාසී කතා කරන්නට අපට බැරිද...වචනයක්වත් කතා නොකර මම ඒ පින් පාට සුදු මූණ දෙසම බලා සිටියෙමි.

ආදරය යනු කැපකිරීමනම් මහා ලොකුආදරවන්තියක්යැයි සිතූ මා කල කිසිවක්ම නැත.දෙනුවන්, තාරා පමණක් නොව අනුහස් අයියාද ආදරය වෙනුවෙන් මහමෙරක් දුක් විඳ කප්පරක් කැපකිරීම් කර ඇත.ඒ සියල්ලන්ට පිංසිදු වන්නට අද මා ජීවත් වෙයි.මගේ එක හිතුවක්කාර කමක ජීවිත ගණනාවක ඉරණම ලියා තබා ඇත.දෛවය වෙනස් කරන්නට හැදුවාට කවදාවත් එය නොවෙන බව ඉතින් මා තේරුම් ගතිමි.

" කවිති නෝනා.. එන්න අපි ටිකක් වාඩි වෙමු ඔයාට අසනීප පාටයි.."

නැවතත් ඒ සංසුන් හඬ මගේ හිත පාරවමින් ඇසෙන්නට විය.තව දුරටත් ඉවසන්නට මට නොහැක.

" අනේ මට බෑ තාරා.... මට බෑ.... ඇයි මට මෙච්චර වෙනස්කමක්... එකම එක පාරක් .. එකම එක පාරක් මට ඉස්සර වගේම කවී කියලා කතා කරන්න.... එකම පාරක් මට ඔයාව බදා ගන්න ඉඩ දෙන්න....ඉස්සර වගේ මට බනින්න... මම කරපු වැරදි වලට මෝඩ කම් වලට කෑ ගහන්න තාරා...මං මැරෙයි දෙයියනේ ...මං මැරෙයි... "

මම මහා හඩින් කෑ ගැසීමි.පාලු දෙනිපෙත පුරා ගල් කඳු වල හැපි හැපී දෝංකාර දෙන මගේ ඉකිබිඳුම ආයේ ආයේ මටම ඇසෙන්නට විය.

" එන්න කවී..."

තෙත් වූ දෑසින් තාරා මදෙසට දෝතම පෑවේය.මා හඩමින් දුව ගොස් ඇයට තුරුලු වීමි.ඇගේත් මගේත් කඳුළු එකට එකතු වී ඒ කහ පාට සිවුරට වැටී සිදී යන්නට ඇත.අවසානයේ මා ඒ දෙපා මුළ වැඳ වැටුණෙමි.

" මට සමාවෙන්න උත්තරා මෑණියනි "

මා සිතින් දහස්වරක් මිමිණීමි.



           සමාප්තයි.

Jun 13, 2012

දෙනුවන් අනුහස... එකොළොස්වෙනි සජ්ජායනාව





 
අසා කියා දැන ගන්නට බොහෝ දේ හිතේ වුණිද ඒවා කාගෙන් අසන්නටදැයි කියා මට සිතා ගනු නොහේ. තාරා ගැන සුදු අයියාගෙන් හෝ අම්මගෙන් අසන්නට සිතුනද එයටද ඉඩක් ලැබුනේ නැත.ඒ දෑස් හැරි වෙලේ ඉදන් පරීක්ෂණ කීපයකට මා බදුන් වූ නිසාය.ඔලුවේ තුවාල වලට බෙහෙත් ගැල්වීම් බැන්ඩේජ් මාරු කිරීම් දෙනෙතට ව්‍යායාම ආදියෙන් හවස් වන තුරුම මා හෙම්බත් වීමි.සුදු අයියා ඒ හැම දේටම සහය වෙමින් නිරන්තර මා අසල විය.මුහුණ පුරා වැවුණු රැවුලත් මලානික වුණ ඒ ඇස් දෙකත් දකිද්දී මට මහා දුකක් දැනේ.මේ ටිකට ඔහු විදවූ විඳවිල්ල ඒ ඇස් වල අපූරුවට සටහන් වේ.

" අම්මත් එක්ක ගෙදර ගිහි එන්න සුදු අයියා දැන් මට සනීපනේ ඔයාලා ඔහොම ඉන්නවා දකිද්දී මට දුකයි... ඔය එළු රැවුල ඔයාට කැතම කැතයි ඕක කපලා නාලා ලස්සන වෙලා එන්න...."

මා කියූ දෙයට ඒ මුව මුරා හසරැළ් නැගුණි.

" දැන් කියවනවා චන්ඩියා වගේ... ඒත්.. ඒත් පහුගිය දවස් වල මම විඳපු දුක ඔයාට තෙරෙන්නෙ නෑ මගෙ නංගී..."

" අනේ දැන් දුක් වෙන්න එපා අයියා.... දැන් හැමදේම හරිනේ.. ම්ම්ම්ම්....ආයේ මම අයියට කවදාවත් දුකක් දෙන්නෙ නෑ..."

" හරි ... මම අම්මව ගෙදරට දාලා එන්නම් පව් නැන්දා ඔය හිතේ හයියට මෙහෙමවත් ඉන්නේ... මම බය උනා එයත් ලෙඩ ඇදට වැටේවි කියලා..."

මගේ අසරණ අම්මා ගැන මට මහා දුකක් දැනුනි. ඇගෙන් සමාව ඉල්ලන්නට බැරි තරම වරදක් මා කර ගත් හැටි.මා නළල සිප සුදු අයියා යන්නට හැරුණි. මා ඒ අත අල්ලා නවතා ගතිමි.

" සුදු අයියා.... කෝ තාර.... ඇයි එයා මාව බලන්න නාවේ..."

" එයා ආවා සුදු නංගී... ඔයාව හොස්පිටල් ඇඩ්මිට් කරපු වෙලේ ඉදන් ඊයේ රෑ වෙනකනුත් උත්තරා හරි හරියට අම්මයි මමයි එක්ක ඔයා වෙනුවෙන් මහන්සි වුණා..අද උදේ ඔයාගේ බැන්ඩෙජ් කපනවා කියලත් එයා දන්නවා... ඒත් එයාට හදිස්සියෙම බණ්ඩාරවෙල යන්න වුණා.. එයාගේ ආච්චිට සනීප නැතුව...හෙට නැත්තං අනිද්දා එයා ඒවි පැටියෝ..."

සුදු අයියා එය කීවේ මගේ හිත හදන්නට බොරුවක් නොවන බව මම ඒ ඇස් බලා වහා හදුනා ගතිමි. තාරා ගැන හිතේ තිබූ හැම කහටක්ම එයින් සේදී ගියේය. මට මහා සැනසුමක් දැනුණි.

" එයා මා එක්ක තරහා නෑ නේද සුදු අයියා..."

නැත කියන්නට සුදු අයියා හිස දෙපසට වැනීය.

" පිස්සු කෙල්ල දැන් ඔය විකාර මුකුත් හිතන්න එපා... මම නර්ස් කෙනෙක්ට කතා කරන්නම් .. පරිස්සමින් ඉන්න... මම ඉක්මනට එනවා..."

" සුදු අයියා....

මා නැවතත් ඒ අත අල්ලා ගතිමි.

" ඒ පාර මොකද..... ම්ම්ම්ම්ම් "

අසන්නට ගිය දේ මුවේ සිර කර මා මොහොතක් නිහඬ වීමි.අනුහස් අයියා මා දෙනෙත් දෙසම බලා සිටින්නට විය.ඉතින් මා අසන්නට යන දේ ඔහුට නොදැනෙන්නට විදියක් නැත.

" එයත් ආවා සුදු නංගී....තාරා එක්කම එයත් ආවා... එයා විතරක් නෙවෙයි එයාගේ යාලුවොත් ආවා ඔයාව බලන්න...එයාලනම් අදත් ඒවි... ඒත් මට ඔයා පොරොන්දු වෙන්න ඕනෙ සුදු නංගී... මේ කිසිම දෙයක් ආයේ ආයේ හාර අවුස්සලා හිතට දුකක් ගන්නේ නෑ කියලා වෙච්ච හැමදේම වෙලා ඉවරයි...ආයේ කවදාවත් මුලට යන්න හිතන්නෙපා පැටියෝ... කවුරු කා එක්ක කොහොම ආවා ගියත් ඔය හිත හයිය කරගන්න... මං වෙනුවෙන් නෙවෙයි අර අතන ඉදන් තාමත් හූල්ලන ඔයාගේ අම්මා වෙනුවෙන්වත් ඒක කරන්න..."

" මම පොරොන්දු වෙනවා අයියා ... පොරොන්දු වෙනවා... අපි මෙහෙන් ඉක්මනටම යමු... ආයේ කවදාවත් නො එන්නම ලංකාවෙන් යමු... අනේ මාව අරන් යන්න සුදු අයියා...මට ඔයයි අම්මයි විතරක් හිටියම ඇති... සත්තයි මගෙ අයියා ...මාව අරන් යන්න..."

ඉතින් ඒ මාගේ අවංකම අදහස විය. අනුහස් අයියාගේ ඇස් දිලිසුණි.ඔහු මා තුරුළු කරගෙන කීප වරක්ම මා නළල සිප ගති.

" මතකද මම දවසක් කිව්වා.. අවංකවම ඔය කටින් ඕක කියපු දවසට මම ඔයාව අරන් යනවා කියලා...අද ඒ දවස මගෙ නංගී... අපි ඉක්මනටම මෙහෙන් යනවා... ඔව් අපි ඉක්මනටම මෙහෙන් යනවා..."

අම්මා සමග සුදු අයියා පිටව ගියේ මට එසේ පොරොන්දු දෙමිනි.මහා බරක් හිතට දැනුනද මා සුසුමකින් ලය සැහැල්ලු කර ගතිමි.කවුරුවත් නැතුව තනිවුණ මේ ඇසිල්ලේ මට සිතන්නට බොහෝ දේ විය.මම ඇස් පියා ගතිමි.තාරා හා දෙනුවන් කොයි මොහොතේ හෝ මා ඉදිරිපිටට එන්නට පුලුවන. ඉතින් එයට මා සූදානම් විය යුතුය.කවදාවත් මට නොලැබෙන දෙනුවන් එකා තකට මගේ හොදම යෙහෙළිය හා සහෝදරිය හා සමාන තාරාට ලැබෙන එකට මා ලෝබ වීම හෝ ඉරිසියා කිරීම නොවටී.තාර හොද කෙල්ලකි. දෙනුවන්ගේ නරක ගති අතහැර ගන්නට ඈ පිහිට වෙනවා නිසැකය.ඉතින් මා ඔවුන්ගේ ලෝකය ඔවුන්ට තනා ගන්නට ඉඩදී අනුහස් අයියා හා ලියූ මගේ ජීවිතයත් ගෙන මා පිටව යමි.දයාබර දෙනුවන් ඔබට බැදි අසීමිත සෙනෙහස මම සදහටම හදවතේ නිදන් කරමි.

මා කෙලෙස සිතුවද එය කිරීම මේ හිතනා තරම් ලේසි නැති බව මා දනිමි. ඒ නිල් ඇස් වලින් මා දුටු සංසාරගත ප්‍රේමය කෙලෙස සගවා තබා ගන්නදැයි මා නොදනිමි.ඒ නිල් ඇස් සිහිව මා තිගැස්සී නෙත් හැරීමි.අද මා සතුවද ඒ හා සමාන නිල් ඇස් දෙකක් ඇත. ඒ ඇස් යට මම නොදන්නා මොකක්ම හෝ කතාවක් ඇද්දැයි මට සිතේ.මම වහා නැගිට නාන කාමරයේ කණ්නාඩිය ඉදිරිපිටට වීමි.ඒ ඇස් තරමට නොවූවද මේ ඇස් ද නිල් පාටය.ඒ ඇස් තරමට නොවූවද මේ ඇස් ද කතා කරන සෙයකි.යටි පතුල් වලින් පටන් ගෙන පපුව දක්වා එන මහා ගින්දරක් සමග හිතට මහා නොසන්සුන් කමක් දැනේ.දෙවියනේ මේ ඇස් දකිද්දී මට හිතෙන දේ කවමදාවත් ඇත්තක් නොවේවායි මා පැතීමි.

" මැඩම් ... මම උදව් කරන්නද...."

නාන කාමරයේ දොරට තට්ටු කර එසේ ඇසුවේ මා බලා ගන්න නර්ස් විය යුතුය.මා දොර හැර එලියට ආවේ ඇයට සුහදව සිනා සෙමිනි.

" දැන්නම් මැඩම්ට ගොඩාක් හොදයි වගේ නේද... මම තමයි මෙහෙට ආපු දවසේ ඉදන් මැඩම්ව බලා ගත්තේ..."

මට වඩා වසරක් හෝ දෙක පමණ වැඩිමල් ඇය හුරුබුහුටි කෙල්ලකි.ඇය මට මැඩම් කියද්දී මහා නුහුරක් මට දැනේ.

" ඔයාලට ගොඩක්ම ස්තූති මං වෙනුවෙන් මහන්සි උනාට හොදේ.."

" ඒක අපේ ඩියුටි එකනෙ මැඩම්..."

ඈ කීවේ සිනා සෙමිනි.

" ඒක නෙවෙයි මේ ඇස් නම් මැඩම්ට හරිම ලස්සනයි... ඇත්තමයි හරියටම මැඩම්ටම කියලා හැදුවා වගේ..."

" ඇත්තටම මේ ඇස් මට කොහෙන්ද ලැබුනෙ නර්ස්..."

ඇගේ කතාවෙන්ම මා මොනවා හෝ අහුලා ගන්නට සූදානම් වුනෙමි.

" එයත් මැඩම් වගේම ලස්සන ගෑණු ළමයෙක් .....මැඩම් Accident වෙලා ගෙනත් දවස් දෙකකට විතර පස්සේ ඔය ඇස් ලැබුනේ. හැමෝම කිව්වා මේ ඇස් මැඩම්ට ලස්සනට තියේවි කියලා.ඇයි මැඩම් දන්නේ නැද්ද අනුහස් සර් එක්ක තාරා මැඩම් අර මැඩම්ගෙ යාලුවා එයා පවා ගියා ඒ ගෑණු ළමයගේ පවුලේ අය හම්බෙලා ස්තූති කරන්න...."

සසළව තිබු සිතට ඇගේ කතාවෙන් මහා සැනසුමක් දැනුණි.අනුහස් අයියාට කියා මටද ඒ පවුලේ අය දකින්නට තදබල උවමනාවක් දැනෙන්නට විය.මේ සා විසල් පින් කමක් කල ඔවුන්ට වචනයක් කතා කිරීම මගේ යුතුකමකි. ඉඩක් ලැබුනොත් එය කරන්නට යෑමට මම සිතා ගතිමි.

" මැඩම් ඔහොමම ඇදට ගිහින් හාන්සි වෙන්න.... මට මේ බෙහෙත් ඔයාගේ ඇස් වලට දාන්න තියෙනවා..."

ඈ මා අල්ලාගෙන ගොස් ඇද වෙත ඇරලීය.eye drop එක දැමූ පසු හීන් දැවිල්ලක් ඇස් වලට දැනුනි.වැසූ දෝර හැරගෙන එක වරම කඩාපාත් වූ සේනාව හදුනාගන්නට බැරිව මා බොඳ වුණ ඇහිපිය වේගයෙන් ගැසීමි.රශ්මි , චමෝදි , නිශූ සේම ඉශාන් , චාමික , අනුශ්ක ඇතුලු දෙනුවන්ගේ මිතුරන් කැලම මා අබියස විය. මා මොහොතක් දෙකක් ගල් ගැසී බලා සිටියෙමි. ඔවුන්ද එලෙසම බලා සිටින්නට විය.මදෙස විශ්මයෙන් බලා සිටි ඔවුන්ගේ ඇස් වලට ඉනූ කඳුළලි මගෙන් වසන් කරගනිමින් ඔවුන් රැළම මා වට කොට ගති. මා මදක් ඉස්සී දොර දෙස බැලුවේ තාරාවත් දෙනුවන්වත් දැක ගන්නටය. නැත එහෙත් ඔවුන් නැත.

" කවී.... අනෙ අම්මෝ උඹ ලස්සන වෙලා බං... කොහොමද කොහොමද ඉතින්..."

" අඩේ... මේකිට තාම සැප..... උඹ දන්නෙ නෑ අපි උඹ නිසා කාපු කටු...."

" යකෝ... මටත් ඔය මොනා හරි ඇනගෙන මෙහාට එන්න හිතයි.... බලපල්ලකෝ ලස්සන නර්ස් නෝනලා ළඟට වෙලා සලකන හැටි..."

එක එකා නා එක එක විකාර කියවමින් පිස්සු නටයි එදා වගේම අදත් මුන්ගේ කටවල් වලට බ්‍රේක් නැත.හිනැහෙනවා හැරෙන්නට මට තවමත් මුකුත් කියා ගන්නට නොලැබුණි.

" මැඩම් යාලුවෝ ආවනේ... දැන් තනි නෑනේ ... මම යන්නම් එහෙනම්... "

හෙදිය පිටත් වුනේ හැමෝටම ලස්සන සිනාවකින් සංග්‍රහ කරමිනි.

ඈ ගිය සැනින් ඔවුන් මගේ ඇද වටා වාඩි විය.

" අනේ දැන් ඔයාට හොදයි නේද කවී... අම්මෝ ඔයා අපිව බය කල තරමක්... "

" ඇයි කවී ඔය තරම් මෝඩ වැඩක් කලේ ඔයා..."

නිශූ මගේ අත පිරිමදිමින් එසේ ඇසීය.

" මේ මේ... ඔය බයිලා වැඩක් නෑ බං දැන්... කවුරුවත් ඔය විකාර ආයෙත් මේකිගෙන් අහනන් එපා... ගිය දේ ගියා... එච්චරයි..."

අනුශ්ක හැමෝටම ඇහෙන්න ඇගිල්ල දික් කර එසේ කීය.මා නැවතත් ඉස්සි දොර දෙස බැලීමි.ඉශාන් එය දැක මට කිට්ටු විය.

" උඹ කාවද ඉස්සි ඉස්සි හොයන්නේ..."

මා මුකුත්ම නොකියා අසරණව සිනා සීමි.

" බැලුවට වැඩක් නෑ ... උන් එන්නේ නෑ..."

ඉශාන් එසේ කීවේ අමුතුම හඬකිනි. මම ප්‍රශ්නාර්ථයකින් වහා ඔවුන් දෙස බැලීමි.

" තාරා නම් බණ්ඩාරවෙල ගියා... "

රශ්මි එසේ කීවේ මට පමණක් ඇසෙන්නට මෙනි.

" අරූ ගැනනම් කියලා වැඩක් නෑ... ඌ අපිටත් කොලේ වැහුවා....අන්තිමට නොකියම යන්න ගියා..."

අනුශ්ක කීවේ මහා තරහකින් දැවෙමිනි.

" දෙනුවන් කොහෙ ගිහින්ද ඉශාන්..."

මා ළඟම හුන් ඔහුගෙන් මා විමසීමි.

" මම හිතන්නේ ඌත් තාරා එක්ක බණ්ඩාරවෙල ගිහිල්ලා..."

බිඳුනු හඬින් ඉශාන් කීවේ මගේ ඇස් මගහරිමිනි. මට දුක සිතේයැයි ඔහුට සිතෙන්නට ඇත.නැත ඉතින් මා මේ සියල්ල දරා ගමි.මා එය ගනන් නොගත් බව අගවනන්ට ඔහේ සිනා සීමි. ඊට පසු මා එකම සැරයක්වත් තාරා ගැනවත් දෙනුවන් ගැනවත් ඔවුන්ගෙන් ඇසුවේ නැත.ඔවුන් මට කිසිවක් කීවේද නැත. අනුහස් අයියා එනතුරුම මට තනි රකිමින් හිද ඔවුන් පිටව ගියේ ඒ සිටි පැය ගානේම මා සිනහවෙන් තබාය.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
තවත් දින කීපයක් රෝහලේ සිටි මා ඉන් පිටත් වූයේ ගතින් මෙන්න සිතින්ද වෙනස් වූ අයෙකු පරිදිය.හිසේ මැහුම් කපා බැන්ඩේජ් ගැලවූ පසු එකදු කෙස් ගසක්වත් නැති හිස මම දෝතින්ම පිරිමැද බැලීමි.තව මාස දෙක තුනකින් හිසේ අති කැළැල් වැසී යන්නට හිස කෙස් වැවෙනු ඇත.දින විස්සකට පසු මා නැවතත් ගෙදරට අඩිය තැබුවේ නැවත ඉපදුනු අයෙකු මෙන්ය.ඒ මා රෝහලේ උන් දින කීපයේම තාරා මා බලන්නට ආවේ නැත. අනුහස් ආවේද නැත. මුලදි මුලදි මග බලා සිටියද අවසන මා එය අත්හැර දැමීමි.කවුරු කෙසේ කීවද තාරාට මගේ මුහුණ බලන්නට නොහැකියාවක් ඇතැයි මා විශ්වාස කලෙමි.ඒ කවුරුන් නොදැන සිටියත් මා දෙනුවන්ට පෙම් කල තරම් ඈ දන්නා නිසාය.මා ඔහුට පෙම් කල බව දෙනුවන් පවා දැන් දන්නේය.එයට දෙනුවන් කොහොම ප්‍රතිචාරා දැක්වු වාදැයි මා දන්නේ නැත. ඔහු පුදුම වන්නට ඇත මට හිනැහෙන්නට ඇත.ඔහු මට බිඳක්වත් ආදරේ කලාදැයි නොදැනම මේ ආදරේට සමු දෙන්නට මට ඉතින් දැන් සිදුවේ. ඔහු හා බැඳුණු සියලු මතක හදවතේ භුමදාන කර මම නැගී සිට ගතිමි

ඉතින් ඊටත් පසු උදා වුන එක සොඳුරු උදෑසනක මා අනුහස් අයියාගේ නීත්‍යානුකූල බිරිඳ වීමි.මඟුල් ඇඳුම් , මංගල පෝරු , ජයමංගල ගී කිසිවක්ම නැතුව ලා රෝස පාට සාරියකින් හැඩව ලෙඩ කෙල්ලක ලෙස මා අනුහස් අයියාගේ අත ගතිමි.මට මා ගැන දුකක නොදැනුනිද අනුහස් අයියා ගැන මහා දුකක් දැනුනි.මා නිසා ඔහු ජීවිතේ මොන තරම් කැපකිරීම් කරනවාද... යහලුවන් පිරිවරා සොඳුරු මනමාලයෙකු වන්නට දැකි හීන මා නිසා ඔහුට අහිමි විය. එහෙත් ඒ ඇස් වල දුකක් නැත. හැමදාමත් මෙන් ඇත්තේ ආදරයම දයාවම පමණි.

ලියාපදිංචිය හමාරව රෙජිස්ටාර් වරයා නික්ම ගිය තැන සුදු අයියා මා දෑතම සිප ගත්තේය.

" කියන්න සුදු නංගී මේ දේ මෙහෙම වුන එක ගැන ඔයා දුකින්ද.....මෙහෙම නොකර Canada යන්න බැරි නිසා අද මේ දේ මෙහෙම කරන්න උනේ...අපි එහෙ ගියාම ඔයාට ගොඩක් සනීප උනාම ලස්සන වෙඩින් එකක් ගමු හොදේ..."

" නෑ සුදු අයියා .... මම දුක් වෙන්නේ ඔයා ගැන... මෙ කාලකන්නි කෙල්ල නිසා අයියට ගොඩක් දෙවල් නැති වෙන්නවා..මම... මම...."

සුදු අයියා තවත් මුකුත්ම කියන්නට නොදී මගේ මුව සුරතින් වැසීය.

" ඔයා මට මැණිකක් රත්තරං.... එදා ඉදන් අද වෙනකනුත් මම හුස්ම ගත්තේ ඔයා වෙනුවෙන්....එක තප්පරේකටවත් ඔයා මගේ නෙවෙයි කියලා මේ ජීවිතේදී මම හිතලා නෑ...අද ඒ මැණික සදහටම මගෙ උනා... ඉතින් ඊට වැඩිය මට මොනවද ඕනෙ මේ ජීවිතේට..."

මා වැටී ඒ සුදු දෙපා නැමදීමි. අදින් පසු මේ සෙවන යට සැනසෙන්නට ඉතින් මා ජීවත් වෙමි.

අම්මා පැමින මා නැගිටුවා අප දෙදෙනාවම බදාගෙන හඬන්නට විය.

" චී... නැන්දා... ඇයි මේ අඬන්නේ.... මේ හිනා වෙන්න ඕන වෙලාවක්නේ....."

අනුහස් අයියා අම්මගේ කඳුලු පිසිමින් පැවසීය.

" මේ සතුටු කඳුලු දරුවෝ...මගේ ආයුශත් අරන් සතුටින් ඉදහල්ලා..."

ඇය එසේ කීවේ අප්‍රමාණ දරු දුකින් හා සෙනෙහසින් බව අප දෙදෙනාම දනිමි.

අනුහස් අයියා අම්මා ඔසවා වටයක් කැරකවුනේ අම්මා සිනා සිසී කෑ ගසද්දීය.දුක්බර කාලයක් අවසන මෙසේ සිනා සංහිඳියාවක් දකින්නට ලැබීම ගැන අප සැමගේම හිත වල සතුටක් තියෙන්නට ඇත.

" මාව බිමින් තියන්න දරුවෝ.... මතක නැද්ද හවස තුනට අපි Air Port ඉන්න ඕනේ.... තව ගොඩක් වැඩ තියෙනවා කරන්න..."

අම්ම කියූ ඒ දේ ඇසීමත් සමඟ ආයෙත් මා කල්පනාවකට වැටීමි.තව පැය කීපයකින් මා මේ රට හැර සදහටම ඉඟිල යමි.අලුත් යුවල පිළිගනන්ට එහෙ මාමාත් නැන්දාත් මග බලා සිටී.හිතට දුකකුත් සතුටකුත් එක වරම දැනෙන්නට විය.සියල්ල සිදු වූයේත් හමාර වූයේත් යලි ඇරඹුනේත් මොන තරම් කෙටි කාලයකින්ද.අලුත් රටක අලුත් පරිසරයක හෙටින් පසු ඇරඹෙන නව දිවිය ඉඳුරාම සුන්දර බව මා දනිමි.එහෙත් නොදැනෙන නොහැගෙන ආගන්තුක බියක් තිගැස්මක් මා වටා විය.හැමදේටම මුහුණ දෙන්නට මා නැවත නැවත හිත හදා ගතිමි.

අනුහස් අයියා අසල ගැවසෙද්දී වෙන කවරදාවත් නොදැනුන මහා කෝල ගතියක් හිතට වද දෙන්නට විය.ඒ බැල්මේ වෙනසක් නොවූවද මම උවමනාවෙනම් ඒ ඇස් මඟ හැරීමි.මගේ වෙනස සුදු අයියාට දැනෙන්නට ඇත. ඔහු හොරැහින් හිනැහෙනවා මම දුටිමි.දැන් ඔහු ඉතින් මගේ සදාදර සැමියා බව මගේ හිත පිලිගන්නට සූදානම් වෙන සෙයකි.එය සිහිව මටද සිනා නැගේ.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ගුවන් යානයේ අම්මාටත් අනුහස් අයියාටත් මැදිව වාඩි වූ මා සුලු මොහොතක් හුස්මක්වත් නොගෙන බලා සිටියෙමි.සියලු සොඳුරු වූත් දුක්බර වූත් මතක සියල්ල මේ බිමේ අතැර ඉතින් මා තව මොහොතකින් යන්නට යමි.පපුව කඩාගෙන ඇස්වලට කඳුළු එන්නට හදයි එහෙත් මා දරා ගතිමි.දැන් මගේයයි කියන්නට කිසිවෙක් මේ බිම නැත. මගේ වූ සන්තකය මා දෙපසින් වේ. ඊට වඩා වටිනා දෙයක් මට තියෙන්නට විදියක් නැත.මා දෑස් පියා අම්මගේ අත තරයේ අල්ලා ගෙන අනුහස් අයියාගේ වතට තුරුළු වීමි.මොහොතකින් යානය ගුවන් ගත විය.ඉතින් සියල්ල සියලු දෙනාට සුභ වේවායි මා ඉත සිතින් පැතීමි.

~~ මතුසම්බන්ධයි~~

Jun 6, 2012

දෙනුවන් අනුහස ... දහවන සජ්ජායනාව


සමහරුන්ට දැන් මේ කතාවේ මුල අමතකත් වෙලා ද දන්නේ නෑ.ඒ නිසා අද හිතුවා කතාව පොඩ්ඩක් මතක් කරන්න.කතාව පටන් ගන්නේ කවිති හොස්පිටල් එකක ඉන්නවා එයාට සිහිය එනවා එයාට කිසි දෙයක් හරියට මතකයක් නෑ එයා සිහිය ආවම එයාගේ මතකය අලුත් කර ගන්න පහුගිය අතීතය මතක් කරනවා.... එයාට දෙනුවන්ව ඉස්සෙල්ලාම මුණ ගැහුණ තැන ඉදන් එයාට හොස්පිටල් එකක සිහි නැතුව ඉන්න තරම් දෙයක් වුණ සිද්ධියට වෙනකං හැම දෙයක්ම එයා තනියම ආවර්ජනය කරනවා.

ඉතින් දැන් අද ඉදන් යන්නේ මෙ කතාවේ වර්තමාන සිද්ධි. දැන් කවිතිට සිහිය ඇවිත් අපි බලමුකෝ ඊළඟට වෙන්නෙ මොකද කියල.







ඉතිං මා සිහි එළවා ගතිමි.දින හෝ සති ගණනාවකට පසු මා රෝහල් සයනයක් මත නැවත ජීවිතය ලබමින් සිටිමි.සිහි ලද මොහොතේ සිටම ඝණ අන්ධකාරයම පමණක් පෙනෙන දෑස් වලින් මා ගෙවුණු අතීතය සිතුවම් පටක් සේ නැරඹීමි.සියල්ල හමාර කරන්නට සිතා අමු අමුවේ දෑස් වලට කතුරු තුඩින් ඇනගත් හැටි සිහිව ඉහ මොල ඇඳුම් කන්නට විය.ටෙලිනාට්‍යක චිත්‍රපටියකවත් ලේ වැගිරීමක් බිහිසුණු දර්ශනයක් නොබලන තරමට අතිශය සංවේඳී වූ මා මෙවන් කුරිරු දඬුවමක් මටම දී ගන්නට තරම් කුරිරු වූයේ කෙසේදැයි මටම දැන් අදහා ගන්නට නොහැක.දෑසත් හිසත් වසා මුලුමනින්ම වෙලා ඇති වෙලුම් පටි වලට යටින් හිස මහා ගොඩක් රිදෙන්නට විය.මා හිස බදා මහා හඩින් කෑ ගැසීමි.


" අම්මා...... අනේ අම්මා......"


හැකි වෙර යොදා මා කෑගැසීමි.එ සැනින් හුරුපුරුදු දෑතකට මගේ දෑත සිරවිය.


" සුදූ........ මගෙ නංගී.....


ආවරණය කරපු දෑසට ඔහු නොපෙනුනත් ඒ එකම වදනින් ඔහු හඩන බව මට දැනුණි.


" සුදු අයියා.... මං කොහෙද මේ ඉන්නේ... ඇයි මට කිසි දෙයක් පේන්නෙ නැත්තේ ... ආයේ කවදාවත් මගේ ඇස් පේන්නෙ නැද්ද අයියා....මගේ අම්මා කෝ... අනේ අම්මට එන්න කියන්න...."


" මගෙ නංගී.... මගෙ වස්තූ...දඟලන්න එපා... කලබල කරන්න එපා... මේ අහන්න ඔයා මේ ඉන්නේ හොස්පිට්ල් එකක.ඔයාට ලොකු Operation දෙකක් කරලා ඉන්නේ... දවස් දොළහකට පස්සෙයි අද ඔයා මේ වචනයක් කතා කරන්නෙ..... "


යහනෙන් නැගිට ගන්නට දඟලන මා ඒ වතට තුරුල් කරගෙන සුදු අයියා මා සංසුන් කරන්නට වෙහෙසුණි.දවස් දොළහක්..... දෙවියනි... දවස් දොළහක් මා ජීවිතයත් මරණයත් අතර සටන් කරන්නට ඇත.ඒ දවස් ගණනාවට මටත් වඩා මට පෙම් කල වුන් මැරි මැරී ඉපදෙන්නට ඇත.සුදු අයියාගේ මේ ඉකිබිඳින හඬන තැවෙන හඬ එයට ඕනාවටත් වඩා සාක්ෂිය.


" අම්ම කෝ සුදු අයියා..... "


" මේ දවස් දොළහට අම්මවත් මමවත් ඔයා ළඟින් හෙලවුනේ නෑ... අද ඔයාගේ මැහුම් කපනව රත්තරං.... අම්මා ගියේ පන්සලට ගිහින් එන්න..."


දැන් මේ වන්නේ මොනවාදැයි මට හරියටම තේරුමක් නැත.සුදු අයියා මට Operation දෙකක් කලායැයි කීවාට ඒ කොහෙටද මොකටදැයි මා දන්නේ නැත.කිටි කිටියේ බැන්ඩේජ් වලට තද වුන හිසේ සියුම් නාළිකා යාන්තමට පණ ගැහෙනවාක් මෙන් මට දැනේ.මම නැවතත් දෝතින්ම හිස බදා ගතිමි.


" කිසිම දෙයක් හිතන්න යන්න එපා පැටියෝ... ඔහොමම ටිකක් හාන්සි වෙන්න ... මම ඔයාට සිහිය ආවා කියලා Docter ට කියන්න ඕනෙ.."


ඔහු මා යහනේ හාන්සි කර කාමරයේ අභ්‍යන්තර දුරකතනයෙන් හෙදියක් අමතා මොනවාදෝ කියවයි. මා එහෙමම දෑස පියා ගතිමි.තාරා කෝ... දෙනුවන් කෝ ඔවුන් මා බලන්නට ආවාද....හිතේ දාහක් ප්‍රශ්න ය. එහෙත් ඒවා අසන්නට මේ සුදුසු වෙලාව නොව.ඉතින් මා ඉවසා සිටියෙමි.


" හෙලෝව්... දූ කවිති.... කොහොමද ඔයාට දැන් ....? "


එක පාරටම ඇසුන ආගන්තුක හඬකින් මා තිගැස්සී ගියෙමි.කවුද කින්ද මන්දැයි කියා තෝරාගන්නට දෑස් නොපෙනෙන මා ඔහේ නිහඬවම සිටියෙමි.මොහොතකින් ඒ හඬ ඇති පුද්ගලයා මගේ යහනේ තැනකින් වාඩි වී මගේ දකුණත අල්වා ගති.


" දූ ... කවිති... මම තමයි ඔයාව භාරව ඉන්න ඩොක්ටර් ජයසිංහ...."


කුතුහලයෙන් සිටි මා ඒය ඇසූ පසු ඩොක්ටර්ගේ අත සුහදව අල්ලා ගතිමි.


" ඉතින් මට කියන්න ... දැන් කොහොමද ඔයාට දැනෙන්නේ... ඇගට පතට මොනා හරි අමාරුවක් දැනෙනවද... ලේසි නෑ ඔයා මේ ලොකු නින්දකින්නෙ ඇහැරිලා ඉන්නෙ.."


දෑසින් නොදැක්කද ඔහු වෛද්‍යවරයෙකුට වඩා බොහෝ ළෙංගතු අයෙකු මෙන් මට දැනුනි.


" කෝ .... කෝ ... කතා කරන්න ඉතින්.... ඇස් බැන්දට අපි ඔයාගේ කට බැඳලා නෑ ... නේද අනුහස් පුතා...."


මා තවමත් නිහඬ නිසා ඔහු එසේ කීවේ අනුහස් අයියාවද හිනස්සන්නට විය යුතුය.


" කවිති දුව... මේ අහන්න... මම ඔයාගේ තාත්තගෙයි අම්මගෙයි හොද යාලුවෙක්... ඉද්දමල්ගොඩගෙ දුවව මගේ හොස්පිට්ල් එකේදී අර විදියට දැක්කම මම පුදුම වුනා....මම ඩොක්ටර් කෙනෙක්... ඒ වගේම ඔයාගේ තාත්තගේ වයසේ කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ට කියනවා වගේ මම දැන් මේ ටික ඔයාට කියන්නේ... ඔයා අහගෙන ඉන්න ඕනෙ හොදද..."


මම හිස වනා එය පිළිගතිමි.


" ඔයාව මෙහෙට ගේනකොට ඔයා හිටියේ බේරගන්න අමාරු තැනක... ඔයා දන්නේ ඔයා තුවාල කර ගත්තේ ඔයාගේ ඇස් දෙක විතරයි කියලනේ... ඔයා සිහි නැතුව වැටිලා තිබුනේ මාලු ටැංකියක් පෙරලගෙන..වීදුරු කටු ඇනිලා ඇස් දෙකට වැඩිය ඔයාගේ මොළයට බරපතල හානි වෙලා තිබුනා...අපි ඔයාගේ ඇස් අමතක කරලා ඉස්සෙල්ලා කලේ ඔයාගේ ජීවිතේ බේරගන්න ඔලුව පුරා ඇනිලා තිබුන වීදුරු කටු අයින් කරන්න ඔයාව Operation කරපු එක...."


ඩොක්ටර් ජයසිංහ නැවතිල්ලේ දොඩයි.මා හිරිවැටිගියෙමි.හිස පුරා වීදුරු කටු ඇනී ලේ ගලමින් වැටී සිටින මාවම මා මවා ගතිමි.


" ඒ Operation එක සාර්ථකයි... ඒත් අපිට ඔයාගේ ඇස් වල පෙනීම ගන්නනම් බැරි වුනා...ඒත් දුව ඔයා දුක් වෙන්න එපා.... ඔයා වගේම ලස්සන ගෑණු ළමයෙකුගෙ ලස්සන ඇස් දෙකක් අපිට ලැබුනා ... අපි ඔයාට ඒ ඇස් බද්ධ කලා....අද අපි ඔයාගේ බැන්ඩේජ් ගලවනවා.... ඉතින් අදින් පස්සේ ඔයාට පුලුවන් අලුත් ඇස් දෙකකින් අලුත් විදියට ජීවිතේ දිහා බලන්න...."


අහිමි වුන මගේ දෑස ගැන කම්පා වන්නද වෙනත් දෑසක් ලැබීම ගැන සතුටු වෙන්නද කියා මට නිනව් නැත.හඩන්නටවත් හිනා වෙන්නටවත් නොහැකිව මම බලා සිටියෙමි.


" මේ ටිකත් අහගන්න දුව.... වෙච්ච කිසිම දෙයක් ආයේ ආයේ මතක් කර කර දුක් වෙන්නවත් අඩන්නවත් තියාගන්න එපා...තවමත් ඔයාට හරියට මොළය වෙහෙසන්න හොද නෑ.... ඔයාගේ අම්මා... ඔයාගේ සුදු අයියා.. ඔයාගේ යාලුවෝ ඔයා වෙනුවෙන් මේ ටිකට අනන්ත දුක් වින්දා... කැපකිරීම් කලා...එයාලා ගැනවත් හිතලා ඔයා හොදින් ඉන්න ඕනෙ... අපි කොච්චර ඇඩුවත් හැපුනත් අපිට අයිති නැති දෙවල් අපිට අයිති නෑමයි දරුවෝ...එයාලගේ සතුට එයාලට දීල ඔයා ඔයාට අයිති සතුට ළං කර ගන්න...දැන් මේ දකින්න යන ඇස් වලින් ඔයා දකින්න ඕනෙ අලුත් ලෝකයක් ... තේරුනාද....මේ ළඟ ඉන්න කෙනාට වැඩිය හොද කෙනෙක් මේ ලෝකේ කොහේවත් ඔයාට නෑ දුවේ...මේ ටික මම කිව්වේ ඩොක්ටර් කෙනෙක් විදියට නෙවෙයි තාත්තෙක් විදියට..."


සැබැවින්ම ඒ අත බැන්ඩේජ් කල මගේ හිස පුරා දිව ගියේ අප්‍රමාණ සෙනෙහසින් විය යුතුය.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


ඉතිං වෙනත් කෙනෙකුන් දන් දුන් ඇස් දෙකකින් මා මගේ අලුත් ලෝකය දකින්නට සූදානම් වුනෙමි.පෙන්නුවේ නැති වුනාට මහා තිගැස්මක් මසිතේ විය.ඒ තිගැස්මම අම්මාගේ සුදු අයියාගේ පමණක් නොව වෛද්‍යවරයාගේ හිතේද ඇතුවාට සැක නැත.ටිකෙන් ටික ලෙහෙන බැන්ඩේජ් පටි අස්සේ මගේ ඉරණම ලියා ඇති සේය.


" එක පාරට ඇස් අරින්නේ නැතුව වෙලාව අරගෙන හිමිහිට හිමිහිට අරින්න දුව..."


සියලු පටි ලිහී ගිය තැන ඒ උපදෙස ඩොක්ටර් ජයසිංහගෙනි.හිතූ තරම් ඉක්මනට ඇස් පියන් අරින්නට කොහොමත් බැරි සෙයකි.ඇහි පිහාටු වල මැලියම් ගෑවාක් මෙනි.විනාඩියක් දෙකක් හෝ තුනක් ගෙන මා හිමිහිට ඇස් විවර කළෙමි.බොඳ වුන මිනිස් රූප තුන හතරක් ටිකෙන් ටික සම්පූර්ණ වන්නට විය.හැම මුහුණක්ම පරදවා සුදු අයියාගේ සුදු මූණ මා ඉදිරියේම දිස් වුණි.ඒ ඇස් වලින් අමු අමුවේ හෝ ගා කඳුළු කැට වැටුණි.අම්මා මහා හඬින් ඉකි ගසමින්ම මට ළං විය.අනේ මා මේ හිත් වලට දුන් ගින්දරක්...


ඩොක්ටර් ජයසිංහයනුත් හෙදියන් කීප දෙනෙකුත් හැරෙන්නට මා බලාපොරොත්තුව උන් කිසි කෙනෙක් කාමරයේ උන්නේ නැත.අනේ තාරා ඔයා මාව මේ තරම් ඉක්මනට අමතක කලාද....?
දෙනුවන්ට මා නොවැදගත් බව සැබෑය. එහෙත් අර තරම් ළඟින් උන් තාරාට මට මේ තරම් දෙයක් සිදුවී තිබියදීත් මා දකින්නට නෑවිත් සිටින්නට තරම් හිත හදා ගන්නට කොහොම හැකි උනාදැයි මා දන්නේ නැත.තාරාත් දෙනුවනුත් එකට ඉන්නවා දැක මා මේ අනතුර කර ගත් බව කිසිවෙකුට රහසක් නොවන බව විශ්වාසය.මෙයට ඔවුන් වග කියන්නට ඕනෑයි සිතා මෙලෙස ඇය මා මගහරිනවා වන්නටද ඇත.


මේවා හිතන්නට තරම් නිවනක් මෙතන නැති වුවද හිත හතර අතේ දුවයි.


" ශා.... මේ ඉන්නේ කෙල්ල ලස්සනට.... දුවගේ පොටෝස් වලින් කලින් හිටපු ඔයාව මම දැක්කා ... ඒත් මට හිතෙන්නේ මේ ඇස් තමා ඔයාට ගැලපෙනම ඇස්...ඇත්තටම දැන් ඔයා හිටියට වැඩිය ලස්සනයි...."


ඒ ළෙංඟතු හඬ හිමි කාරුණික වෛද්‍යවරයාව ඔහුම මට දුන් අලුත් ඇස් වලින් මා සිත්සේ බලා ගතිමි.


" අනුහස් පුතා... කෝ ඔය කන්නාඩිය අල්ලලා මේ කෙල්ලට පෙන්නන්න එයාගේ අලුත් ඇස් දෙක..."


හුරුබුහුටි කණ්නාඩියකුත් රැගෙන මා අසලට ආ අනුහස් අයියා සැවොම බලා සිටිද්දී මොහොතකට මා තුරුල් කර ගති.ඒ ඇස් මේ තරම් හඩන්නේ සතුටටැයි මා විශ්වාස කළෙමි.


" ඔයාව ඇස් දෙක වගේ බලා ගන්න මම මගේ හිතට පොරොන්දු දීල තිබුන. ඒත් එක විනාඩි ගානක පරක්කුවෙන් ඒ ඇස් දෙක රැක ගන්න මට බැරි වුනා...ඒත් දැන් මේ ඇස් දෙක දිහා බලල මං පොරොන්දු වෙනවා... මගේ පණ ගියත් මං මේ ඇස් දෙක පරිස්සං කරනවා..."


සුදු අයියා කී ඒ කතාවට අලුත් ඇස් වලට බලා හිදිද්දී කඳුළු පිරෙන්නට විය.මා අපමණ සෙනෙහසින් සුදු අයියාට තුරුළු වීමි. ඒ අතිශය සංවේඳී මොහොතකි.බලා උන් සැවොම නෙතට ඉණු කඳුළු රහසින් පිස දැමීය.මා නෙතු පිරි කඳුලු ඒ දෑතින් පිස දමා අනුහස් අයියා කණ්නාඩිය මා දෑස ඉස්සරහට ගෙනාවේය.එකදු කෙස් ගසක්වත් නැති හිස බැන්ඩේජ් වලින් වෙලා තිබුනද ඒ ඇස් වලට මා බොහෝ හැඩට දිස් විය.ලා නිලට හුරු ඒ දිගු ඇස් මට දෙනුවන් සිහිකරවීය.සුදු අයියා මා දෑස් දෙසම බලා හිදී . සැනෙකින් මා ඒ සිතුවිල්ලෙන් මිදී කණ්නාඩියෙන් පෙනෙන මගේ රුවට හිනැහීමි.


" ඔන්න දැන් මගේ පේෂන්ට් ඔයාලට බාරයි...ඒ උනාට ඔලුවේ බැන්ඩේජ් කපන්න තව දවස් තුන හතරක්වත් යනවා....ඒ වෙනකොට මෙයාට අලුත් ඇස් වගේම අලුත් ජීවිතේකුත් ලෑස්ති කරන්න ඔයාලට පුලුවන් වෙයි...මේ දවස් ටික හොදට Rest කරලා ඔයත් ඒ අලුත් ජීවිතේ බාර ගන්න සූදානම් වෙන්න හොදද..."


අම්මාටත් අනුහස් අයියාටත් මටත් එක වරම අමතා එසේ කියා ඩොක්ටර් ජයසිංහ මගේ කම්මුලකුත් මිරිකා යන්නට ගියේය.


~~ මතුසම්බන්ධයි ~~
















ප/ ලි - අද කොටස ටිකම ටිකයි හොදේ.. ඔන්න දැන් කට්ටිය මාව මරන් කන්න ලෑස්ති වෙන්න එපා මේ ටික ටයිප් කර ගත්තෙත් හරිම අමාරුවෙන්. ඒ මොකද කියනවනම් තාමත් මම ඉන්නේ ලෙඩ මරගාතේ.උණනම් සනීපයි ඒත් කැස්සයි ඔලුව කැක්කුමයි තවම හරියට හොද නෑ. එක දිගට කොම්පීතලේ දිහා බලන් ඉන්න බෑ පුලු පුලුවන් වෙලාවට ටික ටික ලොග් වෙලා තමා යාලුවන්ගේ බ්ලොග් වලට යන්නෙත් සමහර පෝස්ට් එහෙමත් මිස් වෙලා මට ඒවත් කියවන්න ඕනෙ හිමින් හිමින්.ඒ අතරේ කතාවත් ටිකක් ටයිප් කර ගත්තා මොකද කට්ටිය කෝ කතාව කෝ කතාව කියලා අහන නිසා.ඔන්න එහෙනම් මේ ටික කියවලා ටිකක් කූල් වෙන්න හොදේ ඉක්මනටම දිගම දිග කොටසක් දෙනකන්.






























May 23, 2012

දෙනුවන් අනුහස ... නමවන සජ්ජායනාව

මේ තියෙන්නෙ කලින් කොටස් නොබලපු අය ඉන්නවනම් බලලම එන්නකෝ

දෙනුවන් අනුහස 1

දෙනුවන් අනුහස 2


දෙනුවන් අනුහස 3

දෙනුවන් අනුහස 4

දෙනුවන් අනුහස 5

දෙනුවන් අනුහස 6

දෙනුවන් අනුහස 7

දෙනුවන් අනුහස 8







                 


අසුනේ කොනටම වන්නට ඇදී ගොස් වාඩිවුන මා උරයේ රැදුණු බෑගය ගලවා උකුළට ගෙන දොතින්ම ළැමැදට තද කරගතිමි.තවමත් සීරුවට වැසි වැටේ.ඒ වැසි පරදන්නට මෙන් මගේ ඇසින්ද කඳුලු වරුසාවක්ම වැටේ.වැරෙන් තොල් සපාගෙන මම ඉකිය පාලනය කරන්නට වෙහෙසුනෙමි.දෙනුවන් කෝපයෙන් බව මා දනිමි . ඒ කෝපය කොයි මොහොතේ හෝ නැවත පුපුරා යනු ඇත.


ඉතින් ඊළඟ තත්පරයේ මගේ ජීවිතයේ මොනවා සිදු වෙදැයි නිශ්චිතව කිව සිතා ගත නොහැකි අසීරු තැනකට මා පත්වී සිටියෙමි.මේ යන්නේ කොහෙදැයි දෙනුවන්ගෙන් අසන්නට උවමනා විනිද එයට මට දිරියක් නොවීය.මා මේ සිටින්නේ මගේ ජිවිතයේ මා වැඩියෙන්ම ප්‍රේම කරන පුද්ගලයා ළඟ බව සැබෑවකි.ඒත් ඔහුට මා තවත් එක කෙල්ලෙක් පමණක් බව සිතන්නට කරුණු මිස එසේ නොසිතන්නට මා ළඟ කිසිම සාක්ෂියක් නැත.මුරුගසං වරුසාවක් මැද දෙපසින් ආවරණය කල තුන් සක් රියක් තුල මොනවා සිද්ධ වන්නට බැරිද ..?ලෝකයා මොනවා කීවද දෙනුවන් මගේ හදවතේ සදහටම නිකළැල්ය.. පූජණීයය.ඒ පූජණීයත්වයට කැලලක් වන වදනක් හෝ ඒ මුවින් පිට වුනොත් ඉතින් මට මේ ආදරයෙන් පලක් නැත.ඊටත් කොහොම බැලුවත් අද මේ සිදුවන හැමදෙයම අනුහස් අයියාට කරන මහා හතුරු කමකි.වෙන මොනවා ඉවසුවද පිරිමියෙක් තමා ආදරය කරන යුවතියගේ අතකින් හෝ වෙනත් පිරිමියෙක් අල්ලනවාට කැමති නැත.එය දරා ගන්නේද නැත. මොන ක්‍රමයෙන් හෝ ඒ තරහ පිට කරගන්නවාමය.කාගෙන්වත් කතාවක් නොඅසා කොල්ලන්ව තඹේකට මායිම් නොකර ආඩම්බරෙන් සිටි කවිති අද නැත්තටම නැතිවුවා නොවේද.


" මල්ලී කොහාටද යන්නේ "


රියදුරාගේ හඬින් තිගැස්සුනු මම ඉක්මනට කඳුලු පිහිදා ගෙන දෙනුවන් දෙස බැලීමි.මහ පාරේ දෙනුවන් මට කෑ ගැසූ හැටි මේ රියදුරාද දකින්නට ඇත.මහ මග උන් අය මෙන්ම ඔහුද මෙය පෙම් හබයක් බව සිතනවා නොඅනුමානය.මට ආයෙත් අලුතින් ලැජ්ජාවක් දැනුණි.


" පිලියන්දලට "


දෙනුවන් කී දෙයින් මට යාන්තමට හුස්මක් වැටුණි.ඒ හඬ දැන් නිවී ඇත. එහෙත් ඒ මුහුණ දෙස කෙලින් බලන්නට තවමත් මට හැකියාවක් නැත.මා මෙන්ම අසුනේ එහා කළවරම උන් දෙනුවන් එක පාරටම මා අසලට කිට්ටු විය.මම බෑග් එක හයියෙන් තුරුළු කරගෙන තවත් අසුනේ කෙළවරටම ගුළිවීම්.ඒ දැක දෙනුවන් ගේ මුවට හිනාවක් ආවේය.ඔහු අහක බලාගෙන හිනැහුනි.මීට විනාඩි ගානකට පෙර ඒ පපුවම මගේ කරගෙන උන් මා මෙලෙස හැසිරීම ඔහුට විහිළුවක් වූවාදැයි මට සිතුණි.සිතට දුක දැනී ආයේ ආයේ කඳුලු අලුත් විය.


" මම දන්නවා වෙච්ච දෙවල් වලට ඔයා දුක් වෙනවා බය වෙනවා... ඒත් ඒ කිසිම දෙයක් ඔයාවත් මමවත් හිතලා උවමනාවෙන් සිද්ධ උන දෙවල් නෙවේ.... වෙලාවේ හැටියට ඉබේම උන දෙයක් ... පුංචි Accident එකක් කියලා හිතලා ඒ සේරම අමතක කරලා දාන්න... "


බොහෝ සෙමෙන් දෙනුවන් එසේ කීවේ මට පමණක්ම ඇසෙන්නට මෙනි.ඔහු කියන්නේ සැබෑවකි ඒ කිසිම දෙයක් ඔහුවත් මාවත් හිතාමතා කල කී දෙවල් නොව එහෙත් පුංචි Accident එකක් යැයි කියා ඒ කිසිම දෙයක් අමතක කරනන්ට ඉතින් මට පුලුවන් වේවිද...මා ඒ පපුවට තුරුලු වූ කී වෙනියාදැයි කියා සමහර විට දෙනුවන්වත් නොදන්නවා විය හැක.ඉතින් ඔහුට එය මහා දෙයක් නොවන බව විශ්වාසය.මට මෙන් මතක් කර කර ඒ මිහිර ඒ තිගැස්ම විඳින්නට ඔහුට උවමනාවක් නැත.මම දෑස් පියා ඒ තත්පර කීපය යලි මවා ගතිමි.


" ඔයා ඔහොම බය වෙද්දි අඬද්දි මට මං ගැනම තරයි ... මං අතින් ලොකු වරදක් උනා කියන හැඟීම මට දැනෙනවා...මං ඔයාගේ හොදම යාලුවෙක් කියලා හිතලා බැරිනම් සහෝදරයෙක් කියලා හිතලවත් ඒක අමතක කරලා දාන්න... Please..... "


ඔහු ඇත්තටම කම්පා වෙන හඩකින් පැවසීය.දෙනුවන්ට මෙසේ කා ළඟවත් බැගෑපත් වී පුරුදු නැති බව මා අත්දැකීමෙන්ම දනිමි.සැරින් සැරේ මා ලඟදී වෙනස් වෙන ඔහුගේ මේ ගතිගුණ මා අවුලෙන් අවුලට පත් කරයි.මේ හිතුවක්කාරයා තේරුම් ගන්නට මෙන් මා ඔහුට හොරෙන් ඔහු දෙස බැලීමි.


මා තරමටම නැතත් දෙනුවන්ද වැහි දියෙන් තෙමී ඇත.මුහුණට වැටෙන තරම් දිග ඒ අකීකරු කෙස් රොදෙන් වැහි බිඳු එක දෙක වැටේ.ඒ හැම වරකදීම ඔහු දෑතින්ම කෙස් පිටුපසට කර ඔලුව දෙපසට වනයි.ඇති පදමටම තෙත බරිත වී ඉන්න මගේ ඇගටද වැහි බිඳු විසි වෙයි.කවදත් මා ඇලුම් කරන ඒ ජේත්තුකාර කොලුකම් ඔහු ළඟ ඕනාවටත් වැඩි තරම්ය.හැමෝම කියන දකින දඩබ්බරයාට රස්තියාදුකාරයාට එහා ගිය දඟකාර හුරතල් කොලු කමක් ඔහුගෙන් දකින්නේ මා පමණක්මද.. එහෙම නැත්තම් ඔහු මෙලෙස හැසිරෙන්නේ මා ළඟ පමණක්ද..


එක වරම යමක් මතක් වූවාක් මෙන් දෙනුවන් මදක් ඉදිරියට නැවී කලිසම් සාක්කුවේ රුවා සිටි දෙයක් එළියට ගෙන තවත් ටිකක් මා ළඟට වී මා ළැමට තද කරගෙන උන් බෑගයෙ කොණකින් අල්ලා ගති.මා තිගැස්සී පස්සට විය.


" මට ඔච්චර බය වෙන්න එපා... ආයෙ කවදාවත් වැරදිලාවත් මගේ ඇගිල්ලක්වත් ඔය ඇගේ ගෑවෙන එකක් නෑ.."


පුංචි Teddy Bear කෙනෙක් සහිත Key Tag එකක් මගේ බෑගයේ Zip එකේ රදවමින් දෙනුවන් කීවේ මගේ ඇස් ඒ ඇස් වලින් අල්ලා ගන්නට වෙහෙසෙමිනි.මට මහා දුකක් දැණුනි.මේ බය තිගැස්ම ඔහු ගැන උතුරන ආදරය වෙනුවෙන් මිස වෙන කිසිම දෙයක් වෙනුවෙන් නොවන බව ඔහුට කියා ගන්නට බැරිව මා ලතවුනෙමි.ඔහු බදා වැළදගෙන මහා හඩින් හඬන්නට මම ආදරෙයි දෙනුවන් කියා කියනන්ට අනේ මාව මෙහෙමම කොහේ හරි අරන් යන්න කියා ඒ කකුල් අල්ලා වැදවැටෙන්නට මට දස දහස්වරක් සිතුණි.ඒ හැගීම් පිට කරගනන්ට බැරිව මම වෙව්ලන්නට වීමි.


" ඔයාව වෙව්ලනවා "


මොහොතක් මදෙස පුදුමයෙන් මෙන් බලා සිටි දෙනුවන් වහා ළඟට එන්නට ගොස් යමක් මතක් වී මෙන් සැනෙන් ආයෙත් දුරට ගියේය.


" ගෑණු ළමයි ආඩම්බර වෙන්න ඕනෙ ඒ උනාට මුරණ්ඩු වෙන්න හොද නෑ දැන් පේනවනේ ඒකට වන්දි ගෙවන හැටි... ගෙදර ගිය ගමන් ඉක්මනට ඇඳුම් මාරු කරල ඇග පිහිද ගන්න "


තාත්තෙක් දරුවෙකුට තරවටු කරන්නාක් මෙන් දෙනුවන් මට දෙස් තබයි.එහෙත් එය සොඳුරු ආදරණීය තරවටුවක් මෙනි.අද ඔහු දොඩන හැම වදනකින්ම ඔහුට බැදි සිත තව තවත් ප්‍රේමයෙන් පිරේ.මා දරා උන්නාට වෙන කිසිම කෙනෙක් මෙවන් මොහොතක් දරා ගන්නේ නැත.


" සුරංඟනාවී බහින්න දැන් අපි ඔයාගේ ගේ ළඟ "


දෙනුවන් එසේ කියද්දී මා පුදුමයට පත්වීමි.වැසි ආවරණය ඉවත් කර මා හිස මදක් ඉවතට දා බැලීමි. සැබෑය අප ඉන්නේ අපේ ගේට්ටුව ඉදිරිපිටය. දෙනුවන් මගේ නිවස හරියටම දන්නේ කොහොමදැයි මම සිතීමි.එකම නගරයේ දෙපසක වෙසෙන ඔහුට මගේ ගේ සොයා ගැනීම මහ දෙයක් නොවෙන්නට ඇත.වැස්ස තවම නැවතී නැත.කල්පාන්තයට වහින වැස්ස මෙන් එය හැමතැනටම එකම විදියට ඇද හැලේ.ඉතින් දැන් සමුගන්නට වෙලාවය. මා හැරී දෙනුවන් දෙස බැලීමි.


" යන්නම් "


ඇසෙන නොඇසෙන තරම් හිමිහිට මා එසේ කියා ගතිමි.


" ආපහු තෙමෙන්න වෙනවනේ...මම Gate එක ඇරලා වත්තට දාන්නද වීල් එක..."


" එපා.... මම යන්නම් ..."


මා එසේ කියා බැසගතිමි.දෙනුවන්ද එහා පසින් බැස ගත්තේය.මා වටෙන් විත් ඔහු ළඟ නැවතුනෙමි.


" ඉක්මනට දුවන්න...අම්මට කියලා උණුවෙන් කෝපි එකක් හදාගෙන බොන්න..."


මා හිස වනා එය පිළිගතිමි.


" ඔයත් තෙමෙන්න එපා පරිස්සමින් යන්න... බුදුසරණයි.."


දෙනුවන් ලස්සනට හිනා වී මදෙස බැලීය


" බුදුසරණයි සුරංඟනාවී ඔයාටත්..."


ගේට්ටුව හැර මා දොර දක්වා හැල්මේ දුව ගියෙමි.ආපසු හැරී බලද්දීත් දෙනුවන් ඒ වැස්සේ තෙමි තෙමී මදෙස
බලා හිදිනවා මා දුටිමි.ඊටත් ටිකකට පසු ඔහු අත වනා රියට ගොඩ විය.දොර සීනුව තද කරගෙනම මා එහෙමම දොරට හේත්තු උනෙමි.


" දෙයියනේ..... දරුවෝ මොකද මේ.... "


අම්මා මා දැක බෙහෙවින් බිය වන්නට ඇත. වැස්සට තෙත බරිතව දිය බේරෙන මා එහෙමම අම්මාට තුරුල් විය.


" පිස්සුද සුදු දූ ඔයාට... මේ දාරාණිපාත වැස්සේ තෙමි තෙමි ආවේ විකාරෙන්ද ඔයා... කටින් කටට කිව්වා මම කුඩේ අරන් යන්න කියලා... කෝ ඒක කණකට ගත්තද..."


" පායනකන් කියලා කොච්චර වෙලා ඉන්නද අම්මා... ටවුන් එකේ එක ට්‍රයිශෝ එකක්වත් නෑ අම්මා... ඒ නිසා මම පයින්ම දුවගෙනම ආවා "


මේ බොරු කොහෙන් කටට එනවාදැයි මටම පුදුමය.වැහි දියට මුසුව නෙතින් ගලන කඳුලු අම්මාගෙන් වසං කරගෙන මෙතැනින් ඉක්මනට බේරි කාමරයට දුවන්නට මට ඕනෑ විය.


" ඉක්මනට ඇදුම් මාරු කරගන්න... මම කොත්තමල්ලි ටිකක් හදාගෙන එන්නම්...අසනීපයක් උනොත් අර දරුවයි මමයි නැහෙන්න ඕනෙ.. පොඩි එකෙක් වගේ සෙල්ලම් වැඩ කරන්න එපා සුදු දූ..."


ලද අවසරයෙන් මා පිම්මේ කාමරයට දිව ගොස් එහෙමම ඇදට වැටුණෙමි.පැය ගානක් හිර කරගෙන උන් කඳුළු මා මහා හඩින් හඩමින් සිත්සේ පිට කලෙමි. ඉතින් යලි ජීවිතය තිබුනාටත් වැඩි ආගාධෙකට ඇද වැටුනා නොවේද.මෙයින් ගොඩ එන්නට යලි කවදාවත් මට බැරි වෙන බව මා දනිමි.අම්මාට අනුහස් අයියාට සේම තාරාටද ආයෙ මට මුහුණ දීමට බැරිය.දෙනුවන්ගෙන් මේ තරම් වසං වී ඉදිද්දීත් ආයේ ආයේ ඔහුව මෙලෙස දෛවය විසින් මට මුන ගස්සවන්නේ මගේ ඉරණම දෙනුවන්ගේ ඇස් වලම ලියා ඇති නිසාදැයි මට සිතේ.



කොහේ යතත් මා කරේ එල්ලාගෙන යන මගේ ප්‍රියතම ලෙදර් බෑගය තවමත් මා තුරුලු කර ගත් ගමන්මය. දෙනුවන් විසින් එහි එල්ලූ Ket Tag එක මා මුහුණට තියා තද කර ගතිමි.එයින් හමන්නේත් ඒ පපුවේ රැදි සුවඳමය.ඒ සුවඳ මගේ සිහිය ඈත කොහාටදෝ තල්ලු කරන්නාක් මෙනි.කිසිවක්ම නොපවසා මෙවන් සුන්දර තිළිණයක් ඔහු මට දුන්නේ ඇයි...? ඔහු එය ගත්තේ මා වෙනුවෙන්මද? ඔලුව හත් කඩකට පැලෙන්නට මෙන් රිදුම් දෙද්දීත් මා කිසිදාක උත්තර නොලැබෙන ඒ ප්‍රශ්ණ වලට පිළිතුරු සෙවීමි.මා අසාමාන්‍ය ලෙස වෙව්ලමින් සිටියෙමි. ඒ සීතලටම පමණක් නොවන බව මා දනිමි.


එක වරම දුරකතනය එක දිගටම නාද වන්නට විය. මා සිතුවේම ඒ දෙනුවන් වන්නට ඇත කියාය. මා බෑගය ඇද දඩි බිඩියේ ෆෝන් එක සොයා ගතිමි. නැත ඒ තාරාය.මේ මොහොතේ ඇයට කතා කරනන්ට තරම් සිහියක් පේන මානයකවත් නැත. ඇරත් කතා කර ඇයට මොනවා කියන්නද. මා එහෙමම දුරකතනය විසන්ධි කර මේසය මතට විසි කලෙමි.ඊළඟ විනාඩියේ මා සිතූ සේම ගෙදර දුරකතනය නද දෙන්නට විය.ඒ තාරා බව මා දනිමි.අම්මා තව මොහොතකින් ඇයට මා වැස්සේ තෙමීගෙන ආ බව පවසනවා ඇත.ඇයට මොන මොනවා හෝ හිතා ගන්නට ඒ ටිකම ඇත.අම්මා කාමරයට එන්නට කලින් මම නාන කාමරයට ගොස් දොර වසා ගතිමි.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඉතිං ඒ රැයේ මට සහළවා උණ ගන්නට විය. උණ විකාරෙන් මා අසිහියෙන් මෙන් දොඩවන්නට විය.ඇස් පියන හැම මොහොතකම මා දෙනුවන්ගේ පපුවට තුරුළු වී ඉන්නවා පෙණුනි. ඇස් අරින හැම මොහොතකම අනුහස් අයියා ළඟට වී මා හිස පිරිමදිනවා දුටිමි.පැයක දෙකක කෙටි නින්දක අවසන මා බියකරු සිහින දැක කෑ ගසමින් අවදි වූයෙමි.අම්මාත් අනුහස් අයියාට නිදි වරමින් මා ළඟම විය.


" සුදූ ... මගේ නංගී... බය වෙන්න එපා රත්තරං... ඔයාගේ සුදු අයියා ඔයා ළඟම ඉන්නවා...මේ අම්මත් ඉන්නේ...ඔයාට මොනවත් වෙන්නේ නෑ...දැන් නිදා ගන්න වස්තුවේ... ඔයාට ඉක්මනට සනීප වෙයි..."


එක දිගටම හිස අතගාමින් බෙහෙත් පොවමින් සුදු අයියා මා සනසයි.අම්මා මෙන්ම ඔහුද තවමත් සිතා සිටින්නේ මා හිතුවක්කාර කමට වැස්සේ තෙමී ලෙඩ වී ඇති බවය.එය මට සැනසීමක් වුනිද සුදු අයියාගේ මුහුණ කෙලින් බලන්නට බැරිව ලතැවීමි.කවදා වෙන තුරු මේ රහස් මෙසේ රකින්නට වේදැයි මා නොදනිමි.වෙන ඕන දෙයක් වෙන්නට කියා ඒ ලැබුණු අවස්ථාවේ මේ හැමදේම දෙනුවන්ට කියන්නට තිබුනා නොවේදැයි මට දැන් දැන් වැඩි වැඩියෙන් සිතේ.ඒ සුසුමක උණුහුම වැටෙන මානයටම ළං වීත් ඔහුට මගේ හදවත ගැහෙන රිද්මය වටහා ගන්නට බැරි වූ හැටි.


සිහියත් අසිහියත් නින්දත් නොනින්දත් අතර ගෙවුන පැය ගනනාවකට පසු උදෑසන වන විට මම යම්තාක් දුරකට වැර වෑයම් කර සිත පාලනය කර ගතිමි.ඒ අන් කිසිවක් නිසා නොව මා නිසා දුක් මහන්සි වෙන අම්මාත් අනුහස් අයියාත් වෙනුවෙනි.ඇදෙන් නැගිටීමටවත් හිතට ගතට හයි හත්තියක් නොතිබූ මුත් මා නිකමටවත් ඒ බවක් අගවන්නට ගියේ නැත.අම්මාත් අනුහස් අයියාත් එහා මෙහා වූ සැනින් මම තාරාට ඇමතුමක් ගතිම්.


" ආහ්..... කුමාරිහාමිට දැන්ද මතක් උනේ... කියපං බලන්න ආපහු අල්ලපු අඩව්ව මොකක්ද කියල...."


ඇය කේන්තියෙනි.කාට හැංගුවත් මේ කිසිවක් ඇයට හංගා පලක් නැත.


" තාරා... Please මං වෙනුවෙන් ඉක්මනට වරෙන්... අනේ මට උඹ එක්ක කතා කරන්න ඕනේ..."


වෙන කවරදාටත් වඩා මගේ හඬ බිදී තිබෙන්නට ඇත.


" කවී .. මේ අහපං උඹ ආයේ Play කරන්න හදන්නේ පරණ තැටියමනම් ඕක අහන්න වෙන කෙනෙක් හොයා ගනිං.. මම මෙහෙටම වෙලා ඉන්නවා..."


Please Please...... Please....... තාරා... අනේ මං මැරෙයි...තව එකම එක පාරක් මාව ආගෙන හිටපං මට එකම එක උදව්වක් කරපං තාරා.... අනේ ඔයාට පිං සිද්ධ වෙනවා..."


මා ඉකිබිදිමින්ම ඇමතුම විසන්ධි කලෙමි. ඒ සැනින් ආයේ තාරා මට ඇමතූවද මම කතා නොකලෙමි.පුලුවන් කමක් තිබුනොත් ඈ මේ මොහොතේම පිටත් වන බව මා දනිමි.


තවත් දිනක් නැත්තන් දෙකක් එලෙසින්ම ගෙවී යන්නට විය.මා ඒ වන විට බොහෝ ගිලන් වී සිටියෙමි.දින ගනනකින් හරියට කෑමක් බීමක් නැතුව මා බලා ගත් අත බලා ඉන්නට විය.අනුහස් අයියා දෙපාරකටම මාව වෛද්‍ය වරයෙකු ළඟට රැගෙන ගියේය.අකල් වැස්සට තෙමී මා ලෙඩ වී ඇති බව මිස මගේ හිත ගිලන් වී ඇති බව වෙද නලාවටවත් අසු නොවුණි.දෙනුවන්ව ආයේ එක පාරකට හෝ දැක ගැනීමේ තද බල උවමනාවකින් මා පෙලෙමින් සිටියෙමි.ඒ හැගුම කියා ගන්නට කෙනෙක් නැතුව මම හිඟන්නියක සේ තැන තැන වැටී ඉකිබින්දෙමි.


" දෙයියනේ කවී ... මොකද කෙල්ලෙ මේ උනේ....."


තාරා මා දැක ඇස් වල කඳුලු පුරවා ගති.සාලයේ උන් මා ඇය ඇදගෙන කාමරයට දිව්වේ නව පණක් ආවාක් මෙනි.


" මෙයාට වැඩිපුර තිබිලා තියෙන්නේ යාලුවා නැති සාංකාවද කොහෙද "


මා හිනැහෙමින් දුවනවා දැක අම්මා කීවේ බොරු තරහක් මවා ගෙන වෙන්නට ඇත.තාරා ඇද මතින් හිදුවා සිදු වූ සියල්ල අකුරක් නෑර මා ඇයට පැවසීමි.ඇය වෙනදා මෙන් මැද්දට පැන මට බැන්නේ නැත.ගල් ගිල්ලාක් මෙන් සිට මා කියූ දෙවල් අසා සිටින්නට විය.


" ඔයා ඇයි මුකුත් නොකියන්නේ තාරා... අනේ ඔයා අහගෙන නේද ඉන්නේ...ඔයා දන්නවද... දන්වද... තාරා ඒ පපුවේ රස්නේ මගේ මෙතන්ට මෙතන්ට මෙතන්ට දැනුනා... ඒ හුස්ම මගේ මෙතන්ට මෙතන්ට මෙතන්ට වැදුනා....මට කියන්න මම දැන් කොහොමද හිත හදාගෙන ජීවත් වෙන්නේ...මට මැරෙන්න ඕනෙ තාරා ... අනේ මට මැරෙන්න ඕනෙ..."


මා අසිහියෙන් මෙන් කෑ ගැසුවෙමි. එහෙත් තාරා වදනක්වත් දෙඩුවේ නැත.


" නෑහෙන ගානට ඔහොම ඉන්න එපා තාරා...මම ඔයාගෙන් එකම එක උදව්වක් ඉල්ලනවා මට දෙනුවන්ව එක සැරේකට Meet වෙන්න ඕනෙ.... මට ආදරේ නෑ කියලා එයාගේ කටින් කිව්වොත් මම මේ හැමදේම අමතක කරනව තාරා.....සත්තයි... අනේ මට එයාව එකම එක සැරේකට මුණගස්සන්න Please කියන්නකෝ මට ඒ උදව්ව කරනවද ඔයා...."


මා ඈට බැගෑපත් වුනෙමි.ඈ බලගත් අත බල ගැඹුරු කල්පනාවක විය.


" මං දන්නවා ඔයා තරහින් ඒත් මට බනින්නෙපා .... මට තවත් මේව ඉවසන්න බෑ තාරා... ඔයාට පේනවද මම මේ ගින්දරින් පිච්චෙනවා හැම තප්පරේකම..."


සියල්ල අසා සිටි ඈ යන්නට ගියාය.වෙනදා මෙන් මගේ තනියට නවතින්න කීවද ඈ එය නෑසුනාක් මෙන් යන්නට ගියාය.දෙනුවන් හමුවන්නට මාර්ගයක් පාදා ඇය කතා කරන තුරු මා තවත් දවසක් දෙකක් ඉවසන්නට හිත හදා ගතිමි.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


මා සිතූ තරම් ඉක්මනට තාරා මට කතා කලේ නැත.වෙනදාට දහ දොලොස් වතාවක් මට කතා කරන ඈ ඒ ගියාට පසු එකම ඇමතුමක්වත් දුන්නේද නැත.සැදැළ්ලට වී ගේට්ටුව දෙස බලමින් මා ඇය එන මග බලා සිටියෙමි.මග බලා හෙම්බත් වූ පසු මා ඇයට ඇමතුමක් ගතිමි.




" කියන්න කවී "


මහා වෙනසක් ඒ හඩේ ඇති බව දැනුනද මා ඉවසා සිටියෙමි.


" තාරා ඇයි ඔයා අපේ ගෙදර එන්නේ නැත්තේ ? "


" මට වැඩ වගයක් තිබුනා කවී ඒකයි "


" ඔයා වෙනස් වෙලා "


මම අපමණ දුකින් කීමි.මොන වැඩ තිබුනද මා කියූ දෙයක් පැහැර නොහරින ඇගේ වෙනස මට මහා මෙරක් තරමට දැනුණි.


" ඔව් සමහර විට....හැමදෙම වෙනස් වෙනකොට අපිටත් ඉබේම වෙනස් වෙන්න වෙනවනේ කවී..."


" ඔයා මා එක්ක තරහින් තාරා... මං දන්නවා මම වැරදී කියල... මට ඒ වරද හදා ගන්න උදව් කරන්න තාරා....මෙච්චර ළඟින් හිටපු ඔයත් මාව අත ඇරියොත් මට කවුද ඉන්නෙ තාරා..."


මගේ හඬ බිදී ඇස් වලට කඳුළු පිරුණි.මහා සුසුමක් පිට කලා මිස තාරා එයට කිසිවක්ම කිවේ නැත.


" අපි දෙනුවන් Meet වෙන්න යමු තාරා "


" බලමුකො මම එන්නං වෙලාවක "


ඇය කීවේ ඕනාවට එපාවටය.ඇගේ මේ වෙනස දරා ගනන්ට තරම් ශක්තියක් මට තිබුනේම නැත.එහෙත් මේ සියල්ල දරාගන්නවා ඉවසනවා හැරෙන්නට මට කරන්න අන් යමක් තිබුනේත් නැත.


ඉතින් දවස් ගෙවි ගෙවී ගොස් දෙසැම්බර් 22 දාට ඉර ඇහැරුණි.කවදා නාවත් අද තාරා මෙහෙ එන බව මා ඉඳුරාම දැන සිටියෙමි.ඒ මා එක්ක කොපමණ අමනාප වුනත් අනුහස් අයියාගේ උපන් දිනය ඈ අමතක නොකරන බව මා දනිමි.කොයි මොහොතේ හෝ පැමිණ වෙනදා මෙන්ම විහිළුවක් කර මා අවුස්සා ඈ සිනා සෙනු ඇත.ඇගේ ඇසුර නැතුව ගෙවුනු දවස්වල දුක තුනී වී සියුම් සතුටක් හිත පුරා දිව යන්නට විය.ඒ උද්දාමයෙන් මා බොහෝ දවසකට පසු පහළට බැස් මිඳුළේ ඇවිදීමි.


සේපාලිකා ගස යට බංකුවේ වාඩි වී මම පාර බලා සිටියෙමි.මට රවමින් ඔරවමින් තාරා ගේට්ටුවෙන් ඇතුළු වෙන හැටි මා මවා ගතිමි.එක පාරටම අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් අපේ ගේට්ටුව ළඟ මහා හඩක් නංවාගෙන නතර විය.මගේ දෙනෙත් මට බොරු නොකරන්නේනම් ඒ දෙනුවන්ගේ බයිසිකලය හා දෙනුවන්ය.ඔහුට පිටු පසින් පිටට හේත්තු වී ඔහුගේ ළය බදා සිටියේ තාරාය.බංකුවෙන් නැගී සිටගත් මා එහෙමම ආයෙත් බංකුව මත ඉන්දවිනි.


වෙන්නට යන්නේ මොනවදැයි නිනව් නැතුව මා බලා සිටියෙමි.හෙල්මට් එක ගලවා ඒ අකීකරු කෙස් රොද පසට දමමින් දෙනුවන් මා හා සිනාසුණි.තාරා බැස ගේට්ටුව හැර මා ලඟට පැමිනෙයි.


" කවී Sorry අනේ අද හවස අනුහස් අයියාගේ Part එකට මට එන්න වෙන්නේ නෑ හොදේ අපිට ගමනක් යන්න වෙලා... මං අනුහස් අයියට Wish කියලා කියලා ඔයා කියන්නකෝ හොදේ...දෙනුවන් බලාගෙන ඉන්නව කෙල්ලේ අපිට පරක්කුයි අපි යනවා හොදේ...."


සවන් අදහාගන්නට නොහැකිව මා බලා සිටියෙමි.යන්නට ගිය තාරා ආපසු හැරුණි.


" මේ... අනුහස් අයියට කියපං Wedding එක ලෑස්ති කරන්න කියලා මම දෙවෙනි මනමාලයා හොයා ගත්තා..."


ඇසක් ඉඟිමරා ඇය කීවේ වෙනදා මෙන්ම සැහැල්ලුවෙනි.සිනාසී අත වනා ඇය ගොස් යතුරු පැදියට ගොඩ විය ආවාක් මෙන්ම වේගයෙන් එය ඉගිල්ලුණි.දෑස් නිලංකාර වී සියල්ල මා වටා බ්‍රමණය වෙන්නාක් මෙන් මට දැනුණි.නැත මෙය සිහිනයකි මා මේ දුටුවේ සිහිනයකි.දෑස් පිහදා මම සිහි එළවා ගන්නට තැත් කලෙමි.කෑගසා හඩනන්ට ඕනෑ වීද මගේ මුව අගුල් වැටී ඇති සෙයකි.තාරා ඔයා මට මොකක්ද මේ කලේ තාරා... මා මගේම කෙස් රොද වැරෙන් ඇද ගතිමි. පපුවට දෑතින්ම ගසා ගතිමි.


" මේච්චර දවසක් මාව මග ඇරියේ ඔයා මේ හපන් කම කරන්නද තාරා... මට .. මට... මෙච්චර නපුරු කමක් කරන්න තරං ඔයා නපුරු උනේ කොහොමද තාරා...එයා එක්ක මං ඉස්සරහට එන්න තරං හයියක් ... අනේ ඔයාට කොහෙන්ද තාරා...."


මිඳුලේ ඇද වැටී මා පොළවේ හැපි හැපී හැඬුවෙමි.


" අනේ ආයෙත් හරවන් ඇවිත් මට කියල යන්න මේක විහිලුවක් බොරුවක් කියල....ඔයා මට මේ දෙනුවන් මුණ ගස්සපු හැටිද තාරා...ඔයාට බෑ මට මෙහෙම කරන්න යාළුවේ... ඔයාට බෑ... බෑ..."


අසන්නට කෙනෙක් අහල පහලක නොවුනද මම තනියම කියවමින් කෑ ගැසුවෙමි.මේ ද්‍රෝහීකම ඉවසනන්ට තරම් මේ හිතට හයියක් නැත.ආයේ මේ ඇස් වලින් එවන් දසුනක් දකින්නට මා ජීවත් විය යුතුද නැත.


" ඔය දෙන්නට සතුටින් ඉන්නනම් මට මැරෙන්නම වෙනවා තාරා..."


සැනින් මා නැගී සිට ගතිමි.සිතට ආවේ එකම සිතුවිල්ලකි. මා පිම්මේ ගෙට දුව ගියෙමි.සාලයේ ස්ටූල් එක මත අඩක් නිම කල අම්මාගේ එම්බ්‍රොයිඩර් මැස්මක් විය.ඒ අසලම තිබූ නූල් කපන පුංචි කතුර මා දෑසට අසු විය.එවන් දසුනක් දැකි මේ ඇස් තවත් නම් වැඩක් නැත.මහා හඬින් හිනැහෙමින් මා ඇස් දෙකම පසාරු වෙන තුරු කීප වරක් කතුර එහා මෙහා ගෙන ගියෙමි.සාලයේ තිබූ මාලු ටැංකියත් පෙරලා ගෙන මා ඇද වැටෙනවා මට යාංතමට මතකය.ඉතිං එපමණකි.

~~ මතුසම්භන්ධයි ~~

May 15, 2012

දෙනුවන් අනුහස ... අටවන සජ්ජායනාව

දෙනුවන් අනුහස 1

දෙනුවන් අනුහස 2

දෙනුවන් අනුහස 3

දෙනුවන් අනුහස 4

දෙනුවන් අනුහස 5

දෙනුවන් අනුහස 6

දෙනුවන් අනුහස 7




විහඟ වේගයෙන් ඉගිල්ලිච්ච කාලය හරි ඉක්මනට දෙසැම්බර් පාසල් නිවාඩුවට ළං උනා.ඒ නිවාඩුවට තාරා ඔවුන්ගේ බණ්ඩාරවෙල මහ ගෙදර යන්න කලින්ම සූදානම් වෙලා හිටියෙ.


" තාරා.... අනේ දවස් දෙක තුනකින් එන්නකෝ අප්පා...සති ගානක් එහෙ ඉදලා මොනා කරනන්ද.... මටත් මෙහෙ පාලුනේ අනේ...."


" යකෝ මේක හරි වැඩක්නේ...උඹ නිකං හරියට අම්මගේ සාරි පොටේ එල්ලෙන පොඩි එකෙක් වගේනේ මගේ ඇගේම එල්ලෙන්න හදන්නේ...මටත් පොඩි නිදහසක් දියන්කෝ වදේ...."


" ආ...පෝ.... එල්ලෙන්නම බඩ්ඩ...හරි එතකොට උඹ සුදු අයියගෙ Birth Day එකට එන්නෙත් නැද්ද...ඇයි උඹට අමතකද 22 එයාගේ Birth Day කියලා....?"


" හුටා..... මට ඒක අමතකම උනානේ... හරි .. හරී... කොහේ හිටියත් මම එදාට මෙහෙ ඇති ඔන්න "


එදාට ඉදලා විතරක් මොකටද... මට උඹ ඕනේ ඊට කලින්... බලපං.. මේ පාර Gift එක ගන්නත් මට තනියම යන්න වෙනවා..."


" ඔව් ඔව් දැන් ඉතින් උඹ ඒවා තනියම කරගනින් මාව කන්න ඉන්නේ නැතුව...


මාව තරහා ගස්සන්න ඇය එසේ කීවද මට ඇය මෙන්ම ඇයටද මා නැතුව බොහෝ පාලු දැනෙන බව මා දනිමි.සැබෑවටම මිතුරු කමටත් එහා ගිය ළෙංගතු සහෝදර බැම්මක් අප අතර වේ.ඇය වන් යෙහෙළියක් ලබන්නට මා පින් කර ඇති බව මට සිතේ.


" මොනවද උඹට ගේන්න ඕනෙ බණ්ඩාරවෙලින්...."


" ම්ම්ම්ම්...... ලස්සන ලස්සන මල් ගොඩා...........ක්........ "


මා දෑතම දෙපසට විහිදුවා පැවසුවේ පුංචි එකියක් මෙනි.ආයෙත් අර ඉස්සරෝම දවස්වල හිතෙ තිබූ සැහැල්ලුව හිත වටා සැරිසරන බව මට දැනේ.එය ඇත්තටම සුභ නිමිත්තක්යැයි මට සිතේ.


" එච්චරද..."


" නෑ.... හිටපං.. තව එකක්....ම්ම්ම් බණ්ඩාරවෙල සීතලට හොද සුදුවට හැදිච්ච ලස්සන කොලු පොඩ්ඩෙකුත් එක්කන් වරෙන්...."


" ඇයි උඹලගෙ අම්මා වැඩට කවුරු හරි හොයනවද මේ දවස්වල..."


" වැඩට නෙවෙයි බං... කොලු පොඩ්ඩෙක් කිව්වට පොඩ්ඩෙකුත් නෙවෙයි...ම්ම්ම්ම්ම්..... වයස විස්සක විසිතුනක විතර එකෙක්..."


" ආ..... එහෙමද..... මොකටද දන්නේ නෑ නේද..."


තාරා කිසිවක් නොතේරෙන තාලෙට ඇද පැද ඇසුවේ අහක බලාගෙනමය.


" වෙන මොකටද ඉතින් මගේ දෙවෙනි මනමාලයාට ගන්න මිසක්.. "


" මේ මේ දෙවෙනි මනමාලයා ගැන උඹ වද වෙන්න එපා මම ඒක බලාගන්නම්...උඹ මනමාලයාව ලෑස්ති කර ගනින්කෝ....."


තාරා එසේ කිව්වේ අත රැදි බැට්මින්ටන් පිත්තෙන් මගේ පිටට පහරක් ගසන ගමන්ය.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


ඉතිං ඈ යන්නට ගියේ 22 උදෑසනින්ම එන පොරොන්දුව මට දීය.තාරා ගිය පසු හුදකලා වන්නට දඟලන හිත මා වැර වෑයමින් ඇදගෙන විත් මොන මොනවා හෝ කරන්නට පොළබවමි.ඇත්තටම මේ හිත හුදකලා වනවාට මම බොහෝ සේ බියවීමි.මේ වසර අවසානය නිසා ආයතනයේ රාජකාරි වලට වෙනදාට වඩා හිරවී අනුහස් අයියාද තරමක් කාර්යබහුල විය.ඒත් ලැබෙන හැම ඉඩකදීම මගේ ළඟම ඉන්නටත් වෙනදාටත් වඩා මා හා දොඩමලු වෙන්නටත් ඔහු නිරන්තර වගබලා ගති.


අනුහස් අයියාගේ උපන්දිනයට මෙවර මා ගන්නේ මොනවාදැයි දවස් ගානක් තිස්සේ මම කල්පනා කලෙමි.ඉස්සරනම් මා සුදු අයියාගේ උපන්දිනයට මාස ගණනාවක් තිස්සේ හීන මවමි... මට ලැබෙන පොකට් මනී වලින් කීය කීය හෝ අයින් කරමි.අනුහස් අයියාගෙන් හෝ අම්මාගෙන් එක වර මුදල් ඉල්ලා ගෙන මොනවා හෝ ගන්නවාට වඩා මම ඒ ක්‍රමය ප්‍රියකලෙමි. මා පරිස්සමින් ඉතුරු කල මුදලක් නිසා මා හම්බ කල මුදලක් තරමටම එය මට අගේය.එවන් මුදලකින් අනුහස් අයියාට දෙන තිළිණය තවත් අගේය.අනුහස් අයියාට හොරෙන් තාරාවත් එකතු කරගෙන වරු ගානක් කඩ සාප්පු වල ඇවිද මා උස්සාගෙන එන පුංචි පුංචි විසිතුරු දෑ ඔහු දෝත පා පිලිගන්නේ මහ මෙරක් පරිදිය.මාව පරිස්සම් කරනා තරම් ආදරයෙන් ඔහු ඒවාද පරිස්සම් කරන බව ඔහුගේ කාමරයට පය තබන කාට උවද පෙනේ.


පහුගිය මාස ගණනාව පුරාවටම ජීවිතයේ සිද්ධ වුන යම් යම් දෙවල් වලින් සමහර දෙවල් වෙනස් උනිද සුදු අයියාගේ මේ උපන්දිනයද වෙනදා තරම්ම සොඳුරු එකක් කිරීමට මම ඉටා ගතිමි.උදේ පාන්දරම වැහි බීරමක් පෙනෙන්නට තිබුනද සීතල මීඳුමේම මම දිය නා සූදානම් වුනෙමි.එපාම කරපු දෙයනම් තනිව කඩ සාප්පු ගානේ රස්තියාදු වීමට ඇති අකමැත්තය.තාරාට හිතින් බැන බැන මා ඇදුමක් සෙවීමි.මොන හේතුවකට හෝ අද මගේ අත වගේම හිත රැදුනෙත් විළුඹ තෙක්ම දිග රෝස පසුබිමේ සුදු මල් වැටුණ සාය වෙතය.සුදු අත්දිග බ්ලව්ස් එකක් එයට ගලපා තෝරා ගත් මා එය වතට තබා හැඩ බැලීමි.හැමදාමත් අදින ඩෙනිමට වඩා මේ ඇදුම ලස්සනය පිළිවෙලය.එහෙත් මේ ඇදුම් එපා වන්නේ අයන් කරන්න මතක් වෙද්දීය.ඇදුම් මැදීම කම්මැලිම එපාම කරපු වැඩකි. කම්මැලිකම අමතක කර මා බොහෝ වේලාගෙන සීරුවට ඇදුම මැද ගතිමි.අම්මා කිරි එකත් ගෙන උඩට ආවේ මා සූදානම් වී පහළට බහින්න හිතද්දීමය.


" මගේ දූ සිගිත්තගෙ හැඩ අදනෙ මමත් දැක්කෙ....ලස්සනයි සුදු දූ... ඔයා මෙ ගොඩාක් කාලෙකින් සායක් ඇන්දේ....බලන්න කලිසමට වඩා මේ ඇදුම ඔයාට කොච්චර ලස්සනද කියල...."


මගේම වත කණ්නාඩියෙන් මට පෙන්වමින් අම්ම සතුටින් දොඩවයි.


" හරියට පුංචි සුරංඟනාවියක් වගේ "


කිරි එක අතට දී අම්මා මගේ හිස අත ගෑවේ එසේත් පවසමිනි.එය ඇසෙත්ම සියුම් කම්පනයකින් ම හිත සසළව ගියේය.කවදාවත් මගේ නමින් මා අමතා නැති කෙනෙකුන් මට ඉදහිට හෝ කතා කරද්දී කීවේ ඔය නමය.අමතක කරන්න හදන ඒ ඇස් තප්පරයකට දෙකකට හිතේ එහා මෙහා වී නොපෙනී ගියේය.


" අම්මා ඔන්න සුදු අයියට කියන්න එහෙම එපා මම එයාට Gift ගන්න ගියා කියලා හොදේ.... මේ සැරෙත් මම එයාව පුදුම කරනවා බලන්නකෝ....."


" හරි හරී වෙනදා වගේ රස්තියාදු ගහනවා නෙවෙයි දවසම ..... යන එක තැනකින් සේරම අරන් එන්න...."


අම්මා මා ඇරලවන්නට ගේ දොරකොඩට ආවේ නානා ප්‍රකාර උපදෙස් දෙමිනි.


" වහින්න වගේ දරුවෝ.... කුඩයක්වත් අරන් යන්න..... "


" අනේ අම්මා කුඩ එපා..... ඕක ගෙනිච්චට මම කවදාවත් ඉහලන්නේ නෑනේ...මම වැස්සට කලින් එන්න බලන්නම් පරක්කු වෙන්නෙ නෑ අම්මා...."


බොහෝ කලකට පසු තනිව ගමනක් යාමට එලියට බැස්ස නිසා අමුතු නුහුරු ගතියක් මට දැනුණි.මාස ගනනාවකින් මේ පාරේ මා තාරා සමගවත් පයින් ගියේ නැත.පහුගිය මාස වල අප පන්ති ගියේත් පාසල් ගියේත් අනුහස් අයියාගේ කාරයෙන් හෝ කුලී රථ වලිනි.ඒ වෙන කාගෙවත් නොව මගේම උවමනාවටය.බිම බලාගෙනම බස් නැවතුම දක්වා ආ මා යන්නේ කොහාටදැයි සිතා ගන්නට බැරුව මොහොතක් කල්පනා කලෙමි.තාරා උන්නානම් වෙනදා මෙන්ම මා යන්නේ නුගේගොඩය.එහෙත් නුගේගොඩ යෑමට තරම් හයියක් මට නැත.ඒ කොහේදී හෝ අර ඇස් දැක මා නැවත අතරමං වෙතැයි මම බියවීමි.ඒ ඇරත් හුරු පුරුදු නුගේගොඩ නගරයේ අපේ සැමරුම් ඕනාවටත් වැඩිය.නුගේගොඩ සරසවියට යන්නට තිබූ උවමනාව අමතක කර මම බම්බලපිටියට යෑමට තීරනය කලෙමි.මා මේ සැගවෙන හදන්නේ මගේම සිතින්ය. මා මේ බිය වන්නේ මගේම සිතටය.තාරා හැමදාම කියන්නාක් මෙන් මෙය පිස්සුවකි.ලංකාවෙන් පිටවන තුරු ඒ ඇස් ආයේ මට මුණ නොගැසේවායි මා උදේ හවා දෙවියන්ට කියන බව මේ කවුරුවත් දන්නේ නැත.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

බම්බලපිටියේ Majestic City අසලින් බසයෙන් බසින තුරුම මා උන්නේ නිමක් නැති සිතුවිලි ගොන්නකය.වෙලාව උදෑසන දහය පමන වීද හත්පස පුරාම ඇත්තේ සැන්දෑවේ හය හත තරම් අඳුරකි.කොයි මොහොතේ හෝ මහා වැස්සක් වැටෙතැයි මටද දැන් සිතේ.තුනී සීතළක් එක්ක හමන වේගවත් සුළං මගේ කොණ්ඩය පමණක් නොව දිගට දිගේ හැද උන් සායද අරන් යන්නට මෙන් දඟළයි.මම දෝතින්ම සාය බදාගෙන MC එක ඇතුලට දිවිමී.

උඩටත් පහලටත් පස් හය වතාවක්ම ගොස් මා අනුහස් අයියා වෙනුවෙන් නොයෙක් දෑ මිලදී ගතිමි.අවසානයේ මා ගියේ ඔහුට සුභ පැතුම් පතක් තේරීම සදහාය.කොහොමත් කවදත් කාට සුභ පැතුමක් තෝරන්නට ගියද මට ඒ සදහා අඩුම ගානේ පැයකට එහා කාලයක් යයි.නානා ප්‍රකාර සුභ පැතුම් පත් අතරේ ම හිත අතරමං වේ.ඒවා එකින් එකට කියවා බලන්නද මට වෙනම කාලයක් යයි.


" මිස් බලන්න ඔය හැම එකටම වඩා මේක ලස්සනයි නේද කියල..."


මදක් පාත්වී රාක්කයක Cards තොරමින් උන් මගේ උරහිසට උඩින් දැමූ අතකින් සැබෑවටම සොඳුරු ප්‍රේමණීය සුභ පැතුම් පතක් මට දිස්විය.


" Thanks "


එය මා අතට ගත්තේ හුරු පුරුදු සුවඳක් හාත්පස සිසාරා හමද්දී එය හදවතට විඳ ගන්නට ඉඩ දෙමිනි.සැනෙකින් මට යමක් සිහිවිය.කටහඬ වෙනස් කර වුවද ඒ කතා කලේ ඔහුම බව ඒ ඔහුගේම හඬ බව සිහිව මා දෙපා වෙව්ව්ලුම් කන්නට විය.වායුසමීකරනයෙන් මහා සීතලක් ආවද තප්පරයෙන් දෙකෙන් මා දහඩියෙන් නෑවිනි.හදවත විනිවිද යන ඒ සුවඳ කියන්නේ තවමත් ඔහු මෙතැන බවය.මා හිමිහිට හැරී බැලුවෙමි.ඉතින් එය සිහිනයක් නොව සැබෑවකි.ඒ ඇස් ආයෙම මා ඉදිරියේ වේ.අදත් මා ඒ දෙනුවන් ළඟ පරාද වේවියැයි මට සිතේ.අප අතර ඇත්තේ අඩි හතරක පහක පරතරයකි.නොදැක උන් කාලයේ ඔහු තවත් ලස්සන වී ඇතැයි මට සිතේ.මොනවා අහන්නද කියන්නද නිනව් නැතුව මා ඒ ඇස් දෙස බලා සිටියෙමි.මාස ගනනාවක් තිස්සේ මා මේ ඇස් වලින් වසන් වී ඔට්ටු ඇල්ලුවේ මෙසේ ඒ ඇස් ළඟ නිරාවරණය වන්නටද.....? දෙනුවනුත් දොඩන්නට වචන නැතුවාක් මෙන් පුදුමයෙන් මෙන් මදෙස බලා සිටී.මා වට පිට බැලුවේ පිහිටට කවුරුන්ම හෝ ඇතැයි සිතාය. එහෙත් අද දෙනුවනුත් මා මෙන්ම තනිවම මෙනි.


" කොහොමද...... කෝ තාරා නැද්ද අද....."


ඒ මහා නිහඬ තාවය බිදිමින් දෙනුවන් දොඩමලු විය.


" න්...නැහැ..... තාරා ගමේ ගියා......"


" ආ... එහෙනම් අද සුරංඟනාවී තනියම මනු ලෝකෙට වැඩලා තියෙන්නෙ...."


දෙනුවන් කීවේ සැහැල්ලුවෙන් සිනා සීය.


මා බිමට සිනා සී ඉවත බලා ගතිමි. ඔහු මෙන් සැහැල්ලුවෙන් මට ඉන්නට බැරි හැටි.


" මම දැකපු වෙන කවදටත් වඩා අද ලස්සනයි ඔයා.... හරියට විශාඛාව වගේ..."


හිටි හැටියේ දෙනුවන් කී දෙයින් මගේ දෙකම්බුල් වලට ලේ පිරුණි.දෙනුවන් මේ මා සායකින් සැරසී ඉන්නවා දුටුවාමය.අද මට බොහෝ කලකට පසු සායක් අදින්නට සිතුනේ මේ හමුව අපේ ඉරණමේ කලින් ලියා තැබූවක් නිසාමද....? මේ ඇස් වලින් වහං වෙන්න මා මොන තරම් දෙවල් කලාද... නුගේගොඩ ගියොත් අහබෙන් හෝ දෙනුවන් මුණගැසෙතැයි සිතා ඒ ගමන අත් හැර මෙහෙ ආවේ ඔහු නොදකින්නට නොවේද....ඉතින් දැන් කිසි ලෙසකින් හමුවේයැයි නොසිතූ තැනක ඔහු මා ඉදිරියේය. දෛවය මේ කරන සෙල්ලම හෙට සිටන් ආයෙත් මගේ ජීවිතයට සාපයක් වෙනවා නොවේද...

" මොනවද ඔච්චර කල්පනා කරන්නේ.... මං කොහොමද බුදුන්ගෙ කාලෙ හිටිය විශාඛාව දන්නේ කියලද...."


ඔහු කී දේට මට සිනහ නොවී සිටිය නොහැකි විය.හිතුවාටත් වඩා සිනහවක් මා මුව මත විසිරුණි.මගේ සිනහව දෙස දෙනුවන් ආශාවෙන් බලා සිටිනවා මා දුටිමි.ඇයි පන්ති එන්නේ නැත්තේ යැයි ඔහු නිකමටවත් මගෙන් ඇසුවේ නැත. මා හිතුවේ මේ වල් පල් වලට කලින් ඔහු එය අසාවී කියාය.එහෙත් දෙනුවන්ට එය ගානක්වත් නැත.මා පන්ති ආවත් නාවත් ඔහුට විශේෂයක් නැත. අනේ මටත් ඔහු මෙන් වගක් නැතුව ඉන්නට ඇත්තනම්......


" කාටද Birth Day Card අනුහස් අයියටද...."


ඔහු ඇසූවට මම හිස වැනීමි.


" දැන් කෝකද තෝරගත්තේ...."


ඔහු තෝරා දුන් Card එක එතනින් ලස්සනම අපූර්වතම සුභ පැතුම උනිද මා එය රාක්කයේ තබා වෙනකක් අතට ගතිමි.


" ඔයාගේ හිත ඉල්ලන දේ ඇස් වලින් පේන්නෙ නැත්තං මට ඔයාගේ තේරිම හරි කියලා පිලිගන්න තිබුනා "


දෙනුවන් එසේ පවසා පොත් රාක්ක අතර නොපෙනී ගියේය.මොහොතක් දෙකක් මා තුශ්නිම්බූතව ඒ කී දේ යලි යලි මතක් කර බැලුවෙමි.ඔහු කීවේ Card තේරීම සම්භන්ධව උනිද මම එය මගේ මුලු ජීවිතයම ඈදාගෙනමම මහා සුසුමක් පිට කලෙමි.අනේ දෙනුවන් මගේ ඇස් බලා හිත කියවන්නට ඔබටත් හැකිද....?


මා වට පිට ඇස් යවා ඒ රුව නැවත සෙවීමි. ඔහු නොකියාම යන්නට ගිහින්වත්ද....ආයෙම කඩාවැටෙන්නට ඔන්න මෙන්න තිබුණු හිත වත්තන් කරගෙන මම මුදල් කවුන්ටරයට ගියෙමි.වහා මෙතැනින් පිටව යාමේ උවමනාවකින් මම දැවෙමින් සිටියෙමි.මා සිතුවා වැරදිය දෙනුවන් තවමත් Book Shop එක තුලය. ඔහු කවුන්ටරය අසලම ඇති පුංචි පුංචි සතුන්ගෙන් නිම කල Key Tag තෝරමින් සිටී.මා ඔහු නොදුටුවාක් මෙන් මුදල් ගෙවා එන්නට සැරසුණෙමි.මා සාප්පුවෙන් එලියට අඩිය තියද්දීම දෙනුවන් විත් මා එක්කම පෙළට වැටුණි.


" එලියට ආවට මැඩම් දැන්ම ඔයාට යන්නනම් වෙන්නේ නෑ...."


මම කුතුහලයෙන් ඒ මුහුන දෙස බැලුවෙමි.


" ඇහෙන්නැද්ද එළියේ සද්දේ...."


මා නැවතත් දෙනුවන් දෙස බැලුවේ ඔහු මොන විකාරයක් කියවනවාදැයි හිතා ගනන්ට බැරුවය.


" මෝඩියේ..... එළියේ හෙන ගගහා වහිනවා...."


දෑතම කලිසමේ පිටිපස සාක්කු දෙකට ඔබාගෙන දෙනුවන් සැහැල්ලුවෙන් පියවර තැබුවේ එසේ කියමිනි.මම කන් දුනිමි.සැබෑය ,ඈතින් ගෙරවිල්ලක්ද සමඟ මහා අනෝරා වැස්සක සිළි සිළිය එක සීරුවට ඇසේ.මේ තරම් මහ වැස්සක හඬ නොඇසෙන්නට තරම් මම බිහිරි වී සිටියාදැයි මට සිතේ.


" දැන් පැයකට වැඩී වැස්ස පටන් අරන්... මම මේකට රිංගුවෙත් වැස්සෙන් බේරෙන්න... මම දැක්කා දෙපාරක් තුන්පාරක්ම සුරංඟනාවියක් උඩට පහලට යනවා... මම උඩට ආවේ අතරමං වෙලානම් උදව්වක් කරන්න හිතාගෙන..."


වෙන කවරදාවත් මා දැක නැති සැහැල්ලුවක් ඒ හඩේ වේ.ඔහු කියන හැම දෙකටම සිනාසුනා මිස මට යමක් අසන්නටවත් කියන්නටවත් නිනව්වක් නොවීය.ජීවිතයේ පළවෙනි වතාවට ඔහු මා සමඟ සමාන්තරව පියවර තබයි.නපුරු කමක් නොපෙන්නා දඩබ්බර කම් සඟවා මා සමග දොඩමලු වෙයි.බොහෝ ළඟින් ඒ කොලුකාර සුවඳ මට දැනේ.ඔහුත් සමඟ මා කාටත් හොරෙන් තැනූ සිහින ලෝකයේ මෙවන් අපූරු දවස් කොච්චරක්නම් තිබුනාද....හදවතේ ගැඹුරුම තැන වල දැමූ ඒ සොඳුරු සිත්තම් ආයෙමත් ගොඩට ගෙන හඬන්නට මේ දෛවය මට ඉඩ සැලසූ හැටි....


දොරටුව දක්වාම කතා නැතිව ඇවිදන් ආ අපි ඉඩ ඇති තැනකට වීමු.වැස්සෙන් බේරෙන්නට දුව ආ මහ පිරිසක් ඇතුලේ විය.ගාලු පාර නොපෙනෙන තරමටම පිටත වැසි වටේ.හාත්පසම ඇත්තේ මහා අඳුරකි.අනේ කීයට ගෙදර යන්න වේවිදැයි සිතා මට හීල්ලුනි. මම දෙනුවන් දෙස බැලීමි ඔහුට වගක්වත් නැත මහා වැස්ස දෙස බලාගෙන ඔහු කල්පනාවකය.ඔහුට හොරෙන් මා සිත් සේ ඒ ඇස් දෙස බලා සිටියෙමි.ඒ අසාමාන්‍ය නිල් පැහැය දෙවදූතයන් විසින් ඇස් වල තවරා ගියාදෝයි මට සිතේ.හීන් කඳුළකින් මගේ ඇස් බොඳ වෙන තුරුම මම ඒ ඇස් දෙස බලා සිටියෙමි.


" මොනවද ඔච්චර බලන්නේ..."


බිඳකදු එහාමෙහා නොවී ඒ හිටි ඉරියව්වෙන්ම හිද හිටි හැටියේ දෙනුවන් විමසීය. මට මහා ලැජ්ජාවක් දැනුණි.ඔහු හොරෙක් මෙන් සියල්ල බලා සිටින්නට ඇත.


" ඔයාගේ ඇස් දෙක ගෑනු ළමයෙක්ට තිබුනනම් කොච්චර ලස්සනද කියලා බැලුවේ..."


ඔහුගේ දෑස් දැකි මුල්ම දවසේ මට සිතුන දේ මා එසේ කියා දැමීමි.දෙනුවන් ලස්සනට සිනහ විය.ඒ ඇස් තරමටම ඒ සිනහවද මා මන්මත් කරන තරම්....


" අම්මෝ... ගෑනු ළමය මෙච්චර කාලෙකට මාත් එක්ක කතා කරපු දිගම වාක්‍යද කොහෙද මේ කතා කලේ..."


ඔහුට නම් හිනහය. ඒත් ඒ ටික ගැට ගහගන්නට මා සිතින් කල සටන දන්නේ මාය.මහා වීර කමක් කලාක් මෙන් මට දැනුණි.ඒ උද්දාමයෙන්ම මා හාත්පස බැලීමි. බලන බලන තැන වැඩිපුර ඇත්තේ පෙම්වත් ජෝඩුය.මේ වැස්ස මේ සීතල ඔවුන්ට ආශීර්වාදයක් මෙනි.ඔවුනොවුන්ට තුරුළුව ඔවුන් ඔවුන්ගේම ලෝක වලය.බලූ බැල්මට අප දෙදෙනාත් පෙම්වතුන්යයි ඔවුන් සිතනවා ඇත.මේ තරම් දුරින් ඉන්නේ අපි මොනවාට හෝ උරණ වී යැයි දකින බලන අයට සිතෙනවා නොඅනුමානය.සමහරක් අප දෙස බලා හොරෙන් හොරෙන් කුටු කුටු ගානවා මා මෙන්ම දෙනුවන්ද දකින්නට ඇත.බොහෝ කෙල්ලන් තම පෙම්වතා ළඟ සිටියද දෙනුවන් දෙස හැරි හැරී උවමනාවෙන් බලනවාද මම දුටිමි.ඒ ඔහුගේ කඩවසම් බවට වශීවී බව මා දනිමි.


සැනෙකින් මුලු පලාතම දෙදරවමින් ළඟ ළඟම මහා හඬින් අකුණක් පුපුරා ගියේය. ඒ සමඟම විදුලිය ඇන හිට විදුලි පහන්ද නිවුණි.අපට එහා පස උන් කෙල්ලන් රොත්තක් මහා හඩින් කෑගසමින් එකිනෙකා වැළඳගන්නට විය.මම එහෙමම උන් තැනම ගල් ගැසුණි.ගෙරවිල්ලට විදුලි කෙටීමට මා පුංචි සංදියේ සිටම පුදුමාකාර විදියට බියය.දන්නා කෙනෙකුන් අහල පහලක උන්නනම් මා මේ වන විට ඒ කෙනාගේ බෙල්ලේ එල්ලී කොහේ හෝ හිස සගවාගෙනය.එසේ නිදහස් වෙන්නට අවකාශයක් නැතුව මගේ අත පය දරඳඩු වෙනවාක් මෙන් මට දැනේ.සට සට ගා මා වෙව්ලන්නට වීමි.


" සුරංඟනාවී.... ඇයි මේ...."


කතාවක් බහක් නැතුව ගල් වුන මා දෙස දෙනුවන් පුදුමයෙන් බලන්නට ඇත.දෑසේ වැටෙන්නට ඔන්න මෙන්න තියෙන කඳුළකින් මිස ඔහුට උත්තර දෙන්නට මා ළඟ වචන නැත.වහා අඩියක් පෙරට තබා මාළඟට ආ දෙනුවන් මගේ වමත තර කොට අල්ලා ගති.අර එළියේ පිපිරුවාට වඩා සද්දෙට හිතේ අකුණු විසි තිස්දහසක් එක වර පුපුරන්නාක් මෙන් මට දැනුණි.දුක වේදනාව බය සතුට විශ්මය ආදරය ආරක්ශාව මෙකි නොකී හැම හැගීමක්ම කැටිවුණ සිතින් මාතින් ඒ අත තව තවත් කිටි කිටියට සිරවුනි.දෙනුවන්ගේ දකුණත මගේ උරහිස මතට වූයේත් මා පරඬලාවක් මෙන් පාවි විත් ඒ පපුව මත වැටුනේත් එකම විටය.


" ඔයා බය වෙලා...... ගොඩා....ක්......"


දෙනුවන්ගේ හඩ සිහිනෙන් මෙන් මට ඇසී නෑසී ගියේය.මගේ ළය තරම්ම වේගයෙන් ඒ ළය මඩළද ගැහෙන හඩ මට ඇසේ.ජීවිතයේ කිසිමදාක නොවිඳි මිහිරක් තිගැස්මක් මාපටඟිල්ලෙන් පටන් ගෙන හිස් මුදුන දක්වා එක සීරුව දිව යයි.මෙහෙමම මෙතැනම මිය යනවානම් සැපකැයි මට සිතේ.ඉතින්නම් මෙය සිහිනයක් වූ සැබෑවකි.මගේ කඳුළින් ඒ පපුව තෙත් වන්නට ඇත.දෙනුවන් මගේ ම යැයි මා අයිති මේ පපුවටම විතරයයි වෙන කවරදාටත් වඩා තදින් මට දැනෙන්නට විය.අර තරම් දඩබ්බර හිතුවක්කාරයා ළඟ මේ තරම් ප්‍රේමණීය උණුහුමක් වෙතැයි මටම විශ්වාස නැත.එකම තාලයට සංයමයට ඒ දිගු ඇගිළි මුදාහල මගේ කෙස් රොද අතරින් එහා මෙහා වෙනවා මට දැනේ.ඉතින් උදාවන ඊළඟ තප්පරයේ මොනවා උනිද මා මේ උණුහුමට ගුළිව තුරුළුව මේ සෙනෙහස විදිමි.

" අඬන්නෙපා...... දැන් සේරම හරි......"

දෙනුවන් කොඳුරා මෙන් කීවේ කොපමණ වෙලාවකට පසුවදැයි මා දන්නේ නැත.පියවි ලෝකයට එන්නට මට උවමනාවක් නොවූ මුත් මම සිහි එළවා ගන්නට උත්සහ කලෙමි.තවම වැසි වැටෙන හඩ ඇසෙන මුත් අන් සියල්ල සංසුන්ය.මට අම්මා සිහිවිය අනුහස් අයියා සිහි විය මහා වරදක් කල එකියක සේ මා භීතියට පත්වීමි.වෙන පිරිමියකුගේ පහසට නතුව අනුහස් අයියාට මා ගෙවා දමන්නට බැරි තරමට ද්‍රෝහී වී ඇති බව සිහිව මට හුස්ම පවා හිර විය.ඊටත් හිස ඔසවා දෙනුවන්ගේ මූණ බලන්නට මට දැන් පුලුවන් කමක් නැත.දෝතින්ම මුහුණ වසාගෙන මා ඒ පපු තුරුලෙන් මෑත් වීමි.ඒ මුහුණ බලන්නටවත් තව මොහොතක් හෝ එතන රැදෙන්නටවත් මට ඉතින් දිරියක් නැත.දෝතින් මුහුන වසා ගෙනම මා එක සැනින් අහල පහල උන් අයද පෙරලාගෙන එලියට දුව ගියෙමි.කලින් තරම් නොවුනද තවමත් වැසි වටේ.කුඩයකින්වත් යන්නට බැරි වැස්සේ මා හඩ හඩා දිව ගියෙමි.නොතෙමෙන්නට අගුපිල් වලට වී උන්න සියළු දෙනා මා දෙස පුදුමයෙන් බලන්නට ඇත.එහෙත් මට ඒ කා ගැනවත් වගක් නොවිනි. මා එක පිම්මට Liberty Plaza එක ඉස්සරහින් පාර පැන බස් හෝල්ට් එක ළඟ නැවතී වට පිට බැලුවෙමි.දියබත් වුන මට මෙසේ බසයක යා නොහැක.මේ විදියට පිස්සු විකාරෙන් මේ තරම් දුරක් ත්‍රීවීලයක යන්නට තරම් හයියක්ද මේ සිතට නැත.මට මා ගැනම මහා අනුකම්පාවක් දැනේ.එක වරම වෙගයෙන් ආ ත්‍රීවීල් එකක් මගේ ඉස්සරහ නවත්තන්නත් කලින් ඇතුලෙ හිටපු දෙනුවන් බිමට පැන්නේ මට කිසිවක්ම හිතන්නට ඉඩක් නොතියාය.

" නගින්න...."

ඔහු කීවේ ඒ තරම් හොද හඬකින් නෙවෙයි.

" එපා දෙනුවන්..... මම බස් එකේ යන්නම්....."

" මගේ යකා අවුස්සගන්නේ නැතුව එක පාරක් කිව්වම නගිනවා..."

ඒ හඬට මා තිගැස්සුණ තරම්... මේ ජිවිතයේ කවුරුවත් කවදාවත් මට කතා කර නැති තරම් නපුරුකමක් ඒ හඩේ විය.මට ඒ පපුවේම හිස ගසා ආයෙම හඩන්නට තරම් දුකක් දැනුණි.

" අනේ... දෙනුවන්... ම් මම මම...."

මට වචනයක් කියන්නටවත් ඉඩ නොතියා ඔහු පැන මගේ වැලමිට ළඟින් අල්ලා ඔහු ළඟට ඇද ගත්තේය.

" ගෑණු ළමයෙක් නේද.... ලජ්ජාවක් කියල එකක් තියෙනවද... වැස්සෙ තෙමෙන්න ඔච්චරටම ඕනෙනම් එකට සුදුසු ඇඳුමක් ඇදගෙන එනවා... බලනවා... වට පිට සේරගෙම ඇස් තියෙන්නෙ තමුසෙ ගාව..."

දෙනුවන් කී දේට මට එහෙමම පොලව හාරගෙන ගොස් සැගවෙන්නට තරම් ලජ්ජාවක් දැනුනි.මා මගෙම වත දෙසට නෙත් හෙලුවෙමි.රෝස පැහැ සිල්ක් සාය එහෙමම ඇගට ඇලී ඇත.සුදෝ සුදු බ්ලව්ස් එකද ඊට නොදෙවෙනිය.ගැහැණු වතේ හැම කෝමළ රේඛාවක්ම ඕනාවටත් වැඩියෙන් කැපී පෙනුණි.මහ පාරේ නිරුවත් වූවාක් මෙන් හැගීමක් මුලු හිතම අසරණ කලේය.මා දෑතින්ම ළැමැද වසා ගතිමි.දෙනුවන් මා අතින් ඇදගෙන විත් ත්‍රීවීල් එකට නැග්ගුවා නොව තල්ලු කලාය.හින්දි චිත්‍රපටියක දර්ශනයක් මෙන් සැවොම බලා සිටින්නට ඇත.මේ ප්‍රේමය නිසා හෑල්ලු වෙන මගේ ගැහැණු ආත්මය ගැන මම කම්පා වීමි.


            

                                                          මතු සම්බන්ධයි                                   
                                                                         

දිනූ මගේ යකෝව්....!

මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල්‍ ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...