සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

May 15, 2012

දෙනුවන් අනුහස ... අටවන සජ්ජායනාව

දෙනුවන් අනුහස 1

දෙනුවන් අනුහස 2

දෙනුවන් අනුහස 3

දෙනුවන් අනුහස 4

දෙනුවන් අනුහස 5

දෙනුවන් අනුහස 6

දෙනුවන් අනුහස 7




විහඟ වේගයෙන් ඉගිල්ලිච්ච කාලය හරි ඉක්මනට දෙසැම්බර් පාසල් නිවාඩුවට ළං උනා.ඒ නිවාඩුවට තාරා ඔවුන්ගේ බණ්ඩාරවෙල මහ ගෙදර යන්න කලින්ම සූදානම් වෙලා හිටියෙ.


" තාරා.... අනේ දවස් දෙක තුනකින් එන්නකෝ අප්පා...සති ගානක් එහෙ ඉදලා මොනා කරනන්ද.... මටත් මෙහෙ පාලුනේ අනේ...."


" යකෝ මේක හරි වැඩක්නේ...උඹ නිකං හරියට අම්මගේ සාරි පොටේ එල්ලෙන පොඩි එකෙක් වගේනේ මගේ ඇගේම එල්ලෙන්න හදන්නේ...මටත් පොඩි නිදහසක් දියන්කෝ වදේ...."


" ආ...පෝ.... එල්ලෙන්නම බඩ්ඩ...හරි එතකොට උඹ සුදු අයියගෙ Birth Day එකට එන්නෙත් නැද්ද...ඇයි උඹට අමතකද 22 එයාගේ Birth Day කියලා....?"


" හුටා..... මට ඒක අමතකම උනානේ... හරි .. හරී... කොහේ හිටියත් මම එදාට මෙහෙ ඇති ඔන්න "


එදාට ඉදලා විතරක් මොකටද... මට උඹ ඕනේ ඊට කලින්... බලපං.. මේ පාර Gift එක ගන්නත් මට තනියම යන්න වෙනවා..."


" ඔව් ඔව් දැන් ඉතින් උඹ ඒවා තනියම කරගනින් මාව කන්න ඉන්නේ නැතුව...


මාව තරහා ගස්සන්න ඇය එසේ කීවද මට ඇය මෙන්ම ඇයටද මා නැතුව බොහෝ පාලු දැනෙන බව මා දනිමි.සැබෑවටම මිතුරු කමටත් එහා ගිය ළෙංගතු සහෝදර බැම්මක් අප අතර වේ.ඇය වන් යෙහෙළියක් ලබන්නට මා පින් කර ඇති බව මට සිතේ.


" මොනවද උඹට ගේන්න ඕනෙ බණ්ඩාරවෙලින්...."


" ම්ම්ම්ම්...... ලස්සන ලස්සන මල් ගොඩා...........ක්........ "


මා දෑතම දෙපසට විහිදුවා පැවසුවේ පුංචි එකියක් මෙනි.ආයෙත් අර ඉස්සරෝම දවස්වල හිතෙ තිබූ සැහැල්ලුව හිත වටා සැරිසරන බව මට දැනේ.එය ඇත්තටම සුභ නිමිත්තක්යැයි මට සිතේ.


" එච්චරද..."


" නෑ.... හිටපං.. තව එකක්....ම්ම්ම් බණ්ඩාරවෙල සීතලට හොද සුදුවට හැදිච්ච ලස්සන කොලු පොඩ්ඩෙකුත් එක්කන් වරෙන්...."


" ඇයි උඹලගෙ අම්මා වැඩට කවුරු හරි හොයනවද මේ දවස්වල..."


" වැඩට නෙවෙයි බං... කොලු පොඩ්ඩෙක් කිව්වට පොඩ්ඩෙකුත් නෙවෙයි...ම්ම්ම්ම්ම්..... වයස විස්සක විසිතුනක විතර එකෙක්..."


" ආ..... එහෙමද..... මොකටද දන්නේ නෑ නේද..."


තාරා කිසිවක් නොතේරෙන තාලෙට ඇද පැද ඇසුවේ අහක බලාගෙනමය.


" වෙන මොකටද ඉතින් මගේ දෙවෙනි මනමාලයාට ගන්න මිසක්.. "


" මේ මේ දෙවෙනි මනමාලයා ගැන උඹ වද වෙන්න එපා මම ඒක බලාගන්නම්...උඹ මනමාලයාව ලෑස්ති කර ගනින්කෝ....."


තාරා එසේ කිව්වේ අත රැදි බැට්මින්ටන් පිත්තෙන් මගේ පිටට පහරක් ගසන ගමන්ය.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


ඉතිං ඈ යන්නට ගියේ 22 උදෑසනින්ම එන පොරොන්දුව මට දීය.තාරා ගිය පසු හුදකලා වන්නට දඟලන හිත මා වැර වෑයමින් ඇදගෙන විත් මොන මොනවා හෝ කරන්නට පොළබවමි.ඇත්තටම මේ හිත හුදකලා වනවාට මම බොහෝ සේ බියවීමි.මේ වසර අවසානය නිසා ආයතනයේ රාජකාරි වලට වෙනදාට වඩා හිරවී අනුහස් අයියාද තරමක් කාර්යබහුල විය.ඒත් ලැබෙන හැම ඉඩකදීම මගේ ළඟම ඉන්නටත් වෙනදාටත් වඩා මා හා දොඩමලු වෙන්නටත් ඔහු නිරන්තර වගබලා ගති.


අනුහස් අයියාගේ උපන්දිනයට මෙවර මා ගන්නේ මොනවාදැයි දවස් ගානක් තිස්සේ මම කල්පනා කලෙමි.ඉස්සරනම් මා සුදු අයියාගේ උපන්දිනයට මාස ගණනාවක් තිස්සේ හීන මවමි... මට ලැබෙන පොකට් මනී වලින් කීය කීය හෝ අයින් කරමි.අනුහස් අයියාගෙන් හෝ අම්මාගෙන් එක වර මුදල් ඉල්ලා ගෙන මොනවා හෝ ගන්නවාට වඩා මම ඒ ක්‍රමය ප්‍රියකලෙමි. මා පරිස්සමින් ඉතුරු කල මුදලක් නිසා මා හම්බ කල මුදලක් තරමටම එය මට අගේය.එවන් මුදලකින් අනුහස් අයියාට දෙන තිළිණය තවත් අගේය.අනුහස් අයියාට හොරෙන් තාරාවත් එකතු කරගෙන වරු ගානක් කඩ සාප්පු වල ඇවිද මා උස්සාගෙන එන පුංචි පුංචි විසිතුරු දෑ ඔහු දෝත පා පිලිගන්නේ මහ මෙරක් පරිදිය.මාව පරිස්සම් කරනා තරම් ආදරයෙන් ඔහු ඒවාද පරිස්සම් කරන බව ඔහුගේ කාමරයට පය තබන කාට උවද පෙනේ.


පහුගිය මාස ගණනාව පුරාවටම ජීවිතයේ සිද්ධ වුන යම් යම් දෙවල් වලින් සමහර දෙවල් වෙනස් උනිද සුදු අයියාගේ මේ උපන්දිනයද වෙනදා තරම්ම සොඳුරු එකක් කිරීමට මම ඉටා ගතිමි.උදේ පාන්දරම වැහි බීරමක් පෙනෙන්නට තිබුනද සීතල මීඳුමේම මම දිය නා සූදානම් වුනෙමි.එපාම කරපු දෙයනම් තනිව කඩ සාප්පු ගානේ රස්තියාදු වීමට ඇති අකමැත්තය.තාරාට හිතින් බැන බැන මා ඇදුමක් සෙවීමි.මොන හේතුවකට හෝ අද මගේ අත වගේම හිත රැදුනෙත් විළුඹ තෙක්ම දිග රෝස පසුබිමේ සුදු මල් වැටුණ සාය වෙතය.සුදු අත්දිග බ්ලව්ස් එකක් එයට ගලපා තෝරා ගත් මා එය වතට තබා හැඩ බැලීමි.හැමදාමත් අදින ඩෙනිමට වඩා මේ ඇදුම ලස්සනය පිළිවෙලය.එහෙත් මේ ඇදුම් එපා වන්නේ අයන් කරන්න මතක් වෙද්දීය.ඇදුම් මැදීම කම්මැලිම එපාම කරපු වැඩකි. කම්මැලිකම අමතක කර මා බොහෝ වේලාගෙන සීරුවට ඇදුම මැද ගතිමි.අම්මා කිරි එකත් ගෙන උඩට ආවේ මා සූදානම් වී පහළට බහින්න හිතද්දීමය.


" මගේ දූ සිගිත්තගෙ හැඩ අදනෙ මමත් දැක්කෙ....ලස්සනයි සුදු දූ... ඔයා මෙ ගොඩාක් කාලෙකින් සායක් ඇන්දේ....බලන්න කලිසමට වඩා මේ ඇදුම ඔයාට කොච්චර ලස්සනද කියල...."


මගේම වත කණ්නාඩියෙන් මට පෙන්වමින් අම්ම සතුටින් දොඩවයි.


" හරියට පුංචි සුරංඟනාවියක් වගේ "


කිරි එක අතට දී අම්මා මගේ හිස අත ගෑවේ එසේත් පවසමිනි.එය ඇසෙත්ම සියුම් කම්පනයකින් ම හිත සසළව ගියේය.කවදාවත් මගේ නමින් මා අමතා නැති කෙනෙකුන් මට ඉදහිට හෝ කතා කරද්දී කීවේ ඔය නමය.අමතක කරන්න හදන ඒ ඇස් තප්පරයකට දෙකකට හිතේ එහා මෙහා වී නොපෙනී ගියේය.


" අම්මා ඔන්න සුදු අයියට කියන්න එහෙම එපා මම එයාට Gift ගන්න ගියා කියලා හොදේ.... මේ සැරෙත් මම එයාව පුදුම කරනවා බලන්නකෝ....."


" හරි හරී වෙනදා වගේ රස්තියාදු ගහනවා නෙවෙයි දවසම ..... යන එක තැනකින් සේරම අරන් එන්න...."


අම්මා මා ඇරලවන්නට ගේ දොරකොඩට ආවේ නානා ප්‍රකාර උපදෙස් දෙමිනි.


" වහින්න වගේ දරුවෝ.... කුඩයක්වත් අරන් යන්න..... "


" අනේ අම්මා කුඩ එපා..... ඕක ගෙනිච්චට මම කවදාවත් ඉහලන්නේ නෑනේ...මම වැස්සට කලින් එන්න බලන්නම් පරක්කු වෙන්නෙ නෑ අම්මා...."


බොහෝ කලකට පසු තනිව ගමනක් යාමට එලියට බැස්ස නිසා අමුතු නුහුරු ගතියක් මට දැනුණි.මාස ගනනාවකින් මේ පාරේ මා තාරා සමගවත් පයින් ගියේ නැත.පහුගිය මාස වල අප පන්ති ගියේත් පාසල් ගියේත් අනුහස් අයියාගේ කාරයෙන් හෝ කුලී රථ වලිනි.ඒ වෙන කාගෙවත් නොව මගේම උවමනාවටය.බිම බලාගෙනම බස් නැවතුම දක්වා ආ මා යන්නේ කොහාටදැයි සිතා ගන්නට බැරුව මොහොතක් කල්පනා කලෙමි.තාරා උන්නානම් වෙනදා මෙන්ම මා යන්නේ නුගේගොඩය.එහෙත් නුගේගොඩ යෑමට තරම් හයියක් මට නැත.ඒ කොහේදී හෝ අර ඇස් දැක මා නැවත අතරමං වෙතැයි මම බියවීමි.ඒ ඇරත් හුරු පුරුදු නුගේගොඩ නගරයේ අපේ සැමරුම් ඕනාවටත් වැඩිය.නුගේගොඩ සරසවියට යන්නට තිබූ උවමනාව අමතක කර මම බම්බලපිටියට යෑමට තීරනය කලෙමි.මා මේ සැගවෙන හදන්නේ මගේම සිතින්ය. මා මේ බිය වන්නේ මගේම සිතටය.තාරා හැමදාම කියන්නාක් මෙන් මෙය පිස්සුවකි.ලංකාවෙන් පිටවන තුරු ඒ ඇස් ආයේ මට මුණ නොගැසේවායි මා උදේ හවා දෙවියන්ට කියන බව මේ කවුරුවත් දන්නේ නැත.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

බම්බලපිටියේ Majestic City අසලින් බසයෙන් බසින තුරුම මා උන්නේ නිමක් නැති සිතුවිලි ගොන්නකය.වෙලාව උදෑසන දහය පමන වීද හත්පස පුරාම ඇත්තේ සැන්දෑවේ හය හත තරම් අඳුරකි.කොයි මොහොතේ හෝ මහා වැස්සක් වැටෙතැයි මටද දැන් සිතේ.තුනී සීතළක් එක්ක හමන වේගවත් සුළං මගේ කොණ්ඩය පමණක් නොව දිගට දිගේ හැද උන් සායද අරන් යන්නට මෙන් දඟළයි.මම දෝතින්ම සාය බදාගෙන MC එක ඇතුලට දිවිමී.

උඩටත් පහලටත් පස් හය වතාවක්ම ගොස් මා අනුහස් අයියා වෙනුවෙන් නොයෙක් දෑ මිලදී ගතිමි.අවසානයේ මා ගියේ ඔහුට සුභ පැතුම් පතක් තේරීම සදහාය.කොහොමත් කවදත් කාට සුභ පැතුමක් තෝරන්නට ගියද මට ඒ සදහා අඩුම ගානේ පැයකට එහා කාලයක් යයි.නානා ප්‍රකාර සුභ පැතුම් පත් අතරේ ම හිත අතරමං වේ.ඒවා එකින් එකට කියවා බලන්නද මට වෙනම කාලයක් යයි.


" මිස් බලන්න ඔය හැම එකටම වඩා මේක ලස්සනයි නේද කියල..."


මදක් පාත්වී රාක්කයක Cards තොරමින් උන් මගේ උරහිසට උඩින් දැමූ අතකින් සැබෑවටම සොඳුරු ප්‍රේමණීය සුභ පැතුම් පතක් මට දිස්විය.


" Thanks "


එය මා අතට ගත්තේ හුරු පුරුදු සුවඳක් හාත්පස සිසාරා හමද්දී එය හදවතට විඳ ගන්නට ඉඩ දෙමිනි.සැනෙකින් මට යමක් සිහිවිය.කටහඬ වෙනස් කර වුවද ඒ කතා කලේ ඔහුම බව ඒ ඔහුගේම හඬ බව සිහිව මා දෙපා වෙව්ව්ලුම් කන්නට විය.වායුසමීකරනයෙන් මහා සීතලක් ආවද තප්පරයෙන් දෙකෙන් මා දහඩියෙන් නෑවිනි.හදවත විනිවිද යන ඒ සුවඳ කියන්නේ තවමත් ඔහු මෙතැන බවය.මා හිමිහිට හැරී බැලුවෙමි.ඉතින් එය සිහිනයක් නොව සැබෑවකි.ඒ ඇස් ආයෙම මා ඉදිරියේ වේ.අදත් මා ඒ දෙනුවන් ළඟ පරාද වේවියැයි මට සිතේ.අප අතර ඇත්තේ අඩි හතරක පහක පරතරයකි.නොදැක උන් කාලයේ ඔහු තවත් ලස්සන වී ඇතැයි මට සිතේ.මොනවා අහන්නද කියන්නද නිනව් නැතුව මා ඒ ඇස් දෙස බලා සිටියෙමි.මාස ගනනාවක් තිස්සේ මා මේ ඇස් වලින් වසන් වී ඔට්ටු ඇල්ලුවේ මෙසේ ඒ ඇස් ළඟ නිරාවරණය වන්නටද.....? දෙනුවනුත් දොඩන්නට වචන නැතුවාක් මෙන් පුදුමයෙන් මෙන් මදෙස බලා සිටී.මා වට පිට බැලුවේ පිහිටට කවුරුන්ම හෝ ඇතැයි සිතාය. එහෙත් අද දෙනුවනුත් මා මෙන්ම තනිවම මෙනි.


" කොහොමද...... කෝ තාරා නැද්ද අද....."


ඒ මහා නිහඬ තාවය බිදිමින් දෙනුවන් දොඩමලු විය.


" න්...නැහැ..... තාරා ගමේ ගියා......"


" ආ... එහෙනම් අද සුරංඟනාවී තනියම මනු ලෝකෙට වැඩලා තියෙන්නෙ...."


දෙනුවන් කීවේ සැහැල්ලුවෙන් සිනා සීය.


මා බිමට සිනා සී ඉවත බලා ගතිමි. ඔහු මෙන් සැහැල්ලුවෙන් මට ඉන්නට බැරි හැටි.


" මම දැකපු වෙන කවදටත් වඩා අද ලස්සනයි ඔයා.... හරියට විශාඛාව වගේ..."


හිටි හැටියේ දෙනුවන් කී දෙයින් මගේ දෙකම්බුල් වලට ලේ පිරුණි.දෙනුවන් මේ මා සායකින් සැරසී ඉන්නවා දුටුවාමය.අද මට බොහෝ කලකට පසු සායක් අදින්නට සිතුනේ මේ හමුව අපේ ඉරණමේ කලින් ලියා තැබූවක් නිසාමද....? මේ ඇස් වලින් වහං වෙන්න මා මොන තරම් දෙවල් කලාද... නුගේගොඩ ගියොත් අහබෙන් හෝ දෙනුවන් මුණගැසෙතැයි සිතා ඒ ගමන අත් හැර මෙහෙ ආවේ ඔහු නොදකින්නට නොවේද....ඉතින් දැන් කිසි ලෙසකින් හමුවේයැයි නොසිතූ තැනක ඔහු මා ඉදිරියේය. දෛවය මේ කරන සෙල්ලම හෙට සිටන් ආයෙත් මගේ ජීවිතයට සාපයක් වෙනවා නොවේද...

" මොනවද ඔච්චර කල්පනා කරන්නේ.... මං කොහොමද බුදුන්ගෙ කාලෙ හිටිය විශාඛාව දන්නේ කියලද...."


ඔහු කී දේට මට සිනහ නොවී සිටිය නොහැකි විය.හිතුවාටත් වඩා සිනහවක් මා මුව මත විසිරුණි.මගේ සිනහව දෙස දෙනුවන් ආශාවෙන් බලා සිටිනවා මා දුටිමි.ඇයි පන්ති එන්නේ නැත්තේ යැයි ඔහු නිකමටවත් මගෙන් ඇසුවේ නැත. මා හිතුවේ මේ වල් පල් වලට කලින් ඔහු එය අසාවී කියාය.එහෙත් දෙනුවන්ට එය ගානක්වත් නැත.මා පන්ති ආවත් නාවත් ඔහුට විශේෂයක් නැත. අනේ මටත් ඔහු මෙන් වගක් නැතුව ඉන්නට ඇත්තනම්......


" කාටද Birth Day Card අනුහස් අයියටද...."


ඔහු ඇසූවට මම හිස වැනීමි.


" දැන් කෝකද තෝරගත්තේ...."


ඔහු තෝරා දුන් Card එක එතනින් ලස්සනම අපූර්වතම සුභ පැතුම උනිද මා එය රාක්කයේ තබා වෙනකක් අතට ගතිමි.


" ඔයාගේ හිත ඉල්ලන දේ ඇස් වලින් පේන්නෙ නැත්තං මට ඔයාගේ තේරිම හරි කියලා පිලිගන්න තිබුනා "


දෙනුවන් එසේ පවසා පොත් රාක්ක අතර නොපෙනී ගියේය.මොහොතක් දෙකක් මා තුශ්නිම්බූතව ඒ කී දේ යලි යලි මතක් කර බැලුවෙමි.ඔහු කීවේ Card තේරීම සම්භන්ධව උනිද මම එය මගේ මුලු ජීවිතයම ඈදාගෙනමම මහා සුසුමක් පිට කලෙමි.අනේ දෙනුවන් මගේ ඇස් බලා හිත කියවන්නට ඔබටත් හැකිද....?


මා වට පිට ඇස් යවා ඒ රුව නැවත සෙවීමි. ඔහු නොකියාම යන්නට ගිහින්වත්ද....ආයෙම කඩාවැටෙන්නට ඔන්න මෙන්න තිබුණු හිත වත්තන් කරගෙන මම මුදල් කවුන්ටරයට ගියෙමි.වහා මෙතැනින් පිටව යාමේ උවමනාවකින් මම දැවෙමින් සිටියෙමි.මා සිතුවා වැරදිය දෙනුවන් තවමත් Book Shop එක තුලය. ඔහු කවුන්ටරය අසලම ඇති පුංචි පුංචි සතුන්ගෙන් නිම කල Key Tag තෝරමින් සිටී.මා ඔහු නොදුටුවාක් මෙන් මුදල් ගෙවා එන්නට සැරසුණෙමි.මා සාප්පුවෙන් එලියට අඩිය තියද්දීම දෙනුවන් විත් මා එක්කම පෙළට වැටුණි.


" එලියට ආවට මැඩම් දැන්ම ඔයාට යන්නනම් වෙන්නේ නෑ...."


මම කුතුහලයෙන් ඒ මුහුන දෙස බැලුවෙමි.


" ඇහෙන්නැද්ද එළියේ සද්දේ...."


මා නැවතත් දෙනුවන් දෙස බැලුවේ ඔහු මොන විකාරයක් කියවනවාදැයි හිතා ගනන්ට බැරුවය.


" මෝඩියේ..... එළියේ හෙන ගගහා වහිනවා...."


දෑතම කලිසමේ පිටිපස සාක්කු දෙකට ඔබාගෙන දෙනුවන් සැහැල්ලුවෙන් පියවර තැබුවේ එසේ කියමිනි.මම කන් දුනිමි.සැබෑය ,ඈතින් ගෙරවිල්ලක්ද සමඟ මහා අනෝරා වැස්සක සිළි සිළිය එක සීරුවට ඇසේ.මේ තරම් මහ වැස්සක හඬ නොඇසෙන්නට තරම් මම බිහිරි වී සිටියාදැයි මට සිතේ.


" දැන් පැයකට වැඩී වැස්ස පටන් අරන්... මම මේකට රිංගුවෙත් වැස්සෙන් බේරෙන්න... මම දැක්කා දෙපාරක් තුන්පාරක්ම සුරංඟනාවියක් උඩට පහලට යනවා... මම උඩට ආවේ අතරමං වෙලානම් උදව්වක් කරන්න හිතාගෙන..."


වෙන කවරදාවත් මා දැක නැති සැහැල්ලුවක් ඒ හඩේ වේ.ඔහු කියන හැම දෙකටම සිනාසුනා මිස මට යමක් අසන්නටවත් කියන්නටවත් නිනව්වක් නොවීය.ජීවිතයේ පළවෙනි වතාවට ඔහු මා සමඟ සමාන්තරව පියවර තබයි.නපුරු කමක් නොපෙන්නා දඩබ්බර කම් සඟවා මා සමග දොඩමලු වෙයි.බොහෝ ළඟින් ඒ කොලුකාර සුවඳ මට දැනේ.ඔහුත් සමඟ මා කාටත් හොරෙන් තැනූ සිහින ලෝකයේ මෙවන් අපූරු දවස් කොච්චරක්නම් තිබුනාද....හදවතේ ගැඹුරුම තැන වල දැමූ ඒ සොඳුරු සිත්තම් ආයෙමත් ගොඩට ගෙන හඬන්නට මේ දෛවය මට ඉඩ සැලසූ හැටි....


දොරටුව දක්වාම කතා නැතිව ඇවිදන් ආ අපි ඉඩ ඇති තැනකට වීමු.වැස්සෙන් බේරෙන්නට දුව ආ මහ පිරිසක් ඇතුලේ විය.ගාලු පාර නොපෙනෙන තරමටම පිටත වැසි වටේ.හාත්පසම ඇත්තේ මහා අඳුරකි.අනේ කීයට ගෙදර යන්න වේවිදැයි සිතා මට හීල්ලුනි. මම දෙනුවන් දෙස බැලීමි ඔහුට වගක්වත් නැත මහා වැස්ස දෙස බලාගෙන ඔහු කල්පනාවකය.ඔහුට හොරෙන් මා සිත් සේ ඒ ඇස් දෙස බලා සිටියෙමි.ඒ අසාමාන්‍ය නිල් පැහැය දෙවදූතයන් විසින් ඇස් වල තවරා ගියාදෝයි මට සිතේ.හීන් කඳුළකින් මගේ ඇස් බොඳ වෙන තුරුම මම ඒ ඇස් දෙස බලා සිටියෙමි.


" මොනවද ඔච්චර බලන්නේ..."


බිඳකදු එහාමෙහා නොවී ඒ හිටි ඉරියව්වෙන්ම හිද හිටි හැටියේ දෙනුවන් විමසීය. මට මහා ලැජ්ජාවක් දැනුණි.ඔහු හොරෙක් මෙන් සියල්ල බලා සිටින්නට ඇත.


" ඔයාගේ ඇස් දෙක ගෑනු ළමයෙක්ට තිබුනනම් කොච්චර ලස්සනද කියලා බැලුවේ..."


ඔහුගේ දෑස් දැකි මුල්ම දවසේ මට සිතුන දේ මා එසේ කියා දැමීමි.දෙනුවන් ලස්සනට සිනහ විය.ඒ ඇස් තරමටම ඒ සිනහවද මා මන්මත් කරන තරම්....


" අම්මෝ... ගෑනු ළමය මෙච්චර කාලෙකට මාත් එක්ක කතා කරපු දිගම වාක්‍යද කොහෙද මේ කතා කලේ..."


ඔහුට නම් හිනහය. ඒත් ඒ ටික ගැට ගහගන්නට මා සිතින් කල සටන දන්නේ මාය.මහා වීර කමක් කලාක් මෙන් මට දැනුණි.ඒ උද්දාමයෙන්ම මා හාත්පස බැලීමි. බලන බලන තැන වැඩිපුර ඇත්තේ පෙම්වත් ජෝඩුය.මේ වැස්ස මේ සීතල ඔවුන්ට ආශීර්වාදයක් මෙනි.ඔවුනොවුන්ට තුරුළුව ඔවුන් ඔවුන්ගේම ලෝක වලය.බලූ බැල්මට අප දෙදෙනාත් පෙම්වතුන්යයි ඔවුන් සිතනවා ඇත.මේ තරම් දුරින් ඉන්නේ අපි මොනවාට හෝ උරණ වී යැයි දකින බලන අයට සිතෙනවා නොඅනුමානය.සමහරක් අප දෙස බලා හොරෙන් හොරෙන් කුටු කුටු ගානවා මා මෙන්ම දෙනුවන්ද දකින්නට ඇත.බොහෝ කෙල්ලන් තම පෙම්වතා ළඟ සිටියද දෙනුවන් දෙස හැරි හැරී උවමනාවෙන් බලනවාද මම දුටිමි.ඒ ඔහුගේ කඩවසම් බවට වශීවී බව මා දනිමි.


සැනෙකින් මුලු පලාතම දෙදරවමින් ළඟ ළඟම මහා හඬින් අකුණක් පුපුරා ගියේය. ඒ සමඟම විදුලිය ඇන හිට විදුලි පහන්ද නිවුණි.අපට එහා පස උන් කෙල්ලන් රොත්තක් මහා හඩින් කෑගසමින් එකිනෙකා වැළඳගන්නට විය.මම එහෙමම උන් තැනම ගල් ගැසුණි.ගෙරවිල්ලට විදුලි කෙටීමට මා පුංචි සංදියේ සිටම පුදුමාකාර විදියට බියය.දන්නා කෙනෙකුන් අහල පහලක උන්නනම් මා මේ වන විට ඒ කෙනාගේ බෙල්ලේ එල්ලී කොහේ හෝ හිස සගවාගෙනය.එසේ නිදහස් වෙන්නට අවකාශයක් නැතුව මගේ අත පය දරඳඩු වෙනවාක් මෙන් මට දැනේ.සට සට ගා මා වෙව්ලන්නට වීමි.


" සුරංඟනාවී.... ඇයි මේ...."


කතාවක් බහක් නැතුව ගල් වුන මා දෙස දෙනුවන් පුදුමයෙන් බලන්නට ඇත.දෑසේ වැටෙන්නට ඔන්න මෙන්න තියෙන කඳුළකින් මිස ඔහුට උත්තර දෙන්නට මා ළඟ වචන නැත.වහා අඩියක් පෙරට තබා මාළඟට ආ දෙනුවන් මගේ වමත තර කොට අල්ලා ගති.අර එළියේ පිපිරුවාට වඩා සද්දෙට හිතේ අකුණු විසි තිස්දහසක් එක වර පුපුරන්නාක් මෙන් මට දැනුණි.දුක වේදනාව බය සතුට විශ්මය ආදරය ආරක්ශාව මෙකි නොකී හැම හැගීමක්ම කැටිවුණ සිතින් මාතින් ඒ අත තව තවත් කිටි කිටියට සිරවුනි.දෙනුවන්ගේ දකුණත මගේ උරහිස මතට වූයේත් මා පරඬලාවක් මෙන් පාවි විත් ඒ පපුව මත වැටුනේත් එකම විටය.


" ඔයා බය වෙලා...... ගොඩා....ක්......"


දෙනුවන්ගේ හඩ සිහිනෙන් මෙන් මට ඇසී නෑසී ගියේය.මගේ ළය තරම්ම වේගයෙන් ඒ ළය මඩළද ගැහෙන හඩ මට ඇසේ.ජීවිතයේ කිසිමදාක නොවිඳි මිහිරක් තිගැස්මක් මාපටඟිල්ලෙන් පටන් ගෙන හිස් මුදුන දක්වා එක සීරුව දිව යයි.මෙහෙමම මෙතැනම මිය යනවානම් සැපකැයි මට සිතේ.ඉතින්නම් මෙය සිහිනයක් වූ සැබෑවකි.මගේ කඳුළින් ඒ පපුව තෙත් වන්නට ඇත.දෙනුවන් මගේ ම යැයි මා අයිති මේ පපුවටම විතරයයි වෙන කවරදාටත් වඩා තදින් මට දැනෙන්නට විය.අර තරම් දඩබ්බර හිතුවක්කාරයා ළඟ මේ තරම් ප්‍රේමණීය උණුහුමක් වෙතැයි මටම විශ්වාස නැත.එකම තාලයට සංයමයට ඒ දිගු ඇගිළි මුදාහල මගේ කෙස් රොද අතරින් එහා මෙහා වෙනවා මට දැනේ.ඉතින් උදාවන ඊළඟ තප්පරයේ මොනවා උනිද මා මේ උණුහුමට ගුළිව තුරුළුව මේ සෙනෙහස විදිමි.

" අඬන්නෙපා...... දැන් සේරම හරි......"

දෙනුවන් කොඳුරා මෙන් කීවේ කොපමණ වෙලාවකට පසුවදැයි මා දන්නේ නැත.පියවි ලෝකයට එන්නට මට උවමනාවක් නොවූ මුත් මම සිහි එළවා ගන්නට උත්සහ කලෙමි.තවම වැසි වැටෙන හඩ ඇසෙන මුත් අන් සියල්ල සංසුන්ය.මට අම්මා සිහිවිය අනුහස් අයියා සිහි විය මහා වරදක් කල එකියක සේ මා භීතියට පත්වීමි.වෙන පිරිමියකුගේ පහසට නතුව අනුහස් අයියාට මා ගෙවා දමන්නට බැරි තරමට ද්‍රෝහී වී ඇති බව සිහිව මට හුස්ම පවා හිර විය.ඊටත් හිස ඔසවා දෙනුවන්ගේ මූණ බලන්නට මට දැන් පුලුවන් කමක් නැත.දෝතින්ම මුහුණ වසාගෙන මා ඒ පපු තුරුලෙන් මෑත් වීමි.ඒ මුහුණ බලන්නටවත් තව මොහොතක් හෝ එතන රැදෙන්නටවත් මට ඉතින් දිරියක් නැත.දෝතින් මුහුන වසා ගෙනම මා එක සැනින් අහල පහල උන් අයද පෙරලාගෙන එලියට දුව ගියෙමි.කලින් තරම් නොවුනද තවමත් වැසි වටේ.කුඩයකින්වත් යන්නට බැරි වැස්සේ මා හඩ හඩා දිව ගියෙමි.නොතෙමෙන්නට අගුපිල් වලට වී උන්න සියළු දෙනා මා දෙස පුදුමයෙන් බලන්නට ඇත.එහෙත් මට ඒ කා ගැනවත් වගක් නොවිනි. මා එක පිම්මට Liberty Plaza එක ඉස්සරහින් පාර පැන බස් හෝල්ට් එක ළඟ නැවතී වට පිට බැලුවෙමි.දියබත් වුන මට මෙසේ බසයක යා නොහැක.මේ විදියට පිස්සු විකාරෙන් මේ තරම් දුරක් ත්‍රීවීලයක යන්නට තරම් හයියක්ද මේ සිතට නැත.මට මා ගැනම මහා අනුකම්පාවක් දැනේ.එක වරම වෙගයෙන් ආ ත්‍රීවීල් එකක් මගේ ඉස්සරහ නවත්තන්නත් කලින් ඇතුලෙ හිටපු දෙනුවන් බිමට පැන්නේ මට කිසිවක්ම හිතන්නට ඉඩක් නොතියාය.

" නගින්න...."

ඔහු කීවේ ඒ තරම් හොද හඬකින් නෙවෙයි.

" එපා දෙනුවන්..... මම බස් එකේ යන්නම්....."

" මගේ යකා අවුස්සගන්නේ නැතුව එක පාරක් කිව්වම නගිනවා..."

ඒ හඬට මා තිගැස්සුණ තරම්... මේ ජිවිතයේ කවුරුවත් කවදාවත් මට කතා කර නැති තරම් නපුරුකමක් ඒ හඩේ විය.මට ඒ පපුවේම හිස ගසා ආයෙම හඩන්නට තරම් දුකක් දැනුණි.

" අනේ... දෙනුවන්... ම් මම මම...."

මට වචනයක් කියන්නටවත් ඉඩ නොතියා ඔහු පැන මගේ වැලමිට ළඟින් අල්ලා ඔහු ළඟට ඇද ගත්තේය.

" ගෑණු ළමයෙක් නේද.... ලජ්ජාවක් කියල එකක් තියෙනවද... වැස්සෙ තෙමෙන්න ඔච්චරටම ඕනෙනම් එකට සුදුසු ඇඳුමක් ඇදගෙන එනවා... බලනවා... වට පිට සේරගෙම ඇස් තියෙන්නෙ තමුසෙ ගාව..."

දෙනුවන් කී දේට මට එහෙමම පොලව හාරගෙන ගොස් සැගවෙන්නට තරම් ලජ්ජාවක් දැනුනි.මා මගෙම වත දෙසට නෙත් හෙලුවෙමි.රෝස පැහැ සිල්ක් සාය එහෙමම ඇගට ඇලී ඇත.සුදෝ සුදු බ්ලව්ස් එකද ඊට නොදෙවෙනිය.ගැහැණු වතේ හැම කෝමළ රේඛාවක්ම ඕනාවටත් වැඩියෙන් කැපී පෙනුණි.මහ පාරේ නිරුවත් වූවාක් මෙන් හැගීමක් මුලු හිතම අසරණ කලේය.මා දෑතින්ම ළැමැද වසා ගතිමි.දෙනුවන් මා අතින් ඇදගෙන විත් ත්‍රීවීල් එකට නැග්ගුවා නොව තල්ලු කලාය.හින්දි චිත්‍රපටියක දර්ශනයක් මෙන් සැවොම බලා සිටින්නට ඇත.මේ ප්‍රේමය නිසා හෑල්ලු වෙන මගේ ගැහැණු ආත්මය ගැන මම කම්පා වීමි.


            

                                                          මතු සම්බන්ධයි                                   
                                                                         

22 comments:

  1. //එහෙත් නුගේගොඩ යෑමට තරම් හයියක් මට නැත.ඒ කොහේදී හෝ අර ඇස් දැක මා නැවත අතරමං වෙතැයි මම බියවීමි.ඒ ඇරත් හුරු පුරුදු නුගේගොඩ නගරයේ අපේ සැමරුම් ඕනාවටත් වැඩිය.//

    හ්ම්ම්ම් සමහර වෙලාවට මටත් මෙහෙම හිතිලා තියෙනවා..:)

    දෙනුවන් හරි පුදුම කොල්ලෙක්නෙ.. මට තේරුම්ගන්න බෑ.. එයා කවීට ඇත්තටම අඅදරේ ඇති..ඒත් එතකොට සුදු අයියා... අයියෝ.. මං දන්නෙ නෑ.. මොනා වුනත් මම කැමති සුදු අයියාට කවීව අයිතිවෙනවාට...

    හරිම ලස්සනයි අක්කේ කතාව.. එක හුස්මට කියවගෙන ගියා.. හැම කොටසකම, අකුරක් ගානෙ චිත්තටූප මැවුනා.. පුදුම ලස්සනයි

    ReplyDelete
  2. හම්මෝ පිස්සු හැදෙනවා.. මාරම ලස්සනයි අක්කා.. අනේ මන්දා මට නම් හිතෙන්නේම මේක ඇත්ත කථාවක් කියලා. මැවිලා පෙනුනා ඔක්කොම ටික.. දෙනුවන් නරකම නෑ.. ඒත්... සුදු අයියා ගාවදි දෙනුවන් වැඩක් නෑ අක්කේ.. හරිම ලස්සනයි කථාව.. අනේ මන්දා.. වචන එන්නේත් නෑ කියන්න.. ඇත්තමයි ඒ තරමට ලස්සනයි..

    ReplyDelete
  3. හිතුවක්කාරි -
    දානත් කලින් කියවන්න බලන් ඉන්න ඔයාලා වගේ රසිකයෝ මට පුදුම හයියක් හිතූ. ඇත්තමයි...මේක පෝස්ට් කරලා මම ගියේ සිත් අහස කියවන්න.ඒක බලලත් මට පිස්සු හැදුනා.නුගේගොඩ කියන්නේ අපි හැමෝගෙම හීන නගරෙද මංදා හිතූ

    ReplyDelete
  4. ප්‍රාර්ථනා - කතාව ගැනනම් මම දැන් මුකුත්ම කියන්නෙ නෑ නගෝ. බලන් ඉන්නකෝ කියලා විතරයි කියන්න පුලුවන්...

    ReplyDelete
  5. ඒ හයිය ගැන මම දන්නවා අක්කි.. මොකද මම කතාව ලියන කාලෙත් එහෙම කට්ටියක් මගේ වටේ හිටියානෙ.. එතකොට එන හයිය මාරයි..තව තවත් හොදට ලියන්නම හිතෙනවා.. මේ කතාව මට මාර විදියට අල්ලලා ගියා..:D <3 ප්‍රාර්ථනා අකිගෙ කතාවත් එහෙමයි..

    ReplyDelete
  6. අනේ මන්දා මොනා වෙන්න යනවද කියලා.. එහෙන් තුහින වර්ශාත් අවුල්.. මෙහෙන්... ඔක්කොම කතා දුක හිතෙන තැනට එකට එද්දි තද වෙනවා අප්පා... :(

    විශේෂයි : නුගේගොඩ හීන නගරය... හ්හ්ම්ම් ඒ ගැන මුකුත් නොකියමි.. මාත් හිටි නිසා... :)

    ReplyDelete
  7. හිතුවක්කාරි - ස්තූති හිතූ

    ReplyDelete
  8. Dinesh - එක තමා මටත් දැන් අවුල්, ම්ම්ම් මෙයත් හීන නගරේ සවාරි ගහපු කෙනෙක් වගේ

    ReplyDelete
  9. අයියෝ අනේ ඔන්න ආපහු මගේ ලේ කෝප වෙන්න ගත්තා..නොදොකින් මෙකි වගේ කේප්ප වැස්සියක්....මොන මගුලකට මේ දෙනුවනයට මැරෙන්න හදනවද මන්දා.....බලමුකෝ බලමුකෝ ඉස්සරහට වෙන්නේ මොනවද කියලා....අපේ අදහස මොකක උනත් අක්කගේ හිතේ තියන කතාව ලියන්න අක්කේ...අක්කගේ හිතේ තියන අවසානේ ගොඩක් ලස්සන වෙයි කියල මම හිතනවා..

    ReplyDelete
  10. ish - හි හී මන් දනන්වා ඔයා දෙනුවන්ට ඊරිසියා කරනවා කියලා

    ReplyDelete
  11. නෑ..මට ඕකව පෙන්න බැරි කුරුළු කුඩු වලට ගල් ගහන්න මාන බලන හොර පුසෙක් හින්දා...

    ReplyDelete
  12. ish - පිස්සු එයා එහෙම කලේ නෑ

    ReplyDelete
  13. මට නම් ඇති වෙලා මේ දෙනුවන් ව. මොන ලෝකෙ හිටියත් මැද්දට පනිනවා. අර අහිංසක කෙල්ලට හිත හදාගන්න දෙන්නෙම නෑ. එක්කො මේ මැටි කෙල්ල සුදු අයියට ආදරේ නැත්නම් ඒ මනුස්සයට යන්න දෙන්න ඕනා. අනේ මන්දා මේ කාව්‍යා අපිට නිදා ගන්න එකත් නැති කරනවා මේවා ලියලා. ඒ වුනාට මේ කතාව හරි ලස්සනයි කාව්‍යො. ඉක්මනින් ඉතුරු ටිකත් ලියන්නකො.

    ReplyDelete
  14. සිඳු - ඒක තමා අනේ මටත් දැන් ඇති වෙලා මේ කවිති කරන වැඩ නිසා මටත් සැනසීමක් නෑ.

    ReplyDelete
  15. නාරි චිත්තං නවිස්සති.... :P

    ReplyDelete
  16. මට දැන් මේ කෙල්ල එක්කවත් දෙනුවන් එක්ක වත් අනුහස් එක්කවත් කිසිම තරහක් නැ, අම්මපා මේක ලියන එකා මගේ ඉස්සරහට අහුවුනොත් කැලි කැලි කපනවා.... (එක අතකට ජිවිතේ කියන්නේත් මේක තමයි වෙන්න ඇති)

    කතාව නම් එන්න එන්නම ලේ කොප කරන රසයක් තියෙන්නේ, ඉතුරැ එවා ටිකත් ඉක්මනට දාන්න කවියො...

    ReplyDelete
  17. dyno | ඩයිනෝ - මේ කියන්නෙ ගෑණු හිත වෙනස්වෙන සුලුයි කියලද?

    ReplyDelete
  18. Pooh - වැරදිලාවත් ඔයාට පේන්නනම් එන්නේ නෑ මම හි හී මොකද මට දැන්ම මැරෙන්න බෑ අනේ තාම බබෙක්වත් හැදුවෙ නෑ.

    ReplyDelete
  19. අයියෝ සල්ලි.....නුගේගොඩ ඔන්න මම නම් හිටියේ නෑ....හොද වෙලාවට....

    අම්මේ අක්කේ මම නිකන් ‍ෆිල්ම් එකක් බැලුවා වගේ පෙනුනා මේක කියවනකොට....ලස්සනයි

    ReplyDelete
  20. යකෝ අයියෝ මම නුගේගොඩ මොන පාටද කියලවත් දැකලා න හෆොයි

    මොනා කරන්නද කතාව දෙන හැටියට බලාගෙන රස විදිමු කාවයියා කතාව ලියලා ඉවරලුනේ හෆොයි

    මොනා උනත් හොද විදිහට ඉවර උනේ නැතිනම් බලා ගමු

    අනුහස් =තාරා
    දෙනුවන් =කවි (අන්තිමේට මෙහෙම වෙයිද දන්නෙත් න හික්ස්ස්ස්ස්ස්ස්ස්ස් )

    ReplyDelete
  21. අටවෙනි එක ඉවරායි.........

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.