සඳට බැළුම් හෙලූ අය

Aug 18, 2017

ආඩම්බර සුන්දරී !


බ්ලොග් එක පාලුවට අරින්න බැරි නිසා ඔය කවියක් දෙකක් දාලා ශේප් උනාට කාලෙකින් හරියට මුකුත් ලියන්න බැරි උනා නෙව.පහුගිය දවස්වල මැරෙන්න වැටිලා තරමට අසනීප වෙලා උන්න නිසයි ඒ අසනීප හොද උන ගමන් මෙලෝ සිහියක් නැතුව හතර අතේ ට්‍රිප් යන්න උන නිසයි පොඩ්ඩ පොඩ්ඩ ලියලා ඩ්‍රාෆ් කරපුවා කීපයක්ම තියෙනව. ඒ අතර අර ප්‍රථම වසන්තයෙ ඊ ළඟ කෑල්ලයි සත්තලන්ගෙ රස කතා ටිකකුයි  තමයි ලිස්ට් එකේ තියන් හිටියේ.ඒත් ඒ ලිස්ට් එක පන්නලා අද මේ ලියන්න හදන්නේ අපි ගිය සවාරියක බොහොම සුන්දර තැනක් ගැන.එව්වා ඉතින් පල් කර කර හිටියොත් ඒ රසයි උණුහුමයි නැති වෙනවා නොවැ.අනික කයි කතන්දර ලිව්වට මම ඔය සංචාරක සටහන් ලියන්න ඔස්තාර් කෙනෙකුත් නෙවෙයිනෙ අප්පා.( කවි කතා වලටත් එහෙමම තමයි ඉතින් නොකිව්වට ) මහා ලොකුවට බ්ලොග් එක පටන් ගනකොට සංසාරේ සංචාරේ කියල ලේබල් එකකුත් ඇලෙව්වට මේ අවුරුදු ගනනාවටම ඒක ඇතුලෙ තියෙන්නෙ කාලෙකට කලින් ගිය යාපනේ ට්‍රිප් එක ගැන විතරයි.හයියූ ලැජ්ජාවේ බෑ ඉතින්. ඔන්න ඔය සේරම කරුණු කාරණා සැලකිල්ලට ගෙන අද මම ඒ ලේබල් එක අප්ඩේට් කරන්න තමයි මේ ලක ලෑස්තිය. ඉතින් අහගන්ටකෝ ළමා..යි.ආ මතක බැරි උනා නොවැ. මම මේ ලියන්න හදන තැන ගැන අර මනස්ගාතයත් බොහොම අපූරුවට ලියලා තිබුනා.ඔව් ඉතින් මේ ලියන්න යන්නේ සුන්දර සීතල බෙලිහුල් ඔය ලස්සන කරන ආඩම්බර දිය  සුරතලියක් ගැන.පහන්තුඩාව ඇල්ල  නම වගේම නම වගේම අති සුන්දර දිය ඇල්ලක්.


 කොළඹ බදුල්ල පාරේ බෙලිහුල් ඔය ප්‍රසිද්ධ තනායම  පහු වෙනවත් එක්කම උඩට තියෙන පොඩි අතුරු පාරේ කිලෝමීටර් දෙකක් විතර ගියාම තමයි මේ  ඇල්ලේ සුන්දරත්වය හිත
පුරා නෙත පුරා විඳගන්න අවස්ථාව ලැබෙන්නේ.ඇල්ල ලගටම වාහන වලින් යන්නනම් බෑ ඇල්ලට යන පාරේ තියෙන ගෙවල් වල මිඳුළවල් වල තමයි වාහන නැවතීමේ පහසුකම් තියෙන්නේ.අපරාදේ කියන්න බෑ අපි වාහනේ නවත්තල ගියපු තැන පාර්කින් වලට සුපියල්ම 200 ක් ගත්තා.ඒකනම් මොකෝ ඉතින් 200 වගේද ඒ ලබපු අද්දැකීම කියලා සිත සුවපත් කර ගන්න බැරි කමක් නෑ.ඔය උඩම පින්තූරේ තියෙන දිය ඇල්ල කඩා හැලෙන තැනට යනනම් ගමන ටිකක් දුශ්කරයි ඒ වගේම සුන්දරයි.ගඟ හරහා වේල්ලක් වගේ දාපු සිමෙන්ති බැම්මක් දිගේ ගඟේ එහා ඉවුරට ගිහින් ගල් මුල් වල එල්ලිලා උඩට නැගලා බොහොම පරිස්සම් ගමනක් තමයි යන්න ඕනේ.පොඩ්ඩක් හරි පය ලිස්සුවොත් හරි එහෙම නැත්තන් ඔය විහිලුවට කරන තල්ලු කිරිලි බය කිරිලි වගේ දෙවල් කරන්න ගිහින් මිස් උනොත් දෙය්යනේ කියලා අඩි  තිහ හතලිහක් පිංපොං  බෝලයක් වගේ ගල් උඩ බම්ප් වෙවී වතුරට පත බෑවෙන්න පුලුවන්.


 දෙපසම ගල් පර්වත් මැදින් පහලට පහන් දැල්ලක් වගේ කඩා හැලෙන දිය ඇල්ලයි, හීන් සීරුවේ ගලා බහින සීතල දොල පාරේ දිය දහරයි නෙක නෙක රටා  මවන මහ විසල් ගල් තලාවයි හිතට ගතට ගෙනෙන්නෙ පුදුමම තරම් චමත්කාරයක්.ගස් වලයි ගල්වලයි හැම තැනම මෙතන නෑම තහනම් අතන නෑම තහනම් කියලා ගහලා තිබුනට දෙපාරක් නොහිත වතුරට පනින තරම් කෙනෙකුගෙ සිහි විකල් වෙන එකනම් නොඅනුමානයි.අපි එහෙම සිහි විකල් නොකරගෙන හිටියේ බොහොම අමාරුවෙන්.අපි එහෙම නොවුනට අපිට කලින් එතනට ගිය කොලු රෑනක්නම් හිටියේ දිය ඇල්ලට කිට්ටුව පහල තැනක දිය කෙලිය පටන් අරන්.වැඩේ කියන්නෙ අපි එයාලට මීටර් සීයක් විතර කිට්ටුවට යනකොට තමයි එයාලා අපිව දැක්කේ.අපිව දැක්ක ගමන් එයාලා තක්බීර් උනා. සමහරු ගල් උඩ බඩ ගගා හැංගි හැංගි ගොඩ තිබුන ඇඳුම් අරන් ආයෙ වතුරටම පැන්නා.දෙයිහාන්දුවනේ එතකොටයි අපි දැක්කේ මුන් සේරම වතුරට බැහැලා තියෙන්නෙ උපන් ඇඳුමින්.අපේ නඩෙන් ඉස්සර වෙලාම ගිය ඉස්තිරී පරාණ ටික වෙච්චි අපි ඒ මහසෝන්  සන්නි දැකලා වතුරට  නොවැටී බේරුනේ බොහොම අමාරුවෙන්.උන්දලා ටික විලි වහගන්නකන් අපි එයාලට පස්ස හරෝගෙන හිටියා ඉතින් වෙන මක්කා කියලා කරන්නද.එයාලටත් ලැජ්ජයි අපිට හතරවිලි ලැජ්ජයි.විනාඩි පහක් දහයක් ඇතුලටත් සෙට් එකම විලි වගෙන අනිත් ඇදුම් කැඩුම් ටිකත් තුරුලු කරගෙන බිම බලාගෙන හීන් සීරුවේ අපිව පහු කරලා පල්ලම් බැස්සා.අපි අත් වලින් කටවල් තද  කරගෙන බොහොම අමාරුවෙන් හිනා හිර කරගෙන හිටියා. අපි ඉතින් එහෙම හිනා උනාට ඔය සත්තලන්ලා එහෙම ගිහින් එයාලා එක්ක කතා කලා උන්දලා පත්වෙච්චි අපහසුතාවය මඟහරවන්න වෙන්ටැ ඉතින් ඒ. මම ඉතින් ඔය මුලින් කිව්වා වගේ මේ දිය දහර දැක්කම උන් හිටි තැන් අමතක වෙලා ඔහොම අකරතැබ්බ වෙන්න පුලුවන්.මෙතනට මුලින්ම යන කෙනෙක් මෙතන නාන්න පුලුවන්ද බැරිද කියලා නොදන්න නිසා අමතර ඇඳුම් එහෙම අරන් යන්නෙ නෑනේ. මේ කාලෙනම් වතුර අඩු නිසා ආරක්ශිත තැනක නෑවට ලොකු අවුලක් නෑ වගේ. හැබැයි වතුර වැඩි කාලෙකනම් ඒක බොහොම භයානක වෙන්නත් පුලුවන්.
මං ඉතින් ඔය ගලක් උඩ නිවාඩු පාඩුවේ වාඩි වෙලා කල්පනා කලේම  නිකමට හරි එක පාරටම මහා ජලකඳක් ආවොත් හත් දෙයියනේ අපි මොකද කරන්නේ කියලා.එහම උනානම් ඉතින් දුවා ගන්න තැනකුත් නෑ සේරමලා අතින් අත ඇරිච්ච ජිල් බෝල අහුරක් වගේ දග් දග් ගගා පහලට රෝල් වෙලා ගහගෙන යාවි. එව්ව මෙව්වා හිතෙන අතරෙම තව මට හිතිච්ච දෙයක් තමයි මම ආයෙ බඳිනකොට wedding pre shoot එකකටත් මේ තැන මරු නේද කියල.ඔව්ව ඉතින් මම  විතරක් හිතල නිකන් ඉන්න බැරුවට මම සත්තලන්ටත් කිව්වා. උන්දා ගත් කටටම කිව්වා අනේ ඔය කරන ෂූට් එකක් ඉක්මනට කරලා මාව නිදහස් කරපන්කෝ කියල.අනේ ඉතින් මගේ කට ඔය තඩි ගලක උලාගෙන  උන්දගේ බෙල්ලෙන් අල්ලගෙන ඔලුව ඔය සීතල වතුරේ ඔබන් ඉන්න හිතනා.ඉතින් ඔන්න ඔය වගේ බොහොම සුන්දර චමත්කාර ජනක අද්දැකීම් කන්දක් අරගෙන තමයි අපි පහන්තුඩාව සොඳුරියට සමුදුන්නේ.මටනම් දවස් තුනක් තිස්සේ බෙලිහුල් ඔය ,හපුතලේ, දියතලාව , ඇල්ල , බදුල්ල , නුවර එළිය ඒ ගිය හැම තැනකින්ම මගේ හිත වඩාත්ම ඇද ගත්තෙ මුල්ම වරට ගිය
මේ පහන්තුඩාව ඇල්ල තමයි.

 ඒ වගේම තව ලියන්න සුන්දර තැන් සුන්දර දසුන් එමටයි.වෙලාවක් තිබුනොත් ආයෙ දවසක මේ සංසාරේ සංචාරේ අප්ඩේට් කරන්නම්කෝ.



34 comments:

  1. සංසාරේ.. දැං පොඩ්ඩකට කලිං අර බක්කරේ ගේ බඹරකන්ද සංචාරේ කියෙව්වේ.. අම්මප ගෙවල් පාරේ තිබිලාත් ඔය එක තැනකටවත් ගිහිං නෑයි කියන්නේ සුවල්ප විළිලැජ්ජාවක්‍ද? හෙටානිද්දා දවස් දෙක තුනකට බදුලු ගිහිං එන්න ඉන්නේ අම්මලාව බලල එන්න.. හිතුනොත් අනිත් ඔක්කොම ප්ලෑන් පැත්තක තියල යනව දියෑලි ටික බලන්න.. :/

    ReplyDelete
    Replies
    1. අයියෝ සංසාරේ මේ කමියව තියන්න වටින්නේ නෑනේ.. සික් විලි ලැජ්ජයි ඇයි දෙයියනේ මූ වගේ එකෙක් බදුල්ලෙ ඉපදුනේ.අපි දෙන්නා ගම් දෙක මාරු කරගමුකෝ ශේප් එකේ

      Delete
    2. @කමියා
      ලෝකෙට ඉමහත් පරකාසෙ.. ගෙදරට අදෝ සංසාරෙ.. හැක්

      Delete
    3. අඩෝ ශකයා දේ.. කන්න තනන්න එපා හරිය.. :)))

      Delete
  2. පහුගිය ටිකේ සංසාරේ සංචාරෙ ගියා කිව්වම මම හිතුවා සඳූ ඒ ගැනලියයි කියලා. සටහන වගේම පින්තූර ටිකත් ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගියපු සංචාර ගැන සේරම බුකියට ලිව්වනම් මේ වෙනකොට පෝස්ට් තොගයක් තියෙන්න ඕනේ දුමි.. කොහෙද ඉතින් මම වස කම්මැලියනේ

      Delete
  3. ලස්සන තැනක් නියම සටහනක්.මමත් වෙලාවක ගිහින් බලන්න ඔනි තැනක්.
    සඳවතීගෙ සංචාරක සටහන් ඔක්කොම කියවල බලන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ඹබර කන්ද ගිය වෙලාවේ මෙහෙත් යන්න තිබුනා.. ඹබරකන්දට බොහොම ළඟයි මේ ඇල්ල

      Delete
  4. සංසාරේ සංචාරේ කිව්වම ආත්ම ගානකට කියවන්ඩ දේවල් ඇති කියල ගියෙ බලනකොට කම්මැලි කමට හතරයි ලියල තියන්නෙ.
    සත්තලන් කතාවලට නම් හිනා ගිහින් තවටිකෙන් පනත් යනව.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අවුරුදුම පහ හයකින් මේ ලේබල් එක අප්ඩේට් උනේ

      Delete
  5. බලන්න තියන ලිස්ට් එක වැඩි වෙනවා.. අපූරු සටහනක්. අර අහිංසකයන් ටිකට පව්. ෆන් එක කෑවා.. හැක්

    ReplyDelete
    Replies
    1. යන්න යන්න මෙව්වනම් බලන්නම වටින තැන්.අපි මොනවා කරන්නද අනේ එයාලා සූදානම් සරීරෙන් ඉන්න එපැයි.

      Delete
  6. ඔය තියෙන්නේ ලස්සනටම ලියලා ;-)
    මම ලිව්ව එක මොකක්ද කියලා හිතෙනවා මේක බලද්දී අම්මප ;-)
    දිගටම සංචාර ගැන ලියන්න අපි නොගියපු තැනකනම් අපිටත් යන්න පුළුවන්නේ

    ReplyDelete
    Replies
    1. ලියන්නනම් ඕන තරම් තැන් තියෙනවා ඒත් ඉතින් මම මේ සිංහල ටයිපින් වලට බොහොම කම්මැලි නෙව ඔන්න ඕක තමා පරහට හිටින්නේ.

      Delete
    2. අර කියෝනකොට ලියනවාය කියන මෙව්වා එක දාගන්නකෝ.. මමත් දාලා බලන්න ඕනේ. මම වගේ කම්මලියන්ට කියාපු ඇප් එකක් ! ගූගල් දෙය්යා දෙය්යෙක්

      Delete
    3. මාත් ඊලග පාර ඒක උත්සහ කරලා බලන්න ඕනා

      Delete
    4. යකඩෝ ඒක දාගෙන මෙතන මම ලියන ඒවා කියවන්න ගියාම ශුවර් එකට සත්තලන් මාව පිස්සන් කොටු ගෙනියනවා ඒ නිසා ඕනෙ නෑ

      Delete
  7. පින්තුර ටික දැක්කහම කියෝන එක පැත්තක තියලා ඉරිසියා කරන්ට ගත්තා.. ඉහි ඉහි....

    ReplyDelete
    Replies
    1. නාඩා ඉදින් කෙල්ලේ... දවසක ගිහින් එන්න ඉතින් ඒ පැත්තේ

      Delete
    2. ඒ වගේ නිල්කැටේට තියෙන වතුර දැක්කහම මම ඉතින් පනින්නේ පිස්සුවෙන් වගේ.... ඒ හිනා මාව ගෙනියනකොට කට්ටිය ඩිංගක් නෙවෙයි හොඳටම සැලකිලිමත්

      Delete
    3. ඔව් ඉතින් ඒවනම් එහෙම තමා මටත් තියෙනවා ඔය පිස්සුව ඒත් දැන් මම ටිකක් හැදිලා සත්තලන් නිසාම

      Delete
  8. සුන්දර ආඩම්බරී...!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් නැතුව නැතුව... ආකිත් දවසක ගිහින් බලන්නකෝ

      Delete
  9. ෂා නියමයි. ලස්සනට ලියලා. යන්න හිතෙනවා දිය ඇළි බලලා එන්න.

    අර ආයෙත් බඳිද්දි ගන්න ෆ්‍රී ෂුට් එක මරුවට තියෙයි ⁣⁣

    ආ ඒ වෙඩින් එක අපිටත් කියන්න ඇ

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා සෝයි ෆොටෝ ෂූට් එකක් කරන්න එතන නියමයි.හලි හලි අනේ මගේ ඊ ළඟ වෙඩින් එක අනිවා ඔයාලට කියනෝ

      Delete
  10. නිස්කලංක තැනක් වගේ නේද...සුන්දර සටහනක්...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්ක දවසක ගිහින් බලන්නකෝ

      Delete
  11. මාත් සෑහෙන්ඩ ආසයි නෙව ඔය සං‍චාරෙට....

    ReplyDelete
    Replies
    1. එහෙනම් දාන්නකො බලන්න මේ ළඟදි ගිය ඇල්ල ට්‍රිප් එකේ රසවත් සුන්දර අද්දැකීම්

      Delete
  12. අපූරුයි... පහන්තුඩාව සුන්දර නමුත් බෝම ගුප්ත ඇල්ලක්... අරුන්ට පව් යකෝ

    ReplyDelete
    Replies
    1. හි හී අපි මොනා කරන්නද ඉතින්.... අපි එයාලට උපරිම සහයෝගය දුන්න හැබැයි ලැජ්ජාව වහගන්න... ඔව් ඒකනම් ඇත්ත එතන හරිම අමුතුයි සුන්දරයි ගුප්තයි

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...