සඳට බැළුම් හෙලූ අය

Jul 30, 2021

සත්තයි මං අමතක කරනවා ඔයාව !!

 



කාලෙකට ඉස්සර ලියපු කවියක් මේ ඊයේ පෙරේදා ආයෙත් මතකෙට  ආවේ පත්තරේක ඒ කවිය සොඳුරු විග්‍රහයක් එක්කම පලවෙලා තියෙනවා දකිද්දි.හැම සතියෙම වගේ පත්තරේක මගේ කවියක් ගිය කාලෙකුත් තිබුනා.දැන්නම් ඉතින් මේ වගේ අහම්බෙන් ගියොත් දැක්කොත් තමා අනේ මම කවිත් ලිව්වනේ  කියලා සතුටු වෙන්න පුලුවන් වෙන්නේ.ඇත්තටම අහම්බෙන්  නොදන්වා  මෙහෙම ලැබෙන සතුට හරිම අපූරුයි.එතකොට ඇත්තටම ආයෙත් කවි ලියන්න හිතෙනවා.


ශානිකා ශෂීප්‍රියා

කවිමිහිර / බුද්ධදාස ගලප්පත්ති

දිවයින ඉරිදා සංග්‍රහය 25.07.21


කොළඹ කියන්නෙ ඔයාට, ඔව් ඔයා පර්යාය පදයක් කොළඹට !


බොරලැස්ගමුව පැපිලියාන

කොහුවල කිරුළපන

තිඹිරිගස්යාය තුන්මුල්ල

ඔය සේරෝම පහුකරන්

එකසිය විස්ස

ගාට ගාට එනකොට

මං හදන්නෙම  අමතක කරන්න ඔයාව

( මට මතක් වෙන්නෙම ඔයාව )

කංකරච්චල් සංගීතය

දැන් නෑ තමා බස්වල

එෆ් එම් චැනල් එකක

හරි හිමිහිට ඇහෙනවා

ලක්ශ්මන්ගෙ

සඳ කිනිති නැමී නිල් දියට

එබෙන සේයාව

චික්...මේ බස් කාරයො

මට අමතක කරන්න

නොදෙන හැටි ඔයාව

නෙළුම් පොකුණ ගාවින් බහිද්දි

හදවත් ගැහෙන්නෙත් එකසිය ගාණට

ඇත්තමයි මට හිතෙන්නෙම

අහම්බෙන් හරි මුණගැහේවිද

මං අමතක කරන්න හදන ඔයාව

කොළඹ හුළඟත් හරි පුසුඹයි

මං දන්නව ඒ සුවඳ අයිති ඔයාට

රොබරෝසි මල් හැලිල  

එක යායට ග්‍රීන් පාත් පුරාම

කලා භවන ළඟදිත් මං හැරි හැරී හෙව්වෙ ඔයාව

මුණගැහුනු එක දවසකදිවත්

මට බැරි වුනා කියන්න මේ කාරණාව

මොනර නිල් පාට තමයි  ඇන්ඳහම

ලස්සනම  ඔයාට

අහ්...මේ මොනව කිව්වත්

ඔයා බලන් ඉන්නකෝ

සත්තයි මං අමතක කරනවා ඔයාව

කොළඹ කියන්නේ ඔයාට, ඔව් ඔයා පර්යාය පදයක් කොළඹට. කවියෙහි මාතෘකාවෙහිම අපූර්වත්වයක් දකිමි. කොළඹ යනු විශාල අර්ථ රාශියක් මතුකරනු ලබන වචනයකි. ඊට සමාන අරුත් සපයන එක් ( Synoym ) වචනයක්, පර්යාය පදයක් තිබිය හැකිද? කොළඹ කී සැණින් මතකයට එන වස්තූන්, විශේෂණ පද, චරිත, කොපමණක් තිබිය හැකිද යන්න ගණනය කිරීමට අපහසුය. කොළඹ කාක්කෝ, කොළඹ අහස,කොළඹ හුළඟ, කොළඹ මිනිස්සු, කොළඹ ගෑනු, කොළඹ ඉස්කෝල, කොළඹ මහ කන්තෝරු, හෙඩ් ඔෆීස්, කොළඹ නයිට් ක්ලබ්ස්, කොළඹ මහ හෝටල්, කොළඹ විශ්වවිද්‍යාල ආදී මෙකී නොකී විශේෂණ සහිත වචන රාශියක් අප මතකයට එන බව සිහි වේ. ඉහත කවියෙහි මාතෘකාව අනුව කිවිඳිය විසින් කොළඹට සමාන අර්ථ සතු එක් පුද්ගලයෙක්, එක් චරිතයක් පිළිබඳ පවසන්නට උත්සාහ ගෙන සිටින්නීය.කිවිඳියගේ කතා නායකයාට කොළඹ  සමානාර්ථ රැගත් පදයක් ද නැතහොත් කොළඹට පර්යාය පදයක් ද ඔහු? කිවිඳිය අනුව ඉහත කවියෙන් මතුකෙරෙන්නේ දෙවැන්නයි.කොළඹ කියන්නෙ ඔයාට, ඔව්, ඔයා පර්යාය පදයක් කොළඹට. මේ අපූරු පද්‍ය කාව්‍යය නිර්මාණය කරන්නී ශානිකා ශෂීප්‍රියා නම් පාඨක අපට හුරු පුරුදු නමක් සතු කිවිඳියක්ය. ශානිකා මුහුණු පොත කවිය තුළ මෙන්ම මෑත කාලයේ පවත්වන ලද  විවිධ කාව්‍ය තරගාවලීන්හි ජයග්‍රාහක නාමාවලී අතර ද අපට හමු වූ ප්‍රතිභාන්විත, නව කවි පරපුර  නියෝජනය  කරනු ලබන කිවිඳියකි. ඇගේ කවියෙහි විශේෂිත ගුණය නාගරික පරිසරයෙන් උකහා ගනු ලබන අනුභූතීන් කවියට නැගීමට ඈ  විසින් ප්‍රකට කරනු ලබන කුසලතාවයි. එවන් අත්දැකීම් කවියට නැගීමේ දී ඈ විසින් ඊට වඩාත්ම උචිත කාව්‍යොචිත ධ්වනිපූර්ණ කවි බසක් ද භාවිත කිරීමට ඈ දක්වා සිටින හැකියාවයි.

කතානායිකාව කොළඹට ආසන්න උප නගරයක සිට බසයක නැගී කොළඹට එන්නීය. බස් රථයේ මාර්ග අංකය පිළිබඳව ද කියවෙන බැවින් ඈ ගමන්කරනු ලබන්නේ කුමන අන්තයක සිටද යන්න පාඨකයා දැනගනී.ගාට ගාට එන බස් රිය මාර්ග අංකය එකසිය විස්සය. මෙහිදී වුව කිවිඳිය ව්‍යවහාරයේ පවතින මාර්ග අංක පිළිබඳ දැනුමකින් යුතුව එය තම නිර්මාණයට එක් කොට ගෙන ඈති බව හැඟේ.එකසිය තිස් අට කී සැණින් හෝමාගම මහරගම කොළඹ බසයක් සිහිවන්නාක් මෙන් එකසිය විස්ස කී විගස එය නිසැක වශයෙන්ම හොරණ කොළඹ හෝ පිළියන්දල කොළඹ බව ගමන් ගන්නා බස් රථයකි. බොරලස්ගමුව,පැපිලියාන, කොහුවල, කිරුළපන, තිඹිරිගස්යාය, තුන්මුල්ල පසුකරමින් ගාටමින් එන බසයක නැගී ඉන්නා ඈ උත්සාහගන්නී ඔහු අමතක කරන්නටය.එහෙත් ඇයට මතක් වෙන්නෙම ඔහු බව කියැවේ.

බොරලැස්ගමුව පැපිලියාන

කොහුවල කිරුළපන

තිඹිරිගස්යාය තුන්මුල්ල

ඔය සේරොම පහුකරන්

එකසිය විස්ස

ගාට ගාට එනකොට

මං හදන්නෙම අමතක කරන්න ඔයාව

( මට මතක් වෙන්නෙම ඔයාව )

ගාට ගාටා එන බසයක සිටින්නට සිදුවන කාලය දිගුය.ඊට අමතරව බස් රථවලින් ඇසුණු කන්කරච්චලයක් වූ සංගීතය අද නැති බව ඈ දනී.එහෙත් ඉන් ඇගේ සිත සන්සුන්ව තබාගැනීමට ඉඩක් නොලැබේ.ඇයට හෙමින් ඇසෙන එෆ්.එම්.නාලිකාවක ගී හඬකි. ඒ හඬ කාගෙද? ඒ ගීතය කුමක්ද?

එෆ් එම් චැනල් එකක

හරි හෙමිහිට ඇහෙනවා

ලක්ෂ්මන්ගේ

සඳ කිනිති නැමී නිල් දියට

එබෙන සේයාව...

ඈ තම අත්දැකීම ප්‍රබලව කීමට සමත් උචිතම ගී ඛණ්ඩයක් තෝරා ගනී. ලක්ෂ්මන් විජේසේකරගේ ගීතයක කොටසකිනි ඇගේ ධ්‍යානය බිඳ වැටෙන්නේ. සඳ කිනිති නැමී නිල් දියට එබී සොයන්නේ සඳේ සේයාවයි. ඔබ නෙතට එබී මගෙ නෙතද සදා සොයන්නේ මගේ සේයාවයි. ගිතයේ අර්ථය මෙන්ම ලක්ෂ්මන් ගේ ප්‍රේමණීය ගායනය ද ඇගෙ සිතට අමතක කරන්නට උත්සාහ ගනු ලබන ඔහුගේ මතකය කැඳවයි. ඈ බස් රියේ සේවකයන්ට දොස් පවරයි.

චික්... මේ බස් කාරයො

මට අමතක කරන්න

නොදෙන හැටි ඔයාව

ඇගේ සිතට කිසිදු ගැලවීමක් නම් නැත්තේය.ඔහු මුණ ගැසේවි යයි අනුමාන කෙරෙන ඇගේ ගමනාන්තයට ද ඈ පැමිණ සිටින්නීය.අහම්බෙන් හෝ ඔහු මුණ ගැසේවිද කියාත් ඇයට සැක සිතේ.අමතක කරන්න උත්සාහ ගන්නවා නම් අහම්බෙන් හෝ ඔහු මුණ ගැසේවිද කියා සැක සිතන්නේ ඈ ඔහු ගේ හමුවීම යටි සිතින් අපේක්ෂා කරන බැවින්ද? ඇයට දැන් කොළඹ සුළඟ දැනේ. එය සුවඳ යයි කියන්නී ඒ සුවඳ ඔහුගේ සුවඳ ඇගේ මතකයට නංවන බැවින්ද?

කොළඹ හුළඟත් හරි පුසුඹයි

මං දන්නව ඒ සුවඳ අයිති ඔයාට

රොබරොරෙසි මල් හැලිල

එක යායට ග්‍රීන් පාත් පුරාම

කලා භවන ළඟඳිත් මං හැරි හැරී හෙව්වෙ ඔයාව

ඈයට ඔහු අමතක කරන්නට අවශ්‍ය නම් කලා භවන අසල දී හැරි හැරී ඔහු සොයන්නේ කිමද? එක යායට රොබරෝසි මල් පතිත වුණු ග්‍රීන් පාත් පසු කරන කල ආ ඔහු මුණ ගැසුණු සුන්දර අතීතයට ගියාවද්ද? ඇගේ ප්‍රේමය අසවල් වර්ගයේ ආදරයැකැයි විස්තර කළ නොහැක්කකි. සත්‍ය වශයෙන්ම ඈ ඔහු අමතක කිරීමට උත්සාහ ගන්නී ද? ඔවුන් දෙදෙනා මුණ ගැසුණු එක දවසකදී හෝ කියන්නට අමතක වූ කාරණාවක් අද ඇගේ මතකයට එයි. එය අපූරු සිතිවිල්ලකි.

මුණ ගැහුණු එක දවසකදිවත්

මට බැරි වුණා කියන්න මේ කාරණාව

මොනර නිල් පාට තමයි ඇන්ඳම

ලස්සනම ඔයාට

ඈ මොනර නිල් පාටම තෝරාගන්නී කිමද? ඔහු මොනරෙකු මෙන් ආඩම්බරකාර චරිතයක් බව කීමටද? තවත් කොපමණ නිල් පාට තිබේද? මුහුදු නිල Sea Blu, අහස් නිල Sky Blue ? එහෙත් මොනර නිලම Peacock Blue ඔහුට ලස්සන බව ඈ දකින්නී ඔහුගේ ආඩම්බරකාර ගති සොබා සංකේත්වත් කරනු පිණිස ද නොවේ නම් සැබැවින්ම මොනර නිල් පාට ඇඳුමින් ඔහු ලස්සනට පෙනෙන නිසා ද? එක්වරම ඇයට සිහිවන්නී අමතක කරන්නම උත්සාහගන්නා ඔහු පිළිබඳව නොවෙද ඈ මේ කල්පනා කරන්නී කියායි. සිත දැඩි කොටගෙන ඈ මෙසේ කීවාද ඇය ඔහු අමතක නොකරන බව කවියෙහි යටි පෙළ අරුත පවසනු දැනේ.

අහ්.. මේ මොනව කිව්වත්

ඔයා බලන් ඉන්නකෝ

සත්තයි මං අමතක කරනවා ඔයාව

ආදරය පිළිබඳ, පෙම්වතුන් පෙම්වතියන්ගේ විරසකවීම් පිළිබඳ ලියැවී ඇති ලියවෙන කවි අතරට ශානිකා ශෂීප්‍රියා එක් කරන මේ ප්‍රේමණීය අත්දැකීම එවැනි සුලබ ආදර අත්දැකීමකට වඩා වෙනස් වූ චමත්කාර හා සුන්දර හැඟුම් දනවන නිර්මාණයක් වී තිබෙනු පෙනේ. අනවශ්‍ය කාව්‍යාලංකාරවලින් තොර වූ එහෙත් කවියෙහි මුඛ්‍ය අර්ථය දැනවීමෙහි ලා කාව්‍යොචිත වචන පමණක් තෝරා ගනිමින් අවසන් වී ඇති නිර්මාණය තුළ සිත කොතෙක් දැඩි කොටගෙන අමතක කිරීමට සැරසෙන එහෙත් අමතක කිරීමට නොහැකි පෙම්වතෙකු කවියෙහි කතානායිකාව තුළ අපි දකිමු.පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ ආදර ලෝකයක කොළඹට පර්යාය පදයක් සේ දකින පෙම්වතෙකු පිළිබඳ කවිය තුළ ආදරයේ අප නොදුටු පැතිකඩක් පෙනේ. එය රමණීය අත්දැකීමකට අප හවුල් කරවා ගැනීමකැයි සිතේ.


බුද්ධදාස ගලප්පත්ති


10 comments:

  1. බුද්ධදාස ගලප්පත්ති සූරීන්ගේ මේ අගැයුම සඳවතීට තව කවි ලියන්න උත්ප්‍රේරකයක් වේවා....!
    හරිම ආඩම්බරයි අපිට ඉතින්....!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආකී ඔයාගේ මේ කමෙන්ට් එකටත්. හැම තිස්සෙම මගේ නිර්මාණ දිවියේ ජයග්‍රහණ වලට සතුටු වෙන අයගෙන් එක්කෙනෙක්නෙ ඔබතුමා.

      Delete
  2. කාව්‍යය කියවීමෙන් පසු ආවෙ බොහොම empathetic (ළෙන්ගතු?), සමීප බවක්. ඒ ගලප්පත්ති තුමාගේ විස්තරය කියවීමට පෙර.
    මිසීගේ අනිත් පබැඳුම් වල වගේම මේකෙත් 'හොරාට වගේ' ලාවට විතර උඩින් දුවන දුකත් අගේටම පුරුද්දල තියෙනවා.
    අනර්ඝයි!

    සත්තයි මං අමතක කරනවා ඔයාව. ඇත්තටම.???
    හ්ම්ම්!. ඔට්ටුයි බෑ

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැට්ටර්..ඔයාගේ ඇගයීමටත්...බලමු බලමු ට්‍රයි කරනවා අමතක කරන්න 😋

      Delete
  3. අමතක කරන්න හදන නිසාම නේද අමතක ජරන්න බැරි.....

    ලස්සනයි කවි ටික🤩

    ReplyDelete
    Replies
    1. ඒකනේ...ස්තූතියි මෙහෙ ආවට

      Delete
  4. හැම සතියෙම අපේ සඳවතියගෙ ලස්සන කවියක් පත්තරේ පළවන කාලයක් නැවත උදා වේවා. සඳ ගිල දමන්නට එන රාහු බලවේග සියල්ල භංග වේවා!!!

    ReplyDelete
    Replies
    1. හි හී...ස්තූතියි උදේම කල ඒ ප්‍රාර්ථනාවට..

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...