සඳට බැළුම් හෙලූ අය

Dec 2, 2023

සංක්‍රාන්තිය ට පසු





හැන්දෑකරේ ලා අඳුර
රූට රූටා විත්
වැරැන්ඩා දොරකොඩ වැතිර
ඉසිඹුලන්නට තනයි

ඈත පාලුවට ගිය
කැලෑ මණ්ඩිය දෙසින්
මොනර කල කල නාදය
පාලු  මූසල හැඟුම් දනවයි

තාමත් අගුල් නොදැමූ
කවුළුව අතරින්
නාදුනන කැලෑ මල් සුවඳ
අනාරාධිතවම ගෙට වදියි

බිනරමහේ ගැබ්බර වෙච්චි හද
එබි එබී පොල් රුප්පාව අතරින්
තනිකම මිහිරිදැයි
හෙමිහිට අසයි

හරි පුංචි ,එනමුත්
මොඩර්න් කුස්සියක
රතුහාලේ බතට කරවල බැදුමක්
පොල්සම්බෝලයක් එක්ක මුහුවෙයි

නිදි නැති රැයේ
මහා මූකලාන කැලේ
ස්මාර්ට් ජංගමෙන්
මිල්ටන්ගෙ සිංදුවක් ඇසෙයි

 " මන්දර පව්වේ හිම පියසේ
    චන්දන අරණේ මද සිසිලේ "

සියලු සාංකා දෝමනස්ස
ජැක් ඩැනියෙල්  වඩියකට
ලතාවට සැන්ඩි කොට
මදි පාඩුවට කංසා දුමක්  උරයි

26 comments:

  1. ජැක් ඩැනියෙල් සහ පොල් සම්බෝල් එකම කවියක. +++++++++

    ReplyDelete
  2. කංසා වේප් එක තියෙනවා ඕනෙනං

    ReplyDelete
    Replies
    1. සාංකාවට කාංසා ගැලපෙනවනේ 😜

      Delete
  3. හරිම ලස්සනයි. කියවද්ද පුංචි හිරිකඩයකුත් ඇඟට වැදුනා වගේ. අර බතට බැදපු මිරිස් කරලක් පපඩමක් එහෙමත් තිබ්බා නම් මරු කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඒවත් හදාගමු..කවියට නොගැලපුණාට💜️

      Delete
  4. සංක්‍රාන්තියත් නරකම නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. කොයි දේත් නරක නෑ හුරු උනාම නේද

      Delete
  5. කවිය මරු ඈ.
    අවුසදේ උනත් ජැක් ඩැනියල් නං එපා!. ටෙනසි විස්කි නෙවේ ඔරිජිනල් සිංගල් මෝල්ට් එකක්නං හා.
    රතු හාලෙ බතයි පොල් සම්බෝලෙයි oh boy I am in Heaven
    අපෙ උන්දැට කට්ට කරෝල ගේන්ඩ එක ගමනකට යන්ඩයි එන්ඩයි කිලෝමීටරම පන්සීයක්ම යනෝ. හිතාගතෑකිනේ ආලෙ. මං කිව්වෙ කරෝල වලට.


    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හනෙ අම්මේ එච්චර දුරක් ගෙවාගෙන ගිහින් හරි අරන් එන එකම මදෑ...ඇත්තටම රාජ භෝජන තිබුනත් වැඩක් නෑ නොවැ පොල්සම්බෝලයක් කරවල කෑල්ලක් නැතුව

      Delete
  6. Replies
    1. ඔව්නේ ..පහුගිය ටිකේ නාවේ මොකෝ මෙහෙ ආ...

      Delete
  7. සඳූගේ පුරුදු කවි හරඹය නැවතත්. හරිම ලස්සනයි ඳූ.
    ජයවේවා !!!

    ReplyDelete
  8. මේ කවිය නං මසුරං, ඈ? කොටින්ම මම මේක OneNote වල සේව් කර ගත්තා.

    අහා! පොල් රුප්පාව, රතුහාලේ බතට කරවල බැදුමක්
    පොල්සම්බෝලය. මේ වචන අපව වෙනම මානයකට ගෙන යනවා. මාත් බල කූරියෙක් ගෙනැල්ලා ජාඩි දැම්මා, තව සිංහල අච්චාරුත් තියනවා. හ්ම්...වේලිච්ච හාල්මැස්සොත් තියනවා, පොල්සම් බෝලෙ විතරයි අඩු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉතින් ඒ අගය කිරීමට බසූ..ඔක්කොම තියෙන එකේ සම්බෝලෙකුත් කොටා ගමු ඉතින්..

      Delete
  9. ඔබට අනන්‍යවූ කවිත්වය බොහෝ කලකින්!

    ReplyDelete
  10. මේක කියවද්දී අපිත් එතැන! නියමයි :)

    ReplyDelete
  11. මටත් හිතයි ජැක් ඩැනියෙල් වඩියක් ගන්න. එච්චරට දුක් දෝමනස්ස මේ ටිකේ. කවිය හරි ලස්සනයි සඳේ.

    ReplyDelete
  12. ඔහොම යං . ඔහොම යං . ඔක්කෝම ලස්සනට මුසු කරලා තියෙනවා .

    ReplyDelete
  13. පට්ට 👏 මැවෙන දේවල් ඔක්කොටම

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...