සඳට බැළුම් හෙලූ අය

Dec 10, 2023

පෙම් පිය සටහන් 2

 


පෙම් පිය සටහන් 1

ඒ යෞවනේ  එලිපත්ත..ඔව්  හිරිමල් හැඟුම් පෙති දෙපෙති  විදා පිපෙන්න ගත්ත විතරයි.සුදු ගවුමට මුවා වෙච්ච පුංචි හිතේ ඔයා කලේ සුලු පටු පෙරළියක් නෙවෙයි.ආදරේ කියන්නෙ මොකද්ද කියල හරියටම නොතේරෙන වයසක උනත් මං ඔයා කෙරෙහි උපන්න ප්‍රේමණීයම සිතිවිලි වලින් හදවතම පුරෝගත්ත.ස්මාර්ට් ෆෝන් තියා අර ලොකු ගඩොල් භාග ෆෝන් එකක්වත් නොතිබුන අනුව දශකෙ අගට වෙන්න පටන් ගත්ත පෙම් කතා වලට එකම පිහිට උනේ ආදර  හසුන්ම පමණයි.දවස් තුන හතරකට පාරක් ඔයාගෙන් ලැබෙන එකම පාට එකම සුවඳ තියෙන ඒ පෙම් පත් වලට මං අප්‍රමාණව ආදරේ කලා..පරිස්සම් කලා..

ඔයාගෙ නංගි මගේම පාසලේ හිටපු නිසා  අපේ ලිපි හුවමාරුවට ලොකු ප්‍රශ්නයක් උනේ නෑ.ඒත් එහෙම  රහසින් ලැබෙන ලියුමක් ශිෂ්‍ය නායක අක්කලට අහුනොවී පරිස්සම් කරන එක ,ගෙදර ගෙනත් ඒක කියවන්න වෙලාවක් හොයාගන්න එක , ඊටත් පස්සෙ ඒ වස්තුව ගෙදරට අහුනොවී තියාගන්න එක පුදුමාකාර යුද්ධයක්.දැන් මතක් වෙද්දි  හිනා ආවට ඒ වයසෙදි එහෙම දේවල් කලා කියන එකත් පුදුමයක්.


දන්නවද නිසල්...

අපිට තිබුනෙ පටන් ගැන්මෙ ඉදන්ම  අහිමිවෙයි කියන බයට ඕනෑවටත් වඩා පරිස්සම් කරපු ආදරයක්.තප්පරේකට මූණ ඩිංගක් බලා ගන්න දවස් ගාණක් පෙරුම් පුරපු කාලයක්...විනාඩියක් දෙකක් ළඟින් ඉදන් කතා කරන්න කල්පයක් ඉවසපු කාලයක්... යාන්තං අතින් අල්ලන්නත් කප්පරක් හීන මවපු කාලයක්...

ඔයාගෙ හැම පෙම් හසුනක්ම කවියක් වගේ හැඟුම්බරයි..ගීතයක් වගේ ළයාන්විතයි..චිත්‍රයක් වගේ ලස්සනයි..ඒ සමහර වචන ගලේ කෙටුව වගේ මගේ හිතේ තාමත් නොමැකී තියෙන්නෙ ඒ නිසාමයි.අවුරුදුම විසිපහකට පස්සෙත් ඒ  සෙනෙහෙ කොළ වල සුවඳ මගෙ නාස්පුඩු වලට දැනෙනවා..ඇස් පියා ගත්තම ඒ දිගැටි පින්තාරු කලා වගෙ අකුරු මගෙ හදවතේ හොල්මන් කරනවා..

නිසල්..

ඔයාට පුලුවන් නම් දැන්වත් මේ මතකෙන් මිදෙන හැටි මට කියල දීල යන්න...අඩුම තරමෙ මගෙන් ඈත් වෙන්න ඔයාට බලපාපු එකම හේතුවක්වත්  මට කියන්න...සමහරවිට එතකොටවත් මට පුලුවන් වේවි විඩෙන්  විඩේ මම මේ ගොඩට අරන් හිත රිද්දගන්න මතකෙ සඳහටම අමතක කරල දාන්න.

**************
ආදරේ  ගැන කිසිත් දන්නැති
කාලයෙදි ආදරෙයි කිව්වා
ඔයා මත්තෙම දියවි දියවී
සෙනෙහසින් ළඟ ඉන්න හිතුවා

මහාගිරිදඹ වගේ උසකට
ඔයා මගෙ අත අරන් දිව්වා
ඉර්තුවක ආදරේ පෙන්නල
හදවතට  පිහි තුඩින් ඇන්නා

28 comments:

  1. දැනට පැමිණීම සටහන් කර යමි!

    ReplyDelete
  2. දන්න දින සිට ඔබව දුටුවේ සිනා මල් මල් එක්කරන්
    ඉන්න හිතුනේ ඒ නිසයි තව සෑම කලදිම ලංකරන්
    ගින්න ඇවිලී හේතු මතුවී දුරස් වූවට මක්කරන්
    යන්න ගිය මුත් සසරෙ දවසක නැවත හමුවෙමු රත්තරන් ...
    --- නිසල් ---

    ජයවේවා සඳූ ..

    ReplyDelete
    Replies
    1. නිසල්ට දෙකක් කියන්න මේ වෙලාව නෙවෙයි මං බිසී අයියෝ..පස්සෙ පදයක් හදන්නං මේ ලස්සන පදේට

      Delete
  3. මම ඒත් බැලුවා කවිය පරක්කු මොකෝ කියලා ඊයෙ රෑ. දැනුයි තේරුනේ සඳවතියට ලයිට් ඇවිත් තියෙන්නෙ පහු වෙලානෙ. ලාස්සනයි කවිය හොඳේ.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ ..මගේ ෆෝනෙකත් ඩෙත් ඉතින් වෙලාවට දාගන්න බැරි උනා

      Delete
  4. පහු වෙලා හරි ලස්සන නිර්මාණයක් ඉදිරිපත් කරලා ! සුපිරි!

    ReplyDelete
  5. අහිමිවුන ආදරේ තමයි අද මිහිරිම

    ReplyDelete
    Replies
    1. ඔව් නේද අහිමි වීම කියන්නෙම බොහොම සුනන්ද දෙයක්බ්බලං යනකොට

      Delete
  6. පිහි තුඩින් ආදරේ ලිව්වේ... කියන්න ඇත්තේ ඕකට වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් මේත් එහෙම එකක් ගැන නේ ..ස්තූතියි

      Delete
  7. ඉයන් හරියටම කියල තියනවා. අහිමි වෙච්ච නිසාම තමයි, ඒක සොඳුරු.

    ReplyDelete
    Replies
    1. හුම්. විරහ රසය කියන්නෙ ඕකටයි කියල... පත්තරේ තිව්නෙ 😁

      කයිය වගේම සටහනත් මරැ ❤!

      Delete
    2. හුම්..විරහව සුන්දර නිසානේ අප්‍රමාණ කවි ගී ලියවිලා තියෙන්නෙත් නමී

      Delete
  8. ලස්සන එත් දුක හිතෙන ආදර කතාවක්. පළමු පෙමට මෙහෙම වුනාම ඒක අමතක කරලා ගොඩ යන්න ටිකක් අමාරුයි. එත් ඈත ඉඳලා හරි ටිකක බලලා හිත හදාගන්න පුළුවන් වුනානම් එකත් සතුටක් වෙන්න තිබුනා.
    ලොවට රහසේ බැන්ද පෙම් බැමි එකින් එක ගිලිහිලා වැටුනා
    සිහිනෙකින් වත් නොසිතු විලසට ඔයා ගව් සිය දුරක ඇදුනා

    ReplyDelete
  9. ඔබේ ලස්සන කවි වගේම සටහනුත් ආසාවෙන් කියවනවා. ප්‍රථම ප්‍රේමයට මේ තරම්ම දේ ලියැවෙන්නෙ ඇයි කියල ආයේ ආයෙත් අහන්න ඕනද. ඔබේ සටහනේ තිබූ ශනිදා දහයට බ්ලොග් සටහන පලකරන්නට බැරිවීම වෙනුවෙන් සරල පිලියමක් තියෙනවා . සතියේ සටහන ඔබට කලින් සැලසුම් කරලා තියන්න පුළුවන්. සමහර වෙලාවට මම මාසෙම සටහන් ලියන්නෙ එක දවසෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ...ඔව් ඒක හොද අදහසක්...මාසෙකර කෙසේ වෙතත් සතියකට දෙකකටවත් එහෙම සැලසුම් කරල තියන්න ඕනේ

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...