සඳට බැළුම් හෙලූ අය
Jan 23, 2012
දුරුතු හීන....................
දුරුත්ත සීතල කරන මල් තුහින වරුසාව මුළු රෑ පුරාම ඇද හැලෙනව...ඇට මිඳුළු පවා සීතලට ගල් ගැගෙන මේ මහ රෑ හැමෝම නිඳි දෙව්දුව තුරුලේ උණුසුම් වෙනවා ඇති.ඒත් මොන කරුමෙකටද මන්දා මෙහෙම දවසටවත් මට සැනසිල්ලෙ නින්ද නොයන හැටි.... ඔලුවේ ඉදන් පෙරෝගෙන ඇස් දෙකත් කිටි කිටියේ තද කරගෙන "" අනේ මාව නිදි කරන්න "" කියලා නිදි කුමාරිට කියලා කියලා ඇති වෙලාම මං පොරෝනයත් විසි කරලා ඇඳෙන් බිමට බැස්සා.නිරුවත් යටි පතුල් වෙලට ඇල්පෙනිති තුඩු වලින් අනිනව වගේ හිරිවැටීමක් දැනුනා.......හීතලට අපි කොච්චර ආස වුනත් එකත් ඕනාවට වැඩිය වැඩි උනාම හරිම කටුකයි. ඒ කටුක බව ඇඟට දැනෙන්න දීල මේ වෙලාවෙ මං විඳින්නේ දුකක්ද ,සතුටක්ද කියන්න මට හරියටම තේරුනේ නෑ....ටක්....ටක් ....ගගා වහළට පිණි වැටෙන සද්දෙ ඇරෙන්න වෙන කිසිම සද්දයක් මට ඇහුනේ නෑ... මේක ඉතින් සද්ද කරන වෙලාවකුත් නෙවේනෙ.මම හිමිහිට මේසෙ උඩ තිබුන ජංගම දුරකතනයෙන් වෙලාව බැලුවා....පාන්දර 2.20යි. ම්...........හීන දකින්න කියාපු වෙලාව.අනිත් හැමෝම ඇස් පියාගෙන හීන දකිද්දි මම ඇස් ඇරගෙන හීන අහුළන්න උත්සහ කරනව.
එක පාරටම හිතට ආපු සිතුවිල්ලකට ආයෙ දෙපාරක් හිතන්න ඉඩ නොතියා මම ගිහින් කාමරේ ජනේල් පියනක් ඇරිය...ඉවක් බවක් නැතුව කඩාගෙන බිඳගෙන ආපු හීතල හුළඟ කිටි කිටියේ මාව බදාගත්ත.හරියට මං එයාට ලියල දීල වගේ...මාව ගල් හැගිල ඇග පුරාම හීගඩු පිපුණ...අර ඉස්සරෝම දවසක ඉස්ස ඉස්සෙල්ලම " ඔයා " මගේ අතින් අල්ලපු දවසෙත් මට මේ වගේම හීතල දැනුනා... මේ වගේම මාව වෙව්ළුවා.... ඔන්න කොහෙන් හරි ගිහිල්ල මම අන්තිමට නතර වෙන්නෙ " ඔයා " ළඟ.... හැමෝම කියන්නෙ "ඔයා " මගෙ ජීවිතේ " කරුමෙ " කියල. ඒත් මම විතරයි දන්නෙ " ඔයා " මගෙ ජීවිතේ " උරුමෙ " කියල
ඔයත් හරියට මගෙ ජීවිතේට ආවෙ මේ කුණාටු හුළඟ වගෙ අනවසරයෙන්... බලහත්කාරෙන්.... ඒ කුණටුවෙන් බේරෙන්න ආරක්ශක ක්‍රම ඕන තරං තිබුනත් එදත් මන් කිසිම දේකින් ආවරණය නොවී ඔහේ බලන් හිටිය.ඔයා මේ සුළඟ වගේ මගේ ළඟ වෙළි වෙළී... එති එතී ඉදලා සීත ඍතුව ඉවර වෙද්දි වෙන දීපංකරේකට ඇදිල ගියා....
මොහොතකට එහා මෙහා වෙච්ච හිතත් අරගෙන මං ආයෙත් කවුළුව අද්දරට වුනා.වෙනදා අපේ වත්තෙ තිබුණ කිසිම දෙයක් මට පැහැදිලිව පෙනුනේ නෑ.බලූ බැලූ අත් සුදු පාට විතරයි.මං බය උනා අහස බිමට කඩන් වැටිලවත්ද කියල.දෙතුන් පාරක් ඇහි පිය ගහල සිහි ඒලව ගත්තට පස්සෙ තමයි තෙරුනේ මුළු පලාතම මීදුමෙන් වැහිල කියල.හරියට නුවර එළිය වගෙ.....සීතළ නුවර එළියටනම් මීදුම අරුමයක් නෙවෙයි.ඒත් කොන්ක්‍රීට් වනන්තරේ කිට්ටුව ඉන්න මට මේක ආශ්චර්යක් වගෙ.ඇදට ගුළි වෙලා පෙරවගෙන උන්නට වැඩිය නැගිටලා මෙතනට ආපු එක ගැන ඔන්න මට සතුටක් දැනුනා. මේ ඉඳුල් නොවූ පරිසරය මේ මොහොතේ දෑසින් විඳින එකම ප්‍රාණියා මම වෙන්නත් ඇති.අපේ ගෙදරනම් මම විතරයි තමා ඒත් මම වගේ නින්ද නොයන රෝගයෙන් පෙලෙන තව පිස්සු ඩයල් තුන හතරක්වත් මේ පලාතේ ඇතිනේ. එයාලත් මන් වගේ ජනේලේ ඇරලා බලයිද....?
සමහර විට ඔයත් ...... ඔන්න ආයෙමත් " ඔයා " ..... නෑ එකනම් කීයටවත් වෙන්න බෑ....මේ වෙලාවෙ ඔයා එයත් එක්ක යුගල යහනක බොහෝම අපූරුවට නිදි සුව විඳිනවා ඇති.ඔයා එයාව කිටි කිටියේ තුරුලු කරන් ඇති. මොකද ඔයා සීතලට කැමති උන කෙනෙක් නෙවෙයිනෙ.ඔයා හැම තිස්සෙම හෙව්වේ උණුහුම.මං හිම කැටයක් වගේ..... ඔයා පුපුරන්න ඔන්න මෙන්න ගිනි කන්දක් වගේ....... හීතල හිම වැස්සක් වගේ ඔයා මත පතිත වෙලා ඔයාව සිහිල් කරන්න පුලුවන් වෙයි කියල මම හිතුව.ඔයාගෙ උණුහුමෙන් චුට්ටක් විතර මටත් දෙවි කියල මන් බලපොරොත්තු උනා.... සාම්ප්‍රදායික පෙම් කතාවෙන් මිදිල අපි වෙනස් දෙන්නෙක් වුනා. සීතලට සීතල නොවී ගින්දරට ගින්දර නොවී අපි සීතලයි ගින්දරයි වුනා.... වෙනස් කුරුල්ලන්ට එකට පියාඹන්න බේ වගෙ තමා සීතලටයි ගින්දරටයිත් එකට ඉන්න බැරි වුනා.ඒ නිසාම අපිට සමුගන්න සිද්ද වුනා.නොකියාම යනවට වැඩිය යන්නම් කියලා යන්න තරම් කාරුණික වීම ගැන මම අදටත් ඔයාට ස්තුති කරනව.
ඔයා ගියා......... මං තනිවුනා........ පස්සෙ ආරංචි වුනා ගින්දර වගේ කෙනෙක් ඔයාගෙ ජීවිතේට ළං කර ගත්තා කියල.ඔයාට තරං ඉක්මනට මට හිත හදාගන්න බැරි උනා.තාමත් දවසට තෙතුන් පාරක් අපි දෙන්න ඇවිද ගියපු පාරවල් දිගේ මං අතීතෙට ගිහින් එනව ඒ එන ගමන් වැටිල තියෙන පුංචි පුංචි මතක පරිස්සමට ආපහු අරන් එනව....මෙහෙම. ඇවිදල ඇවිදල හෙම්බත් වෙන දවසක් අද නැතත් කවදම හරි දවසක ඒවි.අන්න එදාට මං මේ වට පිටාවෙම කැරකෙන " ආදරණීය බලාපොරොත්තුවකට " මම වචනයක් දෙනව.එතකං මගේ උරුමෙ ඔයා......එක නවත්තන්න මේ කටවත්ම බෑ
ඉතින් දැන්නම් අහස පොළව වෙන් කරන්න පුළුවන් තරමට මීදුම හේදිලා ගිහින්....ඈත කොහේදෝ රේඩියෝවකින් පිරිත් හඩකුත් ගලාගෙන එනව... ඒ කියන්නෙ දැන් එළි වෙලා.......අපේ ගෙදර අයත් අවදි වෙලා ඇති.... ඒ කියන්නෙ මට නිදාගන්න වෙලාව හරි.... මම හීන් සීරුවේ ජනේලෙ වහල දාල ඇදට පැන්න.... දැන් ඉතින් දවල් 12 ටවත් මාව ඇහැරවනව බොරු.
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
sodurui soduru sadawathi...
ReplyDeleteබොහොම ස්තූති ටූටියෝ ඔයාට ...මගේ බ්ලොග් එක කියවන්න එකතු වීම ගැන ගොඩක් සතුටුයි...
ReplyDeleteඇත්තටම ඔයාට හොදට අලුත් නිර්මාණ කරන්න පුලුවන් එහෙම නැතුව මේ වගේ එකක් ලියන්න කාටවත් බැ.. මේක කියවන අය හිතන්නේ මේක ඔයාටම වුන එකක් කියලා.. එ තරමට පපුවට දැනෙන්න ඔයා ලියලා තියෙනවා.. මුල් ටික ආසවෙන් කියවන් ආවේ එත් අන්තිම ටික කියවන කෙට දුක වැඩිය බොලව්.. මට හිතෙන්නේ ඔයාගේ නිර්මාණය සාර්ථකයි
ReplyDeleteබොහොම ස්තූති පූ දිරිගැන්වීම් වලට...ඔයා සාර්ථකයි කිවුවනම් අනිවා මම හොදට ලියලා තියෙනව තමා....
Deleteඔයා සාර්ථකයි කවී..
ReplyDeleteහැමදාමත් වගේ අදත් කියන්නෙ ඔයා ඇත්තටම සොදුරු නිර්මාණකාරියෙක්..
ස්තූතී නිශී
Delete