සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Feb 12, 2019

ඉරණම්කාරී !


         

         හැ
මදාමත් වගේ අදත් මුලු හැන්දෑ වරුවම කුමාරි ගත කලේ අබලන් වෙලා වැල්ලෙ පැත්තකට දාල තියෙන කැඩුණු ඔරු බඳට වාරු වෙලා මහ මුහුද දිහාවට ඇස් දල්වගෙන.තප්පරයක් තප්පරයක් පාසා දෙපා මුලට ඇවිත් බිඳෙන විසිරෙන රළ ගෙඩි අතොරක් නැතුව ඈව තෙමන එක ගැන  කුමාරිට ඒ තරම් ගානක් තිබුනෙ නෑ.ඇගේ ඇස් තිබුනෙම ඈත ඈත ඉර ගිලෙන දිහාවෙ .කොයි මොහොතෙ හරි ඒ ඉසව්වෙන් දැල්වෙන බලාපොරොත්තුවක සේයාවක් හරි ඇස් කොනින් අල්ලගෙන වෙරළට ඇදගෙන එන්න ඇය සැදී පැහැදී බලන් උන්න. අදක ඊයෙක ඉදල නෙවෙයි දැන් මාස ගණනාවක් තිස්සෙම හැන්දෑවට හැන්දෑවට මේ මුහුද දිහා බලන් ඉදිල්ල දැන් කුමාරිගෙ දින චර්යාවෙම කොටසක් වෙලා. හරියට මූදු කරේට ඉර පායනව , ඉර බහිනව , මූදෙ රැළි නැගෙනව රැළි බිඳෙනව වගේම අබලන් ඔරු කදට බර දීල මුහුද දිහා බලන් ඉන්න කුමාරිගෙ දසුනත් මේ මූදු කරේට ආවේනික දෙයක් ගානයි.

මාරී.. මාරී... මා...රි...යෝ.....

ගිනි බෝලයක් වගේ රතු වෙච්ච ඉරේ අන්තිම රැස් කඳත්  මුහුදු වතුර ඩැහැගන්නකොටම කුමාරිගෙ සිතුවිළි බිඳුනෙ ඇනීටා අක්කගෙ කෑ ගැහිල්ලට.
මොකක්ද බං නංගියේ මේකෙ තේරුම... මං කට කැඩෙනකන් උඹට කියනව ඉර බහින ජාමෙට මෙතන්ට වෙලා ඉහ අත් බදන් ඉන්න එපා කියල කෝ කොච්චර කිව්වත් උඹ කණකට ගන්නෙ නැති හැටියක්...

         හැමදාමත් වගේ අදත් ඇනීට අක්ක දෙස් දෙවොල් තියන්න පටන් ගත්තට කුමාරිට ගානක්වත් නෑ.කුමාරි දන්නව ඈ ඒ හැමදේම කියන්නෙ කුමාරිගෙම හොදට කියල.ඈත දීපංකරේක ඉදන් ඇවිත්  මේ වැල්ලෙ නැවතිච්ච දා ඉදන්ම කුමාරිගේ දුකට සැපට පිහිට උනේ තනියට උන්නෙ ඇනීටා අක්ක.මිනිහෙක් නැතුව දරු දෙනෙක් එක්ක  වැල්ලටම පදම් වුණු කටෝර සිතුම් පැතුම් කටෝර බාසාව නිසා ඈ නපුරුයි වගේ පෙනුනට ඇනීට අක්ක ළඟත් තිබුනෙ අනුන්ගෙ දුකේදි උණු වෙලා වැගිරෙන හිතක්.
මෙතන්ට ආවම මගේ හිතට හරි සැනසීමක් දැනෙනව අක්කේ..

මහා හුස්මක් පිට කරල කුමාරි ඇනීට අක්කට එහෙම කිව්වෙත් මහ මුහුද දිහා බලාගෙනමයි.

සැනසීමක්.... අනේ මගේ කට.. යකෝ සැනසීම ඕන්නං මෙතන්ට වෙලා හූල්ල හූල්ල ඉන්නෙ නැතුව  ඔය රේල් පාර පැනල  පලයංකෝ  අර පේන පල්ලියට... ඒ ඕං නෑ උඹ බුද්ධාගං  කාරි වෙච්චි මෙතන ඉදල  මීටර් දෙසීයක්වත් නෑනේ පන්සලට ඔය පේන්නෙ කොත් කැරැල්ලත් මෙතෙන්ට .. පලයංකෝ ගිහින් මලක් පහනක් පූජ කරලවත් හිත හදාගනින්කෝ...

 ඇනීට අක්ක ඒ ටික කිව්වෙනම් හැබෑම කේන්තියෙන් කියල කුමාරිට ආයෙ අමුතුවෙන් හිතන්න ඕන උනේ නෑ.පල්ලියකට පන්සලකට ගිහින් හදාගන්නවත් හිතක් මේ වෙනකොට ඉතුරු වෙලා තියෙන්න එපැයි.කුමාරි හිතුවෙ එහෙම.ඒත් මුකුත්ම නොකියපු කුමාරිගේ ඇස් මුලට වීදුරු බෝල වගේ දිලෙසෙන කඳුළු ගුළි දෙකක් එකතු උනා.ඇනීට ඒ කඳුළු දැක්ක.ඇගේ කේන්තිය ඒ කඳුළු බෝල වලට යට ගියා.

මම මේ දෙස් තියන්නෙ තරහට නෙවෙයි කියල උඹ දන්නව නංගියෙ..එක බඩවැල කඩං ජාතක නොඋනත් උඹ මට මගේම සහෝදරියක් වගේ.උඹ මෙහෙම දවස තිස්සෙම හූල්ලනව මට බලන් ඉන්න අමාරුයි  ඇයි යකෝ දවසක් දෙකක් කියලද මාසයක් දෙකක් කියලද දැන් මාස පහකුත් ඉවර උනානෙ.උඹ දැන් හිත හදා ගන්න ඕනේ මගෙ නංගියෙ.උඹ විතරක්නම් කමක් නෑ මම එහෙනම් මෙච්චර උඹට කියවන්නෙ  නෑ..යකෝ දැන් ඔය සේරටම වැඩිය මේ බඩේ දඟලන එකා ගැන හිතපං...ඒකටත් දැන් මාස පහක්නෙ..උඹ ඔහොම ආතක් පාතක් නැතුව ඉදල කොහොමද ළමයෙක් වදන්නෙ...?
ඇනිට අක්කගෙ හී සර වගේ වචන වලට කුමාරිගෙ බඩ පපුව පත්තු උනා.යාංතමට ඉදිරියට නෙරල තියෙන කුස අතගාද්දි කුමාරිගෙ ඇස් වල කඳුළු මුහුදු වතුරටම කඩාගෙන වැටුන.

ඔය ආයෙත් ඇඬියාව පටන් ගත්ත .. යමං...යමං දැන් ඇති ඔය.. උඹ අපේ පොඩි එකීට කියල තිබුනනෙ අලුත් මාලු හොදියි පොල් සම්බෝලයි සුදු බතුයි කන්න ආසයි කියල.දැන් යමං ගෙට  ආං  මම උණුවෙන්ම  ගෙනල්ල ඇති.

 ඇනීට කුමාරිව වත්තන් කරගෙන ගේ දිහාට එක්කන් ගියේ හැබෑම සෙනෙහසින්.


                          *          *           *          *         *

                       ලංකා සිතියමෙන් විතරක් හලාවත අහල දැකල තිබුන කුමාරි මේ වැල්ලට  ගහගෙන ආවෙත් හරිම අපූරු විදියකට.දකුණේ ඇඹිලිපිටියටත් එහා පුංචි ගමක ජීවත් උන කුමාරි ගමේ නඩයක් එක්ක මුන්නේසරම් වදින්න  ආව.කෝවිල් ඇවිල්ල හිටපු ජූඩ්ගෙ ඇස් කුමාරිගෙ ඇස් වල ගැටුනෙ සංසාරේ පුරුද්දකටම වෙන්න ඇති.ඇස් බැලුම් දහ දොලොස් වතාවකට පස්සෙ  හිනා අහුරු  කෝල බැලුම්,ඊට පස්සෙ ඉඟිබිඟි ඊටත් පස්සෙ රහස් සංඥා අන්තිමට ටෙලිෆෝන් නොම්බර හුවමාරුවක් දක්වා දුර ගියා. ඉතින් ඊටත් පස්සෙ පැය ගනන් වරු ගනන් ගෙවුණ දුරකතන සංවාද කීපෙකට පස්සෙ හතරපස් ගමනක්ම ජූඩ් කුමාරි බලන්න ඇඹිලිපිටි ගියා. හලාවත වැල්ලෙ ජූඩ් ඇඹිලිපිටියෙ කුමාරිත් එක්ක ආදරෙන් බැඳුනෙ අන්න එහෙමයි.හැබැයි මේ ආදරේ කුමාරිගෙ ගෙදරින් වහං කරන් ඉන්න වැඩි කාලයක් ඉඩ ලැබුනෙ නෑ.කුමාරිගෙ තාත්ත ජූඩ් ගැන දැනගෙන ආවේස උනේ රාක්සයෙක් වගේ.කපල වැවේ  දැම්මත් මාලු කාරයෙක්ට  දුව දෙන්නෑ කියල තාත්ත පරසක්වල ගැහුව.තාත්තගෙ දැඩි තීරණ , ඉවක් බවක් නැති  ගුටි බැට ළඟ කුමාරිගෙයි ජූඩ්ගෙයි ආදරේ තවත් ශක්තිමත් උනා.අවසානෙට හැම මුර කපොල්ලක්ම බිඳගෙන කුමාරි මුලු ඇඹිලිපිටියටම ආයුබෝවන් කියල ජූඩ් එක්ක පැනල ආව.ඉතින් එහෙම ආපු ගමන නැවතුනෙ මේ වැල්ලෙන්. කාත් කවුරුත් නැති ජූඩ්ට කුමාරි මුලු ලෝකයක්ම උනා.ඇඹිලිපිටියෙ කුමාරි හලාවත ලෙල්ලමේ හැමෝටම මාරි එහෙම නැතන් මාරියෝ උනා.හැබැයි  ඒ වෙනකොට කුමාරිගෙ තාත්ත කුමාරි මලා කියල ගමේ මරණ දැන්වීමුත් ගහල  හත් දවසෙ දානෙකුත් දීල කුමාරිව දරු කමිනුත් අයින් කරල තිබුන.

මාරියෝ....නංගියේ...

ඇනීට අක්කගෙ හඬින් ආයෙමත් කුමාරිගෙ දැහැන බිදුන.

කෝ ඉතින් කාල ඉදපන්කෝ .. උඹ  හරියට හීනෙන් ඇවිදිනව වගේනෙ..

ඇත්ත තමයි වැල්ලෙ ඉදල මීටර් දෙසීයක් විතර තියෙන  තමන්ගෙ ගෙදරට ඇවිදන් ඇවිල්ල  දැන් ඉන්නෙ එලිපත්තෙ වාඩි වෙලා කියලත් කුමාරිට කල්පනාවක් තිබුනෙ නෑ.

අක්ක යන්න අක්කේ මම පස්සෙ කන්නම් ...

කුමාරිට ඇත්තටම ඕනෙ උනේ මේ වෙලාවෙ කෑම නෙවෙයි ටිකක් තනිවෙන්න.

පස්ස... අනේ උඹේ මම නොදන්න පස්ස...හොද හිතින් කාල පිගාන දීපන් මට අරන් යන්න..

කුමාරි නැගිටල ගිහින් ඇනීට අක්ක බෙදන් ඇවිත් තිබුන බත් පිගාන අතට ගත්තෙ ඇනීට අක්කගෙන් ගැලවීමක් නැති බව තේරුන හින්දමයි.කුමාරි ඒ වෙනකොට හිටියෙ දවල්ටත් කාල නෙවෙයි  ඒ හින්දමද කොහෙද කෑම සුවඳට ඇගේ කුස ගින්න තවත් ඇවිලුනා.වෙනමම කල්පනාවක ඉදගෙන උනත් කුමාරි තමන් ගෙනාපු බත් එක ඇටයක්වත් ඉතුරු නොකර කාපු එක ගැන ඇනීටට අප්‍රමාණ සතුටක් ගෙනාව.කුමාරි හොදල දීපු පිගානත් අරගෙන එළිපත්ත පැන්න ඇනීට අක්ක ආයෙත් හැරුනෙ තවත් අලුත් කතාවකට මුල පුරන්න කියල කුමාරිට ඉවෙන් වගේ දැනුන.

ඈ බං නංගියේ... මට ඇත්තටම කියපං උඹ මොනාද කරන්න හිතන් ඉන්නෙ කියල..

මුකුත් නෑ අක්කෙ... කුමාරි කිව්වෙ  මහ මුහුද දිහාට හූල්ලන ගමන්.

හෙට අනිද්දා ළමයෙක් වදන්න ඉදගෙන උඹ ඔහොම ආතක් පාතක් නැතුව කතා කරන්න එපා බං තවත්...වෙච්චි දේ  උනා.... දැන් ඉස්සරහට මූණ දෙන්න හිත හදාගනිං.. මටත් මේ බනේ හැමදාම උඹට කියන්න බෑ ...
 
එයා එයි අක්කේ... කුමාරි කිව්වෙ අයෙ අයෙම ඇස් වලට කඳුළු එකතු වෙද්දි.

කුමාරිගෙ ඒ කතාවට ඇනීට අක්කගෙත් පපුව හෙල්ලුනා උනාට  එයා ඒක කුමාරිට පෙන්නුවෙ නෑ.ඇනීට ආයෙම ඇවිත් එළිපත්තෙ වාඩි උනා.මොන විදියෙන් හරි කුමාරිගෙ මේ හිතිවිලි වෙනස් කරන්නයි ඇනීටට ඕනේ.

උඹ දන්නවද.. දැන් මට අවුරුදු හතලිස් දෙකත් ඉවරයි. මේ වැල්ලෙ ඒ හතලිස් දෙකටම මූදු ගිහින් ආපහු නාව එකම බෝට්ටුව උඹේ මිනිහා ගිය එක නෙවෙයි... මේ වැල්ලෙ මිනිහා නැතුව තනිඋන එකම ගෑණිත් උඹ නෙවෙයි..අනික  පොඩ්ඩක් කල්පනා කරපං මාරියෝ  ජූඩා එක්ක තව උන් හතරක් ගියා උනුත් දරු පවුල් කාරයෝ කෝ  .. ඒ එක ගෑණියෙකවත් උඹ වගේ මෙලෝ විකාරයක් නැතුව මුහුද දිහා බලන් ඉන්නවද... සතිය දෙක යනකොට උන් ජීවිතේ ගැට ගහගන්න මාර්ග හොයා ගත්තා...

ඇත්ත මුතු කුමාරි බෝට්ටුව මහ මූද ගිල ගත්තෙ පවුල් පහක් මේ වැල්ලෙ  අතරමං කරල.ගෑණුන්ට තමන්ගෙ මිනිස්සු  ළමයින්ට තමන්ගෙ තාත්ත අම්මලට පුත්තු අහිමි වුන පලවෙනි වතාවත් මේක නෙවෙයි.ඇනීට කියන්නෙත් ඒ කාලකන්නි අත්දැකීම අපූරුවට විඳපු ගෑණියෙක්.ඇනීට අක්කගේ මනුස්සයා ගිය  බෝට්ටුව අතුරුදන් වෙලා මේ වෙනකොට අවුරුදු ගණනාවක් ගෙවිල  ගිහින්.එයා මේ වැල්ලෙ තනි වුනේ ගෑණු දරුවොම දෙන්නෙක් එක්ක.ඇඹිලිපිටියෙ ගමේ ජීවත් වෙන කාලෙ විතරක් නෙවෙයි කුමරිගෙ සැමිය වෙච්චි ජූඩ්ව මේ මහ මුහුදු පතුලෙ සඟව ගන්නකම්ම කුමාරි මුහුදට පුදුම විදියට ආදරේ කලා.ඒත් දැන් ඒක වෛරෙකට පෙරලිලා.මුහුදු පතුල ගිල ගත්ත හැම මිනිස් ජීවිතයක් වෙනුවෙන්ම කුමාරි මහ මුහුදට සාප කලා.

මුදලාලි ඊයෙත් අර කාරණාව ගැන මගෙන් ඇහුවා...

ඇනීට අක්ක ආයෙම කතාව පටන් ගත්තෙ වෙනස්ම  තැනකින්.කොයි වෙලාවෙ හරි ඔය කතාව මතු වෙන බව දන්න නිසාම කුමාරි ඒක වගකට ගත්තෙ නෑ.

මාත් ගෑණියෙක් වෙච්චි කොට මට බෑ ඒ කාරණාව ගැන උඹට බල කරන්න.. ඒත් උඹ මොනම දේකට හරි ඔයිට වැඩිය හයි හත්තියට ඉන්න ඕන කියල විතරයි මම උඹට කියන්නෙ...

ගවුමට උඩින් ඇදන් උන්න මල් චීත්තෙ බුරුල් කරල ආයෙමත් ගැට ගහගෙන ඇනීට  යන්න නැගිට්ටෙ කුමාරිට තනිවෙලා කල්පනා  කරන්න ඉඩ දෙන්න ඕනෙමයි කියල හිතුන නිසා.කරුවල වෙච්ච වැල්ල දිගේ ඇනීට අක්ක කලු තිතක් වගේ නොපෙනී යනතුරුම බලන්  උන්න කුමාරි මහා ලොකු හුස්මකින් ළය සැහැල්ලු කර ගත්ත. අනේ ඒත් ජූඩ්ට යන්න උනේ තමන්ගෙ ලෙයින් පැටියෙක් හුස්ම ගන්න පටන් අරන් කියල  නොදැනමයි.ඒක සිහිවෙද්දි කුමාරිට වාවන්නෙම නෑ.


                                   *    *    *    *    *    *    *    *

                
එදා හැන්දෑවේ කුමාරි හිටියෙ ඇනීට අක්කලගෙ ගෙදර කෙල්ලො දෙන්නට පාඩම් වගයක් කියා දිදී.උදේ ඉදලම කුමාරි හිටියෙ හරි සනීපෙකිනුත් නෙවෙයි.හැන්දෑවෙ පිළී සුවඳත් එක්ක සැරට හමන  හුළඟ කුමාරිට ඉවස ගන්නම බැරි උනා.ඈ පිලිකන්නට දුවල ගිහින් ඔක්කාර කරද්දි ඇනීට අක්ක දුවගෙන ආවෙ හිනාවෙවී.යන්තන් අවුරුදු විසි දෙක පන්නපු කුමාරිට ඒ හිනාවෙ අරුත  නොතේරුනා නෙවෙයි.

මොකෝ කෙල්ලෙ මේ... ඇනීට කුමාරිව වත්තන් කර ගත්තෙ සතුටු හිනාවකින්මයි.

අනේ මදං අක්කෙ... කුමාරි ලැජ්ජාවෙන් ඇඹරුනා.

ඇනීට අක්ක පොඩි එකීට හොරෙන් කුමාරිගේ කනට කරල  අහපු දේට කුමාරි
හ්ම්ම්ම්... ඔව්  ....

කියල බිම බලාගෙනම උත්තර දුන්න.

අනේ උඹට ජේසු පිහිටයි කෙල්ලෙ... ජූඩා දන්නවද ...
නෑ අක්කෙ...

දුවපං එහෙනං ගෙදර .. එකා නටයි අද සතුටට...

කුමාරි ගෙදර යද්දි ජූඩ් මූදු යන්න ලෑස්ති වෙනව.මේ වෙලාවෙ ඒ  රහස කියල එයාව කළබල කරන්න ඕනෙ නෑ කියල තමා කුමාරි එදා  හිතුවෙ.පහුවදා උදේ ජූඩ් එනතුරු ඒක රස රහසක් හැටියට හිතේම තියාගත්ත.ඒත් ඉතින් ඒ උදේ නෙවෙයි ඊට පස්සෙ අද වෙනකන් ගත වෙච්චි කිසිම උදේක ජූඩ් ආවෙ නෑ.තාමත් කුමාරි මූද දිහා බලන් ඉන්නෙ ඒ රහස  කියන්න ජූඩ් ඒවි කියලමයි.


                               
           *    *    *    *    *    *    *    *

                              ඊටත් පස්සෙ තවත් සති ගානක් විහඟ වේගෙන් පියෑඹුව.ඒ දවස ගානෙම කුමාරිගෙ කුසත් ලොකු උනා.කුසේ ඉන්න පුංචි පැටිය දඟලන දඟලන වාරයක් ගානෙ කුමාරි තිගැස්සුණා.තනි නොතනියට තමන්ගෙ කියන කවුරුත් නැතුව,එක තඹ සතේක ආදායමක් නැතුව අඩුම තරමෙ කරන්නෙ මොකක්ද කියල හරි හමන් තීරණයක් නැතුව තව දුරටත් බලන් ඉන්න බැරි බව කුමාරිට වැටහුනා.ජූඩ්ගෙ බෝට්ටුව  වැල්ලට  නෑවිත්  ගතවුන දෙවෙනි දවස වෙනකොට  කුමාරි ගැබ්බරයි කියල මුලු වැල්ලම දැන ගත්ත.සමහරු කිව්වෙනම් බඩට ආපු එකාගෙ කරුමයක් උගේ තාත්තගෙ පිටින් ගියා කියලයි.ජූඩ් නැතුව සතිය දෙක ගෙවිල යද්දි සමහරු බඩ හෝදල මේ බරෙන් නිදහස් වෙන්න කියලත් උපදෙස් දුන්න.ඒත් කුමාරි නෙවෙයි ඒව කනකට ගත්තෙ.ඈ උපේක්ශාවෙන් ඒ හැම දෙයක්ම විඳදරා ගත්ත.හැබැයි ඒ මොනවා උනත් දන්න කියන හැමෝම කුමාරිට අදටත් උදව් පදව් කරනවා. අනුකම්පා කරනවා.මේ සේරම සැලකිලි දරුවා ලැබෙනකං විතරයි කියලත් කුමාරි දන්නව.ඇනීට අක්ක තරමට මේ වැල්ලෙ කිසි කෙනෙක් කුමාරිට ළෙන්ගතුකම් පාන්නේ හැබෑම කරුණාවකින්  නොවෙන බව ඈට තේරෙන්න ගත්තෙ මුල් කාලෙදිමයි.
 
                        කුමාරි ඉස්සරහ තීරණ තුනක් තිබුන.අද රෑ ගෙවිල හමාර වෙනකොට  ඒ තීරණ වලින් එකක් ඈ තෝරගත යුතුයි කියල ඈ විසින්ම හිතට බල කලා.පලවෙනි එක වෙන ඕනම දේකට මූණ දෙන්න හිතාගෙන ආපහු ගමට යන එක.ඒත් එහෙම කරන්න තරම් හයියක් කුමාරිට තිබුනෙ නෑ තමන් මැරුනයි කියල දාන මාන පවා දීල සදහටම තමුන්ව අයින් කරපු තැනට බඩකුත් උස්සන් කණවැන්දුමියක් වෙලා යන්න කුමාරිට ඕන උනේ නෑ.තාත්ත කෙසේ වෙතත් තමුන්ව වදපු අම්මවත්  එක බඩවැල කඩන් ආපු අක්කයි මල්ලියිවත් මෙච්චර කාලෙකට තමන් ගැන හෙව්වෙ නැති එක ගැන ඈ හදවතින්ම විස්සෝප උනා. ඉතින් ඒ නිසාම ගමට යන හීනයට තටු ලැබුනෙ නෑ.ඊළඟට  කුමාරි ඉදිරියෙ තිබුන විසඳුම ඇන්ටන් මුදලාලිගෙ බහට අවනත වෙලා එයාගෙ අන්ත:පුරේ තවත් එක ගෑණියෙක් වෙන එක.ඒ විසඳුම මතක් වෙද්දිත් ඈට මහා පිළිකුලක් දැනුන.ඇන්ටන් මුදලාලි කියන්නෙ මේ වැල්ලට රජ්ජුරුවො වැල්ලෙම බෝට්ටු අයිති එයාට.බෝට්ටු විතරක් නෙවෙයි වැල්ලෙ වැඩි හරියක් ගෑණු උදවිය අයිතිත් එයාට.මේ වැල්ලෙ මිනිස්සු නැති ගෙවල් වල වැඩි හරියක් බත් ඉදුනෙ ඇන්ටන් මුදලාලිගෙ පිහිටෙන්.ඒකට හිලව් වෙන්න ඒ ගෑණුන්ට කරන්න තිබුනෙ සතියකට සැරයක් දෙසරයක් ලෙල්ලමට  මායිම් කරල හදපු මුදලලිගෙ වාඩියට ගිහින් එන එක විතරයි.අවුරුදු හැට පහක් උනාට පනහකවත් පෙනුම නැති මුදලාලි බොහොම ජේත්තුවට ඉන්න කෙනෙක්.කුමාරි නම් තාම මුදලාලිව දැකල තියෙන්නෙ හතර පස් ගමනයි.ඒ කිසිම වතාවක ඇන්ටන් මුදලාලි මනමාලයෙක් ගෑණු පෙරේතයෙක් කියල කුමාරිට දැනුනෙ නෑ. ඒ දෙවල් ඔහු කලේ බොහොම අර පරිස්සමට තමන්ගෙ තත්වෙ තියාගෙන.ඇනීට අක්කත් තමන්ගෙ මනුස්සය මැරිල මාසෙ දෙක යනකොට මුදලාලිගෙ ඇදට ගිහින් තියෙන්නෙ මේ වැල්ලෙ ගෑණු ඒ තරමටම අසරණ නිසාද එහෙම නැත්තන් ගොඩ යන්න තියෙන එකම  සහ  හොදම විදිය කියල හිතන නිසාද කියල කුමාරිට හිතා ගන්න බෑ.හැබැයි කුමාරි ඒ සාම්ප්‍රදායට පිටු පාන්න ලෑස්ති.ඈ බඩගින්නෙ මේ වැල්ලෙ මලත් මුදලාලිගෙ අත් වලට හිර වෙන්නෙ නෑ කියල එක හිතට හිතා ගත්ත.ඉතින් ඊ ළඟට කුමාරි ඉදිරියෙ තිබුනෙ එකම අහියෝගයයි.ඒ  මේ වැල්ලෙම ඉදගෙන තමන්ගෙ කකුල් දෙකෙන්ම කොහොම හරි නැගිටිනව කියන  බලාපොරොත්තුව.මාස හයක බඩකුත් උස්සගෙන ටවුමට ගිහින් රස්සාවක් කුලී වැඩක් කරන්න පුලුවන් කමක් කුමාරිට තිබුනෙ නෑ. ඒ වගේම ලෙල්ලමට ගිහින් මාලු  විකුණන රස්සාවට හුරු වෙන්නත් ඇගේ කැමැත්තක් තිබුනෙ නෑ.කුමාරි පොඩි කාලෙ ඉදන්ම මහන්න මල් හදන්න පුංචි පුංචි හුරුබුහුටි දෑතේ වැඩ කරන්න හරිම දස්සයි.ගෙදර තියෙන සේසතම හූරල අතේ කරේ තියෙන දෙයක් එකතු කරල විකුනල මහන මැශිමක් දෙකක් අරන් ජිවිතේ පටන් ගන්න හීනයක් කුමාරිගෙ ඇස් ඉස්සරහ මැවුන.හෙට උදේ වෙනකොට ඒ හීනෙ පාට කරන්න ඕන කරන මුල් පියවර  තියන්නත් ඈ තීරණයක් ගත්ත.කාලෙකට පස්සෙ කුමාරිට සැහැල්ලු හුස්මක් පිට උනා. මේක ඇහුවම ඇනීට අක්කත් සතුටු වෙයි. කරන්න පුලුවන් හැම උදව්වක්ම කරයි කියන විශ්වාසෙත් කුමාරිට තිබුන.

                                          කුමාරිට ඒ රෑ නින්දක් ආවෙම නෑ. ඇඳටවත් නොගිහින් හෙට උදේම කරන්න ඕනේ දෙවල් හිතේ ලිය ලිය  ඈ උන්නෙ ඉස්තෝප්පුවෙ පුටුවකට වෙලා. මහ මුහුදෙ හෝ හෝ හඬ ඇරුනම  වෙන කිසිම සද්දයක් නැති  මේ වෙලාව රෑ දොලහත් පහුවෙලා කියල කුමාරි අද්දැකීමෙන්ම දන්නව.ගොඩක් දවසට ඇනීට අක්කගෙ ලොකු දුව මෙලීෂා රෑට කුමාරිගෙ තනියට ඉන්න එනව.ඒත් අද එහෙම දවසක් නෙවෙයි.දැන් කුමාරිට ටික ටික රෑට තනියම ඉන්න එකත් පුරුදු වෙලා.කුමාරිගෙ ඇස් යාන්තමට පිය වෙද්දිම එළිපත්තෙ පය ගැටෙන හඬක් ඇහිල ඈ ගැස්සුනා.කුමාරි එහෙමම නිසොල්මන්ව කන් දීගෙන උන්න.තප්පර ගානකට පස්සෙ ඒ පා හඬ ඉස්සර දොරට තඩි බෑවා.කවුද කියල අහන්න කට ඉස්සර කර ගන්නවද නැද්ද කියල එක තප්පරේට කුමාරි දහ දොළොස් වතාවක් හිතන්න ඇති.එක පාරටම දොරට ගහන සද්දෙ නැවතුනා. කුමාරිත් ගල් පිලිමයක් වගේ එහෙමම ගල් උනා උන්නු තැනම.ආයෙත් විනාඩියකට විතර පස්සෙ දොර හෙලවෙන්නෙ ගත්ත.

කු...මා...රී....

හුඟාක් හිමිහිට වෙනස්ම ස්වරයකින් කුමාරිගෙ නම කියනව ඇහුන.දෙවෙනි පාරටත් ඒ හඬින් තමන්ගෙ නම ඇහෙද්දි යටි පතුලෙන් පටන් ගත්ත හීතලක් ඉහ මොල රත්කරගෙන හදවතට කිදා බැස්ස.


ජූ...ඩ්... මගේ ජූ..ඩ් අයියා...
දනිපනි ගාල දොර දිහාට පැන්න කුමාරි දොර ඇරියෙ විදුලි වේගයෙන්.දොර ඉස්සරහ හිටගෙන උන්නු ඒ රූපෙ දකිද්දි කුමාරිට  දැනුනෙ තමන් සිහිසන් වෙන්න එනව වගේ.කඩමලු වෙච්ච සරමකුයි කමිසෙකුයි ඇදගෙන මූණ පුරා රැවුල වවා ගත්ත ඒ කෙසඟ මනුස්සය ජූඩ්මද කියල කුමාරි ඇහි පිය නොගහ බලන්හිටිය.ඔව් ඒ ජූඩ් තමයි.ජූඩ්ගේ ඒ ඇස් දෙක ඕන කරුවලක  මොන වේශයකින් ආවත් තමන්ට අඳුන ගන්න පුලුවන්.කුමාරි මහ හඬින් කෑ ගහගෙන ජූඩ්ව බදාගන්න දිව්ව.ඒ එක නිමේශයෙදි චටාස් ගාල වැදුනු කම්මුල් පාරකින් කුමාරිව අඩි ගානක් දුරට විසි උනා.

පට්ට බැල්ලි... තෝ මම මැරුන කියලද  යකෝ හිතුවෙ... තෝ මගේ ගේ අස්සෙම රිංගගෙන  වේස කමේ ගියාද බැල්ලියේ...

හී පාරක් වගේ පපුවෙ ඇනුන ඒ වචන කුමාරිගේ කන් දෙකේ වැදි වැදි දෝංකාර දුන්න.ජූඩ්ගෙ ගිනි පුළුඟු වගේ දිලිසෙන ඇස් තිබුනෙ කුමාරිගෙ නෙරා ආපු උදරය ළඟ.සිද්ද වෙන්න යන්නෙ මොකක්ද කියල කුමාරිගෙ ගෑණු ඉවට තේරුන.

අනේ... ජූඩ් ...අයියෙ...මේ .. ඔයාගෙ....

කුමාරිට කතාව සම්පූර්ණ කරන්න ලැබුනෙ නෑ ආපහු කන හරහා පටාස් ගාගෙන ජූඩ්ගෙ අත එහෙ මෙහෙ උනා.

බැහපිය බැල්ලි...  එලියට  යකෝ මම මැරිලත් ආයෙ ඉපදුනේ තෝ වෙනුවෙන්... තෝ මොනවද මේ මට කලේ... පල මගෙ දැහැට නොපෙනී.. මම මරනව තෝව...

ජූඩ් මාරා වේසයෙන් කෑ ගහගෙන ඇවිත් කුමාරිගෙ කොණ්ඩෙන් ඇදගෙන එලිපත්තෙන් මිදුලට තල්ලු කලේ මී කුණක් විසි කරනව වගේ.කුමාරිගෙ ඇස් දෙකට ගොඩ ගොඩ ගාල උණපු කඳුළු එහෙමම  ගල් උනා.කිසිම දෙයක් කතා කරන්න මේක වෙලාව නෙවෙයි කියල ඈට අමුතුවෙන් හිතන්න ඕන උනේ නෑ.මේ වෙලාවෙ කුමාරි කල යුතුම දේ තමාවත් දරු ගැබත් ආරක්ශා කර ගන්න එක.ජූඩ්ගෙ දරඳඩු අත් වලින් තව එක පාරක් හරි වැදුනොතින් මහ විනාසයක් වෙයි කියල ඈ හිතුව. ඒ නිසා කුමාරි පසු  බැස්ස.ඈ එහෙමම වැල්ලට දුවගෙන ගියා. ඒ යන මගදිත් ජූඩ්ගෙ ගෝරනාඩුව ඈතට ඇහුන.හැමදාමත් ඇවිත් වාරුවෙලා මුහුද දිහා බලන් ඉන්න කැඩුණු ඔරු බඳට හේත්තු වෙලා කුමාරි ලොකු හුස්මක් ගත්ත.ඈට මහා හයියෙන් ඇඩුනෙ ඊට පස්සෙයි. මෙච්චර දවසක් මේ කැඩුණු ඔරුව ළඟ ඉදන් ඈ ප්‍රාර්ථනා කලේ එකම එක දෙයයි. ඒ ජූඩ් කොයි ලෝකෙන් හරි ආයෙත් තමන් ළඟට ඒවි කියන එක.ඉතින් අද ඒක හැබෑ වෙලා.ඒත් ඒ සතුට ඇහිපිල්ලමක් ගහන පමාවට කිසිමදාක නොහිතුව විනාසයක් උනා.මේ කේන්තිය මේ වැරදි වැටහීම වැල්ලෙ  මිනිස්සු ජූඩ්ව වට කරගන්නකන් විතරක් වේවි.ඒත් ඒත් ජූඩ්ගෙ කටින් පිටවුන ඒ වචන අමතක කරන්න පුලුවන් වේවිද කියල කුමාරිටම ඈ ගැන සැකයි.තමන් මෙච්චර කාලයක් නොවිදිනා දුක් විදගෙන ආරක්ශා කරපු හැම දෙයක්ම එක වචනෙකින් හෑල්ලු උනා, ගෑණියෙක් තමන් ආදරේ කරන මිනිහගෙ කටින් අහගන්න තියෙන අන්තිම පහත් වචනයත් කුමාරි ඇහුවෙ නිය තුඩක තරම්වත් වරදක් කරල නෙවෙයි නේද කියල හිතෙද්දි කුමාරිට මැරෙන්න තරම් ආවේගයක් ආව. ඒත් කුමාරිට මැරෙන්න බෑ එහෙමනම් කුමාරි මූදට පනින්නෙ ජූඩ් අතුරුදහන් උන දවසෙමයි.ජූඩ්ගෙ ලොකුම වස්තුව තියෙන්නෙ තමන්ගෙ බඩේ ඉතින් එදත් කුමාරිට මැරෙන්න බෑ අදත් කුමාරිට මැරෙන්න බෑ.

                                අහල පහල ගෙවල් වල  ලයිට් පත්තු වෙනවත් එකා දෙන්න ජූඩ්ගෙ ගේ දිහාට දුවන හෙවනැලිත් කුමාරි වැල්ලෙ ඉදන් බලාන උන්න.අඩුම තව පැය බාගෙකින් උපරිම තව පැයකින් ජූඩ් තමන් හොයන් එනව කියල කුමාරි ඉත්තේරුවෙන්ම දන්නව.ඒ එනකොට ජූඩ්ට මේ තරම් ළඟකින් ඉන්න කුමාරිට ඕන උනේ නෑ.ඈ හිමිහිට නැගිටල වැල්ල දිගේ ඇවිදගෙන ගියා.දිගටම දිගටම ගියා.ඇන්ටන් මුදලාලිගෙ වාඩියෙ එලිය දකිනකොට කුමාරි ටිකකට නැවතුනා.ඇස් වල මිදිල තිබුන කඳුළු ගවුම් කරින් පිහිද ගත්ත.අවුල් වෙච්චි කොණ්ඩෙ දෑතින්ම හදා ගත්ත.ලොකු හුස්මක් අරන්  ඒ එලිය තියෙන දිහාට ආයෙත් දිගටම ඇවිදින්න පටන් ගත්ත. ඔව්  කුමාරි ඒ විදියට කිසිම  අරමුණක් නැතුව  දිගටම දිගටම ඔහේ ඇවිදගෙන ගියා.




                             _____________ 
නිමි _____________

11 comments:

  1. හපොයි..දිග වැඩියි....👍

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ බාගෙට කියවා දැමූ කමෙන්ට් එකක්ද...? හ්ම්ම්ම් මොනවා කරන්නද ලොකු සර් මම පටන් ගන්න කතා කෙටියෙන් ඉවර කරන්න නොදන්න කොට.

      Delete
    2. සොරි වෙන්න ඕනි සඳවතී...නොකියවා කමෙන්ට් කලාට...දිග වැඩියි....හපොයි..!

      Delete
  2. Good story (real life of some people)

    ReplyDelete
  3. ලස්සන කතාවක්. ඒත් ඇත්තටම ඔය වගේ දේවල් වෙන මිනිස්සුන්ගෙ ජීවිත ලස්සන නෑ. ඒක තමයි ඉතිං ජීවිතේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත...යතාර්ථය ලියනා කියනා තරම් සුන්දර නෑ

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.