සඳට බැළුම් හෙලූ අය

Sep 12, 2019

සඳ අමාවක !





ඊයේ වගේම අදත් පාන්දර ඉදන්ම එක සීරුවට වැස්ස.වෙනදටනම් මේ වගේ ධාරාණිපාත වරුසාවක් කියන්නෙ මං ජීවයෙන් පිරෙනවා කියන එකට.පැට්ටවත් එක්කහු කරගෙන කඩදාසි බෝට්ටු හදල වැහි වතුරෙ පා කරන්න, ගේ වටේ දුව දුව පීලී වලට ඔලුව අල්ලන්න, උණු උණු කිරි කෝපි එකක් ළඟින් තියාගෙන ආසම නවකතාවක් කියවන්න , කම්මැලි හිතුනම ගුලි වෙලා නිදාගන්න ,ඒ සේරටමත් වැඩිය කාමරේ ජනේලෙන් මහ වරුසාව දිහා බලන් ඉන්න, එතකොට මේ වැස්ස වගේම කඩා හැලෙන සිතුවිලි අකුරු කරන්න.

ඒත් ඒ කිසිම දේකට අද වෙනකොට මට ආසාවක් කැමැත්තක් නැතුව ගිහින්.මුකුත්ම ලියවෙන්නෙ නැතුව සමහර කාල වලට සිතුවිලි හිස් වෙන එක අමුතු දෙයක් නෙවෙයි.ඒක මං මීට කලිනුත් අත්විඳලා තියෙන දෙයක්.සතියක් දෙකක් මාසයක් විතර වෙනකොට ඉබේම හරි ගිය දෙයක්.ඒත් මේ ගෙවෙන්නේ එහෙම සාමාන්‍ය කාලයක් නෙවෙයි.සිතුවිලි වල පුදුමාකාර හිස් කමක් ...කඩාවැටීමක් ...මහා පරාජිත කමක්.. පිලිවෙලට පුටුවක මේසෙක වාඩි වෙලා දැන් මං කවියක් කතාවක් ලියන්න ඕනෙ කියල හිතල කවදාවත් මගේ අතින් කිසිම දෙයක් ලියවිල නෑ .විශ්වාස කරන්න මං මේ පාර එහෙමත් උත්සහ කරල බැලුව.පුදුමෙ කියන්නෙ එහෙම උත්සහ කරලත් මට අකුරක්වත් ගලපගන්න බැරි වෙච්ච එක.ගොඩක් දෙනෙක් හිතන්නෙත් පිලිගන්නෙත් ලියන කෙනෙකුට විශාල දුකක් කඩාවැටීමක් පරාජිත බවක් මහා පරිමාණ  විරහවක් එහෙමත් නැත්තං ඒකෙම අනිත් පැත්ත විශාල සතුටක්, හිමිවීමක්, ප්‍රීතියක් අත්විඳින්න ලැබුනම ඉබේම අති සුන්දර නිර්මාණ බිහි වෙනව කියල.ඔව් ඒකේ ඇත්තක් නැත්තෙමත් නෑ මමත් ඒක යම්තාක් දුරකට පිලිගන්නව. හැබැයි ඉතින් ඒක එහෙමනං මේ ගත වෙන්නෙ කවි ඇල්ලක් කඩා වැටෙන්න ඕන දවස්.සිතුවිලි වරුසාවක් වැහැල ඒ වැස්සට තෙමිල උණසන්නිපාතය හැදෙන්න ඕන දවස්.ඒත් මං නිහඬයි...මගේ සිතුවිලි මැරිල..ලියන එක මගේ ජීවිතේ මං ආසම මට ඕනම දේ.හරියට කෑම බීම වගේ  ලෙඩකදි දුකකදි ගන්න බේත් හේත් වගේ නැතුව බැරි දෙයක්.මොන තරම් සතුටක හිටියත් මොන තරම් දුකක හිටියත් වෙනදට හිත පිරෙන ඉතිරෙන ගතිය කොහේ ගිහින්ද මන්ද.මේ තරම් හයියෙන් වහිද්දිත් මේ තරම් සීතලක් දැනෙද්දිත් ජනේලෙන් ගෙට පනින හිරිකඩ මූණේ වදිද්දිත් මට දැනෙන්නෙ නිස්සාර කාන්තාර හැගීමක්.මහා හයියෙන් ඉකිගහල අඬන්න හිතෙන වෙලාවක ඉකිය හිරකර ගන්න උනොත් කඳුළු හංඟගන්න උනොත් මොන තරම් අපහසුවක් අසරණ කමක් දැනෙනවද...? මං මේ දවස්වල ඉන්නෙත් අන්න ඒ වගේ අසරණ අපහසුතාවයකින්.වක්කඩ කැඩුවා වගේ හැඟීම් පිට දාන්න තියෙනවනම්....ඒත් එහෙම පිට දාන්නත් කෝ හැඟීම්..? මට දැනෙන්නෙ මං සම්පූර්ණයෙන් හිස් වගේ. දන්නෙ නෑ දැනෙන්නෑ කොච්චර කාලෙකටද කියල.මට හිතෙන්නෙම සඳවතීට අමාවක ලබල කියල.


                             +    +   +    +    +   +   +   +   +       
    

හිස් වෙච්ච හදවතින් තෝන්තුවාවෙන් බ්ලොග් එකේ එහෙ මෙහෙ වෙද්දි තමයි අහම්බෙන් වගේ දැක්කෙ මේ  වෙනකොට මම බ්ලොග් ලෝකෙට ඇවිල්ල අවුරුදු නමයකුත් සම්පූර්ණ වෙලා කියල.Sep 10, 2010 වෙනිදා තමයි මගේ පලවෙනි පෝස්ට් එක පබ්ලිශ් කරල තියෙන්නෙ.මෙච්චර කාලෙකට මම බ්ලොග් එකේ අවුරුදු පිරෙනකොටවත් පෝස්ට් පනහ, සීය වෙනකොටවත් ඒ ගැන සමරලා පෝස්ට් දාලා නෑ.ඒත් අද ඒක දැක්කට පස්සෙ තමා මෙහෙමවත් මොනා හරි ලියන්න ඕනේ කියල  ඔය උඩ ටික ලියාගෙන ලියාගෙන ගියේ.

8 comments:

  1. දෙකක් පෙරට...අඩියක් පස්සට....නැවත වේගයෙන් ඉදිරියට....දන්නවනෙ කවුද කිව්වෙ කියල....ආයෙත් කලාවෙන් කලාව පිරිල දෙපෝය ලබනකල් අපි බලාගෙන ඉන්නවා...අමාවක දවසට ඉස්සර අපි පහනක් පත්තු කරනවා අදුරෙන් එලියට යන්ඩ තව එක දවසක් බව මතක් කරමින්....

    ReplyDelete
    Replies
    1. අඳුරෙන් එලියට එන්ට තව බොහෝ දවසක් ගත වෙයි වගේ අයියෝ.

      Delete
  2. ඔය ලස්සනට ලියවිලා තියෙන්නේ...!
    මට හිතෙන්නේ සඳවතී මුහුකුරා ගිහින්..ඉතින් බාල බොළඳ අවදියෙ කියපු කරපු ලියපු දේවල් එව්වා ඒ ආකාරයටම වෙන්න ඕනි කියල හිතාන ඉන්න නිසා ඒ මුහුකුරා යෑම නොදැනෙනව ඇති...
    2010දි හිටිය පුංචි දැරිවි නෙවෙයි නේ 2019දී මේ ඉන්නේ...
    ඉතිං විස්සෝප වෙන්නෙ නැතිව හෙමින් හෙමින් ආයෙ ලියන්න..අපි ඉන්නවනේ කියවන්න....!
    දිගටම ඇස් ගැන ලියපු නිසා දැන් අත් කකුල් ගැනවත් ලියන්න ඉතිං....🤣

    ReplyDelete
    Replies
    1. හෑ..මෙකෙ මොනාද ලස්සන.ඔහේ ලියාගෙන ලියාගෙන ගියා.මුහුකුරා ගියහම මේ වගේ හදවතට හෙන ගහනවා නම් හයියෝ මටනම් ඒ මුහුකුරා යාම කොහොමත් එපා වගේ.අනික ඔය කිව්වට, ලිව්වට කියවන්න අයත් දැන් නෑ අප්පා පේන්නෙ නැද්ද බ්ලොග් එන්න එන්න වල පල්ලට යනවා වගේ.කවුරුත් ලියන්නෙත් නෑ කියවන්නෙත් නෑ.

      Delete
  3. ඉක්මනට සඳ අමාවක යවන්න අයියො.

    ReplyDelete
  4. ගණන් ගන්න එපා මැඩම්.. ඕක ටික දවසකින් හරියනවා.. මගේම කියල මොකුත් ලියන්න මටත් කම්මැලියි දැන්.. ඒ උනාට ලියන්න ඕනි කියල අදහස් හෝ ගාල.. ආයේ පිකප් වෙනකම් මම මේ ටිකේ අනුන්ගේ ඒවායේ ලියනවා.. පිළිතුරු කවි එහෙම.. මේකත් දැක්ක ගමන් ආවේ කවියක් කියල හිතල..

    අවුරුදු නවයට සුභ පැතුම් ඈ!

    ReplyDelete
    Replies
    1. මටනම් ලියන එව්වා මගේ එව්වා අනුන්ගේ එව්වා කියලා නෑ අනුන්ගේ අත්දැකීම් එතකොට ඔය කමෙන්ට් කවි එහෙම තමා හොදටම ලියවන්නේ කරුමේ කියන්නේ ඉතින් එහෙමත් බැරි එක තමා දැන්.සුබ පැතුමට ස්තූතියි කමී

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...