සඳට බැළුම් හෙලූ අය

Sep 13, 2023

කවි මිහිරේ මිහිර !!






නුගේගොඩ කියන්නෙම ආදරේ නගරයක් !

ශානිකා ශෂිප්‍රියා ද සිල්වා

කවිමිහිර / බුද්ධදාස ගලප්පත්ති
දිවයින ඉරිදා සංග්‍රහය 03 සැප්තැම්බර් 2023

තාමත් ඉඳහිට දවසක
පහු කරන කොට නුගේගොඩ
හැරි හැරී බලනවා බෝ ගහ යට
වැරදිලා හරි ඉන්නවද නුඹ

රොටරියට යන පාර මුල
උණු උණුවෙ වැටුණ කඳුළක තෙත
නැවතිලා හිතින් අත ගා මිස
පහු කරන් යන්න තාමත් බැරි පව

ෆැබ් එකේ කෙළවරෙම මේසෙක
ගෑවි ගෑවී ළඟින් ඉඳගෙන
එදා උණු උණුවෙ බිව් කෝපි උගුරට
අදයි පිච්චුණෙ පපුවෙ පැත්තම

සරසවියෙ පොත් අතරෙ දුවන කොට
හිත මෙලෝ සිහියක් නැතුව
වැදිල නුඹෙ හුස්මක් පිටුපසින් ගෙල මුලට
අදත් ගැස්සිලා අත අතහැරුණු සුනේත්‍රගෙ හෘද සූත්‍රය

ඇත්තමයි නුගේගොඩ උඹ මහා කරුමයක්
පාඩුවේ ඉන්න හිත ගිනි තියන පුළිඟුවක්
ඇමිණි ඇමිණී හිතේ ලේ විදින මතකයක්
නුගේගොඩ කියන්නෙම ආදරේ නගරයක්

ශානිකා ශෂිප්‍රියා ද සිල්වා ආධුනික කිවිඳියක නොවේ. දශකයකට වඩා වැඩි කාලයක් තුළ ඈ කවිය හා බැඳී සිටින්නී ය.ස්වේත සිහිනයක් නම් වූ පද්‍ය කාව්‍ය සංග්‍රහය ඇගේ කුලුඳුල් මුද්‍රිත කවි උත්සාහයයි.ජාතික අත්පිටපත් තරගයකින් ජයගත් බැවින් ශානිකාගේ කාව්‍ය සංග්‍රහය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් ලෙස 2023 වසරේ දී පළ වී ඇත්තේ ස්වේත සිහිනයක් නමිනි.ඇගේ නිර්මාණ මෙලෙස පළමු වරට කවි එකතුවක් ලෙස පළ වූව ද සයිබර් අවකාශයේ Fb බිත්ති හා කවි සඳහා වෙන් වූ නෙක බ්ලොග් අඩවි අතර ද පුවත්පත් කවි පිටු අතර ද පසුගිය කාලය පුරා පළ වූ ඇගේ කවි රස විඳි විසාල
පාඨක පිරිසක් වන බව දනිමි.

ස්වේත සිහිනයක් කවි එකතුවෙහි සංගෘහිත කාව්‍ය නිර්මාණ අතර මා සිත පැහැර ගත් නිර්මාණයකි ඉහත නිර්මාණය. පුද්ගලික භාව ප්‍රකාශනයක් සේ හැඟෙන මෙම කවියෙහි අනුභූතිය කිවිඳිය නිර්මාණය කරන්නී පොදු අත්දැකීමක් බවට පත් කරගනිමිනි. නුගේගොඩ ආදරණීය නගරයක් ලෙස කිවිඳියට
දැනෙන්නා සේ ම පාඨක අපට ද දැනෙන ලෙස නිර්මාණය කරන්නී ඇගේ පරිකල්පනයෙන් මවනු ලබන පුළුල් වාග් චිත්‍රයකිනි.අගනුවරට ආසන්න නගර අතර බොරැල්ල,දෙහිවල, මහරගම, කඩවත, කැලණිය, වත්තල වැනි නගර වූවත් නුගේගොඩ ඒ සියලු නගර අතරින් වෙසෙසි වන සැබැවින්ම ආදරණීය නගරයක් බව නොකිව මනාය.නුගේගොඩ මෙන් ම
ආදරණීය නගර ලෙස පෙම්වතුන් පෙම්වතියන් විසින් තවත් බොහෝ නගර හා විවිධ ස්ථාන අප මතකයට එයි. මහනුවර, පේරාදෙණිය, අනුරාධපුරය, ගාල්ල, යාපනය එවැනි සුන්දර නගර
කිහිපයකි.

මේ නගර ආශ්‍රිත කවියට නැගුණු අත්දැකීම් කවි කිවිඳියන්ගේ ආදරණීය
අත්දැකීම් ලෙස ප්‍රතිනිර්මාණය වී රස විඳින්නට ලැබුණු අවස්ථා බොහෝය.
මහනුවර, මහවැලිය, පේරාදෙණි සරසවිය, වැව රවුම , ගාලු කොටු පවුර,කැලණි විහාරය,ශ්‍රී මහා බෝධිය වැනි ස්ථාන ආශ්‍රයෙහි දිග හැරුණු පෙම්වතුන්ගේ සුන්දර මෙන් ම දුක්බර මතක ද රැගත් කවි අතරට එක් වී ඇති අලුත්ම අත්දැකීම නුගේගොඩ වීම අරුමයක් නොවන්නේ කිවිඳිය නුගේගොඩ මතක ආවර්ජනයට එක්වන අපූර්ව විලාසයෙනි.
කිවිඳියගේ නුගේගොඩ පිළිබඳ  අතීත රංජන nostalgic මතකයට නැගෙන ස්ථාන මොනවාද ? ඒවා ඇගේ මතකයෙන් ඈත් කර තැබීමට උත්සාහ ගත්ත ද එසේ කිරීමට ඈ අපොහොසත් වන්නී ය.ඒ මිහිරි මතක සමග දවැටුණු සියුම් ශෝකයක් ද අපට දැනේ.නුගේගොඩ බෝ ගහ,රොටරියට යන පාර, ඔවුන් එකිනෙකා ළං වී කෝපි බිව් Fab
එක, පොත්පත් ගන්නට දුවගිය සරසවි පොත් හල, ඇයට ගන්නට නොලැබුණු සුනේත්‍රා රාජකරුණානායකගේ හෘද සූත්‍රය නවකතාව කතානායිකාවගේ හද රිදුම් දෙන සුන්දර මතක අතර වේ.නුගේගොඩ පසුකරන කල ඈ හැරි හැරී බලන්නේ වරදීමකින් හෝ ඔහු බෝ ගහ යට සිටින්නේද කියායි. අන් සියලු තැන් ද ඇගේ සිත දුකින් පුරවා ලයි.

ෆැබ් එකේ කෙළවරම මේසෙක
ගෑවි ගෑවී ළඟින් ඉඳගෙන
එදා උණු උණුවෙ බිව් කෝපි උගුරට
අදයි පිච්චුණෙ පපුවෙ පැත්තම

පෙර දින එකිනෙකාට ළං වී කෝපි උගුරක් තොල ගමින් එහි උණුසුම රස වින්ද ද  අද ඇගේ පපුවෙ පැත්තක් ම පිච්චුණු බවක් ඈ පවසයි.එදා කෝපි බොද්දී ඒ උණුසුම අස්වාදයක් වූයේ ඔහු ළඟින් ම හිඳ  තුරුළු වී නොවී කෝපි රස විඳින්නට ඉඩ ලද බැවිනි. එහෙත්, අද ඇගේ පපුවෙ පැත්තක්ම පිච්චෙන බවක් දැනුණේ ඈ අසල ඔහු
නොමැති බැවින් නොවෙද? අතීත ආදර මතකයක මිහිර ඇගේ හද දවයි.මේ සියලු අතීත මතක ස්මරණයට ඈ කැඳවන්නී නුගේගොඩයි.නුගේගොඩ දී ඔවුන් දෙදෙනා මුණ ගැසුණු
ළංව සිටි ස්ථාන පිළිබඳ ප්‍රේමණීය මතක යි. මහනුවර මහවැලිය, වැව රවුම, හන්තාන වැනි සුන්දර ප්‍රේමණීය ස්ථාන නොවූවත් නුගේගොඩ පෙම්වතුන් පෙම්වතියන්ගේ ආදර මතක අතර සුන්දර මතකයක් වීම වරෙක පෙම්වතියකට දැනෙන්නේ සිත ගිනි තබන ගිනි පුළිඟුවක් ලෙස ය. දැවැටි දැවැටී ඇමිණි ඇමිණී සිත සිදුරු කොට ලේ විදින මතකයක් ලෙසය. එහෙත් එය ආදරණීය ම නගරයක් ය.


ඇත්තමයි නුගේගොඩ උඹ මහා කරුමයක්
පාඩුවේ ඉන්න හිත ගිනි තියන පුළිඟුවක්
ඇමිණි ඇමිණී හිතේ ලේ විදින මතකයක්
නුගේගොඩ කියන්නෙම ආදරේ නගරයක්

සාංකාවෙන් පෙළෙන පෙම්වතියකගේ හද සන්තානයෙහි ඉපැදෙන මිහිරි සුඛ දුංඛ වේදනා අතර අචේතණික නගරයක් කැඳවාගෙන යන මතකාවර්ජනය කවියට නැගීමේදී කිවිඳිය විසින් භාවිත උණු උණුවෙ වැටුණු කඳුළක තෙත,අදයි පිච්චුණෙ පපුවෙ පැත්තම,
පාඩුවේ ඉන්න හිත ගිනි තියන පුළිඟුවක් වැනි අතිශය අර්ථ පූර්ණ කාව්‍යොක්ති ශානිකා ශෂිප්‍රියා ද සිල්වා කිවිඳියගේ කවිතාවට සාක්ෂි ලෙස දක්වමි.

බුද්ධදාස ගලප්පත්ති





12 comments:

  1. හරිම සතුටුයි සඳූ. සුබ පතනවා ඔබේ ඉදිරි ගමනට.
    ජයවේවා

    ReplyDelete
  2. ඇර මාටින්! ලස්සන කවි ටික.
    අපිට තියෙන්නෙ නුගේගොඩ හන්දියෙ, මුල්ලක හංගලා තිබ්බ බාර් එක සහ කඩල වෙළෙන්දගෙ මතක තමයි, ඉතිං.😂
    මේ මම කැමති තවත් ඔය වගේ කවි ටිකක්:

    පාන් නම් ගල්කන්ද

    ReplyDelete
  3. හුරුපුුරුදු අත්දැකීමක් උනත් යොදාගෙන ඇති රූපක නිසා නැවුම් ගතියක් දැනෙනවා.

    ReplyDelete
  4. පොතට සල්ලි දාන්න එකවුන්ට් ඩිටෙල්ස් එවන්නකො

    ReplyDelete
  5. ඔන්න මං දැනුයි ආවෙ... ලබන සෙනසුරාදවත් අලුත් එකක් ලියමු ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙහෙ ආවට.ලියමු ලියමු...

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...