සඳට බැළුම් හෙලූ අය

Oct 14, 2023

ඉස්තලන් කතා !!

 කාලය කියන්නෙ මහ පුදුම දෙයක්.එහෙ බලල මේ බලද්දි ඉගිල්ලිලා ඉවරයි.මාත්  දවසින් දවස වයසට ගිහිල්ල මගෙ කොල්ලටත් දැන් අවුරුදු දහයක්ම වෙලා.ළමයි උන් පොඩි කාලෙදි අනේ ඉක්මනට ලොකු වෙයං කියල හිතුවට.ඇත්තටම එයාලා ලොකු වෙලා වයසින් වැඩෙනකොට මොකද්දෝ දුකක් දැනෙනව.ඊට හපං දැන් දැන් දවස ගානේ අහන ප්‍රශ්න වලට උත්තර හොයන්න ගියාම අපිත් ආයේ ඉගෙන ගෙන උපාධි අරන් එන්න ඕනේ වගේ. ඒ ඒ අදාල ටොපික් වලට.🤗 ඔය ඉස්සර මං සත්තලන්ගෙ  රස කතා කියල ලියපුවා වගේ දැන් ඉස්තලන්ගෙ අම්මටසිරි වෙන කතා කියල සීරීස් එකකුත් ලියන්න තරං කතා එමටයි.


අපේ අම්මල තාත්තල අපිට කියපු සුරංගනා කතා වලින්නම් දැන් ඉන්න උන්ව තම්බන්න බෑ.ඒ නිසා සමහර ප්‍රශ්න වලදී ඇත්තටම කට උත්තර නෑ.අපි කියන දෙයින් එයාලා  සෑහීමකට පත්වුනේ නැත්තං එයාලට ඒවා හොයාගන්න අපිට නොතිබුන ඉවක් විතරක් නෙවෙයි ක්‍රම සහ විදිත් දැන් තියෙනවා.ඒ නිසා මුන්දලා එක්ක පරිස්සම් ගනුදෙනු කරන්න ඕනේ.ඔය අවුරුදු හතරෙ පහේදී වගේ ඉස්තලන් කොලුවා කියපු අහපු දේවල් වල හැටියට මං හිතුවෙම ඒකා තාත්තා වගෙම ඇම්ඩෙක් කියල.ඒ කාලේ ඒ තරමට අපිව සිනා සාගරේ ගිල්ලුවා.


ඔය මගේ මලයාගේ දුවයි අපේ  කොලුවයි පොඩි කාලේ එකටමයි හිටියේ.එයා අක්ක  මෙයා මල්ලි මාස නමයකට බාලයි අක්කට වඩා.දෙන්නටම කතා කරන්න පුලුවන්  මට්ටමේදී වගේ දවසක් බීව්  ගිහින් නාලා ඇදුම් මාරු කරන්න දෙන්නගෙම කලිසම් ගැලෙව්වම දෙන්න දෙන්න දිහා බලාගෙන පුදුමෙන් හිටියා තප්පර දෙක තුනක්.


අපේ එකා මෙන්න මහා සද්දෙට 


අක්කට පිපී දාන්න තැනක් නෑ..කියල කිව්වෙ නැතෑ.

ඒකටත් හරි යන්න අක්කා...

මල්ලිට කෝටුවක් තියෙනවා මට නෑ..අනේ තාත්තේහ් මටත් ඕනේ මල්ලිට වගේ එල්ලෙන එකක් ...

කිය කිය ඒකි ගල්කිස්සේ බීච් එකේ දෙවොල් නැටුවා.ඒ මදිවට එයාට ඕනේ කිව්වෙ මල්ලිට තියෙනවා වගේ එකක්  පින්ක් කලර් වලින්.😊 අපි ඉතින් එයාලට තේරුම් ගන්න පුලුවන් සරලම  විදියට කිව්ව ඒවා එහෙම කඩෙන් ගන්න නෑ.මල්ලිලට වෙනස් අක්කලට වෙනස් විදියට තමා තියෙන්නෙ කියල.හොදම වැඩේ  කියන්නෙ අපේ එකා ගෙදර ආව ගමන් ඒ දවස්වල එයාගෙ ප්‍රියතම භාණ්ඩයක් වෙලා තිබුන පෙන් ටෝච් එක අරන් ඇවිත් අක්ක පිපී දාන තැන හොයන්න යෑම.


මේකනම් 2020  කොරෝනා වලට ඉස්කෝල වහල ඔන්ලයින් කරන කාලේ එතකොට  ඉස්තලන් grade 2 වල.එයාලගෙ සිංහල work book එකක වාක්‍ය බලාගෙන ලිවීමක් තිබුනා.

නෑදෑයෝ නෑගම් යති.ඕක ලියන්න ගිහින් ඉස්තලන් මගෙන් ඇහුවා අම්මේ නෑදෑයෝ කියන්න මොකද්ද.මං ඉතින් ඒ වචනෙ කියල දීල නෑගම් කියන්නේ පුතේ කියල ඒක කියල දෙන්න හදනකොට ඒක මං දන්නව අම්මේ නෑගම් කියන්නේ බොට්ල් එකේ ගම් ඉවරයි කියන එකටනෙ.😊.සංසාරේ ඒ සිංහල.කොහොමත් පොඩිකාලේ ඉදන්ම ඒකාට පෙන්නන්න බැරි සිංහල තාමත් අඩුම ලකුණු සිංහල වලට.දැන් රචනා වල එහෙම ලියන ඒවට හම්මො පිස්සු හැදෙනවා හිනා වෙලා පණ යනවා ඒ අපබ්‍රංස වලට.


ඔය වගේ පුංචි කාලේ කතා එමටයි.මේ මතක් වුන  ටිකක් විතරයි.බහතෝරන නොතේරෙන ඒ හුරතල් වයසේ කතන්දරනම් හරිම සුන්දරයි. දැන් ඉතින් එහෙම නෙවෙයි දවස ගානේ හොයාගෙන එන ඉගෙනගෙන එන ඒවායි ඒවට අපිට උත්තර දෙන්න ගියාමයි පිස්සු ඩබල් වෙනවා වෙලාවකට.ඉස්තලන් කොලුවාට දැන් අවුරුදු දහයක් උනාට සාමාන්‍යයෙන් ඒ වයසෙ කොල්ලෙකුට වඩා තාමත් පොඩ්ඩක් ලාමකයි.පොඩ්ඩක් රවල බැලුවත් ඇති ගොඩ ගොඩ ගාලා ඇස් වලින් කඳුළු වක්කරන්න.පවුලෙ එයා විතරක් නිසා තාමත් හුරතලේ වැඩී.ඒකත් වෙලාවට මල කරදරයක්.මේ අවුරුද්දෙ ඉදන්  එයා යන්නෙ එන්නෙ ස්කූල් වෑන් එකක.වෑන් එකේ දොළහ වසරෙ ළමයි පවා ඉන්නව.ඉතින් දැන් කතන්දර වැඩී. ඔය ලොකු ලොකු කතා වල කොහේ හරි කොණක් අල්ලන් එනවා.වැන් එකෙන් බැහැල  ගේට්ටුවෙන් ඇතුලට එන්නෙම ප්‍රශ්න පත්තරයක් අරගෙන.සමහර දවසට  එන්නේ හොටු පෙර පෙර අඬ අඬ.


අම්මේහ්...තරුල් අයියා මට බූරුවා කිව්වා...අනේහ් අම්මේ මං බූරුවෙක් නෙවෙයි නේද...එයා ඇයි මට එහෙම කිව්වේ එයානං නෝටිම නෝටි..මං යන්නෙ නෑ ඒ වෑනෙකේ ආපහු...


තවත් දවසක ඕං එනවා

අයියෝ අම්මේ අර අයියා මට මිඩ්ල් ෆින්ගර් එක පෙන්නුවා...


හරි පුතේ ඉතින් මොකද  ඒක අවුලක් නෑනේ.මං ඉතින් බබා පාට් එක දානවා.


නැත්තෙ මොකද ඒකෙන් කියන්නෙ බෑඩ් වර්ඩ් එකක්...


ඇත්තද අයියෝ මං දන්නෙ නෑනේ පුතේ ඒ මොකද්ද ?


F...k කියන්නෙත් ඒකට වෑන් ආන්ටි බනිනවා ඒක කියන අයට.අයියල අක්කල ඕකමයි කියන්නෙ..


ගේට්ටුවෙන් ආව ගමන් ඕවා දිග ඇරගෙන දිග ඇරගෙන යනව.අපි ඩබල ඉතින් තැනට සුදුසු සුදුසුම විදියට  පහදල දෙනව.


ඊයෙ තමා අලුත්ම එක අරන් ආවේ


අම්මේ ..මැරි කරන්නෙ නැතුවත් බබාලා හදන්න පුලුවන් ද..


මම ඉතින් ටිකක් කල්පනා කරල


 ම්ම්ම්ම්..ඔව් එහෙමත් හැදෙන්න පුලුවන් ..කියල කිව්ව.


හොද වෙලාවට මං ගර්ල් කෙනෙක් උනේ නැත්තෙ..


ඒ ඇයි


නෑ ඉතින් නැත්තං දරුවො හදල දුක් විඳින්න එපැයි.


කාල වරෙන්කො ඉතින් දැන් අපි මේ තාම ඔය කතාවල අගමුල එයාගෙ කටින්ම ශේප් එකේ අහගෙන හිමි හිමිහිට උත්තර හොයන ගමන්.🤗



                                            මේ ඉන්නේ ඒ නසරානි ඩබල තමා

26 comments:

  1. සත්තකින්ම මමත් මගේ දරුවන් දිනෙන් දින වැඩෙනු බලා හිටියා!
    මුළු ජීවිත කාලයම අප සෙවනේ සිටියත් දැන් දැක්කාමත් හිතෙන්නේ "දෙයියනේ ඊයේ පුංචියට හිටපු එවුං නේද මේ?" කියලයි.
    ඉස්සර ගුවන්විදුලි මාලා නාටකයක් ගියා මුවන් පැලැස්ස කියලා!
    ඒකේ හිටියා දැන උගත් චරිතයක් "වෙද මාමා" කියලා.
    එයාට හඬ කැව්වෙ ගැමුණු විජේසූරිය කලා කරුවා!
    මේ වෙද මාමා දවසක් කියනවා "ඌරු පැටියයි, බිළිං ගෙඩියයි, ගෑනු දරුවයි බලා ඉංදැද්දී ලොකු වේනවා!" කියලා.
    බලාගෙන ගියාම ඒකත් ඇත්ත!
    කොහොම උනත් "ශනිදා දහයට" ලියපු එකට නම් රොම්බ තෑන්ක්ස් මෙයා!

    ReplyDelete
    Replies
    1. දුකයි අප්පා මුන් ලොකු වෙන එකටනං.ඒකයෑ, ශනිදා දහය සාර්ථකයි වගේ නේ..බ්ලොග් ලිස්ට් එක එක දිගට අප්ඩෙට් වෙනකොට මාර හැපි අප්පා.ස්තූතියි මටත් ආරාධනා කලාට.

      Delete
  2. ඉස්සර නම් කතා ලිව්වෙ ගැනම සත්තරන්
    දැන්නම් එය තිබෙනු ඇතිය පොතක දික්කරන්
    මෙන්න සඳූ දරුවන් ගැන කරුණු රැස්කරන්
    යන්නම් මම මෙය දැකලා ජයම එක්කරන්...

    ශනිදා දහයට ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. ආයෙත් දුමී සුපුරුදු කවි වරුණා...ස්තූතියි 🤗

      Delete
  3. කොල්ලො ලොකු වෙනකොට ඔහොම තමයි ඉතිං.
    හොඳ වෙලාවට අපේ එකානං ඔහොම ප්‍රශ්න ඇහුවෙ නෑ.
    දැන්නං අපෙන් ප්‍රශ්න අහන වයස ගිහිල්ල මිනිහගෙ.

    ReplyDelete
  4. හෙහ්, හෙහ් නියම කතන්දර ටික.🙏👌

    ReplyDelete
    Replies
    1. හදිසියේ මතක් උනේ මෙච්චර යි 🤗

      Delete
  5. කොල්ලන් ලොකු මහත් නොවි ඉන්නවා නම් කොච්චර හොදයිද? කොළොම්පුරයාගේ බංචියාත් ඩ්‍රැකියාගේ හුටංබරං පුංචිරාලත් ඔය පලෝලේම දෙන්නෙක්. අපේ බක්පෝදා බ්ලොග් හමුව අනිත් පැත්ත පෙරලුවා දෙන්නා එක්කාසු වෙලා.

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. හප්පා නරකම වයස නේද..මටනම් දැන් හිතෙනවා අර බ්ලෙඩර් කරපු තලපෙ කකා තිබ්බ තැන්ම හිටපු කාලේ හොදා කියල 😀

      Delete
  6. පොඩි උංනෙ ආතල් නං මරු අප්පා. අපේකාත් තාම ‌‌ොකු වෙන ගමං. ඉස්සරහට මොන ජෝගි දායිද දෙයියො තමා දන්නෙ හෙහ්

    ReplyDelete
    Replies
    1. රැඳී සිටින්න කියලා තමා කියන්න වෙන්නෙ...ආතල් කෝටියයි...

      Delete
  7. මරැ. ඔයා කරල තියෙන විදිය හරීටම හරි !
    ඕවට එක එල්ලේ හරි උත්තරයක්... පොඩි ඈයොන්ට දෙන්නම නාකයි. පරිකල්පන ශක්තිය වැඩෙන්න හිතන්න ඉඩ දෙන එක හුඟක් වටිනව

    ReplyDelete
    Replies
    1. ඒ අහන ඒවට එක එල්ලේ උත්තර දෙන්න කෝමත් බෑ අප්පා.ඒක නෙමේ අර සඳකඩ පහණ සින්ඩිය මගේ බ්ලොග් එකේ හරියට පේන්නේ නැත්තෙ ඇයි ?

      Delete
    2. පොඩි අවුලක් තියේ නේ. කියල බලමු. මෙහෙම කරන්ටකෝ දැනට.
      බ්ලොගේ Layout ගිහින් side බර එකේ Add a Gadget වල Image තෝරන්න.
      Title සඳකඩපහණ දීල image URL තැන මේ පහල තියෙන link එක එක දෙන්න. (බලලා ඕනනං Shrink to fit ටික්එක දාගන්න )

      https://1.bp.blogspot.com/-k0hSS2xt2JE/YXvhnbYfM8I/AAAAAAAAAAs/ZmOt-ZDjpdQkfUWw8ekSYIm1Le7WrSp0wCLcBGAsYHQ/s311/Capture.PNG

      Delete
    3. ඔයත් ඉතීම් දන්නා පොඩි දෙයක් කීවේ 😉

      Delete
  8. අපේ niece කෙල්ලෙක් දවසක් අම්මගෙන් අහනව , අම්මා what is that fucking noise ? කියලා.
    අම්මගෙන් උත්තරයක් නැත.
    ඊට පස්සෙ අහනවා අම්මා what's the meaning of fucking කියල.
    ඔයා කොහෙන්ද ඔය වචනෙ පුරුදුඋනේ.
    අම්මා all the girls in my class use this word.
    (ඒ කාලෙ එයා තුනේ හෝ හතරෙ පංතියේ )

    ජයවේවා!

    ReplyDelete
  9. අම්මට සිරි දහයේ නංගි , එළ.

    ReplyDelete
  10. මම මේකට දාපු එක නෑනෙ.

    අපේ එකානං ඔය වයස පහුකරල හින්ද අවුලක් නෑ. දැං ඌ ඉන්නෙ අපෙන් උපදෙස් ගන්න මට්ටමක නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. වෙන එකක් තිබුනෙ නෑනේ..හි හී ඉස්සරහට එහෙම වයසකුත් එනවා නේද ..😊

      Delete
  11. අම්මට කොල්ලා දෙන දුක ගැනම කොල්ලට දුක ඇති

    ReplyDelete
    Replies
    1. අනේ මංදා අප්පා..ස්තූතියි මෙහෙත් ආවට

      Delete
  12. මරු කතා ටික . කවි වගේම මාරුවෙන් මාරුවට ලියන්න . ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...