සඳට බැළුම් හෙලූ අය

Jan 6, 2024

නොස්ටැල්ජියානු හිරිවැටුම !





 ඔන්න ඔය උඩ තියෙන සිංදුව මුලින්ම ඇහිච්ච වෙලාවේ මට මහා මොකද්දෝ හුරුකමක්...අවුරුදු බර ගානක් අතීතයට ගියා වගේ හැඟීමක් දැනෙන්න ගත්ත.මේ තාලය මේ මියුසික් මගේ ජීවිතේට හරි ළඟයි වගේ..ඒ තාලෙත් එක්ක ජීවිතේ හරි ලස්සන කාලයක් ගෙවුනා වගේ හැඟීමක්...ඒක මාරම මාර අතීතකාමයක්..ඔව් අර සිංහලෙන් නොස්ටැල්ජියාව කියන්නෙ ආං ඒකද කොහෙදෝ. 


හරි ඉතින් මං ඔය ගීතයට සමවැදිල ඒ අතීතෙ  අවුස්සගන්න ෆුල් ට්‍රයි කලා.හ්ම්ම් එක පාරටම මතක් උනේ නෑ ඉතින් දැන් වයසනෙ අප්ප.ඔන්න මොලේ ටිකක් වෙහෙසනකොට ටාර් ගාල මතකෙට ආවා ඩෙයියනේ මේ අර සිංදුව නේද කියල. ( ඔය තියෙන්නෙ පල්ලෙහා )





මේ දිල් ( Dil )  හින්දි ෆිල්ම් එකේ  මුජෙ  නීදන ආයේ කියන සිංදුව.ආන් ඒ තාලෙට තමා ඔය උඩ තියෙන සිංහල සිංදුව ගැයෙන්නෙ.ඉතින් දිල් කියන්නෙ හිරිමල් වයසෙ පිස්සුවෙන් බලපු ෆිල්ම් එකක්.අපේ ජෙනරේශන් එකට හින්දි උන්මාදය හැදුන කාලේ මේ අද වගේ නෙවෙයිනෙ ඉතින් CD,DVD නෑ.අන්තර්ජාලෙන් බා ගන්න බෑ.යූ ටියුබ් නෑ. ඒ කාලේ තැන් තැන් වල වීඩියෝ සෙන්ටර් තිබුනා ඒකෙ මෙම්බර් ශිප් එක අරන් හෝ ID එක තියල VHS තැටි ගන්න පුලුවන්.අපේ තාත්තත් ඔහොම තැනකින්  සතියකට සැරයක් වගේ ෆිල්ම් එකක් බලන්න ගෙනත් දුන්න. එහෙම බලමු මුල්ම ෆිල්ම් දෙක තුන අතරේ දිල් තිබුනා . දිල් ඇත්තටම උන්මාදයක් අදටත් ඒ සිංදු ඇහෙද්දි ඒ අතීතෙ හොයාගෙන හිත දුවනව.දිල් ඕනාවටත් වැඩිය මතකෙ තියෙන්නෙ ඒක බලන්න අපි කාපු චාටර් කටු මතක් වෙද්දි . අපේ තාත්තගෙ පුරුද්දක් තමයි අපිට ෆිල්ම් එක බලන්න දෙන්න කලින් තාත්තා ඕක ෆාස්ට් ෆෝවර්ඩ් කර කර බලනව අපිට බලන්න සුදුසුද කියල.රැගුම් පාලක  මංඩලෙන් අනුමත උනොත් විතරයි ෆිල්ම් එක අපේ අතට හම්බෙන්නෙ.ඔන්න තාත්ත දිල් ෆෝවර්ඩ් කරනව සෝයි නයිට් ඩ්‍රස් එකක්  ඇදන් ඉන්න මධුරිව අමීර් උස්සන් යනව දබක් ගාලා පිදුරු ගොඩකද කොහෙද අතාරිනවා.තාත්ත ශේප් එකේ කැසට් අරන් මේක හරියන්නෙ නෑ වෙන එකක් ගෙනත් දෙන්නම් කියල කැසට් එකත් අරන් මාරු උනා.හයියූ සම්සාරේ අපිට ඉතින් බත් කන්න බෑ..තේ බොන්න බෑ...ගෙදර වැඩ කරන්න බෑ..අපිටත් මුජෙ නීදන ආයේ නීදන ආයේ තමා.අමීර් මධුරිට මොකද කලේ කියල දැනගන්නකං කිසි දෙයක් කරගන්න බෑ

බුදු ගේමක් දීල තාත්ත කාමරේ කැසට් එක හංගපු තැනින් හොයාගෙන පහුවදා තාත්ත යනකං ඉදල අපි දෙයියනේ කියල දිල් බැලුව.අදටත් ඉතින් දිල් එකේ සිංදුවක් ඇහෙද්දි අතීතෙ ඒ ලස්සන දවස්  ෆිල්ම් එකක් වගේම ඇස් ඉස්සරහ මැවෙනව.ඒ කාලේ පුදුම තරම් ලස්සනයි.


සමහර සිංදු ඇහෙද්දි ..සමහර සුවඳවල් දැනෙද්දි...සමහර කටහඬවල් ඇහෙද්දි...සමහර තැන් පහුකරද්දි...සමහර අත් අකුරු දකිද්දි..සමහර පොත් කියවද්දි...සමහර ඇස් දකිද්දි.. ජීවිතේ අපි පහුකරන් ආපු සමහර කාල වකවානු වලට අපිව ඇදිල යන්නෙ නිරායාසයෙන්මයි.ඒක ඇත්තටම වචන වලින් විස්තර කරන්න පුලුවන් හැඟීමක් නෙවෙයි.ඒක ඇස් පියාගෙන විඳින්න ඕන දෙයක්. සතුට වේවා දුක වේවා අතීතකාමය කියන්නෙ සමහර වෙලාවට ප්‍රේමයටත් එහා ගිය හරි ප්‍රබල හැඟීමක් කියල මට හිතෙනව..දැනෙනව.


ළමා කාලෙ,පාසල් කාලෙ , අම්ම තාත්ත එක්ක එකට ගෙවපු කාලෙ තරම් ලස්සන කාලයක් වෙන කිසිම කාලෙක තිබුනෙ නෑ කියන හැඟීම දැනෙන්න තරම් සමහර වෙලාවට කොහෙන් හරි එන කිරිහොදි සුවඳකට කරවල හොදි සුවඳකට පුලුවන්. ඒ වෙලාවට මට මතක් වෙන්නෙම ඉස්කොලෙ ඇරිල දුවගෙන ඇවිත් වෙස්ට් එකයි පෑන්ටි එකයි පිටින් අම්ම උයපු පරිප්පුයි සැමන් තෙල් දාපුවයි එක්ක බත් කන පුංචි මාව. 


මීඳුම් ගලා කන්දේ

ඉවසන්න බෑ සීතේ....


මං මේ සිංදුවට එහෙම ලොකුවට කැමැත්තක් නෑ.ජෝතිපාල කියන්නෙ මං අහන්න ආස හඬකුත් නෙවෙයි.ඒත් ඔය සිංදුවෙ ජෝතිගෙයි ඇන්ජිගෙයි  හඬවල් ඇහෙද්දි  විජයගෙයි මාලනීගෙයි විශුවල් එක දකිද්දි මගේ හිත කොහේටදෝ ඇදිල යනව...හරී පුරුදු බවක් දැනෙනව..හරියට නිකං ගිය ආත්මෙක ඉදන් ඇහිල තියෙනව දැකල තියෙනවා වගේ දෙයක්..මේ ආත්මෙ ඉස්කොලෙ කොන්සර්ට් එකකටවත් මං ඔය නාඩගම නටලා නැති නිසා මට තේරෙන්නෑ මට මේක ඇයි මෙච්චරටම හුරු වගේ දැනෙන්නෙ කියල.ඒකත් නොස්ටැල්ජියාවෙම කොටසක් කියල මං ඔන්න ඔහෙ හිත හදාගන්නව.


ඉස්කොලෙ කාලෙ යාලුවො එක්ක බස් එකක යන චාන්ස් එක මට හම්බුනෙ බොහොම කලාතුරකින් දවසක.A/ L කරද්දි ඉස්කෝලෙන් පස්සෙ කෙලින්ම රොටරියෙ සන්නස්ගල සර්ගෙ පංති යන්න හම්බුනා.එහෙම දවසට ගල්කිස්සෙන් 183  බස් එකෙන් නුගේගොඩ යන ගමන ජීවිතේ මිහිරිම කාල වකවානුවක්.

 ඔන්න ඔහොම යද්දි දැනුන ෆර්පියුම් සුවඳක් අදටත් මාව පිස්සු වට්ටනව.අදටත් මට ඒ සුවඳ මොකක්ද කියල හොයාගන්න හම්බෙලා නෑ.ඒත් ඉදල හිටල බස් එකක යනකොට ඒ පිරිමි සෙන්ට් සුවඳ දැනෙනවා.අනේ ඉතින් අහන්නයෑ සෙන්ට් එක මොකක්ද කියල.  ඒ වුනාට ඒ සුවඳ දැනෙන හැම පාරම මං සුදු ගවුමෙන් 183 නැගල සන්නගෙ පංති යනව.


බලන් යනකොට නොස්ටැල්ජියාව කියන්නෙත් විඳින්න මිසක් විඳවන්න ඕන දෙයක්නම් නෙවෙයි.

ඒ නිසා මං ඒක හරි අපූරුවට විඳිනවා.


 

 මේ පල්ලෙහා ලින්ක් එක ඔබලා ගියොත් කලින් මම ලියපු මේ වගේ කතාවකුත් කියවන්න පුලුවන්.

මගේ සිහින කුමාරයා.

26 comments:

  1. සඳූ හරී...
    " දිල් " ඒ කාලේ මම ත් පිස්සුවෙන් වගේ බලපු එකක්. දහ වතාවක් වගේ බලලා ඇති. ඒත් එපා වෙන්නෙ නෑ... ඒක උමතුවක් ඒ කාලේ...
    ලස්සන සටහනට ස්තූතිය ගොඩක්
    ජයවේවා සඳූ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කාලේ අපි හැමොම ඔහොම පුස්සු වැටුණු ෆිල්ම් ,සිංදු එහෙම තියෙනවා.එවා එක්ක බදුන සිදුවීම් හරිම සුන්දරයි.

      Delete
  2. පරණ මතකයන් හඬක්, සුවඳක්, රසක්, දසුනක් එක්ක බැඳීමක් තියෙන එක මමත් අත් දැකල තියෙනවා.

    ReplyDelete
  3. අපුරුයි ඒ සටහන. ඔව් ඒ වගේ මතක ගොඩාරියක් එක්ක තමා අපිට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ. මගේ මහත්තයා නොහොත් හබි හැම වෙලාවෙම කියන්නේ අපි ජීවත් වෙනවා කියන්නේ මතක ගොන්නක් එකතු කරන එකටලු. බලාගෙන ගියහම ඒකත් හරි. ආපසු හැරිලා බලද්දී කොයි තරම් නම් මතක කන්දරාවක් අපිව ආපස්සට අරගෙන ගිහිල්ලා ජීවිතය විඳින්න සලස්වනවා ද නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් මතක තමයි අපිව ජීවත් කරවන්නෙ

      Delete
  4. ලස්සන සුන්දර මතකයක්.
    මන් ඉරිදට ගිය හින්දි ෆිල්ම් බැලුවෙ ටීවී එකේ තාත්ත එක්ක 94’ වගේ කාලේ. තාත්ත හින්දි පිස්සෙක්. එතකොට ඕ ලෙවල්. 183, 117, රෝටරිය, පන්නිපිටියේ අරලිය උයන…ඒ කාලේ ජීවත් උනේ ශාරුක් එක්ක හින්දි ෆිල්ම් වලම තමයි…කෙමිස්ට්‍රි, ෆිසික්ස් පොත් වල අග තිබුනේ කවි පුරෝලා. මෙයින් බේරුනා ඇති. හැබැයි, ඒ ජිවිතේ ඒ ෆිල්ම් වල අපි දැකපු ආදරේ හරිම ප්‍රේමනීයයි, ඒක වෙනමම කාලයක්. (Pokuruwahi)

    ReplyDelete
    Replies
    1. තාත්ත හින්දි පිස්සෙක් උන,එක කොච්චර වටිනවද..ඇත්තටම අපිට හරිම සුනන්ද අතීතයක් තිබුනා මේ දේවල් එක්ක නේද..ඒව ඇත්තටම හරිම අපූරුයි.මාධවන් තමා මගේ සදාකාලික ක්‍රශ් එක.ඒ උනාටකැමතිම නලුවා ශාරුක්.

      Delete
  5. ලින්ක් එක නම් වැඩ කරන්නෙ නෑ සිස්...

    දිල් චිත්‍රපටියේ මුජේ මීදන ආයෙ වගේ සින්දු සිරස වගේ රේඩියො චැනල් වල නිතරම ඇහිච්චි සින්දු...ඒ කාලේ හැන්දෑවේ 1-3 ට විතර හින්දි සින්දු යන්න පටන් ගන්නවා..සිරසෙ පැල් බැදගෙන අහපු කාලයක් ඒක...කොහොම උනත් මට හින්දි සින්දු වලින් මට සෙට් වෙන්නෙ ගොඩක් පරණ සින්දු....අභිමාන් එකේ සින්දු වගේ...
    - Mayya

    ReplyDelete
    Replies
    1. ඔන්න ලින්ක් එක හැදුවා..ස්තූතියි ඒක දැනුම් දුන්නට.ඔව් අපිත් සිරස ඔය වගේ අහපු කාලයක් තිබුනා.අභිමාන් කියන්නෙත් මගේ ෆේවරිට් ෆිල්ම් එකක්.

      Delete
  6. අපි නං ඉතින් තලාත් මෙහෙමුද්, මුකේෂ්, මන්නාඩේ කාලේ අය.

    ReplyDelete
  7. අලුත් අවුරුදු තෑග්ගක් වගේ, හරිම ලස්සනට ලියපු ලිපියක්.
    //.....සමහර වෙලාවට කොහෙන් හරි එන කිරිහොදි සුවඳකට කරවල හොදි සුවඳකට පුලුවන්//
    මාවත් ඒ කරවල/කිරිහොදි සුවඳ දිගේ අතීතයට ඇදිලා ගියා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ආ අර සිහින හැළි වඳුරගෙ කතාවත් කියෙව්වා. එතකොටයි දැක්කෙ ඒකෙ දිනේ 2012 බව😮

      Delete
    2. අපොයි එයා හැලි වඳුරෙක් නෙවෙයි අනේ..ඉස්සරටවඩා දැන් තවත් ලස්සනයි..😊

      Delete
    3. ඔව් අවුරුදු 12 ට පස්සෙත් ඒ මතක එහෙමමනෙ ඉතින්

      Delete
  8. සිංහල සිංදුව අහද්දිම හිංදි තනුවකට හැදිච්ච එකක් කියල හිතුනෙ නැහ්නං... පීස් අන්ප්‍රෙන්ඩ් වෙන්න 😁.

    ReplyDelete
    Replies
    1. හිතුනා හිතුනා ඒකනේ මෙලෝ සිහියක් නැතුව ඉර්ජිනල් එක මතක් කලේ 🙃

      Delete
  9. පරිප්පුයි සැමන් තෙල් දාපුවයි.
    බලන්ඩ ඉතින් පුංචි කාලෙ අපි කාල තියෙන්නෙම ඉම්පෝටඩ් කෑම බීම නේ ද?

    ReplyDelete
    Replies
    1. දැන් කියලත් වෙනසක් නෑනේ..කන්නෙම පරිප්පුනෙ

      Delete
  10. ඇත්තෙන්ම මතක අවුස්සන, සුන්දර තැන් මතක් කරන සිංදු, මිහිරි සිංදු එමටයි. හරිම සොඳුරුයි.

    (පොඩි සටහනක් එක් කරන්න අවසර: අතීත කාමයක් තනි වචනයක් වෙන්න ඕනේ, නොවුනොත් අර ස්පේස් එකෙන් අදහස වෙනස් වෙනවා)

    ReplyDelete
    Replies
    1. අනේ ස්තූතියි මං ඒක දැනගෙන හිටියේ නෑ.මම හදන්නම්

      Delete
    2. හුටා! එහෙමත් එකක්ද? කවද කාපු ටකරංද? අතීත කාමය - පරණ ටිංටිං😮🤭

      Delete
  11. මම හිතන්නෙ හින්දි සිනමාව ගැන අපි පිස්සු වැටුණු කාලයක් තිබුනා. මගේ කාමරයට මනීෂා කොයිරාල ගේ පින්තූරයක් එන්නත්, මල්ලීගේ කාමරයට කාජල් ගේ පින්තූරයක් එන්නත් තරම් ඒ VHS පිච්චර් බැලිල්ල දුරදිග ගිහින් තිබුනා. ලස්සන සටහනක්. ඔය කතා අමුණලා නවකථාවක් හරි කෙටිකථා පොතක් හරි ලියන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒක උන්මාදයක්ම තමා..මං ගාවත් ඩේ කාඩ්ස් පෝස්ට් කාඩ්ස් තිබුනා හින්දි නලු නිලියන්ගේ ගොඩක්.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...