සඳට බැළුම් හෙලූ අය

Jan 13, 2024

කසාදය හරි ඉක්මනට දික් වුන !




ගිය සතියෙ පොකුරු වැහි බ්ලොග් එකේ තිබුන 

දික්කසාදයෙන් පසු

නිර්මාණය සෑහෙන්න හිතට වැදුනා.පොකුරු අක්කත් ඒක ලියල තියෙන්නෙ මිතුරියකගේ එහෙම දේකට සංවේදී වෙලා බව කියල තිබුන.ඒ නිර්මාණය කවි කොටස් දෙකකට ලියල තිබුනෙ.මුල් කොටස ඒ සිදුවීමට මුහුණ දුන් ස්ත්‍රිය හෝ පුර්ශයා යන දෙදෙනාටම හිතෙන දැනෙන පොදු සිතුවිලි වගෙ.ඒත් දෙවෙනි කොටස ගැහැනියකගේ සිතින් කියල පැහැදිලිවම පෙනෙන්න තියෙනව.මං පුද්ගලිකව නිර්මාණයක් හැටියට වැඩියම කැමති මුල් කොටසට.ඒක හිතට දැනෙන වැදෙන විදිය වැඩියි.අන්න එහෙම වැදෙන නිර්මාණකදි තමා මටත් ඉබේම සිතුවිලි පහල වෙන්නෙ.ඉතින් මේ තියෙන්නෙ පොකුරු අක්කගෙ කවි කියවල මට  ඒ සිදුවීම දැනුන හැටි. ඒ කවියේ තියෙන සිතුවිලි පරාස දෙකෙන් පස්සෙ ගැහැනියකට දැනෙන තවත් විදියක් තමා මේ.හා හා ඉතින් මේක කියවන්න කලින් කට්ටිය ඒක කියවලා එන්න එතකොට තමා මේක හොදට විඳින්න පුලුවන් වෙන්නෙ.

******************************
හුදකලා වැරන්ඩා පුටුව මත
දිනපතා පුවත් පත හූල්ලන
අමතක වීමකින් නිතර උදැසන
පිරෙනවා other half කොටපු මග් එක

ගෙයි උයනෙ මල් පිපුනෙ ඒ ඉස්සර
දැන් පාලුවට ගිහින් හරි මූසලයි පැත්තම
අසල්වැසි සෙබඩියෙක්  තියාගෙන හොට තාප්පෙට
අහනවා කෝ දැන් ඒ මාල ගිරා ජෝඩුව

අල්මාරියට පරිස්සමෙන් විසිකල
හොරාගත් එමරල්ඩ් පාට කමිසෙට
කාටවත් කියන්නේ කොහොමද මම
අදත් හොරැහින් දුන්න බව හාදුව

ශාරුක්ට රිදෙනකොට අඬන්නට
එහා පස උරහිසක් නැති කොට
ඇත්තටම කොයිතරම් සොඳුරුයිද
පොප් කෝන් බෙදාගෙන කන එක

දුරුත්තේ හීතලම තැන් වල
නුරාවෙන් හෙලූ දාඩිය බිද
සිහිවෙද්දි යුගල යහනක සුව
තනි යහනෙ සෝක ගිනි ඇවිලෙන

ඉන්න පැත්තක් බලං බත් කන්න
වත් පැතුවෙ නැති බවයි ඇත්ත
යනෙන මඟ අහම්බෙන් හෝ තැනක
දකින එක තමයි දැන්නම් පැතුම

මං "ආසම"කියල හිත රවටගෙන
අද  කරන්නෙත් "ඔයා ආසම" දෙය
ඇත්තමයි මට මේ පිස්සුද
කවුද කියන්නෙ මං ආයෙ single බව

28 comments:

  1. සුපුරුදු කවි රසය එක්ක සඳූගෙ අපූරු නිර්මාණයක්
    ජයවේවා !!!

    ReplyDelete
  2. නියමයි. පොකුරු වැහි කවියෙ දිගුවක්ම තමයි.👌🙏💐

    ReplyDelete
    Replies
    1. ඔව් බසූ එක්තරා පැත්තක්.තව පැති තියෙනවා සහ පස්සෙ හිතුනොත් ලියනවා

      Delete
    2. පස්සෙ හිතුනොත්?? අපට සමාජය පුරුදු කරල තියෙන්නෙ, දික්කසාදය ගැන වපර ඇහෙන් බලන්න. සදාකාලික විඳවීමක් වුනත් කට්ට කාගෙන ඉන්න. ඒ ගැන වෙනස් කෝණයකින් බලන එක ටැබූ එකක් තරමටම සමාජ විරෝධීයි කියල හිතන්න. ඒත් යතාර්ථය එයිට වැඩිය වෙනස්.

      ඒ නිසා, ඔය "අනිත් පැත්ත" ගැන ලිවීම සලකා බලන්න කියල ඉල්ලනවා.🙏

      Delete
    3. ඒකත් මරු ඔය තියෙන්නෙ පිරිමි වර්ශන් එකක් .මටත් හිතුනොත් ලියනව කිව්වෙ ඒ පැත්ත ගැන තමා.

      Delete
  3. නියමයි. ගිය අවුරුද්දේ මම දන්නා පවුල් දෙකක් වෙන් වෙනවා කියල ආරංචි වුනා. ඇත්තටම කණගාටුයි. කාන්ත පාර්ශ්වය වැඩියෙන් විඳිනවා කියලත් හිතුන.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැන් කසාඳ වලට වඩා ඇහෙන්නෙ දික්කසාද ගැන.ඒක ඒ තරම්ම,සරළ දෙයක් වෙලා.එකට ඉන්න බැරිනම් ගහ මරා නොගෙන විඳවනවට වඩා වෙන් වෙන එක හොදයි කියන තැන දැන් හැමෝම වගේ ඉන්නවා.ඒත් ඒ කතා ඇතුලේ මෙහෙම කතාත් තියෙන්න පුලුවන්.

      Delete
    2. අපේ මෙහෙ එන සීන් එකකුත් යනව. පිටරට කනතාවෝ බැඳලා ඉන්න අය වෙන්වෙලා 9අවුරුදු 20 කට පස්සේ විතර ලංකාවේ කාන්තාවෝ බැඳ ගන්නවා . අර විදේශික කාන්තාවෝ සම්පුර්ණයෙන්ම වගේ අත හැරලා දානවා අපේ කොමියුනිටි එක. අර අකන්තාවෝ තුන් දෙනෙක්ම මගෙන් අහනව අපි බැන්දේ ලංකාවේ හස්බන්ඩ් කෙනෙක් විතරක් නෙමේ මුළු කොමියුනිටි එකක්ම, ඒ රට , සින්දු කතා එක්කම. එහෙම අපි දික්කසා වුනා කියල අත හැරලා දාන්නේ ඇයි වගේ කතාවක්. මට දෙන්න උත්තරයක් නැහැ

      Delete
    3. හ්ම්ම් ඇත්තටම එහෙම ඒවා ඇහෙද්දි දුකයි.ඒත් ඉතින් දික්කසාය වගේ දේකදී ඒකට ෆේස් කරන පාර්ශ්ව තමා හරිම දේ දන්නේ.පිටින් ඉන්න වෙන කිසිම කෙනෙකුට ඒවට හරිම අර්ථකථන දෙන්න අමාරුයි.

      Delete
  4. අපුරු නිර්මාණයක්. එකම දෙයක විවිධ පැතිකඩ.

    ReplyDelete
    Replies
    1. ඔව් ලියෝනි...ස්තූතියි ඔයාට

      Delete
  5. වේදනාවත් විඳින්න පුළුවන් රසයක්!

    ReplyDelete
    Replies
    1. ඔව් වෙලාවකට ඒ රසේ තමා පට්ටම කියල හිතෙන්නත් පුලුවන්

      Delete
  6. මේ ඔහේ බ්ලොග් එක නොලිය හිටිය ටික කාලෙට, අර බලු නකුටා ඔහේව "ඇන්ටීක් බ්ලොග්" කටගරියට දාලා නෙව? දැක්කද, ඔහේ අංක 91 😮🤭😏

    ReplyDelete
    Replies
    1. https://balunakuta.blogspot.com/2021/10/blog-post_14.html

      Delete
    2. හප්පච්චියේ කවුද ඒ බලුනගුටා😜 බලං ගියාම ඔක්කොම බ්ලොග් ටික එතන නොවැ.🙃

      Delete
  7. මෙහෙම හිතනව ඇති එයැයි.....

    ඈතට ඈතට දුවන හිත
    මෑතට මෑතටම දක්කන
    දරාගන්නත් බැරි තරමටම
    හීන් කෙඳිරි රෑ මැදියම

    ඇහැල ගහේ එල්ලෙන මල්වලවත්
    කහ කරඳ ගහෙ නලියන පාටෙවත්
    නෑ නොව නුඹෙ නෙරියෙ දුහුලටම
    රැඳුන සළුවෙ ඇති පාට කහ

    ReplyDelete
  8. ලස්සනයි හැමදාම වාගේම; කවිය!

    ReplyDelete
  9. අපූරුයි නගේ. මේකත් එක පැත්තක් තමයි. කේන්තිය නිවිලා දෙන්න දෙපැත්තට වෙලා ඉන්නකොට ටික කාලෙකින් අතීතකාමය මතු වෙනවා. මෙහෙ ඩිවෝස් එකට කලින් ටික කාලයක් සෙපරේට් වෙලා ඉන්න කියන්නේ ඒකයි. ඒ දෙන්නට කාලෙ දෙනවා තම තමන් ගැන හිතන්න. එකිනෙකාගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න පුළුවනිද බලන්න. ඒක ටෙස්ට් රන් එකක් වගෙයි. ජීවිතය බෙදා ගන්න මිනිස්සු දෙන්නෙකුගේ හිතිවිලිලියන්න කවි එකක් දෙකක් මදි. (පොකුරු වැහි)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක මාර වටිනවා නේද..එහෙම වෙන්වෙලා කාලයක් ඉදල බලන එක.ඒ කාලය ඇතුලෙදි තම තමන්ට හරියටම උනේ මොනවද,ඕනේ මොනවද කියන එක අවබෝධ කරගන්න පුලුවන්

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...