සඳට බැළුම් හෙලූ අය

Mar 26, 2012

ඇයි නුඹ මට නුඹෙ සෙනෙහස කිව්වේ ?






හිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකී
යන්නම ඕනෑ වීනම් මගෙන් මිදී
කෙටි පණිවුඩ ඇයි එව්වේ අලුත් වෙවී......

චන්දන ලියනාරච්චිගේ මේ ගීතය කණට ඇහෙන හැම වෙලාවකම නුඹ මගේ හිතට එන්නෙ නිරායාසයෙන්මයි.ඒ මන්ද කියනවනම් මම වගේම මේ ගීතයට නුඹත් පුදුම තරම් ප්‍රියයි.මේ නුඹේ වගේම මගෙත් ප්‍රියතම ගීතයක්.ඇස් පියාගෙන ගීතයට සවන් යොමද්දි නුඹ හා බැඳුණු මතකයන් හදවතේ සැරිසරන්න ගන්නෙ අනවසරයෙන්මයි.මතක් කරන්න දෙයක් අප අතර ඇත්තටම නැති තරම්.ඒත් නුඹ හා බැඳුණු අතීතයක් වගේම වර්තමානයකුත් අපි අතර ගලාගෙන යනව.ඒ මොකද නුඹ තාමත් මගේ හොදම යාලුවෙක්.අදටත් අපි ආ ගිය තොරතුරු කතා කරනව වෙනසක් නැතුවම සයිබර් අවකාශයේ හමුවුණාම.

එයා වගේම නුඹවත් මට මුණ ගැහුනේ අන්තර්ජාලයේ එකම මිතුරු පාරාදීසයකදී.එයාට මම කොයි තරම් ලං වුණාද ... කොයි තරම් බැඳුණද ඒ තරමටම මුල්ම කාලයේදී මං නුඹව කොන් කලා...නුඹෙන් වහං වුණා.නුඹ වෙනස් කෙනෙක්... ගොඩාක් වෙනස් කෙනෙක් විදියට මට හැගුණෙ දැණුනෙ.නුඹේ වචන ගොරහැඩී හරියට පිහිපාරවල් කඩු පාරවල් වගේ ළය පසාරු කරගෙන යනව.අන්තර්ජාලයට Chat කලාවට ආගන්තුකයෙක් වෙච්ච මම... කා එක්කවත් උඹ බං බොලං කියලවත් කතා නොකරපු මම... නුඹට වචනෙකින්වත් කිට්ටු වෙන්න බය වුණා.නුඹ Hi කියපු කිසිම දවසක මම නුඹට පිලිතුරු සපයන්න ගියේ නෑ. මම නුඹව දැක්කෙම නපුරෙක් හැටියට.මම කතාකලේ තෝරාගත්ත ටික දෙනෙක් එක්ක විතරමයි. නුඹව ඒ ගොඩට දාගන්න ඕන කමක් මට කවදාවත් තිබුනෙ නෑ.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කාලයක් යද්දි සයිබර් යායේ ඒ හිත මිතුරු පාරාදීසය අපි හැමෝගෙම ජීවිත වලට නැතුවම බැරි තැනක් වුණා.කවදාවත්ම සජීවීව දැකලා නැති , කතා කරලා නොතිබුණු අපි ළඟම ඉන්න නෑයන්ට යාළුවන්ට සහෝදරයන්ට වඩා ළෙංගතු බැඳීමකින් බැදුණ.ඒ වෙනකොට නුඹයි මමයිත් යම් තරමකට සමීප වෙලා හිටියෙ.කතා බහ දැඩි වුණාට , දඩබ්බර වුණාට නුඹේ හිතේ මම ගැන පුංචි ළතෙන් බවක් තියෙන බව මට අවබෝධ වුණා.ඒ වෙනකොට මම උන්මන්තිකාවක් වගේ එයාට ප්‍රේම කරන්න පටන් අරන්.එයත් එහෙමයි.ඒ හිත මං වෙනුවෙන් අඩන බව වැලපෙන බව මමත් දැනගෙන හිටිය.ඒත් කවදාවත් අපි අපිට ආදරේ කරන බව පෙන්නුවේ නෑ... එකිනෙකාට කියාගත්තෙ නෑ... හැබැයි එහෙමයි කියල Chat Room එකට අපේ සමීපයන්ට ඒක රහසක් වුණෙත් නෑ.හැමෝම එයාවයි මාවයි ඈඳලා අප්‍රමාණ විහිළු තහළු කලා.ඒ විහිලු වලට කවදාවත් නුඹනම් සහභාගි වුණේ නෑ.

" ඌ හෙට අනිද්දා බඳින්න ඉන්නෙ කියල දැන දැන මොකටද බං ඌ මත්තෙ නැහෙන්න හදන්නෙ...?"

දවසක් නුඹ මගෙන් ඇහුවා. මට දුක හිතුනා ගොඩාක්.ඇත්ත ඒ වෙනකොට එයා පෙම්වතෙක්.එයාගේ Wedding දින පවා නියම වෙලා තිබුනෙ. ඒක මම විතරක් නෙවෙයි මුලු Chat Room එකම දැනගෙන හිටිය.ඒත් මම මැරීගෙන ඒ හිතට ආදරේ කලා එයාටත් හොරෙන්.

" ඌ විලියම් කුමාරයද උඹ ඔච්චර මැරෙන්න හදන්නේ ඌට...?"

නුඹ කලේම මගේ හිත රිද්දන එක.ඒ වෙනකොට එයා එයාගේ Wedding එකට නිවාඩු අරගෙන. Chat එන්නෙත් නෑ. මම හිටියේ පපුව හිර වෙලා මැරෙන තරම් දුකින්. මුලු Chat Room එකම කලේ වට වෙලා මගේ හිත හදන එක.

" උඹට ඕනෙ උගේ හොර ගෑණි වෙන්නද..?"

කවදාවත් හිත හැදෙන දෙයක් නොකී නුඹ කලේම මගේ දුර්වල තැනින් අල්ලගෙන මට පහර ගහපු එක.නුඹ මොනවද දන්නේ ආදරේ ගැන. මම එහෙම හිතුව.නුඹේ දරුණු වචන වලට මම කොච්චරක්නම් අඬල ඇතිද.අදටත් මේ ජීවිතේ මාව අඬවපු පිරිමි දෙන්න එයයි නුඹයි විතරමයි.

" මට කවුරුත් ආදරේ නෑ..."

හිත දුකින් පිරුණ වෙලාවක මට මතකයි මම නුඹට එහෙම කිව්ව.

" නෑ ඒක වැරදී... ඔයාට ගොඩක් අය ආදරෙයි...ඒත් ඒක ඔයාට දැනෙන්නේ නෑ... ඔයා ඉන්නේ අන්ධ වෙලා..."

ඒ වෙද්දි හේතුවක් නැතුවම නුඹ එයා එක්ක Chat කරන එක නවත්තල තිබුනෙ.අපි Chat Room එකෙ කතා කර කර ඉන්නවා දැක්කොත් නුඹ ආව සැනින් Log Out වෙන්නේ හරියට භුමිතෙල් ගෑවුණ ගැරඩියෙක් දුවනවා වගේ.

" ඇයි එයා එක්ක ඔච්චර තරහ..?"

" මං තරහ වෙන්නෙ මොන මගුලකටද... ඒත් මම කැමති නෑ ඌ උඹව මෝඩයා කරනවට..."

" කෙනෙකුට ආදරෙන් කතා කලාම ඒක මෝඩයා කිරීමක්ද..?"

මම එහෙම ඇහුව. නුඹ මොන මොනවාදෝ කියල මට බැනල බැනල යන්න ගියා.ඊට පස්සෙ සති ගානක් නුඹ මා එක්ක කතා කලේ නෑ.ඒක මගේ හිතට මොන තරම් වදයක් වුනාද.නුඹ රණ්ඩු කරන්න හරි මා එක්ක කතා කරනවනම් කියල මට හිතුන.කාලයක් නුඹ කතා කරනවට බයෙන් හිටපු මම නුඹ කතා නොකර අත ඇරියම ඊට වඩා බය වුණා.... දුක් වුණා

ඒ වෙනකොට නුඹට වගේම මටත් සමීප කීපදෙනෙක් මට කිව්ව නුඹ මං ගැන උනන්දුයි මට ආදරෙයි මට කැමතී කියල.මම හිනා වුණා මේ මොන විහිළුවක්ද......? මට කවදාවත් ලෙංගතු කමින් වචනයක් කතා නොකරපු නුඹ මට ආදරේළු......

" එයා ආදරේ කියන එක දන්නවද......?"

මම එයාලගෙන් එහෙම ඇහුව. " නපුරා " මම නුඹට කතා කලෙත් නුඹේ නමට වඩා ඒ නමින්.ඒ තරමට නුඹ නපුරුයි.

" ඔව් අපි ඉතින් නපුරුයි උඹලට... අරූ විතරනේ උඹට හොද..."

නුඹ ඒ කතාව අනන්ත මට කියලා ඇති.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

කාලය විහඟ වේගයෙන් වසර ගනනාවක් ඉස්සරහට ගෙවිල ගියේ ගොඩක් දෙවල් වෙනස් කරමින්.අපි මුණගැහුණු මිතුරු පාරාදීසය වහල දැම්ම.යලුවෝ සී සී කඩ විසිරුනා.වෙනදා තරම්ම නැති වුනත් හිතට සමීපම කීප දෙනෙක් Msn , Yahoo ,Fb හරහා මිතුරු කම තහවුරු වෙලා තිබුන නිසා ඉඩක් ලැබුණු වෙලාවට ආ ගිය තොරතුරු හුවමාරු කර ගත්ත.

එයා කසාඳ බැන්ද... හ හ පුරා කියල හිතේ ඇති වෙච්ච කුලුඳුල් ප්‍රේමය හිතේ තුරුලු කරගෙනම මට යෝජිත විවාහයකට යන්න සිදු වුනා.ඊටත් පස්සේ දවසක අහම්බෙන් Msn එකෙදි මුණගැහුනු විටක නුඹ කතා කලා.

" මම ඔයාට කැමැත්තෙන් හිටිය... හිතින් ආදරේ කලා...ඒත් ඔයා එයාට පිස්සුවෙන් වගේ ආදරේ කරපු නිසා මම ඒක ඔයාට නොකියා හිටිය...."

Chat Box එක පුරා නුඹ ලීව දේ කියවල මාව එහෙමම ගල් ගැහුණ.ඒ වෙලාවේ හිතට ආපු හැම දෙයක්ම මම Type කරගෙන කරගෙන ගියා.මම Type කරන බව නුඹට වැටෙන නිසා නුඹ බලන් ඉන්න ඇති මොනවද මම මෙච්චර ලියන්නේ කියල.ඇස් දේක් කඳුලු වලින් බොඳ වෙලා මගේ ඇගිලි පවා වෙව්ලන්න ගත්ත.මම එක තත්පරේකට ඇස් පියාගෙන සිහි එලව ගත්ත.ඒ ලියපු හැම දේම Send නොකර Delete කරල මම අලුතින් මෙහෙම ලිව්ව.

" අදත් ඔයා මට මේ දේ නොකියා හිටියනම් මම කැමතී.අපි හැමදාම හොඳ යාලුවො වෙලාම ඉමු..."

එහෙම කියල මම නාන කාමරයට ගිහින් පැය ගානක් ඇඩුව. මට හිතුන එකම දේ ....... එකම දේ.......

නන්නාඳුනන පිරිමියෙක් එක්ක අකමැත්තෙන් දීග එන්න දවසකට කලින් හරි අනේ නුඹට මට ඕක කියන්න තිබුණා නොවේද.....



අහන්න සකිසඳ....
ප්‍රේමයේ එකම එක අංශුමාත්‍රයක්
අනේ නුඹ මට ඇගෙව්වානම්
එ දවස ,
මගේ ඉරණම මීට වඩා
වෙනස් වෙන්නට තිබුණා
අනේ මම නුඹට පෙම් කලානම්
එ දවස ,
අපි අපේ වන්නට තිබුණා....

Mar 23, 2012

පෙම්බර හිමිසඳුනි මගේ......


සොඳුරු යුවතිය... පතිනියක වූ දා....
විඳින ජීවිතයක සොඳුරු පෙළගැස්ම


අලුත් ජීවිතේ ඩිංග ඩිංග හැමදේටම හුරු වෙනව.උදේට නලල ඉඹල ඔයා යන්න සමුගනිද්දි හැමදාමත් හිත හූල්ලනව.ඒත් හිත හිත ඉන්න වෙලාවක් නෑ...වැඩ කෝටියයි. ගෙවල්ල් මිදුල් අතු ගන්න... වළං පිගන් හෝදන්න... දවසට දෙකට මම මහා ලොකු ගෑණියෙක් වෙලාදෝ මංද...එහෙම හිතෙද්දී පුංචි පහේ ආඩම්බරේකුත් හිතට එනව.මේ හැම දෙයක්ම මම කරන්නේ පුදුමාකාර ආසාවකින්.හැමදේකම අවසානෙදී හිතට දැනෙන්නේ පුදුම තරම් සතුටක්.. තෘප්තියක්.

පුංචි කැදැල්ලක කූඩු වෙන්න... ඔයාට සෙනෙහෙබර බිරිඳක් වෙන්න...පුංචි ගෘහණියක් වෙලා ඔයාගේ ඕනා එපා කම් ඉටු කරන්න...මං හීන ඇහින්දෙ ඔයා මට ආදරේ කියපු මුල්ම දවසේ ඉදන්...වසරගනනාවක් තිස්සේ දැකපු ඒ හැම හීනයක්ම අද සැබෑ වෙලා...මං දැන් ඔයාගේ පුංචි බිරිඳ...මං දන්නවා ඒක විශාල වගකීමක්.

බිරිඳක් ගෘහණියක් උනාට මං තාම යුග දිවියට අත දරුවෙක්..මං අතින් අනන්ත අප්‍රමාණ අතපසුවීම්, වැරදි සිදුවේවි.මං විශ්වාස කරනව ඒ හැම අවස්ථාවකදීම ඔයා මාව ආරක්ශා කරගෙන මට ආදරෙන් කරුණු පහදල දෙවි කියල.යුග ජීවිතේ ප්‍රශ්ණ , බැඳීම් , වගකීම් දවසින් දෙකෙන් ලිහා ගන්න තේරුම් ගන්න බැරි වේවි. හැමදාම ඉගෙන ගනන් මොනවා හෝ තියේවි.ඒත් ඒ හැම වෙලාවකදීම ඔයා මා ළඟින් ඉදන් මට සහය දුන්නොත් ජීවිතේ හැමදාම ලස්සන වේවි.අපි දෙන්න අපි දෙන්නට ළං වෙන තරමට තේරුම් ගනන් තරමට ජීවිතේ ප්‍රශ්න අඩු වේවි.

දයාබර හිමියනේ....

අප අතඟිලි පටලා සෙනෙහසින් පිවිසුණු ලෝකය සුන්දර කර ගැනීම නුඹත් මාත් සතුයි.ඒ ලෝකයේ සුන්දර විඳින්න හැමදාම මගේ ලඟින් ඉන්නව නේද....?

Mar 21, 2012

දෙනුවන් අනුහස....තෙවන සජ්ජායනාව




කලින් කොටස් නොකියවපු අය මේ පැත්තට ගිහින් එන්න


දෙනුවන් අනුහස - ප්‍රථම සජ්ජායනාව
දෙනුවන් අනුහස - දෙවන සජ්ජායනාව


ත්තරාගේ පිටු පසින් සියල්ලම ශාලාවට ඇතුලු විය.කොලු රැළකට මැදිව ආ අප දෙදෙනා දෙස කෙල්ලන් බැලුවේ කට ඇරගෙනය.

" විනාසයි... විනාසයි...මෙහෙත් කොල්ලෝ කෙල්ලෝ වෙන වෙනමද වාඩි වෙන්නෙ... දෙනුවනයා ඇයි යකෝ උඹ අපිට බොරු කිව්වේ..? තෝ මොකක්ද අපිට මේ කරපු අපරාදේ....."

" හරි හරි යකුනේ ටික දවසකින් අපි මේ ක්‍රමේ වෙනස් කරන්න බලමු...එතකං නාඩා ඉදහල්ලකෝ..."

මේ නම් පිස්සන් රැළකි.

" අප්පට සිරි දෙනුවනයා... උඹලත් මෙහෙට සෙට් උනාද... මරු මරු ආ...."

මෙතන තව දුරටත් ඔවුන්ට ආගන්තුක තැනක් නොවන බව තාරාටත් මටත් අවබෝධ විය.ඒ පංතියේ කොල්ලන්ගෙන් හරි අඩකටත් වඩා දෙනුවන්ව හැදින සිටි බැවිනි.

" බලපන්කෝ... මෑන්ට තියෙන ප්‍රතිචාර.. හරියට නිකන් සුපර් ස්ටාර් වගේනෙ... එක ගමේ ඉදලත් අපි නොදැන නොදැක හිටියට මූව නොදන්න එකෙක් නෑ නේ බං..."

තාරා මට පමනක් ඇසෙන්නට කුටු කුටු ගායි.

" අපි ගිහින් වාඩි වෙමු තාරා කට්ටිය අපි දිහාත් මැජික් වගේ බලනවා..."

අපි අපේ සුපුරුදු බංකුවේ ගොස් වාඩි වීමු. අප වාඩි වෙනතුරු බලා සිටි දෙනුවන් තාරාත් මමත් වාඩිවුනු පේලියට සමාන්තරව ඇති පිරිමි ළමුන්ගේ බංකුවට ගොස් වාඩි විය.

" කවී...උඹ වෙනස් අද... ඇයි මේ... "

ඇයත් මාත් තණිවුන ඇසිල්ලේම ඈ මා අල්වාගති.

" උඹට පිස්සු එහෙම එකක් නෑ තාරා.."

" උඹට ශුවර්ද නෑ කියලා..."

" අනේ.... උඹත් එක්කනම් බෑ තාරා..."

" ඒකනං ඇත්ත තමා ඉතින්..."

මට සිනා නැගේ ඇයද වෙලාවකට කොල්ලෙකුට හපන්ය.

" මං උඹට දෙනවා දැන් දෙකක් හොදේ.. කට වැහුවේ නැත්තං..."

මා ඇයට හැරී පොතකින් දමා ගැසුවෙමි.අපේ කිචි බිචියට කොල්ලන් බොහෝ දෙනෙක් අප දෙසට හැරුණි.ආයෙත් ඒ නිල් ඇස් වලින් මා අල්ලා ගන්නවා මා අහම්බෙන් දුටිමි.මට ආයෙත් සිනහව අමතක විය.

" හ්ම්..හ්ම්.. එන පොටනං හොද නෑ රජෝ.. මූ මේකට රිංගුවේනම් හොදකට වෙන්න බෑ...හැබැයි කවියෝ මේකා අනුහස් අයියට දුශ්ටයා පාට් එක දාන්න ආව දවසට තමා මං මූට පාඩමක් උගන්නනේ.. උඹත් එදාට තමා මේ යාළුවගේ හැටි දැනගන්නේ.."

" තාරා... විකාරද උඹට... එහෙම වෙන්නේ නෑ... මං සුදු අයියගේ පණ..."

" ඔව්..ඔව්.. උගේ පණනම් උඹ තමා...මට දැන් දැන් සැක උඹේ පණ කවුරු වේවිද කියල තමා..."

ඈ විහිලුවට කීවද ඒ කතාවට මසිත රිදුණි.අනුහස් අයියා සිහිව මහා රිදුමක් හිතට දැනුණි. දෙවියනේ... සිතුවිල්ලකින්වත් ඔහුට වරදක් කල යුතු නොවේ. මම සිහි එලවා ගතිමි. එහෙත්... සැරින් සැරේ ඒ බෝනිකි ඇස් මා නෙතු අල්ලා ගනී. ඒ ඇස් ළඟ ම හිත අතරමං වේ.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
තිං එතැන් පටන් ජීවිතයට වෙනදා නොමැති සුන්දරත්වයක්ද... වෙනදා ජීවිතයට නොදැණුනු මහා බරක්ද දැනෙන්නට විය.පැහැසර දෙනුවන් නැමැති ඒ අපූරු මානවයා කවිති සෙනාදා නම් වූ මගේ සිහින ලෝකය පුරා ඉවක් බවක් නැතිව හිතුමතේ සරන්නට විය මගේ ජීවිතයේ සියලු බලතල වල නිල නොලත් හිමිකරු වූ දහම් අනුහස් නම් වූ ඔහු, පෙරදාක මගේ මුළු විශ්වයම වූ ඔහු , ටිකෙන් ටික ම හිතින් බැහැර වන්නට විය.ඒ පින්සාර ආත්මයට පයින් ගසා බදා වැළඳ ගන්නට තරම් ප්‍රේමයක් දෙනුවන්ගෙන් මා නොදුටු මුත් ඔහු සමහ හිතින් මවා ගත් ලෝකයක මා සිත් සේ ප්‍රේම කලෙමි. එහෙත් සැබෑවනම් මගේ අහිංසක හීන ලෝකෙදී දිවි හිමියෙන් මට පෙම් කල දෙනුවන් සැබෑ ලෝකයෙදී මා තුට්ටුවකටත් මායිම් නොකිරීමයි.මගේ යෙහෙළිය තාරා සමග පමණක් නොව පංතියේ සියලුම කෙල්ලන් සමග දෙනුවන් බොහෝ කුළුපගුය.අප සියලු දෙනා එක්ව දොඩමළු වන හැම අවස්ථාවලදීම දෙනුවන් මා හිතා මතා මග හරී.නැතිනම් මොකක් හෝ ඇනුම් පදයක් කියා මා රිදවන්නට බලයි.තනිව මුහුණට මුහුණ හමුවන අවස්ථාවලදී මා නොදුටුවාක් මෙන් යයි.එහෙත් හිතන්නටවත් බැරි සමහර අවස්ථාවලදී බොහේ සෙනෙහසින් මොනවා හෝ දොඩයි.ඔහුගේ මේ හැසිරීම් වලින් මා දහස්වර සිත රිදවා ගතිමි.එහෙත් මා දනිමි.... ඒ ඇස් නිරන්තර මා පසු පස වූ බව මා ඉඳුරාම දනිමි. ඒ ඇස් වල නලියන හැඟීම් මා මේ විඳවන ප්‍රේමයේම කොටසක් බව මට ඉර හඳ සේ විශ්වාසය.බැල්මකින්වත් එය මට නොපෙන්නා ඔහු මා රිදවන අපූරුව.....
තාරාටත් මටත් පංතියේ පිරිමි යහළුවන් උන්නේම නැත. එහෙත් දෙනුවන්ගේ ආගමනයත් සමග ඒ සියල්ල වෙනස් උනි.අපටත් නොදැනීම අප ඔවුන්ගේ නඩයේ සාමාජිකාවන් වී ඇත.සැබැවින්ම ඔවුන් ඇසුරේ ගෙවෙන පැය කීපය බෙහෙවින්ම රසවත්ය විනෝදජනකය.සම වයසේ සෙල්ලක්කාර දඟයන්ම පමනක් නොව විටෙක ඔවුන් අපට වැඩිමහල් සහෝදරයන් මෙන් විය.ඒ තරමට ඔවුන් අප ගැන සොයා බැලීය.ප්‍රශ්නයකදී සියලු දඩබ්බර කම් පසෙක දා අපට ගුරු හරුකම් දුන්නේය.සත්තකටම ජීවිත කාලය පුරා මතක් කර කර හිනැහෙන්නට තරම් මතකයන් ගොඩක් ඒ දයාබයයන්ගෙන් අපට හිමිවිය.
" කවිති... ඇයි බං උඹ අම්මගේ බඩේදීම කසාදේ රෙජිස්ටර් කරගෙන ආවේ.... බලපං උඹ නොදන්නව උනාට කී දෙනෙක් උඹට ට්‍රයිද....මේ බවේ නොහැකිනම් මතු බවේ ඔබ ලබන්නම් කියා කී දෙනෙක් පෝලිමට සෙට් වෙලා ඉන්නවද.....අනේ අම්මපා මම මේ කියන්නේ ඇත්ත... මමත් ඒ පෝලිමේ කොනක ඉන්නවා.....යාලු කම සලකලවත් ලබන ආත්මෙදී මට බහ දීපන් හොදේ...."
ඒ අපේ නඩයේ අනුශ්කයි.සියල්ලෝම ඔහුගේ කතාවට මහ හඩින් හිනැහෙයි.මුලදී මුලදී මෙවන් විහිලු වලට මූණ ජම්බු මෙන් රතු කර ගත්තාට මටද දැන් මේවා හුරුය.එහෙත් කවදත් තාරා මෙන් මම ඔවැනි දේට හිනැහෙනවා ඇර එකට එක කියා නැත.අප සැවොම එකම හඬින් හිනැහෙද්දී දෙනුවන් හිනා මූණක්වත් නැතුව බලා උණි.ඔහු අනුශ්ක දෙස රවා බැලීය.
" පිස්සුද බං උඹට... මේ ආත්මේ ලැබෙන්නෙ නැති දෙවල් ලබන ආත්මේ මොන බම්බුවටද...මමනම් මේ ආත්මේ නොලැබෙන කිසිම දෙයක් ලබන ආත්මේ පතන්නේ නෑ..."
දෙනුවන් ඒ ටික කීවේ මගේ මූණ දිහා බලාගෙන මට වැදෙන්නට මෙන්ය.මා සසලව ගියෙමි. ම නෙතට කඳුළක් උනතැයි මා බිය වීමි.
"කඩා ගන්න බැරි තැන නරියා මිදි තිත්තයි කිව්වා වගේ කතාවක් ඒකනම්...."
තාරාද ඇගට පතට නොදැනී එසේ කියා දැම්මේ ඇයිදැයි මටද නොතේරේ.
" උත්තරා...... නංගී දාන්න පහක්.... උඹ තමා අද දවසේ හොදම කතාව කීව්වේ..."
මේ නම් ඉතින් හදන්නේ කොලු රැළ දෙනුවන් අවුස්සන්නය.ඔහුගේ කට අවුස්සගත්තොත් අපට හොදක්නම් වෙන්නේ නැත.දෙනුවන් මොන තරම් සැහැල්ලුවෙන් ඉන්න බව පෙන්වන්න හැදුවත් ඔහු මොකක් හෝ දෙයක් හිතේ හිරකරගෙන ඉන්නා සෙයකි.එය එසේ බව අපටත් වඩා හොදට ඔහුගේ ළඟම උන් මිතුරන්ට දැනෙයි.දෙනුවන් අන් අයට ඇති තරම් විහිළු තහලු කරයි.කොල්ලන් පමණක් නොව කෙල්ලන්ද අපහසු තාවයට පත් කරන තරම් දඩබ්බර කම් ඔහු ලඟ එමටය.එහෙත් කවුරුන් හෝ වැඩිපුර ඔහුව විහිලුවට ගත්තොත් මේ ළඟදී සිට ඔහුට එය රුස්සන්නේම නැත.ඔහුගේ ප්‍රාණ සම මිතුරන්ට පවා බැන වදී , හිටි හැටියේ සියල්ල ගසා බසා පිටව යයි.
" මූට මේ ළඟදී ඉදන් මොන මල යකෙක් වැහිලද මංදා...ඉස්සර මූ මෙහෙම නෑ... ෆිට් එකේ හිටියා...පිස්සු කෙල කෙල....යකෝ දැන් මූට මේ එක පතේ කන අපිවත් වෙලාවකට දිරවන්නේ නෑ නේ..."
එසේ කියන්නේ ඔහුගේම අනුගාමික අතිජාත මිතුරන්ය.
" මූ අපිටත් නොකියා මොනා හරි හිතේ හංගගෙන ඉන්නවා බං...ඒකයි ඔය වෙලාවකට ඌට මල..."
ඔන්න අපි දැන්නේ නෑ කවිති උඹව දැක්ක දවසේ ඉදන් තමා මෑන් ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ හැසිරෙන්නේ..."
අන්තිමට ඔවුන් විහිලුවට මෙන් ඒ කතාවේ කොහෙට හෝ මාවත් ගාවා ගනී.
" මේ .. මේ ඉශාන්... විහිලුවටවත් මේකිවනම් ඕවට ගාව ගන්න එපා හොදේ....
තාරා ඇගිල්ල උලුක් කර ඔවුන්ට පවසන්නේ හැබෑම කේන්තියෙනි.අනුහස් අයියාගෙත් මගෙත් පෙම් කතාව මේ වන විට නඩයේ හැමෝම දැන ගෙනත් මාව දෙනුවන් හා සම්බන්ධ කරමින් ඔවුන් කරන විහිලු තාරාට රුස්සන්නේම නැත.
එහෙත් අප එක්ව සිටින හැම තැනකදීම දෙනුවන් මා කොන් කරන බව, මට රිද්දන බව තාරා මෙන්ම නඩයේ සියලු දෙනාම දනී.එයට මොකක්ම හරි විශේෂ හෙතුවක් ඇති බව මේ සියල්ලන්ම දැන සිටියද එය ප්‍රසිද්ධියේ කතා නොකරයි.කෙල්ලන් කෙසේ වෙතත් මේ කොළු රෑන මොනවා හෝ දන්නා බව මට ඉවෙන් මෙන් දැනේ.දෙනුවන් තරහෙන් කතා කරන රවන ඔරවන තරමටම ඒ ඇස් වල ඇති ප්‍රේමය මට වැඩි වැඩියෙන් දැනේ.එක දවසකදී එය අන් හැමටම දැනගන්නට වෙන තරමට දෙයක් සිදු වුණි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

අප පංති නිමවී නුගේගොඩ හංදිය දෙසට පැමිණෙමින් සිටියෙමු.තාරාත් මමත් හැරුණු කොට විදූශාත් රශ්මිත් ගංගාත් අප සමග විය.දෙනුවන් සහ ඔහුගේ මිතුරන් වන අනුශ්ක, ඉශාන්, චාමිකර,බිනුක,චතූර සහ තවත් තුන් හතර දෙනෙක්ම ඔහු සමග විය.දෙනුවන් හමුවූවාට පසු අප කොහුවල තෙක් ඇවිද ආවේ මේ නඩය සමගිනි.අප නුගේගොඩ Nolimit එක පහු කලා පමණි.පාරෙන් එහා පස බෝ ගහ පාමුල හිටි අසංවර ලෙස හැඳ පැලඳ ගත් මදාවි කොල්ලන් රැළක් අප දැක පාර මාරු විය.දැන් ඔවුන් අප ඉදිරියෙනි. අප ඔවුන් පසුකරත්ම
" වා....ව්..... චීස් කෑල්ල.... දැක්ක ගමන් කන්න හිතෙනවා අප්පා...."
එකෙක් මහා හඩින් කෑ ගැසීය.තාරා වහා හැරී ගිනි පිටවෙන බැල්මක් ඔවුන්ට මුදා හැරීය.
" හෝ...ව්.. හෝව්...කලබල වෙන්න එපා සුන්දරී ... ඔයාට නෙවෙයි කිව්වේ ඔය එහා පැත්තේ ඉන්න දම් පාට ටී එක ඇඳපු රෝස මලට.... අනේ මට ඔයාව එක දවසකට හරි බඳින්න ඕනේ..."
ඔවුන් ඒ කීවේ මටය. එකෙකු එසේ කෑ ගසද්දී අනිත් උන් මහා හඩින් හුරේ දමයි.ලජ්ජාවට මගේ හතර හංදි පවා වෙව්ව්ලන්නට විය.අපට කිට්ටුවෙන්ම පාඩුවේ ආ දෙනුවන් සැනෙන් නැවතුණි.කිසිවෙකුට කිසිවක් හිතන්නට වෙලාවක් නොගෙන ආපසු හැරී දිව ගිය ඔහු අරම කී කොල්ලාගේ බෙල්ලෙන් අල්ලා ගති.
" මොකක්ද උඹ කිව්වේ.... ආයේ කියපං බලන්න...දැනගනිං එයා මගේ.... එයා මගේ.... තෝ ආයේ එයා දිහා හැරිලවත් බැලුවොත් බත් කන්න එක දතක්වත් ඉතුරු කරන්නේ නෑ මම උඹේ..."
දෙනුවන් ආවේස වූවෙකු පරිදිය.වහා දිව ගිය මිතුරන් දෙනුවන්ගෙන් ඒ කොල්ලාගේ බෙල්ල මුදා හරින්නට මහත් වෙහෙසක් ගති.ඒ පසටත් මේ පසටත් කොල්ලන් බුරුතු පිටින් එකතු වූයේ ඇසි පිය වත් වැදෙන්නට කලිනි.තව මොහොතකින් පත්තර වල TV වල වැටෙන තරමට මහා ගැටුමක් ආරම්භ වෙනවා නියතය.මෙවන් මොහොතක කොල්ලන්ට අත පය විසි කිරීමට හේතුවක් ඕනේම නැත.මා භීතියෙන් භීතියට පත්වීමි.මම තාරාගේ අත තරයේ මිරිකා ගතිමි.බයටම ඇයද වෙව්ලනවා මට දැනේ.කාටවත්ම අනතුරක් නොවේවායි මා සිතින් දෙවියන් වැදීමි.
" අනේ තාරා... මට බයයි...."
මදෙස බැලූ ඇය ලොකු හුස්මක් ගෙන මොහොතක් වැරෙන් නෙතු පියා ගති.
" වරෙන්..."
මට හිතන්නටවත් වෙලාවක් නොදී මගේ අතින් ඇඳගෙන කොලු රැළ පීරා ඉදිරියට ඇඳුණි.ජීවිතයේ කිසිම දාක මා මෙන්ම ඇයද මෙවන් මොහොතකට මුහුණ දී නැති බව සැබෑවකි. එහෙත් ප්‍රශ්නයකදී මට නැති හයියක් තැනට සුදුසු නුවණක් ඇයට වේ.
" මේ අහන්න... අනේ කරුනාකරලා අහන්න... දෙපැත්තෙන්ම වැරදි උනා... අපේ වරද අපි පිලිගන්නවා... ඔයාලත් වරද පිළිගන්න...පුංචි දෙයක් මහා ලොකු දෙයක් කරගෙන මිනී මරාගන්න හදන්න එපා.... Please....."

තාරා නිවුනු හඩින් දෙපැත්තටම කරුණු අවබෝධ කර දෙමින් වෙන්නට යන මහා විනාශය නවතන්නට මහත් වෙහෙසක් ගති. දෙනුවන් තවමත් ආවේශ වූ වෙකු පරිදිය ඔහු මෙල්ල කිරීම ලෙහෙසි නැත.එහා පස උන් එවුන් තාරාගේ ඉඟි බිඟි වලටත් අගර දගර කතාවටත් හිත වැටී පහු බාද්දී මම දෙනුවන්ට ළං වීමි.
" දෙනුවන්.....Please... රණ්ඩු කරගන්න එපා ... අනේ අපි යමු මෙතනින් මට බයයි...."
හිතා මතා නොවුනත් මට ඇත්තම කියවුණි.ඔහුව අල්ලා සිටි අයගේ අත් ගසා දමා දෙනුවන් හැරී ම දෙස බැලීය.මගේ ඇස් මුළ කඩා වැටෙන්න ඔන්න මෙන්න කඳුළක් විය. ඔහු එය දකින්නට ඇත.
" අනුවා... ඉශ්... චම්මා .... වරෙල්ලා යන්න..."
සියල්ලෝ ආපසු හැරෙන්නට සූදානම්ය. තවමත් දඩ දඩ ගා ගැහෙන පපුවට අත තියා මා සංසුන් වෙන්නට වෙර ගතිමි.ගැහැණියකගේ කතාවට , කඳුලකට මෙල්ල කර ගත නොහැකි පිරිමින් ඇත්තන් ඒ අතලොස්සකි.තාරාගේ කතාවටත් මගේ කඳුලකටත් වෙන්නට ගිය මහා විනාශයක් වැලකුණි.
" තාරා ... එනවා යන්න...."
දෙනුවන් තාරාගේ අතින් ඇදගෙන විත් මා ළගට කර ඉස්සර විය.අප ඔහු පසු පසින් ආවා නොව දිව්වාය.ඒ තරම් වේගයෙන් දෙනුවන් කොහුවල දෙසට ඇවිද යන්නට විය.
" දෙනුවන් .... නැවතියං මචං... මොකද උඹට වෙලා තියෙන්නේ..."
අනුශ්ක දිව ගොස් ඔහු යන මග අවුරා නතර කරවීය.
" යකෝ උඹට දෙයියන්ගේ හාල් කැවිලද...බලපං තව පොඩ්ඩෙන් අරූ මැරෙනව බෙල්ල හිර වෙලා..."
"ඇයි මචං උඹ ඕක Serious ගත්තේ.. අපි කෙල්ලන්ට ඔයිට වැඩිය දෙවල් කියලා විහිළු කරන්නේ..."
" තව පොඩ්ඩෙන් අම්බානක කන්න වෙනව... උන් කුඩු කාරයොද කොහෙද... දැක්කනේ එහෙන් මෙහෙන් ඇදල ගත්ත භාණ්ඩ..."
"ඔව් යකෝ... මුන් දෙන්නා එතෙන්ට නේන්න එකෙක් මැරිලා තමා වැඩේ ඉවර වෙන්නේ..."
" අනේ මේ...... උඹලට ඒක ලොකු දෙයක් නොවුනට මට ලොකුයි...මට දුක උඹලා මට උගේ දත් දෙකක් බඩට යවන්න ඉඩ නොදුන්න එකටයි.."
දෙනුවන් දඩාස් ගා අසල බිත්තියට පා පහරක් එල්ල කලේ තවමත් පුපුරන කේන්තියෙනි.ඒ පහරේ සැරට මා ගැස්සුණි. ගානක් නැති සේ උන්නාට ඔහුට මහ හුඟක් රිදෙන්නට ඇත. කවුරුත් නොදන්නවා උනාට මේ මගේ ප්‍රේමයි.... ළඟට ගොස් ඔහු සංසුන් කරන්නට මහා උවමනාවක් හිතේ විනිද ඒ සා හපන් කමක් කරන්නට කවිතිට හිත හදා ගන්නට බැරිය.ඔහු මේ සා නපුරු වූයේ අර කොල්ලන් මට කී දේ නිසායයි සිතන විට හිතම හිරි වැටේ.
" උත්තරා... උඹ මොන මගුලටද මැද්දට පැනලා උන්ව හුරතල් කරන්න ගියේ... ආ.....?
දෙනුවන් තාරාගේ ඇගටද ගොඩ විය.
" මම එහෙම නොකලනම් බලා ගන්න තිබුණා වෙන දේ... එහෙනං මෙලහකට තුන් හතර දෙනෙක් මහ ඉස්පිරිතාලේ.. අපිටත් පොලිසී ගානේ යන්න වෙනවා..."
" මේ හලෝ ... හැම එකටම කේන්ති අරගෙන අත පය විසි කරන එක නෙවෙයි හපන් කම... හිතන් ඉන්නේ මහ ලොකු චන්ඩි කියලද...?
තාරා කතා කලේ සැබැවින්ම තරහෙනි ආවේගයෙනි.
" හරි හරී අම්මෝ .. ඒ පාර තොපි දෙන්නා මරා ගන්නද හදන්නේ...නවත්තපියව් කිව්වේ හොදේ... මටනම් මහන්සී අත පයත් රිදෙනවා මේ හෝතඹුවා එක්ක පොර බඳලා ..."
චාමිකර කීවේ අත පය පිරිමදිමින් පොඩි වූ ෂර්ට් එක සකසමිනි.
" මචං මොනවා උනත් උඹ කල වැඩේ මං අගය කරනවා.. අනිත් හැම කෙල්ලම ශේප් එකේ මාරු වෙද්දි උඹ කවිතිත් එක්ක එකතු වෙලා කට්ටිය Cool Down කරපු එකනම් වෙලාවේ හැටියට සෑහෙන්න වටිනවා..."
අනුශ්ක තාරාගේ පිටට තට්ටුවක් දමා කීවේ සැබෑවටම ඇයව අගය කරමිනි.
" මටත් කියන්න තියෙන්නේ ඒකමයි මචංලා ... තාරා මමත් කැමති උඹ වගේ ඕන බාල්දියකට ඔලුව දාන්න පුලුවන් රියල් කෙල්ලෙකුට...මොකද කියන්නේ උඹත් තනිකඩ... මමත් තනිකඩ... අපි දෙන්නා එකතු උනානම් කොච්චර ලස්නට තියේවිද..."
ඉශාන්ගේ ඒ කතාවට අප එක හඩින් සිනා සීමු. දෙනුවන්ගේ පවා තොල් පෙති සෙලවෙනවා මා දුටිමි.ඒ සිනාවත් එක්කම හැමෝගේම හිත් මඳකට සැහැල්ලු විය.
"ඇප්ලිකේශන් එකක් දීලා බලන්න මම සලකලා බලන්නම්කෝ....."
" අඩේ.... අමතක උනානේ... ඒයි දෙනුවනයා.... ලෑස්ති කරපං අපිට Party එකක්.."
" ඒ මොන අහවල් එකකටද බං..."
" ඇයි බං මෙච්චර කල් එකට හිටපු අපිත් අර ගෝතයට පිං සිද්ධ වෙන්නනේ දැනගත්තේ මේ අපේ කවී උඹේ කියල..."
ඒ කතාව සිහිව ආයෙම අලුතින් හිත හිරි වැටුණි.
" මොකක්..."
දෙනුවන් ඇසුවේ ඔහු එවන් දෙයක් කීවාදැයි විශ්වාස නැතුව මෙනි.
" ඇයි යකෝ...උඹ අරූගේ බෙල්ල හිර කරගෙන මුළු නුගේගොඩටම ඇහෙන්න කෑ ගැහුවේ... එයා මගේ... එයා මගේ කියල..."
ඉශාන් අනුශ්කගේ බෙල්ලෙන් අල්ල සොලව සොලවා දෙනුවන් කල සේ රග පා පෙන්වීය.
දෙනුවනුත් මාත් හැරෙද්දී අනිත් සැවොම එයට සිනා වෙන්නට විය.ඔහුගේ මුහුණ සැනෙන් වෙනස් විය.දෙනුවන් මහා අපහසු තාවයකට ලක් වූ බව හැමට වැටහුණි.දෙනුවන් පිස්සුවෙන් මෙන් කී ඒ වදන් ආයේ ආයේ සිහිව ඇස් කකියන්නට විය.දෙනුවන් වහා මා ඉදිරියට ආවේය.
" මැඩම්... සොරි වෙන්න ඕනේ වැරදි දෙයක් කිය උනානම්... ඒක වැඩිය හිතට ගන්න එපා හොදේ... මං කැමති නෑ මාත් එක්ක ඉන්න කිසිම කෙල්ලෙක්ට පිටින් ඉන්න උන් කැත කතා කියනවට... ඒකයි මට තද උනේ..."
" උඹලටත් මං මේ කියන්නේ... ආයේ ඔය කතාව විහිළුවටවත් ඇදලා ගන්න එපා හරී..."
දඹර ඇගිල්ල උලුක් කොට හැමෝටම එසේ පවසා දෙනුවන් ආයෙම හැරී නුගේගොඩ දෙසට යමින් තිබු බසයක දුව ගොස් එල්ලුණි.අනුශ්කත් ඉශානුත් ඒ පසු පසම ගොස් ඔහුට එකතු වුණි.
මා දියෙන් ගොඩ දැමූ මාලුවෙකු සේ වෙව්ලන්නට වීමි.කිටි කිටියේ මා තාරාගේ අත තද කොට මිරිකා ගතිමි.මහ පාරේ මට ඉකි ගැසුණි.තාරා මෙන්ම දෙනුවන්ගේ මිතුරන්ද මා සනසන්නට නොයෙක් දේ කීය.
" කවී දන්නවනේ එකගේ කටේ රගේ... ඔයා ඕවා ගනන් ගන්න එපා... "
" මේ දවස්වල ඕකගේ වයර් මාරු වෙලා ඉන්නේ...ඒකයි ඔය පිස්සු කෙලින්නේ..."
දෙනුවන්ගේ හැම නපුරු කමක්ම අමතක කලත් දෙනෝ දාහකට ඇසෙන්නට කෑ ගසා ඔහු කී දේ අමතක කරන්නට ඉතින් මට හැකි වේවිද ?
" තාරා ඔයා කවීවත් එක්කගෙන පරිස්සමට යන්න ... අපි අරූට කෝල් කරලා කොහෙද ඉන්නේ බලලා අපිත් යනවා...
දෙනුවන්ගේ අනිත් සගයොත් එතැන නවතිද්දී අපි ඔවුන්ට සමුදී පිටත් වුණි.
" කවී මට මහන්සී බං අරුන් එක්ක කියවලා කියවලා කටේ කෙළත් හිදිලා යමං අපි මොනා හරි බොමු..."
අසල තිබූ Devon එකට තාරා ඇතුලු වූයේ මගේ අත අත නොහැරමය.නොකීවාට මටද තද පිපාසයක් දැනෙමින් තුබුණි.මුලු ඇගම ගිනි ගන්නවාක් මෙනි.ඇතුලු වූ ගමන් මා පුටුවක් මතට බරවීමි.තාරා ඔරේන් ජූස් දෙකක් රැගෙන විත් මා ඉදිරියෙන් වාඩි වූයේ ලොකු කතාවකට මුල පුරන්නට බව මට ඉවෙන් මෙන් දැනුනි.
" පහුගිය විනාඩි ගාන මතක් කරනකොට මගේ ඔලුව විකාරයි කවී...මං දන්නවා උඹත් ඉන්නේ ෂොක් වෙලා කියලා....මේවා අපේ ගෙවල් වලින් දැන ගත්තොත් උඹටයි මටයි ක්ලාස් කෙසේ වෙතත් නුගේගොඩ දිහා බලාගෙන බත් කන එකත් තහනම් කරයි..."
මා වචනයක්වත් නොකියා එක හුස්මට වීදුරුව හිස් කලෙමි. ඇය කියන්නේ සැබෑවකි.නිකමට හරි අනුහස් අයියා මේවා දැනගත්තොත් මේ තියෙන නිදහස නැති වෙනවාමය.ඔහු තාරාටත් මටත් ගෙදරට ගුරුවරුන් ගෙන්වා ටියුශන් දෙන්නට ලෑස්ති කරනවා සිකුරුය.එසේ උනොත් දෙනුවන් දැකීම සිහිනයක්ම වන්නේය.මේ සියල්ල සිහිව හිත නොසන්සුන්ය.
" ගල් ඉබ්බි වගේ බකන් නිලාගෙන මොනාද කල්පනා කරන්නේ මටත් කියපංකෝ..."
මේසය මට රැදි මගේ සුරත් මිරිකා තාරා විමසයි.කියන්නට කොතෙක් දේ වුනිද මට කට ඇර ඒ කිසිවක් කියන්නට හැකියාවක් නැත.
" කවී... මේ බලපං... උඹ මේ වෙචච උඹට ඇහිච්ච හැමදේම අද මෙතන මේ මොහොතේ ඉදන් අමතක කරන්න ඕනෙ හොදේ.... දෙනුවන් කිව්වා වගේම උඹ ඒවා හිතට ගන්න යන්න එපා හරී... එහෙම උනොත් උඹෙ විතරක් නෙවෙයි තව ජීවිත ගනනාවක්ම අවුල් වෙන්න පුලුවන්... තෙරෙනවා නේද කවී මම උඹට කියන දේ..."
දෙනුවන් මේ තරම් කලබගෑනියක් කලේ නිකමට නොවන බව මට මෙන්ම උත්තරාටද දැනෙන්නට ඇත. එහෙත් ඈ එය නොදන්නවා මෙන් මට කියන්නට ඕන දේ කියා දැමීය.යාන්තං මුවට සිනාවක් නගා ගෙන මා තාරාගේ සුරත මිරිකා ගතිමි.ඉතින් ඈ කියූවා මා පිළිගන්නට ඇතැයි ඈ සිතන්නට ඇත.

~~ මතුසම්බන්ධයි ~~



Mar 19, 2012

පෙම්බර හිමිසඳුනි මගේ......


සොඳුරු යුවතිය... පතිනියක වූ දා....
විඳින ජීවිතයක සොඳුරු පෙළගැස්ම



කොච්චර අමාරුවෙන් කඳුලු හිර කරගෙන හිටියත් පිට පනින්නමයි හදන්නේ.ඒත් ඉතින් අඬා වැටෙන්න බෑ.. අලුත් ජීවිතේ තවත් අලුත් අත්දැකීමක්...අනිවාර්‍යයෙන්ම සිඳු විය යුතු දෙයක්.එහෙම හිතල මම ඇස් දෙක පියා ගත්ත චුට්ටක් සංසුන් වෙන්න.

" කෝ ඉතිං හිනාවෙලා කියන්නකෝ මට ඉක්මනට ගිහින් එන්න කියල "

ඔයා දොඩමළු වෙලා මගේ සිතුවිළි නොසංසුන් කලා.

" පරිස්සමින් ඉන්න... මං ඉක්මනට එනව..."

ඒ වදන් මුවින් ගිලිහෙන ගමන්ම පුංචි හාදුවක් තැවරුනා නළල මත.ආදරය උතුරන ඒ උණුහුමට සමුදෙද්දි මට දැනුනෙ පුදුමාකාර ලෝබකමක්.

" බුදුසරණයි... පරිස්සමින් ගිහින් එන්න රන්.."

එලිපත්ත පනිද්දි මගේ මුවින් පිටවුනේ නිරාසයෙන්. ඔයා හිනා වුණා මා දිහා බලල ලස්සනට.

ඉතින් නුඹ නික්මුනා හිත පුරා පාලුව තවරලා ඒත් හැමදේම සුන්දරයි.... සත්තයි කියාගන්න බැරි තරමටම. ආයේ නුඹ හවස එන තුරුම ඒ සුන්දරත්වය මගේ හිතේ පාලු කපාවි.මුලු දවස පුරාම නුඹ තුරුලේ දැවටී හිනැහුනු මං නුඹ නොමැතුව මේ පුංචි ගෙදර තනිවුණු පළමු දවස අද.ඉතිං අදින් පස්සේ මට නුඹට කියන්නට කොයි තරං දෙවල් තියේවිද...ඒ හැම දේටම ඇහුම්කන් දෙන්න ඔයා සූදානම් නේද....ඔව් සත්තකින්ම නුඹ මට ඇහුම්කන් දේවි.දයාබර හිමි සඳුනේ.......
ඉතිං මට අවසර.....!

Mar 13, 2012

දෙනුවන් අනුහස....දෙවන සජ්ජායනාව

දෙවන සජ්ජායනාව ( 2 )

පලවෙනි කොටස නොබලපු අය මෙතනට ගිහින් එන්න
දෙනුවන් අනුහස....ප්‍රථම සජ්ජායනාව






දෙනුවන්ගේ රුව ඈත බොඳ වෙන්නටද මත්තෙන් වේගයෙන් පැමිණි අනුහස් අයියාගේ කිරි සුදු කාරය අප ඉදිරිපිට මහා හඩින් තිරිංග ගසා නැවතුණි.අනුහස් අයියා නැවතූ කාරයෙන් බිමට බැස්සා නොව පැන්නාය.

" සුදූ.... මගේ වස්තූ..... ඔයාලට කරදරයක් නෑ නේද....? ඇයි ෆෝන් ආන්සර් නොකලේ......මොකද ඔයාලට උනේ...?"

කතා කර ගැනීමටවත් නොහැකි තරමට කලබල වූ අනුහස් අයියාගෙන් අපට ප්‍රශ්න වැලකි.ඉතින් මා දනිමි මොහු මේ සියළු වැඩ අතරමග දමා දිව එනවා විය හැක.ඔහුගේ කලබලය දැක තාරාටත් මටත් සිනහා නොවී සිටිය නොහැකි විය.

" ඔයාලටනම් හිනා.... කියන්න.. මේකත් මාව බය කරන්න කරපු විහිළුවක්ද සුදූ...බබා ඔයා දන්නවා අද මට ගොඩාක් වැඩ තියෙන දවසක් කියල... අනේ ඇත්තමයි ඔයාගේ මේ මුරණ්ඩු විහිළු නිසා දවසක මම මහ පාරේ මැරිලා ඉදීවි..."

" චී.... සුදු අයිය... මොකක්ද ඒ කියපු නපුරු කතාව... දෙනව පාරක් මං ඔයාට..."

මම වහා පැන ඒ මුව අතින් වැසීය.

" අයියෝ... අනුහස් අයියා... මේකයි උනේ...

තාරා මුල සිට ඔහුට සිදුවූ දේ පවසන්නට විය. එය අසා ඔහු සැහැල්ලුවෙන් හුස්මක් පිට කලේය.

"පිස්සු කෙල්ල....මෙලෝ සිහියක් නැතුව පාරේ දුවනවද හැදිච්ච ගෑණු ළමයි...? ඔහු ළඟට විත් මගේ කන් පෙත්තක් යාන්තමට රිදෙන්නට මිරිකීය.

" මං බය උන තරමක්... දන්නවද මම කී පාරක් කෝල් කලාද කියල... මම උත්තරා නංගිගේ ෆෝන් එකටත් ගත්ත.. ඒකත් ඕෆ්...ඉතින් සේරම දමල ගහල දුවගෙන ආව..."

" ආ...පෝ... සුදු අයිය... මොනම හදිස්සියකටවත් මෙයාගේ ෆෝන් එකටනම් කෝල් කරලා වැඩක් නෑ තමා.. මොකද ඕන වෙලාවක මේකිට වගේම ෆෝන් එකටත් කිසිම චාරයක් නෑ..."

" අනේ පලයං යන්න.... මට ඉතින් ඕක තිබුණයි කියල උඹලට වගේ පැය භාගෙන් භාගෙට කෝල් කර කර කෑවද පැටියෝ... බිව්වද පැටියෝ.. නෑවද පැටියෝ.. කියල අහන්න එකෙක් නෑනේ...උඹල එක ගෙදර ඉදලත් ෆෝන් එකෙන් මේ කඩන මල් වල හැටියට මට ආසාවටවත් කොල්ලෙක් එක්ක යාලු වෙන්න බයයි.. "

" දැන් ඔහොම කිව්වට උත්තරා නංගිත් ආදරේ කරන්න ගත්ත දවසක අපි බලමුකෝ නේද බබා.. මොකද කියන්නේ මම හොයලා දෙන්නද හොද කොල්ලෙක්..."

" අනේ... නැතුවට කමක් නෑ... දැන්මම බෙල්ලට තොන්ඩු දාගන්න මට බෑ..."

අනුහස් අයියා තාරාව අවුස්සයි. එහෙත් ඇය ඒවාට උරණ නොවේ. මට මෙන්න්ම ඈ අනුහස් අයියාටද බෙහෙවින් කිට්ටුය, ළෙංගතුය.

" සුදූ එන්න... මම ඔයාලව ගෙදරට දාලම ආපහු යන්නම්...නගින්න කා එකට..."

" අනේ සුදු අයියා...දැන් ඔහොමම නවතින්නකෝ... අද තාරාත් ඉන්න එකේ අපිට සෙල්ලම් කරන්න තිබුණා..."

" ම්ම්ම්... මම වැඩ මග දාලනේ ආවේ පැටියෝ.... මම දැන් යන්නම ඕනෙ...මම ඉක්මනට එන්නම්.. එතකන් ඔයාලා බැට්මින්ටන් ගහන්නකෝ හොදේ..."

මහිස අත ගා අනුහස් අයියා ආදරෙන් කීය. මා අකමැත්තෙන් උනත් එයට අවනත වීමි. කවදත් ඒ සෙනෙහස ළඟ මා ලැදරියකි.අනුහස් අයියා තාරාට පසු පස දොර ඇරදී මාවද අතින් අල්ලා ඉදිරි හසුනට ඇරලවන ලදී.රියට ගොඩ වන්නට මොහොතකට පෙර පාරෙන් එහා පස ඒ නිල් ඇස් අප දෙසම බලා සිටිනවා ම දුටිමි. දෙවියනේ ඒ ඇස් මා පසුපස ලුහුබදිනවාවද්ද...? ඒ සිතුවිල්ලත් සමග හිතට මහ මොකක්දෝ අමුත්තක් දැණුනි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

තිං එතැන් පටන් ඒ හිතුවක්කාර නිල් ඇස් සිහිකිරීමට මම දවසේ වැඩි හරියක් ගතිමි.කුමක් කරන්න ගියද දෙනුවන්ගේ රූපය මදෙස බලා ඉන්නවා මෙන් මට හැගේ.. ඒ ඇස් මට මොනවාදෝ කියන්නට හදනවාක් මෙන් දැනේ. මට මේ වැළදුන අලුත් රෝගය පාසලේදී තාරාගෙන් වසන් කරන්නට මම අපමණ වෙහෙසුණෙමි.සඳුදා වද්දී ඇයට ඒ සිදුවීමවත් දෙනුවන්වවත් මතක තිබුනේ නැත.එය මට මහා අස්වැසිල්ලක් විය. එහෙත් දෙනුවන් ඔබේ ඔය නුවන් මගේ සාමාන්‍ය දින චරියාවට මහා බාධාවක් විය.වැඩි වේලාවක් එකම තැනක රැදෙන්නට බැරි ගායක් පුංචි සංදියේ සිටම මට විය. වෙනදාට සිංදු කිය කියා ගේ පුරා දුව ඇවිදීමත් , කාමරයට වී දොරත් වසාගෙන සිංදුවක තාලයට හති වැටෙන තුරු නැටීමත් ,අහල පහලක අම්මා හෝ අනුහස් අයියා ඇත්නම් ඔවුන් සමග බොරුවට රණ්ඩු ඇල්ලීමත් මගේ දවසේ අනිවාර්ය දේවල් විය. දවසට දෙකට මට ඒ සියල්ල අමතකව ගියේය.මම තනිව සිනා සීමටත් , කල්පනා කිරීමටත් , සිහින මවන්නටත් පටන් ගෙන තිබුණි.

නංගි බබා... මොකෝ මේ... ඔයා අසනීපෙකින්ද....?"

අනුහස් අයියාට පළමු දිනයේදීම මගේ වෙනස ඉව වැටී ඇත.

" නෑ ... සුදු අයිය... මම හොදින් ඉන්නව..."

" ම්... පුදුමයි එහෙනං මොකෝ මේ කාමරේට වෙලා දොරත් වහගෙන...? ඔයගේ සුදු අයියට හංගන්න එපා.... මොනා හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කියන්න ඕනෙ හොදද පැටියෝ..."

ඔහු එසේ පවසා ම හිස ආත ගා මා තුරුළට හති.මා වෙව්ලා ගිය තරම්.... වෙනදා ඒ සෙනෙහස රැකවරණය ළඟ පූසි පැටවක සේ ගුලි ගැහුණු මට අද මහා අපහසුතාවයක් දැනුනි. අහේතුකව ම නෙතට කඳුළක් නැගුණි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

නොඉවසිල්ල නිසාම ඉබි ගමනින් ගෙවෙනවා දැණුනු දින හතකට පස්සෙ ඊ ළඟ සෙනසුරාදාට ඉර ඇහැරුණි.වෙන කවරදාටත් වඩා වේලපහින් මම අවදි වීමි.ඒත් ඇත්තනම් ඒ රැයම මම නොනිදා පහන් කලෙමි.සීතල හිමිදිරියේම දිය නා කොණ්ඩයේ තෙත වත් නොපිහිදා පංති යාමට සූදානම්ව පඩිපෙල බැස පහලට දුව ආ මා දෙස අම්මා කට ඇරගෙන බලා සිටින්නට විය.

" හත් දෙයියනේ...මේකනම් පුදුම හතෙන් එකක්... අද වහීවි දවසම මගේ දූ පොඩ්ඩ මොකද මේ අද කවදාවත් නැතුව..."

" පව් අම්මා තාරා...හැමදාම මං නිසා පාරේ රස්තියාදු වෙනව.. ඔන්න මීට පස්සේනම් මම ක්ලාස් යන්න වෙලාවට නැගිටිනව..."

මම ඇගේ මුහුණ සිප ඇයට පැවසීමි. ඇය හිනාවී එයට අනුබල දුන්නාය.එහෙත් සැබෑවනම් එය නොවේ.අදත් උදෑසන ඒ නිල් නෙතු පාරේ කොහේ හෝ දැල්වී ඇතැයි මසිත කියයි.ඒ ඇස් නැවත නැවත දකින්නට මහා ඕනෑ කමක් මගේ හිතට වේ. ඒ සිතුවිල්ලෙන්ම පාරට පිවිසි ම නෙතු නොඉවසිල්ලෙන් මග දෙපස දිවයන්නට විය.පෙරදා අප එකිනෙක ගැටී හමුවුණ තැනදී මා දෙපා නිරායාසයෙන්ම නැවතුණි.මම වට පිට බැලුවෙමි. ඒ ඇස් කොහේ හෝ සිට ම දෙස බලා ඉන්නාක් මෙන් මට දැනේ.එහෙත් නැත.. මෙයනම් විකාරයකි... මහා පිස්සුවකි. මටමෙන් උමතුවක් ඔහුට නැතුවා විය හැක.ම සිත රිදිනි. කෙහෙල්මල...මම මටම දොස් පවරා ගතිමි. ආයේනම් එයා ගැන හිතන්නේ නෑ..මම මහිතටම පොරොන්දු වීමි.හීතල හිමිදිරියේ පෙති දෙපෙති හැර විකසිත වූ මලක් මෙන් ප්‍රබෝධමත් වූ හිත පොඩිය සත්තකටම මහ හුගක් රිදුණි.ඒ බර වූ හිතත් අරගෙන බස් නැවතුමට යද්දී අනිත් පසින් තාරාගේ රුවද මතු විය.ඈ මා දැක වහා අත බැඳි ඔර්ලෝසුව දෙස බැලීය. මම වහා අහක බලා ගතිමි.

" අනේ කවී... මේ උඹම නේද... මම මේ දකින්නේ හීනයක් නෙවෙයි නේද...ඇය ඇස් පොඩි කරමින් මාව කොනිති ගසමින් ඈවත් කොනිත්තා ගනී.

" මෝඩී... පලයං යන්න.."

මම ඇය තල්ලු කර ඇයට රැවීමි.

" මරු ..මරු... මම අහන්නේ නෑ උඹෙන් මොන මල යකෙක් වැහිලද අද උඹ මේ වෙලාවටත් කලින් පංති යන්න ආවේ කියල...හේතුව මොක උනත් මට මා.......ර හැපී .. උඹට උම්...මා හොදේ..."

ඇය පැන මා වැළඳ ගති.මග දිග යන එන අය අප දෙස බලා මොනවාදෝඅ මුණුමුණු ගාමින් යයි.අපේ හැසිරීම ඔවුන්ට විකාරයක් වන්නට ඇත.අප සිනා සීමු...මහ හඩින් සිනාසීමු...ඉතින් ඔවුන් මේ දෙස් තබන්නේ වෙලාවක් අවේලාවක් නැතුව දොරෙගලන තාරුණ්‍යයේ දඟකාර කම් වලටය.

" යමං යමං තාරා... මෙතන තව හිටියොත් අපිට ගුටි කන්න වෙනව..."

මා ඇයවත් ඇදගෙන නැවතුමට එන බසයකට අත දැමීමි.බසය නවතන්නත් පෙර අප දුව ගොස් එහි එල්ලීමු.අම්මා හෝ අනුහස් අයියා අපේ මේ දඟකම් දැක්කානම් කවදාවත් තනිව බසයක යාමට ඉඩ නොදෙන බව සහතිකය.අනුහස් අයියා ශේප් කර ගත්තද අම්මාගෙන් ගැලවෙනවා බොරුය.අනුහස් අයියා මගේ පෙම්වතා බව සැබෑවකි. එහෙත් කවදාවත් ඔහු මට නීති නොදමයි.ප්පාසලට පංතියට මා ගෙන ගොස් ඇරලවන්න පුලුවන් කම තිබියදීත් අනුහස් අයියා මට තනිව නිදහසේ බසයේ යාමට ඉඩ දෙයි.අම්මා එයට උරණ වූවද ඔහු අම්මාවද ශේප් කර මට සහය දෙයි.

" පව් නැන්දා ... ඔයාගේ සුදු දූ ඔයාගෙයි මගෙයි තුරුලෙම ඉදලා හරියන්නේ නෑ...චුට්ටක් රට තොට ගැන දැන ගත්තට කමක් නෑ.. අනික කවුරු හිටියත් කෙල්ලන්ට එයාලටම කියලා වෙනමම ලෝකෙකුත් තියෙනවනේ... මෙයත් ඒ ලෝකේ පොඩ්ඩක් එහාට මෙහාට තල්ලු වෙලා බලපුදෙන්...."

" සුදු පුතා තමයි මෙයාව නරක් කරන්නේ... ගෑණු ළමයින්ට ඕනාවට වඩා නිදහස ඕනෙ නෑ දරුවෝ..."

"මේ ඉන්නේ ඒ හැම කෙල්ලම නෙවෙයිනේ නැන්දා... මගේ කෙල්ල මට විශ්වාසයිමටත් වැඩිය..."

අන්තිමේදී අම්මා අනුහස් අයියාට අවනත වේ. නෝක්කාඩු කතා කීවාට ඇයද මා ගැන ආඩම්බර වෙන බව මා දනිමි.මහ මෙරක් සේ ඔවුන් මා ගැන තිබූ විශ්වාසය ඉතින් මා රැකිය යුතු නොවේද...

" ඒයි... ඒ පාර කොහෙද අතරමං වුනේ..."

තාරාගේ හඩින් මම ආයෙත් වර්තමානයට කඩා වැටුණි.අද ඉතින් කඩිකුලප්පුවෙන් පංතියට දිව යා යුතු නොවේ.කොහුවලින් බැස නුගේගොඩ තෙක් අපි ඉබි ගමනින් ඇවිද ආවෙමු.පංතිය තෙක් පැමිණ අප උඩු මහලේ පිය ගැට පෙලට අඩිය තිබුවා පමණි. උඩ සිට කෑ ගසමින් දඟලමින් ආ කොළු රෑනක් අප දෙදෙනා වට කොට ගති.


" හායි ...හූයි...සුරංගනාවී.... ආ... තත් තත් තත් තාර පැටියත් ඉන්නේ..."


තාරාත් මමත් විස්මයෙන් විස්මයට පත් විය. මේ අර දඟ කොළු රැළ දෙනුවන්ගේ මිතුරන්ය.


" හානේ...ඔයාලා මොකද මෙහෙ.. ඔයාලා හැමෝම සක්‍යා නේද යනවා කිව්වේ...?


" එසේය...එසේය .. තාරා දේවිය... එහෙත් අද පටන් අපද මෙහි ළගින්නට ආවෙමු.."


" මොකක්... ඒ අහවල් එකකටද මෙහෙ ආවේ...?


තාරාට ටිකක් සද්දෙට එසේ ඇසුණි.


" කෝප ගන්න එපා සුන්දරී...අප ඔබ වෙනුවෙන් අපේ බුදු සර්වයි පංතියයි පමණක් නොව තෝරාගත් විෂය මාලාව පවා අතැර මෙහි පැමිණියෙමු..."


තාරාට මහ හඩින් සිනහා නැගුණි.නාටකයක් රඟ දක්වන විලසට ඔවුන් මේ කී විකාර වලට මමද බිම බලා ගෙන සිනාසුණෙමි.මොවුන්නම් පුදුම දඟයන් ටිකකි.උසස් පෙල පංති පටන් ගෙන මේ වන විට මාස තුනකුත් ඉක්ම ගොස්ය.මොවුන් තවමත් හිතූ හිතූ වේලාවට පංතිය පමණක් නොව විෂයන් පවා වෙනස් කරන හැටි.


" කවුද අනේ ඔයාලට ඔය මෝඩ අදහස දුන්නේ....?


තාරා මා සිතූ දෙයම ඔවුන්ගෙන් විමසයි.


"වෙන කවුද.... මේ වගේ පිස්සු පීකුදු වැඩක් කලොත් ඉතින් ...අන්න අරූ තමා..."


එකෙකු අත දිගු කර පඩිපෙළ ඉහල පෙන්වීය.පියගැට පෙළ ඉහල කෙලවර පඩියේ සිට ඒ ඇස් දිලිසෙනවා මා දුටිමි.මට සිනහව අමතක විය. දෙවියනේ සතියක් තිස්සේ ආයේ ආයේ දකින්නට හීන මැව්වේ මේ ඇස් නොවේද....ඉතින් දැන් ඒ ඇස් මා ඉදිරිපිටය. ඉහලට ගත් හුස්ම පහල හෙලන්නට තරම්වත් සිහියක් මට නොවීය.මගේ ඇස් දිහාම බලාගෙන පඩි පෙල පැන ආ දෙනුවන් අප ඉදිරිපිට නැවතුණි.


" ඇත්තද දෙනුවන් මේ කියන්නේ... ඔයාලා අද ඉදන් මෙහෙ ක්ලාස් එනවද...?

ඒ තාරාගේ හඩය.

" ඔව් ඇයි ... හොඳ නැද්ද...?


දෙනුවන් මගේ ඇස් බලා තාරාගෙන් විමසයි.


" හොදයි...හොදයි .. මොකෝ නරක.. ඒත් මේ ආට්ස් ක්ලාසස් නේ... ඔයාලා කොමර්ස් නේද කරනවා කිව්වේ...?


" හ්ම්.. ඔව්.. හැබැයි අද ඉදන් අපිත් ආට්ස්.."


" පිස්සුද හැටිද ආ...


තාරා කම්මුලේ අත තබාගෙන විස්මයෙන් විමසයි


" නෑ .. නෑ... මේ පිස්සුවේ හැටි අප්පා..."


ඔහු මෙන්ම ඒ හඬද හිතුවක්කාරය.මේ නිල් ඇස් අස්සේ එතරම් දඩබ්බරයෙක් ඇතැයි විශ්වාස කිරීමටද බැරි තරම්ය.


" හරි හරී...කමක් නෑ එහෙනම් ඔන්න ඔයාලව අපේ පංතියට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා හොදේ.. දැන් යමුකෝ එහෙනම් පංතිය ඇතුලට..."


තාරා ඉස්සර විය . ඇය පසු පසින් කොළු රෑනද අනුහස්ද ඊටත් පසු පසින් මාද පඩිපෙල නගින්නට වීමු.මද දුරක් ගොස් හිටි හැටියේ දෙනුවන් නතර විය.දැන් ඔහුත් මාත් අතර ඇත්තේ එක පඩියක පරතරයකි.ඔහු මේ බලා සිටින්නේ මා ඒ දුර ගෙවා එනතුරුය.හොන්ඩර ගානක බරක් පපුවට දැනෙන්නට විය.හිතට වාරු ගෙන මා පඩියට ගොඩ වූවා පමණි.


" කුමාරිහාමී... හරි ආඩම්බරයි නේද..."


මගේ මූණට හුස්ම වැදෙන තරමට ළංව කිසිම ළෙංගතු කමක් නැති හඬකින් දෙනුවන් ඇසීය.ඇහි පිල්ළමක් වැඩෙන සැණින් ම් නෙතට කඳුළු පිරිණි.


" ෆෝන් එක පරිස්සම් කරල ගෙනල්ල දුන්නට අඩුම ගානේ තෑන්ක් කරන්නවත් බැරිද...?"


ඒ හඩේ ළතෙන් බවක් ඇත්තේම නැත.එහෙත් ඔහු කියන්නේ සැබෑවකි.මා මේ වන තුරු ඔහු සමග එකම වදනක්වත් දොඩා නැත.ඔහුට ස්තූති කිරීමට මට යුතුකමක් ඇත.යාන්තමට තෙත් වූ නෙතු ඔසවා මා ඒ නෙත් බැලීමි.


" සොරී... ඔයාට ගොඩක් ස්තූතී..."


මහා වරදක් කර අසුවූ පුංචි එකියක සේ මා ඒ දෙනුවන් ළඟ බැගෑපත්වීමි.ලඟට... බොහෝ ළඟට ඒ ඇස් තිගැස්සෙනවා මා හොද හැටි දුටිමි.


" ම්.... ගෑණු ළමයට කතා කරන්නත් පුළුවන් එහෙනම්.."


ඒ කතා කලේ කලින් කතා කල කෙනාමදැයි හිතා ගන්නටවත් නොහැකි ආදරණීය හඩකින් එසේ පවසා ඔහු මට ඉස්සර වන්නට ඉඩ දුණි.මේ කතා කරන බෝනිකි ඇස් අමතක කරන්නෙමී මීට පැය භාගයකට කලින් හිතට දුන් පොරොන්දුව සිහිව මට සිනහ නැගුණි.නැත ඉතින්නම් ඔහු අමතක කිරීම සිහිනයක්ම වන්නේය.

~~~ මතුසම්බන්ධයි ~~~

Mar 9, 2012

දෙනුවන් අනුහස....ප්‍රථම සජ්ජායනාව







ඉතිං මා සිහි ලදිමි. ඒ පැය හෝ දින ගණනාවකට පසු විය යුතුය. මට කිසිවක් නිනව් නොවේ.මම දෙනෙත් හරින්නට වෙහෙසුනෙමි. එහෙත් කලු පාට අන්ධකාරය මිස කිසිවක්ම නැත.මා මේ සිටින්නේ කොහේද...... මනස වෙහෙසවා කොහේ හෝ තැනක් ආවර්ජනාකර ගන්නට මම වෙහෙසුනෙමි.කවුරුන්ම හෝ මා අසලම සිටිනා බව මට යම් යම් චලනයන්ගෙන් දැනේ. ඒත් ඒ කවුද.......?

" Good Morning සර් "

එක වරටම නුපුරුදු ගැහැණු හඩක්...

" Good Morning සිස්ටර් "

ඒ පිලිතුරු හඩ....කාගෙද... දෙවියනේ සුදු අයියා.......

" සර් අද ගොඩාක් සතුටින් නේද..."

" ඔව් සිස්ටර්... මම පුදුම සතුටින්..."

" ඔන්න ගොඩක් දවසකට පස්සෙ අද සර්ට සර්ගෙ නෝනව හිතේ හැටියට බලා ගන්න පුලුවන් "

" මම ඒ මොහොත එනකන් නොඉවසිල්ලෙන් මේ බලන් ඉන්නෙ "

" බය වෙන්න එපා සර්.. හැමදේම හොද විදියට සිද්ධවේවි... සර්ගෙ වයිෆ් හිටියටත් වැඩිය ලස්සනට ඉඳීවි.. මගේ සුබ පැතුම් සර්..."

"තෑන්ක්ස් සිස්ටර්... ඔයාලා කරපු උදව් අපි කවදාවත් අමතක කරන්නේ නෑ..."

අදහන්න මසිත නැවතුණි. යාන්තං හුස්ම වැටෙන්නට ගත්තා පමණි මට මේ ඇසෙන්නේ මොනවාද... මම හොස්පිට්ල් එකක... සුදු අයියා මගේ ළඟ... මම එයාගේ වයිෆ්...දෙවියනේ... මේ සේරම ඇත්තනම් මම එතකොට මැරුනේ නැද්ද... දෙනුවන්... එතකොට මගේ දෙනුවන්... එයා කෝ...? මහා හඩින් හඩා වැටෙන්නට.. ඇදෙන් බැස කොහේ හෝ දිව යන්නට.. ඔළුව කොහේ හෝ හප්පා ගෙන මේ එන්න දඟලන මතකය නැවත මරා දමන්නට මට සිතේ.

එහෙත් මම සංසුන් වීමි. දෙනුවන් ඔබ කොහේ හෝ නිදුකින් වසනවා ඇත.කළබල කර මේ සියල්ල උඩු යටිකුරු කල නොහැක.එසේනම් මා සංසුන් විය යුතුමය. මම නිසොල්මන්ව අතීතය වෙත පියමං කරමි. මා සිහි ලද බව මගේ ළඟම සිටින සුදු අයියා හෝ දැනගන්නට මත්තෙන් මා ඒ අතීතයේ සිත් සේ සැරි සරමි .

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


ඒ සෙනසුරාදාවකි. හැමදාමත් මෙන් අද ද මා පරක්කුය. තාරා.. මා මිතුරිය මේ වන විට ඇමතුම් දෙකක්ද SMS හයක්ද එවා අවසානය.

" මම උඹට තව විනාඩි 5 ක් දෙන්නම් .. ආවේ නත්තං මම යනව "
මා පරක්කු වන හැමදාමත් ඇය ඔහොම කියා මට තර්ජනය කරයි. එහෙත් කවදාවත් මා දා තනිව නොයයි.

" අදත් කොල්ලන්ගේ සූ පාරවල් මැද්දේ පංතියට යන්න උනොත් බලපන්කෝ මම උඹට කරන දේ "

ඇගේ බරබරය මැද්දේම මම දඩිබිඩියේ ඇද ගතිමි.අහස් නිල් ඩෙනිම් කලිසමත් සුදු පැහැ ටී ෂර්ටයත් ඇද රතු පැහැ රබර් සෙරප්පු යුවළ පය ලා ගතිමි.මේ ඉතින් මගේ ලේසිම ප්‍රියතම ඇදුමය.

" සුදු දූ.... මේ බත් කටක් කාලා යන්න දරුවෝ... කිරි එකත් තාම මෙතන ඇල් වෙනවා.."

" පරක්කුයි අම්මා.... තාරා ටවුන් එකට ඇවිත් දැන් ගොඩාක් වෙලා..."

" ඔයා හැමදාමත් ඒ කෙල්ලව රස්තියාදු කරනව සුදු දූ... කවදද ඔයා වෙලාවට වැඩක් කරන්න පුරුදු වෙන්නේ...?"

" කොහෙද ඉතින් බලන්නකෝ අම්මා... මට ඕනේ නැති වෙලාවටනම් මෙතන්ට වාහන පෝලිමක් අරන් එයි..ඒත් මට ඕන වෙලාවට කෝල් කරලවත් කට්ටිය ගෙන්න ගන්න බෑ.."

මා මේ නෝක්කාඩු කියන්නේ අනුහස් අයියා ගැනය.

" ඒක යස කතාවක්නෙ.. සුදු පුතා ඉන්නේ ඔයාගේ ඩ්‍රයිවර් වැඩේ කරන්නද ? අනික ඉතින් එයාට පුළුවන් කමක් තිබුනනම් කොයි ලෝකේ හිටියත් ඒවි නල්ල මලේ නෑනා පොඩ්ඩ කැන්දන් යන්න.."

එයනම් සැබෑවකි. ඔහුට බැරිම අවස්ථාවක මිස ඔහු මා කී දෙයක් ලේසියෙන් පැහැර නොහරී.නැත්තම් මේ වෙනකොට අනුහස් අයියා ඉගිල්ළී හෝ එනවා සිකුරුය. අම්මාට වැද ඇගේ මුහුණට හාදුවක් තවරා මා අඩියට දෙකට ගේට්ටුව ලඟට දුව විත් පාරට පැනගතිමි.අදනම් තාර පැටියා මාව ඉතුරු කරන එකක් නෑ කනේ පුළුන් ගහන් තමා ඉන්න වෙන්නේ.

උත්තරා... මගේ අතිජාත මිතුරිය... දුකේදීත් සැපේදීත් එක වගේම ළඟ රැදෙන දයාබරම හිතැත්තිය.... ඇය සිහිව මට සිනහ නැගේ.දැන් ඇති සුදු මූණ ජම්ඹු ගෙඩියක වගේ රතු කරගෙන...ඒ මුහුණ මව මවා මම තවත් අඩිය ඉක්මන් කලෙමි.

දඩාස්.... මා මෙන්ම කළබලෙන් වේගයෙන් ආ කෙනෙක් එක පාරටම මගේ දකුණු උරහිසේ වැදී මා ආ පස්සට අඩිදෙක තුනක් විසිවුණි. මගේ අත රැදි පොත් පෑන් මහ පාරේ සී සී කඩ විසිරුණි.ජර මර අස්සේ බර කරත්ත කිව්වලු. හැපුණ එකා මොකා උනත් අදනම් මගෙන් අහ ගන්නව හොද හින්දුස්ථාන් වලින්. මම මගේ හිතටම එහෙම හිතා ගෙන නෙත් ඔසවා බැළීමි.

අදහන්න... මගේ උගුර කට පවා වේළුණි. කියන්නට ආ බොහේ දේ මුව තුලම සිරවී අගුල් වැටුණි.කඩවසම්.... බොහෝ කඩවසම් උත්තුංග දෙහදාරී තරුණයෙක් මා නෙත් අභියස විය.ඒ ඇස් මගේ ගැහැණු හිත සසල කරවන තරම් අසාමන්‍ය ලස්සනකින් යුක්ත විය.කොල්ලෙකුට මෙච්චර ලස්සන ඇස්.......?

"සොරි.... මම ඔයාව දැක්කේ නෑ...."

ඔහුගේ හඩින් මා හිරි වැටී ගියේය.සිහි ලද ඇසිල්ලේ මම ඒ නෙත් වලින් මා නෙත් ඉවතට ගතිමි.විසිරී ගිය පොත් පෑන් ටික හනි හනික අහුලා ගත් මා ආපසු හැරී නොබලාම දිව ගියෙමි.තාරා නැවතුම ලඟ මා එනතුරු නොඉවසිල්ලේ බලා හිදී.හැල්මේ දුව ගිය මා ඈ ළඟ නැවතී හති අරින්නට වීමි.මට වචනයක්වත් කතා කරන්නට ඉඩ නොතියා නැවතුමට ආ බසයකට තාරා මාවත් ඇදගෙන ගොඩවිය. මට තවමත් හති වැටේ.

" මෝඩි... පරක්කු වුනයි කියල ඔහොමත් දුවන සිරිතක් තියෙනවද උදේ පාන්දර කුලප්පු වෙච්ච වැස්සියෙක් වගේ...."

ඇය කියවයි. මම සිනාසීමි... හති දම දමා සිනාසීමි.

" කවී.... පිස්සුද උඹට... මේ උදේ පාන්දර මහසෝනා දැක්කද උඹ..."

" ඔව් බං දැක්කා... හැබැයි මහසෝනා නෙවෙයි.... "

" එහෙනං මොකාද දැක්කේ..."

" ජෝන් ඒබ්‍රහම් වගේ හැන්ඩි පොරක්... එයා මගේ ඇගේ හැප්පුණා..."

" ජෝන් ඒබ්‍රහම්.... ආච්චිගේ රෙද්ද.."

තාරා මට රවයි.

" නෑ සීයගේ සරම..."

මමද ඇයට රවා කීමි. තාරාට සිනා නැගුණි. මටද සිනා ආවේය.

" කියපං කවී මොකෝ උනේ..."

" පස්සේ කියන්නම් බං... පේන්නේ නැද්ද මම තාම හති අරිනවා..."

මම දෙනෙත් පියා ඒ රුව නැවත මවා ගතිමි.සැබැවින්ම ඔහු ඉන්දීය සිනමාවට ඔබින තරම් ජේත්තුකාරයෙකි.ඒ අසාමාන්‍ය දිගු නිල් ඇස් මිහිපිට කොහේවත් මින් පෙර මා ජීවමානව දැක නැත.ඒ ඇස් කෙල්ලෙකුට පිහිටියානම් මොනතරම් ලස්සන වේවිද... මං ලඟ ඉන්න බාබි ඩෝල්ගේ ඇස් දෙක වගේමයි... ඒ බෝනිකි ඇස් දෙක ගැන මහා ලෝබ කමක් මට දැනුණි.මට මං ගැනම සිනහ නැගේ. මේ කොහේවත් යන ඇස් දෙකක් ගැන මමත් හිතන දෙවල්.

පංතිය අතරමැද ලැබෙන කෙටි විවේකයේදී මම තාරාට සියල්ල පැවසීමි. සිදුවූ දේ අසා ඇය මහා හඩින් හිනැහිනි.

" හරි කියපං බලන්න දැන් ඌ උඹේ කොහෙද හැප්පුනේ..."

මම ඇයට මගේ දකුණු උරහිස පෑවෙමි.

" හොද වෙලාවට..... තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් මොන දෙයියන්ට කියන්නද.. පව් ... උඹ එහෙනං..."

ඇය ඇසක් වසා ඉඟිමරා දිව යන්නට විය. ඇගේ නොහොබිනා කතාව මට වැටහුනේ ඇය සිනා සිසී දිව යද්දීය.

"පිස්සී...උඹනම් දැන් ගානට වැඩී හොදේ..."

මමද සිනා සිසී ඇය පසුපස දිවගියෙමි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

" අනේ තාරා මගේ ෆෝන් එක.... "

වෙනදා වගේම ක්ලාස් ඇරෙන කිට්ටුව අනුහස් අයියාට කෝල් කරන්නට මතක් වෙන තුරුම මට මගේ දුරකතනය ගැන සිහියක් නොවීය.මට දෙලෝ රත් විය.එය උදේ පාරේ වැටෙන්නට ඇත. පොත් දෙක තුන අහුලාගෙන දුව ආවා මිස මට එය මතකයට ආවේම නැත.

" අනේ තාරා මං ඉවරයි... සුදු අයිය ෆෝන් එක අරන් දීල මාසයක්වත් නෑ.. අනේ අපරාදේ.... මං ආසයි ඒ ෆෝන් එකට..."

" කොහෙද ඉතින් උඹ මහසෝන දැකල වගේ දුවගෙන ආවේ මෙලෝ සිහියකින් නෙවෙයිනෙ..බලපං අත ගාලා උඹේ අවයව සේරම තිබ්බ තැන් වල තියෙනවද කියල.. නැත්තං ඒවත් මහ පාරෙද දන්නෙ නෑ..."

" අනේ විහිළු නෙවෙයි බං .. මං දැන් සුදු අයියට මොනවද කියන්නේ..."

" අපි ගෙදර යන ගමන් ඔය කන්ටේනර් දෙක හැප්පුනයි කියන තැන පොඩ්ඩක් විපරම් කරලා බලමු හෝඩුවාවක් දැනගන්න පුලුවන්ද කියල "

ඇයට හැමදේම විහිළුය.

" වැඩක් වෙයිද තාරා...? "

" මෙතන ඉදන් පේන බලන්නේ නැතුව අපි ගිහිල්ලම බලමු බං.. අනික කොහොමත් උඹ එතන පහු කරන් යන එකනෙ...ම්මත් එන්නම් උඹ එක්ක අද..."

" අනේ ෂෝක් ..... තාරා.... ඔයා...

මම පැන ඇය බදා ගතිමි.

" මේ ..මේ... ඔය බටර් වැඩක් නෑ... මට නාන්න ඕනෙ... දවල් කෑම ඕනෙ... හැන්දෑවට මාව ගෙදර ගිහින් ඇරලන්නත් ඕනෙ හොදේ..."

" හරි හරී ... සුදු අයිය ආවම අපි රෑට ගිහින් බස්සන්නම් "

" අම්මේ.... මගෙ දෙයියො... ඔය තියෙන්නෙ... අන්න එහෙම වරෙන්කෝ..... උම්....මා..."

ඇය දෙතොල් උල් කර හාදුවක් සුළගේ පා කර එවයි.


පංතිය නිම වූ සැනින් අප වෙනදා නැති කඩි කුලප්පුවකින් පංතියෙන් එළියට පැනගතිමු. එසේ නැතිනම් මේ වේලාවට සමුද්‍රදේවී පාරෙන් එලියට එනවා බොරුය.නුගේගොඩ හංදිය තෙක් අපි පිම්මේ ඇවිද ආවෙමු.තාරාත් මමත් කොහුවල තෙක් ඇවිද ගොස් පිළියන්දල බසය ගත යුතුය.වෙනදානම් මේ ටික පයින් යාම අපිට වගක් නැත .P n S එකෙන් මොනවා හෝ බී පාර දිගේ තියෙන කඩ සාප්පු වල තොරොම්බල් බල බල යන්නට අඩුම තරමින් පැය බාගයක්වත් ගතවේ.

" අනේ තාරා... මටනම් බෑ මේ ටික පයින් දුවන්න... අපි ට්‍රයිශෝ එකක යමුකෝ..."

" උඹේ මොලේ කචල්ද කවී...බලපං ට්‍රැෆික් එක..අපිට දහ පාරක් කොහුවලට පයින් යන්න පුළුවන්.."

එයනම් ඇත්තකි.මේ වේලාවට ත්‍රිරෝද රියදුරන්වත් කොහුවලට යාමට පැමිනෙන්නේ නැත.මම මූණ බෙරි කරගෙන තාරාගේ අතක එල්ලුණෙමි.

කොහුවල තෙක් හති දම දමා හැල්මේ දුව ආ අප යන්නට ඔන්න මෙන්න කියා තිබි බසයකට නැගතිමු.

" හ්ම්.. බහිනකම්ම වාඩි වෙන්නනම් හම්බෙනවා බොරු... කෝ දියං පොත් ටික..."

තාරා මගේ පොත් කීපයද උදුරගෙන ඇගේ පොත් සමගම අසල වාඩි වී උන් ඇන්ටි කෙනෙකුට දුන්නේය. බසයෙන් බහින තුරුම අපට වැඩි කතාවකට ඉඩ හසර නොලැබිණි.ඒ තදබදයෙන් මිදෙන්නට අපි දෙදෙනාම පහසුවෙන් අල්ලා සිටින්නට ඇති තැන් සොය සොය එහාටම මෙහාට වූ නිසය.
හංදියෙන් බසයෙන් බැසගත් තාරාත් මමත් ළහි ළහියේ ඉදිරියට ගියෙමු. උදෑසන ඒ සිදුවීම වූ තැන කිට්ටු වෙද්දී නුහුරු තිගැස්මක් මසිතට දැණුනි. තාරාට වෙනසක් නොපෙන්නා මා හාත්පස බැළීමි.

" නෑ නේද කවි...."

" හ්ම්.... නෑනේ තාරා..."

" මෙචචර සෙනග ගැවසෙන තැනක ඕක මෙච්චර වෙලා තියෙන්න විදියක් නෑ බං... කවුරු හරි ඇහිදන් යන්න ඇති..."

මටද එසේ සිතී සිතට දුක දැනේ.මම ඒ දුරකතනයට බෙහෙවින් ආසා කලෙමි.ඒ අනුහස් අයියාගෙන් තිළිණ ලද නිසාම නොව එය ඒ තරමටම හුරුබුහුටි වූ නිසාය.මෙතන කරකැවී තවත් වැඩක් නැතැයි මට සිතේ.

" අපි යමු අනේ.."

එසේ කියා මා තාරාගේ අතින් අල්ලා ඉදිරියට අඩියක් තැබුවා පමණි.ඒ බෝනිකි නිල් ඇස් අපේ පෙර මඟ බලා සිටිනවා ම දුටිමි. සත්තයි.... අසාමාන‍ය සීතලකින් මහිත වෙවුළුම් කන්නට විය.තාරාගේ අත වැරෙන් මිරිකාගෙන මා එහෙමම නැවතුණෙමි.මගේ වෙනස දැක ඇය වහා ඉදිරිපස බැලීය.උදෑසන ඔහු ගැන මා කල වර්ණාව නිසා ඈ සැනෙන් ඔහු හදුනා ගන්නට ඇත.

" අඩ්ඩඩ්ඩා.... පිස්සු හැදෙන සඳ.... බොලිවුඩ් වලින් කඩන් වැටිච්ච තරුවක් වගේනෙ බං මූ... මට දැන්නේ තේරෙන්නෙ උඹ උදේ ඉදන් කරකවල අත ඇරිය වගේ හිටියේ මේ ඇස් අස්සේ අතරමං වෙලා තමා එහෙනම්....."

තාරා පිස්සුවෙන් වාගේ දොඩයයි.

"ඒයි... කවී... මොකෝ මේ කරන්ට් වැදිල වගේ.... යමං බං අපි ගිහින් කතා කරමු..."

එහෙත් අපිට හිතන්නටවත් ඉඩක් නොතියා ඒ ඇස් මගේ ඇස් සමාන්තරව විත් නැවතුණි.මා වෙව්ලා ගිය තරම්.

" මේ ෆෝන් එක ඔයාගේ නේද...? "

මගේ ජංගම දුරකතනය පෙන්වා ඔහු මගෙන් ඇසීය.විශ්වාස කරන්න... ඒ හඩ ඈත සංසාරයේ කොහේදී හෝ මා අසා ඇති හඩක් මෙන් හෘදයාංගමව මා සවන් විනිවිද ගියේය. ඔව් කියා උත්තර දෙන්නට තියා හිස වනා එය පිලිගන්නට තරම්වත් සිහියක් මට නොවීය.මා වෙනුවට තාරා ඉදිරිපත් විය.

" අනේ.... තෑන්ක්ස්...මේ ෆෝන් එක නැතිවෙලා ඇති කියල මෙයා ගොඩක් දුකින් හිටියෙ....අපි මේ යන ගමන් මෙතන නැවතුනෙත් පොඩ්ඩක් හොයල බලන්න.."

තාරා එසේ කියා අත දිගු කර ෆෝන් එක ඔහු අතින් ගත්තේය.

" අඩෝ.....ව්........... දෙනුවනයා.... "

ඇසිල්ලකින්... මහා හඩින් කෑ ගසමින් ආ කොළු රැළක් අපිව වට කර ගති.

" උඹ අපිවත් හලලා ආවේ මේකටයි එහෙනම් ආ....."

" අම්මටහුඩු... මෙයාද එතකොට අද උදේ උඹේ ඇගේ හැපුණයි කියපු සුරංගනාවී..."

" ශා.... මරු මරු... සුරංගනාවිට ඇසිස්ටන් කෙනෙකුත් ඉන්නවා වෙලාවට ..."

ඔවුන් නා නා ප්‍රකාර දේ කෑ ගසමින් කියවයි.මම විලියෙන් රතු වීමි. එහෙත් තාරාටනම් වගක් නැත.

" ආ.... මෙයා ඔයාලට කිව්වේ සුරංගනාවියෙක් ඇගේ හැපුණයි කියලද.... හැබැයි කවී නම් මට කිව්වේ ජෝන් අයියද කවිද එකෙක් ඇගේ හැපුණා කියලා..."

තාරාද ඔවුන්ට දෙවෙනි නොවන බව මා අද්දැකීමෙන්ම දනී.ඉතින් එය එසේම විය. ඇයද හරි හරියට කොලු රැළ හා දොඩවයි.මා එකම වදනක්වත් නොදෙඩුව මුත් මේ වන විට ඔවුන් තාරා හා බොහෝ කුලුපගු වී හමාරය.තාරා ඔවුන් සමග බොහේ අදහස් හුවමාරු කර ගන්නවා මට ඇසේ.මා හිමිහිට නෙත් එසවීමි. මා සිතූ සේම ඒ ඇස් මදෙස බලා සිටී.දෙනුවන්..... එතකොට ඔයාගෙ නම දෙනුවන්......ඒ නුවන් වලට ගැලපෙන අපූරුම නම.හදවතේ ගැඹුරුම තැනක මා ඒ නම සීරුවට සටහන් කරගතිමි.

" ෆෝන් එක බලන්න... ඔයාගේ සුදු අයියගෙන් Missed Call 68ක් තියෙනව... SMS සුත් 30ක් විතර ඇති.එයාට කතා කරන්න ඉක්මනට... නැත්තන් එයා බය වෙයි..."

දෙනුවන් හැමටම ඇහෙන්න කෑ ගසා මට කීය.මට මහා ලැජ්ජාවක් දැණුනි.දෙවියනේ මේ දඩබ්බරයන් SMS කියවූවාවද්ද.

" ආ... ආ.... කවුද සුදු අයියා කියන්නේ..... ආ....

දඟ කොළුවෙකු මගේ ළගටම විත් විමසයි.

" එයාද... එයා තමා අපේ කවී ගෙ පණ....."

තාරා වගක් නැතුව කියා දැමීය.මම කොලු රැළ ඉස්සරහ මහා අපහසු තාවයක්ට පත්වී සිටියෙමි.

" හා...නේ.... ඔයා අන්සතු මලක්ද මෙයා..... පව්...... අපේ දෙනුවනයා..

ඔවුන් මොන මොනවාදෝ කියනවා මට හීනෙන් මෙන් ඇසේ.මම ඒ ඇස් දෙස හොරැහින් බැළීමි.හිතුවකාර නිල් ඇස් යාන්තමට රතු වී ඒ සුදු මූණ තිගැස්සෙනවා මා දුටිමි.අහේතුක දුකක් මසිතට දැණුනි.

" අපි යමු මචං.... "

අහලකවත් පේන්න නොතිබි මහා කළබලයක් මවාගෙන දෙනුවන් යන්නට ඉස්සර විය.

" අපි එහෙනං යනව මචීල ... ආපහු සෙට් වෙමුකෝ දවසක හොදේ... අපි ඉන්නෙත් මේ ඒරියල් එකමනෙ...දෙන්නටම සීයූ කිව්වා එහෙනම් ඔන්න..."

එසේ පැවසූ කොළු රැළද දෙනුවන්ට එකතු විය.තාරා සිනා සී ඔවුන්ට අත වැනීය.

" පිස්සු පූසො ටිකක්නෙ බං... මොනවා උනත් මෑන් හොද එකා නේද...මග රැකල ඉදලම ෆෝන් එක දුන්නනේ..."

" අනේ ඔව් තාරා මම ෆෝන් එකෙ ආසවත් අත ඇරගෙන හිටියෙ.."

" ඔක්කොම හොදයි අරුන් අනුහස් අයියව ඇදිල ආවම කියපු කතාව තමා මට දිරවන්නෙ නැත්තෙ..."

තාරා මගේ වැලමිට කොනිත්තමින් කට කොනකින් සිනා සිසී එසේ කීය. ඔවුන්ගේ දාංගලේත් විකාර කතාත් සිහිව මා මුවටද සිනා නැගේ.

" දැන්නම් මෙතන කැකිරි පලනව.. උඹ ඌට කට ඇරල Thanks කිව්වෙවත් නෑ මී හරකි..."

ඒ මදිවාට තාරා මට බැන වදී.ඇත්තටම මම එසේ කල යුතුව තිබුණා නොවේද...ඒත් .. ඒ ඇස් ලඟ මා ගොළු වූ තරම්....මේ ජීවිතයේ නැවත ඔහු කෙදිනකවත් මුණ නොගැසීමටද පුළුවන.මට මහා පසුතැවිල්ලක් දැණුනි.

              ~~ මතුසම්බන්ධයි ~~

Mar 7, 2012

කතාවට පෙරවදනක්.................





කවිති සෙනාදා -

කවුරු කොහොම කිව්වත් ඒ ඇස් දෙකේ මං වෙනුවෙන් උතුරන ආදරේ මට දැනෙනව තාරා... මට මොනවා උනත් මං ආසයි ඒ ඇස් දෙක ලඟ අතරමං වෙන්න


දහම් අනුහස් -

මට කියන්න... මාව පැත්තකට විසි කරල ඔය හිතේ මං හිටපු තැනට වෙන කෙනෙක්ව ගත්තෙ කොහොමද සුදු නංගී... එයාට ඇතුල් වෙන්න මගෙ ආදරේ කොහෙද හිස් තැන් තිබුනෙ මගෙ නංගී...



පැහැසර දෙනුවන් -

මගෙ සුරංගනාවී.... ආදරේ නේද මට... ඒත්.. ඒත්.. ඒ ආදරේ නොවිදම මට යන්න වෙනව. ඒත් කියන්න... උපදින එක ආත්මෙක හරි මගේ වෙන්න පෙරුම් පුරනවා නේද...


සමාධි උත්තරා -

හංදියක් හංදියක් ගානෙ සිගරට් බිබී කෙල්ලො පස්සෙ යන රස්තියදු කාරයෙක් උඹේ හීන වල හිටියද කවී... ඒ වගේ එකෙක් වෙනුවෙන් උඹ ඔය හූල්ලන එකත් අනුහස්ට කරන අපරාදයක් කියන එක මතක තියගනිං...



මේ මම ලගදීම ඔබට කියන ඔවුන්ගේ කතාවයි...

අහන්න...

මම ඔබට මෙසේද කියමි.

ඔවුන් වෙනුවෙන් හෙලන්නට ඔය ඇසේ

කඳුළක් සූදානම් කරගන්න.

Mar 5, 2012

සම්මතෙන් එහා...........



සෂායා පුංචි මේසයට වාඩි වී මොනවාදෝ කුරුටු ගායි.මදක් හිස ඔසවා කල්පනාවට වැටෙන ඇගේ නෙත් පෑන රැඳි ඇගේ දකුණු අත ළඟ මොහොතකට නතර වෙයි. කහ පාටට හුරු පුංචි ගලක් ඇල්ලූ රත්‍රන් මුදුවක් ඇගේ වෙඳගිල්ලේ බැබලෙයි. මොහොතකට පෑන අත්හැර ඇය දකුනත දිගහැර මුදුවේ හැඩ බලයි. චාම් ලස්සනක් ඒ මුදුවේ වේ. ඇගේ සුදු දිගැටි ඇඟිලි වලට එය මනාව ගැලපේ. මේ මුදුව තුල වසර හතරකට එහා ගිය කතන්දරයක් තිබෙන බව ඇය දනී. දුක සතුට සහ තවත් මොන මොනවාදෝ මිශ්‍ර වුණ හැඟීම් කන්දරාවක් ගෙවා ආ ඒ වසර ගනනාව තුල ඈ අත්වින්දා නොවේද...

-----------------------------------------------------------------------------------

විරහ දුකින් දැවී පිළිස්සී ඒ පුළුගු කැට යාන්තන් නිවෙන්නට අර අඳින සමයක සෂායාට ඔහු හමුවෙයි. සැබැවින්ම එය අහම්බයකි. රිදුණු තැවුණු හිතට ඒ මිතුරු සමාගම සිහිල් පොඳ වැස්සක් වූවායැයි නොකීවොත් එය අඩුවකි. මුලදී ඇගේ ජීවිතේ බොහෝ තැන් ඔහුගෙන් වසං කරන්නට සෂායට සිඳුවෙයි.ඒ ඇගෙම යහපත ගැන සිතා ඈ ගත් තීරණයකි. එක අතකට ඒ පුංචි කොළු ගැටයාට ඒ මහාප්‍රාණ කියා වැඩකුත් නැත. ඇය කාගෙන්වත් අනුකම්පාවක් බලාපොරොත්තු වූයේද නැත.


නමින් ඔහු සමීර.. ඇයට වඩා වසර හතකට පමණ ලා බාල පුංචි කොලුවෙක්.එහෙත් ඒ වසර විසි එකක පුංචි කොලු ගැටයා ළඟ පෙනුමෙන් පමනක් නොව හැසිරීමෙන් පවා ඈ ඔහුටත් වඩා පුංචි එකියක සේය.ඒ සෂායා උපතින්ම අරන් ආ වාසනාවකි.ඇගේ වයසට වඩා බෙහෙවින්ම ලා බාල ස්වරූපයක් ඇයට නිතැතින්ම හිමිය.ඒ නිසාමදෝ පුංචි සංදියේ පටන්ම ඇගේ සිතුම් පැතුම් පවා වයසට වඩා සොඳුරුය , සුරතල්ය.

" ඔයාට 28 ක් කියල පිළිගන්නම බෑ.... "

අන් හැමෝම කියනා පරිදිම පළමු හමුවේදිම ඈ දැක ඔහු මවිත විය.

" ම්.... ඔව්... ඒත් මම ඔයාට ලොකුම ලොකු අක්කෙක් හොඳද..."

එහෙත් ඔහු කවදාවත් ඈට අක්ක කියා ආමන්ත්‍රණය නොකලේය.එහෙත් ඇයට ඔහු ඇගේම මල්ලි මෙන් විය.

සමීර පවුලේ එකම දරුවා විය.ඔවුන්ගේ මිතු දම ඇරඹෙන්නට මාස කීපයකට උඩදී හදිසි අනතුරකින් පියා මිය ගොස්ය.අම්ම සුව නොවන පිලිකා රෝගයකින් පෙලෙයි.එසේ බලද්දි ඔහු සෂයාට වඩා අසරණය.ඈ ඇගේ දුක පසෙක තබා ඔහුගේ දුකට හවුල් වී ඒ සිත සනසන්නට වෙහෙසවිය. මාස තුනකට වරක් අම්මා සමග පිළිකා රෝහලට ඔහු යන ගමනට ඇය එක් වූයේද ඒ නිසාමය.

කාලයාගේ ඇවෑමෙන් ඇයට කෙසේ වෙතත් ඔහුට ඇය නැතුවම බැරි විය. ඒ පුංචි හිතුවක්කාරයා සියුම් ලෙස ඇගේ ජීවිතය පාලනය කරන්නට යන බව හසුරවන්නට යන බව ඇයට දැනෙන්නට විය. මිතුරු කමට , සහෝදරත්වයට එහා ගිය බැල්මක් ඒ ඇස් වල පළමුව දුටු දා සෂායා තිගැස්සුණි. ඇයටද හොරා ඔහු ඇය ගැන විපරම් කරතිබුණි. ඔහු හැමදේම දැනගන්නට ඇත.

" ඇයි මට බොරු කලේ.... "

" මං බොරු කලේ නෑ... මගේ ජීවිතේ සමහර දෙවල් ඔයාට නොකියා හිටියා විතරයි...ඒක අපේ යාළු කමට බාධාවක් නෙවෙයිනෙ නේද....? "

" මට දුකයි..." සැබෑවටම ඒ ඇස් මුල කඳුලක් දිලිසෙයි.

" දුක් වෙන්න එපා ... මේ මගේ උරුමේ... ඒකට මම දුක් විඳලා ඉවරයි දැන්..."

" මං ආදරෙයි... "


" දන්නවා මං ඒක ඔයා මගේ මල්ලිනේ...."

" මං කියන්නෙ එහෙම ආදරයක් නෙවෙයි...ප්ලීස්... තේරුම් ගන්න..."

" පිස්සුද ඔයාට... මං ගැන හැමදෙම දැනගෙනත්... අනික මගෙන් එහෙම දෙයක් අහන්නවත් පුලුවන්ද ඔයාට...? "

" මම ආදරෙයි... මම දන්නේ එච්චරයි..."

" මට අවුරුදු 28ක් "

" දන්නවා "

" මං කසාද බැඳල මිනිහ දාල ගිය ගෑණියෙක් "

" දන්නවා "

" දන්නවනම් ඇයි මේ විකාර ? "

" මට ඒවා වැඩක් නෑ... මම ඒවා ගනන් ගන්නෙත් නෑ..මං ආදරෙයි.. මගෙන් ඈත් වෙන්න එපා... මං බඳිනව ඔයාව..."

සෂායාට හුස්ම හිර විය. මේ හිතුවක්කාරයා මෙල්ල කරන හැටි ඇයට නොතේරේ.හිරිමල් වියේදීම නොගැලපෙන විවාහයකින් හෙම්බත්ව තනිවූවා මිස ඇයට ජීවිත අත්දැකීම් තිබුණේම නැත.ළිං මැඩියෙකු සේ සිරව ගත කල ජීවිතෙන් මිදුනේ මේ ඊයේ පෙරේදාය. ඈ ලෝකය සොයද්දී ලෝකය දකිද්දී මුණ ගැහුණු ප්‍රථම ළෙංගතු සිතැතැත්තා ඔහුය. ඇගේ හැසිරීම තවමත් හිරිමල් කෙල්ලකගේ මෙනි. ඈ අභියස ඒ අවුරුදු 21 ක කොළු ගැටයාද යෝධයෙකි.ඇගේ හුරතලයට ඒ ඇවතුම් පැවතුම් වලට ඔහු පිස්සු නොවැටුණානම් එයද පුදුමයකි.ජීවිතයට හමුවූ පලමු පිරිමි යාළුවා ඇයට මෙවැනි යෝජනාවක් කරතැයි ඇය නිකමටවත් නොහිතන්නට ඇත.එහෙත් එය එසේ සිදුවිය. නමුත් මෙය සිදුවිය නොහැක්කකි.ඒ අසම්මතයට ඉඩ හසර සාදා අනුබල දෙන්නට ඇයට උවමනාවක් නැත.

" ඔයා කතා කරන්නේ බුද්ධියෙන් නෙවේ මගෙ මල්ලි... හැඟීම් වලට වහල් වෙන්න එපා... කවදා හරි ඔයාට තේරෙයි මේක වෙන්න බැරි දෙයක් කියල...එදාට ඔයා පසුතැවිලි වේවි... ලජ්ජ වේවි මේ ගැන.

" මට බණ කියන්න එපා... මට ඔයා විතරයි ඕනෙ... අනිත් හැමදේම විසඳගන්න මට පුළුවන්..."

" පිස්සු ළමයෙක්.."

" මං ළමයෙක් නෙවෙයි... මට ආයෙ එහෙම කියන්න එපා..."

කවදාවත් නැති තරමට ඔහුට තරහ ගිය අපූරුව. ඉතින් මේ වෙන්වන්නට කාලය බව ගැහැණු බුද්ධිය විසින් ඇයට අනතුරු අඟවන ලදී.ඇය ඔහුගෙන් වෙන් වන්නට දිවා රෑ පිඹුරු පත් සකසද්දී , ඔහු අපූරුවට සෂායගේ සුන්දර දුර්වල ගැහැණු ආත්මය වටා පතාක යෝධයකු සේ නැගී සිටින්නට අහිංසක උත්සහයක නියැලෙයි.විටෙක මුඳු මොළොක් ලෙස හඬා දොඩා ඇගේ ප්‍රේමය අයදින ඔහු විටෙක රළු පරළු වෙසක් ගෙන රාක්ෂයෙකු සේ හැසිරෙයි.

" ඇයි මාව මඟ අරින්නෙ... මාව මරා ගන්නද ඕනෙ... වෙනදට මං නැතුව බස් එකකට ගොඩ වෙන්න බැරි ගෑණි දැන් මොකද මේ මට හොරෙන් පල්ලම් බහින්නෙ...?"

" සමීර.... මල්ලී... තේරුම් ගන්න.. මට දැන් ඉස්සර වගේ නිදහසේ ඔයා ළඟ හැසිරෙන්න බෑ..."

" ඒ මොකද ඇයි මට මොනවා වෙලාද...? "

" ඒ ඔයා මේ කෙහෙල්මල් ආදරයක් පටලවගෙන අපේ බැඳීම අපිරිසිදු කලා..."

" බම්බුව තමා..."

අත මිට මොලවා බස් නැවතුමේ තහඩුවට වැරෙන් පහරක් එල්ල කර ඔහු තරහ පිරිමසා ගති.ඒ අතසීරී ලේ පනිනවා සෂායා දුටුවේය.ඇගේ ඇස් වලට කඳුළක් එකතු විය. එහෙත් ඇය අනුකම්පා නොකලේය. එසේ විනිනම් ඔහු එයද වැරදියට ගන්නවා නොඅනුමානය.

" මේ මහ පාරේ විකාරයක් වෙන්න හදන්න එපා... මම ඉන්නේ ඔයා වගේ සෙල්ලම් කරන වයසක නෙවෙයි....ඔයා මට පුංචි එකෙක් ... තේරුම්ගන්න... වැරදි හැඟීම් ඇස් වල තියාගෙන මං දිහා බලන්නෙපා...එහෙම වුනොත් මං ඔයාගෙන් ගොඩාක් දුරට යනවා සත්තයි... පිස්සෙක් නොවී වැඩ කරන්න... අර අසරණ අම්මට ඉන්නේ ඔයා විතරයි... ඒක අමතක කරන්න එපා....

සෂායා වෙර යොදා ඇයට පුළුවන් උපරිම වේගයෙන් ඔහුට කතා කලේය.ඔහු හිනැහිනි... මහ හඩින් හිනැහිනි. ඒ උපහාසයටද අපහාසයටද දුකටද තරහටද කියන්නට ඈ තවමත් නොදනී.

" චන්ඩි පාට් දන්න හැදුවට ඔයාට චන්ඩියෙක් වෙන්න බෑ... ඇත්ත හංගගෙන මං ඉස්සරහ රඟපාන්න එපා...ඔයා මට ආදරෙයි...ඒත් ඔයා ඒ හැඟීමට බයයි...ඒක මට පෙන්නන්න බයයි...ඔයා මේ ලෝකෙට බයයි... කතා හැදෙනවට බයයි..."

" නෑ... නෑ... නෑ... ඔයා මට මල්ලී කෙනෙක් විතරයි. දෙයියන්ගේ නාමෙට මාව පටලවන්න එපා.... මට ඔයා මෙයා නොකියා අක්කා කියන්න...."

" ආමන්ත්‍රණයකට බෑ හිතක හැඟීම් වෙනස් කරන්න..."

" පුළුවන් බැරි නෑ... ඔයා මට එක සැරයක් අක්කා කියලා
බලන්න..."

" හරි මං කියන්නම්...මුළු ජීවිත කාලෙම කියන්නම්... ඊට කලිං මං දෙයක් දෙන්න බාර ගන්නවද...?"

" මොකක්ද..."

" ප්‍රශ්ණ අහන්නෙපා බාර ගන්නවද කියන්න..."

" හරි බාරගන්නවා... හැබැයි පොරොන්දුවක් පිට... මෙතනින් පස්සේ මේ පිස්සු වැඩ නවත්තනවා කියලා පොරොන්දු වෙන්න ඕනෙ..."

" මගෙන් පොරොන්දු ගන්න එපා... ඒත් ඔයාට ඕන දේ වෙවි..."

ඔහු කලිසම් සාක්කුවේ රුවා සිටි රතු පැහැ ජුවලරි බොක්ස් එකක් එළියට ගෙන එයින් පුංචි රන් මුදුවක් එලියට ගත්තේය.

" මං දන්නව හරි ඉක්මනට ඔයාට මාව අමතක වෙයි. ඔයාට මාව කරදරයක්නෙ.. කමක් නෑ මාව අමතක කලාට පුළුවන්නම් හැමදාකටම මේක ඔය අතේ දාගෙන ඉන්න.. බෑ කියන්න එපා... එපා කියනන් එපා... මේක විතරයි මන් මගේ ආදරේ වෙනුවෙන් ඉල්ලන එකම දේ..."

ඒ හිතුවක්කාරයාගේ ඇසින් ගිලිහුණ උණු කඳුලක් මුදුව මත වැටිණි.සෂායගේ ළාමක හිත කීරි ගැසුණි. එපා කියා ඔහු කෝඅප ගැන්විය යුතු නැති බව ඇයට වැටහුණි. ඇය ඔහු ඉදිරිපිටදීම ඒ මුදුව ගෙන ඇගේ දකුණතේ වෙඳගිල්ළට පළදා ගති.කඳුලු අස්සෙන් ඒ ඇස් හිනැහෙනවා සෂායා දුටුවේය.

" මං ආදරෙයි අක්කා... ඔයාට මහ ගොඩක්.... "

එසේ කියා ඔහු දෙනොදාහක් යන මහ මඟදීම ඇගේ මුහුණට පාත්වී ඒ තොල් පෙති මත යාන්තමට හාදුවක් තවරා සැනෙන් පාර පැන නොපෙනී ගියේය.සෂායා සිහි එළවා ගත්තේ ඇගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් එන හඩටය.

" me dan mama bus ekakata yatawela marunath mata sapayi.mata me labuna de athi mage malu jeevitha kaletama sanasenna. sathutin inna. budusaranai. "

ඒ ඔහුගෙනි. මගමඟ කියා අමතකව සෂායාට ඉකිගැසුණි.

----------------------------------------------------------------------------------
සෂායා තවමත් මුදුව දෙස බලා හිදී.ඒ අතීතයේ මතකය මොහොතකට ඇගේ සිතුවිලි සී සී කඩ කල තරමක්. එදායින් පසු සෂායාත් සමීරත් මුණ ගැසුනේම නැත. අද ඈ යහපත් ස්වාමියෙක් ලැබ සතුටින් දිවි ගෙවයි.ඔහුද දැන් හැඩි දැඩි තරුනයෙකු විය යුතුය.අතීතයේ සිදු වූ දේ ගැන අද ඔහු පසුතැවිලි වනවාද විය හැක. එසේත් නැතිනම් ඔහු ඔහුගේ පලමු පෙම් සිතුවිල්ල ගැන තවමත් කඳුළු සලනවා ද විය හැක.ඒ කෙසේ වෙතත් ඔහුට නිදුකක්ම වේවායි ඔහු සිහිවන හැම විටම සෂායා දෙවියන් යදී.


ප/ ලි කෙටිම කෙටි කතා කියන ලේබලයේ පල කලත් මේක සත්‍යට බොහොම සමීප කතාවක්.මේ කතාව අහපු වෙලේ මගේ හිත පුදුම තරම් සසළ උනා.ඒ සසල වීමෙන්මයි මම මේක අකුරු කලේ නිර්මාණයක් විදියට.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...