සඳට බැළුම් හෙලූ අය

Aug 30, 2017

ඔව් ඒක හරි සුවඳ පපුවක් !





හිස් අවකාශය පුරා
විහිඳුන නම නොදත්
සරාගී
පිරිමි විළවුන් සුවඳක් !

ඇත්තමයි ඒ නුවන්
ළය පුරා හී විදින
සරයක් !

පය'ගිලෙන් ඇරඹි
හිස් මුදුනින් ගිලිහුන
මොකදෝ නොතේරෙන
හැඟුමක් !

සුදුම සුදු කමිසයෙන්
විනිවිදින
පෙමාතුර පපුවක් !

ලේ නහර වල පවා
උඩුදුවන
හරි මිහිරි
පැතුමක් !

ඇත්තමයි ඒ පපුව
අයිතිකර ගන්නටම
හිතෙන
හරි සුවඳ පපුවක් !


Aug 24, 2017

මං මැරුනොත් ඔයා මොකද කරන්නේ නොහොත් සත්තලන්ගෙ රස කතා !




                      ඔය පහුගිය දවස්වල නිකා ඉන්ට බැරි බඩජාරි කමට රඹුටන් බෑග් එකක්ම තනියම කලා පහුවදා කට ඇර ගන්න බැරි තරමට දිව ඌයිය වෙලා කන් දෙකෙනුයි ඇස් වලිනුයි දුම් විසි වෙන ගානට උණ හැදිලා හිටියනේ මේ සඳවතී කියන එකී.අපරාදේ කියන්න බෑ දෙයියනේ කියල දවස් හතරක් පහක් නොසෑහෙන්න විදෙව්වා.රඹුටන් තනියම කෑවට නිකන් දුන්න උණ මම විතරක් විදවන්නෙ මොකෝ කියල හිතල මට හොද වෙනකොට සත්තලන්ටත් දීලම තමා ඕං මම පස්ස බැලුවේ.හැබැයි ඉතින් මං වගේ නෙවෙයි සත්තලන් හරීම හොදයි ලෙඩක් දුකක් හැදුනට කාටවත් කරදරයක් නෑ.එයාම බෙහෙත් හොයාගෙන බීල එයාම පරිස්සම් වෙලා ගොඩ යන්න දන්නවා.දැන් ඔය අපි දෙන්න එක වහලක් යටට වෙලා අවුරුදු හයකුත් උනානේ ඒ අවුරුදු හයටම මුන්දා එකම එක පාරක්වත් දොස්තර කෙනෙක් ළඟට ගිහින් නෑ.( ඒකට මම හම්මේ ඉතින් ඒ ගැන  කවර කතාද )ඔය සාමාන්‍ය උණක් හෙම්බිරිස්සාවක් කැස්සක් වගේ දෙයක් මිසක් සත්තලන්ට එහෙම දොස්තරලා හොයාගෙන යන තරමට දරුණු ගනයේ ලෙඩක් හැදිලත් නෑ.ඔය අවුරුදු හයේ මුල් කාලෙදී එයාට පැපොල් හැදුනා.ඊට පස්සේ ටිකක් දරුණුවට උණක් හැදුනේ මේ පාර තමා.බොහෝම අබල දුබල වෙලා පැත්ත වැටිලා හිටියත් මේකා නෙවෙයි දොස්තර ගාවට අරන් යන්න පුලුවන් උනේ . එයාම ගිහින් ෆාමසියෙන් බෙහෙත් අරන් ඇවිත් බීල හිටිය.ඉතින් කෝම හරි ඔහොම ඇඳට වැටිලා දුකසේ ඉන්නකොට සත්තලන් මගෙන් එක පාරටම අහපි

බබා... මං මැරුනොත් ඔයා මොකද කරන්නේ ? ...

කියල.හම්මේ එක අහලා මට දැනුන සනීපය.ඇයි වදේ ඔය මනුස්සයාගෙන් ඔය ප්‍රශ්නේ අහල  මම කාලා තියෙන පරිප්පු ගාගෙන තියෙන ටින්කිරි ...හයියෝ කියලා වැඩක් නෑ.ඉතින්  ඒවාට රිටන් එක දෙන්න මේ තමා හොදම අවස්ථාව කියල මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා. දෙන්නම් උණ ඩබල් වෙන්න කියල මම හිතාගෙන දත කට සීරුවෙන් තියා ගත්තා. හෝව් ... හෝව්... එච්චර ඉක්මනට ඉතින් ඒ කතන්දරේ මෙතන දාන්නෙ නෑ. ඒක පස්සට තියලා මම කියන්නම්කෝ ඔය ප්‍රශ්නෙත් එක්ක බැදිච්ච අතීත කයි කතන්දර ටිකක්.

                    ඔය අපි කරකාර බැන්ද මුල් කාලේ මාස දෙක තුනකට සැරයක් ඔය ප්‍රශ්නේ සත්තලන්ගෙන් ඇහුවෙ නැත්තන් මට නිකන් නින්ද යන්නේ නෑ වගේ ගතියක් තිබුනා.කැස්සක් හෙබ්බිරිස්සාවක් හැදුනත්, එයා නැති වෙලාවක හයියෙන් ගොරවලා වැස්සත් ,වත්තට ගැරඩියෙක් හරි තලගොයෙක් හරි ආවත්,අම්මා කෝල් කරලා පොඩි සද්දයක් දැම්මත්, හිතට මොකා...ක්ම හරි දුකත් ආවත් කල් යල් බලලා

නිකමට හරි මං මැරුනොත් ඔයා මොකද කරන්නේ....

කියල අහන එක නිකන් පුරුද්දක් වගේ උනා. මුල්ම කාලේදිනම් ඕක ඇහුවම සත්තලන්

අනේ බබා ජිවිතේ පටන් ගත්තා විතරයි මැරෙන කතා නොකියා හිටුකෝ මගෙන් මැරුම් නොකා....

කියල කිව්ව.පස්සෙ පස්සෙ ඔන්න මෙහෙමලු උනේ.

                                

                                                            
                     
                                               මම - බබා නිකමට හරි මං මැරුනොත් ඔයා මොකද කරන්නේ...

සත්තලන් - මැරුනොත් නේද ... එහෙම උනොත් ඉතින් ඉස්සෙල්ලම මල්ශාලාවකට කතා කරනව..

මම - හා ඊට පස්සෙ...

සත්තලන් - පස්සෙ ඉතින් හත් දවසක් නිදි මරන්නත් එපැයි..නෙස්කැෆේ, බීම , බිස්කට් මගෙ අම්මා....මරු තමා ඉතින්...

මම - මොනවද අනේ ඔයා බලන් ඉන්නෙ මම මැරෙනකන්ද බිස්කට් කන්න...

සත්තලන් - අනේ නෑ... ඔයාටනෙ උවමනාව තියෙන්නෙ ඉක්මනට මැරිලා මට ඔව්වා කවන්න.

මම - ඉහි .. ඉහි ..ඉහි ඔයා හොද නෑ...

සත්තලන් - ඇයි අනේ මම මොනාද කලේ..

මම - මම මැරිලත් ඔයාට කිසි ගානක් නෑ...

සත්තලන් - පිස්සුදු සුදූ... ඔයා මැරිලා බලන්නකෝ මම දුක් වෙන තරම්...


                                                    *  *  *  *

ඔන්න තවත් දවසක

මම - බබා නිකමට හරි මම මැරුනොත් ඔයා මොකද කරන්නෙ ආ...

සත්තලන් - මමද මම ඉතින් ඔය පට්ට කෑල්ලක් හොයලා ආයෙත් කසාඳ බදිනවා...

මම - පට්ට කෑල්ලක් ?

සත්තලන් - ඔව් එක්කො සනී ලියෝන්  නැත්තන් ජෙසිකා ඇල්බා තමා ,කරීනත් අවුලක් නෑ ඉතින් එයා කොහොමත් මගෙ කෑල්ලනේ.

 මම - මේ... මගේ යකා අවුස්සන්න එපා මම ඕකුන් සේරම කීතු කීතු කරනවා

සත්තලන් - යකෝ... මේකි මැරිලවත් මට සැනසීමක් නැති වෙන පාටනේ..

මම - ඔව්. ඔව්... මැරුනත් මම පස්සෙන් එනවා මොනාද කරන්නේ බලන්න...

සත්තලන් - හැක් .. හැක්.. ඔව්  ඉතින් ගෑණුනේ...

                                                     *  *  *  *
මේ තවත් දවසක්.මේක උනේ මීට අවුරුදු එකහමාරකට විතර කලින් ඔය කතාවෙන් පස්සේ මම ආයෙ ඒකාගෙන් ඔය පරශ්නෙ මේ වෙනකන්ම ඇහුවේ නෑ.

මම - බබා...

සත්තලන් _ ම්ම්ම්ම්ම්

මම - නිකමට හරි මම මැරුනොත් ඔයා මොකද කරන්නේ ...

සත්තලන් - අන්න හොද ප්‍රශ්නයක්... මම මේ ඒත් කල්පනා කර කර හිටියේ මේ අවුරුද්දට මොකද ඔය ප්‍රශ්නේ පරක්කු කියල.

මම - හරි ඉතින් කියන්නකෝ

සත්තලන් - මෙහෙමයි.. දැන් ඕක මොන වගේ මරණයක්ද .. ස්වභාවිකද එහෙම නැත්තන් දිවිනසා ගැනීමක්ද ...?

මම - මොකක හරි අනේ.. කොහොම හරි මම මැරිලා

සත්තලන් - හරි ස්වභාවික මරණයක්නම් ඉතින් කරන්න දෙයක් නෑ... හැබැයි නිකමට හරි දිවිනසා ගන්න වගේ හිතෙනවනම් අනේ කරුණාකරලා කුක්කු දෙක කපලා ෆ්‍රිජ් එකේ දාලා බොලා කර ගන්න දෙයක් කරගන්න මෙයා හොදේ..

මම - හෑ....ක් ... අර මොකටද කුක්කු කපන්නේ...

සත්තලන් - නෑ ඉතින් මම අඹේවෙලින් හරි හොද කිරි වැස්සියෙක් දක්කන් එනකන් මගේ කොලු පැටියා බඩගින්නේ තියන්න බෑනේ ඌ තාම අම්ම කුක්කුනෙ බොන්නේ...

                                                      *  *  *  *

ඔන්න එදායින් පස්සේ කටක් ඇරලා මම නෙවෙයි උන්දගෙන් මේ වෙනකන් ඔය ප්‍රශ්නෙ ඇහුවේ. ඇයි වදේ පල් වෙනවා කියලා මෙහෙමත් පල් වෙන්න පුලුවන්ද. ඉතින් ඔය වගේ අවස්ථාවක තමයි ජීවිතේ පලවෙනි වතාවට සත්තලන් මගෙන් එයා මලොත් මම මොකද කරන්නේ ඇහුවෙ.

සත්තලන් - බබා මම මැරුනොත් ඔයා මොකද කරන්නේ..

මම - ඔයා මලොත්ද .. හි .. හී ..හි හී...

සත්තලන් - කියහන්කො වදේ

මම - මොනා කරන්නද ඉතින් වල දානවා මිසක්

සත්තලන් - ඊ ළඟට

මම - ඊ ළඟට ඉතින් හත් දවස... තුන් මාසේ ...අවු....

සත්තලන් - හා හා හරි හරි දාන දිදී ඉන්නවා විතරද  කසාඳයක් කරගන්නෙ නැද්ද

මම - මොකද නැත්තේ... කරගන්නවා.. කරගන්නවා... හො...ඳ... ලා...ස්සන උස කොල්ලෙක් බලල බඳිනවා.

සත්තලන් - ම්ම්ම් අන්න හරි ඒක හොදයි .. හැබැයි මගේ කොල්ලට බාප්පලගෙන් ටොකු කන්න බෑ... නිකමට හරි මට මොනා හරි උනොත් ඌව මල්ලිට බාර දෙන්න ඕනේ ( මගේ මල්ලිට )

මම - ඉහි ඉහි  එතකොට මම

සත්තලන් - බොට ඉතින් ඊට පස්සෙ එකෙක් බැරිනම් දහයක් හරි බැඳගන්න පුලුවන්..

මම - හ්... එහෙමද හැබැයි මම මලත් ඔයාටත් බෑ කුඩම්මලා ගෙනත් මගෙ පුතාට ටොකු අන්නන්න

සත්තලන් - ආයෙ බඳින්න මම.... පිස්සුද... එකම වරද  දෙපාරක් කරනවද සුදූ මම...

මම - අනේ විහිලු නෙවෙයි ඔහොම කිව්වට ඉතින් මාසයක් හමාරක් යනකොට මාව අමතක වෙයි.එක එක ඒවා කරන්න හිතුනහම නිකන්ම කසාඳයක් කරගනී..

සත්තලන් - මොනාද එක එක ඒවා...

මම - ( ලැජ්ජාවෙන් ඇඹරෙමින් ) අරවා අනේ

සත්තලන් - කොරවාද අනේ..

මම - යන්න අනේ යන්න... බබා වගේ අහන්නේ... අර දැන් ඩිස්ටි ඩිඩිං කියලා කියන්නේ...

සත්තලන් - හෑ...ක් හැක් හැක් හැක්..... එව්වා කරන කසාඳ බඳින්නම ඕනේද බං..... ඔයා දුක් වෙන්න එපා සුදූ මම එව්වා කලට වේලාවට කරගන්නම්...

මම - මො...කා..ක් ..? හ්... හිතේ ඇති එහෙනම් දැනගන්නවා මම මලොත්  කසාඳ බැන්ඳත් කමක් නෑ එව්වා මෙව්වා කරන්න තහනම් හරී...

                                                    *  *  *  *

 ඉතින් බලන්න පින්වතුනි සත්තලන් වගේද මම .. මම වගේද සත්තලන්.. ඔන්න ඔහොමයි අපි.


Aug 21, 2017

මගෙ සුදු ආඩම්බරකාරී !





කලු  පාට ලොකු බෝල ඇස් අගින් හිනැහෙච්චි
ඒ හිනාවට උදේ මල් පවා ඇහැරිච්චි
මා එක්ක මහ දුරක් යන්න වාරුව වෙච්චි
හද ඉවුර මත වැහුව නුඹයි මගෙ බට්ටිච්චි

මගේ සෙනෙහසේ තටු වලින් තව පිම්බිච්චි
දාංගලෙ පොඩි එකෙක් වගේ තව නැට්ටිච්චි
පොට්ටුවක් තිබ්බාම වගෙයි හැඩ තංගච්චි
පළන්දන්නද උඹට මාලයක් මීනච්චි

පොඩි නෝක්කාඩු ළඟ මලක් වගෙ මැලවෙච්චි
තොදොල් වෙන්නට ඉඩක් ලැබෙන තැන පැලවෙච්චි
කිරිල්ලක් වගේ නිදහසේ ඔහෙ ඉගිලිච්චි
ඉතින් මගෙ ජීවිතේ නුඹට සින්නම වෙච්චි



Aug 18, 2017

ආඩම්බර සුන්දරී !


බ්ලොග් එක පාලුවට අරින්න බැරි නිසා ඔය කවියක් දෙකක් දාලා ශේප් උනාට කාලෙකින් හරියට මුකුත් ලියන්න බැරි උනා නෙව.පහුගිය දවස්වල මැරෙන්න වැටිලා තරමට අසනීප වෙලා උන්න නිසයි ඒ අසනීප හොද උන ගමන් මෙලෝ සිහියක් නැතුව හතර අතේ ට්‍රිප් යන්න උන නිසයි පොඩ්ඩ පොඩ්ඩ ලියලා ඩ්‍රාෆ් කරපුවා කීපයක්ම තියෙනව. ඒ අතර අර ප්‍රථම වසන්තයෙ ඊ ළඟ කෑල්ලයි සත්තලන්ගෙ රස කතා ටිකකුයි  තමයි ලිස්ට් එකේ තියන් හිටියේ.ඒත් ඒ ලිස්ට් එක පන්නලා අද මේ ලියන්න හදන්නේ අපි ගිය සවාරියක බොහොම සුන්දර තැනක් ගැන.එව්වා ඉතින් පල් කර කර හිටියොත් ඒ රසයි උණුහුමයි නැති වෙනවා නොවැ.අනික කයි කතන්දර ලිව්වට මම ඔය සංචාරක සටහන් ලියන්න ඔස්තාර් කෙනෙකුත් නෙවෙයිනෙ අප්පා.( කවි කතා වලටත් එහෙමම තමයි ඉතින් නොකිව්වට ) මහා ලොකුවට බ්ලොග් එක පටන් ගනකොට සංසාරේ සංචාරේ කියල ලේබල් එකකුත් ඇලෙව්වට මේ අවුරුදු ගනනාවටම ඒක ඇතුලෙ තියෙන්නෙ කාලෙකට කලින් ගිය යාපනේ ට්‍රිප් එක ගැන විතරයි.හයියූ ලැජ්ජාවේ බෑ ඉතින්. ඔන්න ඔය සේරම කරුණු කාරණා සැලකිල්ලට ගෙන අද මම ඒ ලේබල් එක අප්ඩේට් කරන්න තමයි මේ ලක ලෑස්තිය. ඉතින් අහගන්ටකෝ ළමා..යි.ආ මතක බැරි උනා නොවැ. මම මේ ලියන්න හදන තැන ගැන අර මනස්ගාතයත් බොහොම අපූරුවට ලියලා තිබුනා.ඔව් ඉතින් මේ ලියන්න යන්නේ සුන්දර සීතල බෙලිහුල් ඔය ලස්සන කරන ආඩම්බර දිය  සුරතලියක් ගැන.පහන්තුඩාව ඇල්ල  නම වගේම නම වගේම අති සුන්දර දිය ඇල්ලක්.


 කොළඹ බදුල්ල පාරේ බෙලිහුල් ඔය ප්‍රසිද්ධ තනායම  පහු වෙනවත් එක්කම උඩට තියෙන පොඩි අතුරු පාරේ කිලෝමීටර් දෙකක් විතර ගියාම තමයි මේ  ඇල්ලේ සුන්දරත්වය හිත
පුරා නෙත පුරා විඳගන්න අවස්ථාව ලැබෙන්නේ.ඇල්ල ලගටම වාහන වලින් යන්නනම් බෑ ඇල්ලට යන පාරේ තියෙන ගෙවල් වල මිඳුළවල් වල තමයි වාහන නැවතීමේ පහසුකම් තියෙන්නේ.අපරාදේ කියන්න බෑ අපි වාහනේ නවත්තල ගියපු තැන පාර්කින් වලට සුපියල්ම 200 ක් ගත්තා.ඒකනම් මොකෝ ඉතින් 200 වගේද ඒ ලබපු අද්දැකීම කියලා සිත සුවපත් කර ගන්න බැරි කමක් නෑ.ඔය උඩම පින්තූරේ තියෙන දිය ඇල්ල කඩා හැලෙන තැනට යනනම් ගමන ටිකක් දුශ්කරයි ඒ වගේම සුන්දරයි.ගඟ හරහා වේල්ලක් වගේ දාපු සිමෙන්ති බැම්මක් දිගේ ගඟේ එහා ඉවුරට ගිහින් ගල් මුල් වල එල්ලිලා උඩට නැගලා බොහොම පරිස්සම් ගමනක් තමයි යන්න ඕනේ.පොඩ්ඩක් හරි පය ලිස්සුවොත් හරි එහෙම නැත්තන් ඔය විහිලුවට කරන තල්ලු කිරිලි බය කිරිලි වගේ දෙවල් කරන්න ගිහින් මිස් උනොත් දෙය්යනේ කියලා අඩි  තිහ හතලිහක් පිංපොං  බෝලයක් වගේ ගල් උඩ බම්ප් වෙවී වතුරට පත බෑවෙන්න පුලුවන්.


 දෙපසම ගල් පර්වත් මැදින් පහලට පහන් දැල්ලක් වගේ කඩා හැලෙන දිය ඇල්ලයි, හීන් සීරුවේ ගලා බහින සීතල දොල පාරේ දිය දහරයි නෙක නෙක රටා  මවන මහ විසල් ගල් තලාවයි හිතට ගතට ගෙනෙන්නෙ පුදුමම තරම් චමත්කාරයක්.ගස් වලයි ගල්වලයි හැම තැනම මෙතන නෑම තහනම් අතන නෑම තහනම් කියලා ගහලා තිබුනට දෙපාරක් නොහිත වතුරට පනින තරම් කෙනෙකුගෙ සිහි විකල් වෙන එකනම් නොඅනුමානයි.අපි එහෙම සිහි විකල් නොකරගෙන හිටියේ බොහොම අමාරුවෙන්.අපි එහෙම නොවුනට අපිට කලින් එතනට ගිය කොලු රෑනක්නම් හිටියේ දිය ඇල්ලට කිට්ටුව පහල තැනක දිය කෙලිය පටන් අරන්.වැඩේ කියන්නෙ අපි එයාලට මීටර් සීයක් විතර කිට්ටුවට යනකොට තමයි එයාලා අපිව දැක්කේ.අපිව දැක්ක ගමන් එයාලා තක්බීර් උනා. සමහරු ගල් උඩ බඩ ගගා හැංගි හැංගි ගොඩ තිබුන ඇඳුම් අරන් ආයෙ වතුරටම පැන්නා.දෙයිහාන්දුවනේ එතකොටයි අපි දැක්කේ මුන් සේරම වතුරට බැහැලා තියෙන්නෙ උපන් ඇඳුමින්.අපේ නඩෙන් ඉස්සර වෙලාම ගිය ඉස්තිරී පරාණ ටික වෙච්චි අපි ඒ මහසෝන්  සන්නි දැකලා වතුරට  නොවැටී බේරුනේ බොහොම අමාරුවෙන්.උන්දලා ටික විලි වහගන්නකන් අපි එයාලට පස්ස හරෝගෙන හිටියා ඉතින් වෙන මක්කා කියලා කරන්නද.එයාලටත් ලැජ්ජයි අපිට හතරවිලි ලැජ්ජයි.විනාඩි පහක් දහයක් ඇතුලටත් සෙට් එකම විලි වගෙන අනිත් ඇදුම් කැඩුම් ටිකත් තුරුලු කරගෙන බිම බලාගෙන හීන් සීරුවේ අපිව පහු කරලා පල්ලම් බැස්සා.අපි අත් වලින් කටවල් තද  කරගෙන බොහොම අමාරුවෙන් හිනා හිර කරගෙන හිටියා. අපි ඉතින් එහෙම හිනා උනාට ඔය සත්තලන්ලා එහෙම ගිහින් එයාලා එක්ක කතා කලා උන්දලා පත්වෙච්චි අපහසුතාවය මඟහරවන්න වෙන්ටැ ඉතින් ඒ. මම ඉතින් ඔය මුලින් කිව්වා වගේ මේ දිය දහර දැක්කම උන් හිටි තැන් අමතක වෙලා ඔහොම අකරතැබ්බ වෙන්න පුලුවන්.මෙතනට මුලින්ම යන කෙනෙක් මෙතන නාන්න පුලුවන්ද බැරිද කියලා නොදන්න නිසා අමතර ඇඳුම් එහෙම අරන් යන්නෙ නෑනේ. මේ කාලෙනම් වතුර අඩු නිසා ආරක්ශිත තැනක නෑවට ලොකු අවුලක් නෑ වගේ. හැබැයි වතුර වැඩි කාලෙකනම් ඒක බොහොම භයානක වෙන්නත් පුලුවන්.
මං ඉතින් ඔය ගලක් උඩ නිවාඩු පාඩුවේ වාඩි වෙලා කල්පනා කලේම  නිකමට හරි එක පාරටම මහා ජලකඳක් ආවොත් හත් දෙයියනේ අපි මොකද කරන්නේ කියලා.එහම උනානම් ඉතින් දුවා ගන්න තැනකුත් නෑ සේරමලා අතින් අත ඇරිච්ච ජිල් බෝල අහුරක් වගේ දග් දග් ගගා පහලට රෝල් වෙලා ගහගෙන යාවි. එව්ව මෙව්වා හිතෙන අතරෙම තව මට හිතිච්ච දෙයක් තමයි මම ආයෙ බඳිනකොට wedding pre shoot එකකටත් මේ තැන මරු නේද කියල.ඔව්ව ඉතින් මම  විතරක් හිතල නිකන් ඉන්න බැරුවට මම සත්තලන්ටත් කිව්වා. උන්දා ගත් කටටම කිව්වා අනේ ඔය කරන ෂූට් එකක් ඉක්මනට කරලා මාව නිදහස් කරපන්කෝ කියල.අනේ ඉතින් මගේ කට ඔය තඩි ගලක උලාගෙන  උන්දගේ බෙල්ලෙන් අල්ලගෙන ඔලුව ඔය සීතල වතුරේ ඔබන් ඉන්න හිතනා.ඉතින් ඔන්න ඔය වගේ බොහොම සුන්දර චමත්කාර ජනක අද්දැකීම් කන්දක් අරගෙන තමයි අපි පහන්තුඩාව සොඳුරියට සමුදුන්නේ.මටනම් දවස් තුනක් තිස්සේ බෙලිහුල් ඔය ,හපුතලේ, දියතලාව , ඇල්ල , බදුල්ල , නුවර එළිය ඒ ගිය හැම තැනකින්ම මගේ හිත වඩාත්ම ඇද ගත්තෙ මුල්ම වරට ගිය
මේ පහන්තුඩාව ඇල්ල තමයි.

 ඒ වගේම තව ලියන්න සුන්දර තැන් සුන්දර දසුන් එමටයි.වෙලාවක් තිබුනොත් ආයෙ දවසක මේ සංසාරේ සංචාරේ අප්ඩේට් කරන්නම්කෝ.



Aug 17, 2017

ඉඩ දෙන්න මට ඉතින් සමුගන්න !




ඉතින් තව අපි අපේමැයි කියා නොසිතන්න
ආදරෙයි හා පැටික්කිට මගේ නොකියන්න
ඔය වචන වලින් හිත කුඩු වෙන්න
වෙඩි තියන්නට ආයෙ නොම එන්න

හිත මත්තෙ හීනියට ඇවිදින්න
පපුව මැද්දට වෙලා හිනැහෙන්න
ඇහි දාර අඟිස්සෙන් ගිලිහෙන්න
වදින්නම් ආයෙනම් නොම එන්න

බිඳුණු පසු හීන යලි අහුලන්න
නාය ගිය තැන් ආයෙ හාරන්න
මගෙ අහසෙ සඳ වෙලා පායන්න
වදින්නම් ආයෙනම් නොම එන්න...

( මේ කවිය මම ලිව්වේ පොකුරු වැහි අක්කා ෆ්බී එකට දාපු  කවියකට කමෙන්ට් කවියක් ලෙසයි.)

Aug 7, 2017

ඔව් ඔයා හඳක් !


නුඹ ,
ඈත අහසේ දිලෙන සඳවත
මම  ,

සඳට පෙම් කල
පුංචි බිම් මල

නුඹ ,

විසල් නුග රුක දාහය නිවන
මම ,
ඒ මහා වෘක්ෂයේ සෙවන නොලබාම
වියළුණු තණපත

නුඹ ,
දොලොස්මහේ පහන
නොනිවී දැල්වෙන
මම ,
එළිය පමණක් දී
නිවී ගිය පහන් වැටිය

නුඹ ,
සමනොළ ගිරිශිඛර
මම ,
මහා ගිරිදඹ ගෙවා පියඹා ඇවිත්
නුඹ පපුව මත්තේම මියෙන්නට පැතූ
අහිංසක සමනළිය

නුඹ ,
මහවැලි ගං කොමළිය තුරුල්ලට ගෙන
ජීවිතය අත්විඳින බව නොදැන..

Aug 1, 2017

මේ ප්‍රථම වසන්තයයි 04






මේ ප්‍රථම වසන්තයයි 01

මේ ප්‍රථම වසන්තයයි 02

මේ ප්‍රථම වසන්තයයි 03

                                    ඉතින් අද කියන්න යන්නෙ ඔයයි මමයි හම්බුන හැටි අපේ යාලු කම ආරම්භ උන හැටි.ඔව් ඒ තමා අපේ කතාවෙ මුල. ඒ ටික නැතුව මේ කතාව අසම්පූර්ණයිනෙ.මගේ වාසනාවට බස් එකෙන් පැපිලයානෙදිම කීප දෙනෙක් බැස්ස නිසා මට වාඩි වෙන්න චාන්ස් එකක් ලැබුන.මගේ සිතිවිලි ඒ අතීතයේ ඇවිද්දවන්න ඒකත් ලොකු පිටුවහලක් උනා.ඉතින් අහන්නකෝ ඒ කතාව.

     මට මතක විදියට ඒ 2006 අවුරුද්දෙ අන්තිම  හරිය. තනියම මඟතොටක බැහලා යන්න එන්න පුරුදු උන කාලේ ...ඒ ලෙවල් ඉවර වෙලත් අවුරුදු ගානක් ගෙදරටම කොටු වෙලා ඉදලා පවුලෙම හිතවතෙකුගෙ තැනක පුහුණුවයි රැකියාවයි දෙකම ලැබුන කාලේ...ඒ සේරටමත් වැඩිය  Unlimited Internet පහසුකමින් මුලු සයිබරේම පීරන්න ලැබුන කාලේ.යූ ටියුබ් එකෙන් සින්දු බලන්නයි විදේශයක හිටපු අම්මා එක්ක  Yahoo මැසෙන්ජර් එකෙන් කතා කරන්නයි ඇරෙන්න සයිබරේ ගැන මම මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑ ඒ වෙනකොට.හැබැයි මාත් එක්කම පුහුණුවට ආපු අනිත් යුවතියන් දෙන්නම  කැළණි කැම්පස් එකේ.එයාලා ඒ වෙනකොටත් අන්තර්ජාලයේ ඔට්ටුසෙල්ලම් කරපු අය.ඔන්න ඔය දෙන්න තමයි මටත් ඒ කාලේ ප්‍රසිද්ධ වෙබ් සයිට් වල පබ්ලික් චැට් රූම් වලට යන හැටි නික් නේම් හදාගෙන ඒවායේ චැට් කරන හැටි කියල දුන්නෙ.ඔයා ගැන අහන අයට කිසිම වෙලාවක ඇත්ත නම් ගම්  කියන්න එපා ,තුන් හතර දෙනෙක් සෙට් කරගෙන බයිට් කර කර ඉන්න කියල තමා උන් දෙන්නනම් මට උපදෙස් දුන්නේ.උන් කියන විකාර වලට මමනම් හිටියෙ අන්ද මන්ද වෙලා. ඔන්න ඉතින් මමත් කොහොම හරි ඔය කියන චැට් රූම් එකකට ලස්සන නික් නේම් එකකින් ලොග් උනා.විශ්වාස කරන්න සතියක් විතර යනකන්ම මම කිසිම කෙනෙක් එක්ක කතා නොකර තප්පරෙන් තප්පරේ උඩට යන ඒ නිල් පාට ස්ක්‍රීන් එක දිහා බලාගෙන හිටිය.ඒකත් හරිම අපූරු අද්දැකීමක්. බොරුවට රන්ඩු වෙන , ආදරේ කරන , සින්දු කියන , විහිලු කර ගන්න හරිම අපූරු තැනක් ඒක.මම ලොගින් උනාම පබ්ලික් වගේම ප්‍රයිවට් ඇවිල්ලත් Hi කියන, අනේ කතා කරන්නකො කියන , ASL අහන අය ගොඩක් හිටිය. ඔය ASL කියන්නෙ මොකක්ද කියල  මම අහගත්තෙත් මට චැට් පුරුදු කරපු උන් දෙන්නගෙන්ම තමා .ඉතින් සතියක් තිස්සෙම චැට් එක උඩ පහල  බල බල මම කල්පනා කලේ කාත් එක්ක මොනවද මම ඉස්සෙල්ලම කතා කරන්නෙ කියලා.මම ලොග් වෙච්ච හැම දවසකම මට හායි කියපු එකම එක්කෙනෙක් හිටියා ප්‍රයිවට් චැට් ඇවිත්.ගොඩක් අය  හායි කිව්වම මේ පැත්තෙන් උත්තර නැති උනාම  එක එක කතන්දර කියලා යනවා ඒත් එයා කවදාවත් එහෙම මුකුත් කිව්වෙ නෑ  හායි විතරමයි.අන්තිමට මම තීරණය කලා මම එයා එක්ක තමා ඉස්සෙල්ලම කතා කරන්නෙ කියල.වෙනද වගේම මම ලොග් උනාම එයා Hi කිව්වා. මමත් Hi කියල උත්තර දුන්න.ඒ සැනින් ඒ පැත්තෙන් පිලිතුරක් ආව.

කොහොමද ...

හොදයි....

ඉතින් ඒ තමයි ඔයා. සයිබර් අවකාශයේ මගේ මුල්ම චැට් සඟයා.වචනෙකින් දෙකකින් පටන් අරන් බොහොම නිවී  සැනසිල්ලේ ගලා ගෙන ආපු හිතවත් කමක් අපි අතර හිමි හිමිහිට ගොඩ නැගුනා.ඒ වෙනකොටත් ඔයා ඒ චැට් එකේ හැමෝ අතරම ප්‍රසිද්ධ  කෙනෙක්.ඔයාගෙ කෙනෙක් හැටියට ඔයා මාව පබ්ලික් චැට් රූම් එකට ගෙනිච්ච නිසාම ඔයාට තිබුන පිලිගැනීමම මටත් එහෙමම ලැබුන.ඉතින් ඊට පස්සෙ දවස් ගෙවුනෙ ඒ හිත මිතුරු පාරාදීසයේ .. උදේට ඔෆීස්  ගිහින් චැට් එකට ලොග් වෙනතුරු සිහියක් තිබුනෙ නෑ.මට විතරක් නෙවෙයි ඔයාටත්... ඔයාටයි මටයි විතරක් නෙවෙයි අපි හැමෝටම ඒ හැඟීම  තිබුන.උදේ ලොග් උන ගමන් හැමදාම ඔයාගේ සුබ පැතුම

 Good Morning බබෝ....

බබා...? මං බබෙක් නෙවෙයි ..කියන්න එපා මට එහෙම...

හැමදාමත් මගේ ගෝරණාඩුව ඔයාට.ඒත් කවදාවත් ඔයා මම කියන දේ ඇහුවෙ නෑ දිගටම එහෙම කතා කලා.මට විතරක් නෙවෙයි චැට් එකේ ගොඩක් ගෑණු ළමයින්ට ඔයා බබා, සුදූ කියල කතා කලා.ඒ නිසා පස්සෙ පස්සෙ මටත් ඒක ගානක් නැතුව ගියා.මුලදි මුලදි විහිලු තහලු කරගෙන , චැට් එක ඇතුලෙ ගීතයෙන් ගීතය කර කර හිටපු අපි අපිටත් නොදැනිම පුද්ගලික ජීවිතේ දෙවල් කතා බහ කරන තැනට ඇවිත් තිබුන.ඔයාට  Girl Friend කෙනෙක් ඉන්නව කිව්වම  මමත් ගත් කටට  ආ මටත් Boy Friend කෙනෙක් ඉන්නවා කියල කිව්ව.අපේ සයිබර් යාලු කමට අවුරුද්දක් විතර වෙද්දි දවසක් ඔයා මට කිව්ව ,

ඒයි කෙල්ලෙ... මට ඔයාව බලන්න ඕන..

මොකක් ... ඒ මොකටද ..?

මොකටද අහන්නේ.. දන්නවද අපි දැන් අවුරුද්දක්ම චැට් කලා.. ඒත් මම තාම දන්නෙ නෑ ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලවත්.ඔයාටත් එහෙමනේ ඔයා දන්නෙත් නෑනේ මම මොකෙක්ද කියලවත් ඉතින් හිතෙන්නෙ නැද්ද අඩු ගානේ  ෆෝන් එකෙන්වත් මා එක්ක වචනයක් කතා කරන්න ඕන කියලා..

නෑ...

මම ගත් කටට එහෙම කිව්ව.

ඒත් මට ඕනෙනේ...

මම කෙල්ලෙක් අනේ... මම කොල්ලෙක් නෙවෙයි...

මමත් කොල්ලෙක් තමා බං..

ඉතින් එහෙනම්...

මේකනෙ බබා.. ටිකක් හිතන්න කටහඬවත් අහල නැති උනාට ඇහැටවත් දැකල නැති උනාට අපි අපිට ගොඩාක් ළඟයි කියල ඔයාට හිතෙන්නෙ නැද්ද...මේ වෙනකොට ඔයා මගේ හොදම යාලුව වෙලා.. ඔයාට හිතෙන්නෙ නැද්ද මම ඔයාගෙ හොදම යාලුව කියල...? මම මේ ඔයාට කතා කරන්න ඕනෙ , ඔයාගේ පින්තූරයක් බලන්න ඕන කියන්නෙ  අවුරුද්දක්ම ගියාට පස්සෙ ඉතින් ඒක අසාධාරණ නෑ නේද.?

ඔව් ඉතින් එහෙම බලනකොටනම් ඔයාගෙ ඉල්ලීම අසාධාරණ නෑ තමයි.ඔයා කිව්වට පස්සෙ මටත් හිතුන අවුරුද්දක් තිස්සෙ දවස ගානෙ කතා කරන එකම පිරිමි ළමයව බලාගන්න ඇත්නම් කියල.ඒත් ඉතින් මේ මම කියන කෙනා ටිකක් ආඩම්බර කෙනෙක්නෙ ඒ නිසා එහෙම හිතේ තියෙන දෙවල් කෙලින් කියන කෙනෙක් නෙවෙයි.ඒත් මම හ්ම්ම්ම්  බලමුකෝ... කියල උත්තරයක් දීල මඟ ඇරිය මිසක් වෙන මුකුත්ම කිව්වෙ නෑ. හැබැයි ඔයානම් Yahoo Messenger එකට ඔයාගේ ෆෝන් නම්බර් එකයි ඔයාගෙයි ඔයාගෙ මුලු පවුලෙමයි විතරක් නෙවෙයි ඔයාගෙ ආදරවන්තිගෙ පින්තූරෙකුත් එව්වා.

ඔන්න දැන් ඔයාට හිතෙන ඕනම වෙලාවක මට කෝල් එකක් ගන්න...මේ ඒක නෙවෙයි මම ලස්සනයිද...?

හැටි වඳුරෙක් වගේ...ඔයාගෙ අම්මනම් ලස්සනයි...

එතකොට අරයා....

ම්ම්ම්.. එයත් හොදයි...

තවත් සතියක් විතර ගෙව්නට පස්සෙ තමයි මම හිත හදාගත්තෙ ඔයාට මගේ ෆොටෝ එකක් පෙන්නනව කියල.හැබැයි මම ඔයාට ෆොටෝ Send කලේ නෑ මම කලේ
Messenger එකේ ප්‍රොෆයිල් පික්චර් එකට මගේ පින්තූරයක් ටික වෙලාවකට දාපු එක.

අම්මෝ... ආඩම්බරකාරිව බලා ගන්න තියෙන අමාරුවක්..මේ මුද්දරයක් විතර මූණද දැන් මම බලන්න ඕන..?

හ්ම්ම් ඔව් එහෙම තමයි...

කමක් නෑ කමක් නෑ මුකුත්ම නැතුවට වැඩිය මේත් මදෑ..
ලස්සනයි... කතාවෙ තියෙන නපුරු පාටනම් නෑ මූණ අහිංසකයි .. හා පැටියෙක් වගේ...

හාවෙක් වගේ ? ඒ කියන්නෙ දිග කන්... දිලිසෙන ඇස් එක්ක හොම්බක්..

මම එහෙම ටයිප් කලේ හිනා වෙවී.

ඔව්.. මේ   මටනම් පේන්නෙ එහෙමයි...

                        ඇත්තටම ඒ කාලෙ ගැන ලියනවනම් කියනවනම් සේරම පැත්තකින් තියල  දිගටම දිගටම ඒ ලස්සන කාලෙ ගැනම ලියන්න කියන්න පුලුවන්.ඒ තරමට ඒ යාලුකම  ඒ ගෙවුන  කාලය සුන්දරයි.පස්සෙ  දවසක මම හා හා පුරා කියල ඔයා එක්ක ෆෝන් එකෙනුත් කතා කලා.දවස ගානෙම අපේ යාලුකම ශක්තිමත් උනා.ඒ කාලෙම තමයි බම්බලපිටියෙ තිබුන ඔයාගෙ ඔෆීස් එක කොහුවලට ගෙනාවෙ.ඒ කියන්නෙ උදේ හවස මම ඔයාව පහුකරගෙන ඔයාගෙ ඔෆීස් එක දිහා බල බල ගියේ.ටික දවසක් ගියාම මගේ බස් එක ඔයාගෙ ඔෆීස් එක පහු කරන වෙලාවට ඔයා බැල්කනි එකට ඇවිල්ල මට අත වනන්න පුරුදු උනා.හැබැයි ඉතින් කවදාවත් ඔයාගෙ ඔෆීස් එකට තනිපංගලමේ එන්නනම් හීනෙකවත්  හිතුනෙ නෑ.ඒත් මගේ අම්මගෙ වැඩක් වෙනුවෙන් මට ඔයාගෙ ඔෆීස් එකට එන්නම උනා.තනියම එළියට ගිහිල්ල වැඩක් කර ගන්න ඒ වෙනකොට මට තිබුන නුහුරු ගතිය නිසා මට මගේ හොදම යාලුවගෙ උදව් ගන්නම උනා.ඉතින් හා හා පුරා කියල අන්න එදා තමයි මම ඔයාගෙ ඔෆීස් එකට ගොඩ වුනේ.ඒ යාලු කම ළඟ සදහටම නැවතුනේ.ආයෙ ආයෙ එන්න කියල හිත බල කරන තරමට මම ඔයාට ළං වුනේ...ඔයාගෙ ළෙංගතුකම මහා පවුරක් වගේ මගේ ජීවිතේ වටා එතුනෙ...ඒ හැමදේම උනේ ඊට පස්සෙ තමයි.

              ඉතින් මේ අපේ කතාවෙ මුල ... ඒත් කතාව තාම ඉවර නෑ... අතරමඟ නැවතුන තැන ඉදල ආයෙමත් කියන්නම්කො හොදේ...

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...