සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Feb 26, 2018

නොරිකො සං අසාපන් !



තමබොචි සොහොන යට තනිකමට හුරුවෙච්ච
හදවතක් ඇති නමුත් හීතළට ගල් වෙච්ච
පෙම්බරිට නොකියාම ඇවිත් සොහොනට වෙච්ච
පෙම්වතකි මමත් ප්‍රේමයෙන් ආතුර වෙච්ච......

සකේ උගුරක් බොමින් ප්‍රේමයෙන් මත්වෙන්න
තතමි පැදුරේ නුඹට ළංවෙලා වැතිරෙන්න
හීන මැව්වට නුඹත් එක්ක මහ දුර යන්න
අපි වෙනස් කුරුල්ලන් බෑ එක්ව පියඹන්න......

ජීවිතේ සුන්දරම දවස් නුඹ හා එක්කව
ගෙවූ හැටි අමතකව නෑ තනිව උන්නාට
හිතට තව වාරු නෑ මැරි මැරී උපදින්න
ඒ නිසයි අත්හලේ නුඹේ අත නොකියාම........

මළවුන්ගේ අවුරුද්දෙ අදයි ඒ හැන්දෑව
මොහොතකින් නුඹ ඒවි දිගු දෑස හංඟාන
වාරු නැති මුත් ඇවිත් අල්ලන්න ඔය දෑත
මං තාම ආදරෙයි මගේ මල සකුරාට......

Feb 24, 2018

දුවට මවක මිස !






සොළොස් කලා සපිරුණු පුන්සඳ සේමා
දිවි මාවතේ නොසැලෙන ඉදුඛිල සේමා
වැටෙනා හැම කලට උරහිස දුන් බෝමා
පෙම්මා වඩන නුඹ ළඟ සෙනෙහස බෝමා

මහා නුගයක් යටදි  හිත විදින සුවේ
ඔබේ එක වදනකද ඒ සුවය ඇතේ
අනා මහ සෙනෙහසින් කැවූ බත් පිඩේ
ආදරය මිස වෙනත් කිසිවක්ම නොවේ

එපා වුන විටදි ජීවිතේ හොදටෝම
ඔබෙ දයා ගඟ ගලයි හතර අතටෝම
නෑ කිසිත් සම කරන්නට එහෙව් පෙමට
දියවරකි අම්මෙ ඔබ ඉරිතැලුණු  හදට





 අද ඔයාගේ උපන්දිනේ... ඒත් ගිය අවුරුද්දෙ වගේ ලස්සනට සමරන්න විදියක් නෑ  ඔයා ලෙඩ ඇඳක නිසා...මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරන්නේ ඔයාට ඉක්මන සුවය විතරයි.ජීවිතේ හැම මොහොතකම අත නොහැර මගේ ළඟින් ඉන්න  ආදරණීය අම්මේ... ඔයාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක්ම වේවා...!

Feb 22, 2018

රතු මේපලී !



සිසිරයේ සීතලින් පෙම්වත්ව
දරාගෙන හිම පියල්ලක් බැතිව
කල්පයක් ළඟින් ඉන්නට පැතුව
මමයි ඒ පුංචි රතු මේපලිය....

තුරු මතින් රිංගාන සඳ එළිය
ඇවිත් රහසෙම කොපුල් සිම්බාම
හිනැහෙමින් නුඹේ තුරුළෙම උන්න
මමයි ඒ පුංචි රතු මේපලිය....

ගිම්හානයේ සැඩ හිරු ඇවිත්
උදුරගෙන මගෙ සීත පිණි බිඳුව
සියොළඟම දවා අකල්හී ඉපල් වූ
මමයි ඒ අහිමි රතු මේපලිය....

Feb 21, 2018

මන්දෝදරී නුඹ තාම මගේ !



සමනොළ ගිරි හිස වැඳ පියඹන සමනළයින් ආලකමන්දාවට වැඩලා
මන්දෝදරී නුඹේ මන්මත් සිනා හඬින් නිල් වැව් තලාව පිරිලා...

රිටිගල කන්ද උඩින් මධු සඳ මෝරනකොට දැනෙනව සුවඳ මදාරා
දීපංකරේ ගිහින් මට දුක් ගෙනාවාට තාමත් නුඹයි මගේ රන්කඳ  රාවණ්නා...

ලෝකය කියන මුසා නෑසු කන්ව ඉදින් නුඹටයි මගෙ පෙම නිම්මා
ඇල්ලුවෙ නෑ අතකින් බැල්මක් හෝ නෙතඟින් කැන්දන් ආවට සීතා...

අහිතක් තුන් හිතකත් නෑ කුමරුනි තාමත් සත්තයි පෙම්කල හින්දා
සිවගිර මුඳුනෙන් බැස මේ දැන් එනවානම් සිරියහනට සඳ වැඩලා...




Feb 18, 2018

මේක කෙටිම කෙටි කතවක් !





මම හිටියෙ නින්දත් නොනින්දත් අතර... හිස්ම හිස් අවකාශයක.... මුකුත්ම හිතා ගන්න බැරුව.ඒත් ඇස් වලින් කඳුළු ගැලුව ... මට ඒ කඳුළු වල ලවන රස දැනුන.හිස්ම හිස් වෙච්ච හදවතින් මම එහෙම කොච්චර වෙලා ඇඬුවද කියල මට මතක නෑ... කාලය ගැන මට වගක් තිබුනෙ නෑ...එක පාරටම කවුදෝ මගේ උරහිස් වලින් හොලවල හොලවල මාව ඇහැරුව.මම ඇස් අරිද්දි මම වගේම කෙනෙක් මගේ එහා පැත්තෙන් ඉනට  අත් දෙක තියාගෙන මා දිහා බලා හිටිය.

මොකද මේ ... පිස්සුද...?

එයා ඇහුවෙ තරහින්

ඇයි...?

මමත් ඇහුවෙ  ටිකක් තරහින්.

උඹ ආයෙත් ආදරේ කරන්න පටන් අරන් නේ...? දෙවෙනි පාරටත්... ඔව් දෙවෙනි පාරටත්....

ම්ම්ම්.. ඔව්... මම පිලිගන්නවා... ඉතින් ආදරේ කරන එක වරදක්ද...

අනේ නෑ.... කවුද කියන්නෙ ආදරේ වැරදී කියල...ඒත් ඔය තරම් ආදරේ කරන්න උඹ තෝරගත්ත කෙනා වැරදි කෙනා වෙන්න පුලුවන්...

නෑ... නෑ... මම එහෙම හිතන්නෙ නෑ... මේ මම තෝරගත්ත කෙනා නෙවෙයි.මට එහෙම ආදරේ හොය හොය යන්න හේතුවක් තිබුනෙ නෑ...මට එයාව දැනෙනව... හරියට සංසාරගත පුරුද්දකට වගේ...එයා කවුද ... මොනවද  කරන්නෙ...මට ඒ මුකුත් වැදගත් උනෙත් නෑ... මුලින් මම දැනගෙන හිටියෙත් නෑ...මම එයාව හිතට ගත්තෙ එයාගෙ කතාවෙන්... මම එයාව මවා ගත්තෙ ඒ කතාවෙන්... මට ළඟයි කියල දැනුනෙ ඒ කතාව...

ඉතින්.... එයා කියපු හැමදේම උඹ විශ්වාස කරනවද ...?

ඔව්.... එයා බොරු කියන්නෙ නෑ....

 මම එහෙම කිව්වම ඒ මම වගේම කෙනා මහා හයියෙන් හිනා උනා.මට එයාව ඇඳෙන් බිමට  පෙරලලා දාන්න හිතුන.

උඹට පිස්සු... හොදටම පිස්සු.... ඔය ආත්මගත රොමෑන්ටික් කතා එයාට වැඩක් නෑ...එයා  මොහොතින් මොහොත වෙනස් වෙන කෙනෙක්...එයා කියන ලියන කරන ඕන දෙයක්. එයා ඒ වෙලාවට ඉන්න මූඩ් එකේදි විතරයි.ඊට පස්සෙ එයාට ඒවා මතක නෑ...

ප්ලීස් එහෙම කියන්න  එපා... ඔයාට අයිතියක් නෑ... මගේ ආදරේට ඔහොම කියන්න... මට එයාව විශ්වාසයි... මම තරමටම...

මම කෑගහල එහෙම කිව්වනම් එයාට ගොඩක් කේන්ති ගියා.

අයිතියක්...? උඹ ගැන දන්නෙ මම තරම් වෙන කවුද... ඉතින් මට අයිතියක් නැද්ද උඹ මේ ළඟකදි ඉදන් නටන පිස්සුවේ තේරුම හොයන්න...දවසට කී පාරක් උඹ ඔය ෆෝන් එක දිහා බලාගෙන හූල්ලනවද... ඇස් වලට කඳුළු ගන්නවද...ඒවා මම තරම් දන්නෙ වෙන කවුද...?

එයා සද්දෙට එහෙම අහුවමනම් මට කට උත්තර නැතුව ගියා. මම හිමිහිට  බිම බලාගත්තෙ ඒ ඇස් මඟාරින්න.

ඔව් ඒ උඹේ ආදරේ... උඹේ විශ්වාසය... උඹ බලන් ඉන්නවා කොයි වෙලාවෙ හරි ඉස්සර වගේ එයා උඹට වචනයක් කියාවි කියල....උදේ එලිවෙච්ච වෙලේ ඉදන් උඹ බලන් ඉන්නවා එයා ඉස්සර වේවි කියල... අන්තිමට රෑ වෙනකොට උඹ පරාදයි..උඹ කතා කරනකන්ම එයා කතා කරන්නෙ නෑ...උඹ ට මතකද ඉස්සර එයා තමයි උඹට මුලින්ම කතා කලේ. සමහර දවසට  ඒවා උඹ දවස් දෙක තුනක් යනකන්ම බලලත් නෑ.එහෙම හිටපු  උඹ තමයි අද මෙහෙම දුක් විඳින්නේ...

ප්ලීස් මාව අඬවන්න එපා....

මම බැගෑපත් උනා.

මට ඕනෙ අඬවන්න නෙවෙයි ඇත්ත උඹට තේරුම් කරල දෙන්න.

එයා වෙනස් වෙලා නෑ... එයාට මාව මතක ඇති...එයාට මාව කරදරයක්නම් එයා කෙලින්ම මට ඒක කියයි...අපි කතා උනා එහෙම. මම යන්නෙ කවදා හරි එයා කෙලින්ම මට ඒක කිව්ව දවසට...

එතකොට එයා උඹට කිව්වෙ කොහොමද...?

මම යන්න කිව්වත් එයා පස්සෙන් එනවා කිව්වා..

හා... හා.... හා... දැන් මොකක්ද වෙලා තියෙන්නෙ....උඹයි එයාගෙ පස්සෙන් යන්නේ...එයා පාඩුවේ ඉන්නවා...

නොකිව්වට ඒක නේද ඇත්ත කියලා මටත් නොතේරුනා නෙවෙයි.ඒත් මේ නපුරි ඉස්සර ඒක කියන්න මම බය උනා.

එයා තාම කිව්වෙ නෑ මාව එයාට කරදරයක් කියල....

කෙලින් නොකිව්වට මේ වෙන්නෙ ඒ ටික නේද... එයා උඹව මඟාරිනවා... උඹට උත්තර නොදී ඉන්නවා... එයා කවදත් ඔහොමයි.එයාට කෙනෙක් එපා කියල දැනුනනම එයා ඒ කෙනාව මඟාරිනවා.උඹ තාමත් ආදරේ කරන්න පුරුදු වෙනවා.... ඒත් එයාට ආදරේ කරන්න ඕන තරම් අය ඉන්නවා... එයා ආදරේ කරන අයත් ඕන තරම්... මතක තියාගනිං උඹ එතනින් එක්කෙනෙක් විතරයි... ඔව් එක්කෙනෙක් විතරයි...මතකනේ එයා උඹට කියපු දෙයක්...එයාට එපානම් එයා 'කවුරු 'එක්කවත් කතා කරන්නෙ නෑ... උඹ ඉන්නෙ ඒ 'කවුරුත්' කියන තැන මිසක් ඊට වැඩිය ඉහල තැනක නෙවෙයි.... උඹේ හිතේ මහා උඩක එයාව තියන් හිටියට එයා එහෙම නෑ...  ඒක තමයි උඹ පිලිනොගන්න.. ඒත් ඇත්ත...

මට කෑගහල අඬන්න ඕන උනා... මේ නපුරි ඇයි සැරින් සැරේ මගේ ඉස්සරහට ඇවිත් මාව මේ තරම් අසරණ කරන්නේ...සමහර විට එයා කියන දෙවල් ඇත්ත වෙන්න ඇති.ඒත්... ඒත්... මම එයාටත් වැඩිය ඔයාව විශ්වාස කරන එක මගේ දුර්වල කම වෙන්න ඇති.

 මට හිතා ගන්න බෑ... මීට අවුරුදු ගනනාවකට කලින් උඹ ඉස්ස ඉස්සෙල්ලාම ආදරේ කරද්දිවත් උඹ මෙච්චර වැටුනෙ නෑ...උඹ සැරින් සැරේ අහුමුළු වලට වෙලා හූල්ලන හීල්ලිල්ල   වැටෙන්න නොදී හංඟන  කඳුළු ... කාගෙන් හැංඟුවත්  මගෙන් කොහොමද හංඟන්නේ...?එයා වෙනස් .... උඹ වෙනස්.... කරුණාකරල ඒක තේරුම් ගනින්.එයා ජීවිතේ  එක්තරා රේස් එකකට වැටුණු කෙනෙක්..උඹට වගේ කාලය  නෑ එයාට කා වෙනුවෙන්වත් කැප කරන්න.එයා උඹත් එක්ක කතා කරන්න අරන් තාම අවුරුද්දයි...උඹට බැරිද  ඒ අවුරුද්ද අමතක කරලා ඉස්සර වගේ ඉන්න...?

බෑ... ඒක කවදාවත් වෙන්නෙ නෑ....මම එයාව දන්නේ ආත්ම ගානක ඉඳලා... ඔව්  දැන් මට හිනාවෙන්න බැරියෑ මේකිට පිස්සු කියල.. ඒත්  මම දන්න ඇත්ත ඒක..

 හරි හරි... ඒක උඹේ කැමැත්ත... ඒත් එයා නම් පෙරුම් පිරුවෙ හැම ආත්මෙකම වෙන කාගෙදෝ වෙන්න... ඒක උඹට අමතක වෙන්න විදියක් නැතුව ඇතිනෙ..

 ඒ නපුරි එහෙම කියල මට හිනා උනේ සම්ච්චලේට.

වෙන්න ඇති ... ඒත් මම ආදරෙයි....අයිතියක් නැති තැන බැඳීමක් නැති තැන සැබෑ ආදරේ තියෙනව කියලයි මම අහල තියෙන්නෙත් ... මට දැනෙන්නෙත්...

ඔය පිස්සුව ... ඔය හීන දැකිල්ල නවත්තගනිං පින්සිද්ධ වෙයි...මට බයයි උඹ අතරමං වෙයි කියල...

ආදරේ කියන්නෙ පිස්සුවක්නම්.. ඔව් මට පිස්සු... ආදරේ කියන්නෙ බලා ඉන්න එකටනම්  ඔව් මම බලන් ඉන්නව අද වගේම හෙටත්...ඔව් මම බලන් ඉන්නව එයා  යන්න කියනකන්ම... ඊට පස්සෙ මම කරදර කරන එකක් නෑ එයාට වචනෙකින්වත්... හැබැයි එහෙම ගිහිල්ලත් මම බලන් ඉන්නව කියන එක ඔයා විතරයි දන්නෙ... ඒ නිසා කරුණාකරල ඔයා මට බනින්න එපා...

 මම එහෙම කිව්වමනම් නපුරිට දුක හිතුනා... ඒ ඇස් වලත් කඳුළු ගුලියක් ඇවිත් හිර උනා.

උඹ පව්... ඇත්තටම උඹ පව්...මම දන්නව  උඹ මේ දවස්වල ඉන්නෙ වේදනා ගොඩක..උඹ එයාගෙන් හිත හැදෙන වචනයක් බලාපොරොත්තු උනා...උඹේ දුක ළඟ හයියට ඉඳී කියල හිතුව...ඒත් එහෙම නෑ.... එයා මේ මුකුත් දන්නෙත් නෑ... ඔව් .. අඩුම ගානෙ දන්නෙත් නෑ...ඒකයි මම කියන්නෙ උඹට  එයා  එහෙම කෙනෙක් නෙවෙයි... එයාට ඕන උනොත් විතරක් කතා කරන.. එයාට ඕන උනොත් විතරක් හිනාවෙන... එයාට ඕන උනොත් විතරක් ආදරේ කරන..එයා එහෙම කරනකොට අනිත් කෙනා පත්වෙන වේදනාව ගැන තැකීමක් නොකරන කෙනෙක් කියල...

 එපා.... ඇති.... තවත් එයාට දොස් කියන්න එපා.... එයා කොහොම උනත් එයා කවුරු උනත් මම එයාට ආදරෙයි... අනික  මම දන්නවා.. මට දැනෙනවා... එයාගේ හිතේ  කොහේ හරි මම ඇති... ඔව් කොහේම හරි මම ඇති.

 හරී... ඒකනම් උඹේ අවසාන තීරනේ මීට එහා මට කතා කරන්න දෙයක් නෑ.... ඒත් එයා නිසා කවදා හරි උඹ මීටත් වඩා දුකක් පපුවට ගන්න දවසට උඹේ තනියට ඉන්නෙත් මම විතරයි කියල උඹ මතක තියාගනින්....ඔව් මම විතරමයි....

 එහෙම කියපු නපුරී මගේ ඔලුවත් අතගාගෙන යන්න ගියා...ලොකූ හුස්මක් එක්ක මම ආයෙමත් මඟබලන් ඉන්න පටන්ගත්ත.



                                                     - ඉවර නෑ -

Feb 13, 2018

මධුර යාමේ.... !





ස්වේත සඳ  නීලම්ඹරෙන් බැස
මල් කුමුද්දක් ළඟ සලු උනා
පිනි වෑස්සෙන රෑ  ළපළු තුරු හිස
මනමාල  මල් කැටයම් කලා

නිල් තරු කැටක් හරි ආදරෙන්
බිම් මලක ගෙල මුල  සැතපිලා
රෑ බදුල්ලෙක් ලා රෝස පෙත්තක
මකරන්ද දෙතොලින් හිස්කලා

රෑ සුරඟනක් පය ගිගිරි සලමින්
හදවතේ තෙත අඩි තියා
දිවයද්දි ගිලිහී සළඹ මුතු ඇට
නොනිදනා රැයකට ඉඟිකලා

දෙ'කඳු මැද උණුසුම්ම නිම්නයෙ
සෙමෙන් වැතිරී හිස හොවා
මත් දෙතොල් සලිතව පිපාසෙන්
සුන්දරම ගින්දර ඇරඹුනා

මහෝඝය සේ සැනින් ලුහුබැඳ
රසෝඝය  සියොළඟ වෙලා
ළය'ගිරේ ගුළිවුනු කැකුළු පොට්ටුව
එක හුස්මකට විකසිත උනා

සලා මුවරඳ රේණු  තුඩ තුඩ
රස විලේ ස්වර'ගුළු ඇහැරුනා
පයතුඩින් අවදිව  හැඟුම් විහඟුන්
හිස් මුඳුනතත් සිඹ ඉගිලුනා

Feb 10, 2018

ඔබට ... මම... ආදරේ... නිසාම....!






අද වගේ දවසක්
හිතින් අමතක වේවිනම්
කිසිවක්ම සිදු නොවූ අයුරින්
මේ වගේ සිටින්නට හැකිනම්
ඇත්තටම ඔබ දිනුම් පැරදුනේ මා නම්....

මේ මහා නපුරු දවස්
ඉක්මනට ගෙවේයැයි සිතමින්
විඳවමින් විඳිමින් ගත කරන
මම දැන් මියෙන්නට ආසන්න
කාන්තාර කුසුමක්...

මහා දුරක ඉදන්  හරි පරිස්සමින්
රැගෙන ආ සුවඳ ගිලිහෙන්න නොදී
අමුණගෙන තුඩින්
තාම පෙර පුරුද්දට මඟ බලන
බල බලා හති වැටුන
කහ කිරිල්ලිය මම්..

ඔබේ දුක් සුසුම් ළඟ
ඔබ ළඟම රැදෙන්නට පැතුව මා
නොපවසා කිසිවක්ම
මේ තරම් දුරකටම විසිකලේ ඇයි කියා
කිසිදාක නොඅසමිය  ඔබෙන්  යලි...

ආදරය කියන්නේ බලා සිටීමනම්
මියෙන තුරු මඟ බලන්නට
ඉතින් මා සූදානම්...
ආදරය කියන්නේ පපුවට දැනෙන
මේ ගින්දරනම්
ඒ ගින්දරෙන් දැවී හළු වෙන්නට
ඉතින් මා සූදානම්...

 ඉතින් ,

මේ රිදුම් පිරිමදින්නට
ඔබේ එක දයාබර වදනක්
පමණක්ම ඇති නමුත්
ඔබට මා අමතකව ඇත්නම්
සිහිනයෙන් සිහිනයට
මැරි මැරී උපදින්න
මට වාරුවක් වේවී
මේ කඳුළු කවිකම් ....

Feb 8, 2018

ඔබ නැතුව ඔබ එක්ක !



ඔබ
ඉන්න
සෑම
තැන !

ඉතින්
දැන් ,

ඔබ
සෙවූ
මගෙ
සුවඳ !

Feb 6, 2018

නිහඬ වෙමි නිහඬ බව බිඳිනා තුරා...



නිහඬ වෙමි
නිහඬ බව
බිඳිනා තුරා...

මඟ බලමි
දෙඇස් නිදි
වරනා තුරා...

මතක් කරමි
කෙදිනක හෝ
අමතක වෙන තුරා....

නිහඬ වෙමි
නිහඬ බව
බිඳිනා තුරා...